[මෙය Memorial meeting to honour comrade Wije Dias: A fighter for Trotskyism යන මැයෙන් 2023 ජූලි 10 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]
ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) සංවිධානය විජේ ඩයස් සහෝදරයාට උපහාර දැක්වීම සඳහා ජූලි 29 සෙනසුරාදා කොලඹදී අනුස්මරන රැස්වීමක් පවත්වයි.
සසප සභාපති තනතුරට තේරී පත්වන තෙක්ම විජේ සහෝදරයා 1987 දෙසැම්බර් සිට 2022 මැයි දක්වා සමාජවාදී සමානතා පක්ෂයේ (ශ්‍රී ලංකාව) සහ එහි පූර්වගාමියා වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ (විකොස) ප්‍රධාන ලේකම් විය.
විජේ ඔහුගේ 81 වැනි උපන්දිනයට මාසයකට පෙර එනම් 2022 ජූලි 27 වැනි දින උදෑසන, කොලඹදී, හදිසි හෘදයාබාධයකින් මිය ගියේය. ඔහු ශ්‍රී ලංකාවේ, දකුනු ආසියාවේ සහ ජාත්‍යන්තරව ට්‍රොට්ස්කිවාදය සඳහා වූ සටනේ ප්‍රබල චරිතයක් විය.
හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) පසුගිය වසරේ සිය ප්‍රකාශයේ සඳහන් කල පරිදි: “නො නවතින විප්ලවයෙහි සමාජවාදී ජාත්‍යන්තරවාදී ක්‍රියා මාර්ගයේ අශමනීය නායකයෙකු වූ විජේ, කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය සඳහා සටන්කරුවෙකු විය. දේශපාලන අසාර දර්ශනය, ප්‍රතිගාමීත්වය හා ඛේදනීය ලෙස දිවි අහිමිවීම වැනි රූපාකාරයන්ගෙන් ප්‍රකාශයට පත්වූ, මාක්ස්වාදී හා ට්‍රොට්ස්කිවාදී මූලධර්ම අතහැරීමේ හා පාවාදීමේ ප්‍රතිඵල අත්දැක තිබූ බැවින්, එම මූලධර්ම ආරක්ෂා කිරීමේ දී ඔහු අනම්‍ය විය.”
විජේ සහ කීර්ති බාලසූරිය 1964 සිරිමා බන්ඩාරනායකගේ ධනේශ්වර සභාග ආන්ඩුවට සම්බන්ධ වීමට ලංකා සමසමාජ පක්ෂය (ලසසප) ගත් තීරනයට විරුද්ධ වූ කැපී පෙනෙන තරුනයන් කන්ඩායමක කොටස්කරුවන් විය. ලසසප පාවාදීම කෙරෙහි පැබ්ලෝවාදී අවස්ථාවාදය දරන වගකීම පිලිබඳ හජාජාක විශ්ලේෂනයට ප්‍රතිචාර දක්වමින්, විජේ, බාලසූරිය සහ කන්ඩායමේ අනෙකුත් අය 1968 දී හජාජාක ශ්‍රී ලංකා ශාඛාව ලෙස විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස) පිහිටුවා ගත් අතර බාලසූරිය එහි ආරම්භක ප්‍රධාන ලේකම්වරයා විය.
දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහිව කොලඹ වාර්ගික යුද්ධය සහ ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර ඉන්දීය හමුදාව විසින් අත්පත් කර ගැනීම මගින් අවුලුවාලූ දේශපාලන අර්බුදය මධ්‍යයේ, 1987 දී කීර්ති සහෝදරයාගේ අකල් මරනයෙන් පසු විකොසට නායකත්වය දීමේ අභියෝගය විජේ සහෝදරයා භාර ගත්තේය.
කීර්ති සහෝදරයාගේ ඛේදනීය වියෝවේ පාඩුව මකාලීමටත්, කම්කරු පන්තියට හා ග්‍රාමීය ජනතාවට එරෙහිව තීව්‍ර වන සිවිල් යුද්ධයේ සහ පොලිස්-මිලිටරි හා ෆැසිස්ට් ප්‍රචන්ඩත්වයේ දුෂ්කර කොන්දේසි යටතේ සමාජවාදී ජාත්‍යන්තරවාදය සඳහා අරගලය දිගටම කරගෙන යාම සඳහා කේඩරය යලි ශක්තිමත් කිරීමටත් විජේ මූලික විය.
විජේ සහෝදරයා මේ තීරනාත්මක කාර්යභාරය අතිවිශාල දේශපාලන ධෛර්යයකින් සහ නොසැලෙන අධිෂ්ඨානයකින් යුතුව මියයන තෙක් ම ඉටු කලේය. විප්ලවවාදී ජාත්‍යන්තරවාදී දිශානතියක් සඳහා ඔහුගේ ස්ථිර සහ සම්මුති විරහිත සටන සහ මාක්ස්වාදී-ට්‍රොට්ස්කිවාදියෙකු ලෙස ඔහුගේ අවංකභාවය පක්ෂයේ ඒකාබද්ධතාවය පවත්වා ගෙන යාමට සහ එය ඉදිරියට ගෙන යාමට පක්ෂ කේඩරයට විශාල දිරිගැන්වීමක් විය.
යුක්‍රේනය තුල රුසියාවට එරෙහිව තීව්‍ර වන එක්සත් ජනපද-නැටෝ යුද්ධයේ සහ ලොව පුරා පන්ති අරගලවල වර්ධනයේ වත්මන් සන්දර්භය තුල විජේ සහෝදරයාගේ ජීවිතය සහ එහි පාඩම් වල දේශපාලන අදාලත්වය සාකච්ඡා කිරීම සඳහා මෙම රැස්වීමට සහභාගී වන ලෙස, කම්කරුවන්ට, තරුනයින්ට, සිසුන්ට, ලෝසවෙඅ පාඨකයින්ට සහ ධනේශ්වර පීඩනයට එරෙහි සියලුම සටන්කරුවන් ට, අපි සාදරයෙන් ඇරයුම් කරන්නෙමු.
දිනය සහ වේලාව: ජූලි 29 සෙනසුරාදා, ප.ව. 3.00
ස්ථානය: ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවනාගාරය, කොලඹ 7
විජේ ඩයස්ගේ කථාව: කම්කරු පන්තියේ ජාත්‍යන්තර අරගල හා නොනවතින විප්ලව න්‍යාය පිලිබඳ ඉදිරිදර්ශනය
