ඉදිරිදර්ශන

විල්නියස් නැටෝ සමුලුව ගෝලීය ආධිපත්‍ය සැලසුම් එලිදක්වයි

[මෙය Vilnius NATO summit unveils plans for global domination මැයෙන් 2023 ජූලි 13 පල වූ ඉදිරිදර්ශනයේ පරිවර්තනයයි.]

ලිතුවේනියාවේ විල්නියස් නුවර දී, නැටෝ සාමාජික රටවල් 31 හි රාජ්‍ය හා ආන්ඩු ප්‍රධානීන් මේ සතියේ සම්මත කල යෝජනාව, ගෝලීය යුද්ධය සඳහා වන කෙටුම්පතකි. පිටු 24කින් යුත් ලේඛනය තුල, සමුලුවේ කේන්ද්‍රීය තේමාව වන යුක්‍රේනය තුල යුද්ධය සම්බන්ධයෙන් වෙන් කර ඇත්තේ කුඩා කොටසක් පමනි. අනෙක් කොටස් තුලින් නැටෝව තම ආධිපත්‍යය සමස්ත ලෝකය මත පැටවීමේ අභිප්‍රායය ප්‍රකාශ කර සිටී. “අංශක 360 ප්‍රවිශ්ටය” යනුවෙන් ලේඛනය නම් කරන කොටස තුලට, සෑම මහාද්වීපයක් හා සෑම කලාපයක් ම ඇතුලත් වේ.

ලේඛනයෙහි ආරම්භක කොටස් කේන්ද්‍රගත කොට ඇත්තේ රුසියාව සමග ගැටුම පිලිබඳව ය. එහි මුල පටන් ම යුක්‍රේන යුද්ධයට කිසිදු සාකච්ඡාමය විසඳුමක් ඇතිකර ගැනීම බැහැර කරන භාෂාවකින් පුටින් ආන්ඩුව හෙලාදැකීමට බඳුන් කර තිබේ. එහි (පුටින් ආන්ඩුවේ) “යුද අපරාධ” වලට “දන්ඩ මුක්තියක්” තිබිය නො හැකි යයි ද “වගකිව යුතු සියල්ල චෝදනාවට ලක්කල යුතු” යයි ද නැටෝව විධානය කරයි. සාමය සඳහා පූර්ව කොන්දේසියක් වන්නේ “රුසියාව මුලුමනින් ම හා කොන්දේසි විරහිත ව [යුක්‍රේනයෙන්] ඉවත් වීම යි.” “රුසියාවේ හතුරු පිලිවෙත් හා ක්‍රියාවන් සැලකිල්ලට ගත් කල, අපට රුසියාව අපේ හවුල්කරුවෙකු ලෙස සැලකිය නො හැක” යැයි පුටින් එල්ල කොට එම ලියවිල්ල සඳහන් කරයි.

“යුක්‍රේනයෙහි අනාගතය පවතින්නේ නැටෝව තුලයි” යැයි ප්‍රකාශය අවධාරනය කරන නමුත්, යුක්‍රේනියානු ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි ඉල්ලා ඇති පරිදි සාමාජිකත්වය සඳහා කාල රාමුවක් එමගින් ලබා දී නොතිබීම පිලිබඳව බොහෝ මාධ්‍ය අවධානය යොමුකර ඇත. ඒ වෙනුවට එහි සඳහන් කර ඇත්තේ, “මිත්‍ර පාර්ශවයන් එකඟ වන විට හා කොන්දේසි සපුරන විට” අනාගතයේ යම් දිනයක යුක්‍රේනයට සාමාජිකත්වය ලැබෙනු ඇති බවයි..

උපායාත්මක හේතු නිසා, විශේෂයෙන් ම එක්සත් ජනපදය හා ජර්මනිය ඇතුලු ප්‍රධාන නැටෝ බලයන්, විධිමත් යුක්‍රේනියානු සාමාජිකත්වය සඳහා කාලය දැන් නො වේ යයි නිගමනය කලේ, එසේ සාමාජිකත්වය දීමෙන් [නැටෝ සම්මුතියේ] 5වන වගන්තිය ක්‍රියාවට දැමීමට හේතුවන නිසා මෙන්ම එය, එක්සත් ජනපදය රුසියාව සමග යුද්ධයක යෙදී නැතැයි යන දේශපාලනික ව වාසිවන ප්‍රබන්ධය බයිඩන් පරිපාලනයට අහිමි කරනු ඇති නිසා ය. තව ද එක්සත් ජනපදයේ අනුමැතිය සහිත ව, සමස්ත නැටෝ සන්ධානය ම නිල යුද්ධ ප්‍රකාශයකට කැප නො කර, යුක්‍රේනය තුලට පෝලන්ත හා අනෙකුත් නැටෝ සාමාජිකයන්ට භටයන් යෙදීමට එමගින් දොරටු විවෘත කර තබයි.

නෛතික දෙබිඩිභාවය පවත්වාගෙන යාම මගින් අදහස් කෙරෙන්නේ, රුසියාව හපකර දැමීම සඳහා, යුක්‍රේනයට අඛන්ඩ ව මිලිටරි හා මූල්‍ය ආධාර සම්පාදනය කරමින්, යුද්ධය අතිශයින් ම තීව්‍ර කිරීම නැටෝව විසින් නො කරනු ඇතැයි යන්න නොවේ.

“යුක්‍රේනය වඩවඩා සන්ධානය සමග අන්තර්-මෙහෙයුම්කාරී හා දේශපාලනික ව ඒකාග්‍ර වී ඇති” නිසා, 2008 දී ස්ථාපිත කරන ලද “සාමාජිකත්ව ක්‍රියාකාරී සැලැස්ම සඳහා අවශ්‍ය ප්‍රමානයෙන් ඔබ්බට යමින් යුරෝ-අත්ලාන්තික පූර්න ඒකාග්‍රකරනයට යුක්‍රේනය ගමන් කර ඇතැ” යි නව ලේඛනය ප්‍රකාශ කරයි.

“ජාත්‍යන්තර ව පිලිගත් යුක්‍රේන දේශසීමා ඇතුලත එහි ස්වාධීනත්වය, ස්වෛරීභාවය හා භෞමික අඛන්ඩතාව එය [නැටෝ] විසින් අඛන්ඩ ව ආරක්ෂා කරන නිසා, යුක්‍රේනයට දෙන දේශපාලනික හා ප්‍රායෝගික සහයෝගය තව දුරටත් ඉහල දැමීම සඳහා කැපවීම අචල ව පවත්වා ගන්නා අපි, අවශ්‍ය කරන තාක්කල් අපේ සහයෝගය අඛන්ඩ ව ලබා දෙන්නෙමු” යැයි ලේඛනය වැඩි දුරටත් සඳහන් කරයි.

එක්සත් ජනපදය, ජර්මනිය හා අනෙකුත් නැටෝ රටවල් යුක්‍රේනයට තවත් සැලකිය යුතු මිලිටරිමය ආධාර සඳහා පොරොන්දු වූහ. ජී-7 රටවල්--නැටෝ සාමාජිකයෙකු නො වන ජපානය ඇතුලු එහි සියලු සාමාජිකයෝ විල්නියස්හි සිටිය හ-- වෙනම ගිවිසුමක් මගින් අති නූතන අවි ලබාදීම ඇතුලු පුලුල් ආධාර යුක්‍රේනයට සම්පාදනය කිරීමට පොරොන්දු වූ හ.

යුක්‍රේන ජනයාට ගොරතර වන්දියක් ගෙවීමට සලස්වමින් යුක්‍රේනය අරබයා යුද්ධය අවුලුවා ලූ එක්සත් ජනපදය හා නැටෝ බලයෝ යෝධ ගෝලීය මිලිටරිමය උත්සන්න කිරීමක් සංවිධානය කිරීම සඳහා එය උපයෝගී කරගනිමින් සිටිති. මෙය අන් සියල්ලටම ප්‍රථම, යුරෝපීය-පරිමානයක ලක්ෂනයක් ගනිමින් තිබෙන රුසියාව සමග ගැටුමට වලංගු වේ.

සමුලු ප්‍රකාශයටත් වඩා අර්ථභාරී වන්නේ, නැගෙනහිර යුරෝපය පුරා භටයන් හා ආයුධ යෙදවීම පිලිබඳව විස්තර කරමින් සමුලුවේ දී අනුමත කරන ලද සමස්ත පිටු 4,000ක් පුරා දිවෙන යුද සැලසුම යි. නැටෝව ක්ෂනික ප්‍රතික්‍රීය හමුදාව සොල්දාදුවන් 40,000ක සිට 300,000ක් දක්වා වැඩි කරනු ඇත. “අපේ අංශක 360 ප්‍රවිශ්ටය [විවිධ දිසාවන්ගෙන් පැමිනෙන තර්ජන පිලිබඳව ක්‍රියාකිරීමේ හැකියාව--පරිවර්හක] අනුව පිහිටමින්, සියලු හවුල්කරුවන් කාලීනව සවිබලගැන්වීමේ” සැලසුම් ගැන ප්‍රකාශය සඳහන් කරයි. “ඉහල-තීව්‍රතාවෙන් හා බහු-ආංශික සාමූහික ආරක්ෂාවට සූදානම් කරනු ලැබීම සඳහා වන මෙම සැලසුම්වලට පූර්න සම්පත් හා ක්‍රමානුකූල අභ්‍යාස සම්පාදනය කිරීමට අපි කැප වී ඇත්තෙමු.”

වසරකට පෙර මැඩ්‍රිඩ් නුවර දී පැවති නැටෝවේ අවසන් සමුලුවේ සිට, රුසියාව වටා යථා වටලෑම් වලල්ලක් එලීමට නැටෝව ක්‍රියා කර ඇත. එවර ෆින්ලන්තයට හා ස්වීඩනයට නැටෝවට බැඳෙන ලෙස ආරාධනා කල එය, නැගෙනහිර යුරෝපය තුල නැටෝ භටයන් දැවැන්තව ලෙස වැඩි කිරීමකට ද මිලිටරි පිරිවැය සැලකිය යුතු ලෙස වැඩි කිරීමකට ද ඉඩ ලබා දුන් මූලෝපායික පත්‍රිකාවක් අනුමත කලේ ය.

මෙම තීරන ක්‍රියාත්මක කිරීම දැන් බෙහෙවින් ඉදිරියට ගෙනගොස් තිබේ. ෆින්ලන්තය දැන් නැටෝ සාමාජිකයෙකු වන අතර, ස්වීඩනය ඇතුලත් කරගැනීමට පැවති අවසන් බාධාවන් ද විල්නියස් නුවර දී ඉවත් කරනු ලැබී ය. මෙහි ප්‍රතිඵලයක් ලෙස, රුසියාව සමග නැටෝ සාමාජික රාජ්‍යවල භෞමික දේශසීමාව දෙගුනයටත් වඩා වැඩි වී, සාන්ත පීටර්ස්බර්ග් නුවර සිට කිලෝමීටර 150 සීමාව ඇතුලතට පැමින ඇත. බෝල්ටික් මුහුද නැටෝ මුහුදක් බවට පත් කරනු ලැබ තිබෙනුයේ, රුසියාවට ඉතිරිව ඇත්තේ සාන්ත පීටර්ස්බර්ග් නුවර කුඩා කොනක් සහ වටලන ලද කලිනින්ග්‍රෑඩ් ප්‍රදේශය හරහා ප්‍රවේශයක් පමනකි.

රුසියාව සමග ගැටුම, ගෝලීය ආධිපත්‍යය සඳහා වන කෙටුම්පතක කොටසකි.

“සිය ගෝලීය සලකුන ඉහල දමා ගනිමින් බලය ප්‍රක්ෂේපනය කිරීමට පලල් පරාසයක දේශපාලනික, ආර්ථික හා මිලිටරිඋපාංග” යොදාගැනීම පිලිබඳ චෝදනාවට ලක් කරමින්, චීනය සමුලු ප්‍රකාශයෙහි කේන්ද්‍රීය අවධානයට යොමුකර තිබේ.. “ද්වේශ සහගත දෙමුහුන් හා සයිබර් මෙහෙයුම්” සහ “ගැටුම්කාරී පූච්චානම් හා අසත්‍ය ප්‍රවෘත්ති” යොදාගනිමින් සන්ධානයේ ආරක්ෂාවට හානි කරමින් සිටින චීනය, “මූලික තාක්ෂනික හා කාර්මික අංශ, තීරනාත්මක යටිතල පහසුකම් සහ මූලෝපායික ඛනිජ ද්‍රව්‍ය හා සැපයුම් දාම පාලනය කිරීමට” උත්සාහ කරමින් සිටී.

“මහජන චීන සමූහාන්ඩුව සහ රුසියාව අතර ගැඹුරු වන මූලෝපායික හවුල්කාරීත්වයටත්, අපේ වටිනාකම්වලට හා අවශ්‍යතාවන්ට විපරීත ව නියාම-පාලිත ජාත්‍යන්තර පර්යාය රහසින් කඩාකප්පල් කිරීම සඳහා ඔවුන් අන්‍යොන්‍යව බලගන්වන ප්‍රයත්නයටත්” සමුලු ප්‍රකාශය රුදුරු ලෙස පහර දෙයි.

අධිරාජ්‍යවාදී බලයන් විසින් සකස් කරන සෑම ලේඛනයක් මෙන් ම, නැටෝ ප්‍රකාශය ද කුහකත්වයෙන් පිරී ඇත. භූගෝලයේ සෑම කොනක ම තමන්ම ආක්‍රමනකාරී යුද්ධ දියත් කරමින් සිටින එක්සත් ජනපදය හා යුරෝපීය බලයන් ජාතික “ස්වෛරීභාවය හා භෞමික අඛන්ඩතාව” රැකීම ගැන කතා කරයි. යුක්‍රේනයට එහි “මූලෝපායික හවුල්කරුවන්” තෝරා ගැනීමට -එනම්, නැටෝව හා සම්බන්ධ වීමට- තිබෙන නිරපේක්ෂ අයිතිය ඔවුන් අවධාරනය කරන්නේ වුව ද චීනයට හා රුසියාවට එම අයිතිය ප්‍රතික්ෂේප කරයි. යුක්‍රේනයට අසීමිත ආයුධ සම්පාදනය කිරීම සඳහා නැටෝවට පවතින අයිතිය ගැන ඔවුන් අවධාරනය කල ද රුසියාවට දෙන ඕනෑ ම මිලිටරි සහයෝගයක් සැබෑ යුද්ධමය ක්‍රියාවක් ලෙස සලකයි.

“නියාම-පාලිත ජාත්‍යන්තර පර්යාය” සුරක්ෂිත කරගැනීම ගැන ලේඛනය කරන සඳහනේ අර්ථය වන්නේ, අධිරාජ්‍යවාදී බලයන්ගේ, සියල්ලට ඉහලින් එක්සත් ජනපදයේ, ආඥාව සෑම රටක් විසින් ම අනුගමනය කල යුතු “පර්යායකි,” යන්නයි.

මේ අරමුන සඳහා, “උතුරු අත්ලාන්තික්” ගිවිසුම් සංවිධානය (නැටෝව), භූගෝලයේ සෑම කොටසක් තුල ම එහි අවශ්‍යතා හා “වටිනාකම්” අවධාරනය කරන ෆ්‍රැන්කන්ස්ටීන රකුසෙකු බවට පරිවර්තනය කරනු ලැබ ඇත. “කලු මුහුදු කලාපය සන්ධානයට මූලෝපායික වැදගත් කමක් දරති” යි ප්‍රකාශය සඳහන් කරයි. “මැද පෙරදිග හා අප්‍රිකාව යනු මූලෝපායික අවශ්‍යතා සහිත කලාපයෝ ය...නැටෝවට ඉන්දු-පැසිෆික් කලාපය වැදගත් ය.”

ඉන්දු-පැසිෆික් කලාපය පසෙක තැබුව ද, උතුරු අප්‍රිකාව හා මැද පෙරදිග උතුරු අත්ලාන්තික් සාගරයේ වෙරලවල් ස්පර්ශ කරන්නේ කවර සිතියමක් අනුව දැයි යමෙකුට ප්‍රශ්න කල හැක.

ආක්ටික් සාගරයේ, පිටස්තර අවකාශයේ හා සයිබර් අවකාශයේ පවා, “ආරක්ෂාව” තහවුරු කිරීම නැටෝවට අවශ්‍ය ය. යුද්ධයට කඩතුරාවක් ලෙස සයිබර් ප්‍රහාරයක් යොදාගත හැකි ය: “ද්වේෂ සහගත සයිබර් ක්‍රියාකාරකම්වල තනි හෝ සමුච්චිත ක්‍රියා මාලාවකට, සන්නද්ධ ප්‍රහාරයක මට්ටමට ලඟා වී, කරුනින්-කරුන සලකා බලා වොෂින්ටන් සම්මුතියේ 5වන වගන්තිය බලාත්මක කිරීමට උතුරු අත්ලාන්තික් කවුන්සිලයට ක්‍රියා කල හැකි ය.” මිලිටරි ප්‍රහාරයකට මුහුන දෙන සාමාජිකයෙකුට, සියලු නැටෝ සාමාජිකයන්ට සහයෝගය දීමේ අවශ්‍යතාව 5වන වගන්තියන් අවධාරනය කෙරයි.

අධිරාජ්‍යවාදී යුද සැලසුම්කරුවන්ගේ ගනන් බැලීම්වලට ඇතුලත් වී ඇති න්‍යෂ්ටික යුද්ධය ගැන, ලේඛනය තුල යලි යලිත් කරන සැඳහුම් සුවිශේෂී ලෙස අනිටු විපාක ගෙන දෙයි. “න්‍යෂ්ටික ව සන්නද්ධ සමාන තරඟකරුවන්ට එරෙහි ව අතිශයින් තීව්‍ර, බහු-පරාසීය යුද ගැටුම් ඇතුලු, නිවාරනයට හා ආරක්ෂාවට අවශ්‍ය වන හමුදා, හැකියාවන්, සැලසුම්, සම්පත්, වත්කම් හා යටිතල පහසුකම්වල පූර්න පරාසයක් අපි තනි තනි ව හා සාමූහික ව බෙදාහරිමු” යි එය සඳහන් කරයි. ඒ අනුව, මිත්‍ර පාර්ශ්වයන් සම්බන්ධයෙන් ගත්විට, සාම්ප්‍රදායික ලෙස පෙනෙන්නාවූ හා අර්බුදයක හෝ ගැටුමක න්‍යෂ්ටික මානයන්හි, පුහුනුව හා අභ්‍යාස ශක්තිමත් කිරීමට අපි ක්‍රියා කරමු. එමගින්, ගැටුමක සියලු අංශයන්ගේ මෙන්ම සමස්ත පථයේම, නෙටෝවේ නිවාරන හා ආරක්ෂක ඉරියව්වල සාම්ප්‍රදායික හා න්‍යෂ්ටික අංගයන්හි සුසංයෝගිතාවක් ඇතිකර ගැනීමට හැකියාව ලබා දෙනු ඇත.

“ආරක්ෂක සහතික වීම්” තකා, අධිරාජ්‍යවාදී බලයන් මත පීඩනය යෙදීම් ඉලක්ක කරගන්නා පිලිවෙතක් අනුගමනය කර ඇති, පුටින් පාලනයේ මූලෝපායෙහි දේශපාලනික බංකොලොත් භාවය ලේඛනයෙන් හෙලිදරවු වෙයි. එක්සත් ජනපදයට සහ යුරෝපීය අධිරාජ්‍යවාදීන්ට අවශ්‍ය වන්නේ ලෝකාධිපත්‍යය මිස සම්මුතිය නො වේ. යුක්‍රේනියානු ප්‍රතිප්‍රහාරයෙහි විනිවිද පෙනෙන අසමර්ථතාව නො තකා, යුක්‍රේනියානුවන් කොපමන ගනනක් මරා දැමෙන්නේ වුව ද යුද්ධය සදාකාලික ව පවත්වාගෙන යාමට, එක්සත් ජනපදය හා නැටෝව ඔවුන්ට හැකි සෑම දෙයක් ම කරනු ඇත. රුසියාව ඇද දමනු ලැබ ඇත්තේ අවසානයක් සොයාගත නො හැකි උගුලකට ය. ගැටුම දීර්ඝ ව ඇදී යන තාක් කල්, එය තීව්‍ර කිරීමට හෝ යටත් වීමට පුටින් පාලනය මත යෙදෙන පීඩනය ද විශාල වේ. පුටින් පාලන තන්ත්‍රයේ ධනවාදය මත පාදිත රාමුව ඇතලත, සෑහීමට පත්විය හැකි මැද මාවතක් සොයා ගැනීමට නැත.

විල්නියස් නිවේදනයෙන් තුලින් ප්‍රකාශයට පත්වන නැටෝවේ පිලිවෙත්වල බරපතල මායාවී මෙන්ම සහාසික ස්වභාවයක් ද ඇත. ලෝකය අල්ලා ගැනීම හා එය මත ආධිපත්‍යය දැරීමේ උත්කර්ෂවත් සැලසුම් ඉස්මතු වන්නේ ගෝලීය ධනවාදයෙහි අර්බුදයෙනි. වසර 30කට අධික කාලයක් පුරා, තම යුරෝපීය “හවුල්කරුවන්ගේ” සහයෝගය ලබන එක්සත් ජනපදය, මිලිටරි බලය හරහා සිය ආර්ථික ආධිපත්‍යය ඛාදනය වීම වැලැක්වීමට උත්සාහ දරා ඇත්තේ, ඉරාකය, ඇෆ්ගනිස්තානය, ලිබියාව ඇතුලු ගනන් නැති අනෙකුත් රටවලට ව්‍යසනකාරී විපාක අත්කර දෙමිනි.

එක් අතකින්, නවීන නිෂ්පාදනයෙහි සමාජීය හා ජාත්‍යන්තර ස්වභාවය සහ අනෙක් අතින් ධනවාදය පදනම් වන පුද්ගලික දේපොල හා ජාතික රාජ්‍යය අතර නො පෑහීමට ඔවුන්ට ඇත්තේ එක් පිලිතුරක් පමනි: එනම්, ඔවුන්ගේ ආධිපත්‍යය යටතේ ලෝකය ප්‍රචන්ඩ ලෙස යලි බෙදාගැනීම යි. මෙය දැනට මත් පලමු හා දෙවන ලෝක යුද්ධවලට හේතු වී තිබේ. .

අධිරාජ්‍යවාදී බලයන්ගේ යුද සැලසුම්, සමාජ ගැටුම් වර්ධනය යෝධ ලෙස තීව්‍ර කරනු ඇත. ලේඛනයට අත්සන් තබන සෑම රටක් ම, යුද්ධයට “අවම වසයෙන් අපේ දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2ක්” කැප කරන බවට ප්‍රතිඥා දෙති. එහෙත්, ඒ අතර ම එය, “පවතින ඌනතාවන්වලට පිලියම් යෙදීමටත්, වඩා තරඟකාරී ආරක්ෂක පර්යායකින් පැන නගින සියලු පරාසයන් හරහා පවතින අවශ්‍යතාවන් සැපිරීමටත් බොහෝ අවස්ථාවල දී දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2ට වඩා අවශ්‍ය වනු ඇත” යයි ද සඳහන් කරයි.

මෙම වියදමට ගෙවන්නට සිදුවනු ඇත්තේ කාට ද? රටින් පිටත යුද්ධය තීව්‍ර කිරීම, ඒ සමග ම, ජනගහනයේ අතිමහත් බහුතරය වන කම්කරු පන්තිය වෙනුවෙන් පවතින සමාජ සේවා වැඩසටහන්, වැටුප් හා රැකියා මත ප්‍රහාරය ද තීව්‍ර කරනු ලබයි.

සමුලුවට සහභාගි වන්නෝ මෙය හොඳින් ම දනිති. ලේඛනය පුරා, අභ්‍යන්තර අර්බුදය ගැන පැහැදිලි සැඳහුම් තිබේ. “ආන්ඩුවේ අඛන්ඩ පැවැත්ම සහතික කිරීමට අපේ ජාතික හා සාමූහික හැකියාව ඉහල දැමීමේ,” “මිලිටරි මෙහෙයුම්වලට සිවිල් සහයෝගය ශක්‍ය කිරීමේ,” සහ “සාමුහික ශක්තිය දිරිමත් කිරීමේ” අවශ්‍යතාව ගැන එය සඳහන් කරයි. “අපේ දේශපාලනික ආයතන, අපේ තීරනාත්මක යටිතල පහසුකම්, අපේ සමාජයන්, අපේ ප්‍රජාතන්ත්‍රවාදී පද්ධතීන්, අපේ ආර්ථිකයන් සහ අපේ පුරවැසියන්ගේ ආරක්ෂාව” ඉලක්ක කරන ආන්ඩුවේ දේශීය විරුද්ධවාදීන්ට -“රාජ්‍ය නො වන ක්‍රියාධරයන්ට”- එරෙහි ව 5වන ව්‍යවස්ථාව යොදා ගැනීමේ හැකියාව ගැන පවා ලේඛනය සැඳහුම් ඉදිරිපත් කරයි.

විල්නියස් සමුලු ලේඛනය තුල සූත්‍රගත කරන පරිදි, සමස්ත ලෝකය මත සිය ආධිපත්‍යය පැටවීමේ අවශ්‍යතාව පිලිබඳ නැටෝවේ ප්‍රකාශය පවතින්නේ උන්මාදය අද්දර ය. එහෙත් එය වනාහි, බිත්තියට හේත්තු වී ඇති පාලක පන්තියක උන්මාදය යි. ඔවුන්ගේ සියලු යුද තර්ජන සමගින්, නැටෝ සාමාජිකයන් විල්නියස් නුවර ඔවුන්ගේ සමුලුව පැවැත්වූයේ ආන්තික අර්බුදයක කොන්දේසි යටතේ ය. ඔවුන් අතරත්, ඔවුන්ගේ ම ආන්ඩු ඇතුලතත් ආදී සෑම දෙයක් ම එකලස් කර පවත්වා ගැනීමට, ප්‍රධාන අධිරාජ්‍යවාදී බලයන්ගේ පාලක ප්‍රභූහු මංමුලා සහගත ලෙස උත්සාහ දරමින් සිටිති. අන් සියල්ලටම ඉහලින් ඔවුහු කම්කරු පන්තියේ වැඩෙන සමාජ විරෝධයට මුහුන දෙති.

යුද්ධයෙහි අවසානය සිදුවනු ඇත්තේ, කම්කරු පන්තියේ වර්ධනය වන ගැටුම්, අධිරාජ්‍යවාදය කෙරෙහි විරුද්ධත්වය සමග වාත්තු කිරීම හරහා පමනි. එවන් ව්‍යාපාරයක් සඳහා වන වෛෂයික කොන්දේසි වේගයෙන් වර්ධනය වෙමින් තිබේ. එක්සත් ජනපදය, ප්‍රන්සය, ජර්මනිය, එක්සත් රාජධානිය සහ සියලු ප්‍රධාන ධනපති රටවල් තුල මහජන විරෝධතා හා වැඩ වර්ජන මේ වසර තුල දැනට මත් දැකගැනීමට ලැබී ඇත. යුද්ධය තීව්‍ර කිරීම අධීක්ෂනය කරමින් සිටින සියලු ආන්ඩු අපකීර්තියට පත් වී ඇති අතර, ජාත්‍යන්තර කම්කරු පන්තිය තුල යුද්ධයට යෝධ නිද්‍රෝපගත විරෝධයක් පවතී.

කර්තව්‍යය ලෙස පවත්නේ, මෙම වෛෂයික ව්‍යාපාරය දේශපාලනික ව සවිඥානික කරමින්, අසමානතාවට හා සූරාකෑමට එරෙහි සටන, අධිරාජ්‍යවාදී යුද්ධයට හා ධනපති ජාතික-රාජය පද්ධතියට එරෙහි සටන සමග සම්බන්ධ කිරීමේ අවශ්‍යතාව පිලිබඳ අවබෝධයක් කම්කරු පන්තිය තුල වර්ධනය කිරීම යි. මෙම ඉදිරි දර්ශනය සමග එකඟ වන සියල්ලන්ගෙන් අප ඉල්ලා සිටින්නේ, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව හා එහි සමාජවාදී සමානතා පක්ෂ ශාඛා සමග එක් වී ඒවා ගොඩනගන ලෙස යි.

Loading