යුද-ගැති ප්‍රචාරන සේවය තුල ඓතිහාසික මුසාකරනය

(මෙය Historical falsification in the service of pro-war propaganda මැයෙන් 2023 ජූලි 19දා පල කල ඉදිරි දර්ශන ලිපියේ පරිවර්තනය යි.)

ඓතිහාසික මුසාකරන ක්ෂේත්‍රය තුලට නවතම කඩාවැදීම සිදු කරමින්, දෙවන ලෝක යුද්ධය පිලිබඳ ව සෝවියට් සංගමයට දොස් පවරන පුවත් විශ්ලේෂනයක්, නිව් යෝක් ටයිම්ස් පත්‍රය ජූලි 18දා පල කලේ ය. ඇන්ඩෲ ඊ. ක්‍රේමර්ගේ කර්තෘත්වයෙන් යුත් “වර්තමාන යුද්ධය අතීතය සමග ගැටේ: යුක්‍රේනය තුල දෙවන ලෝක යුද්ධයේ ඉතුරුපහදු” නමැති මෙම දීර්ඝ ලිපිය, හොලෝකෝස්ටය හෝ සෝවියට් ජනතාවට එරෙහි නාසීන්ගේ සමූලඝාතක යුද්ධය යන දෙකෙන් එකක් හෝ පිලිබඳ ව සඳහන් නො කරයි.

මෙම ලිපිය, යුක්‍රේනය තුල එක්සත් ජනපද-නැටෝ වක්‍ර යුද්ධයට ටයිම්ස් ඉටු කරන සේවය තුල එය ඇද බෑ නවමත ඓතිහාසික බොරුව පමනි.

යුද්ධය ආරම්භයේ පටන් ම, යුක්‍රේනියානු ජාතිකවාදීන්ගේ ෆැසිස්ට්-ගැති ප්‍රබන්ධය සුජාතකරනය කිරීමට ටයිම්ස් උත්සාහ දරා ඇත. ඒවායේ මූලිකාංගයන් වී ඇත්තේ, හොලෝකෝස්ටය සහ යුදෙව්වන් හා පෝලන්ත ජාතිකයන් මහා පරිමානයෙන් මරා දැමීමේ දී යුක්‍රේනියානු ජාතිකවාදීන්ගේ සහභාගිත්වයේ සැර බාල කිරීම යි; එනම්, යුක්‍රේනියානු ජාතිකවාදීන්ගේ සංවිධානය (ඕයූඑන්) සහ නාසි තන්ත්‍රය අතර පැවති සන්ධානය ලුහු කිරීම සහ නාසි ජර්මනිය හා සෝවියට් සංගමය අතර දේශපාලනික හා සදාචාරාත්මක සමානත්වයක් අවධාරනය කිරීම සහ වර්තමාන යුක්‍රේනය තුල නව-නාසිවාදී හා ෆැසිස්ට්වාදී ආනුභාවයක් නැතැයි යනුවෙන් යලි යලිත් කරන කියාපෑම් ය.

කීව් නගරයට ඉහලින් ජර්මානු කාලතුවක්කු, 1941

දෙවන ලෝක යුද්ධය ආරම්භ වූයේ සෝවියට් සංගමය පෝලන්තය ආක්‍රමනය කිරීම සමගින්‍ය යන පුදුම සහගත කියාපෑම ක්‍රේමර් විසින් ඉදිරියට දමන්නේ මෙම සන්දර්භය තුල යි. ඔහු මෙසේ ලියයි:

'දැනට යුක්‍රේනය වන ප්‍රදේශය තුල දෙවන ලෝක යුද්ධය ආරම්භ වූයේ, සෝවියට් සංගමය සහ නාසි ජර්මනිය මිලිටරි සන්ධානයක සිටි සමයේ, බටහිර යුක්‍රේනය තුල පෝලන්තය විසින් පාලනය කරන ලද භූමි භාගයට සෝවියට් ආක්‍රමනයක් සිදුකිරීම සමගිනි. 1941 දී ගිවිසුම බිඳ වැටුනු විට, ප්‍රහාර එල්ල කල ජර්මනිය නැගෙනහිර යුක්‍රේනය හරහා බටහිර සිට සටන් කලේ ය.'

මෙම අවධාරනය යුද්ධයෙහි මූලික කාලවේදය උල්ලංඝනය කිරීමකි. දෙවන ලෝක යුද්ධය ආරම්භ වූයේ, පෝලන්තයේ නැගෙනහිර තුනෙන් පංගුවට 1939 සැප්තැම්බර් 17දා සෝවියට් පිවිසීම සමග නො ව, 1939 සැප්තැම්බර් 1දා රටෙහි නැගෙනහිර තුනෙන් දෙපංගුවට නාසීන් එල්ල කල ක්ෂනික ප්‍රහාරය සමගයි.

මෙයට විරුද්ධ ලිපි ගලනයකට මුහුන දුන් ටයිම්ස්, කිසිදු විග්‍රහයකින් තොර ව කුහක ලෙස වාක්‍යය වෙනස් කලේ, ආරම්භක මුසාකරනයෙහි ඉලක්කය නො නැසී පවත්වාගෙන යන ආකාරයකිනි. “1939 දී දැනට යුක්‍රේනය වන ප්‍රදේශය තුලට දෙවන ලෝක යුද්ධය ලඟා වූයේ බටහිර යුක්‍රේනය තුල එවකට පෝලන්තය විසින් පාලනය කරන ලද භූමියට කල සෝවියට් ආක්‍රමනයක් සමගිනි...” යි කියවන ලෙස වාක්‍යය වෙනස් කරනු ලැබිනි. කූට ක්‍රියාපද මාරුව ක්‍රේමරගේ අභිලාෂය වෙනස් කිරීමට කිසිවක් නො කරයි. දෙවන ලෝක යුද්ධය “ආරම්භ කලේ” සෝවියට් සංගමය යයි පාඨකයා විශ්වාස කල යුතු බව අදහස් කරනු ලැබේ.

1939 අගෝස්තුවේ දී අත්සන් කරන මොලටොව්-රිබන්ත්‍රොප් ගිවිසුම තුල, පෝලන්තය, බෝල්ටික් රාජ්‍යයන් සහ ෆින්ලන්තය බෙදීම නාසි ජර්මනිය සහ සෝවියට් සංගමය විසින් සැලසුම් කරනු ලැබ තිබුනි. එහෙත්, ක්‍රේමර්ගේ අවධාරනයට විපරීත ව, හිට්ලර් හා ස්ටැලින් අතර ගිවිසුම, එම වසර මුල දී හිට්ලර් සහ මුසෝලිනි එලැඹ තිබූ “වානේ ගිවිසුම (පැක්ට් ඔෆ් ස්ටීල්)” ආකාරයේ “මිලිටරි සන්ධානයක්” නො වී ය. එය එක් රටක් විසින් අනෙක් රට ආක්‍රමන‌ය නොකරන බවට වූ ගිවිසුමක් විය.

ස්ටැලින්ගේ මහජන පෙරමුනු ආයාචනයන් හමුවේ, බ්‍රිතාන්‍ය, ප්‍රන්ස හා එක්සත් ජනපද “බටහිර ප්‍රජාතන්ත්‍රයෝ” නෑසුනු කන් ව සිටියහ; ස්ටැලින්ගේ ආයාචනාවන්, ධනපති ආන්ඩුවල සහාය උදෙසා එම රටවල කම්කරු ව්‍යාපාරයන් පාවාදීමේ රූපය ගනු ලැබීය. රුසියාවට එරෙහි භව්‍ය ආක්‍රමනයකට එරෙහි ව විශාල ආරක්ෂක බෆර් කලාපයක් නිර්මානය කරගනුවස්, ස්ටැලින් අවසානයේදී හිට්ලර් සමග ගිවිසුමකට එලැඹුනි.

ආන්තික ප්‍රතිගාමී ක්‍රියාවක් වූ හිට්ලර් සමග ස්ටැලින්ගේ ගිවිසුම, විස්මය ජනක පාවාදීමක් විය. හිට්ලර් සමග ස්ටැලින්ගේ ගිවිසුම පුරෝකථනය කර තිබුනු ට්‍රොට්ස්කි, “හිට්ලර්ට ඔහුගේ යුද පිලිවෙත ගෙන යාම සඳහා සෝවියට් සංගමයේ මිත්‍රශීලී ‘මධ්‍යස්ථතාව’ සමගින් සෝවියට් අමුද්‍රව්‍ය අවශ්‍ය විය.” සෝවියට් සංගමයට එරෙහි ප්‍රතිකර්ෂන රැල්ලක් ජනනය කල මෙම ගිවිසුම, විශේෂයෙන් ම නාසි යකඩ සපත්තුව යටතේ පීඩා විඳිමින් සිටි ජර්මානු කම්කරුවන් ඇතුලු ජාත්‍යන්තර කම්කරු පන්තිය අවමංගත කලේ ය. “කම්කරු පන්තිය ගැන මෙම මහත්වරු කිසිසේත්ම සිතන්නේ නැත” යි ට්‍රොට්ස්කි ලීවේ ය. ඔහු මෙසේ ඉදිරියට ගියේ ය:

'තම ජීවිතය අනතුරේ තබමින් ජාතික සමාජවාදයට (නාසිවාදයට) එරෙහි නීති-විරෝධී අරගලයට නායකත්වය දෙමින් සිටින විප්ලවවාදී ජර්මානු කම්කරුවා, මහා සම්පත් මත විධානය දරන ක්‍රෙම්ලිනය හිට්ලර්ට එරෙහි ව සටන් නො කිරීම පමනක් නො ව, ජාත්‍යන්තර හොරකමේ ක්ෂේත්‍රයේ දී ඔහු සමග වාසිදායක ව්‍යාපාරික ගනුදෙනුවකට එලඹීම ද හිටිවනම දැකගනී. ඔහුගේ මානසික තත්වය තුලට අප මොහොතකට විනිවිදීම අවශ්‍ය ය. ජර්මානු කම්කරුවාට, ඊයේ දිනයේ ඔහුගේ ගුරුවරුන්ගේ මුහුනට කෙල ගැසීමේ අයිතියක් නැද්ද?'

'හිට්ලර්ගේ සැලසුම් අවතක්සේරු කිරීමේ දී ස්ටැලින් කිසිසේත් තනි නො වන බව ද පෙන්වා දෙනු ලැබිය යුතු ය. සෝවියට් සංගමය සමග ගිවිසුමට යන්තම් අවුරුද්දකට පෙර, චෙකොස්ලෝවැකියාව නාසි ගහලයාට භාර දෙමින්, බ්‍රිතාන්‍යය හා ප්‍රන්සය, ජර්මනිය සමග කුප්‍රකට මියුනිච් එකඟතාවට එලැඹුන හ. බ්‍රිතාන්‍ය අගමැතකි නෙවිල් චේම්බර්ලේන් මෙන් ස්ටැලින් ද, කේවලයේ හිට්ලර්ගේ කොටස ඔහු රකිනු ඇතැයි විශ්වාස කිරීම දක්වා තමන් ම රවටා ගත්තේ ය. තව ද අධිරාජ්‍යවාදී බ්‍රිතාන්‍යය හා ප්‍රන්සය අපේක්ෂා කලේ, හිට්ලර් බටහිර දෙසට චලනය වනු වෙනුවට, සෝවියට් කම්කරු රාජ්‍යයට එරෙහි ව යුද්ධය දියත් කරනු ඇති බව යි.'

මෙක්සිකෝවේ පිටුවහලේ හා දේශපාලන විශ්ලේෂනයේ බලයේ ඉහලින් ම සිටි ට්‍රොට්ස්කි, හිට්ලර් ප්‍රදානය කර ඇති ඕනෑ ම සහනයක් “වැඩි ම වුවහොත් තාවකාලික ස්වභාවයක් ගන්නා අතර, ඒවායේ එක ම සහතිකය වන්නේ ‘කොල කෑල්ලකට’ රිබන්ත්‍රොප්ගේ අත්සන තැබීම පමනකැ” යි අනතුරු ඇඟවූයේ ය. බටහිර පෙරමුන සමග ගනුදෙනු බේරා ගැනීමෙන් පසුව, හිට්ලර් සෝවියට් සංගමය ආක්‍රමනය කරනු ඇතැයි, ස්ටැලින්ගේ ඒජන්තයෙකු අතින් ඝාතනය වීමට වසරකට පෙර ට්‍රොට්ස්කි පුරෝකථනය කලේ ය.

හිට්ලර්ගේ 'මයින් කැම්ෆ්' (මගේ සටන) කෘතිය ද, මහා ආර්ය වර්ගය සඳහා වාස භූමියක් නිර්මානය කරනුවස් යුක්‍රේනයේ හා රුසියාවේ ස්ලාවීයානු 'පහත්' ජනවර්ගය (Untermensch) යටත් කර ගැනීම හා යුදෙව්වන් විනාශ කිරීම සහ පෘථිවි තලයෙන් සෝවියට් සංගමය අතුගා දැමීම සඳහා සපථ වෙමින් නායක උතුමානන් (der Führer) කල තෙරක් නැති කෙලතොලු කතා ද, නො තකා හැරීමට ස්ටැලින් හා ඔහු වටා සිටි නිලධාරිවාදී පක්කලියන්ට සිදු විය. ජර්මනිය විසින් සෝවියට් සංගමයට කල ආක්‍රමනය, මොලටොව්-රිබන්ත්‍රොප් ගිවිසුමෙන් වෙන් කල මාස 21 පුරා, ස්ටැලින් අනාක්‍රමනික ගිවිසුම අකුරට ම අනුගමනය කලේ, ආක්‍රමනයක් අත ලඟ බවට යලි යලිත් කල අනතුරු නො තකා හරිමිනි.

ක්‍රේමර් තකතීරු ලෙස ලියන පරිදි, හිට්ලර්-ස්ටැලින් අනාක්‍රමනික ගිවිසුම හුදෙක් “බිඳ වැටුනා” නො වේ. බාබරෝසා මෙහෙයුම නමැති ලෝක ඉතිහාසයේ විශාලතම ආක්‍රමනයෙහි රූපයෙන් හිට්ලර් එය කඩ කලේ ය. ස්ටැලින්ගේ සියලු පාවාදීම් තිබිය දී ම, හිට්ලර්ගේ සැලසුම්වල කේන්ද්‍රීය ඉලක්කය වූයේ සෝවියට් සංගමය යි. යුද්ධයේ දී මිලියන 40ක් වන සෝවියට් පුරවැසියන් මරා දැමීම ගැන හෝ නාසීන් හා යුක්‍රේන ෆැසිස්ට්වාදීන් -අද දින කීව් පාලන තන්ත්‍රය හා එහි හමුදාව තුල සිටින ෆැසිස්ට්වාදීන්ගේ ඍජු උරුමකරුවන්- විසින් යුක්‍රේනියානු යුදෙව්වන් 900,000ක් ඝාතනය කිරීම ගැන ක්‍රේමර් කිසිවක් සඳහන් නො කරයි. තවත් යෝධ වැදගත්කමකින් යුත් කරුනක් ටයිම්ස් නො තකා හරී: එනම්, හොලෝකෝස්ටය ඇතුලු නාසි පාලන තන්ත්‍රයේ වඩාත් ම ගොරතර අපරාධවලට වේදිකාව සකස් කලේ ජර්මනිය විසින් සෝවියට් ආක්‍රමනය කිරීම බව යි.

ස්වස්තික කටුසිතුවම්, ජර්මානු මලකඳන්, දශක ගනන් පැරනි යුද අගල් සහ තවත් එවැනි දේ ඇතුලු දෙවන ලෝක යුද්ධයෙහි ඉතුරු පහදු වර්තමාන ගැටුමේ දී අනාවරනයවීම, ක්‍රේමර්ගේ ලිපියෙහි ඉතිරි කොටස තුල මතකයට නංවයි. එවැනි සොයාගැනීම් පිලිබඳ ඔහුගේ සන්තෘප්තිය හෝ, දශක ගනනාවකට පෙර සෝවියට් සංගමය මතට නාසි ආක්‍රමනයෙහි ප්‍රහාරය වර්තමාන සටන විසින් සුපිරිසුදු ලෙස පිලිබිඹු කිරීම ගැන ඔහුගේ උද්‍යෝගය සැඟවීමට ක්‍රේමර්ට නො හැක.

යුක්‍රේනියානු මිලිටරිය “මෙලිටොපෝල් දිශාව” යනුවෙන් කියන, සැපොරිෂ්ෂියා ප්‍රදේශයෙන් ගිනිකොනදිගට වන්නට පිහිටි ප්‍රදේශවල සටන් වදින යුක්‍රේනය, දැන් දෙවන ලෝක යුද්ධයේ (නාසි) ප්‍රහාරය පුනර්කරනය කරමින් සිටී. දශක අටකට පෙර දී වූවාක් මෙන්, දැනුදු මූලෝපායික අරමුන එක ම ය-එනම්, සතුරු සොල්දාදුවන් කෙර්සන් කලාපය තුල හුදකලා කොට ක්‍රිමියාවට තර්ජනය කිරීම යි...

රුසියානුවන් හා යුක්‍රේනියානුවන් යන දෙගොල්ලන්ගේ ම මිලියන ගනනක් අඩංගු කරගත්, රතු හමුදාවේ සෝවියට් පිරිමි සහ ගැහැනු, දෙවන ලෝක යුද්ධයෙහි “සතුරු සොල්දාදුවන්” ලෙස ක්‍රේමර් විසින් දැකගනී. වොෂින්ටනය, බර්ලිනය, ලන්ඩනය සහ ඔවුන්ගේ නැටෝ සගයන් විසින් මුලුමනින් ම සන්නද්ධ කරනු ලබන වර්තමාන යුක්‍රේනියානු හමුදාව වේහ්මැක්ට් (හිට්ලර්ගේ හමුදාවේ -පරිවර්තක) උරුමකරුවන් ලෙස ඉදිරිපත් කිරීම ගැන ඔහුට ලැජ්ජාවක් නො දැනේ.

බයිඩන් පරිපාලනය සහ එහි නැටෝ සගයින් මෙන් ම, ටයිම්ස් පත්‍රය ද යුක්‍රේනය තුල වක්‍ර යුද්ධයට “මුලුමනින් කැප වී” සිටී. ඇමරිකානු ලිබරල්වාදයේ ප්‍රධාන උපකරනය ලෙස, එහි සුවිශේෂී භූමිකාව වන්නේ, “ප්‍රජාතන්ත්‍රවාදය සඳහා සටන් කිරීම” සම්බන්ධයෙන් ධවල මන්දිරයේ වෘත්තීන් පිලිබඳ ව සහජාසීයව සැකයෙන් බලන මහජනයාට යුද්ධය විකිනීම යි. ටයිම්ස් පුවත්පත, දශක ගනනාවක් තිස්සේ එම වෘත්තීන් සම්බන්ධයෙන් එවන් ව්‍යාජ කියාපෑම්වල යෙදී සිට ඇත. වොෂින්ටනයේ අධිරාජ්‍යවාදී ඉලක්ක වෙනුවෙන් සදාකාලික ව සේවයේ යෙදී සිටින ටයිම්ස්, පුටින් යනු දුෂ්ටත්වයේ ප්‍රතිමූර්තිය ලෙස කියා පාමින් එහි පිටු පුරවා ඇත. ටයිම්ස් විසින් දුෂ්ටත්වයේ ප්‍රතිමූර්තීන් ලෙස කියා පෑ, හුසේන්, අසාද්, ගඩාෆි, මිලොසෙවිච් සහ නොරියේගා යනාදීන්ගේ ලැයිස්තුවේ නවතමයා පුටින් ය. ඒ සමගම, රුසියාව යුක්‍රේනයට කල ආක්‍රමනය මුලුමනින් ම අප්‍රකෝපිත ක්‍රියාවක් බව ද එය දිගින් දිගටම කියා පායි.

රුසියාව හා පැරනි සෝවියට් සංගමය තුල ධනවාදය පුනස්ථාපනය කිරීම ටයිම්ස් පත්‍රය විසින් සමරනු ලබද්දී පවා, දශක ගනනක් තිස්සේ පුටින්ට, ඔහුගේ ආන්ඩුවට හා එය නියෝජනය කරන ප්‍රතිගාමී පන්ති බලවේගයන්ට, ලෝක සමාජවාදී වෙබ් අඩවිය අශමනීය ලෙස විරුද්ධ වී ඇත. අපි පුටින්ගේ ප්‍රතිගාමී ආක්‍රමනයට විරුද්ධ වෙමු. එහෙත් එය “අප්‍රකෝපිත” නො වී ය. මෙම ආක්‍රමනය, නැටෝවෙහි ප්‍රසාරනයට දැක්වූ මංමුලා සහගත ප්‍රතිචාරයක් විය. නැටෝ-ගැති මූලෝපායඥයන් ගනන් නැති පිරිසක් විසින් විවෘත ව සඳහන් කර ඇති පරිදි, වොෂින්ටනය උත්සාහ දරන්නේ මොස්කෝව තුල තන්ත්‍ර මාරුවක් සිදු කර, රුසියාව කැබලි කරනුවස් යුද්ධය යොදාගැනීමට යි.

යුක්‍රේනියානු පාලන තන්ත්‍රයෙහි ස්වභාවය හා ගුනාංගයන් මුසාකරනය කිරීමේ කර්තව්‍යය ද ටයිම්ස් වෙත පවරනු ලැබ තිබේ. ලෝකයේ සියලු දෙනාට දැකගත හැකි පරිදි විවෘත ලෙස කීව් පාලනය ෆැසිස්ට්වාදය වැලඳගන්නා තතු තුල මෙම කාර්යය අසීරු ය. රුසියානුවන් හා යුක්‍රේනියානුවන් යන දෙගොල්ලන් ම “ශ්‍රේෂ්ඨ දේශප්‍රේමී යුද්ධය” ලෙස දැන සිටින අරගලයක් තුල නාසි ආක්‍රමනිකයන්ට එරෙහි සටන් වැදුනු සෝවියට් සොල්දාදුවන්ගේ ස්මාරක කෙලෙසමින් හා විනාශ කරමින් පවතිද්දී, නාසි සහයෝගිතාකරුවෙකු වූ ස්ටෙපාන් බන්ඩේරාට කැප කරන ස්මාරක ඉදිකරනු ලැබේ. ඇසොව් බලකාය යන යුක්‍රේනයෙහි වඩාත් ම සැමරුමට ලක්වන සටන් බලවේගය, විවෘත ව සුදු අධිපතිවාදී හා නාසි-ගැති සංවිධානයක් වේ.

යුද්ධයෙහි පලමු වසරේ දී, අපහසුතාවන් ඇති කරන එවන් සත්‍යයන් වසන් කිරීමට ටයිම්ස් උත්සාහ කලේ ය. ටයිම්ස්හි යුද-ගැති ප්‍රචාරනය, දැන් නාසි-ගැති ක්ෂමාලාපයන්ට මාවත පාදා ඇත. ජෝසෆ් ගොබෙල්ස්ට ගැලපෙන ආකාරයකින්, ක්‍රේමර් දෙවන ලෝක යුද්ධය පිලිබඳ අර්ථකථනයක් පාඨකයන්ට ඉදිරිපත් කර ඇත. විල්නියස් නුවර දී මෑත පැවති නැටෝ සමුලුවේ දී, ලිතුවේනියාව තුල හොලෝකෝස්ටය ගැන බටහිර මාධ්‍ය අනුගමනය කල ආන්තික නිශ්ශබ්දතාව සහ යුක්‍රේනියානු සොල්දාදුවන් නාසි ඇඳුම් ආයිත්තම් පැලඳීම ගැන ටයිම්ස්හි ක්ෂමාලාප ඔහුගේ ලිපි විසින් අනුගමනය කරයි.

ටයිම්ස් පත්‍රය විසින් දෙවන ලෝක යුද්ධයෙහි ඉතිහාසය යලි ලිවීම සිදුව ඇත්තේ අහම්බෙන් නො වේ. 1619 ව්‍යාපෘතියේ දී, එය ඇමරිකානු ඉතිහාසය වර්ගවාදී ලෙස මුසාකරනය කල පරිදි, ටයිම්ස් හේත්තු වී සිටින්නේ -යේල් විශ්ව විද්‍යාලයේ හිටපු-ඉතිහාසඥයෙකු හා වර්තමානයේ ප්‍රචාරක විශේෂඥයෙකු වන තිමති ස්නයිඩර් විසින් ආදර්ශනය කරන ආකාරයේ- මූලධර්ම විරහිත ශාස්ත්‍රාලිකයන් ගනනාවකට සහ ඉතිහාස වෘත්තියේ යෙදෙන බොහෝ අයගේ ඒකාබද්ධතාව හෝ නිශ්ශබ්දතාවට ය. ඇත්ත වසයෙන් ම, රාජ්‍ය දෙපාර්තමේන්තුවේ විධානය පරිදි ඉතිහාස-රචනය කරන ස්නයිඩර් වැනි පුද්ගලයන් හෝ ජර්මනියේ හුම්බෝල්ඩ්ට් විශ්ව විද්‍යාලයේ හිට්ලර්ගේ ආසක්තයෙක් වන ජෝජ් බාබරොව්ස්කි හෝ දැනට ඇසොව් බලකාය විවෘත ව උත්කර්ෂයට නංවන ස්ටැන්ෆෝඩ් විශ්ව විද්‍යාලයේ නව-ලිබරල්වාදී ෆ්‍රැන්සිස් ෆුකුයාමා වැන්නන්, අධිරාජ්‍යවාදී යුද්ධයෙහි සේවයට කැඳවීම පුදුමයක් විය යුතු නැත.

දෙවන ලෝක යුද්ධය ගැන පොදුවේත්, යුක්‍රේනය තුල ව්‍යසනය ගැන විශේෂයෙනුත් යමක් දන්නා රුසියාවේ හා සෝවියට් සංගමයේ “සංශෝධනවාදී” සහ “වාම” ඉතිහාසඥයන්ගේ සේනාව සිටින්නේ කොහි ද? ධෛර්යසම්පන්න ව්‍යතිරේකයන් කිහිපයක් පැවතී තිබුන ද බොහෝ දෙනා රුසියාවට එරෙහි නැටෝ වක්‍ර යුද්ධයට උ‍ද්‍යෝගයෙන් සුභපතා ඇත. රුසියානු අධ්‍යයනයන් පිලිබඳ නායක ශාස්ත්‍රාලික සංගමය වන ස්ලාව්, නැගෙනහිර යුරෝපීය හා යුරේසියානු අධ්‍යයන සංගමය (ඒඑස්ඊඊඊඑස්) ඉදිරියේ එන එහි වාර්ෂික සමුලුව නාභිගත කර ඇත්තේ රුසියාව “විජිතහරනය” කිරීම පිලිබඳ ව ය. සීඅයිඒ හෝ පෙන්ටගනය එයට වෙනත් නමක් දෙනු ඇද්ද? මැකාති යුගයේ නටබුන් සමගින් වරෙක මියගිය හා වල දමන ලදැයි උපකල්පනය කෙරුනු නින්දිත ම රුසියානු-විරෝධී සහ “සෝවියට්වේදී” රූපකවලට, යුද්ධයේ ආවරනය යටතේ යලි පන දෙනු ලැබෙමින් පවතී.

ක්‍රේමර් විසින් සත්‍යයක විලාසයෙන් ඇඟේ ගසන කියාපෑම -එනම්, දෙවන ලෝක යුද්ධය ආරම්භ කලේ සෝවියට් සංගමයය යන්න- වසර කිහිපයකට පෙරදීනම් ඉතිහාසඥයන්ගේ හෙලාදැකීම් රැල්ලක් ජනනය කල හැකි ව තිබුනි. හොලෝකෝස්ටය හා සෝවියට් පුරවැසියන් මහා පරිමානයෙන් මරා දැමීම පිලිබඳ ඔහුගේ ලිපියේ නිශ්ශබ්දතාව ගැනත් එලෙස ම වන්නට තිබුනි. එහෙත් 2023 දී, ඓතිහාසික මුසාකරනයන් හා විකෘති කිරීම් දවසේ ආධිපත්‍යය දරයි. අවමන් කිරීම්වලින් වඩාත් දැරිය නො හැකි දෙය වන්නේ සංශයවාදය යි.