ඉදිරිදර්ශන

ලෝක ඉතිහාසයේ කේන්ද්‍රයේ පවතින දිවයිනක්: ට්‍රොට්ස්කි ප්‍රින්කිපෝහිදී

[මෙය An Island at the Center of World History: Trotsky on Prinkipo යන මැයෙන් 2023 අගෝස්තු 20 පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]

පහත දැක්වෙන්නේ, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත් විසින් අගෝස්තු 20 ඉරිදා පැවති “ලෝක ඉතිහාසයේ කේන්ද්‍රයේ පවතින දිවයිනක්: ට්‍රොට්ස්කි ප්‍රින්කිපෝ හිදී” යන තේමාවෙන් පැවති උත්සවයේදී කරන ලද කතාවයි. එය පැවැත්වූයේ තුර්කියේ ඉස්තාන්බුල් වෙරලට ඔබ්බෙන් වූ මාමරා මුහුදේ දූපතක් වන ප්‍රින්කිපෝ හිදී ය.

අනුස්මරන උත්සවයේදී, 1929 සිට 1933 දක්වා ට්‍රොට්ස්කි එම දිවයිනේ ගතකල සිව් අවුරුදු පිටුවාහල් ජීවිතයට ගෞරවය පුද කෙරුනි. තුර්කිය පුරා ප්‍රදේශවලින් 160 කට වැඩි පිරිසක් පුද්ගලිකව සහභාගී වූ අතර එය ලොව පුරා නරඹන්නන් වෙත සජීවීව විකාශනය කරන ලදී. Trotsky.com සබැඳියෙන් සම්පූර්න පටිගත කිරීමට ප්‍රවේශ විය හැක.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සහ ලොව පුරා සිටින එහි සාමාජිකයින් ද ආධාරකරුවන් ද වෙනුවෙන්, ලියොන් ට්‍රොට්ස්කිගේ ජීවිතයට මෙම වැදගත් උපහාර දැක්වීමට අනුග්‍රහය දීම සම්බන්ධයෙන් නගරාධිපති අර්ඩම් ගුල් සහ ඇඩලාර් නගර සභාවේ සභාපති ඉස්කෙන්ඩර් ඔස්ටුරන්ලි වෙත අපගේ කෘතඥතාව ප්‍රකාශ කිරීමට මට ඉඩ දෙන්න. අද දින උත්සවය මෙහෙයවීමට එකඟ වීම ගැන, ආචාර්ය මෙමෙට් ඇල්කන් වෙත ස්තූතිය පුද කිරීමට ද කැමැත්තෙමි. ට්‍රොට්ස්කි ප්‍රින්කිපෝහි ගත කල කාලය සැමරීමේ හැකියාව පිලිබඳව සාකච්ඡා කිරීමට 2022 නොවැම්බරයේදී මම නගරාධිපති ගුල් සහ සභාපති ඔස්ටුරන්ලි හමුවී ගත වී ඇත්තේ යන්තම් මාස නවයකට වැඩි කාලයකි. ඔවුන් එම යෝජනාව සාදරයෙන් පිලිගත් අතර, යෝජනාව ක්‍රියාකාරී සැලැස්මක් බවට පරිවර්තනය කිරීමට ඉමහත් හෘදයාංගම ආකරයකින් කටයුතු කර තිබේ; අද රැස්වීම එහි ප්‍රතිඵලයකි.

ප්‍රින්කිපෝ හි පැවති ට්‍රොට්ස්කි අනුස්මරණයේදී ඩේවිඩ් නෝර්ත්ගේ ප්‍රකාශය

එසේම, මෙම රැස්වීම ට්‍රොට්ස්කිගේ ජීවිතයේ ඛේදනීය අවසානය ද සිහිපත් කරයි. හරියටම වසර 83 කට පෙර, 1940 අගෝස්තු 20 දා, ස්ටැලින්වාදී මිනීමරුවෙකු විසින් මෙක්සිකෝ නගරයට යාබද කොයෝවාකාන්හිදී ට්‍රොට්ස්කි මාරාන්තික ප්‍රහාරය එල්ල කරන ලදී. පසු දින ඔහු මිය ගියේය. ට්‍රොට්ස්කිට එල්ල වූ ප්‍රහාරය එක් මිනිසෙකුට පමනක් එල්ල කල ප්‍රහාරයක් නොවීය. එය ජාත්‍යන්තර කම්කරු පන්තියට, සමාජවාදය සඳහා වූ අරගලයට සහ ධනේශ්වර පීඩනයෙන් මනුෂ්‍ය වර්ගයා මුදා ගැනීමට එරෙහිව මෙහෙයවුනු ප්‍රතිවිප්ලවවාදී ප්‍රචන්ඩත්වයේ සාපරාධී ක්‍රියාවකි.

විප්ලවවාදී නායකයා ඝාතනය කරන ලදී. එහෙත් ඔහු විසින් පිහිටුවන ලද පක්ෂය, හතරවන ජාත්‍යන්තරය, නොනැසී ජීවත් විය. ඔහු සටන් කල ලෝක සමාජවාදී විප්ලවයේ ජයග්‍රහනය පිලිබඳ අභිප්‍රාය වඩ වඩාත් ශක්තිමත් වෙමින් අඛන්ඩව ඉදිරියට යයි.

මෙම අනුස්මරන උත්සවය පවත්වනු ලබන්නේ “.ලෝක ඉතිහාසයේ කේන්ද්‍රයේ පවතින දිවයිනක්: ට්‍රොට්ස්කි ප්‍රින්කිපෝහිදී” යන සිරස්තලය යටතේ යි. මෙම මාතෘකාව අල්පයකින් හෝ අතිශයෝක්තියක් නොවේ. 1929 පෙබරවාරියේ ට්‍රොට්ස්කිගේ පැමිනීමේ සිට 1933 ජූලි මාසයේදී ඔහුගේ නික්ම යාම දක්වා, මෙම දිවයින, ඔහුගේ කාලයේ සිටි ශ්‍රේෂ්ඨතම මාක්ස්වාදී න්‍යායාචාර්යවරයාට සහ විප්ලවවාදී නායකයාට රැකවරනය සැපයීය. එපමනක් නොව, මෙම වසර හතර ඉමහත් ඓතිහාසික ප්‍රතිවිපාකවලින් යුක්ත විය. ට්‍රොට්ස්කි ප්‍රින්කිපෝවට පිටුවාහල් කිරීම අතරතුර, 20 වැනි සියවසේ අනාගත ගමන් මග තීරනය කල සිද්ධීන් දෙකක් සිදු විය: ඒවා නම්, ලෝක ආර්ථික අවපාතයේ ආරම්භය සනිටුහන් කරමින් 1929 ඔක්තෝම්බරයේ වෝල් වීදියේ කඩාවැටීම සහ 1933 ජනවාරියේ හිට්ලර් බලයට පත්වීමෙන් කූටප්‍රාප්තියට පත්වූ ජර්මනියේ නාසි පක්ෂයේ පිපිරුම්සහගත වර්ධනය යි. ට්‍රොට්ස්කි මෙම සිදුවීම් සහ ඒවායේ ඇඟවුම් පිලිබඳව කල විශ්ලේෂනය අසමසම විය. කුඩා දූපතක ජීවත් වෙමින්, දුරකථනයකට නිසි ප්‍රවේශයක් නොමැතිව, සති කිහිපයක් ගත වී තමන්ට ලැබුනු පුවත්පත් සහ ලිපි වලින් ලෝක ප්‍රවෘත්ති අනුයමින්, සිදුවීම් ග්‍රහනය කර ගැනීමට පැවති හැකියාව අතින් ට්‍රොට්ස්කි ඔහුගේ සමකාලීනයන් සියලුදෙනා අභිබවා සිටියේය. භූගෝලීය බාධකවලට, ඔහුගේ නිරීක්ෂන ශක්තිය සහ මුලොපායික දැක්ම සීමා කල නොහැකි විය.

උලාස් අටෙසි, ඩේවිඩ් නොර්ත්, ආචාර්ය මෙමෙට් ඇල්කන්

ට්‍රොට්ස්කි තුර්කියට පැමිනියේ ස්වේච්ඡාවෙන් නොවේ. 1928 ජනවාරියේ සිට, රුසියානු කොමියුනිස්ට් පක්ෂයෙන් සහ කොමියුනිස්ට් ජාත්‍යන්තරයෙන් නෙරපා හැරීමෙන් පසුව, ඔහු සෝවියට්දේශයට අයත් කසකස්තානයේ අල්මා අටාවට පිටුවහල් කරන ලදී. මොස්කව් සිට සැතපුම් දහස් ගනනකින් දුරස් වන ට්‍රොට්ස්කි, 1923 ඔක්තෝම්බර් මාසයේදී පිහිටුවන ලද වාම විපාර්ෂවයට නායකත්වය සැපයීමට නොහැකි තරම් හුදෙකලා වනු ඇතැයි ස්ටැලින් බලාපොරොත්තු විය.

එහෙත් වාම විපාර්ෂවය වෙත එල්ල වූ ම්ලේච්ඡ තාඩන පීඩනවලට එහි බලපෑම විනාශ කල නොහැකි විය. කොමියුනිස්ට් පක්ෂයේ සහ සෝවියට් රාජ්‍යයේ නිලධාරිකරනය, කම්කරු ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතිරිව තිබූ සියලු ශේෂයන් විනාශ කිරීම සහ ස්ටාලින්ගේ “තනි රටේ සමාජවාදය” නමැති අත්තනෝමතික වැඩපිලිවෙලේ විනාශකාරී දේශපාලන හා ආර්ථික ප්‍රතිවිපාක පිලිබඳ ට්‍රොට්ස්කිගේ විවේචනය—එනම්, ඔක්තෝබර් විප්ලවය පදනම් වූ ජාත්‍යන්තරවාදී නොනවතින විප්ලව වැඩපිලිවල ප්‍රතික්ෂේප කිරීම—සිදුවීම් මගින් නැවත නැවතත් සනාථ විය.

1928 දෙසැම්බර් 16 දා, ට්‍රොට්ස්කිට, තම දේශපාලන ක්‍රියාකාරකම් අත් නොහරින්නේ නම්, ඔහු ශාරීරිකව හුදකලා කිරීමට තව දුරටත් පියවර ගන්නා බවට, සෝවියට් රහස් පොලිසිය වන ජීපීයූ හි විශේෂ දූතයෙකු වෙතින්—ඇත්ත වශයෙන්ම නම්, ස්ටාලින්ගෙන්—අනතුරු ඇඟවීමක් ලැබුනි. කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව සහ කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ විධායක සභාව වෙත ලිඛිත පිලිතුරක් සපයමින්, ට්‍රොට්ස්කි වහාම මෙම තර්ජනයට ප්‍රතිචාර දැක්වීය:

දේශපාලන ක්‍රියාකාරකම්වලින් මා වැලකී සිටිය යුතු බවට කෙරෙන විධානය, ජාත්‍යන්තර නිර්ධන පංතියේ අවශ්‍යතා සඳහා වන අරගලයත්, මගේ සවිඥානික ජීවිත කාලය පුරාවට තිස් දෙවසරක් තිස්සේ නොකඩවා ගෙන ගිය අරගලයත් අත්හරින ලෙස විධානයකි. මෙම ක්‍රියාපටිපාටිය 'ප්‍රති-විප්ලවවාදී' ලෙස නිරූපනය කිරීමේ උත්සාහය පැමිනෙන්නේ, මාක්ස්ගේ සහ ලෙනින්ගේ ඉගැන්වීම්වල මූලික මූලධර්ම උල්ලංඝනය කරමින්, ලෝක විප්ලවයේ ඓතිහාසික අවශ්‍යතා කඩකරමින්, ඔක්තෝම්බරයේ සම්ප්‍රදායන් සහ ශික්ෂාවන් ප්‍රතික්ෂේප කරමින් සහ නොදැනුවත්වම, එහෙත් වඩාත් භයානක ලෙස තර්මිඩෝරය සූදානම් කරමින් [කම්කරුවන්ගේ රාජ්‍යය විනාශ කරමින්] ක්‍රියාකරන අයගෙන් බවට ජාත්‍යන්තර නිර්ධන පංතිය ඉදිරියේ මම චෝදනා කරමි.

දේශපාලන ක්‍රියාකාරකම්වලින් වැලකී සිටීම, කොමියුනිස්ට් පක්ෂයේ වර්තමාන දිශානතියේ අන්ධභාවයට එරෙහි අරගලය අවසන් කිරීම හා සමාන වනු ඇත; එමගින් සිදුවනු ඇත්තේ, සමාජවාදී නිර්මානාත්මක කාර්යයේ වෛෂයික දුෂ්කරතා වලට, නිර්ධන පන්තික ප්‍රතිපත්තිය ගෙනයාමට කොමියුනිස්ට් පක්ෂයට පවතින අවස්ථාවාදී දේශපාලන නොහැකියාව නිසා වඩවඩාත් පුලුල් වන දේශපාලන දුෂ්කරතා ද, සුවිසල් ඓතිහාසික පරිමානයකින් එකතු වීමයි.

සිය අනම්‍ය මාක්ස්වාදී සතුරා ඝාතනය කිරීමට ඒ වන විට නොහැකි ව, මෙම දෘඩතරභාවයට අභිමුඛව සිටි ස්ටැලින් කල්පනා කලේ ට්‍රොට්ස්කි සෝවියට් සංගමයේ භූමියෙන් සම්පූර්නයෙන් ඉවත් කිරීමෙන් නිලධාරි තන්ත‍්‍රයේ මෙම ප්‍රබල විරුද්ධවාදියා තුරන් කර දැමීමට හැකිවනු ඇති බවයි.

1929 ජනවාරි 18 දා, ස්ටැලින්ගේ නියෝග ක්‍රියාත්මක කරන ජීපීයූව, ට්‍රොට්ස්කි සෝවියට් සංගමයෙන් පිටුවහල් කරන බවට නිවේදනය කලේය. මෙම තීරනය ගැන දැනුම් දීමෙන් පසු ට්‍රොට්ස්කි එය හෙලා දුටුවේ, 'හරයෙන් සාපරාධී සහ රූපයෙන් නීති විරෝධී' ක්‍රියාවක් ලෙස ය.

ට්‍රොට්ස්කි ද, ඔහුගේ බිරිඳ නතාලියා සෙඩෝවා සහ පුත් ලෙව් සෙඩොව් ද දින 22ක් කිලෝමීටර් 6,000කට ආසන්න දුරක් වෙහෙසකර ගමනක යෙදීමෙන් පසු, පෙබරවාරි 12 දා, ඒ මහා විප්ලවවාදියා, එවන විටත් කොන්ස්තන්තිනෝපල් ලෙස හැඳින්වූ නගරයට සේන්දු විය. ඔහුට වීසා බලපත්‍රයක් ලබා දී ඇත්තේ තුර්කියේ ජනාධිපති කෙමාල් අටටර්ක් විසිනි. බෝට්ටුවෙන් ගොඩ බැසීමට පෙර ම ට්‍රොට්ස්කි, ජනාධිපතිට ආමන්ත්‍රනය කල ප්‍රකාශයක් රජයේ නිලධාරියෙකුට භාර දුන්නේය. එහි මෙසේ සඳහන් විය:

හිතවත් මහත්මයානෙනි: මම තුර්කි දේශසීමාවට පැමිනියේ මගේ කැමැත්තෙන් නොවන බවත්, මට මෙම දේශසීමාව තරනය කිරීමට සිදුව ඇත්තේ බලහත්කාරය නිසා පමනක් බවත් කොන්ස්තන්තිනෝපල් හි දොරටුව අසලදී, ඔබට ගෞරවයෙන් දැනුම් දෙමි. ජනාධිපතිතුමනි, මගේ මම ඔබෙන් කෘතඥතා හැඟුම් පිලිගන්නා ලෙස ඉල්ලා සිටිමි.

එල්. ට්‍රොට්ස්කි. 1929 පෙබරවාරි 12

ට්‍රොට්ස්කි සිය පිටුවහල් ජීවිතයේ පලමු සති කිහිපය ඉස්තාන්බුල් හි ගත කලේය. මාර්තු මාසයේ ප්‍රින්කිපොවේ පදිංචිවූ ඔහු, කෙටි අවස්ථා කිහිපයක හැර, 1933 ජූලි මාසය දක්වා දිගටම එහි සිටියේය.

ට්‍රොට්ස්කි ජීපීයූවේ සෘජු අනසකට යටත් සීමාවෙන් පිටත තැබීම, බරපතල වැරදි ගනන් බැලීමක් බව ස්ටැලින් ඉක්මනින්ම වටහා ගත්තේය. නමුත්, එසේ නම්, ට්‍රොට්ස්කිව සෝවියට් සංගමයෙන් පිටුවහල් කිරීමෙන් දේශපාලනිකව අසරන කල හැකි යැයි 1928 අගභාගයේදී ස්ටැලින් විශ්වාස කලේ මන්ද? පිලිතුර පවතින්නේ ස්ටැලින්ගෙන් පුද්ගලාරෝපිත වූ ම්ලේච්ඡ පාලන තන්ත‍්‍රයේ ස්වභාවය තුල ය. ස්ටැලින් විසින් ක්‍රියාත්මක කරන ලද බලය දැවැන්ත නිලධර යාන්ත්‍රනයක බලය විය. ස්ටැලින් නිලධරය හරහා පාලනය කලේය. ඔහු රහස් පොලිසිය හරහා තම බලපෑම ක්‍රියාත්මක කලේය. ඔහු තම විරුද්ධවාදීන්ට පිලිතුරු දුන්නේ අදහස් හා තර්කවලින් නොව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවලින් සහ මරන දන්ඩනයෙනි.

බලයේ සියලු සාම්ප්‍රදායික මෙවලම් අහිමි වුවද, ට්‍රොට්ස්කි තවමත් කම්කරු පන්තියේ සහ සමාජවාදී බුද්ධිමතුන්ගේ වඩාත්ම වැඩිදියුනු කොටස්වල අවධානය දිනා ගත්තේය. ට්‍රොට්ස්කි හුදු පිටුවහල් කල පුද්ගලයකු පමනක් නොවීය. ඔහු තුලින් මූර්තිමත් වූයේ, සෝවියට් සංගමයේ, අධිරාජ්‍යවාදී මධ්‍යස්ථානවල සහ නොසන්සුන් යටත් විජිතවල නව විප්ලවවාදී නැගිටීමක් හරහා කම්කරු පන්තිය බලය අත්පත් කර ගැනීමෙන් ඇතිකල හැකිව තිබූ විප්ලවවාදී කම්කරුවන්ගේ පිටුවහල් ආන්ඩුවයි.

සෑම අධිරාජ්‍යවාදී රටකටම, ට්‍රොට්ස්කි පිලිගත නොහැකි පුද්ගලයෙකු වූයේ මේ හේතුව නිසා ය. 1933 වන තෙක් ට්‍රොට්ස්කිට ප්‍රංශයට ඇතුලු වීමට වීසා බලපත්‍රයක් ලබා දුන්නේ නැත, පසුව වීසා ලබා දුන්නේ ද බොහෝ බාධා පැනවූ කොන්දේසි යටතේ පමනි.

ට්‍රොට්ස්කි ප්‍රින්කිපෝව විස්තර කලේ “සාමයේ සහ අමතක වීමේ දූපතක්” ලෙස සහ “විශේෂයෙන් සරත් සෘතුවේ සහ ශීත ඍතුවේ දී දිවයින සම්පූර්නයෙන්ම පාලුවට ගොස් උද්‍යානයේ කැලෑ වටුවන් දිස්වන විට, පෑනත් සමඟ වැඩ කිරීමට කදිම ස්ථානයක්,” ලෙස ය. ඇත්ත වශයෙන්ම, ප්‍රින්කිපෝ හි ගත කල කාලය තුල ඔහුගේ පෑනෙන්, අසාමාන්‍ය දීප්තිමත් කෘති ගලා ආවේය.

ට්‍රොට්ස්කි ලෝක සාහිත්‍යයේ සැබෑ විශිෂ්ටතම කෘති නිර්මානය කලේය: ඔහුගේ වෙලුම් තුනකින් යුත් රුසියානු විප්ලවයේ ඉතිහාසය සහ සියලු දේශපාලන ස්වයං චරිතාපදාන අතරින් ඉතාම අලංකාර ලෙස ලියා ඇති, මනස්කාන්ත, ඓතිහාසිකව වෛෂයික සහ සත්‍යවාදී මගේ ජීවිතය ඒ අතර වේ. පොතේ “ආත්මීයවාදය” හෙලා දුටු ස්ටැලින්වාදී අනුචරයන් තට්ටුවක විවේචකයන්ට පිලිතුරු දෙමින්, ට්‍රොට්ස්කි, තමන් ගැන සඳහන් නොකර ස්වයං චරිතාපදානයක් ලිවීමට කිසිදා කතුවරයකු සමත් වී නැති බව ලුහුඬින් සටහන් කලේය.

එහෙත්, මෙම කෘතීන් දෙකෙහි සියලු දීප්තිමත් හා කල්පවත්නා ස්වභාවය තිබියදී ම, ඍජු දේශපාලන අර්ථයකින් ගත් කල ජර්මනියේ දිග හැරෙමින් තිබූ සිදුවීම් පිලිබඳ ට්‍රොට්ස්කිගේ විවරනයන් නිසා තරමක් ආවරනයවී තිබේ. ජර්මනියෙන් කිලෝමීටර් 2,000 කින් ඈත්ව සිට ට්‍රොට්ස්කි ලියූ, නාසි ව්‍යාපාරයේ ශීඝ්‍ර වර්ධනය පිලිබඳ විශ්ලේෂනය, එනම්, ෆැසිස්ට්වාදයේ අනතුර හමුවේ, ජර්මානු කම්කරු පන්තියේ බහුජන සංවිධාන වූ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී හා කොමියුනිස්ට් පක්ෂ දෙකෙහිම දේශපාලන බියගුලුකම පිලිබඳ ඔහුගේ දරුනු චෝදනාව අසමසම විය. නාසි ජයග්‍රහනයක ප්‍රතිවිපාක පිලිබඳව අනතුරු ඇඟවූ ඔහු හිට්ලර් බලයට පත්වීම වැලැක්වීම සඳහා කම්කරු පන්තික පක්ෂ හා සංවිධානවල එක්සත් පෙරමුනක් ඉල්ලා සිටියේය.

1931 දී ට්‍රොට්ස්කි මෙසේ ලීවේය: 'කම්කරු-කොමියුනිස්ට්වාදියනි, ඔබ ලක්ෂ ගනනකි, මිලියන ගනනකි; ඔබට කොතැනකටවත් පිටව යා නොහැක; ඔබට ප්‍රමානවත් විදේශ ගමන් බලපත්‍ර නොමැත. ෆැසිස්ට්වාදය බලයට පැමිනියහොත්, එය භයානක යුද ටැංකියක් මෙන් ඔබේ හිස් කබල සහ කෂේරුකාව මතින් ගමන් කරනු ඇත. ඔබේ ගැලවීම පවත්නේ නිර්දය අරගලය තුල ය. එමෙන්ම ජයග්‍රහනය කරා යා හැක්කේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරුවන් සමග සටන් කරන එකමුතුවකට පමනි. කම්කරු-කොමියුනිස්ට්වාදියනි, යුහුසුලු වන්න, ඔබට ඉතිරිව ඇත්තේ ඉතා සුලු කාලයකි.'

ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය 'සමාජ ෆැසිස්ට්වාදී' පක්ෂයක් යයි හෙලා දුටුවේය. එයින් අදහස් කලේ, කම්කරු පන්තියේ මහජන ප්‍රතිසංස්කරනවාදී සංවිධානය ද සමාජවාදී හා කොමියුනිස්ට් සංවිධානවල සම්පූර්න විනාශය සඳහා කැප වී සිටින, දේශපාලනිකව ව්‍යාකූල සහ ප්‍රතිගාමී සුලු ධනේශ්වරයේ මිලියන ගනනකගේ සහාය ලබන නාසි පක්ෂය ද අතර වෙනසක් නොමැති බවයි. ස්ටැලින්වාදී සංවිධානය, නාසීන්ට එරෙහිව ඒකාබද්ධ ආරක්ෂක ක්‍රියාමාර්ග ප්‍රතික්ෂේප කිරීමෙන් අදහස් කලේ, ප්‍රායෝගිකව, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරුවන්ගේ සහයෝගය දිනා ගැනීමේ සියලු උත්සාහයන් අත්හැර දැමීමයි. එය, කම්කරු පන්තිය පක්ෂඝාත කල අතර 1933 ජනවාරි 30 වන දින හිට්ලර්ට බලය කරා යන මාවත එලි පෙහෙලි කලේය.

ම්ලේච්ඡ ආඥාදායකත්වයක් පිහිටුවීමට සහ දැවැන්ත ජර්මානු කම්කරු ව්‍යාපාරය සම්පූර්නයෙන් විනාශ කිරීමට තුඩු දුන් මෙම දේශපාලන ව්‍යසනයෙන් ඉක්බිතිව පවා, මොස්කව්හි ස්ටැලින්වාදී තන්ත‍්‍රය සහ කොමියුනිස්ට් ජාත්‍යන්තරය දිගටම අවධාරනය කලේ, ජර්මානු කොමියුනිස්ට් පක්ෂය විසින් අනුගමනය කරන ලද පිලිවෙත් නිවැරදි බවත් විවේචනවලට ඉඩක් නොමැති බවත්ය.

1923 ඔක්තෝම්බර් මාසයේදී වාම විපාර්ශ්වය පිහිටුවීමේ සිට ට්‍රොට්ස්කිගේ වැඩපිලිවෙලින් ඉල්ලා සිටිනු ලැබුවේ, රුසියානු කොමියුනිස්ට් පක්ෂය සහ තුන්වන ජාත්‍යන්තරය ප්‍රතිසංස්කරනය කිරීමයි. එහෙත් ජර්මානු ව්‍යසනය පිලිබඳ කිසිදු සාකච්ඡාවකට ඉඩ දීම ස්ටැලින්වාදී පක්ෂ විසින් ප්‍රතික්ෂේප කිරීම, ට්‍රොට්ස්කිට තුන්වන ජාත්‍යන්තරයේ ප්‍රතිසංස්කරනය කිරීම සඳහා යොමු කර තිබූ පිලිවෙත අවසන් වී ඇති බව නිගමනය කිරීමට හේතු විය. 1933 ජූලි 15 දා, ප්‍රින්කිපෝ වෙතින් පිටත්ව යාමට දින දෙකකට පෙර, ට්‍රොට්ස්කි නව ජාත්‍යන්තරයක් ගොඩනැගීම සඳහා කැඳවීමක් නිකුත් කලේය. ඔහු මෙසේ ලිවීය:

මොස්කව් නායකත්වය, හිට්ලර්ට ජයග්‍රහනය සහතික කල ප්‍රතිපත්තිය නොවරදින බව ප්‍රකාශ කලා පමනක් නොව, සිදුවී ඇති තත්වය පිලිබඳ සියලු සාකච්ඡා තහනම් කර ඇත. තවද, මෙම නිර්ලජ්ජිත තහනම උල්ලංඝනය කර හෝ පෙරලා දමා නැත. ජාතික සම්මේලන එපා; ජාත්‍යන්තර සම්මේලනයක් එපා; පක්ෂ රැස්වීම්වල සාකච්ඡා එපා; පුවත්පත්වල සාකච්ඡා එපා! ෆැසිස්ට්වාදයේ හෙන ගෙඩියෙන් නැගිටුවිය නොහැකි, එමෙන්ම, නිලධාරි තන්ත‍්‍රයේ මෙවැනි සාහසික ක‍්‍රියාවලට කීකරුව යටත් වන සංවිධානයක් එමගින් පෙන්නුම් කරන්නේ තමන් මියැදී සිටින බවත් කිසිවකට එයට පන දිය නොහැකි බවත්ය. මෙය විවෘතව හා ප්‍රසිද්ධියේ පැවසීම, නිර්ධන පංතිය සහ එහි අනාගතය වෙනුවෙන් වන අපගේ සෘජු යුතුකමයි. මෙතැන් පටන් අපගේ සියලු වැඩකටයුතු වලදී, නිල කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ ඓතිහාසික බිඳවැටීම අපේ සන්ධිස්ථානය ලෙස ගැනීම ඇවැසි වේ.

මේ අනුව, වසර 90 කට පෙර මෙම දිවයිනේ දී, හතරවන ජාත්‍යන්තරය සඳහා අරගලය ආරම්භ විය. ට්‍රොට්ස්කි විසින් නිකුත් කරන ලද කැඳවුමෙන්, 1938 සැප්තැම්බරයේදී සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ලෙස හතරවන ජාත්‍යන්තරය නිල වශයෙන් පිහිටුවීම තුලින් කූටප්‍රාප්තියට පත් වූ, ක්‍රමානුකූල පැහැදිලි කිරීම්වල සහ සංවිධානාත්මක සූදානම පිලිබඳ ක්‍රියාවලියක් ඇරඹුනි.

ඒ වන විටත් ස්ටැලින් මොස්කව්හි කුප්‍රකට නඩු විභාග තුන පවත්වා ඔක්තෝබර් විප්ලවයේ ප්‍රධාන නායකයින් සියලු දෙනා ඝාතනය කර තිබුනි. සෝවියට් සංගමය පුරා ඇලලී ගිය ස්ටැලින්වාදී භීෂනය, මාක්ස්වාදී දේශපාලනයේ සහ සංස්කෘතියේ සෑම වැදගත් නියෝජිතයෙකුම ක්‍රමානුකූලව ඉලක්ක කර ගනිමින් කරන ජන සංහාරක ව්‍යාපාරයක පරිමානයක් ගත්තේය.

ප්‍රින්කිපෝ හි සැමරුම් උත්සවය නරඹන ප්‍රේක්ෂකයින්

එහෙත්, වින්දිතයන් සංඛ්‍යාව ලක්ෂ ගනනක් දක්වා වර්ධනය වුවද, ට්‍රොට්ස්කිගේ බලපෑම පිලිබඳ ස්ටැලින්ගේ භීතිය අඩු වූයේ නැත. ඔහුගේ ම විනාශකාරී ප්‍රතිපත්ති නිසා නොවැලැක්විය හැකි සිදුවීමක් වූ, නාසි ජර්මනිය සමග යුද්ධය පුපුරා යාම, රතු හමුදාවේ නිර්මාතෘ සහ නායකයා වූ ට්‍රොට්ස්කි පිටුවහලෙන් ආපසු ගෙන්වා ගන්නා මහජන ඉල්ලීම් රැල්ලක් ඇති කරනු ඇතැයි ස්ටැලින් භීතියට පත් විය.

ට්‍රොට්ස්කි කෙරෙහි ස්ටැලින්ගේ අභ්‍යන්තර භීතිය ආඥාදායකයාගේ පුද්ගලික ලිපි ලේඛන පරිශීලනයට ඉඩ ලබා ගත් පශ්චාත්-සෝවියට් ඉතිහාසඥ සහ චරිතාපදාන රචක ජෙනරාල් දිමිත්‍රි වොල්කොගොනොව් විසින් ලේඛනගත කර ඇත. ඔහු මෙසේ ලියයි:

ට්‍රොට්ස්කිගේ අවතාරය, බල කොල්ලකරුවා බිය කරමින් හොල්මන් කලේය. … [ස්ටැලින්] ඔහු ගැන සිතීමට පවා බිය විය.… ඔහුට වාඩි වී මොලොටොව්, කගනොවිච්, කෘෂෙව් සහ ෂඩනොව්ට සවන් දීමට සිදු වූ විට ඔහු සිතුවේ ට්‍රොට්ස්කි ගැන ය. සංවිධානය පිලිබඳ ඔහුගේ අවබෝධයෙනුත්, කථිකයෙකු සහ ලේඛකයෙකු ලෙස ඔහුගේ දක්ෂතාවලිනුත් ට්‍රොට්ස්කි පුලුල් බුද්ධි ප්‍රභාවයකින් යුක්ත විය. සෑම අතින්ම ඔහු මෙම නිලධර රොත්තට වඩා බෙහෙවින් උසස් විය; ඔහු ස්ටැලින්ට වඩා උසස් වූ අතර ස්ටැලින් එය දැන සිටියේය. ඔහු ට්‍රොට්ස්කිගේ කෘති, එනම්, ස්ටැලින්වාදී මුසාකරනයේ පාසල, බොල්ෂෙවික් පක්ෂයේ සාමාජිකයින්ට විවෘත ලිපියක් හෝ ස්ටැලින්වාදී තර්මිඩෝරය වැනි කෘති කියවන විට, නායකයාට තම ආත්ම දමනය මුලුමනින් ම පාහේ නැතිවී ගියේය.

ස්ටැලින්ට, ට්‍රොට්ස්කිට ජීවත් වීමට ඉඩ දිය නොහැකි විය. ඔක්තෝබර් විප්ලවයේ අවසන් සහ ශ්‍රේෂ්ඨතම ජීවමාන නායකයා ඝාතනය කිරීම සඳහා සෝවියට් පාලන තන්ත‍්‍රය විසින් අතිවිශාල සම්පත් වැය කරන ලදී. අවසානයේ වසර 83 කට පෙර අද වැනි දවසක අපරාධය සිදු විය.

20 වැනි සියවසේ මුල් දශක හතරේ ඉතිහාසයේ සුවිසල් චරිතයක් ලෙස ට්‍රොට්ස්කිගේ ජීවිතය ගෞරවයට පාත්‍ර කිරීම සඳහා පමනක් වුව අද සමරුව මුලුමනින්ම යුක්ති යුක්ත වනු ඇත: ලෙනින් සමග ඔක්තෝබර් විප්ලවයේ සම-නායකයා, රතු හමුදාවේ අනදෙන නිලධාරියා, නොනවතින විප්ලවයේ න්‍යායාචාර්යවරයා, ඔහුගේ කාලයේ සිටි ශ්‍රේෂ්ඨතම කථිකයා, විශිෂ්ඨ සාහිත්‍ය හා දේශපාලන කෘතිවල කතුවරයා, ස්ටැලින්වාදයේ අශමනීය විරුද්ධවාදියා සහ අතීතයේ දී ශ්‍රේෂ්ඨතම සුධීමතුන් විසින් පමනක් නැගි බුද්ධිමය, සංස්කෘතික හා සදාචාරාත්මක මට්ටමකට පැමිනීමේ හැකියාව සියලු මිනිසුන් තුල පවතින බව පෙරදුටු සමාජවාදී දූරදර්ශිකයා ද ඔහු ය.

එහෙත් ට්‍රොට්ස්කි යනු, අතීතය තේරුම් ගැනීම සඳහා ඔහුගේ ජීවිතය හා කෘතීන් අධ්‍යයනය කල යුතු ඓතිහාසික චරිතයකට වඩා ඉදිරියෙන් සිටින පුද්ගලයෙකි. ඔහුගේ ඝාතනයෙන් වසර 80 කට වැඩි කාලයකට පසුව ද, ට්‍රොට්ස්කිට අසාමාන්‍ය ලෙස සමකාලීන පැවැත්මක් තිබේ. පසුගිය ශතවර්ෂයේ වෙනත් ඕනෑම දේශපාලන නායකයෙකුට වඩා, ඔහුගේ අදහස්වල අදාලතාවය නොඅඩුව පවතී. ලියොන් ට්‍රොට්ස්කිගේ ලේඛන, 20 වැනි සියවසේ කැලඹිලි සහගත සිදුවීම් තේරුම් ගැනීමට පමනක් නොව, වර්තමාන යථාර්ථය අවබෝධ කර ගැනීම සඳහා ඒවා තීරනාත්මක සහ අත්‍යවශ්‍ය රාමුවක් සපයයි.

ඔහුගේ ජීවිත කාලය තුල ට්‍රොට්ස්කි, ස්ටැලින්වාදී තන්ත‍්‍රය සහ ලොව පුරා එහි අනුචර පක්ෂ විසින් මෙහෙයවූ නිර්දය බොරු සහ අවලාද ව්‍යාපාරයක ඉලක්කය විය. මෙම බොරු සෝවියට් සංගමයේ අවසානය දක්වාම පැවතුනි. ස්ටැලින් විසින් හිංසාවට ලක් කර ඝාතනය කරන ලද ඔක්තෝබර් විප්ලවයේ සියලුම ප්‍රධාන නායකයින් අතරින්, ට්‍රොට්ස්කි පමනක් පශ්චාත්-ස්ටැලිනියානු සෝවියට් ආන්ඩු විසින් 'පුනරුත්ථාපනය' කරනු ලැබුවේ නැත. 1987 තරම් ඈතකදී, ග්ලැස්නොස්ට් හි උච්චතම අවස්ථාවෙහිදී, මිහායිල් ගොර්බචෙව් ට්‍රොට්ස්කි සෝවියට් සංගමයේ සහ සමාජවාදයේ සතුරෙකු ලෙස ප්‍රසිද්ධියේ හෙලා දුටුවේය. ධනවාදය පුනස්ථාපනය කිරීම අනුමත කරමින් සහ සෝවියට් සංගමය විසුරුවා හැරීමට සූදානම් වෙමින් සිටියදී පවා ගොර්බචෙව් විසින් මෙය ප්‍රකාශ කරන ලදී.

සෝවියට් සමාජවාදී සමූහාන්ඩුව දියකර හැරීමෙන් පසුව, බටහිර යුරෝපයේ සහ එක්සත් ජනපදයේ ශාස්ත්‍රාලිකයෝ ස්ටැලින්වාදීන්ගේ ට්‍රොට්ස්කි විරෝධී මුසාවන් සියල්ල සහමුලින්ම වැලඳ ගත්හ. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවට පශ්චාත්-සෝවියට් ගුරුකුලයේ ඓතිහාසික මුසාකරනයන් විසින් නිපදවන ලද ට්‍රොට්ස්කි විරෝධී අවලාද රැල්ල හෙලිදරව් කිරීමට හා ප්‍රතික්ෂේප කිරීමට සැලකිය යුතු කාලයක් කැප කිරීමට බල කෙරුනි.

ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රොබට් සර්විස්, සිය ට්‍රොට්ස්කිගේ අපවාදාත්මක චරිතාපදානය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පුරසාරම් දෙඩුවේ තමන් දෙවන ඝාතනයක් සිදු කිරීමට සමත් වූ බවයි. ඇත්ත වශයෙන්ම, මහාචාර්ය සර්විස් සමත්වූයේ වූයේ, ඉතිහාසඥයෙකු ලෙස තමන්ගේම වෘත්තීය කීර්ති නාමය කෙලෙසා ගැනීමට පමනි.

යන්තම් ඔහුගේ නම සඳහන් කිරීමත් සමඟ ප්‍රබෝධමත් වන මිතුරු සහ සතුරු යන දෙඅංශයේ ම ලාලසාව සැලකිල්ලට ගැනීමේදී, ට්‍රොට්ස්කි පිලිබඳ සාකච්ඡා හුදෙක් අතීතය ගැන නොවන බව මම සටහන් කලෙමි. ඒවා වර්තමාන සිදුවීම් මෙන්ම අනාගතයේදී සිදු විය හැකි දේ ගැන ද සාකච්චාවක් බවට නිතරම පත්වේ.

ලියොන් ට්‍රොට්ස්කිගේ නොනස්නා අනුභාවය පැන නගින්නේ, ඔහු 'ධනවාදයේ මර ලතෝනිය' ලෙස නිර්වචනය කල යුගයක් වන අප තවමත් ජීවත් වන ඓතිහාසික යුගයේ ගැටලු, ප්‍රතිවිරෝධතා සහ අර්බුද හඳුනාගෙන ඒවා සමඟ පොරබැදීම යන කාරනයෙනි. සියලු තාක්‍ෂනයේ දැවැන්ත දියුනුව සැලකිල්ලට ගත්තේ වුවද, වර්තමාන ලෝකය ට්‍රොට්ස්කි ඉතා හොඳින් තේරුම් ගනු ඇත.

පලමුවෙන්ම, 1940 දී ඔහුගේ මරනයෙන් පසු ලෝක දේශපාලනයේ විශාලතම වෙනස වන සෝවියට් සංගමය විසුරුවා හැරීම සහ ධනවාදයේ පුනස්ථාපනය වනාහි ක්‍රෙම්ලින පාලන තන්ත්‍රයේ දේශපාලන පාවාදීම් සමඟ ඒකාබද්ධ වූ ස්ටැලින්වාදී ජාතික ආර්ථික අධිකාරීත්වයේ නොවැලැක්විය හැකි ප්‍රතිඵලය ලෙස ඔහු පුරෝකථනය කල දෙයකි.

ඊටත් වඩා ගැඹුරු මට්ටමකින්, මානව වර්ගයාගේ ප්‍රගතිශීලී වර්ධනයට බාධා කරන කේන්ද්‍රීය ගැටලුව—ලෝක ආර්ථිකයක් තුල නිෂ්පාදන බලවේගවල ගෝලීය අන්තර් රඳා පැවැත්ම සහ ධනේශ්වර ජාතික රාජ්‍ය පද්ධතියේ නොනැසී පැවතීම අතර ප්‍රතිවිරෝධතාව—20 වැනි සියවසේ මුල් දශකය තුල ට්‍රොට්ස්කි විසින් පැහැදිලිව හඳුනා ගන්නා ලදී. පලමු ලෝක යුද්ධයෙන් ඉක්බිතිව, එය අධිරාජ්‍යවාදී ප්‍රචන්ඩත්වයේ පිපිරුම් මාලාවක ආරම්භය පමනක් ලෙස දුටු ට්‍රොට්ස්කිගේ මෙම ප්‍රතිවිරෝධය පිලිබඳ විශ්ලේෂනය, සුවිශේෂී තීව්‍රතාවයක් සහ නිරවද්‍යතාවයක් අත්කර ගත්තේය.

ගෝලීය ආධිපත්‍යය සඳහා එක්සත් ජනපදයේ පාලක පන්තියේ උත්සාහය, අධිරාජ්‍යවාදී ප්‍රචන්ඩත්වයේ ප්‍රධාන ධාවකයා වනු ඇතැයි ට්‍රොට්ස්කි අනතුරු ඇඟවීය. ඇමරිකානු ධනවාදයේ ගතිකතාවය එක්සත් ජනපදයේ ජාතික සීමාවන් තුලට සීමා කල නොහැකි විය. ළඟාවන ප්‍රධාන ආර්ථික අර්බුදයක් පූර්වාපේක්ෂා කරමින් ට්‍රොට්ස්කි 1928 දී අනතුරු ඇඟවූයේ, එවන් වර්ධනයක් ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ආක්‍රමනශීලී ස්වභාවය මන්දගාමී කරනවා වෙනුවට, තීව්‍ර කරනු ඇති බවයි. ඔහු මෙස් ලිවේය:

අර්බුදකාරී කාල පරිච්ඡේදය තුල එක්සත් ජනපදයේ ආධිපත්‍යය, උත්පාත කාලයට වඩා සම්පූර්නයෙන්ම, වඩාත් විවෘතව සහ වඩාත් නිර්දය ලෙස ක්‍රියාත්මක වනු ඇත. මෙය ආසියාවේ, කැනඩාවේ, දකුනු ඇමරිකාවේ, ඔස්ට්‍රේලියාවේ හෝ යුරෝපයේම සිදුවේ ද, නැතහොත් මෙය සාමකාමීව හෝ යුද්ධයක් හරහා සිදුවේ ද යන්න නොතකා, එක්සත් ජනපදය මූලික වශයෙන් යුරෝපයේ වියදමින් එහි දුෂ්කරතා සහ ව්‍යාධීන් මැඩපැවැත්වීමටත් එයින් මිදීමටත් උත්සාහ කරනු ඇත.

1931 දී ප්‍රින්කිපෝ සිට ලෝක තත්වයන් නිරීක්ෂනය කරමින්, ට්‍රොට්ස්කි මෙසේ අනතුරු ඇඟවීය:

ඇමරිකානු ධනවාදය බිහිසුනු අධිරාජ්‍යවාදයේ, යුද්ධායුධවල නොනවතින වර්ධනයේ, සමස්ත ලෝකයේ කටයුතුවලට මැදිහත්වීමේ, මිලිටරි ගැටුම් සහ කම්පනයන්ගේ යුගයකට අවතීර්න වෙමින් සිටී.

වසර තුනකට පසුව, ට්‍රොට්ස්කි ඇමරිකානු සහ ජර්මානු අධිරාජ්‍යවාදය අතර පවත්නා ඓතිහාසික හා දුර දක්නා සංසන්දනය ඉදිරිපත් කලේය:

එක්සත් ජනපද ධනවාදය, 1914 ජර්මනිය යුද්ධයේ මාවතට තල්ලු කල එම ගැටලු වලට ම මුහුන දී සිටියි. ලෝකය බෙදා තිබේ ද? එය නැවත බෙදිය යුතුම ය. ජර්මනියට එය 'යුරෝපය ප්‍රතිසංවිධානය කිරීම' පිලිබඳ ප්‍රශ්නයක් විය. එක්සත් ජනපදය ලෝකය 'ප්‍රතිසංවිධානය' කල යුතුය. ඉතිහාසය විසින්, මානව වර්ගයා ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ගිනිකඳු පිපිරීම සමග මුහුනට මුහුන අභිමුඛ කොට තිබේ.

ට්‍රොට්ස්කිගේ අනාවැකිය අද යථාර්ථයයි. ට්‍රොට්ස්කි විසින් පුරෝකථනය කරන ලද “ගිනි කඳු පිපිරීම” දිගු කලක් තිස්සේ සිදුවෙමින් පවතින අතර එහි ගිනියම් ලාවා සමස්ත ලෝකයම ගිල ගනිමින් තිබේ. ඇමරිකානු අධිරාජ්‍යවාදයේ නායකයින් මුහුන දෙන ප්‍රධාන මූලෝපායික ගැටලුව වන්නේ, එයට එක වර දියත් කල හැකි යුද්ධ සංඛ්‍යාව ගනනය කිරීමයි. බයිඩන් ඔහුගේ සීඅයිඒ සහ පෙන්ටගන් උපදේශකයින්ගෙන් අසා සිටින්නේ, රුසියාවට සහ චීනයට එරෙහිව එකවර යුද්ධ කල හැකි ද, නැතහොත් වෝල් වීදියේ සියලු ප්‍රජාතන්ත්‍රවාදී ධජ ලෙලවමින්, චීනයට එරෙහිව කුරුස යුද්ධයකට යාමට පෙර රුසියාව විනාශ කර එහි විශාල ස්වාභාවික සම්පත් කොල්ලකෑම සුදුසුද? යන්නයි.

යුක්‍රේන ඛේදවාචකය යනු තුන්වන ලෝක යුද්ධය දක්වා වර්ධනය වීමට තර්ජනය කරන ගැටුමක ආරම්භක සැලැස්ම පමනි. මේ අවස්ථාවේ දී, අර්බුදය බුද්ධිගෝචර ලෙස පාලනය කිරීම සඳහා කිසිවෙක් බලාපොරොත්තු තැබීම, ස්වයං-මුලාවක් ම පමනික්ම වන්නේය.

දශක තුනකට පෙර, අසංඛ්‍යාත ධනේශ්වර දේශපාලනඥයන්, මාධ්‍යවේදීන් සහ විද්වතුන් ප්‍රකාශ කලේ සෝවියට් සංගමය විසුරුවා හැරීම සාමයේ, සෞභාග්‍යයේ සහ ප්‍රජාතන්ත්‍රවාදයේ නව යුගයක අරුනලු සනිටුහන් කරන බවයි. ෆ්‍රැන්සිස් ෆුකුයාමා නම් වූ විශේෂයෙන් නිර්භීතව පේන කියන්නා ඔහුගේ පලිඟු බෝලය තුලට ගැඹුරින් එබී බලා, “ඉතිහාසයේ අවසානය” නිවේදනය කලේය. ධනවාදය, තවදුරටත් ප්‍රගතියක් ලබා ගත නොහැකි සමාජ පරිනාමයේ අවසාන ලක්ෂ්‍යය වෙත මානව වර්ගයා ගෙන ආ බව ඔහු ප්‍රකාශ කලේය.

එහෙත් ඉතිහාසය අඛන්ඩව ගලා ගියේය; ඒ මුලුමනින් ම ට්‍රොට්ස්කි විසින් පුරෝකථනය කරන ලද මාවත් ඔස්සේ ය. දශක ගනනාවක නොනවතින යුද්ධ, ෆැසිස්ට්වාදයේ පුනර්ජීවනය, ආර්ථික ව්‍යසනයන්, සමාජ අසමානතාවයේ අති විශාල මට්ටම්, සංස්කෘතික පරිහානිය, මිලියන ගනනක් මරා දැමූ ගෝලීය වසංගතයක් සහ වේගයෙන් දිග හැරෙන පාරිසරික ව්‍යසනයක් ලෙස ඉතිහාසය තුල පසුගිය වසර 30 පැවතුනි.

දෙවන ලෝක යුද්ධය පුපුරා යාමට යන්තම් වසරකට පෙර, 1938 දී ට්‍රොට්ස්කි විසින් ලියන ලද හතරවන ජාත්‍යන්තරයේ ආරම්භක ලේඛනය තුල විස්තර කරන ලද තත්වයට අද අපිහරියටම මුහුන දී සිටිමු: “යටත් පිරිසෙයින්, මීලඟ ඓතිහාසික යුගයේ දී සමාජවාදී විප්ලවයක් නො සිදු වුවහොත්, මානව වර්ගයාගේ මුලු මහත් සංස්කෘතියට ම මහා ව්‍යසනයක් එල්ල වන්නේය.”

ට්‍රොට්ස්කි පුරෝකථනය කල ව්‍යසනය ඇත්ත වශයෙන්ම සිදු විය. දෙවන ලෝක සංග්‍රාමයෙන් මිනිස් ජීවිතයට සිදු වූ බිහිසුනු විනාශය සීමා වූයේ එකල පැවති තාක්‍ෂනයේ මට්ටම නිසා ම පමනි.

එක්සත් ජනපදය සහ එහි නැටෝ සහචරයින් යුක්‍රේනය තුල සිය මෙහෙයුම් න්‍යෂ්ටික යුද්ධයේ තර්ජනයන්ගෙන් සීමා නොවන බව ප්‍රකාශ කරන විට, ඉන් අදහස් වන්නේ, තම අරමුනු සාක්ෂාත් කර ගැනීම සඳහා පෘථිවියේ විනාශය අවදානමට ලක් කිරීමට ඔවුන් සූදානම් බව පමනි.

එහෙත් ට්‍රොට්ස්කි අනිවාර්ය ව්‍යසනයක් පිලිබඳ අනාගත වක්තෘවරයෙකු නොවීය. ඔහු ලෝක සමාජවාදී විප්ලවයේ මූලෝපායඥයෙක් විය. ධනවාදය ව්‍යසනය කරා ගෙන යන එම ප්‍රතිවිරෝධතා විසින්ම ලෝක සමාජවාදී විප්ලවය සඳහා කොන්දේසි නිර්මානය කරයි. ඔහුගේ ලේඛන සහ හතරවන ජාත්‍යන්තරය ගොඩනැගීම සඳහා වෙහෙස නොබලා දරන ලද උත්සාහයෙන් ප්‍රකාශයට පත්වූයේ ධනවාදයට අවසානයකට ගෙන ඒමට සහ සමාජවාදී පදනම් මත ලෝකය ප්‍රතිනිර්මානය කිරීමේ බලය ඇති විප්ලවවාදී බලවේගයක් බවට ජාත්‍යන්තර කම්කරු පන්තිය කෙරෙහි ඔහු තුල පැවති විශ්වාසයයි.

සමාජවාදයේ ද එබැවින් මානව වර්ගයාගේ ද ඉරනම රඳා පවතින්නේ, ඓතිහාසිකව යල්පැන ගිය ධනේශ්වර ක්‍රමය සමඟ ගනුදෙනු බේරා ගැනීමට අවශ්‍ය අධිෂ්ඨානය, ධෛර්යය සහ ආරම්භකත්වය සහිතව කම්කරු පන්තිය තුල ගැඹුරින් මුල් බැසගත්, විද්‍යාත්මකව පදනම් වූ වැඩපිලිවෙලක් මත පාදක ව ලෝක විප්ලවවාදී පක්ෂය ගොඩනැගීම මත බව ට්‍රොට්ස්කි ඒත්තු ගෙන සිටියේ ය.

ට්‍රොට්ස්කිට, ලෙනින් සමග ඔහු විසින් නායකත්වය දුන් ඔක්තෝබර් විප්ලවය—එහි සියලු දුෂ්කරතා සහ විපර්යාස නොතකා—ජයග්‍රාහී ලෝක ක්‍රියාදාමයක ආරම්භය බවට වූ සිය විශ්වාසය තුල කිසිවිටෙකත් දෙගිඩියාවක් නොවීය. ඒ සඳහා ඓතිහාසික ඉදිරිදර්ශනයක් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය විය. ඔහු සිය ස්වයං ලිඛිත චරිතාපදානයේ ලියා ඇති පරිදි:

විප්ලවය යනු නව සමාජ පාලන තන්ත්‍රයක අත්හදා බැලීමකි; එය බොහෝ වෙනස්කම් වලට භාජනය වන අත්හදා බැලීමක් මෙන්ම, බොහෝ විට එහි පදනම් වලින්ම අලුතින් ප්‍රතිනිර්මානය කිරීමක් වනු ඇත. නවතම තාක්ෂනික ජයග්‍රහන මත එය සම්පූර්නයෙන්ම වෙනස් ස්වභාවයක් අත්පත්කරගනු ඇත. එහෙත් දශක කිහිපයකට හෝ ශතවර්ෂ ගනනාවකට පසු, ධනේශ්වර පර්යාය ජර්මානු ප්‍රතිසංස්කරනය හෝ ප්‍රංශ විප්ලවය දෙස බලන ආකාරයට ම නව සමාජ පර්යාය ඔක්තෝබර් විප්ලවය දෙස ද ආපසු හැරී බලනු ඇත. මෙය කෙතරම් පැහැදිලිද යත්, කෙතරම් අවිවාදිත ලෙස පැහැදිලිද යත්, ඉතිහාසය පිලිබඳ මහාචාර්යවරුන් පවා එය වටහා ගනු ඇත්තේ වසර ගනනාවකට පසුවය.

අද, ඔහු ප්‍රින්කිපෝවෙන් නික්ම ගොස් වසර 90 කට පසුව ද, ඔහුගේ අභාවයෙන් වසර 83 කට පසුව ද , අපි මේ සුන්දර දිවයිනේදී හමුවූයේ, ශ්‍රේෂ්ඨ මිනිසෙකුට උපහාර දැක්වීම සඳහා පමනක් නොව, ධනවාදයේ ගෝලීය අර්බුදය සහ කම්කරු පන්ති අරගලයේ ජාත්‍යන්තර නැගිටීම විසින් එල්ල කරන ලද අභියෝගවලට මුහුන දීමට ඔහුගේ වැඩ කටයුතුවලින් නව ශක්තියක් සහ ආශ්වාදයක් උකහා ගැනීම සඳහා ය.

ට්‍රොට්ස්කි ජීවත් වූ මන්දිරය සම්පූර්නයෙන්ම ප්‍රතිෂ්ඨාපනය කර ට්‍රොට්ස්කිගේ දැවැන්ත දේශපාලන හා බුද්ධිමය උරුමය අධ්‍යයනය කිරීමේ ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් බවට පත්කරනු ඇතැයි යන බලාපොරොත්තුව ප්‍රකාශ කිරීමෙන් අවසන් කිරීමට මට අවසර දෙන්න.

අවශ්‍ය ජාත්‍යන්තර සහයෝගය ඇතිව එවැනි ව්‍යාපෘතියක් භාර ගැනීමෙන්, ප්‍රින්කිපෝ ලෝක ඉතිහාසයේ එහි ස්ථානය යලි තහවුරු කරගන්නවා පමනක් නොව, මානව වර්ගයාගේ අනාගතයට සැලකිය යුතු දායකත්වයක් ද ලබා දෙනු ඇත.

Loading