ශ්‍රී ලංකා රක්ෂන සංස්ථා කලමනාකාරිත්වය රැකියා විනාශ කිරීමේ නව වැඩසටහනක් ප්‍රකාශයට පත් කරයි

[මෙය Sri Lanka Insurance management announces new job-destruction scheme යන මැයෙන් 2023 අගෝස්තු 24 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

ශ්‍රී ලංකා රක්ෂන සංස්ථාවේ (ශ්‍රීලංරසං) කලමනාකාරීත්වය, කලින් හඳුන්වා දුන් ස්වෙච්ඡා විශ්‍රාම යෝජනා ක්‍රමයට (වීආර්එස්) පසුව, පූර්ව විශ්‍රාම ප්‍රතිලාභ යෝජනා ක්‍රමයක් (ඊආර්බීඑස්) ප්‍රකාශයට පත් කර ඇත. ශ්‍රීලංරසං වෘත්තීය සමිතිවල සහාය ඇතිව මෙම යෝජනා ක්‍රම දෙක ම ක්‍රියාත්මක කරන්නේ රැකියා, වැටුප් සහ සේවා කොන්දේසි කප්පාදු කරමින් රජය සතු ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ය.

2022 දෙසැම්බර් 8 වන දින, කොලඹදී විරෝධතාවයක නිරත වන ශ්‍රී ලංකා රක්ෂන සංස්ථා සේවකයින්. [ඡායාරූපය: ලෝසවෙඅ]

මෙම යෝජනා ක්‍රම, ඩොලර් බිලියන 3 ක ඇපදීමේ නය වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) විසින් නියම කර ඇති පරිදි, වික්‍රමසිංහ ආන්ඩුව සිය වියදම් කපා හරිමින් පුද්ගලීකරනය සහ රාජ්‍ය සතු ව්‍යවසාය (එස්ඕඊ) සිය ගනනක් ප්‍රතිව්‍යුහගත කිරීමේ කොටසකි. මාර්තු මාසයේදී, වික්‍රමසිංහ ආන්ඩුවේ ඇමති මන්ඩලය ශ්‍රීලංරසං සහ අනෙකුත් එස්ඕඊ හයක කොටස් විකිනීම අනුමත කලේය. මෙම ක්‍රියාවලිය අධීක්‍ෂනය කිරීම සහ වේගවත් කිරීම සඳහා උපදේශක සමාගම් තුනක් පත් කර තිබේ. ලබන මාසයේ ජාමූඅ කන්ඩායමක් ශ්‍රී ලංකාවට පැමින එහි කප්පාදු වැඩසටහනේ ප්‍රගතිය සමාලෝචනය කරනු ඇත.

ජූනි 16 සහ 17 දිනවල කොලඹ සිට කිලෝමීටර් 70 ක් දුරින් පිහිටි තුල්හිරිය මාස් පුහුනු මධ්‍යස්ථානයේදී, මීවිතෙන් සහ රසමසවුලින් සප්පායම් වීමෙන් අනතුරුව කලමනාකාරීත්වය සමඟ රහසිගතව සාකච්ඡා කල වෘත්තීය සමිති නිලධාරීන් වීආර්එස් අනුමත කලහ.

වසර පහකට වැඩි කාලයක් ශ්‍රීලංරසංහි සේවය කල සේවකයින්ට වීආර්එස් ලබා ගත හැකිය. ඔවුන්ගේ සේවා කාලය අනුව විවිධ කාන්ඩවලට බෙදනු ලබන අතර, ඔවුන් විශ්‍රාම යන වයස වන අවුරුදු 60 තෙක් ඉතිරි කාලය සඳහා වන්දි ගෙවනු ඇත.

ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, සමගි සේවක සංගමය, ජාතික සේවක සංගමය, පොදුජන ප්‍රගතිශීලී සංගමය, අන්තර්-සමාගම් සේවක සංගමය, සහ ස්වාධීන යැයි කියා ගන්නා තවත් සංගම් හතරක් මාස් පුහුනු මධ්‍යස්ථානයේ පැවති සාකච්ඡාවට සම්බන්ධ විය.

පලමු වෘත්තීය සමිති පහ පිලිවෙලින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රිලනිප), සමගි ජන බලවේගය (සජබ), එක්සත් ජාතික පක්ෂය (එජාප), ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (ශ්‍රීලංපොපෙ) සහ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) විසින් පාලනය කරනු ලැබේ. වික්‍රමසිංහ ආන්ඩුවේ කොටසක් වන ශ්‍රීලංපොපෙ සහ එජාප මෙන්ම, විරුද්ධ පාක්ෂික සජබ, ශ්‍රිලනිප සහ ජවිපෙ සහ ඔවුන්ගේ වෘත්තීය සමිති ද ජාමූඅ කප්පාදු පියවරයන් සඳහා කැප වී සිටිති.

ශ්‍රීලංරසං ලාභ ලබන ආයතනයක් බැවින් එය ප්‍රතිව්‍යුහගත නොකරන ලෙස ආන්ඩුවට මීට පෙර ආයාචනා කල මෙම වෘත්තීය සමිති මෙම ලාභය තවදුරටත් ඉහල නැංවීමට සහය ලබා දීමට ප්‍රතිඥා දී ඇති අතර, දැන් ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්මට විවෘත ව ම සහය දක්වති.

ශ්‍රීලංරසං සභාපතිවරයාට ජූලි 12 ලිපියක් යැවූ වෘත්තීය සමිති, වීආර්එස් සමඟ ඔවුන්ගේ එකඟතාව පල කල නමුත් සමාගමෙන් ඉවත් කරන ලද සේවකයින්ට සමාගමේ කොටස් ලබා දෙන ලෙසත්, සේවා කාලය සඳහා අමතර මාස භාගයක වැටුපක් ගෙවන ලෙසත් සමාගමෙන් ඉල්ලා සිටියේ ය. විශ්‍රාම යන සේවකයන්ට කොටස් ලබා නොදුනහොත් වීආර්එස් අසාර්ථක විය හැකි බවට එය අනතුරු ඇඟවී ය.

මෑතක දී ප්‍රකාශයට පත් කරන ලද ඊආර්බීඑස් යනු, කලමනාකරනය සහ වෘත්තීය සමිති අතර වැඩි දුර සාකච්ඡාවක ප්‍රතිඵලයකි. අතිරේක දෙ මුහුන් විශ්‍රාම ක්‍රමය ඉදිරිපත් කර ඇත්තේ ඇයි ද යන්න තවමත් පැහැදිලි නැත. කෙසේ වෙතත්, ප්‍රධාන විධායක අධ්‍යක්ෂ චන්දන එල්. අලුත්ගම විසින්, ඊආර්බීඑස් පිලිබඳ ව, අගෝස්තු 11 වැනි දින සේවකයින්ට ලිපියක් යවමින් ශ්‍රීලංරසං සාමාන්‍ය සහ ජීවිත රක්‍ෂන යන අංශවලට බෙදා “අතිරික්ත සේවකයින්” ඉවත් කරන බව පැවසී ය.

සෞඛ්‍ය, ව්‍යාපාර, වාහන, පවුල් සහ ගමනාගමන රක්‍ෂන ඇතුලත් ශ්‍රීලංරසංහි 'ලාභ නොලබන' සාමාන්‍ය රක්ෂන අංශය වසා දැමීමට කලමනාකාරිත්වය සැලසුම් කර ඇති බවට ශ්‍රීලංරසං සේවකයින්ට අනතුරු අඟවා තිබේ.

ඊආර්බීඑස් යනු වයස අවුරුදු 60 ට පෙර විශ්‍රාම යන අයට “ආකර්ශනීය විශ්‍රාම ක්‍රමයක්” ලබා දී ඔවුන්ට සමාගම් කොටස් සහ සෞඛ්‍ය ප්‍රතිලාභ ලබා දෙන ලෙස යෝජනා කල වෘත්තීය සමිති සමඟ තවදුරටත් සාකච්ඡා කිරීමේ ප්‍රතිඵලයක් බව අලුත්ගමගේ ලිපිය කියයි.

මෙම යෝජනා මුදල් අමාත්‍යාංශයේ එස්ඕඊ ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය වෙත ඉදිරිපත් කර ඇති බව එම ලිපියේ සඳහන් වේ. මෙම 'ප්‍රතිව්‍යුහගත කිරීම' ශ්‍රීලංරස සේවකයින්ගේ රැකියා, වැටුප් සහ සේවා කොන්දේසි වලට දැඩි ලෙස බලපානු ඇත.

දැනට කම්කරුවන් 1,500 ක් සේවය කරන සාමාන්‍ය රක්‍ෂන අංශය වසා දැමීම මගින් මෙම කම්කරුවන්, අධි උද්ධමනය ද මහජන සෞඛ්‍ය හා අධ්‍යාපනය සඳහා දැඩි කප්පාදු කිරීම් ද මධ්‍යයේ, ශ්‍රී ලංකාවේ ඉහල යන විරැකියා රොඩුගොඩට ඇද දමනු ඇත.

මෙම කොන්දේසි යටතේ කම්කරුවන්ට තමන් සහ ඔවුන්ගේ පවුල් නඩත්තු කිරීමට විශ්‍රාම ගැන්වීම් සහ සේවයෙන් ඉවත් කිරීමේ ගෙවීම් හෝ කොටස් ලබා දීම් ප්‍රමානවත් නොවේ. වැඩි දියුනු කල ගෙවීම් සහ සමාගම් කොටස් ලබා දීම සඳහා වෘත්තීය සමිතිවල කැඳවීම්, ආන්ඩුවේ ම්ලේච්ඡ සමාජ ප්‍රහාරයන්ට එරෙහි ව කම්කරුවන්ගේ විරෝධය විසුරුවා හැරීමේ නරුම වංචාවකි.

ශ්‍රීලංරසං සේවකයෙක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට මෙසේ පැවසීය: “අපිට ඊආර්බීඑස් පිලිබඳ පැහැදිලි තොරතුරු සපයා නැහැ; අපි වෘත්තීය සමිති නායකයින්ගෙන් විමසීම් කරන විට, සිදුවන්නේ කුමක්දැයි ඔවුන් අපෙන් අසනවා. කිසිම අදහසක් නැති බව මවාපාන නමුත් ඔවුන් සියල්ල දන්නවා. ඔවුන් සියල්ල දන්නා නමුත් අපට කිසිවක් කියන්නේ නැහැ. වෘත්තීය සමිති නායකයෝ අප පාවා දීලා, අපේ අරගලයට වල කපලා.”

වික්‍රමසිංහගේ රැකියා විනාශ කිරීමේ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම සඳහා ශ්‍රීලංරසං කලමනාකාරීත්වය සමඟ පවතින සහයෝගීතාවය, වෘත්තීය සමිති හරහා කම්කරුවන්ට තමන් ආරක්ෂා කර ගත නොහැකි බවට පැහැදිලි හෙලිදරව්වකි.

මෙය ශ්‍රීලංරසං වෘත්තීය සමිතිවලට පමනක් සීමා නොවන අතර ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තරව සියලුම වෘත්තීය සමිතිවල ක්‍රියා පටිපාටියයි. වෘත්තීය සමිති යනු කම්කරුවන්ගේ සංවිධාන නොව, කම්කරුවන්ගේ අරගල මර්දනය කිරීමට සහ ධනේශ්වර ආන්ඩුවල හා සමාගම්වල ඉල්ලීම් ක්‍රියාවට නැංවීමේ කාර්මික පොලිස් බලකායකි.

ශ්‍රීලංරසං වෘත්තීය සමිතිවල පාවාදීම, සේවකයින්ගේ විරෝධය මැඩපැවැත්වීමේ පියවර පැනවීමට එය දිරිමත් කරමින් කලමනාකාරීත්වය ශක්තිමත් කර ඇත. ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහි ව 2022 දෙසැම්බර් 8 සහ මේ වසරේ මාර්තු 15 යන දිනවල විරෝධතා සංවිධානය කල රක්ෂන පොදු සේවක සංගමයේ (රපොසේසං) ප්‍රධාන ලේකම් දිවාකර ඇතුගල සහ නයෝමි හෙට්ටිආරච්චි බලහත්කාරයෙන් මාරු කිරීම මෙයට ඇතුලත් වේ.

පෙබරවාරි 15 දා කම්කරුවන් 300 ක පමන පිරිසකගේ නව සාමූහික ගිවිසුමට එරෙහිව දිවා භෝජන කාලය තුල පැවති විරෝධතාවයේ කොටසක් ලෙස “ආයතනය තුල පෙල ගැසී සිටීම” නිසා, සේවකයින් 50 කට ආසන්න පිරිසකට කලමනාකාරීත්වය අනතුරු ඇඟවීමේ ලිපි ද නිකුත් කර තිබේ.

2023 ජුනි 15දා කොලඹ ශ්‍රී ලංකා රක්ෂන සංස්ථාව ඉදිරිපිට සසප හා සසජාතශි පැවැත්වූ විරෝධතාවේ කොටසක් (ඡායාරූප: ලෝසවෙඅ)

ජූනි 6 දා, ඇතුගල සහ නයෝමි හෙට්ටිආරච්චි බලහත්කාරයෙන් මාරු කිරීමට විරෝධය දැක්වීම සඳහා පැවත්වුනු, ශ්‍රීලංරසං සේවකයින් සිය ගනනකගේ පෙලපාලියක් රපොසේසං නිලධාරීන් ඇතුලු ශ්‍රීලංරසං වෘත්තීය සමිති නායකයන් විසින් ඉක්මනින් විසුරුවා හරින ලදී. ශ්‍රීලංරසං සේවකයින්ට සමාගම් පරිශ්‍රයන් තුල සේවා ස්ථාන ගැටලු සාකච්ඡා කිරීම හෝ ඒ සඳහා රැස්වීම දැන් තහනම් කර ඇත.

ශ්‍රීලංරසං සේවකයින් වෘත්තීය සමිති සහ කලමනාකාරීත්වයේ විශ්‍රාම ගැන්වීමේ සහ සේවයෙන් පහකිරීමේ සියලු යෝජනා ක්‍රම ප්‍රතික්ෂේප කල යුතු බවත්, පුද්ගලීකරනයට විරුද්ධ විය යුතු බවත්, සියලු රැකියා ආරක්ෂා කල යුතු බවත් මෙම අත්දැකීම් ප්‍රතික්ෂේප කල නොහැකි ලෙස පෙන්නුම් කරයි.

මෙයින් අදහස් කෙරෙන්නේ, ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ සහ වෘත්තීය සමිති නිලධරයෙන් ස්වාධීන ව ක්‍රියාකාරී කමිටු පිහිටුවීමෙන් කාරනා තමන්ගේ අතට ගැනීමයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිලිවෙලට එරෙහිවත් සහ කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමටත් ඒකාබද්ධ අරගලයක් සංවිධානය කිරීම සඳහා කම්කරු පන්තියේ අනෙකුත් කොටස් වෙත හැරීම ශ්‍රීලංරසං සේවකයින්ට තීරනාත්මක ය.

වික‍්‍රමසිංහ ආන්ඩුවේ කුරිරු පියවරයන් පරාජය කල හැක්කේ, ආන්ඩුව පෙරලා දැමීමේ දේශපාලන හා කාර්මික සටනකින් සහ දකුනු ආසියාවේ ද, ජාත්‍යන්තර වශයෙන් ද සමාජවාදය සඳහා වන පුලුල් අරගලයේ කොටසක් ලෙස සමාජවාදී පිලිවෙත් ක්‍රියාත්මක කිරීම සඳහා කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා වන අරගලය ඉදිරියට ගෙන යාමෙන් පමනි.

අප හා සම්බන්ධ වී මෙම වැඩසටහන ගැන සාකච්ඡා කරන ලෙස සසප, ශ්‍රීලංරසං සේවකයින් උනන්දු කරයි.

අපගේ දුරකථන අංකය: +9477 356 2327

විද්‍යුත් තැපෑල: wswscmb@sltnet.lk

Loading