සසප සාමාජික දේහින් වසන්තගෙන් විශ්වවිද්‍යාල අනධ්‍යන කම්කරුවන්ට විවෘත කැඳවුමක්

සසප සාමාජික දේහින් වසන්ත

මොරටුව විශ්වවිද්‍යාලයේ අනධ්‍යන කම්කරුවෙකු ලෙස සේවයේ යෙදී සිටින දේහින් වසන්ත වන මම, සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සාමාජිකයෙකු ලෙස, වසර විසිපහකට අධික කාලයක් ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙල මත කම්කරුවන් සහ ශිෂ්‍යයන් බලමුලු ගැන්වීම සඳහා සටන් වදිමින් සිටින්නෙමි. එම සටනේම කොටසක් ලෙස මොරටුව විශ්ව විද්‍යාලයේ වෘත්තීය සමිති කැඳවන සාකච්ඡා තුල මම නිරන්තරව මැදිහත් වී ඇත්තෙමි.

කෙසේ නමුත්, සමිති නිලධරය, මගේ මැදිහත්වීම් වලකාලීමට සහ ඒවාට බාධා කිරීමට බොහෝ කාලයක සිට කටයුතු කල අතර, පසුගිය නොවැම්බර් මස පලමු වැනිදා මොරටුව විශ්ව විද්‍යාලයේ වෘත්තීය සමිති ඒකාබද්ධ බල මන්ඩල රැස්වීමේදී මාගේ කතාව අවහිර කිරීම සඳහා සමස්ත නායකත්වයම ඒකාබද්ධ වූහ.

රැස්වීම කැඳවනු ලැබුවේ පසුදින විශ්ව විද්‍යාල අනධ්‍යන කම්කරුවන් දීප ව්‍යාප්තව නිරත වීමට නියමිතව තිබුනු එක්දින සංකේත වැඩ වර්ජනය පිලිබඳව දැනුම්දීම සඳහාය. වෘස නායකත්වය මගේ මැදිහත්වීම අවහිර කලා පමනක් නොව, රැස්වීමෙන් වැඩි කාලයක් මිඩංගු කලේ සසප ට සහ මට දේශපාලනිකව සහ පෞද්ගලිකව අවලාද නැගීමට යි. එම රැස්වීමට ඔබ සහභාගිවූයේනම්, මේ සම්බන්ධයෙන් ඔබ ද සාක්ෂි දරනු ඇත.

රැස්වීම අවසාන වූයේ, බල මන්ඩල සභාපති ගයාන් පීරිස් විසින්, 'තව ප්‍රශ්න අහන්න තියෙනවනම් අහන්න ඒත් කිසිකෙනෙක් කතා කරන්න ලැහැස්ති වෙන්න එපා' යයි තර්ජනය කරමින් සාමාජිකත්වය විසුරුවා හැරීමෙනි. ඔහු එය සිදුකලේ සියලුම වෘත්තීය සමිති නායකයන්ගේ ඒකමතික තීන්දුව මතය.

මට එරෙහි ප්‍රහාරයේ කේන්ද්‍රය වූයේ, සැප්තැම්බර් 11වැනිදා පැවති පිකට් උද්ඝෝෂනය පිලිබඳව දැනුවත් කිරීම සඳහා සමිති නායකත්වය කැඳවූ රැස්වීමේදී මා කල මැදිහත් වීම සම්බන්ධයෙන්, 'සසප සාමාජික දේහින් වසන්ත මොරටුව විශ්වවිද්‍යාලයේ අනධ්‍යන කම්කරුවන් අමතයි' මැයෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පල කෙරුනු ලිපිය යි. කෙසේ නමුත්, මට සහ සසපට එරෙහිව අවලාද නැගීම හැර, එම ලිපිය තුල වෘස නායකත්වයට එල්ල කෙරුනු කවර හෝ චෝදනාවකට පිලිතුරු දීමට සමිති නිලධරය අසමත් විය.

සමිති නිලධරයේ ප්‍රජාතන්ත්‍ර-විරෝධී භූමිකාව

සහෝදර, සහෝදරියනි, මෙම සමිති අපේ අවශ්‍යතා ඉටු කිරීම සඳහා පවත්නා උපකරන වේ නම්, එය විසින් තීන්දු-තීරන ගත යුත්තේ අප අතර කෙරෙන ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ඡාවන් තුලිනි. එම සාකච්ඡාවන්හිදී තම අදහස් ඉදිරිපත් කරමින් සක්‍රියව සහභාගිවීම අපසතු ප්‍රජාතන්ත්‍රීය අයිතියකි. 'තව ප්‍රශ්න අහන්න තියෙනවනම් අහන්න ඒත් කිසි කෙනෙක් කතා කරන්න ලැහැස්ති වෙන්න එපා' යැයි පීරිස් පවසන විට එහි අර්ථය වනුයේ, විකල්ප අදහස් ඉදිරිපත් කරන ඔබ-අප කවරෙකුට හෝ ඒ සඳහා ඉඩ ලබා නොදෙන බවයි. දශක දෙකකට පෙරාතුව සිට මම විශ්වවිද්‍යාල තාක්ෂනවේදීන්ගේ සංගමයේ සාමාජිකත්වය දරන්නෙමි. එම සමස්ත කාලය පුරා අප අත්විඳ ඇති තත්වය එයයි.

නිලධරය විසින් තීන්දු-තීරන ගනු ලබන්නේ සාමාජිකත්වය සමග කෙරෙන කවර හෝ සාකච්ඡාවකින් තොරව බව පීරිස් කල ආරම්භක කතාවෙන් ඉතා පැහැදිලි විය. ඔහු ඇතුලු සමිති නිලධරය, රැස්වීමට පෙර දිනයේ පවා, පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ඩලස් අලහප්පෙරුම ගේ නායකත්වයෙන් යුතු පාර්ලිමේන්තු කන්ඩායම, ජනතා විමුක්ති පෙරමුන නායකත්වය දෙන ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු කන්ඩායම මෙන්ම පෙරටුගාමී සමාජවාදී පක්ෂය ද සමග සාකච්ඡා කල බව ඔහු පැවසීය.

මෙම ධනපති පක්ෂ සහ ව්‍යාජ-වාම සංවිධාන සමග සාකච්ඡා කිරීමට නිලධරය විසින් තීන්දු-තීරන ගනු ලැබුවේ සාමාජිකත්වය සමග කවර හෝ සාකච්ඡාවකින් තොර ප්‍රජාතන්ත්‍ර-විරෝධී ආකාරයෙනි. මොවුන්, මීට අමතරව කවර ප්‍රතිගාමී කන්ඩායම් සමග සාකච්ඡා කලේදැයි සාමාජිකත්වය වන අපි නොදනිමු. බලයට පැමිනියහොත්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලබා ගන්නා ඩොලර් බිලියන තුනක නය වෙනුවෙන් එය පනවා ඇති කප්පාදු විධානයන් නිර්දය ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමට, මෙම ධනපති පක්ෂ සියල්ල සැදී පැහැදී සිටිති.

අන්‍ය වෘත්තීය සමිති මෙන්ම, විශ්වවිද්‍යාල අනධ්‍යන වෘත්තීය සමිති ද ධනපති ආන්ඩුවට බලපෑම් යෙදීමෙන් ජාමූඅ හි ප්‍රහාර ආපසු හැරවිය හැකිය යන මිත්‍යාව වපුරමින්, වික්‍රමසිංහ ආන්ඩුවට එරෙහිව කම්කරු පංතිය අතර වැඩී ඇති බලගතු විරෝධය ඉහත ධනපති පක්ෂ යටතට යොමු කිරීමේ ඉතා දැනුවත් ව්‍යාපාරයක යෙදී සිටිති.

දැන් 2024 සඳහා අය-වැය ඉදිරිපත් කෙරී ඇත. ආන්ඩුවට පීඩනය යෙදීමෙන් ඉල්ලීම් දිනාගත හැකිය යන සමිති නිලධරයේ මිථ්‍යාව එමගින් අහස උසට පුපුරුවා හැර තිබේ. සැබැවින්ම, ප්‍රතිඵලය වනු ඇත්තේ මෙය බව ඔවුහු දනිති. නමුත්, ඉල්ලීම් දිනාගැනීමේ නිරවද්‍ය මාවතකට අප යොමුවීම වලක්වනුවස් ඔවුහු මෙම මිථ්‍යාව යලියලිත් යොදා ගනිති.

මීට පෙර රැස්වීමේදී ද, ඊට පෙරාතුව ද මා කියා සිටියේ, ධනපති ක්‍රමය සිය ඉතිහාසයේ බරපතලම අර්බුදයට මුහුන දී සිටින තතු තුල, එම අර්බුදයේ සියලු බර දැවැන්ත කප්පාදු හරහා කම්කරු පංතිය මත පැටවීම හැර අන් කවර හෝ විකල්පයක් ධනපති පංතියට නොමැති බැවින්, එම ප්‍රහාරයන් පරාජය කරනුවස්, කම්කරු පංතිය ස්වාධීනව සහ ජාත්‍යන්තර පරිමානව සංවිධානය වෙමින් ධනපති ආන්ඩුවලට සහ ධනපති ක්‍රමයට එරෙහි දේශපාලන ප්‍රතිප්‍රහාරයක් සඳහා වහා සූදානම් වියයුතු බවයි.

මා වෘත්තීය සමිති කටයුතු වලට 'විශාල හානියක්' සිදුකොට ඇතැයි සමිති නිල ධරය පවසන්නේ, සමිති නිලධරය විසින්, ඔබ-අප ඇතුලු සාමාජිකත්වය ධනපති ක්‍රමයට සහ ධනපති පක්ෂ වලට තවදුරටත් ගැටගසමින් කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් වර්ධනය කිරීම වලකා සිටින අයුරු පෙන්වා දෙමින් ඉහත වැඩපිලිවෙලේ අනිවාර්ය අවශ්‍යතාව යලියලිත් අවධාරනය කරන බැවිනි.

'දේශපාලනය එපා' යන්නෙහි සැබෑ අර්ථය

මා ඉදිරිපත් කරන කම්කරු පංතික ජාත්‍යන්තරවාදී දේශපාලන වැඩපිලිවෙල සම්බන්ධයෙන් සමිති නිලධරයේ විරුද්ධත්වය හොඳින්ම ප්‍රදර්ශනය කලේ ජවිපෙ මෙහෙයවන අනධ්‍යයන සේවා වෘත්තිය සමිතියේ නායක අශෝක චන්දන ය. මා අවුරුදු 25 ක්ම පිලිලයක් වූ බව සඳහන් තල ඔහු, “දැන් මෙතැන දේශපාලන පක්ෂ පහක වෘත්තිය සමිති නායකයෝ ඉන්නවා. ඒ කවුරුවත් දේශපාලනය කතා කරන්නේ නැහැ. මමත් දේශපාලන පක්ෂයකට සම්බන්ධ වෘත්තීය සමිති නායකයෙක් නමුත් මම කිසිදිනක එම දේශපාලන පක්ෂයේ නමවත් කියන්නේ නැහැ අපි අපේ දේශපාලනය මෙතන කරන්නේ නැහැ” යැයි පැවසීය.

සැබැවින්ම චන්දන පවසන ආකාරයෙන් ම මෙම සමිති නිලධරය මූලික වශයෙන් මෙහෙයවෙන්නේ ධනපති දේශපාලන පක්ෂ විසිනි. ඔවුන් තම පක්ෂයේ නම කියා හෝ නොකියා පෙනී සිටින්නේ, නිෂ්පාදන මාධ්‍යයන්ගේ පුද්ගලික අයිතිය සහ ලාභය මත සමස්ත නිෂ්පාදනය පාදක කෙරුනු ධනපති ක්‍රමය ආරක්ෂා කෙරෙන ධනපති දේශපාලනය වෙනුවෙනි. ධනපති පක්ෂ වලින් සහ ධනපති දේශපාලනයෙන් ස්වාධීනව කම්කරු පංතිය සංවිධානයවීම වලකාලීම වෘත්තීය සමිති තුල ඔවුන් යෙදී සිටින නිශ්චිත දේශපාලනය යි.

කෙසේ වෙතත්, සමිති තුල 'දේශපාලනය එපා' යැයි ඔවුන් කියා සිටින්නේ, මෙම ධනපති ප්‍රහාර පරාජය කිරීම සඳහා කම්කරු පංතියට තමාගේම ස්වාධීන දේශපාලන වැඩපිලිවෙලක් අත්‍යවශ්‍ය කෙරි පවතින තත්වයකය. කම්කරු පංතිය අභිමුඛ කෙරී පවතින්නේ ජාමූඅ ලෙස සංවිධානය වී ඇති ජාත්‍යන්තර ප්‍රාග්ධනයට සහ එහි නියෝජිතයන් වන ධනපති ආන්ඩුවලට බැවින්, තමාට එල්ලවන ප්‍රහාරයන්ට එරෙහි කම්කරු පංතියේ සටන අවශ්‍යයෙන්ම ගෝලීය ධනවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටනකි.

මෙය කම්කරු පංතියට පැහැදිලි කිරීම සඳහා සසප එහි දේශපාලන විශ්ලේෂනයේ කේන්ද්‍රීය අක්ෂය ලෙස ලෝක දේශපාලනය සහ ගෝලීය ආර්ථික අර්බූදය යොදා ගැනීම 'නිකන් බොරු දේශපාලන මතවාද” යැයි සඳහන් කරමින් චන්දන එය හෙලා දුටුවේය.

එක්සත් ජනපද නේටෝ බලයන් රුසියාවට එරෙහිව යුක්‍රේනය මැදිකරගෙන ගෙනයන යුද්ධය ද, එක්සත් ජනපදය ප්‍රමුඛ අධිරාජ්‍යවාදී බලයන්ගේ පූර්න සහයෝගයෙන් ඊශ්‍රායලය පලස්තීනය තුල ගෙනයන ජන සංහාරය ද, වොෂින්ටනය තම ප්‍රධාන ප්‍රතිමල්ලවයා ලෙස දකින චීනයට එරෙහිව සූදානම් කෙරෙන යුද්ධය ද න්‍යෂ්ටික ලෝක යුද්ධයක් දෙසට වර්ධනයවන ආකාරය පෙන්වා දෙමින්, මෙම ව්‍යසනය නැවැත්වීමට ජාත්‍යන්තර කම්කරු පංතිය මත පාදක වූ ලෝක යුද-විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා සසප තම ජාත්‍යන්තර ව්‍යාපාරය වන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සමග එක්ව ගෙනයන උද්ඝෝෂනය චන්දනගේ වෛරයට ලක්විය.

සහෝදර, සහෝදරියනි, ඔබ හමුවේ පවත්නා සැබෑ අභියෝගයන් මුනගස්වා ඔබ දේශපාලනිකව සන්නද්ධ කිරීම සඳහා සසප ගෙනයන වැඩකටයුතු වලට මොවුන් මේ සා පරිමාන විරුද්ධත්වයක් දක්වන්නේ ඔවුන් ධනපති ක්‍රමයේ ඉහඳ පනුවන් බැවිනි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පහකල පසුගිය වසරේ මහජන නැගිටීම, ධනපති අන්තර්වාර ආන්ඩු වැඩපිලිවෙලක් තුලට යොමුකොට, ජනාධිපති වික්‍රමසිංහට බලයට ඒමට සහ එමගින් කම්කරු පංතියේ සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට මේ සා පරිමාන ප්‍රහාරයන් එල්ල කිරීමට ඉඩකඩ සැලසීම සම්බන්ධයෙන් ජවිපෙ සහ චන්දන ඇතුලු සමිති නිලධරයන් මුලුමනින්ම වගකිව යුතුය.

ඉහත සියලු කරුනු වලින් සනාථ කෙරෙන්නේ, වෘත්තීය සමිති නිලධරයන් ධනපති ක්‍රමය මුලුමනින්ම වැලඳගත් හා හිසේ සිට දෙපතුල දක්වා ප්‍රජාතන්ත්‍ර-විරෝධි වූ උපකරනයන් බවට පත්ව ඇති බවයි.

කම්කරුවන්ට තම අයිතීන් සඳහා සටන ඉදිරියට ගෙන යාහැක්කේ, එය මෙම ද්‍රෝහී සමිති නිලධරයෙන් තම අතට ගැනීමෙනි.

ඒ සඳහා තමාගේම ස්වාධීන බල සංස්ථාවන් කම්කරුවන් විසින් ගොඩනඟා ගත යුතුය. කම්කරුවන්ගේ එවන් බල සංස්ථා ලෙස, ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තෝරා පත්කර ගැනෙන සහ ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ඡා තුලින් තීන්දු තීරන ගැනෙන කම්කරු ක්‍රියාකාරී කමිටු, සෑම වැඩපොලකම, කම්හලකම, වතු යායකම සහ නිවස්නා ප්‍රදේශයකම ගොඩනැගීමට සසප සටන් වදී. එවන් ක්‍රියාකාරි කමිටුවල ජාත්‍යන්තර සන්ධානයක් ගොඩනැගීමේ කටයුත්තේ සසප සහ එහි ලෝක පක්ෂය යෙදී සිටී.

සෑම කම්කරුවෙකුටම තම අදහස් ඉදිරිපත් කිරීමට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පිලිගනිමින්, මට එරෙහිව වෘත්තීය සමිති නිලධරය ගෙනයන ප්‍රජාතන්ත්‍ර-විරෝධී ක්‍රියාවන් පරාජය කිරීම සඳහා පෙරට පැමිනෙන ලෙසත්. ඉන් නොනැවතී කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී බල සංස්ථා ලෙස ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගැනීමට පෙරට එන ලෙසත් සියලු කම්කරුවන්ගෙන් මම සහෝදරාත්මකව ඉල්ලා සිටිමි.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය wsws.org කියවන්න.

0773562327 දුර කථන අංකයෙන් අප අමතන්න.

Loading