සතියක් තුල කෝවිඩ් මරන තුනක්

වික්‍රමසිංහ ආන්ඩුව වර්ධනය වන කෝවිඩ්-19 වසංගත අවදානම යට ගසයි

දෙසැම්බර් 24 දා සිට ගත වූ සතිය තුල කෝවිඩ්-19 ආසාදිත මරන තුනක් වාර්තාවීමෙන් ලංකාවේ කෝවිඩ්-19 වසංගතය යලි පැතිරීමේ බරපතල සෞඛ්‍ය අවදානමක් මතුව තිබේ. මෙම මරන තුනම කෝවිඩ් ආසාදිත යයි හඳුනා ගනු ලැබූයේ මරනයට පත් වීමෙන් පසුව සිදු කරන ලද පරීක්ෂනවලිනි.

ිගු කාලීන කෝවිඩ් හි වඩාත් ප්‍රකට රෝග ලක්ෂන කිහිපයක්

දෙසැම්බර් 24 දා, මහනුවර රෝහලේ දී නිවුමෝනියා තත්වයෙන් මරනයට පත් වූ 65 වියැති පුද්ගලයෙක්, වමනය හා ශ්වසන අපහසුතා හේතුවෙන් ගම්පහ මහ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු දෙසැම්බර් 25 දා මරනයට පත් වූ 63 වියැති කාන්තාවක් සහ ශ්වසන අපහසුතා හේතුවෙන් අනුරාධපුර මහ රෝහලට ඇතුලු කරන ලදුව දෙසැම්බර් 29 දා මරනයට පත් වූ 54 වියැති තිදරු මවක්, මෙලෙස කෝවිඩ්-19 ආසාදිතව සිටිබව හඳුනාගෙන තිබේ. කෙසේ නමුත්, ඔවුන් ආසාදිතව සිටියේ කිනම් කෝවිඩ් ප්‍රභේදයකින් ද යන්න මෙතෙක් තහවුරු කර නොමැත.

මෙම මරන වාර්තා වන්නේ, කෝවිඩ්-19 වෛරසයේ, වේගවත් ව්‍යාප්තියක් පෙන්වන ජේ.එන්. 1 නමින් හඳුන්වන ඔමික්‍රෝන් අනු ප්‍රභේදය ලොව පුරා රටවල් ගනනාවක පැතිරෙමින් පවතින තත්වය තුලයි. රටවල් 41 ක ව්‍යාප්ත වී ඇති ජේ.එන්. 1 ප්‍රභේදය ඇමරිකා එක්සත් ජනපදය තුලත්, ප්‍රංශය ඇතුලු යුරෝපයේ රටවල් ගනනාවකත්, අසල්වැසි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේත් ව්‍යාප්ත වෙමින් පවතී. මීට පෙර බලවත්ව පැවති බී.ඒ. 2.86 නමින් හැඳින්වුන ප්‍රභේදයේ බලපෑම ද මෙතෙක් පහව ගොස් නැත.

සතියක් තුල කෝවිඩ් මරන තුනක් වාර්තාවීමෙන් පෙන්නුම් කරන්නේ රට තුල තවත් ආසාදිතයන් විශාල වශයෙන් සිටිය හැකි බවයි. නමුත්, රනිල් වික්‍රමසිංහ ආන්ඩුව හා එහි සෞඛ්‍ය බලධාරීන් රෝගීන් හඳුනා ගැනීම සඳහා පරීක්ෂන ඉහල දැමීම, ආසාදිතයන් හඹායෑම, නිරෝධායනයට යොමු කිරීම හා අගුලු දැමීම වැනි හදිසි සෞඛ්‍යාරක්ෂන පියවර ගැනීම මුලුමනින්ම ප්‍රතික්ෂේපකොට ඇත.

ඒ වෙනුවට, දෙසැම්බර් 02 දා පැවති මාධ්‍ය සාකච්ඡාවකදී, සොෟඛ්‍ය ඇමති රමේෂ් පතිරන කියා සිටියේ පෙර පැවති කෝවිඩ් සමයේ අනුගමනය කල සෞඛ්‍ය භාවිතාවන්ට මහජනතාව යලි හුරුවිය යුතු බවයි. මේ වනාහි, වසංගතයෙන් මහජනතාව ආරක්ෂා කිරීමේ වගකීමෙන් ආන්ඩුව අතසෝදා ගන්නා අතරේ, එහි වගකීම මහජනතාවට භාරදෙන නරුම පිලිවෙතකි.

මනුෂ්‍ය ජීවිතවලට ඉහලින් මහ ව්‍යාපාරිකයන්ගේ ලාභ තබා ඇති ලොව පුරා ධනපති පාලකයෝ, 2021 වසරේ ඔමික්‍රෝන් ප්‍රභේදයේ අන්තරාය පවතිද්දීම “වසංගතය අවසන්” යයි ද එහි බලපෑම “හීන වී” ඇතැයි ද ප්‍රලාප ගෙතූහ. වික්‍රමසිංහ ආන්ඩුව දැන් අනුයමින් සිටින්නේ කලින් පැවති ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව ද ගෙන ගිය එම මිනීමරු පිලිවෙතයි.

කෝවිඩ් පරීක්ෂන ඇතුලු සෞඛ්‍යාරක්ෂන පියවර කිසිවක් ආන්ඩුව විසින් ක්‍රියාත්මක නොකිරීම සාධාරනීකරනය කරනුවස්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය ජී. විජේසුරිය 29 දා මාධ්‍යයට කියා සිටියේ, “සිදුව ඇති මරන කෝවිඩ්-19 වෛරසය හා සම්බන්ධයක් නැති” බවයි.

“මහජනයා කෝවිඩ්-19 ව්‍යාප්තියක් සම්බන්ධ අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නැතැ” යි ඊට දිනකට පසු ඔහු ප්‍රකාශ කලේය.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ම විවිධ පාර්ශ්වයන්ගෙන් කෝවිඩ් රෝගීන් හඳුනා ගැනීමේ පරීක්ෂන ඉහල දැමිය යුතු යයි කරන ඉල්ලීම් හමුවේ, සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් “නියැදි පරීක්ෂාවන්” සිදු කල බවත් ඒවායේ ප්‍රතිඵල “යහපත්” බවත් රජයේ සෞඛ්‍ය බලධාරීන් ප්‍රෝඩාකාරී ලෙස කියා සිටී.

“කෝවිඩ් පරීක්ෂන නොකිරීමෙන් අනවශ්‍ය ගැටලු රැසක් මතුවිය හැකි” යයි සෞඛ්‍ය ලේකම්වරයාට දැනුම් දී ඇති සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය (සෞවෘවිස) සෞඛ්‍ය අමාත්‍යාංශය සිදු කරනවා යයි කියන “පරීක්ෂන” මොනවාද, එහි නිගමන මොනවාදැයි ප්‍රශ්න කරයි.

ප්‍රතිදේහ ජනක කට්ටල (ඇන්ටිජන් පරීක්ෂන) රෝහල් තුල පවතිද්දී පවා කෝවිඩ් පරීක්ෂන රෝහල් තුල සිදු නො කරන බව එම සංගමය කියා සිටී. සෞවෘවිස ට අනුව, කෝවිඩ් රෝග ලක්ෂන සහිත රෝහල් සේවකයන් සහ කෝවිඩ් යයි සැක කරන රෝගීන් පරීක්ෂා කිරීමට පවා ක්‍රමවේදයක් රෝහල් තුල නැත.

ඕනෑම රෝගයක් සම්බන්ධව අවශ්‍ය වෛද්‍ය පරීක්ෂන කිරීම සාමාන්‍ය තත්වය වුවත් කෝවිඩ් සම්බන්ධව එසේ නො වන්නේ මන්ද, රෝහල් තුල කොවිඩ් යයි සැක කල හැකි රෝගීන් කොතරම් සිටියත් කිසිවෙකුත් නො දන්නා “නියැදි තෝරා ගෙන” පරීක්ෂා කරන්නේ මන්ද යන යුක්ති යුක්ත ප්‍රශ්න ගනනාවක් සෞවෘවිස, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්ගෙන් විමසා තිබේ.

මේ අතර, කොලඹ මහ රෝහලේ කෝවිඩ් සම්බන්ධ පරීක්ෂන සිදු කරන පීසීආර් ඒකකය මුලුමනින්ම වසා දමා ඇති බව ඊයේ මාධ්‍ය වාර්තා කලේ ය.

කැස්ස, ගඳ සුවඳ නො දැනීම, හුස්ම ගැනීමේ අපහසුතා, අධික උන හා වමනය ජේ.එන්.1 ප්‍රභේදයේ රෝග ලක්ෂන බවත් එවැනි රෝග ලක්ෂන සහිත වෛරස උන තත්වයන් හා ශ්වසන පද්ධතිය ආශ්‍රිත වෛරස රාශියක් රට තුල මේ දිනවල ව්‍යාප්ත වෙමින් පවතින බවත් සඳහන් කරමින්, වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (වෛනිස) ලේකම් හරිත අලුත්ගේ දෙසැම්බර් 27 දා මාධ්‍යයට කියා සිටියේ එවන් රෝගීන් කෝවිඩ් ආසාදිතයන් විය හැකි බවයි.

නව ප්‍රභේදයෙන්, වයස්ගත හා නිදන්ගත රෝග සහිත පුද්ගලයින්ට වැඩි බලපෑමක් එල්ල විය හැකි බවත් එවැනි පුද්ගලයින් බුස්ටර් එන්නත ලබා ගැනීම හා මුඛාවරන පැලදීම අවශ්‍ය බවත් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යනාංශ ප්‍රධාන වෛද්‍ය චන්දිම ජීවන්දර දෙසැම්බර් 31 දා මාධ්‍යයට ප්‍රකාශ කලේ ය. ඔහු වැඩිදුරටත් සඳහන් කලේ ජේ.එන්.1 නව ප්‍රභේදය ලංකාවට ආගමනය වී ඇති බව ඔහුගේ විශ්වාසය වන බවයි.

මෙම කරුනු මගින් පැහැදිලිව පෙන්නුම් කරන්නේ වික්‍රමසිංහ ආන්ඩුව හා එහි සෞඛ්‍ය බලධාරීන් නව ප්‍රභේදය ඇතුලු කෝවිඩ් වෛරසයට කිසිදු බාධාවකින් තොරව පැතිරීමට කොන්දේසි නිර්මානය කරමින් තිබෙන බවයි.

2021/2022 වසර වල ලංකාවට ගෙන්වන ලද ෆයිසර් එන්නත් මිලියන 07 ක් කල් ඉකුත් වීමට ඉඩ හැරීම මහජන සෞඛ්‍යය සම්බන්ධයෙන් ලංකාවේ ධනපති පාලක පන්තියේ නොතැකීම ඉස්මතුකර පෙන්වයි. හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ලට අනුව ගෙන්වන ලද ෆයිසර් එන්නත්වලින් භාවිතා කර ඇත්තේ සියයට 13 ක් පමනි. කොලඹින් පිට ප්‍රදේශවල එන්නත ලබා දීමට විශේෂයෙන් බූස්ටර් එන්නත ලබා දීමට සැලසුම්ගත වැඩපිලිවෙලක් නොමැතිවීම මේ තත්වයට හේතු විය.

දැනටමත් අත්‍යාවශ්‍ය සෞඛ්‍ය කාර්ය මන්ඩල, උපකරන හා ඖෂධ හිඟයෙන් දැඩි ලෙස පීඩා විඳින මහජන සෞඛ්‍ය පද්ධතියට කෝවිඩ් වසංගතයේ යලි හිස එසවීමක් කිසිසේත් දරා ගත නො හැක. ඩෙංගු, මැලේරියා, මොලේ උන, මී උන, සරම්ප වැනි වසංගත තත්වයන් ලංකාව තුල යලි පැන නැගීම පෙන්නුම් කරන්නේ මහජන සෞඛ්‍ය පද්ධතියේ සිදුව ඇති බරපතල ඛාදනයයි. රෝග පරීක්ෂාව, එන්නත්කරනය හා ප්‍රතිකාර බොහොමයක් සාමාන්‍ය කම්කරු පීඩිත මහජනයාට දරා ගැනීමට කිසිත් නො හැකි අධික මිල ගනන් සහිත පෞද්ගලික රෝහල්වලට පමනක් සීමා වෙමින් පවතී.

ඒත් සමගම, ලොව පුරා කෝවිඩ් සම්බන්ධ පරීක්ෂන, ආසාදිතයන්, මරන හා අතිරේක මරන සම්බන්ධ වාර්තාකරනය මුලුමනින්ම පාහේ නතර කොට තිබේ.

ලොවපුරා ධනපති පාලකයන් විසින් අනුයන “කෝවිඩ් සමග ජීවත්වීමේ” මිනිමරු පිලිවෙත හේතුවෙන්, කෝවිඩ්-19 වෛරසයෙන් මේ දක්වා ලොව පුරා මිලියන 07 කගේ ජීවිත බිලිගෙන තවත් මිලියන සිය ගනනකට රෝගය ආසාදනය කර තිබේ. ලංකාවේ මේ දක්වා සිදුව ඇති කෝවිඩ් මරන සංඛ්‍යාව 16,000 ඉක්මවා ඇති අතර දහස් ගනනක් ආසාදනය වී ඇත.

කෙසේ නමුත් “වසංගතය අවසන්” යයි ධනපති ආන්ඩු පතුරුවන ප්‍රලාපයන්ට එරෙහිව, ස්වාධීන වෛද්‍ය විද්‍යාඥයින් පෙන්වා දෙන ප්‍රධාන කාරනයක් වන්නේ වසංගතයේ අඛන්ඩ පැවැත්ම නව මාරාන්තික ප්‍රභේදයන් බිහි කිරීමට හේතු වන බවයි. ආසාදිත වූ පුද්ගලයන් මුහුනදෙන “දීර්ඝ කෝවිඩ්” තත්වයන් ශරීරයේ ඉන්ද්‍රියයන් ගනනාවකට බරපතල ලෙස හානි පමුනුවන බව ද ඔවුහු පෙන්වා දෙති. හෘදයාබාධ, ආඝාත, වකුගඩු රෝග හා විවිධ ස්නායු රෝගාබාධ මින් ප්‍රධාන තැනක් ගෙන තිබේ.

කෝවිඩ්-19 වසංගතය මානව සෞඛ්‍යයට තදින්ම බලපෑම් එල්ල කරමින් ලොවපුරා අතිරේක මරන සංඛ්‍යාව (කිසියම් කාල පරිච්ඡේදයක් තුල සාමාන්‍යයෙන් සිදුවන මරන සංඛ්‍යාව ඉක්මවා සිදුවන මරන සංඛ්‍යාව) සීඝ්‍රයෙන් ඉහල යමින් පවතී. ද ඉකොනොමිස්ට් වාර්තාවක් උපුටා දක්වන ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) දෙසැම්බර් 28 දා ඉදිරිදර්ශන ලිපියට අනුව 2022 නොවැම්බර් වන විට කෝවිඩ් හේතුවෙන් ලොවපුරා සිදුව ඇති අතිරේක මරන සංඛ්‍යාව මිලියන 27.4 ක් තරම් ඉහල අගයකි.

එම ඉදිරිදර්ශන ලිපිය පෙන්වා දෙන පරිදි, මේ වන විට අතිරේක මරන ගනනය කිරීම් නතරකර පැවතිය ද ස්වාධීන වෛද්‍ය විශේෂඥයින්ට අනුව කෝවිඩ් වසංගතයට පෙර පැවති මට්ටම මෙන් හතර ගුනයකින් අතිරේක මරන ලොව පුරා වැඩි වී ඇත. තරුන වයස් කාන්ඩවල අතිරේක මරන ද ඉහල ඉහල ගොස් ඇති එම විශේෂඥයෝ අවධාරනයෙන් පෙන්වා දෙති.

කෝවිඩ්-19 වසංගතය මුලිනුපුටා දැමීමේ ගෝලීය මූලෝපායක් වහා ක්‍රියාත්මක නොකලහොත් මනුෂ්‍ය වර්ගයාට මෙවන් ව්‍යසනයක් අත්වන බවට ලෝසවෙඅ නිරන්තරව කල අනතුරු ඇඟවීම යලි අවධාරනය කරමින්, ඊයේ දිනයේ ලෝසවෙඅ පලකල ඉදිරිදර්ශනයෙන් මෙසේ උපුටා දක්වමු:

'වසංගතයේ වසර හතරකට පසුව ඉතා පැහැදිලිව පෙන්නුම් කෙරෙන්නේ, මුදල්-උමතුවෙන් පෙලෙන මුල්‍ය කතිපයාධිකාරයක කෑදර ලාභ අවශ්‍යතා වෙනුවෙන් මහජන සෞඛ්‍ය වියදම් සියල්ල යටත් කෙරෙන ලෝක ධනවාදය යටතේ එවන් ගෝලීය මූලෝපායක් කිසිදා පැන නොනගින බවයි. මහජන සෞඛ්‍යයේ කේන්ද්‍රීය සංකල්පයක් වන රෝගයක් තුරන් කිරීම හෝ මුලිනුපුටා දැමීම යන අදහසම අතහැර දමා ඇත. වසංගතය අවසන් කිරීමට මෙන්ම ධනේශ්වර ම්ලේච්ඡත්වයට සහ තුන්වන ලෝක යුද්ධයට තවදුරටත් සිදුවන අවගමනය නැවැත්වීමට හැකි වනු ඇත්තේ ලෝක සමාජවාදී විප්ලවය හරහා පමනි.'

Loading