ඉදිරිදර්ශන

කම්කරු පන්තිය, ධනපති ම්ලේච්ඡත්වයට එරෙහි සටන සහ සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ගොඩනැගීම (දෙවන කොටස)

[මෙය The working class, the fight against capitalist barbarism and the building of the World Party of Socialist Revolution (Part Two) යන මැයෙන් 2024 ජනවාරි 04 පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]

මෙය කොටස් මාලාවක දෙවන කොටසයි. පලමු කොටස ජනවාරි 6 නිකුත් විය.

කෝවිඩ්-19 වසංගතය සහ සමූහ මරන හා දුක් වේදනා සාමාන්‍යකරනය

1. නව වසර ආරම්භ වෙද්දී, ගෝලීය මහජනතාවගේ ජීවිත වලින් හා සෞඛ්‍යයෙන් ඉමහත් වන්දියක් ගනිමින් කෝවිඩ්-19 වසංගතය ඉදිරියට ඇදෙමින් පවතී. දෙසැම්බර් මාසයේදී ක්ෂනිකව ගෝලීය ආධිපත්‍යයට පැමිනි JN.1 ප්‍රභේදය මගින් ඇති කරන ලද මහා ආසාදන, දුබලතා සහ මරන රැල්ලක් ලෝකය මේ වන විට අත්විඳිමින් සිටී. JN.1 යනු දැඩි ලෙස විකෘතිකරනය වූ, අධික ලෙස බෝවන සහ ප්‍රතිශක්ති-ප්‍රතිරෝධී වෛරස ප්‍රභේදයකි. 2022 සැප්තැම්බරයේ, “වසංගතය අවසන්” බවට ජෝ බයිඩන් කල ප්‍රකාශයෙන් මූර්තිමත් කෙරුනු, සෑම ධනපති ආන්ඩුවක් සහ සංගත මාධ්‍යයක් විසින් වපුරන ලද බේගල් වනාහි, ප්‍රචාරනයක් මිස අන් කිසිවක් නොවන බව හෙලිදරව් වෙමින් පවතී.

2. රෝග පාලන හා වැලැක්වීමේ මධ්‍යස්ථාන (සීඩීසී) විසින් නිකුත් කරන ලද නවතම අපජල දත්ත වලට අනුව—දැන් සියලුම වසංගත නිරීක්ෂන පද්ධති විසුරුවා හැර ඇති බැවින් වෛරසය පැතිරීම දැනගැනීමට ඇති එකම විශ්වාසදායක මිනුම් ක්‍රමය එය වේ—දෙසැම්බර් 23 වන විට එක්සත් ජනපදය තුල වෛරස් සම්ප්‍රේෂනය, වසංගතයේ සමස්ත කාලය තුල එහි දෙවන ඉහලම මට්ටමට ලඟා වී තිබුනි. මෙය සිදුවූයේ, වාර්තාගත මිලියන 115 ක ඇමරිකානුවන් නිවාඩු කාලයේදී පවුලේ සාමාජිකයන් බැහැ දැකීමට දිගු දුර ගමන් යාම හේතුවෙන් නොදැනුවත්වම තම ආදරනීයයන් වෙත වෛරසය පැතිරවීමට පෙරය.

3. මෙම රැල්ල ඉක්මනින් ම දිනකට ආසාදන මිලියන 2 ක් පමන බිහිකරනු ඇති බවටත්, ඇමරිකානු ජනගහනයෙන් තුනෙන් එකකට ආසන්න ප්‍රමානයකට, එනම් දල වශයෙන් මිලියන 100 ක ජනතාවකට, රැල්ලේ කාලසීමාව අතරතුර කෝවිඩ්-19 ආසාදනය වීමට ඉඩ ඇති බවටත් විද්‍යාඥයෝ අනාවැකි පල කරති. තවමත් අපජල දත්ත විශ්ලේෂනය කරන සියලුම රටවල, JN.1 ගෝලීය වශයෙන් ප්‍රමුඛ වී පවතින බැවින්, පසුගිය මාසය පුරා, ඊට සමාන හෝ ආසන්න වශයෙන් සමාන වාර්තාගත සම්ප්‍රේෂන මට්ටම් ලේඛනගත වී තිබේ.

4. සෑම කාර්ය සාධක දර්ශකයක්ම—රෝහල්ගතවීම්, මරන සහ දිගු කාලීන කෝවිඩ් වලින් පීඩා විඳීම—ඉදිරි සති සහ මාසවලදී ගෝලීය වශයෙන් ක්‍රමයෙන් නරක අතට හැරෙනු ඇත. එක්සත් ජනපදයේ දැඩි ලෙස පීඩාවට පත් වූ ඊසානදිග සහ මැදපෙරදිග කලාපවල රෝහල්ගතවීම් දැනටමත් ඉහල යමින් පවතින අතර, රෝගීන් සමග ගැටෙන අතරේ ආසාදනය නොවී සිටීමට ගන්නා මංමුලා සහගත උත්සාහයක් ලෙස, මුහුනු ආවරන නියෝග නැවත ක්‍රියාත්මක කිරීමට රෝහල් දාම ගනනාවකට බල කෙරී තිබේ. රෝමයේ සහ ඉතාලියේ අනෙකුත් ප්‍රදේශවල මෙන්ම වෙනත් රටවල රෝහල් ද ශ්වසන රෝගවලින් පෙලෙන රෝගීන්ගෙන් පිරී පවතී. පසුගිය මාස තුන තුල එක්සත් ජනපදයේ නිල කෝවිඩ්-19 මරන සෑම සතියකම 1,000 ඉක්මවා ඇති අතර එය දිගටම ඉහල යනු ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය භාවිතා කරන ගතානුගතික ඇස්තමේන්තු අනුව, ආසාදනවලින් සියයට 10 ක් දිගු කාලීන කෝවිඩ් වලට තුඩු දෙයි; අවම වශයෙන් තවත් මිලියන 10 ක් ඇමරිකානුවන් ඉදිරි මාසවලදී මෙම බිහිසුනු පීඩාවට මුහුන දෙනු ඇත.

ිගු කාලීන කෝවිඩ් හි වඩාත් ප්‍රකට රෝග ලක්ෂන කිහිපයක්

5. වසංගතයේ වර්තමාන තත්වය සම්බන්ධයෙන් ඇති සියලුම කරුනු සහ දත්ත ගෝලීය ජනගහනයෙන් වසන් කර ඇති අතර, ඒ වෙනුවට නිමක් නැති බොරුවලට, වපුරන සැකසංකාවලට සහ ප්‍රචාරවලට යටත් කර, දැන් නිහඬතාවයේ වේල්පටින් ආවරනය කර ඇත. ආන්ඩුව, සංගත, මාධ්‍ය සහ වෘත්තීය සමිති නිලධරයන් තමන් සතු බලය පාවිච්චි කරමින් අර්බුදයේ සැබෑ බරපතලකම ක‍්‍රමානුකූලව වසන් කරති. සෑම දිනකම මිලියන ගනනක් රෝගාතුර වී දහස් ගනනක් ගෝලීය වශයෙන් මිය ගියද, ප්‍රතිවිපාක කුමක් වුවද, වසංගතයේ යථාර්ථය සරලව නොසලකා හැරීම, ප්‍රතික්ෂේප කිරීම සහ මුසාකරනය වෙත නිල ප්‍රතිපත්ති පිරිහෙලා ඇත.

6. ධනපති පන්තිය විසින්, වෛරසයට නිහීන ලෙස යටත්වීමේ 'සදහටම කෝවිඩ්' ප්‍රතිපත්තිය තෝරාගෙන ඇත; බාධාවකින් තොරව වෛරසය පරිනාමය වීමට ප්‍රශස්ත තත්වයන් නිර්මානය කර ඇත්තේ, සෑම වසරකම බිලියන ගනනක් මිනිසුන් ආසාදනය කර, මිලියන ගනනක් දුර්වල කර මරා දමන තෙක් වෛරසය නිදහසේ පැතිර යාමට ඉඩ හරිමිනි. කෝවිඩ්-19 වඩාත් ව්‍යාධිජනක හා මාරාන්තික වීමෙන් වලක්වන කිසිවක් නොමැති බවටත්, සියලු අවම කිරීම් ඉවත් කිරීම එවැනි ප්‍රභේදයක් පරිනාමය වීමේ සම්භාවිතාව ඉහල නැංවීම පමනක් බවටත් ප්‍රතිපත්තිගරුක විද්‍යාඥයෝ දිගින් දිගටම අනතුරු අඟවති.

7. පාලක ප්‍රභූන් ජන සංහාරය සහ න්‍යෂ්ටික යුද්ධය සාමාන්‍යකරනයේ යෙදෙන ආකාරයටම, හිතාමතාම, කෝවිඩ්-19 බාධාවකින් තොරව පැතිරීමට ඉඩ හරිමින්, සිදුවෙමින් පවත සමූහ මරන සහ මිනිස් දුක් වේදනා සාමාන්‍යකරනයේ යෙදෙති. 21 වැනි සියවසේ දී ධනපති ම්ලේච්ඡත්වය කරා පල්ලම් බැසීමට මූලිකත්වය ගෙන සිටින දේශපාලන බල මන්ඩල වල, සියල්ලටත් වඩා, අධිරාජ්‍යවාදයේ මධ්‍යස්ථානවල, දැන් මිනිස් ජීවිතය කෙරෙහි එම නොතැකීම ම පැතිර ඇත.

8. වසංගතය නිසා සිදුවන සැබෑ මරන සංඛ්‍යාවන් පිලිබඳ වඩාත් නිවැරදි මිනුම වන්නේ, පූර්ව-වසංගත පාදක අගයන්ට වඩා ඉහල ගොස් ඇති අතිරික්ත මරන සංඛ්‍යාවයි. 2020 දී, ද ඉකොනොමිස්ට් දත්තයන්ට අනුව, වසංගතය හේතුවෙන් මරන 5,460,000 ක් සිදුව තිබේ. ඉන්දියාවේ පමනක් ඩෙල්ටා ප්‍රභේදය විසින් මිලියන ගනනක් මරා දැමනු වසංගතයේ මාරාන්තික වසර වන 2021 දී අතිරික්ත මරන 12,540,000 ක් සිදු විය. 2022 දී තවත් අතිරික්ත මරන 6,900,000 ක් විය. පසුගිය වසර පුරා, ද ඉකොනොමිස්ට් සිය දත්තයන් යාවත්කාලීන කල අවසන් දිනය වූ නොවැම්බර් 18 වන විට අතිරික්ත මරන 2,500,000කට වඩා වැඩි විය. සමස්තයක් වශයෙන්, දැන් සමුච්චිත අතිරික්ත මරන සංඛ්‍යාව මිලියන 27.4 ක් වන අතර එය නිල සංඛ්‍යාව වන මිලියන 7 මෙන් සිවු ගුනයකි.

9. මෙම මරනවලින් අතිමහත් බහුතරයක්, කෝවිඩ්-19 ආසාදනයේ උග්‍ර අවධියේදී හෝ වෛරසය ශරීරයට ඇති කල හැකි අසංඛ්‍ය නිශේධනීය බලපෑම් වලට සෘජුවම පැවරිය හැකිය. 2020 සිට අධ්‍යයන දහස් ගනනක ලේඛනගත කර ඇති පරිදි, කෝවිඩ්-19 ආසාදනය හෘදයාබාධ, ආඝාතය, වකුගඩු රෝග, දියවැඩියාව, ප්‍රතිශක්තිකරන අක්‍රමිකතා, විවිධ ස්නායු ආබාධ සහ තවත් බොහෝ රෝග පිලිබඳ අවදානම ඉහල නංවයි.

10. වැලැක්විය හැකිව තිබූ මෙම මරනවල දැවැන්ත මට්ටමෙන් ඔබ්බට, වසංගතය මානව ඉතිහාසයේ විශාලතම ශාරීරික දුබලතා පරිමානය ද නිර්මානය කර තිබේ. ගෝලීය වශයෙන් මිලියන සිය ගනනක් මිනිසුන් දැන් දිගු කාලීන කෝවිඩ් ලෙස හඳුන්වන, කල් පවත්නා රෝග ලක්ෂන වලින් පීඩා විඳිති; එය ශරීරයේ සෑම අවයවයකටම පාහේ බලපෑම් කල හැකිය. බොහෝ අධ්‍යයනයන් පෙන්වා දී ඇත්තේ එක් එක් ප්‍රති-ආසාදනය සමඟ එක් එක් පුද්ගලයාගේ දිගු කාලීන කෝවිඩ්-19 ආසාදනය වීමේ අවදානම වැඩි වන බවයි; පසුගිය මාසයේ සංඛ්‍යාලේඛන මත කැනඩාවේ ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයකින් හෙලි වූයේ, දිගු කාලීන කෝවිඩ් වර්ධනය වූ කැනේඩියානුවන්ගේ ප්‍රතිශතය ඔවුන්ගේ පලමු කෝවිඩ්-19 ආසාදනයෙන් පසු සියයට 14.6 සිට, තුන්වැන්නෙන් පසුව සියයට 38 දක්වා ඉහල ගොස් ඇති බවයි.

'සදහටම කෝවිඩ්' ප්‍රතිපත්තියේ විකාසනය

11. වසංගතයේ පලමු වසර තුල, විවිධ රටවල සහ එක් එක් රටේ පාලක පන්තියේ විවිධ කොටස් තුල විකල්ප උපාය මාර්ග තුනක් මතු විය: තුරන් කිරීම, අවම කිරීම සහ “රංචු ප්‍රතිශක්තිය”. කිසිදු මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගයකින් තොරව වෛරසය පැතිරීමට ඉඩ දීමේ අවසාන ප්‍රතිපත්තිය ස්වීඩනය, මහා බ්‍රිතාන්‍යය, බ්‍රසීලය, එක්සත් ජනපදයේ සමහර කොටස් සහ තවත් රටවල මුලින්ම ක්‍රියාත්මක විය. මෙම ප්‍රතිපත්තිය ඉක්මනින්ම ජනගහනයට එරෙහි යුද්ධයක ස්වරූපය ගත් අතර වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සාපරාධී විය.

12. මෙම රටවල ප්‍රතිපත්ති තීරන නිර්නය කෙරුනේ ධනේශ්වර ලාභ ඉපැයීමේ රලු ගනනයන් විසිනි: කොටස් වෙලඳපොලවල ඩොලර් බිලියනයක් අහිමි වීමට වඩා මිලියනයක් මිනිසුන් මිය යාම යහපත් ය. 2020 මාර්තු-අප්‍රේල් මාසවලදී ගෝලීය මූල්‍ය ප්‍රාග්ධනවල කෙයාස් (CARES) පනත සහ අනෙකුත් ඇපදීම් සුරක්ෂිත වූ පසු, පාලක පන්තියේ ආකල්පය, මහජන සෞඛ්‍යය කෙරෙහි වෙන කවරදාටත් වඩා වැඩි සතුරුකමක් සහ දිගු කාලීන කෝවිඩ් සමඟ සමූහ මරන හා දුබලතා ඇති වීම කෙරෙහි නොතැකීමක් දක්වා වහාම හැරී ගියේය. මෑතකාලීන එක්සත් රාජධානියේ කෝවිඩ් පරීක්ෂනයෙන් හෙලි වූ පරිදි, බ්‍රිතාන්‍යයේ එවක අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මෙම මිනීමරු දෘෂ්ටිය සාරාංශගත කලේ, කෝවිඩ්-19 යනු, “සොබාදහම මහලු අය සමඟ ගනුදෙනු කිරීමේ ක්‍රමයක්” ලෙසිනි.

අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් (වමේ) 2020 ඔක්තෝබර් 10 වැනි දින භාන්ඩාගාර චාන්සලර් රිෂි සුනක් සමඟ කොවිඩ්-19 සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වයි [Photo by Pippa Fowler/No 10 Downing Street / CC BY 2.0] [Photo by Pippa Fowler/No 10 Downing Street / CC BY 2.0]

13. එක්සත් ජනපදයේ, නිව් යෝර්ක් ටයිම්ස් තීරු ලිපි රචක තෝමස් ෆ්‍රීඩ්මන් ස්වීඩනයේ සාහසික ප්‍රතිපත්තිය වැලඳ ගනිමින්, “රෝගයට වඩා ප්‍රතිකාරය නරක විය නොහැක” යන වාක්‍ය ඛන්ඩය නිර්මානය කලේය; එය ඉතා ඉක්මනින් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නැවත වැඩට දැක්කීමේත්, අගුලු දැමීමට විරුද්ධ ප්‍රචාරනයේත් මන්ත්‍රය බවට පත්විය. කෝවිඩ්, ධනවාදය සහ පන්ති යුද්ධය: වසංගතයේ සමාජ හා දේශපාලන කාලානුවේදය හි හැඳින්වීම තුල ලෝසවෙඅ මෙසේ සඳහන් කරයි:

අගුලු දැමීම් සහ වෙනත් අත්‍යවශ්‍ය මහජන සෞඛ්‍ය පියවර මගින් සති දෙකකට අඩු කාලයක දී වෛරස් සම්ප්‍රේෂනය මන්දගාමී කෙරුනු නමුත්, එමගින් ශ්‍රම සූරාකෑම සහ ලාභ උත්පාදනය සඳහා ආවශ්‍යක ශ්‍රම බලකාය සංගතවලට අහිමි කෙරුනු බැවින්, එවන් මහජන සෞඛ්‍ය පියවර තවදුරටත් නොඉවසන මූල්‍ය කතිපයාධිකාරයේ පන්ති අවශ්‍යතා මෙම වාක්‍ය ඛන්ඩය තුල සාරාර්ථයෙන් ප්‍රකාශයට පත්විය.

14. වෙනත් රටවල, වසංගතය පාලනය කිරීමේ මූලෝපායේ කොටසක් ලෙස, මුව ආවරන පැලඳීම සමඟ වඩාත් දැඩි අගුලු දැමීම් 2020 දී බලාත්මක කරන ලදී. 2021 දී එන්නත් නිකුත් කිරීමත් සමඟ, එන්නත්, මුව ආවරන සහ අනෙකුත් සීමිත පාලනය කිරීමේ ක්‍රියාමාර්ග හරහා වසංගතය ක්‍රමයෙන් අවසන් වනු ඇති බවට වන දැක්ම පුලුල්ව පැතිර ගියේය. මෙය, 2021 මැයි මාසයේ දී වඩාත් ව්‍යාධිජනක ඩෙල්ටා ප්‍රභේදයේත්, විශේෂයෙන් 2021 නොවැම්බර් මාසයේ දී අතිශයින් බෝවනසුලු ඔමික්‍රෝන් ප්‍රභේදයේත් පරිනාමය සමඟ පුපුරා ගිය මිත්‍යාමය ස්වප්නයක් බව සනාථ විය.

15. ඔමික්‍රෝන් වේගයෙන් බිලියන ගනනකට ආසාදනය වී ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවක් මරා දැමූ විට, වසංගතය කෙරෙහි විශ්වීය ධනේශ්වර ප්‍රතිචාරය, කෝවිඩ්-19 පැතිරීම පාලනය කිරීමට ගත් සියලු උත්සාහයන් විවෘත හෑල්ලු කිරීමකට සහ ප්‍රතික්ෂේප කිරීමකට පරිවර්තනය විය. ඔමික්‍රෝන් සහ එහි සියලුම පරම්පරාවන් 'මෘදු', 'ඒකදේශික' සහ සෘතුමය උන සමඟ සැසඳිය හැකි ලෙස නිරූපනය කිරීම වෙනුවෙන් නොනවතින ප්‍රචාරක ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී. 2022 පුරා පාසල්වල සහ වෙනත් පොදු ස්ථානවල මුහුනු ආවරන පැලඳීම මුලුමනින් ඉවත් කරන ලදී; නොමිලේ පීසීආර් පරීක්ෂන කෙරෙන ස්ථාන විසුරුවා හරිමින්, ආසාදන, රෝහල්ගතවීම් සහ මරන පිලිබඳ දත්ත වාර්තා කිරීම ක්‍රමයෙන් ඛාදනය කෙරුනි.

16. 2023 දී සිදුවූයේ මෙම ව්‍යාපාරය ගැඹුරුවීමක් පමනි. පසුගිය මැයි මාසයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය (ඩබ්ලිව්එච්ඕ), බයිඩන් පරිපාලනය සහ අනෙකුත් ජාතික සෞඛ්‍ය ආයතන ඔවුන්ගේ කෝවිඩ්-19 මහජන සෞඛ්‍ය හදිසි (පීඑච්ඊ) ප්‍රකාශයන් විධිමත් ලෙස අවසන් කර, ශතවර්ෂයකට වැඩි කාලයක් තුල ඇති වූ දැවැන්තම මහජන සෞඛ්‍ය අර්බුදය තුල, ඔවුන් විසින් ඇත්ත වශයෙන්ම, දැනටමත් තථ්‍යව අත්හැර දමා තිබූ සියලු නිල ප්‍රතිචාරයන් නීතිගත කලේය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ගෝලීය ජනගහනයෙන් විශාල කොටස් නිරායුධ වී ඇති අතර වසංගතයේ පවතින අන්තරායන් ගැන නොදැන සිටිති.

17. ඒ අතරම, පීඑච්ඊ අවසන් කිරීම, නිල සංඛ්‍යාලේඛන සම්පූර්නයෙන්ම සාවද්‍ය බවට පත් කරමින්, සිද්ධීන් සහ මරන වාර්තා කිරීම මෙන්ම රෝහල්වල පරීක්ෂන ඇතුලුව සියලුම වසංගත නිරීක්ෂන ඉවත් කිරීමට පහසුකම් සැලසීය. මෙම ප්‍රතිපත්ති වෙනස් කිරීම මගින් සියලුම පරීක්ෂන, එන්නත් සහ ප්‍රතිකාර පෞද්ගලීකරනය කිරීමද අවසාන වශයෙන් තහවුරු විය. ෆයිසර් සහ මොඩර්නා දැන් ඔවුන්ගේ එන්නත් සඳහා රෝගීන්ගෙන් සහ රක්ෂන සමාගම්වලින් ඩොලර් 100 කට වැඩි මුදලක් අය කරන අතර, ඉදිරි වර්ෂයේදී ආන්ඩුවේ සැපයුම් අවසන් වූ විට ෆයිසර් එහි ජීවිතාරක්ෂක ප්‍රතිකාරය වන පැක්ස්ලොවිඩ් එජ ඩොලර්1,390 කට මිල කිරීමට සැලසුම් කරයි. මිලියන 13.4 කට අධික ඇමරිකානුවන් 2023 දී මෙඩිකේඩ් වෙතින් ඉවත් කරන ලදී; 2024 දී තවත් මිලියන ගනනකට මෙම වැදගත් සෞඛ්‍ය රක්ෂනය අහිමි වනු ඇත. රට පුරා රෝහල් වඩාත් අවදානම් සහිත ජනගහනය ආරක්ෂා කිරීම සඳහා අත්‍යවශ්‍ය මුහුනු ආවරන නියෝග ඉවත් කරන ලද අතර එය පසුගිය වසරේදී රෝහල්වල කෝවිඩ්-19 ආසාදන සහ මරන විශාල වැඩිවීමක් ඇති කලේය. යුරෝපය පුරා ඊට සමාන ක්‍රියාවලීන් දිග හැරී තිබේ; යාවත්කාලීන කරන ලද බූස්ටර එන්නත් සහ පැක්ස්ලොවිඩ් වැනි ප්‍රතිකාර ලොව පුරා ජනගහනයෙන් අතිමහත් බහුතරයකට ලබා ගත නොහැක.

18. “සදහටම කෝවිඩ්” විශ්වීය ලෙස සම්මත කිරීම පාලක පන්තියේ සියලුම කොටස් තුල සුජනක විද්‍යා (20 වන සියවසේ ප්‍රසිද්ධියට පත් විද්‍යා-විරෝධී ප්‍රවනතාවක්-පරිවර්තක) සංකල්පවල පුනර්ජීවනයක අවශ්‍යතාව මතු කර ඇත. මහා ආසාදන, දුබලතා සහ මරනවල නිරන්තර රැලි සාධාරනීකරනය කිරීම සඳහා, වයෝවෘද්ධ හා වඩාත්ම අවදානමට ලක්විය හැකි පුද්ගලයින් නිල සමාජය විසින් වැදගැම්මකට නැති අය ලෙස සැලකීමට ලක්කර තිබේ.

19. මෙම ෆැසිස්ට් මතවාදයේ වඩාත් පැහැදිලි සූත්‍රගත කිරීම් ප්‍රකාශ වූයේ, බයිඩන් පරිපාලනය යටතේ එක්සත් ජනපදයේ ඉහලම මහජන සෞඛ්‍ය නිලධාරීන් දෙදෙනා වන වෛද්‍ය රොෂෙල් වැලන්ස්කි සහ ඇන්තනි ෆවුසි විසිනි. 2022 ජනවාරි 7 වන දින, ඔමික්‍රෝන් ප්‍රභේදය මතුවී සති කිහිපයකට පසු සහ කෝවිඩ්-19 වසංගතයෙන් රෝහල්ගතවීම් සහ මරන සංඛ්‍යාවන් ඉහල යන තත්වයන් යටතේ, වැලන්ස්කි, ඒබීසී සමඟ කල සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කලේ, “අතිවිශාල මරන සංඛ්‍යාවක්” සිදුවීම '[ජීවිතය අලුතින්] ආරම්භ කිරීමට අපහසු පුද්ගලයින්' සඳහා “දිරිගන්වනසුලු පුවතක්” බවයි. වසර දෙකකට ආසන්න කාලයකට පසු, 2023 අගෝස්තු 28 වන දින, ෆවුසි බීබීසීයට මෙසේ පැවසුවේ ය: “අවදානමට ලක්විය හැකි අය මග දෙපස ඇදවැටෙනු ඇත, ඔවුන් ආසාදනය වනු ඇත, ඔවුන් රෝහල් ගත කරනු ඇති අතර ඇතැමුන් මිය යනු ඇත.”

ජාතික අසාත්මිකතා සහ බෝවන රෝග පිලිබඳ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඇන්තනි ෆවුසි. [ඒපී ඡායාරූප/සාරා සිල්බිගර්] [AP Photo/Sarah Silbiger]

20. “වසංගතය අවසන්ය” යන පරම වශයෙන් ව්‍යාජ ප්‍රකාශය විශ්වීය ලෙස සම්මත කර ගැනීම මත පදනම්ව, මුහුනු ආවරන පැලඳීම අධෛර්යමත් කිරීමේ සහ එයට විරුද්ධ වීමේ ව්‍යාපාරයේ කැපී පෙනෙන උත්සන්න වීමක් අත්දුටු, වසංගතයේ සිව්වන වසර තුල විද්‍යාවට එල්ල වූ ප්‍රහාර ඒවායේ උච්ඡතම අවස්ථාවට ලඟා විය. ගෝලීය වශයෙන් සියලුම ආන්ඩු සහ සංගත මාධ්‍ය ආයතන වලින් පැන නගින, ක්‍රමානුකූලව සාවද්‍ය තොරතුරු සැපයීමේ මෙම ව්‍යාපාරයට විද්‍යාව තුල කිසිදු පදනමක් නැත.

21. අවසානයේදී, බලගතු මූල්‍ය හා ආර්ථික අවශ්‍යතා විසින්, හිතාමතාම ජීවිත අපේක්ෂාව අඩු කිරීමේ උත්සාහයක කොටසක් ලෙස පාලනය කිරීම් අත්හැරීම ප්‍රවර්ධනය කෙරුනි. මෙම සුජනක විද්‍යා ප්‍රතිපත්තිය බයිඩන් පරිපාලනයේ ප්‍රමුඛ මහජන සෞඛ්‍ය බලධාරීන් විසින් බලාත්මක කරන ලද්දකි. “විද්‍යාව අනුගමනය කිරීම” සහ වසංගතය නැවැත්වීම සඳහා වූ මැතිවරන ප්‍රචාරක පොරොන්දු අර්ධ වශයෙන් හේතු වෙමින් තේරී පත් වූ බයිඩන්ට, කෝවිඩ්-19 න් ඇමරිකානුවන් 700,000 කට අධික සංඛ්‍යාවක් මියයාම අධීක්ෂනය කිරීමට සිදුවිය; ඔහු 2023 ජනවාරි වන විට මරන සංඛ්‍යාව පිලිබඳ “සිතීම නැවැත්වූ” බව පිලිගත්තේය.

22. ඩිමොක්‍රටික් පක්ෂයමත් අනුගත වූ උද්ඝෝෂනයක් වන, පීටර් හොටෙස් වැනි විද්‍යාඥයින්ගේ ජීවිතවලට එල්ල කල කායික තර්ජන ඇතුලු විද්‍යාත්මක ප්‍රජාවට එරෙහි නිර්දය ප්‍රහාරයකින් වසංගතයට එරෙහි සටන යටපත් කර ඇත. ඒ අතරම, දශක ගනනාවක අයවැය කප්පාදුවෙන් පසු මහජන අධ්‍යාපනය කඩා වැටෙන තත්වයක පවතී. අතිරේක වසංගත අරමුදල් සියල්ල සිඳී යන බැවින් දැන් එය [අයවැය කප්පාදුව] වඩාත් නරක අතට හැරෙමින් පවතී. මහජන සෞඛ්‍යයේ ප්‍රමූලධර්ම ඇතුලුව, බුද්ධි ප්‍රබෝධයේ සිට ඇතිවූ සෑම ප්‍රගතිශීලී වර්ධනයක්ම ආපසු හරවමින් සිටින පාලක පන්තිය, ෆැසිස්ට්වාදය හා න්‍යෂ්ටික යුද්ධය දෙසට රූටා යමින් සිටියි.

2024 දී ගෝලීය වශයෙන් තුරන් කර දැමීමේ සටන

23. වසංගතය සඳහා වන තුන්වන මූලෝපය වන තුරන් කිරීම ආරම්භයේ සිටම කල හැකි බව චීනයේ සහ අනෙකුත් රටවල අත්දැකීම් තුලින් ඔප්පු වූ අතර, සමූහ මරන ප්‍රතිපත්තියට සහ වැඩපිලිවෙලට විකල්පයක් පවතින බව පෙන්නුම් කලේය. ශතවර්ෂ ගනනාවක් තිස්සේ සංවර්ධනය කරන ලද සහ ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් හොඳින් දන්නා මහජන සෞඛ්‍ය ක්‍රම නිවැරදිව යෙදීම තුලින්, කෝවිඩ්-19 සම්ප්‍රේෂනය නැවැත්විය හැකිවාක් මෙන්ම ජීවිත බේරා ගත හැකිය.

24. මුලදී වසංගත පාලනය වැරදි ලෙස හැසිරවීම හේතුවෙන් මහජනතාව තුල විරුද්ධත්වයක් ඇවුලුනු තතු තුල, චීන කොමියුනිස්ට් පක්ෂය (සීසීපී) 2020 ජනවාරි මාසයේදී ඉක්මනින් ගමන් මග වෙනස් කර, මහා පරිමාන පරීක්ෂන, දැඩි ලෙස ආශ්‍රිතයන් හඹායාම සහ සියලුම ආසාදිත රෝගීන් ආරක්ෂිතව හුදකලා කිරීම සමඟ ඒකාබද්ධව, වෛරස් සම්ප්‍රේෂනයේ සියලුම දාම කපා හැරීමේ අරමුනින් අවශ්‍ය අගුලු දැමීම් පැනවීය. දින 76 කට පසු, ජනගහනය අගුලු දැමීම් වලින් එලියට ආ අතර සාපේක්ෂව සාමාන්‍ය පූර්ව වසංගත තත්වයන්ට ආපසු පැමිනියේය. චීනයේ දේශසීමා හරහා වෛරසය ඇතුලු වීමේ තර්ජනය සමීපව නිරීක්ෂනය කල බැවින් සෑම පැතිරීමක්ම අවසන් විය. නවසීලන්තය, වියට්නාමය, ඔස්ට්‍රේලියාව සහ අනෙකුත් රටවල් චීනයේ ආදර්ශය අනුගමනය කිරීම, ඒ හා සමානව දීර්ඝ කාලයක් සඳහා ශූන්‍ය-කෝවිඩ් පවත්වා ගැනීමට හැකියාව ලබා දුන්නේය.

25. වසංගතයේ පලමු වසර තුල, මිලියන ගනනක් ජාත්‍යන්තරව මිය ගිය අතර, චීනයේ මුල් පුපුරා යාමෙන් ජීවිත 4,634 ක් පමනක් අහිමි වූවද ඊලඟ වසර තුල සිදු වූයේ මරන හතරක් පමනි. කෙසේ වෙතත්, මෙම තුරන් කිරීමේ උපාය මාර්ගයේ දිගුකාලීන ශක්‍යතාව එය ජාත්‍යන්තරව යොදා ගැනීම මත රඳා පවතී. චීනයේ ආර්ථික මූලෝපායේ එම මූලික ප්‍රතිවිරෝධතාව, එනම් රටේ සමස්ත සංවර්ධනය ජාතිකවාදී පදනම් මත පැවතීම, වසංගතය සමග ගමන් කිරීමේදී ඛේදජනක ලෙස ප්‍රකාශයට පත්විය.

26. ඊලඟ වසර දෙකහමාර සඳහා අධිරාජ්‍යවාදී බලවතුන්, යුද්ධය සඳහා ඔවුන්ගේ දිගුකාලීන සූදානමේ කොටසක් ලෙස, වසංගතය චීනයට එරෙහි අවියක් ලෙස යොදා ගත්හ. මෙම චීන විරෝධී ප්‍රචාරනයේ කේන්ද්‍රීය අක්ෂය වූයේ “වුහාන් පරීක්ෂනාගාර බොරුව”—ට්‍රම්ප්ගේ ෆැසිස්ට් උපදේශක ස්ටීව් බැනන් විසින් 2020 ජනවාරි මාසයේදී වසංගතයේ සියලු දොස් චීනය මතට හරවා යැවීමට කුමන්ත්‍රන න්‍යාය—සහ ජීවිතාරක්ෂක ශුන්‍යය කෝවිඩ් ප්‍රතිපත්තියට එරෙහි නොනවතින උද්ඝෝෂන යි. ඔමික්‍රොන් ප්‍රභේදය පැතිරීම වැලැක්වූ තාවකාලික අගුලු දැමීම්වලට ප්‍රතිචාර වශයෙන් 2022 අගභාගයේදී ඔවුන්ගේ නිෂ්පාදන පහසුකම් චීනයෙන් පිටතට ගෙන යන බවට ඇපල්, නයිකි සහ අනෙකුත් ප්‍රධාන බටහිර සංගත එල්ල කල පැහැදිලි තර්ජන සමග මෙය අවසන් විය. ඇත්ත වශයෙන්ම, සහතික කෙරුනු ලාභ ශ්‍රමය වෙනුවෙන් අධිරාජ්‍යවාදය චීන මහජනතාවගේ ජීවිත හා සෞඛ්‍යය පැහැර ගත්තේය.

27. අවසාන වශයෙන් මෙම පීඩනයන්ට යටත් වෙමින්, චීන ආන්ඩුව 2022 නොවැම්බර් සහ දෙසැම්බර් අතර කාලය තුල සියලුම ශුන්‍ය-කෝවිඩ් ක්‍රියාමාර්ග සීඝ්‍රයෙන් අත්හැරීම සඳහා පරම වශයෙන්ම ම්ලේච්ඡ හා ප්‍රතිගාමී තීරනයක් ගත්තේය. චීන මහජනතාව සඳහා, ප්‍රතිඵලයේ ව්‍යසනකාරී බව නොඅඩු විය. බහුවිධ විද්‍යාත්මක අධ්‍යයන ඇස්තමේන්තු කර ඇත්තේ මෙම ප්‍රතිපත්ති වෙනස් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස පසුගිය ශීත ඍතුවේ දී කෝවිඩ්-19 මගින් චීන ජනතාව මිලියන 1-2 ක් මිය ගිය බවයි. එතැන් සිට, චීනය ගෝලීය 'සදහටම කෝවිඩ්' ප්‍රතිපත්තිය සමග ඒකාබද්ධ වී ඇත. පසුගිය වසර තුල විවිධ ආසාදන හා මරන රැලි වලින් පසුව, රටේ බිලියන 1.4 ක ජනගහනයෙන් මිලියන 100 කට වැඩි චීන ජනතාවක් දැන් දිගු කාලීන කෝවිඩ් වලින් පීඩා විඳිති.

චීනයේ රෝහලක හදිසි ප්‍රතිකාර වාට්ටුවක්, 2023 ජනවාරි 3. [ඒපී ඡායාරූප/ඇන්ඩි වෝංග්] [AP Photo/Andy Wong]

28. චීනයේ ශූන්‍ය-කෝවිඩ් ප්‍රතිපත්තිය සමඟ පැවති දිගුකාලීන සාර්ථකත්වය, අඩු සංවර්ධිත සහ ජනාකීර්න රටවල පවා, කෝවිඩ් -19 සඳහා තුරන් කිරීමේ මූලෝපායක ශක්‍යතාව ඔප්පු කලේය. ඒ අතරම, එහි අවසාන අභාවය අධිරාජ්‍යවාදී යුගයේ ජාතික වශයෙන් පදනම් වූ කිසිදු වැඩසටහනක අශක්‍යතාව යලි තහවුරු කලේය. ශක්‍ය නොවන බව ඔප්පු වූයේ ජාතික රාමුව මිස ප්‍රතිපත්තිය නොවේ. තුරන් කිරීම ශක්‍ය මෙන්ම අත්‍යවශ්‍ය ද වේ, නමුත් දැන් එය සාක්ෂාත් කරගත හැක්කේ පහත සඳහන් මූලධර්ම සඳහා සටන් කරන මහජන ව්‍යාපාරයක් ගොඩනැගීම හරහා පමනි:

• වසංගතයට එරෙහි සටන, සමාජවාදී විසඳුමක් අවශ්‍ය වන දේශපාලන හා විප්ලවවාදී ප්‍රශ්නයකි.

• මහජන සෞඛ්‍ය සංවිධානය විය යුත්තේ සමාජ අවශ්‍යතා මත මිස සංගත ලාභය මත නොවේ.

• සියලුම සෞඛ්‍ය සේවා, ඖෂධ සහ රක්ෂන සමාගම්වලින් ලාභ අපේක්ෂාව සම්පූර්නයෙන්ම ඉවත් කල යුතුය.

29. වසංගතය නැවැත්විය හැක්කේ ගෝලීය වශයෙන් සම්බන්ධීකරනය කරන ලද තුරන් කිරීමේ මූලෝපායක් හරහා පමනකකි. ඒ සඳහා පුලුල් මහජන සෞඛ්‍ය වැඩසටහනක් බලාත්මක කිරීමට සමස්ත ලෝක ජනගහනයම සහයෝගීතාවයෙන් සහ සාමූහික අධිෂ්ඨානයකින් ක්‍රියා කල යුතුය. පිරිසිදු ගෘහස්ථ වාතය සැපයීම සඳහා හීපා (HEPA) ෆිල්ටර සහ ආරක්ෂිත Far-UVC උපාංග යොදා ගතහැකි පරිදි සියලුම පොදු ගොඩනැගිලි ප්‍රතිසංස්කරනය කිරීම, මහා පරිමාන පරීක්ෂන, ආශ්‍රිතයන් සොයා ගැනීම, සියලුම ආසාදිත රෝගීන් ආරක්ෂිතව හුදකලා කිරීම සහ ප්‍රතිකාර කිරීම සහ විශ්වීය වශයෙන් උසස් තත්වයේ මුහුනු ආවරන භාවිතා කිරීම මත මෙම උපාය මාර්ග කේන්ද්‍රගත විය යුතුය.

30. වසංගතයේ වසර හතරකට පසු මනාව පැහැදිලි වන්නේ, මහජන සෞඛ්‍ය වියදම් සියල්ල මුදල් කෑදර මූල්‍ය කතිපයාධිකාරයක සෑහීමකට පත් කල නොහැකි ලාභ අවශ්‍යතාවලට යටත් කරන ලෝක ධනවාදය යටතේ එවන් ගෝලීය මූලෝපායක් කිසිදා මතු නොවනු ඇති බව ය. මහජන සෞඛ්‍යයේ කේන්ද්‍රීය සංකල්පයක් වන, රෝගයක් තුරන් කර දැමිය යුතුය හෝ මුලිනුපුටා දැමිය යුතුය යන අදහසම අතහැර දමා ඇත. වසංගතය අවසන් කිරීමට මෙන්ම තවදුරටත් ධනපති ම්ලේච්ඡත්වයට සහ තුන්වන ලෝක යුද්ධයකට පල්ලම් බැසීම නැවැත්වීමට හැකි වනු ඇත්තේ ලෝක සමාජවාදී විප්ලවය හරහා පමනි.

31. වසංගතය ගැන පවසා ඇති සියල්ල, දේශගුනික විපර්යාස හේතුවෙන් වර්ධනය වන පැවැත්මේ තර්ජනයට ඊටත් වඩා විශාල බලයකින් අදාල වන අතර, එහි බලපෑම ලොව පුරා පුලුල් භූමි ප්‍රදේශයකට වඩාත් තීව්‍ර ලෙස දැනේ. පසුගිය වසරේ ලොව පුරා දිනපතාම පාහේ උෂ්නත්ව වාර්තා බිඳවැටීම් සහ ආන්තික කාලගුනික සිදුවීම් රාශියක් දක්නට ලැබුනි. දැවැන්ත ලැව්ගිනි, තාප තරංග සහ වායු දූෂනය සෑම මහාද්වීපයකම පැතිරී ඇති අතර අයිස් කඳු සහ ග්ලැසියර ගෝලීයව දියවී යාම වේගවත් වෙමින් පවතී. දේශගුනික විපර්යාස සහ සැලසුම් නොකල නාගරීකරනය හරහා පෘථිවි පරිසර පද්ධති අස්ථාවර කිරීම මගින් ජීවී විශේෂයන් දහස් ගනනක් ඔවුන්ගේ සහජ වාසස්ථානවලින් එලියට ඇද දමන බව බහුවිධ අධ්‍යයනයන් මගින් පෙන්වා දී ඇති අතර එමඟින් පිටාර ගැලීමේ සිදුවීම් සහ අනාගත වසංගත ඇතිවීමේ සම්භාවිතාව වැඩි වේ.

2023 ජූනි 7, ක්විබෙක් කැනඩා ලැව්ගිනි දුමාරය නිව් ජර්සි සහ නිව් යෝර්ක් නගරය වසා දමා ඇති අයුරු, [ඡායාරූපය ඇන්තනි ක්වින්ටානෝ] [Photo by Anthony Quintano]

32. මෙම දැවෙන සමාජ අවශ්‍යතා විසඳීම සඳහා විද්‍යාවේ දියුනුව සහ සමාජයේ සම්පත් සැලසුම්ගතව යොදා ගැනීම සාක්ෂාත් කරගත හැක්කේ ලෝක සමාජවාදී සමාජයක් යටතේ පමනි. යුද්ධයට එරෙහි අරගලයට නොඅඩුව, වසංගතයට හා දේශගුනික විපර්යාසයන්ට එරෙහි අරගලය සඳහා ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරයක් ගොඩනැගීම අවශ්‍ය වේ. මෙම පිලිවෙත් වලට සටන් කරන ලෝකයේ එකම සැබෑ සමාජවාදී ව්‍යාපාරය හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවයි.

33. වසංගතය යන මාතෘකාව සම්බන්ධයෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවියට දුරින් හෝ සමාන මාධ්‍ය ආවරනයක් නොමැති වීම කැපී පෙනේ. වසංගතයට එරෙහි එකම ක්‍රමානුකූල, ඒකාබද්ධ ව්‍යාපාරය මෙහෙයවා ඇත්තේ හජාජාක, එයට අනුබද්ධ සමාජවාදී සමානතා පක්ෂ සහ ලොව පුරා ලෝසවෙඅ විසිනි. විවිධ මධ්‍යම පන්තික ව්‍යාජ-වාම ප්‍රවනතා එක්කෝ වසංගතය නොසලකා හැර හෝ විවෘතව 'සදහටම කෝවිඩ්' ප්‍රතිපත්තිය වැලඳගෙන ඇත. වෘත්තීය සමිති නිලධරයෝ පාලක පන්තියේ අවශ්‍යතා සඳහා අඛන්ඩව සේවය කර කරති. සෑම කර්මාන්තයකම සාමාන්‍ය කම්කරුවන් විසින් මතු කරන දැවැන්ත උත්සුකයන් හමුවේ—සියල්ලටම වඩා සෞඛ්‍ය සේවකයින් සහ අධ්‍යාපනඥයින් අතර, වඩාත් භයානක තත්වයන් තුල ආරක්ෂාව නොමැතිව වැඩ කිරීමට බල කෙරේ—වෘත්තීය සමිති නිලධරයන් වැඩ බලන ස්වාමිවරුන් ලෙස ක්‍රියා කරමින්, කම්කරුවන් මහා ආසාදනයට, දුබල වීමට සහ මරනයට බිලි දෙමින් සිටිති.

34. වසංගතයට එරෙහි සටන සම්පූර්නනේම විප්ලවවාදී ප්‍රශ්නයකි. ආරම්භයේ සිටම මෙය තේරුම් ගත්, ඒ සඳහා සටන් කල, සහ කම්කරු පන්තිය තුල අධ්‍යාපනයේ හා පැහැදිලි කිරීමේ ක්‍රමානුකූල ව්‍යාපාරයක් ගෙන ගිය එකම දේශපාලන සංවිධානය හජාජාකයි. වසංගතය පිලිබඳ ලිපි 6,000 කට වඩා වැඩි ප්‍රමානයක් ලෝසවෙඅ හි පල කර තිබේ. විශේෂිත විද්‍යාත්මක සඟරා සහ පුවත් පත්‍රිකා හැරුනු විට, ලෝකයේ වෙනත් කිසිදු ප්‍රවෘත්ති ප්‍රකාශනයක්, ධනේශ්වර හෝ ව්‍යාජ-වාම පුවත්පතක්, වසංගතයේ වර්ධනය පිලිබඳව හෘද සාක්ෂියට එකඟව සහ ක්‍රමානුකූලව ආවරනය කිරීම දිගටම කරගෙන යන්නේ නැත.

35. වසංගතයට එරෙහි සටන, එලඹෙන වසරේ කම්කරු පන්තියේ අරගලවල කේන්ද්‍රයේ තැබිය යුතු අතර, එය හුදෙක් ආසාදන ප්‍රශ්නවලට පමනක් සීමා නොවනු ඇත. ජීවිතයට සහ සෞඛ්‍යයට ඇති මූලික අයිතීන් සහ මහජන සෞඛ්‍යය සඳහා සියවස් ගනනාවක් පුරා ගෙන යන අරගලය ඇතුලු ගැඹුරු සමාජ ගැටලු මෙම සටනේ හදවතේ පවතී. කම්කරු පන්තියේ ඓතිහාසික අවශ්‍යතා ප්‍රකාශ කරන හජාජාක පමනක් ම ලෝක පරිමානයෙන් මෙම මූලධර්ම සඳහා සටන් කර ඇති අතර දිගටම සටන් කරනු ඇත.

Loading