වික්‍රමසිංහ ආන්ඩුව කම්කරුවන්ගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කරද්දී සෞඛ්‍ය වෘත්තීය සමිති වැඩ වර්ජනය අත්හරී

[මෙය Sri Lankan health unions call off strike as government refuses to address workers’ demands යන මැයෙන් 2024 ජනවාරි 18 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

රුපියල් 35,000 ක මාසික බාධන, උපයෝජ්‍යතා සහ ප්‍රවාහන (ඩැට්) දීමනාවක් ඉල්ලා සිටිමින් ශ්‍රී ලංකාවේ රජයේ රෝහල් සේවකයින් දස දහස් ගනනක් අඟහරුවාදා ජාතික වැඩ වර්ජනයක නිරතවිය. එම ඉල්ලීම මතම පසුගිය බ්‍රහස්පතින්දා ආරම්භ කල දෙදින ක්‍රියාමාර්ගයට පසුව සිදුකල මෙය, ඔවුන්ගේ දෙවන වැඩ නැවැත්වීම විය.

2024 ජනවාරි 16 වන දින, මාතර රෝහල ඉදිරිපිට, හෙදියන් සහ අනෙකුත් සෞඛ්‍ය සේවකයින් විරෝධතාවයක නිරත වෙමින්.

මෙම ලෙඩ නිවාඩු වැඩ වර්ජනය සංවිධානය කරන ලද්දේ සංවිධාන 72 ක එකමුතුවක් වන සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය (එච්ටීයූඒ) විසිනි. එය විකිරනවේදීන් සහ රසායනාගාර කාර්මික ශිල්පීන්, ඖෂධවේදීන් සහ ඖෂධ සංයෝජකයින්, වින්නඹු මාතාවන්, ඊසීජී කාර්මික ශිල්පීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, කීට විද්‍යා නිලධාරීන් සහ සෞඛ්‍ය සහායකයින් නියෝජනය කරයි. එච්ටීයූඒ මීට පෙර ඇඟවුම් කර තිබුනේ තම ඉල්ලීම් ඉටු නොකලහොත් වැඩවර්ජනය අඛන්ඩව සිදුකරන බවයි.

රජයේ වෛද්‍යවරුන් සඳහා ඩැට් දීමනාව මාසිකව රුපියල් 35,000 කින් වැඩි කරන බවට පසුගිය සතිය මුලදී ආන්ඩුව කල නිවේදනයට ප්‍රතිචාර වශයෙන් මෙම කාර්මික ක්‍රියාමාර්ගය කැඳවනු ලැබීය.

වැඩබලන රාජ්‍ය මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සහ සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරන සමඟ පැවති සාකච්ඡා අසාර්ථක වූ බව ප්‍රකාශ කිරීමත් සමඟ එච්ටීයූඒ නායකත්වය ඊයේ පෙරවරුවේ එම ක්‍රියාමාර්ගය නතර කලේය. අද ශ්‍රී ලංකාවට පැමිනි පසු මුදල් අමාත්‍යවරයා ද වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත වෘත්තීය සමිතිවල ඉල්ලීම් ඉදිරිපත් කරන බව සේමසිංහ පැවසීය.

එච්ටීයූඒ නිලධරය ඩැට් වැඩවර්ජනය කැඳවුම් කලේ, සෞඛ්‍ය සේවකයින්ගේ ජීවන තත්වයන් ආරක්ෂා කිරීම සඳහා අව්‍යාජ සටනක් සංවිධානය කිරීමට නොව, ඔවුන්ගේ සාමාජිකයින්ගේ වැඩෙන කෝපය සමනය කර දැමීම සඳහා ය.

තම සාමාජිකයින්ට විරෝධතා නොපවත්වා නිවසේ සිටින ලෙසට උපදෙස් දුන් සන්ධානය, සෞඛ්‍ය අමාත්‍ය පතිරනට ලිපියක් යවමින් ඉල්ලා සිටියේ “සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඔබේ පාර්ශ්වයෙන් ඇති කර තිබෙන නොසන්සුන්තාවය වැලැක්වීමට මැදිහත් වී සාකච්ඡා මාර්ගයෙන් මෙම ගැටලුව විසඳන ලෙස” යි.

එච්ටීයූඒ නායකයෙකු වන රවී කුමුදේශ් ජනවාරි 16 වැනි දින අයිලන්ඩ් පුවත්පතට මෙසේ පැවසුවේය: “ජනාධිපතිතුමාගේ කැබිනට් යෝජනාව මගින් ඇති කර ඇති ගැටලු විසඳීමට අපි යම් කාලයක් ලබා දීමට තීරනය කලා. අප නැවතී සිටින්නේ ඒ නිසා. නමුත් ජනාධිපතිතුමා අපේ ප්‍රශ්න විසඳුවේ නැත්නම් අපි ක්‍රියාමාර්ග ගන්නවා”. වෘත්තීය සමිති සම්මුතියකට යාමට කැමැත්තෙන් සිටින බවද ඔහු පැවසීය.

වෘත්තීය සමිති නායකත්වයේ සැබෑ උත්සුකය නම්, මෙම “නොසන්සුන්තාව”, ආන්ඩුවේ පුද්ගලීකරනය හා රැකියා විනාශ කිරීමේ පිලිවෙත්වලට විරුද්ධව අනෙකුත් ක්ෂේත්‍රයන් හි කම්කරුවන්ගේ නැගී එන අරගල සහ එකතු කල අගය මත බද්ද (වැට් බදු) මෙම මාසයේ ඉහල දැමීම මගින් නිර්මානය කරන ලද දැරිය නොහැකි ජීවන කොන්දේසි සමග ඒකාබද්ධ වනු ඇතැයි යන්නයි. ජනවාරි මුල් සතියේ ලංකා විදුලිබල මන්ඩල සේවකයන් දස දහස් ගනනක්, රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරනයට එරෙහිව දින තුනක අසනීප නිවාඩු ව්‍යාපාරයකට සහභාගී විය.

2023 මාර්තු මාසයේදී කුමුදේශ් සඳහන් කල පරිදි, “ඒකාබද්ධ අරගලයකට සහභාගී වන ලෙස අපි කම්කරුවන්ගෙන් ඉල්ලා සිටියහොත්, සියලු දෙනාම පාරට එනු ඇත. අපි, මේ වගේ වැඩ වර්ජන කරන්න බෑ කියලා මිනිස්සු යටපත් කරගෙන ඉන්නවා.”

ආරක්ෂක මාන්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඊයේ මාධ්‍ය වෙත ප්‍රකාශ කලේ, රටේ ත්‍රිවිධ හමුදාවේ අංශ තුනේම පිරිස් රෝහල්වල සේවය කිරීම සඳහා බලමුලු ගන්වා ඇති බවයි. ගිලන්රථ සම්බන්ධ කටයුතු, ට්‍රොලි තල්ලු කිරීම, වාර්තා තබා ගැනීම සහ වෙනත් වැඩ සඳහා සොල්දාදුවන් සම්බන්ධ වී ඇත. පසුගිය සතියේ දින දෙකක වර්ජනය අතරතුර, ආන්ඩුව විසින් හොරිකඩ වැඩ සඳහා සොල්දාදුවන් ද යෙදවීය.

වෘත්තීය සමිති නායකත්වය මිලිටරිය වැඩ වර්ජන බිඳින්නන් ලෙස යොදා ගැනීමට විරුද්ධ වී නැති අතර, සියලුම සෞඛ්‍ය සේවකයින් සහ සමස්තයක් ලෙස කම්කරු පන්තිය මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි මෙම ප්‍රහාරයට සෘජුවම විරුද්ධ විය යුතුය. ආන්ඩුව සන්නද්ධ හමුදා යොදා ගැනීම කම්කරු පන්තියට එරෙහිව ඊටත් වඩා කුරිරු මැදිහත්වීම් සඳහා පෙරහුරුවකි.

ජනතා විමුක්ති පෙරමුනට අනුබද්ධ සමස්ත ලංකා හෙද සංගමය (ඒසීඑන්යූ), රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය (ජීඑන්ඕඒ) සහ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය (පීඑස්යූඑන්යූ) ඊයේ පැවති ක්‍රියාමාර්ගයට සහභාගී නොවීය. ඒසීඑන්යූ විසින් කොලඹ ජාතික රෝහලේ සහ තවත් රෝහල් කිහිපයක වෙන වෙනම දිවා ආහාර වේලේ දී විරෝධතා පැවැත්වීය. කෙසේ වෙතත්, වර්ජනය නොකරන ලෙස පීඑස්එන්යූ වෘත්තීය සමිති නායකත්වය කල කැඳවීම නොතකා, එහි සාමාජිකයන් විශාල පිරිසක් පසුගිය සතියේ පැවති එච්ටීයූඒ විරෝධතාවලට සහභාගි වූහ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (ජීඑම්ඕඒ) නායකත්වය, ඔවුන්ගේ සෙසු සෞඛ්‍ය සේවකයින්ට සහාය දෙනවා වෙනුවට, කාර්මික ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් ඔවුන් හෙලා දැක තිබේ. ජීඑම්ඕඒ නිලධරය නරුම ලෙස ප්‍රකාශ කර ඇත්තේ, ඩැට් ගෙවීම හුදෙක් වෛද්‍යවරුන්ට මිස අන් කිසිවෙකුට හිමි නැති බව යි. අනෙකුත් සෞඛ්‍ය සේවකයින්ගේ සංගම්වල මෙන් මෙම භේදකාරී ප්‍රතිචාරය, සෞඛ්‍ය සේවකයින් ඔවුන්ගේ ශ්‍රේනි සහ වෘත්තීන් අනුව වෙන් කිරීම මගින් ආන්ඩුවට වාසි සලසයි.

2024 ජනවාරි 16 දින ඩැට් දීමනාව ඉල්ලා සිටින මාතර රෝහලේ හෙද හෙදියන්

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව රාජ්‍ය අංශයේ සේවකයන්ගේ වැටුප්වල කවර හෝ වැඩි කිරීමකට විරුද්ධය. රාජ්‍ය වියදම් තියුනු ලෙස අඩු කිරීමට සහ රජයේ ආදායම තියුනු ලෙස වැඩි කිරීම සඳහා ජාමූඅ ඉල්ලීම්වලට අනුකූලව, කම්කරුවන්ගේ මූර්ත වැටුප් සහ දුප්පතුන්ගේ සොච්චම් ආදායම කප්පාදු කිරීමට ආන්ඩුව අධිෂ්ඨාන කර ඇත.

වෘත්තීය සමිති නිලධරයේ අනෙකුත් සියලුම කොටස් මෙන්ම සෞඛ්‍ය සමිති ද ජාමූඅ නියෝග වලට සහාය දක්වයි. කුමුදේශ් එහි කප්පාදු වැඩපිලිවෙලට 'පෞද්ගලිකව' සහාය දෙන බව ප්‍රසිද්ධියේම පවසයි.

ආන්ඩුවේ කප්පාදු පිලිවෙත්වලට එරෙහිව කම්කරුවන් විසින් ඒකාබද්ධ කාර්මික හා දේශපාලන ක්‍රියාමාර්ගයක් වර්ධනය කිරීමට විරුද්ධ වන වෘත්තීය සමිති නායකත්වය, ඔවුන්ගේ ඉල්ලීම් ලබා දීමට ආන්ඩුවට බලපෑම් කල හැකි බව අවධාරනය කරමින්, තනි තනි ගැටලු සම්බන්ධයෙන් වෙනම හුදකලා පියවරයන් සඳහා කැඳවුම් කරයි. එවැනි ක්‍රියාවන් නිෂ්ඵල බව අතීත අත්දැකීම් මගින් පෙන්නුම් කර ඇත.

ලෝසවෙඅ වාර්තාකරුවෝ මෙම සතියේ කොලඹ ජාතික රෝහලේ කම්කරුවන් සමඟ මෙම ගැටලු සාකච්ඡා කලහ.

වසර 35 ක් පමන රෝහලේ වැඩ කල එක් වර්ජකයෙක් තම තත්වය පැහැදිලි කලේය. “මම විශ්‍රාම ගොස් වසර දෙකක් පමනක් වන නමුත්, නය සඳහා අඩුකිරීම්වලින් පසු මාසිකව නිවසට රැගෙන යන්නේ රුපියල් 35,000 ක් විතරයි. වසංගත කාලය තුල අපට කොරෝනා වෛරස් දීමනාවක් ලබා දුන්නේ මාසයකට විතරයි.

“බස් ගාස්තු සහ ආහාර ද්‍රව්‍යවල මිල ඉහල ගිහින්—අපට කන්න පුලුවන් අපට අවශ්‍ය ප්‍රමානයෙන් භාගයක් විතරයි—විදුලි බිල සහ ජල බිල්පත් ඉහල ගිහින්. මගේ දරුවන් තිදෙනාට රැකියාවක් නොමැති අතර මගේ බිරිඳ අසනීපයෙන් පසුවන රෝගියෙක්” යැයි ඔහු පැවසීය.

“අපි වර්ජනය කරන විට, එය රෝගීන්ට බලපාන බැවින් අපට දොස් පැවරිය හැකි නමුත් අපිට කරන්න දෙයක් නෑ. ආන්ඩුවට බලපෑම් දැමීමෙන් වැඩක් වෙයි කියල මම විශ්වාස කරන්නේ නැහැ. ආන්ඩුව අපිට ඇහුම්කන් දෙනවා නම් අපි අද ඉන්න තත්වෙට පත්වෙන්නෙ නැහැ,” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවකයින් 2020 වසරේ සිට ශ්‍රී ලංකාවේ කම්කරු පන්තියේ අනෙකුත් කිසිදු කොටසකට වඩා වැඩ වර්ජන හා විරෝධතාවල යෙදී ඇත. දැන් ඔවුන්ට සිදුව ඇත්තේ කුමක්ද යන්න දේශපාලනිකව විමර්ශනය කල යුතුය.

ඔවුන්ගේ අයිතීන් සඳහා සහ සමාන ප්‍රහාරයන්ට මුහුන දෙන අනෙකුත් කම්කරුවන් සමඟ එකමුතුව සඳහා සැබෑ එක්සත් අරගලයක් සංවිධානය කිරීමට නම් සෞඛ්‍ය සේවකයින් කාරනා තමන්ගේ අතට ගත යුතුය. මෙයින් අදහස් කරන්නේ වෘත්තීය සමිතිවලින් සහ ධනේශ්වර ගැති සියලු පක්ෂවලින් ස්වාධීනව හා ප්‍රජාතන්ත්‍රවාදීව පාලනය වන ක්‍රියාකාරී කමිටු පිහිටුවීම සහ ලාභය වෙනුවට මානව අවශ්‍යතා ප්‍රමුඛත්වය ගන්නා සමාජවාදී වැඩපිලිවෙලක් සඳහා සටන් කිරීමයි.

වෘත්තීය සමිති යකඩ සැට්ටයෙන් ස්වාධීනව සංවිධානය වීමේ අවශ්‍යතාවය අවබෝධ කරගත්—වෛද්‍යවරුන්, හෙදියන්, තාක්ෂනික සේවකයින් සහ සෞඛ්‍ය සේවකයින් ඇතුලු—සමහර සෞඛ්‍ය සේවකයින් දැනටමත් සෞඛ්‍ය සේවක ක්‍රියාකාරී කමිටුවක් පිහිටුවාගෙන කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය හරහා ඔවුන්ගේ ගෝලීය සගයන් සමඟ සම්බන්ධ වී ඇත.

වික්‍රමසිංහ ආන්ඩුවේ ම්ලේච්ඡ ප්‍රහාරයන්ට එරෙහිව දැන් දිවයින පුරා අරගල කරන සෞඛ්‍ය සේවකයින්ගෙන් අපි ඉල්ලා සිටින්නේ සෞඛ්‍ය සේවක ක්‍රියාකාරී කමිටුව අමතා ඔබගේ සේවා ස්ථානයේ එවැනි කමිටුවක් ස්ථාපිත කරන්නේ කෙසේදැයි සාකච්ඡා කරන ලෙසයි.

health.action.committee@gmail.com යන විද්‍යුත් තැපෑලෙන් හෝ දුරකථනය +94 (71) 342 1150 මගින් අප හා සම්බන්ධ වන්න

Loading