ඕමානයේ දී රැකියා අහිමිවන ලාංකික කම්කරුවන් ආරක්ෂා කිරීම වික්‍රමසිංහ ආන්ඩුව ප්‍රතික්ෂේප කරයි

ශ්‍රී ලංකාව ඇතුලු දකුනු ආසියානු රටවල කම්කරුවන් බොහොමයක් රැකියා සොයා ඇදෙන මැදපෙරදිග රටක් වන ඕමානය තුල රැකියා අහිමිවීම ඉහල ගොස් තිබේ. ගෘහ සේවක සහ පුහුනු කම්කරු රැකියා ඇතුළු පුළුල් පරිමාවක රැකියා අහිමිවීම කම්කරුවෝ අත්දකිති. එලෙස රැකියා අහිමි වූ සහ රැකියා සොයාගත නොහැකි වූ ශ්‍රී ලාංකික කම්කරුවන් පිරිසක් තමා ආපසු ගෙන්වා ගන්නා ලෙස වික්‍රමසිංහ ආන්ඩුවෙන් ඉල්ලා සිටිමින් ඕමානයේ මස්කට් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අසල උද්ඝෝෂනයක යෙදී සිටිති.

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අසල මහා මාර්ගයේ රැකියා අහිමි කම්කරුවන් රැඳී සිටින ආකාරය -photo midle east workers [Photo: Middle East Workers]

මෙම කම්කරුවන් ඕමානයට පැමින ඇත්තේ සංචාරක වීසා මත බැවින් ඔවුන් පිලිබඳ වගකීමක් තම රජයට නොමැතිබව පවසන ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කොට ඇත. ජනවාරි 10 වැනිදා මස්කට් තානාපති කාර්යාලය නිකුත්කල නිවේදනයක මෙසේ සඳහන් වෙයි: “කල් ඉකුත් වූ සංචාරක වීසා හෝ රැකියා වීසා මත සිටින ශ්‍රී ලාංකික සංක්‍රමනිකයන්ට තානාපති කාර්යාලය ඉදිරිපිට රැස් නොවන ලෙසත්, සුල්තාන් රාජ්‍යයේ අනාගත රැකියා අපේක්ෂාවෙන් සිටින ශ්‍රී ලාංකිකයන්ට අදාල වීසා කාලය ඉකුත් වීමට පෙර රට හැර යන ලෙසටත් තානාපති කාර්යාලය යලිත් වරක් උපදෙස් දෙයි. වීසා කල් ඉකුත් වී ඇත්නම් අදාල ඕමාන බලධාරීන්ට දැනුම් දී ඉකුත් වූ කාලය සඳහා අදාල ගෙවීම් කර නික්ම යන ලෙස ද උපදෙස් දෙයි.”

ඉහත නිවේදනයට අනුව, ජනවාරි 02 දා, පොලිසිය තානාපති කාර්යාල ඉදිරිපිට රැඳී සිටිි ශ්‍රී ලාංකික කම්කරුවන් ඉවත්කොට තිබේ. එහි දී කම්කරුවන් 80ක් පමන අත් අඩංගුවට ගත් බවත් එයින් 30ක් පමන කාන්තාවන් බවත්, කම්කරුවන්ගේ ආධාරයට පැමිනි තවත් ලංකික කම්කරුවකු වන අරුන ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) ප්‍රකාශ කලේය. දැන් කාර්යාලය ඉදිරිපිට රැඳී සිටින්නේ, කලින් එහි සිටි පිරිස අත්අඩංගුවට ගෙන ඉවත් කිරීමෙන් පසු යලි එකතුවූ අයයි.

නිවේදනයට අනුව, කාන්තාවන්ගේ ආරක්ෂාවට යැයි පිහිටුවා තිබෙන තානාපති කාර්යාලයට අනුබද්ධ සුරක්ෂා නිවසද ඔවුන්ට වැසී තිබේ.

මහා මාර්ගය අසල පදික වේදිකාවේ රැඳී සිටින මෙම කම්කරුවන්ගේ තත්ත්වය දැඩිලෙස අනාරක්ෂිතය. ඔවුන් ජීවත් වන්නේ සහෝදර කම්කරුවන්ගේ ආධාර උපකාර වලිනි. වැසිකිලි, සනීපාරක්ෂක පහසුකම් නොමැත. දහවල අධික උෂ්නත්වයට ද රාත්‍රියේ අධික සීතලට ද නිරාවරනයවන ඔවුන්ට නිදා ගැනීමට සිදුව ඇත්තේ ඉවත් කරන කාර්ඩ්බෝඩ් පෙට්ටි මතය.

පසුගිය වසර ආරම්භයේ, ඕමානය තුල කම්කරු කාන්තාවන් මුදලට විකිනීමේ ජාවාරමක් ගැන වාර්තා පලවීමත් සමග පැනනැගි මහජන නොසන්සුන්භාවය සමනය කරනුවස් ඒ පිලිබඳ පරීක්ෂන ආරම්භ කරන බව ආන්ඩුව නිවේදනය කලේය. කම්කරුවන්ට උපකාරීවීම කෙසේ වෙතත්, සුරක්ෂා නිවසේ සිටි පිරිස සහ තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂනය කල කාන්තාවන් ඇතුලු 80ක් පමන පොලිස් අත්අඩංගුවට පත්කිරීමට කාර්යාලයේ බලධාරීහු වසර මැද දී කටයුතු කලහ.

වීසා කාලය ඉකුත්වීමෙන්, රැකියා අහිමිවීමෙන් සහ අඩන්තේට්ටම් හේතුවෙන් ආරක්ෂාව පතා පැමිනෙන්නන් ඉහල යෑම නිසා, සුරක්ෂා නිවසෙහි රැඳී සිටි සංඛ්‍යාව එහි ධාරිතාව මෙන් පස් හය ගුනයකින් ඉහල ගිය තතු තුල සංචාරක වීසා මත පැමිනෙන්නන් ඇතුලත් කරගැනීම එතැන් සිට නතර කෙරිනි.


එලෙස පොලිස් අත්අඩංගුවට පත්වී පසුව ඕමාන රජයේ පොදු සමාව යටතේ ලංකාවට පැමිනි හර්ෂනී ප්‍රදීපිකා රත්නායක ලෝසවෙඅ ට පැවසුවේ, හිතවතෙකුගෙන් ලැබුනු ආධාරයෙන් ගුවන් ප්‍රවේශ පත්‍රය ලබාගෙන ලංකාවට පැමිනියද තම දරුවා සහ රෝගී මව ජීවත් කර ගැනීමේ විසඳාගත නොහැකි අර්බුදයක ඇය පැටලී ඇති බව යි. එසේ පොදු සමාව ලබා ලංකාවට පැමිනි කිසිවෙකුට හෝ ගුවන් ප්‍රවේශපත්‍ර ලබාදීම ආන්ඩුව ප්‍රතික්ෂේප කලේය.

ඕමානයේ විදේශ කම්කරුවන්ගේ තත්ත්වය වඩාත් දුෂ්කර කරමින් පසුගිය වසරේ නොවැම්බර් මස සිට විදේශකයින් සඳහා සියලුම වර්ගයේ සංචාරක වීසා රැකියා වීසා බවට පරිවර්තනය කිරීම ඕමාන රජය විසින් අත්හිටුවා ඇත. පොලිසිය බුරුතු පිටින් විදේශ කම්කරුවන් අත් අඩංගුවට ගෙන මූලික පහසුකම් නොමැති රැඳවුම් කඳවුරු තුල ඔවුන් ගාල් කරයි. ඉන්පසු සමහර කම්කරුවන්ට සිදුවූයේ කුමක්ද යන්න පිලිබඳ වාර්තා පවා නොමැත. මෙවන් තත්වයක් තුල ලංකාවේ ආන්ඩුවේ නිහඬ පිලිවෙත කම්කරුවන් මරනයට ඇද දැමීමකි.

පොලිසියේ වදබන්ධනයට මෙන්ම ඕමාන ආන්ඩුවේ රුදුරු නීති රීති වලටද කම්කරුවන් මුහුන දෙයි. වීසා කාලය අවසන් වීමෙන් පසුව දින 30කට වඩා එරට තුල රැඳී සිටිය නොහැක. එසේ කල් ඉකුත්ව රැඳී සිටින කාලයට දිනකට ඕමාන් රියාල් 10 බැගින් රියාල් 500ක උපරිම දඩයකට යටත් වීමට කම්කරුවන්ට සිදුවේ. එම මුදල සොච්චම් වැටුප් ලබන කම්කරුවන්ට දරාගත නොහැකි රුපියල් ලක්ෂ 04 ඉක්මවායන විශාල අගයකි.

මැර කන්ඩායම් ද කම්කරුවන්ට එරෙහිව ක්‍රියාත්මක වෙමින් පවතී. පසුගිය බ්‍රහස්පතින්දා යකඩ පොලු අතැතිව පැමිනි එක් මැර කන්ඩායමක් රාත්‍රී සහ දිවා කාලයේ දී කිහිප විටක්ම කම්කරුවන්ට පහර දුන් බවත් කාන්තා කම්කරුවන් බලහත්කාරයෙන් ඇදගෙන යෑමට උත්සාහ කරන බවත් උද්ඝෝෂනයේ නිරත කම්කරුවෝ ලෝසවෙඅ ට පැවසූහ.

එහි සිටින රැකියා අහිමිවූ කම්කරුවෙක් වන සිතුම් ප්‍රකාශ කලේ නැවත ලංකාවට යෑම සඳහා ගුවන් ප්‍රවේශ පත්‍රයට යන වියදම ද ඇතුලුව ලක්ෂ 6ක පමන මුදලක් අවශ්‍ය වන බවයි. ඔහු ලංකාවේ මිනිස් බල කම්කරුවෙකු ලෙස විඳ ඇති දුෂ්කරතා ඉවසනු බැරි තැන පසුගිය වසරේ ඕමානයට පැමිනි කාර්මිකයෙකි. සැලකිය යුතු වැටුපක් සහිත රැකියාවක් බලාපොරොත්තුවෙන් පැමිනිය ද, ඔහුට මෙතෙක් ලැබී ඇත්තේ කෑමවේල පමනි.

“මෙහි පැමිනීමට ලක්ෂ පහමාරක් විදේශ රැකියා ආයතනයට ගෙවන්න සිදුවුනා. විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී රැකියාවක් සඳහා යන්නේ නම් ලක්‍ෂ දොලහක් පමන අවශ්‍ය බව ඔවුන් පැවසුවා. එවැනි මුදලක් නැති නිසා මම සංචාරක වීසා මත විදේශගතවීමට අකමැත්තෙන් තීරනය කලා” යැයි ඔහු පැවසිය.

එම ස්ථානයේ රැඳී සිටින තවත් කම්කරුවකු සඳහන් කලේ, තමන් ඉවත් කිරීම සඳහා සහ කම්කරුවන්ගෙන් බලහත්කාරයෙන් වැඩ ගැනීම සඳහා ක්‍රියාත්මක වන මැර නඩ වලට තානාපති කාර්යාලයේ අනුග්‍රහය ලැබෙන බවයි. එම මැර කන්ඩායමක් පැමිනි වාහනයක අංකයද ඔහු ලබා දුන්නේය.

ඕමානයේ සිටින විදේශ කම්කරුවන්ගේ සංඛ්‍යාව මිලියන 1.5ක් පමන වේ. ඔවුන් ආසියාවේ සහ අප්‍රිකාවේ ඉතාම දිලිඳු රටවලින් පැමිනි අය වන අතර, ඔවුන් සියලුදෙනාම මුහුන දෙන්නේ එකම තත්වයකටයි. නිසිපරිදි වැටුප් නොලැබීම සහ කෘර සැලකීමට බඳුන්වීම බොහෝ කම්කරුවන් අත්විඳින තත්වය බව ගාඩියන් වාර්තාකොට තිබේ.

ගැඹුරුවන ගෝලීය ධනේශ්වර අර්බුදය හේතුවෙන්, රටක් රටක් පාසා කම්කරුවන්ගේ ශ්‍රමය සූරාකෑම සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් පාගා දැමීම උග්‍ර කෙරී ඇති අතර, එක්සත් ජනපදය ප්‍රමුඛ අධිරාජ්‍යවාදීන්ගේ පූර්න පිටුබලය සහිතව ඊශ්‍රායලය විසින් පලස්තීනය තුල ගෙනයන ජන සංහාරය මගින් සමස්ත මැදපෙරදිග කලාපය තුල අවුලුවා ඇති යුද්ධය මෙම තත්වය වඩාත් තීව්‍ර කර ඇත.

විදේශයන්හි රැකියාවේ නියුතු කම්කරුවන්‌ගේ ප්‍රේෂන මත සුවිසල්ව යැපෙන ශ්‍රී ලංකාව වැනි රටවල ධනපති ආන්ඩු, විදේශ රැකියා සඳහා සෑම අතින්ම කම්කරුවන් දිරි ගන්වන තතු තුල, අනුප්‍රාප්තික ආන්ඩු විසින් ඛාදනය කරන ලද තම ජීවන කොන්දේසි අල්පයකින් හෝ ඉහල දමා ගැනීමේ අරමුනෙන් අන් රටකට ගොස් රැකියාවක නිරත වීමට කම්කරුවෝ යත්න දරති. රැකියා වීසා ලබා ගැනීමට අවශ්‍ය සුවිසල් මුදල වැය කිරීමට නොහැකි තතු තුල සංචාරක වීසා මගින් හෝ විදේශගත වීමට ඔවුහු නිතැතින්ම පෙලැඹෙති.

ඔවුන්ගේ ප්‍රේෂන කෑදරව ඩැහැ ගන්නා ධනපති පාලකයන්, කම්කරුවන් මුහුන දෙන අනේකවිධ ගැටලු වලදී ධනපති නීතිය හරස්කොට අතසෝදා ගනු ලබන්නේ ආන්තික නරුමත්වය ප්‍රදර්ශනය කරමිනි. ධනපතියන්ට කම්කරුවන් යනු ලාභෝත්පාදන මාධ්‍යයක් පමනි. ධනවාදය මරලතෝනි දෙන වත්මන් යුගයේ මෙය වඩාත් විශද වෙමින් පවතී.

නිෂ්පාදන මාධ්‍යයන්ගේ පුද්ගලික අයිතිය සහ ලාභය මත පාදක වූ ධනපති ක්‍රමයත්, එය මුල්බැස ඇති ජාතික රාජ්‍ය පද්ධතියත්, මානව ප්‍රගතියට මුලුමනින්ම සතුරුව පිහිටා සිටී. ‌තමා කැමති ස්ථානයක රැකියා කිරීමට කම්කරුවන්ට ඇති මූලික අයිතියට එරෙහිව පිහිටා සිටින ජාතික රාජ්‍යය පද්ධතියම ලෝක යුද්ධයට ද ගාමකය සපය යි.

Loading