ප්‍රසිද්ධ රැස්වීම: විදුලිබල කම්කරුවන්ට එරෙහි ශ්‍රී ලංකා ආන්ඩුවේ දඩයමට විරුද්ධ වෙනු!

ලංකා විදුලිබල මන්ඩලයේ (ලංවිම) කම්කරුවන්ට එරෙහිව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව දියත්කර ඇති දඩයමට විරුද්ධව ශ්‍රී ලංකාවේ කම්කරු ක්‍රියාකාරී කමිටු එකමුතුව විසින් ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වනු ඇත. පෙබරවාරි 1 දා සවස 4 ට, කොලඔ 02, ජේ.එම්.සී. ජයසේකර කලමනාකරන මධ්‍යස්ථානයේ පැවැත්වෙන මෙම අවස්ථාවට සම්බන්ධ වෙන ලෙස අපි කම්කරුවන්ගෙන් සහ තරුනයින්ගෙන් ඉල්ලා සිටිමු.

වික්‍රමසිංහ ආන්ඩුව සහ එය විසින් ක්‍රියාවට දමා තිබෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (අයිඑම්එෆ්) ඇනවූ පෞද්ගලීකරන සහ කප්පාදු පිලිවෙත්වලට එරෙහිව ජනවාරි 3 සිට 5දක්වා තෙදින විරෝධතාවට සම්බන්ධවූ කම්කරුවෝ දඩයමට ලක්ව සිටිති. මෙහි කොටසක් ලෙස ලංවිම කලමනාකාරිත්වය පසුගිය සතිය පුරා කම්කරුවන් 66 දෙනෙකුගේ සේවය අත්හිටවූයේ ය.

විරෝධතාවට කලින් දිනයේදී කම්කරුවන්ගේ නිවාඩු අවලංගු කිරීමට ගත් තීන්දුව මත පදනම්ව එලැඹෙන සතියේදී තවත් කම්කරුවන් ගනනාවකගේ සේවය එලෙස අත්හිටුවීම සඳහා ලංවිම කලමනාකාරීත්වය සැලසුම් කරමින් සිටී. දඩයමට ලක්වූ කම්කරුවෝ, ආන්ඩුව විසින් ක්‍රියාවට දමා ඇති අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ රුදුරු විධිවිධාන යටතේ දරුනු දඩුවම්වලට මුහුනදී සිටිති.

මෙය, තමන්ගේ රැකියා, වැටුප් සහ වැඩ කොන්දේසි ආරක්ෂාකර ගැනීමට වැඩවර්ජන ඇතුලු කාර්මික ක්‍රියාවේ නිරතවීමට කම්කරුවන්ට ඇති මූලික ප්‍රජාතාන්ත්‍රික අයිතිය මත එල්ල කල ප්‍රමුඛ ප්‍රහාරයකි.

මෙය හුදෙක් ලංවිම කම්කරුවන්ට පමනක් නොව, අයිඑම්එෆ් පිලිවෙත් එරෙහිව සටන් කිරීමට අධිෂ්ඨානවත් සමස්ත කම්කරුවන්ටම එරෙහි ප්‍රහාරයකි. සියගනනක් රාජ්‍ය ව්‍යවසායන් (එස්ඕඊ) පුද්ගලීකරනයට හෝ වානිජකරනයට ඉලක්ක කෙරී තිබෙන අතර, මෙම රුදුරු “ප්‍රතිව්‍යුහකරනය” ලක්ෂ පහක පමන කම්කරුවන්ට බලපානු ඇත.

ලංවිම කම්කරුවන්ට එරෙහි ආන්ඩුවේ රුදුරු මර්දනය සියලුම රජයේ සේවකයින් බියවැද්දවීමේ හා ත්‍රස්ත කිරීමේ වියරු උත්සාහයකි. ලංවිම කම්කරුවන් ආරක්ෂා කරගැනීමට පෙරට පැමිනීම, අප සියල්ලන්ගේම අයිතීන් රැකගැනීමේ සටනකි. “විදුලිබල මන්ඩලයේ දඩයම නවතනු!”, “සේවය අත්හිටවූ සියලුම කම්කරුවන් කොන්දේසි විරහිතව සේවයේ පිහිටුවනු!” යන සටන්පාඨ අප සියලුදෙනා සටනට බැසීමේ අඬහැරය කරගමු.

ලංවිම වෘත්තීය සමිති නායකයින් සහ අනෙකුත් රාජ්‍ය ව්‍යවසායන් හි ඔවුන්ගේ සගයින් විසින් වික්‍රමසිංහ ආන්ඩුවේ දඩයම් පිලිවෙත්වලට සහ පුලුල් පරාසයක කප්පාදු පියවරවලට එරෙහි ඒකාබද්ධ කම්කරු පන්තික අරගලයක් වර්ධනය කිරීම වලක්වමින් සිටියි.

වෘත්තීය සමිති නිලධරය මත හෝ සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුන ඇතුලු ධනපති පක්ෂ සහ ඔවුන්ගේ ව්‍යාජ-වාම ක්ෂමාලාපකයින් මත පිහිටා කම්කරුවන්ට ඔවුන්ගේ රැකියා, වැඩ කොන්දේසි සහ ප්‍රජාතාන්ත්‍රික අයිතීන් ආරක්ෂා කරගත නොහැක. මෙම පක්ෂ සහ වෘත්තීය සමිති අයිඑම්එෆ් කප්පාදු සඳහා කැපවී සිටිති.

වරාය කම්කරුවන්, සෞඛ්‍ය කම්කරුවන් සහ ගුරු-සිසු-දෙමාපියන් මෙන්ම සංක්‍රමනික, දුම්රිය, වතු සහ ඇඟලුම් කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටු ඇතුලත්වන අපගේ ක්‍රියාකාරී කමිටු එකමුතුව ශ්‍රී ලංකාව පුරා සිටින අපගේ පන්ති සහෝදරයින් සහ සහෝදරියන්ගෙන් ඉල්ලා සිටින්නේ තමාගේම ක්‍රියාකාරී කමිටු ස්ථාපිත කරන ලෙසත් ඔබගේ අයිතීන් ආරක්ෂා කරගැනීමේ සටන ඉදිරියට ගන්නා ලෙසත් ය.

පෙබරවාරි 1 පැවැත්වෙන අපේ ප්‍රසිද්ධ රැස්වීමේදී කම්කරුවන් දැන් මුහුනදී සිටින ප්‍රශ්න මෙන්ම කම්කරු පන්තියේ සියලුම සමාජ සහ ප්‍රජාතාන්ත්‍රික අයිතීන් ආරක්ෂා කරගැනීමේ අරගලයේ කොටසක් ලෙස ආන්ඩුව සහ ලංවිම කලමනාකාරීත්වයේ මර්දනයට එරෙහිව සටන ඉදිරියට ගෙනයාම සඳහා වැඩපිලිවෙලක් සාකච්ඡා කරනු ඇත. මෙම තීරනාත්මක රැස්වීමට සහභාගී වී, සාකච්ඡාවේ නිරත වෙමින් මෙම අරගලය වර්ධනය කිරීම සඳහා එක්වෙන ලෙස අපි ඔබට ඇරයුම් කරමු.

ස්ථානය: ජේ.එම්.සී. ජයසේකර කලමනාකරන මධ්‍යස්ථානය, කොලඹ 02 [ පිවිසුම; ශ්‍රී ලංකා විදුලිබල මන්ඩලයේ ප්‍රධාන කාර්යාලයට විරුද්ධ පැත්තෙන්]

දිනය: පෙබරවාරි 1

වේලාව: සවස 4