ලංවිම දඩයම පිලිබඳ වෘත්තීය සමිති සාකච්ඡාව ආන්ඩුවට නිෂ්ඵල ආයාචනා කිරීමෙන් අවසන් වේ

සඳුදා, ලංකාවේ වෘත්තීය සමිති, කොලඹ සමාජ හා ආගමික මධ්‍යස්ථානයේදී සාකච්ඡාවක් පැවැත්වූහ. මෙම සාකච්ඡාවට, ලංකා විදුලිබල මන්ඩලය, වරාය, තැපැල්, බැංකු, රාජ්‍ය සංවර්ධන සේවා නිලධාරීන්, දුම්රිය, සහ සෞඛ්‍ය වෘත්තිකයන් නියෝජනය කරන වෘත්තීය සමිති 40 කට අධික සංඛ්‍යාවක් සහභාගි වූහ. සාකච්ඡාවට සහභාගී වූ වෘත්තීය සමිති බොහොමයක් විපක්ෂයේ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) විසින් පාලනය කරන හෝ එය සමග පෙල ගැසුනු ඒවා ය.

මෙම සාකච්ඡාවේ ප්‍රකාශිත අරමුන වූයේ ලංවිම සේවකයන්ට එරෙහි දඩයමට විරුද්ධව සටන් කිරීමයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ තන්ත්‍රයේ නියෝගය මත මේ වන විට ලංවිම බලධාරීන් විසින් සේවකයන් 66 දෙනෙකුගේ වැඩ තහනම් කර ඇත. ආයතනය පෞද්ගලීකරනය කිරීමට එරෙහිව ජනවාරි 3 සිට 5 දක්වා පැවති විරෝධතාවලට සහභාගී වූවන්ට එරෙහිව තවත් මර්දනකාරී ක්‍රියාමාර්ග සූදානම් වෙමින් පවතී.

කෙසේ වෙතත්, සාකච්ඡාවෙන් පසු මාධ්‍ය හමුවකදී වෘත්තීය සමිති නායකයින් දැක්වූ අදහස් වලින් හෙලි වූයේ, ඔවුන්ගේ සැබෑ අරමුන දඩයමට හෝ ලංවිම පෞද්ගලීකරනයට එරෙහිව කම්කරුවන්ගේ පොදු අරගලයක් වැලැක්වීම බවයි.

වික්‍රමසිංහ ආන්ඩුව ලංවිම කම්කරුවන්ගේ විරෝධතාවට ප්‍රතිචාර දැක්වූයේ කුරිරු මර්දනයකිනි. ආන්ඩුව ඊට එරෙහිව අධිකරනයෙන් වාරන නියෝගයක් ලබා ගත්තේය. ඕනෑම වෘත්තීය ක්‍රියාමාර්ගයක් තහනම් කරන එම නියෝගය පෙබරවාරි 1 වැනිදා දක්වා දීර්ඝ කර ඇත. ජනාධිපති වික්‍රමසිංහ, අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ විදුලිය සහ ඛනිජ තෙල් අත්‍යවශ්‍ය සේවාවන් බව ප්‍රකාශයට පත් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කලේය. ලංවිම කලමනාකාරීත්වය ජනවාරි 2 සිට සියලුම සේවකයින්ගේ නිවාඩු අවලංගු කර සමාජ මාධ්‍ය භාවිතා කිරීම තහනම් කලේය. මෙම ප්‍රජාතන්ත්‍ර-විරෝධී පියවර නොතකා කම්කරුවන් විරෝධතා දැක්වීමෙන් පසුව, බලශක්ති හා විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මර්දනය සඳහා නියෝග නිකුත් කලේය.

වෘත්තීය සමිති නායකයින්ගේ පැය ගනනක සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුව පැවැත්විනි. ලංකා විදුලි සේවක සංගමයේ (සීඊඊයූ) ප්‍රධාන ලේකම් සහ ජවිපෙ නායකයෙකු වන රන්ජන් ජයලාල් පැවසුවේ දඩයමට එරෙහිව “දැවැන්ත සටනක්” සංවිධානය කිරීමට වෘත්තීය සමිති තීරනය කල බවයි.

ඔහුට පසු කතා කලේ, ජනතා විමුක්ති පෙරමුනේ ඉදිරිපෙල සාමාජිකයෙකුද වන සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමයේ ලේකම් නිරෝෂන් ගොරකාන ය. අරගලයේ පලමු පියවර ලෙස සියලු වෘත්තීය සමිති නායකයින්ගේ අත්සනින් යුත් ලිපියක් ජනවාරි 29 දින අමාත්‍ය විජේසේකරට භාරදීමට වෘත්තීය සමිති නායකයින් තීරනය කර ඇති බව ඔහු පැහැදිලි කලේය.

අමාත්‍යවරයා ප්‍රතිචාර නොදක්වන්නේ නම්, දෙවන පියවර ලෙස, ඔවුන්, ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වෙන් කර ඇති සියලුම රජය සතු ව්‍යවසායයන්හි සේවකයින් කැඳවමින් ලංවිම ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් සංවිධානය කරනු ඇත.

එම ක්‍රියාවට ද ප්‍රතිචාරය එයම වන්නේ නම්, විදුලිබල මන්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන්, වෘත්තීය සමිති, පාර්ලිමේන්තු පාරේ පොල්දූව මංසන්ධියේ දී විරෝධතාවක් සංවිධානය කරනු ඇත.

අවසාන වශයෙන්, ප්‍රතිව්‍යුහගත කිරීමේ පනත අනුමත කරන දිනයේ වැඩ වර්ජනයක් සිදුකරනු ඇත. ඇත්ත වශයෙන්ම එය සිදු කෙරෙනු ඇත්තේ, “බලාගාර සහ විදුලිබල පද්ධතිය සක්‍රීයව පවතින්නට” ඉඩහරින බව ඇමතිවරයාට දන්වමිනි.

'හමුදාව සහ පොලිසිය යොදවා ඒවා ක්‍රියාත්මක කරන ලෙස අපි ඇමතිවරයාගෙන් ඉල්ලා සිටිමු' යැයි ජයලාල් පැවසීය. අවශ්‍ය වුවහොත්, ලංවිම සේවකයින් 23,000 ම 'ඉල්ලා අස්වීමට සූදානම්.'

ලංවිම පුද්ගලීකරනය කිරීම නැවැත්වීම වෙනුවෙන් පෙරට එන කම්කරුවන්ට සියලුම රාජ්‍ය ව්‍යවසායයන් අහෝසි කර දැමීමට අධිෂ්ඨාන කර ගෙන සිටින වික්‍රමසිංහ පාලනයට එවන් තර්ජන මගින් පීඩනයක් එල්ල වනු ඇතැයි ඒත්තු ගැන්වීමට වෘත්තීය සමිති නායකයෝ උත්සාහ කරති. මේවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) විසින් ඇමරිකානු ඩොලර් බිලියන 3 ක ඇපදීමේ නයක් නිකුත් කිරීම මගින් නියම කරන ලද සහ ආන්ඩුව විසින් එකඟ වූ පියවරයන් වේ.

එපමනක් නොව, සජබ, ජවිපෙ ඇතුලු පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂ සහ සියලුම වෘත්තීය සමිති ජාමූඅ කප්පාදුවට සහයෝගය දක්වති. ඔවුන් ජාමූඅ පිලිබඳ පුහු විවේචන ඉදිරිපත් කරන්නේ, තම රැකියා, වැටුප් සහ සේවා කොන්දේසි විනාශ කරන බැවින් පෞද්ගලීකරනයට විරුද්ධ වන කම්කරුවන්ගේ ඇස් වලට වැලි ගැසීමටයි.

ජවිපෙ විසින් පාලනය කරනු ලබන වෘත්තීය සමිති, පන්ති අරගල අවහිර කරන ජාජබ මැතිවරන ව්‍යාපාරය දෙසට කම්කරු විරෝධය යොමු කිරීමට උත්සාහ කරයි. සීඊඊයූ ප්‍රධාන ලේකම් ජයලාල්, ජාජබ නුදුරු අනාගතයේදී බලයට එන බව හඟවමින්, 'ඔබට මේ අවුරුද්දේ යන්න වෙන්නේ සබ්බ සකලමනාවම පොදි බැඳගෙන' යැයි මාධ්‍ය හමුවේදී වික්‍රමසිංහ ආන්ඩුවට තර්ජනය කරමින් කියා සිටියේය.

ජනතාවගේ බර සැහැල්ලු කිරීමට සජබ ආන්ඩුව පියවර ගන්නා බවට සජබ වෘත්තීය සමිති ද ප්‍රචාරය කරයි.

මේ සියලු ප්‍රකාශ අමු බේගල් ය. මෙම පක්ෂවලින් කවුරුන් බලයට පත් වුවද, එය වික්‍රමසිංහ පාලනයට නොඅඩු කෘෘරත්වයකින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රුදුරු වැඩසටහන ක්‍රියාත්මක කරනු ඇත.

පසුගිය වසර තුල, කම්කරුවන්ගේ විරෝධය වර්ධනය වෙද්දී, වෘත්තීය සමිති විසින් විරෝධතා කීයක් නම් කැඳවා තිබේද. ජාමූඅ ප්‍රහාර අත්හැරීමට ආන්ඩුවට බලපෑම් කල හැකි බව වෘත්තීය සමිති කම්කරුවන්ට කීහ. ආන්ඩුව කිසිදු පියවරක් පසුපසට නොගෙන ජාමූඅ වැඩසටහන ක්‍රියාත්මක කරමින් වේගයෙන් ඉදිරියට ගියේය.

කම්කරුවන්ගේ පොදු අරගලයක් සංවිධානය කිරීම වෘත්තීය සමිති ප්‍රතික්ෂේප කරන්නේ, එය ආන්ඩුව හා සමස්ත ධනපති පන්තිය සමග දේශපාලන ගැටුමක් දක්වා වර්ධනය වියහැකි බැවිනි. මෙම වෘත්තීය සමිති හිස සිට දෙපතුල දක්වාම ධනේශ්වර ක්‍රමයට සහ එහි රාජ්‍යයට බැඳී සිටී.

ලංවිමට එරෙහි ආන්ඩුවේ දඩයම සියලුම කම්කරුවන්ගේ ඇස් අරවන්නකි. සටන්කාමීත්වය සහ අධිෂ්ඨානය, ඔවුන් අමාරුවෙන් දිනාගත් අයිතීන් ආරක්ෂා කිරීමට ප්‍රමානවත් නොවේ. කම්කරුවන් ශක්‍ය විකල්පයක් සෙවිය යුතුය.

අයිතීන් ආරක්ෂා කර ගැනීමේ අරගලය තම අතට ගැනීමට කම්කරුවන් මූලිකත්වය ගැනීම අවශ්‍ය වේ. ධනේශ්වර පක්ෂවලින් හා වෘත්තීය සමිතිවලින් ස්වාධීනව සෑම වැඩ පලකම, වතුකරයේ සහ කම්කරු පන්තියේ අසල්වැසි ප්‍රදේශයකම ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමෙන් කම්කරුවන්ට එවැනි මුලපිරීමක් ගත හැකිය.

එවන් අරගලයකට නායකත්වය දෙමින්, කම්කරු පන්තියට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදුවලට සහ රාජ්‍ය මර්දනයට එරෙහිව සටන් කිරීමට තමන්ගේම ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනගා ගත හැකිය.

සමාජවාදී සමානතා පක්ෂය අවධාරනය කරන්නේ, කම්කරු පන්තියට තම සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කර ගත හැක්කේ, පන්ති ක්‍රියාමාර්ග මගින් වික්‍රමසිංහ ආන්ඩුව පෙරලා දමා ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම සඳහා කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් පිහිටුවීමෙන් පමනක් බව ය.

ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරී කමිටුවල ඒකාබද්ධ කමිටුව විසින් ප්‍රසිද්ධ රැස්වීමක් සංවිධානය කර ඇත: විදුලිබල කම්කරුවන්ට එරෙහි ශ්‍රී ලංකා ආන්ඩුවේ දඩයමට විරුද්ධ වනු. රැස්වීම පෙබරවාරි 1 වැනි දින සවස 4.00 ට කොලඹ 02, ලංවිම ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට ජේඑම්සී ජයසේකර කලමනාකරන මධ්‍යස්ථානයේදී පැවැත්වේ.

ලංවිම සේවක අරගලය හා සම්බන්ධ ගැටලු ගැන සහ ක්‍රියාකාරී වැඩපිලිවෙලක් පිලිබඳව එය සාකච්ඡා කරනු ඇත. මෙම වැදගත් රැස්වීමට සහභාගි වන ලෙස අපි කම්කරුවන්ට හා තරුනයින්ට ආරාධනා කරමු.

Loading