මස්කෙලිය බ්‍රන්ස්වික් වතු කම්කරුවෝ රුදුරු සේවා කොන්දේසිවලට සහ වැටුප් කප්පාදුවට මුහුන දෙති

[මෙය மஸ்கெலியா பிரன்ஸ்விக் தோட்டத் தொழிலாளர்கள் கொடூரமான வேலை நிலைமைகளையும் சம்பள வெட்டுக்களையும் எதிர்கொள்கின்றனர் යන මැයෙන් 2024 පෙබරවාරි 13 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

මස්කෙලිය වැවිලි සමාගම (MPC) විසින් කලමනාකරනය කරනු ලබන මස්කෙලියේ බ්‍රන්ස්වික් වතු කම්කරුවන් වැඩ බර වැඩිවීමට සහ වැටුප් හා විශ්‍රාම වැටුප් දායක අරමුදල් කප්පාදුවලට මුහුන දී සිටිති.

වැඩ ඉලක්කය වැඩි කිරීම යටතේ කම්කරුවන්ට දිනකට අමු දලු කිලෝ 18 ක් නෙලිය යුතුය. ඉලක්කයට ලඟා වීමට අපොහොසත් වුවහොත් ඔවුන්ගේ දෛනික වැටුප අඩකින් කපා හරිනු ලැබේ. වතුයායේ කම්කරුවන් 1000කට ආසන්න ප්‍රමානයක් සිටින කොට්ඨාස 7ක් ඇත.

කම්කරුවන් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) වාර්තාකරුවන්ට ඔවුන්ට මුහුන දීමට සිදුවී ඇති දුෂ්කර කොන්දේසි පිලිබඳව පැහැදිලි කලේය: “අපේ දෛනික වැටුප වන රුපියල් 1000, දිනකට එක් ආහාර වේලකටවත් ප්‍රමානවත් නෑ. අපි දිනකට පැය අටක් වැඩ කලත්, ඉලක්කය සම්පූර්න කරන්න බැරිවුනොත් අපේ වැටුප් අඩකින් අඩු වන අතර ඒ අනුව අපගේ විශ්‍රාම අරමුදල් දායක මුදල් ද අඩකින් අඩු වෙනවා”.

සේවකයින් දවස පුරා වැඩ කලත්, ඔවුන්ට ඉලක්කය සම්පූර්ක කිරීමට නොහැකි වුවහොත් ඔවුන්ගේ පැමිනීමේ දින ගනන් අඩු කරනු ලැබේ.

මාසික පැමිනීමෙන් සියයට 75 සම්පූර්න නොකලහොත් වතු ලේඛනයෙන් ඉවත් කරන බව පවසමින් පසුගිය දෙසැම්බරයේ වතු කලමනාකරු බොහෝ කම්කරුවන්ට අනතුරු ඇඟවීමේ ලිපි යවා ඇත.

දෙසැම්බර් 06 වන දින වත්තේ කලමනාකරු විසින් තම බිරිඳට යවන ලද ලිපියක් පෙන්වමින් වත්තේ කම්කරුවකු සඳහන් කලේ, මෙම ලිපියෙන් දන්වා ඇත්තේ වතු කලමනාකාරිත්වය විසින් ලබා දෙන වැඩ කරන දිනවලට අදාලව (මාසයකට) පැමිනීමේ ප්‍රතිශතය සියයට 75 කට වඩා වැඩි විය යුතු බවයි. “එසේ පැමිනීමට අපොහොසත් වීමෙන් වත්ත නිසි ලෙස කලමනාකරනය කල නොහැක. ඔබේ පැමිනීමේ අනුපාතය සියයට 56.6 ක් ලෙසින් සටහන් වී ඇත. ඔබගේ පැමිනීමේ දින පිලිබඳව අවධානය යොමු කරන ලෙසටත් ඔබගේ පැමිනීමේ ප්‍රතිශතය අඩු වුවහොත් කිසිදු දැනුම්දීමකින් තොරව ඔබගේ නම ලේඛනයෙන් ඉවත් කරන බවටත්, මම ඔබට අවවාද කරමි” යනුවෙන් එහි සඳහන් වෙයි.

ඔහු තම බිරිඳගේ වැඩ කරන දින සටහන් කල කාඩ්පත පෙන්වමින් මෙසේ පැවසීය: “මේ කාඩ්පතට අනුව ඇය දෙසැම්බර් මාසයේ දින 28 ක් වැඩ කර ඇත. කෙසේ වෙතත්, කලමනාකරු ඔහුගේ ලිපියේ සඳහන් කරන්නේ දින 17 ක් පමනි තේ දලු කිලෝ 18කට අඩුවෙන් නෙලන දින ඔහු දින භාගයක් ලෙස සලකා ඇත. ඉතින්, ඇයට දින 11 ක වැටුප සහ එම දින සඳහා විශ්‍රාම අරමුදල් අහිමි වේ. කලමනාකාරීත්වයේ මෙම වංචාවට වෘත්තීය සමිති හවුල් වෙනවා” යැයි ඔහු කීවේය.

කම්කරුවා තවදුරටත් මෙසේ පැවසීය: “මෙම තත්ත්වය ගැන පැමිනිලි කිරීමට අප වෘත්තීය සමිති නායකයින් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කලා. නමුත් අපට ඔවුන් සම්බන්ධ කර ගැනීමට නොහැකි වුනා. ඔවුන්ගේ දුරකථන ක්‍රියා විරහිතයි. මේ වෘත්තීය සමිති ගැන අපිට විශ්වාසයක් නැහැ.”

ලංකා කම්කරු කොංග්‍රසය (සීඩබ්ලිව්සී), ජාතික කම්කරු සංගමය (එන්‍යූඩබ්ලිව්), කඳුරට ජනතා පෙරමුන (යූපීඑෆ්), රතු කොඩි සංගමය (ආර්එෆ්‍යූ) ලංකා ජාතික වතු කම්කරු සංගමය (සීඑන්ඊඩබ්ලිව්‍යූ) සහ ජවිපෙ නායකත්වය දරන සමස්ත ලංකා වතු කම්කරු සංගමය (ඒසීඊඩබ්ලිව්‍යූ) ඇතුලු වෘත්තීය සමිතිවල සෘජු සහයෝගය ඇතිව සමාගම මෙම කුරිරු සේවා කොන්දේසි ක්‍රියාත්මක කරයි.

නරක අතට හැරෙන සේවා තත්වයන්ට හා පිරිහෙන ජීවන තත්වයන්ට එරෙහිව කම්කරුවන්ගේ අරගල ඔවුන් අවහිර කරති. මෙම ප්‍රහාරයන්ට එරෙහිව විරුද්ධත්වය වර්ධනය වන විට වෘත්තීය සමිති නායකයෝ සීමිත විරෝධතා කැඳවන නමුත්, ඔවුන් එසේ කරන්නේ කම්කරුවන්ගේ කෝපය විසුරුවා හැරීමට සහ ප්‍රාදේශීය වැවිලි සමාගම්වල (ආර්සීපී) ලාභ අවශ්‍යතාවලට ඒවා යටත් කිරීමට පමනි.

දෛනික වැටුප රුපියල් 1000ක් සහ වැඩිවන වැඩ බර අඩු කරන ලෙස ඉල්ලා සීඩබ්ලිව්සීය පසුගිය වසරේ සැප්තැම්බර් මස 14 සිට 23 දක්වා එම්පීසී යටතේ ක්‍රියාත්මක වන වතු 14ක එවැනි විරෝධතාවක් කැඳවා තිබුනි.

මෙම අරගලය අතරතුර එම්සීපී සමඟ රහසිගත සාකච්ඡාවක නිරත වූ ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති සෙන්දිල් තොන්ඩමාන් සහ ප්‍රධාන ලේකම් සහ ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍ය ජීවන් තොන්ඩමාන් කියා සිටියේ සමාගම කම්කරුවන්ගේ ඉල්ලීම් පිලිගත් බවත් එය ජයග්‍රහනයක් බවත් ය. නමුත් ආයතනය වැටුප් වැඩි කලේ හෝ වැඩ අඩු කලේ නැත.

තම දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කරන ලෙස ඉල්ලා වතු කම්කරුවන් වසර කිහිපයක් අරගල කලහ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුනු ආන්ඩුව 2021 අප්‍රේල් මාසයේදී වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කරන බවට පනතක් සම්මත කලේය.

ආර්සීපී එයට විරුද්ධ වූ අතර ආන්ඩුවේ තීරනයට එරෙහිව අධිකරනයේ නඩුවක් ගොනු කලේය. නමුත් අධිකරනය තීන්දු කලේ සේවකයන්ට රුපියල් 1000ක් ගෙවිය යුතු බවයි. ප්‍රතිචාර වශයෙන්, ආර්සීපී දෛනික වැඩ ඉලක්කය කිලෝ 2 සිට 4 දක්වා වැඩි කලේය. බොහෝ වතු කම්කරුවන්ට මෙම ඉලක්ක සපුරා ගැනීමට නොහැකි වූ අතර ඔවුන්ගේ දෛනික ආදායම රුපියල් 1000 ට අඩු විය. වැඩිවන වැඩ බරට එරෙහිව කම්කරුවන්ගේ විරෝධය වර්ධනය වූ විට සමාගම් සහ ආන්ඩුව වෘත්තීය සමිති නිලධරයේ සහයෝගීතාවයෙන් එය යටපත් කලහ.

ආර්පීසී සහ වික්‍රමසිංහ ආන්ඩුව ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයේ බර තේ කර්මාන්තය මත පැටවීමට ක්‍රියාකරයි. සමාගම්, පැමිනීම මත පදනම් වූ වර්තමාන අවම වැටුප් ආකෘතිය ප්‍රතිස්ථාපනය කරමින්, දෙමුහුන් ආකෘතිය සහ අධිවර්ධනය සහ ආදායම් බෙදාගැනීමේ ආකෘති වැනි ඵලදායිතාව පදනම් කරගත් ආකෘති හඳුන්වා දෙයි.

හයිබ්‍රිඩ් ආකෘතිය (එච්එම්) යටතේ සේවකයින්ට තම දෛනික වැඩ නිම කිරීමෙන් පසු පැය කිහිපයක් හෝ නිවාඩු දිනවල හෝ සතියකට දින කිහිපයක් වැඩ කිරීමට සිදුවේ. පැමිනීම පදනම් කරගත් අවම වැටුප් ආකෘතිය යටතේ ඔවුන්ට ගෙවනු ලබන අතර අනෙකුත් දිනවල කම්කරුවන්ට ඔවුන් නෙලන ලද කිලෝ ප්‍රමානය අනුව ගෙවනු ලැබේ.

මෑතකදී, බ්‍රන්ස්වික් වතුයායේ කලමනාකාරිත්වය එච්එම් ක්‍රමය හඳුන්වා දෙන ලදී. මෙහිදී කම්කරුවන්ට තමන් නෙලන ලද දලු කිලෝවකට රුපියල් හැත්තෑවක් ගෙවනු ලබයි. ඒ සඳහා ඔවුන්ට ගෙවීම් කරනු ලබන්නේ දින තුනකට වරක් ය. කම්කරුවන් මුලදී එයට විරුද්ධ වූ නමුත් ඉහල යන ජීවන වියදම කලමනාකරනය කර ගැනීම සඳහා එය පිලිගැනීමට ඔවුන්ට බල කෙරී ඇත.

ඔවුන් නෙලන කිලෝවකට රුපියල් 70ක් ගෙවනු ලැබේ. “අපේ දෛනික ආදායම රඳා පවතින්නේ අප නෙලන කිලෝ ප්‍රමානය මතයි. අපිට වැටුප් ගෙවන්නේ දින තුනකට වරක්” යැයි ඔවුහු පැවසූහ. ඒ අතර වඩ වඩාත් දරාගත නොහැකි සේවා කොන්දේසි සහ අඩු වැටුප් වලට එරෙහිව සටන් කිරීමට කම්කරුවෝ සිය අධිෂ්ඨානය ප්‍රකාශ කලහ.

Loading