පිලිගත් පටිපාටියෙන් තොර, වරාය ඇමතිගේ නව රැකියා ලබා දීමට එරෙහිව වරාය කම්කරුවෝ විරෝධතා දක්වති

කොලඹ වරාය 2015 නොවැම්බර් 22 [Photo: "Ships and gantry cranes at the Colombo Harbour, Sri Lanka" by Rehman Abubakr / CC BY-SA 4.0]

වරාය හා නාවික ඇමති නිමල් සිරිපාල ද සිල්වාගේ මැදිහත්වීමෙන්, සාමාන්‍ය පටිපාටියෙන් පරිබාහිරව, වරාය අධිකාරියේ නව රැකියා ලබාදීමට විරෝධය පල කිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ (ශ්‍රීලවඅ) ජය බහාලූ පර්යන්තයේ කම්කරුවෝ ජනවාරි 31 දින දෙවනි වරටත් වැඩ නතර කරමින් විරෝධය ප්‍රකාශ කලහ.

එම විරෝධතාවය 31 දා පෙරවරු 7.00 සිට 9.00 දක්වා දියත් කෙරුනු අතර ඊට එම පර්යන්තයේ 800 ක් පමන කම්කරුවෝ සහභාගි වූහ.

කම්කරුවන් පවසනුයේ, 2024 පෙබරවාරි 01 දා සිට ක්‍රියාත්මක වන පරිදි, කාන්තාවන් 08 දෙනෙකුට ගැන්ට්‍රි (Gantry) දොඹකර ක්‍රියාකරුවන් ලෙස පත්වීම් ලබා දී ඇති බවයි. “වැඩ ආවරනය කිරීමේ” පදනම මත, වසර ගනනාවක් එම දොඹකර ක්‍රියාකර වූ සේවකයන් “ගැන්ට්‍රි දොඹකර ක්‍රියාකරුවන්” ලෙස ස්ථිර නොකොට, එකී කාන්තා කම්කරුවන්ට “ගැන්ට්‍රි දොඹකර ක්‍රියාකරුවන්” ලෙස පත්වීම් ලබාදීම අසාධාරන යැයි කම්කරුවෝ පවසති. “ගැන්ට්‍රි දොඹකර ක්‍රියාකරුවන්ගේ” වැටුප් සහ අතිකාල දීමනා, “වැඩ ආවරනය කිරීමේ” පදනම මත සේවය කරන ක්‍රියාකරුවන්ගේ වැටුප් සහ දීමනා වලට වඩා ඉහල අගයක් ගනී.

කාන්තාවන් අට දෙනාට රැකියා ලබා දීම යුක්ති සහගත කිරීම සඳහා එය “ස්ත්‍රී-පුරුෂ සමානතාවය තහවුරු කිරීමේ” ප්‍රයත්නයක් ලෙස හුවා දැක්වීමට ඇමති සිල්වා ප්‍රයත්න දරයි. “ස්ත්‍රීන්ට සලක්න්නේ මෙසේදැ”යි ඔහු ප්‍රශ්න කරයි. ඇමති සිල්වා පත්වීම් ලබා දීමට උත්සවයක් ද සංවිධානය කර තිබුනි.

මෙය කිසිදු ලෙසකින් කාන්තාවන්ට “සමානතාවය” තහවුරු කිරීමේ පියවරක් නොවේ. එකී කාන්තා කම්කරුවන්ගෙන් බහුතරයක් ඇමති සිල්වාගේ ඡන්ද කොට්ඨාසයට අයත්වන බවත්, එය ඔහුගේ ඡන්ද පදනම් තහවුරු කර ගැනීම සඳහා ගත් පියවරක් බවත් කම්කරුවෝ පවසති.

කම්කරුවන් යලියලිත් සටන් වලට පිවිසීම මගින් පෙන්නුම් කෙරෙන්නේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව තම සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල කරන රුදුරු ප්‍රහාරයන්ට එරෙහිව ඔවුන් අතර පුලුල්ව වැඩී ඇති විරෝධයයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමූඅ) නියමය පරිදි වරාය අධිකාරියේ ඉතිරි කොටස් පුද්ගලීකරනය, දීමනා කපා දැමීම, සුදුසුකම් ඇති කම්කරුවනට උසස්වීම් ලබා නොදීම, දැවැන්ත උද්ධමනය, උපයන විට බද්ද, ඊපීඑෆ් සහ ඊටීඑෆ් අරමුදලෙන් මුදල් මංකොල්ලකෑම ආදී ප්‍රහාරයන්ට වරාය කම්කරුවෝ මුහුන දී සිටිති.

ඇමති සිල්වාගේ මැදිහත්වීමට එරෙහිව කම්කරුවන් වෘත්තීය සමිතිවල කැඳවීමකින් තොරව ඒකාබද්ධව වැඩ නතර කිරීම සම්බන්ධව ආන්ඩුව මෙන්ම වෘත්තීය සමිති නිලධරය ද භීතියට පත්ව ඇත.

කම්කරුවන් මුහුන දෙන බැරෑරුම් ජීවන සහ සේවා කොන්දේසි යටතේ වරාය පුරා සටන ව්‍යාප්තවේය යන භීතියෙන් කම්කරුවන් සමග සාකච්චාවකට පැන ගත් වරාය අධිකාරියේ පාලකයයෝ හා වෘත්තීය සමිති නායකයෝ, සූදානම් කරන ලද පත්වීම් ලබා නොදෙන බවට වහාම නිවේදනය කලේ ය. ඒත් සමගම, කම්කරුවන්ගේ දැවෙන අවශ්‍යතාවයක් වන වැටුප් ප්‍රශ්නය විසඳන බවටද පොරොන්දු දී තිබේ.

එසේ නමුත් කම්කරු පන්තියේ අරගල තලා දැමීම සදහා ආන්ඩුව මුර්ග නීති පාවිච්චියට ගනිමින් සිටී. වරාය ඇතුලු රාජ්‍ය ව්‍යවසායන් 430ක් ජාමූඅ නියෝග ලෙස පුද්ගකරනයට නියමව අති තතු යටතේ, බොහෝ රාජ්‍ය ක්ෂේත්‍රයක්ම “අත්‍යවශ්‍ය සේවාවන්” බවට පත්කොට එකී ක්ෂේත්‍රයන්හි වැඩවර්ජන නීති-විරෝධී කර ඇත. අධිකරන නියෝග මගින් විරෝධතා උද්ඝෝෂන වාරනය, ප්‍රති-ත්‍රස්ත පනත සහ අන්තර්ජාල මාධ්‍ය වාරන පනත ඇතුලු රුදුරු ප්‍රජාතන්ත්‍ර-විරෝධී පනත් ඉදිරියට දැමීම ආදී පියවර ගනිමින් ආන්ඩුව සැරසෙන්නේ පංති යුද්ධයට යි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ තන්ත්‍රයේ නියෝගය මත මේ වන විට ලංකා විදුලි බල මන්ඩලයේ (ලංවිම) බලධාරීන් විසින් සේවකයන් 66 දෙනෙකුගේ වැඩ තහනම් කර ඇත. ආයතනය පෞද්ගලීකරනය කිරීමට එරෙහිව ජනවාරි 3 සිට 5 දක්වා පැවති විරෝධතාවලට සහභාගී වූවන්ට එරෙහිව තවත් මර්දනකාරී ක්‍රියාමාර්ග සූදානම් වෙමින් පවතී.

ජනතා විමුක්ති පෙරමුනට (ජවිපෙ) සම්බන්ධ සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ (සලවපොසේස) මූලිකත්වයෙන් සහ වෘත්තීය සමිති 14ක සහභාගිත්වයෙන් පිහිටුවා ඇති වරාය වෘත්තීය සමිති එකමුතුව (වවෘසඑ) විසින් වැටුප් වැඩි කරන්නැයි ඉල්ලා දෙසැම්බර් 28 ට කැඳවා තිබූ අකුරට වැඩ කිරීමේ උද්ඝෝෂනය වාරනය කෙරෙන අධිකරන නියෝගයක් ලබා ගැනීමට ආන්ඩුව කටයුතු කලේය. සමිති නිලධරය ඒත් සමගම තම කාර්මික ක්‍රියාව නවතා දැම්මේ ය. එම වාරනය මේ වන තෙක්ම වලංගුය.

කම්කරුවන් අතර ලිංග භේදය ඇවිලවීමට රුකුල් දෙමින්, කාන්තාවන්ට ගැන්ට්‍රි දොඹකර ක්‍රියා කිරීම අසීරු බවත් එසේ පුහුනු කිරීම නුසුදුසු යයි ඔවුන් සිතන බවත් ජවිපෙ සලවපොසේස ලේකම් නිරෝෂන් ගොරකාන ෆේස්බුක් සටහනක් තබමින් කියා සිටියේය. ඔහු මෙසේ පවසයි: “ගැන්ට්‍රි දොඹකර අඩි 50 ක් උසයි, ජීවිත අවදානමක් තියෙනවා. දුෂ්කර අවදානම් සහිත පලදාතාවයේ ඉහල මට්ටමක් අපේක්ෂා කරන ස්ථානයකට ස්ත්‍රීන් පත්කිරීම ඔවුනට කරන නිගරුවක්.”

සටනේ නියැලුනු කම්කරුවන් කියා සිටින්නේ දියුනු තාක්ෂනය යොදා ඇති තත්වයේදී මෙම උපකරනය පුහුනුවක් ලැබූ පසු ඕනෑම අයෙකුට ක්‍රියා කලහැකි බවය. කාන්තාවන් එම සේවයේ යෙදීම පිලිබඳ කම්කරුවන්ට විරුද්ධත්වයක් නොමැත.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය සමග අදහස් දැක් වූ වරාය කම්කරුවෙක් ගොරකානගේ අදහස් ප්‍රතික්ෂේප කරමින් මෙසේ ප්‍රකාශ කලේ ය. “මෙහි සියලු ක්‍රියා කිරීම් සිදුවන්නේ ස්විච් එබීමෙන්. කාන්තාවන්ට පුහුනුවක් ලැබීමෙන් පසු ගැන්ට්‍රි දොඹකර ක්‍රියා කල හැකියි. අඩි 50ක් උස වුනාට විදුලි ලිෆ්ට් තියෙනවා. ”

ගොරකාන ඇතුලු සමිති නායකයෝ වරාය කම්කරුවන්ගේ වැටුප් අරගලය ද පසුපසට ඇද දමා තිබේ. වැටුප් හා දීමනා වැඩි කරන ලෙසත් පෞද්ගලීකරනය හා බදු බර පැටවීම නතර කරන ලෙසත් ඉල්ලමින් රාජ්‍ය අංශයේ සෑම ක්ෂේත්‍රයක ම අරගල පුපුරා පැවතිය ද වරාය සමිති නායකයන්, අන් සමිති නායකයන් මෙන්ම, කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන වැඩපිලිවෙලක් මත කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලයක් පෙරට ගැනීමට පරම ලෙස හතුරු ය.

ගොරකාන යලි යලිත් කියා සිටින්නේ මැතිවරනයකින් ජවිපෙ/ජාතික ජන බලවේගය බලයට පත්වීමෙන් කම්කරුවන්ගේ අයිතීන් තහවරු කල හැකි බවයි. වික්‍රමසිංහ ආන්ඩුවට එරෙහි වැඩෙන පලල් මහජන විරෝධය ගසාකෑමට ජවිපෙ, සමගි ජන බලවේගය අතුලු සියලු ධනපති පක්ෂ උත්සහ දැරුවත් ඔවුන් බලයට පත් වූ පසු ජාමුඅ වැඩපිලිවල සමග වැඩ කරන බව ප්‍රකාශ කර තිබේ.

“මහජනයාට රිදුම් දෙන තීන්දු ක්‍රියාවට නොදමා”, “මහජනතාව තම පාරිභෝජන රටාවන් වෙනස් කර ගන්නේ නැතිව” අර්බුදය “ජයගත” නො හැකි බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කරයි. එහි තේරුම කම්කරු පීඩිත මහජනයා මත තවදුරටත් බර පැටවීම මගින් ධනපති පන්ති පාලනය රැක ගැනීමයි.

කම්කරුවන් සියලු ධනපති පක්ෂවලින් හා වෘත්තීය සමිතිවලින් වෙන්ව සටන තම අතට ගත යුතුය. ජාමූඅ හි ප්‍රහාර වලින් බැටකන සියලු ක්ෂේත්‍රයන්හි කම්කරුවන්ගේ ඒකාබද්ධ සටනක් පෙරට ගැනීමට කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයෙන් තෝරා පත්කර ගැනෙන සහ ප්‍රජාතන්ත්‍රවාදීව තීන්දු තීරන ගැනෙන ක්‍රියාකාරී කමිටු සෑම වැඩපොලකම, නිවස්නා ප්‍රදේශයකම ගොඩනගාගත යුතුය. වරාය ක්‍රියාකාරී කමිටුවට බැඳී මෙම අරගල පෙරට ගැනීමට වරාය කම්කරුවන් පෙරට ආ යුතු ය.

වැඩිදුර කියවන්න