ක්‍රියාකාරී කමිටු එකමුතුවේ රැස්වීම ලංවිම සේවකයින් ආරක්ෂා කිරීමේ යෝජනාවක් ඒකමතිකව සම්මත කරයි

පහත පලවන්නේ, දඩයමට ලක්වූ විදුලිබල සේවකයින් ආරක්ෂා කිරීම සඳහා කම්කරු ක්‍රියාකාරී කමිටු එකමුතුව ‌විසින් 2023 පෙබරවාරි 01 දා කොලඹ දී පැවැත්වූ ප්‍රසිද්ධ රැස්වීමේදී ඒකමතිකව සම්මත කෙරුනු යෝජනාවයි.

****************************

විදුලි බල මන්ඩලය පුද්ගලීකරනය කිරීමේ වැඩපිලිවෙලට එරෙහිව උද්ඝෝෂනය කිරීම නිසා එහි සේවකයන් දඩයම් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව උසිගන්වා ඇති දඩයම මෙම සභාව තරයේ හෙලා දකී. දැනට වැඩ තහනමට ලක්කර සිටින සේවකයන් වහාම, කොන්දේසි විරහිතව සේවයේ පිහිටුවිය යුතුයයි අපි කියා සිටිමු.

2024 පෙබරවාරි 1 දින, දඩයමට ලක්වූ ලංකා විදුලිබල මන්ඩල සේවකයින් ආරක්ෂා කිරීම සඳහා කම්කරු ක්‍රියාකාරී කමිටු සාමූහිකයේ යෝජනාව ඒකච්ඡන්දයෙන් සම්මත වේ.

තවද, වෙනත් කිසිම සේවකයෙකු වැඩ තහනමට හෝ කවරාකාරයක වුව දඬුවම්වලට ලක්කිරීමට විරුද්ධවන මෙම සභාව එය ඔවුන්ගේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උල්ලංඝනය කිරීමක් ලෙසද ප්‍රකාශ කර සිටී.

විදුලි බල මන්ඩල කම්කරුවන් පසුගිය දා අරගලයට පිවිසියේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ප්‍රකාරව ආන්ඩුව විසින් විනාශ කිරීමට නියමිත තමන්ගේ රැකියා ආරක්ෂා කර ගැනීමටත් මෙම තීරනාත්මක රාජ්‍ය ආයතන පෞද්ගලීකරනය කිරීමටත් එරෙහිව ය.

ලංවිම සහෝදර සහෝදරියන්ට එල්ල වූ ප්‍රහාරය අප සැමට එල්ල කල ප්‍රහාරයකි! ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කරන ලද ආන්ඩුවේ කුරිරු කප්පාදු වැඩපිලිවෙලට අපි සියල්ලෝම මුහුන දී සිටිමු. රැකියා විනාශයට, වැටුප් කප්පාදු කිරීමට සහ අතීත අරගලවලදී දිනාගත් සේවා කොන්දේසි අතුගා දැමීමට පුද්ගලීකරනය ක්‍රියාත්මක වේ. දෙස්-විදෙස් ආයෝජකයන්ගේ ලාභ තරකිරීමට සහ විදේශ නය ගෙවීමට පුද්ගලීකරනය හා ඉහල බදු පැනවීම ඇතුලු කප්පාදු පිලිවෙත් ක්‍රියාත්මක වේ. ආර්ථික අර්බුදයේ බර කම්කරු පන්තිය ප්‍රමුඛ මහජනතාව මත පැටවීමට ක්‍රියාත්මක කර ඇති ප්‍රහාර නිසා දශ ලක්ෂ ගනන් ජනයා දරිද්‍රතාවට, කුසගින්නට, මන්දපෝෂනයට ඇදහෙලා, අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවය කඩාවැටීමේ විපාකවලට ගොදුරු කර තිබේ. .

කම්කරුවන්, තරුනයන්, සිසුන් සහ ගම්බද හා නගරබද දුගීන් මෙම විනාශයට එරෙහිව අරගලවලට එන විට ආන්ඩුවේ පිලිතුර වී ඇත්තේ, මුර්ග ලෙස පොලිසිය හා හමුදාව යොදවා කඳුලු ගෑස්, බැටන් හා ජල ප්‍රහාර මුදාහැරීමයි. අධිකරනයේ වාරන හා අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ නීති නියෝග අමෝරා කඩා පැනීමයි. ආන්ඩුව ප්‍රකාශනයේ හා භාෂනයේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් කුදලා දමන මාර්ගගත සුරක්ෂිතතා පනත මෑත දී පාර්ලිමේන්තුවෙන් සම්මත කරගත් අතර ත්‍රස්ත-විරෝධයේ නමින් රුදුරු නීති ගෙන ඒමට ද නියමිත ය. මේ සියල්ලෙන් පෙන්නුම් කරන්නේ, වික්‍රමසිංහ ආන්ඩුව ඇතුලු සමස්ථ ධනපති පංතිය කම්කරු පන්තියට, තරුනයින් හා ශිෂ්‍යයින් ඇතුලු පීඩිත ජනයාට එරෙහිව යුද්ධයක් අරඹා ඇති බව යයි, අපි අනතුරු අඟවා සිටිමු.

මේ ප්‍රහාරවලට එරෙහිව සටන් කිරීමට නම් කම්කරු පන්තියේ සෑම කොටසක්ම එක්සත් ක්‍රියාමාර්ගයකින් බලමුලු ගැන්විය යුතුය. වෘත්තීය සමිති නායකයෝ කඩින්කඩ, සීමිත විරෝධතා සහ වැඩවර්ජන කැඳවමින් එවැනි ඒකාබද්ධ පන්ති ක්‍රියාමාර්ග වලක්වා, නිර්දය ප්‍රහාර එල්ල කරන ආන්ඩුවට ම ආයාචනා කිරීමට හා නෛතික ක්‍රියාමාර්ගවලට කම්කරුවන් කොටුකරති. ඉන් වාසිය සැලසී ඇත්තේ ආන්ඩුවටම ය. ආන්ඩුව මුල්‍ය අරමුදලේ වැඩපිලිවෙල එක දිගටම මුදාහැරීමට ඉන් ඉඩ ලබාගෙන ඇත. මෙම වෘත්තීය සමිතිවල නායකයන් ජාමුඅ වැඩපිලිවෙලට පක්ෂපාති අතරම ජාමුඅ වැඩපිලිවෙල ක්‍රියාවට දැමීමට කැපවුනු පක්ෂවලට වෘත්තීය සමිති ගැටගසා ඇත.


කම්කරුවන්ට තම රැකියා, ජීවන තත්වයන්, සේවා කොන්දේසි හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කරගැනීමට නම් ඒ සඳහා අරගලය තමන් අතටම ගත යුතු වේ. ඒ සඳහා වැඩකරන ජනතාව තමන්ගේ වැඩපොලවල, වතුකරයේ සහ නිවහන් පෙදෙස්වල කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගත යුතු වේ. වෘත්තීය සමිති නිලධරයට හෝ ධනපති පක්ෂවලට ඒවා තුල ඉඩක් නොදිය යුතු වේ.

ලංකාවේ කම්කරුවන් සහ පීඩිතයන් මුහුන දෙන ප්‍රශ්න කිසිසේත්ම මෙම දූපතට පමනක් සීමා වී නැති බව අපි ඒත්තු ගෙන සිටිමු. මූල්‍ය අරමුදලේ රුදුරු පිලිවෙත්වලට එරෙහිව සටන් කිරීමේ දී අපගේ සහෝදර ජාත්‍යන්තර මහා කම්කරු බලවේගයේ සහය ලබාගැනීම අත්‍යවශ්‍ය වේ. එම රටවල ද කම්කරුවෝ අරගලයේ භූමියට අවතීර්න වී සිටිති. ජාත්‍යන්තර කම්කරු පන්තියේ අරගල සමග සම්බන්ධීකරනය වීම සඳහා ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානය සමග ඒකාබද්ධව මෙම අරගලය ඉදිරියට ගෙනයාමට මෙම සභාවේ අනුමැතිය ලැබේ.

Loading