විදුලිබල සේවක දඩයමට එරෙහිව ක්‍රියාකාරී කමිටු එකමුතුව කැඳවා ඇති රැස්වීමට කම්කරුවෝ සහයෝගය පල කරති

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ ආන්ඩුව, ලංකා විදුලිබල මන්ඩල (ලංවිම) කම්කරුවන් දඩයම් කිරීමට එරෙහිව, කම්කරු ක්‍රියාකාරී කමිටු එකමුතුව (සීඩබ්ලිව්ඒසී) විසින් කැඳවා ඇති මහජන රැස්වීම සඳහා සීඩබ්ලිව්ඒසී සහ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සාමාජිකයෝ, පසුගිය දෙසතියේ දිවයිනේ විවිධ ප්‍රදේශවල කම්කරුවන් අතර උද්ඝෝෂනය කලහ. මෙම රැස්වීම පෙබරවාරි 1 වන දින, එනම් අද දින, පස්වරු 4 ට කොලඹ 2 ජයසේකර කලමනාකරත මධ්‍යස්ථානයේදී පැවැත්වේ.

රජය සතු ව්‍යවසායන් පුද්ගලීකරනය කිරීමේ ආන්ඩුවේ සැලසුම් වල කොටසක් ලෙස ලංවිම පුද්ගලීකරනයට එරෙහිව එහි සේවකයෝ ජනවාරි 3 වනදා සිට 5 වන දා තෙක් දින තුනක අසනීප-නිවාඩු විරෝධතාවක නිරතවූහ. ජාතික මට්ටමෙන් පැවති මෙම විරෝධතාවට, 26,000 ක් වන සමස්ත ලංවිම සේවක සංඛ්‍යාවෙන් 21,000 කට අධික ප්‍රමානයක් සහභාගි වූ අතර, ඔවුනට එරෙහිව වහාම පියවර ගන්නා ලෙස ආන්ඩුව කලමනාකාරිත්වයට විධානය කලේය.

ඒ අනුව, 'විෂමාචාර' චෝදනා යටතේ සේවකයන් 66 දෙ‌නෙකුගේ වැඩතහනම් ‌කෙරුනි. වෘත්තීය සමිති වලට අනුව, පසුගිය සතියේ තවත් 74 දෙනෙකුට වැඩතහනම් ලිපි යැවීමට සූදානම්කොට තිබුනි. මෙලෙස කම්කරුවන් දඩයම් කිරීමට කලමනාකරනය විසින් යොදාගනු ලබන්නේ, විරෝධතාවට පෙර, ලංවිම 'අත්‍යවශ්‍ය සේවාවක්' බවට පත්කරමින් ජනාධිපති වික්‍රමසිංහ දුන් නියෝගය යි. රුදුරු 'අත්‍යවශ්‍ය මහජන සේවා පනත' යටතේ පනවා ඇති මෙම නියෝගයට අනුව 'අත්‍යවශ්‍ය සේවයට' අයත් සියලු කම්කරුවන්ට නිවාඩු තහනම් කෙරේ.

මෙම රාජ්‍ය මර්දනය පරාජය කරනුවස්, පුද්ගලීකරනය ඇතුලු ආන්ඩුවේ ප්‍රහාරයන්ට මුහුන දී සිටින අනෙකුත් ක්ෂේත්‍රයන්හි කම්කරුවන් බලමුලුගන්වා ගනිමින්, මහවැඩවර්ජන ඇතුලු ජාතික පරිමාන කාර්මික ක්‍රියාවන්ගෙන් සමන්විත, කම්කරු පංතියේ ඒකාබද්ධ දේශපාලන ප්‍රතිප්‍රහාරයක් දියත් කිරීම හදිසි සහ අත්‍යවශ්‍ය කාර්යයක් බවට පත්ව ඇත. ධනපති ආන්ඩුවට සහ ධනපති ක්‍රමයට ඝෘජුව අභිමුඛවන එවන් සටනකට වෘත්තීය සමිති පරම වශයෙන්ම සතුරු ය.

ඒ වෙනුවට ලංවිම වෘත්තීය සමිති යෙදී සිටින්නේ, විදුලිබල සහ බලශක්ති ඇමති කංචන විජේසේකරට පෙත්සමක් භාරදීමේ සහ පෙබරවාරි 5 දා ආන්ඩුවට පීඩනය යෙදීමේ තවත් විරෝධතාවක් ආදී වශයෙන් වූ නිශ්ඵල ක්‍රියාවන්හි කම්කරුවන් සිරකොට ඔවුන්ගේ සටන්කාමිත්වය දියකර හැරීමේ ව්‍යායාමයක යි.

මෙම රාජ්‍ය මර්දනය අනෙකුත් ක්ෂේත්‍රයන්හි කම්කරුවන්ට ද එරෙහිව ක්‍රියාත්මකවිය හැකි බවට අනතුරු අඟවමින්, සීඩබ්ලිව්ඒසී ය, 'විදුලිබල කම්කරුවන්ට එරෙහි ආන්ඩුවේ දඩයමට විරුද්ධ වෙනු! ප්‍රති ප්‍රහාරයක් සූදානම් කරමු!' යන හිසින් ජනවාරි 23 දා ප්‍රකාශයක් නිකුත් කලේය. සීඩබ්ලිව්ඒසී සහ සසප සාමාජිකයෝ, උතුරු පලාත සහ මධ්‍යම කඳුකරය ද ඇතුලු දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි කම්කරුවන් අතර ඉහත ප්‍රකාශයේ සිංහල සහ දෙමල පිටපත් දහස් ගනනක් බෙදා හරිමින් සාකච්ඡාවක නිරත වූහ.

ලංවිම දඩයමට එරෙහි සීඩබ්ලිව්ඒසී සහ සසප ප්‍රකාශයන්, නාත්තන්ඩියේ ලංවිම කම්කරුවන් විසින් තම දැන්වීම් පුවරුවේ ප්‍රදර්ශනය කරයි

වැඩතහනමට ලක් වූ, හලාවත ප්‍රදේශයේ ලංවිම කම්කරුවෙක් වෘත්තීය සමිති සම්බන්ධයෙන් තම විරෝධය පල කරමින් මෙසේ පැවසීය: “ආන්ඩුව මුලින්ම ලංවිම සේවකයන් 15 ක් ඉවත් කලා. එතකොට ම අපි අපේ විරුද්ධත්වය දක්වන්න තිබුනේ. නමුත් වෘත්තීය සමිති මොකුත් කලේ නෑ. ඊට පස්සේ තවත් 50 ක් විතර එලියට දැම්මා. නමුත් තවමත් ආන්ඩුවට දැනෙන්න මොකුත් කරලා නෑ. ඇමතිට සංදේශ දීලා හරි යන්නේ නෑ. වැඩකරන ජනයාගේ ඒකාබද්ධ අරගලයක් දියත් කල යුතුයි.“

ආන්ඩුව දියත්කොට ඇත්තේ 'බරපතල මර්දනයක්' බවත්, එයට එරෙහිව කම්කරුවන් ඒකාබද්ධව සටන් නොකලහොත් එම මර්දනය 'දිගටම ගෙනයන' බවත් ඔහු කියා සිටියේ ය.

රත්මලාන දුම්රිය වැඩපලේ කම්කරුවන් සමග කෙරුනු සාකච්ඡාවකදී සංඛ නම් කම්කරුවෙක් කියා සිටියේ, 'ලංවිම වගේ බලගතු කම්කරු බලකායක් සිටින තැනක කම්කරුවන් 66 ක් දොට්ට දැමුවා කියන එක සැලකිය යුතු කරනයක්' බවයි. විදුලිබල කම්කරුවන්ගේ රැකියා ආරක්ෂා කිරීමට මෙවැනි රැස්වීමක් පැවැත්වීම ඉතා වැදගත් කාර්යයක් බවත්, 'සහෝදර කම්කරුවන් ලෙස අපි ලංවිම කම්කරුවන් ආරක්ෂා කල යුතු' බවත් ඔහු තවදුරටත් පැවසීය.

ෂෙහාන් නම් තවත් දුම්රිය කම්කරුවෙක් සාකච්ඡාවට එක්වෙමින් මෙසේ පැවසීය: 'විදුලිබල කම්කරුවො වර්ජනය කලේ විදුලිබල මන්ඩලය පුද්ගලීකරනයට විරුද්ධව. පුද්ගලීකරනය යටතෙ අත්වෙන ඉරනම ගැන ඔවුන් දන්නව. රැකියා අහිමි වෙනව, දීමනා කැපෙනව, වැඩ වෙිගවත් කෙරෙනව. ඒවට විරුද්ධව සටන් කරන්න ඔවුන්ට අයිතියක් නැද්ද? අපටත් බෙදන්නේ ඔය හැන්දෙන්ම තමයි. මම මේ දඩයමට මුලුමනින්ම විරුද්ධයි. ඔවුන්ගේ රැකියා ආරක්ෂා කිරීමට අප සහාය දිය යුතුයි.'

හෝමාගම විදුලි බල මන්ඩල මධ්‍යස්ථාන ඉදිරි පිට උද්ඝෝශනයේ යෙදෙන සසප සාමාජිකයෝ

හෝමාගම ලංවිම ප්‍රධාන කාර්යාලයේ කම්කරුවන් සමග කල සාකච්ඡාවකදී දැනගන්නට ලැබුනේ එහි 'මුදල්භාර ලිපිකරුවන්' සිවු දෙනෙකුගේ වැඩ තහනම්කොට ඇති බවයි. ඔවුන් වැඩතහනමට ලක්වූ මුලු 15 දෙනාට ඇතුලත් වේ. එහිදී හමු වූ සියලුම කම්කරුවෝ ආන්ඩුවේ ප්‍රහාරයන්ට එරෙහි කම්කරු පංතියේ ඒකාබද්ධ අරගලයකට තම සහාය පල කලහ. වෘත්තිය සමිති අතින් සාමාන්‍ය කම්කරුවන් අතට බලය ගැනීමෙන් පමනක් එම සටන පෙරට ගත හැකි බව සීඩබ්ලිව්ඒසී සහ සසප සාමාජිකයන් පෙන්වා දුන්විට ඉන් කුපිත වූ ජනතා විමුක්ති පෙරමුනට (ජවිපෙ) අයත් ලංකා විදුලිබල සේවක සංගමයේ ශාඛා නායකයෙක්, ජවිපෙ සමිති ඇතුලු ලංවිම වෘත්තීය සමිති ගෙනයන පෙත්සම් ව්‍යාපාරය සහ අධිකරනමය වැඩකටයුතු කෙරෙහි කම්කරුවන් විශ්වාසය තැබියයුතු බවත්, ජවිපෙ නායකත්වය දෙන ජාතික ජන බලවේගයේ (ජාජබ) ආන්ඩුවක් බලයට ගෙනඒම මගින් ඔවුන් මුහුනදෙන ප්‍රශ්න විසඳාගත හැකි බවත් පැවසීය.

කම්කරුවන්ට අවශ්‍යව ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු නියෝග ක්‍රියාවට දැමීමට සැදීපැහැදී සිටින ජවිපෙ/ජාජබ හෝ වෙනත් ධනපති ආන්ඩුවක් නොව සමස්ත ධනපති ක්‍රමයට එරෙහි දේශපාලන අරගලයක් හරහා පෙරට දමන කම්කරු ගොවි ආන්ඩුවක් සඳහා සටන බව එහිදී පැහැදිලි කෙරිනි.

එය අසා සිටි එක් කම්කරුවෙක් “ඔබ කියන දේ නිවැරදියි. නමුත් ඒක දිග කාලයක් යන වැඩක් නේද” යනුවෙන් විමසා සිටියේය. ඊනියා නිදහසෙක් පසු වසර 75 ක් තිස්සේ ලංකාව තුල ධනපති ක්‍රමය පැවතීගෙන ගොස් ඇත්තේ කෙටි කාලීන විසදුම් වල නාමයෙන් කම්කරු පන්තියට අටවා ඇති උගුල් හරහා බව සසප සාමාජිකයෝ පෙන්වා දුන්හ. මෙම වැඩපිලිවෙල ඉක්මනින් ක්‍රියාවට දැමිය හැකිද යන්න තීන්දු වනු ඇත්තේ ක්‍රියකාරී කමිටු ගොඩනගමින් මෙම අරගලය කොපමන පෙරට ගන්නවාද යන්න තුල බව පැහැදිලි කෙරිනි. කම්කරුවන් සාකච්ඡාවට සාවධානව සවන් දුන් අතර රැස්වීමට සහභාගී වන බවට ඇතැම් අය පොරොන්දු වූහ.

“අපි කල හැකි සෑම දෙයක්ම මේ ප්‍රහාරය පරාජය කරන්න කරන්න ඕනි” නමුත් අධිකරනයේ වාරන නියෝගයක් ලැබී තිබෙන නිසා අරගලය ඉදිරියට ගෙනියන්නෙ කොහොමද?' යැයි එක් කම්කරුවෙක් විමසා සිටියේය. “අධිකරනයත් උන්ගේ උන්ට ඕනි විදිහට වැඩ කරන්නේ” ඔහු වැඩිදුරටත් කීවේය.

අධිකරනය ධනපති රාජ්‍යයේම එක් කොටසක් බැවින් එයද මෙහෙයවාගනිමින් ආන්ඩුව කම්කරුවන්ට එරෙහි පන්ති යුද්ධය තියුනු කර ඇති බව උද්ඝෝෂකයෝ පෙන්වා දුන්හ. ධනපති පන්තිය තමන්ගේ සියලු ආයුධ මෙහෙයවා කම්කරු පන්තියට එරෙහිව ප්‍රහාරය තියුනු කරනුයේ ඔවුනගේ ශක්තියක් නිසා නොව දුර්වලත්වය නිසා බවත්, සමාජයේ සියලු වත්කම් නිෂ්පාදනය කරන කම්කරු පන්තිය ඓතිහාසිව ශක්තිමත්ම සමාජ බලවේගය බවත් එහිදී පැහැදිලි කෙරුනි. කම්කරුවන් තම ජාතික සහ ජාත්‍යන්තර පන්ති සගයන් බලමුලු ගන්වා ගනිමින්, ධනපති ක්‍රමයට එරෙහි දේශපාලන ප්‍රතිප්‍රහාරයක් මගින් එම ශක්තිය මුදාහල යුතු බව සීඩබ්ලිව්ඒසී සහ සසප සාමාජිකයෝ පෙන්වා දුන්හ.

තවත් කම්කරුවෙක් සාකච්ඡාවට සම්බන්ධ වූයේ වෘත්තිය සමිති ඔවුන් ගන්නා ක්‍රියාමාර්ග පිලිබඳව කිසිම සාකච්ඡාවක් සාමාන්‍ය සාමාජිකත්වය තුල ගෙන නොමැති බව පවසමිනි. කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ඡා මගින් තීන්දු තීරන ගැනෙන ක්‍රියාකාරී කමිටු වල අවශ්‍යතාව එහිදී සාකච්ඡා කෙරුනි.

යාපනය විශ්වවිද්‍යාලයේ සේවකයෙකු වන එස්.ප්‍රදීපන් මෙසේ පැවසීය: 'විදුලිබල සේවකයන් ඉවත් කිරීමට ඉඩ දෙන්න බැහැ. මෙය දින කිහිපයකින් අපට සිදුවනු ඇති. වැටුප් ප්‍රශ්නය මුල් කරගෙන අපේ සේවකයොත් උද්ඝෝෂන කරනවා. වෘත්තීය සමිති සාකච්ඡා කරලා ආන්ඩුවට කල් දීලා තියෙනවා. නමුත් ආන්ඩුව අපේ ඉල්ලීම් ඉටුකරන්න යන්නේ නැහැ. අපට නැවත සටන් කිරීමට සිදුවනු ඇති. ඒ වෙලාවට ආන්ඩුව අපිවත් අස් කරන්න වැඩ කරාවි.”

කම්කරුවන්ගේ ස්වාධීන ක්‍රියාකාරී කමිටුව පිහිටුවීම පිලිබඳව අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසුවේය: “අපි මෙච්චර කාලයක් කම්කරුවන්ගේ වේදිකාවක් විදියට වෘත්තීය සමිති කෙරෙහි විශ්වාසය තියාගෙන හිටියා. ඔබ කියන පරිදි වෘත්තීය සමිති නායකයන් ආන්ඩුව සමඟ හවුල් වී කටයුතු කරනවා. නමුත් සමිති වලට පිටින් කමිටු හදන එක අමාරු වැඩක්. ඒත් ඒක කලයුතු දෙයක්.”

යාපනයේ ලංවිම කම්කරුවෙක්: “අපිත් උද්ඝෝෂනයට සහභාගි වුනා. සේවයෙන් පහ කිරීමේ ලිපියක් අපටත් ඒවි. සේවයෙන් පහ කර ඇති අයගෙ රැකියා අයිතීන් ආරක්ෂා කිරීමට සටන් කිරීමෙන් තමයි අපේ රැකියා රැක ගන්න පුලුවන් වෙන්නෙ. වෙනත් දේශපාලන පක්ෂ මේ වගේ උද්ඝෝෂන නොකරන තත්වයක් තුල ඔබේ මැදිහත්වීම සාදරයෙන් පිලිගන්නවා.'

Loading