ආන්ඩුවේ විදුලි බල කම්කරු දඩයම ශ්‍රී ලාංකික කම්කරුවෝ හෙලා දකිති

[මෙය Sri Lankan workers denounce government’s witch-hunting of electricity employees යන මැයෙන් 2024 ජනවාරි 28 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

ආන්ඩුව, ලංකා විදුලිබල මන්ඩල කම්කරුවන් දඩයම් කිරීමට එරෙහිව පැවැත්වීමට නියමිත මහජන රැස්වීම සඳහා ශ්‍රී ලංකාවේ කම්කරු ක්‍රියාකාරී කමිටුවල (සීඩබ්ලිව්ඒසී) සහ සමාජවාදී සමානතා පක්ෂයේ සාමාජිකයෝ පසුගිය සතියේ විදුලිබල, දුම්රිය, වරාය සහ ප්‍රවාහන කම්කරුවන් අතර උද්ඝෝෂනය කලහ. සීඩබ්ලිව්ඒසී විසින් කැඳවනු ලබන මෙම රැස්වීම, පෙබරවාරි 1 වන දින සවස 4 ට, කොලඹ 2, ජයසේකර කලමනාකරන මධ්‍යස්ථානයේදී පැවැත්වේ.

ලංකා විදුලිබල මණ්ඩල සේවකයින් 2024 ජනවාරි 4 වන දින කොළඹින් පිටත ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණ පවත්වයි.

රාජ්‍ය ආයතන පුද්ගලීකරනය කිරීමේ ආන්ඩුවේ සැලසුම් වලට එරෙහිව ලංකා විදුලි බල මන්ඩලයේ (ලංවිම) සේවකයින් ජනවාරි 3දා සිට තෙදිනක්, රටපුරා ලෙඩ නිවාඩු විරෝධතාවක් පැවැත්වීය. ආන්ඩුව වහාම මෙයට ප්‍රතිචාර දැක්වූයේ, මෙම ක්‍රියාවට සම්බන්ධ කම්කරුවන්ට එරෙහිව මර්දනකාරී පියවරයන් ආරම්භ කරන ලෙස ලංවිම කලමනාකාරිත්වයට නියෝග කරමිනි.

'අවකල් ක්‍රියාව' පිලිබඳ ව්‍යාජ ප්‍රකාශයන් මත දැනටමත් සේවකයින් 66 දෙනෙකුගේ වැඩ තහනම් කර ඇත. ඉදිරි දින කිහිපය තුල යැවීමට නියමිත තවත් අත්හිටුවීමේ ලිපි 74 ක් කලමනාකාරීත්වය විසින් සකස් කර ඇති අතර ඒ අනුව වැඩතහනමට ලක්වන මුලු කම්කරුන් සංඛ්‍යාව 140 දක්වා ඉහල යනු ඇති බව ලංවිම වෘත්තීය සමිති නායකයින් විසින් අනාවරනය කර ඇත.

ලංවිම කලමනාකාරීත්වය කම්කරුවන් ගොදුරු කර ගැනීමේ කඩතුරාව ලෙස භාවිතා කරන්නේ, ජනවාරි මුල විරෝධතාවලට පෙර නිකුත් කල සියලුම සේවකයින්ගේ නිවාඩු තහනම සහ ආන්ඩුවේ වැඩ වර්ජන විරෝධී අත්‍යාවශ්‍ය මහජන සේවා පනතයි.

“ලංවිම ප්‍රතිසංස්කරන සඳහා වැඩ වේගවත් කිරීම, පිරිවැය අඩු කිරීමේ යාන්ත්‍රනයන්” සහ “වැටුප් ගෙවීමේ අරමුදල් බාහිරින් එකතු කිරීම” සම්බන්ධ කටයුතු කඩිනම් කරන ලෙස පසුගිය සතියේ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ලංවිම කලමනාකාරිත්වයට නියෝග කලේ ය.

ලංවිම වෘත්තීය සමිති නිලධාරීන් සහ ඊට සම්බන්ධ අනෙකුත් වෘත්තීය සමිති ජනවාරි 22 රැස්වී, අද (28) විදුලිබල හා බලශක්ති අමාත්‍ය විජේසේකර වෙත පෙත්සමක් ඉදිරිපත් කිරීමටත් පෙබරවාරි 5දා විරෝධතාවයක් පැවැත්වීමටත් තීරනය කලෝ ය. මෙම නිලධාරීහු, කොලඹ ආන්ඩුවේ පුද්ගලීකරන පියවර සහ අනෙකුත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වියදම් කැපීම් ප්‍රහාර වලට එරෙහිව රටපුරා කාර්මික හා දේශපාලන වශයෙන් ඒකාබද්ධව කම්කරුවන් බලමුලු ගැන්වීමට විරුද්ධ වෙති; ඒ මෙය ඔවුන් ආන්ඩුව සමග සෘජු ගැටුමකට ගෙන එනු ඇතැයි යන බියෙනි.

පසුගිය සතියේ, මෙම මර්දනය සියලු කම්කරුවන්ට එරෙහිව යොමු කෙරෙන්නක් බවට අනතුරු අඟවමින්—“විදුලිබල සේවකයන්ට එරෙහිව ආන්ඩුවේ දඩයමට විරුද්ධ වෙනු! ප්‍රතිප්‍රහාරයක් සූදානම් කරමු!” යනුවෙන්—සීඩබ්ලිව්ඒසී ප්‍රකාශයක් නිකුත් කලේය.

උද්ඝෝෂකයෝ, සීඩබ්ලිව්ඒසී ප්‍රකාශයේ සහ අනෙකුත් සසප ලේඛනවල සිංහල සහ දෙමල පිටපත් බෙදා හරින ලදී. බොහෝ කම්කරුවෝ ලංවිම සේවකයින්ට එරෙහි ආන්ඩුවේ මර්දනකාරී ක්‍රියාමාර්ග ගැන දැන සිටි අතර එය කෝපයෙන් හෙලා දුටුවහ.

රජයේ දුම්රිය දෙපාර්තමේන්තුවේ (සීජීආර්) වසර 35 කට වැඩි කාලයක් සේවය කල, කොලඹ දෙමටගොඩ පිහිටි සීජීආර් මහල් නිවාසවල සීජීආර් සේවකයෙකු, ආන්ඩුවේ මර්දනය සම්බන්ධයෙන් තම කෝපය ප්‍රකාශ කලේය.

ලංකා විදුලිබල මන්ඩල සේවකයින් දඩයම් කිරීම පිලිබඳව, සසප සාමාජිකයෙක් දුම්රිය සේවකයෙකු (මැද) සමග සාකච්ඡාවක් පවත්වමින්.

ආන්ඩුව 'කෲර ලෙස පාලනය කරන' බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඇත්තේ 'ඒකාධිපති මානසිකත්වයක්' බවත් ඔහු පැවසීය. අනතුරුව ඔහු, සමාජ මාධ්‍ය මර්දනය කිරීමට ආන්ඩුවට පුලුල් බලතල ලබා දෙන නව මාර්ගගත ආරක්ෂන පනත් කෙටුම්පත ගැන ද සඳහන් කලේය. 'ඊයේ ඔහු, ඒකාධිපති බලතල ලබා දෙන මාර්ගගත පනත පාර්ලිමේන්තුවේදී සම්මත කර ගත්තා,' ඔහු පැවසීය.

“ලංවිම සේවකයන්ට එරෙහි ක්‍රියාමාර්ගය මම තරයේ හෙලා දකිනවා. අපි සියල්ලෝම කම්කරුවන්; ඔවුන් ගොදුරු වූ විට, ඔවුන් ආරක්ෂා කිරීමට අප නැගී සිටිය යුතුයි. මගේ අදහසට අනුව, අපි ආන්ඩුවේ මර්දනකාරී ක්‍රියාවලට එරෙහිව වචනයෙනුත් ක්‍රියාවෙනුත් කම්කරුවන්ට සහාය දිය යුතුයි. අද ලංවිම සේවකයන්ට තර්ජන එල්ල වෙනවා කියන්නේ, පසුව අපට ඒ තර්නවලටම මුහුන දෙන්න සිදුවෙනවා කියන එකයි,” ඔහු පැවසීය.

“ආන්ඩුව හරියට අයිඑම්එෆ් එකේ පදේට නටන රූකඩයක් වගේ. එය—අපේ වත්කම් සහ රාජ්‍ය සම්පත් විකුනා දැමීම ඇතුලු—අයිඑම්එෆ් එක නියෝග කරන ඕන දෙයක් කරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේවා කරන්නේ අනුකම්පාවට නෙවෙයි” ඔහු තවදුරටත් කීවේ ය.

පෞද්ගලීකරනයට මුහුන දෙන සියලුම කම්කරුවන්ගේ ඒකාබද්ධ ක්‍රියාමාර්ගයක් කැඳවීම වෘත්තීය සමිති විසින් ප්‍රතික්ෂේප කිරීම ගැන සඳහන් කරමින්, 'සියලු වෘත්තීය සමිති නායකයින් ආන්ඩුව මත යැපෙන්නන්; ඔවුන් හරියට රූකඩ වගේ' ඔහු වැඩිදුරටත් පැවසීය.

කොලඹට නුදුරින් පිහිටි කැලනිතිස්ස බලාගාරයේ ලංවිම සේවකයෙක් මෙසේ පැවසීය: 'අපේ වෘත්තීය සමිති නායකයෝ මොනවා කරන්න යනවාද කියලා අපි හරියටම දන්නේ නැහැ, නමුත් අපේ සගයන්ට ඔවුන් ගැන විශ්වාසයක් නැහැ. අරගලය ඉදිරියට ගෙනියන්නේ කෙසේදැයි අපට උපදෙස් දෙන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම, ඔවුන් [දඩයම්වලට එරෙහිව] පියවර ගන්න තිබ්බේ කලින්ම, නමුත් ඔවුන් අපව සංවිධානය කරන්නේ නැහැ.'

“අපි [අනෙකුත් කම්කරුවන් සමඟ] එක්සත් වීමට සූදානම් නමුත් වෘත්තීය සමිතිවලට එය අවශ්‍ය නැහැ. වෘත්තීය සමිති නායකයින් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට සැලසුම් කරන්නේ දැයි අපි කවුරුත් බලාගෙන ඉන්නේ. අපි අපේ වැටුපෙන් වෘත්තීය සමිති ගාස්තු ගෙවනවා, නමුත් කිසිවක් අසන්නට ලැබෙන්නේ නැහැ. අනෙකුත් [ රාජ්‍ය ආතනවල- එස්ඕඊ] කම්කරුවන් එක්සත් ක්‍රියාමාර්ගයක් සඳහා අප හා සම්බන්ධ විය යුතු යැයි මම හිතනවා,” ඔහු පැවසීය.

අරගලය ඉදිරියට ගෙන යාම සඳහා කම්කරුවන්ට තමන්ගේම ස්වාධීන ක්‍රියාකාරී කමිටු පිහිටුවීමේ අවශ්‍යතාවය උද්ඝෝෂකයින් පැහැදිලි කල විට, ඔහු පිලිතුරු දුන්නේ, 'ඔව්, වෘත්තීය සමිති නායකයන් නැතත්, අපට ඉදිරියට යන්න පුලුවන්' යනුවෙනි. මේ ප්‍රශ්න තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා රැස්වීමට පැමිනීමට ඔහු එකඟ විය.

මහනුවරදී සෞඛ්‍ය ක්‍රියාකාරී කමිටු (සෞක්‍රික) සාමාජිකයෝ ලංවිම සේවකයින් සමඟ කතා කලහ. සේවකයන් 66 දෙනෙකු දඩයම් කිරීම සහ වැඩ තහනම් කිරීම සම්බන්ධයෙන් වෘත්තීය සමිති දක්වන ප්‍රතිචාරය බැරෑරුම් නොවන බව එක් සේවකයෙක් පැවසීය.

“මම අපේ වෘත්තීය සමිති නායකයින්ට කතා කලා. නමුත් මට පෙනෙන්නේ ඔවුන් මේ ප්‍රශ්න හරිම සරල විදියට ගන්නවා කියලා. ජනවාරි 3 සිට 5 දක්වා උද්ඝෝෂනවලදී පවා වෘත්තීය සමිති කලේ මවාපෑමක් විතරයි. මෙම විරෝධතාවලින් කිසිදු ප්‍රතිඵලයක් ලැබුනේ නැහැ; පසුව දඩයම් කිරීම ආරම්භ වුනා. අපි අපේ රැකියා ආරක්ෂා කල යුතුයි; ජනතාවගේ අයිතිවාසිකම් ද ආරක්ෂා කල යුතුයි,” ඔහු පැවසීය.

කලමනාකාරීත්වය විසින් උසස්වීම්, ප්‍රසාද දීමනා සහ අනෙකුත් දීමනා කප්පාදු කිරීම ගැන සඳහන් කල ඔහු, වෘත්තීය සමිති කෙරෙහි කම්කරුවන් අතර වැඩෙන පිලිකුලක් පවතින බව පැවසීය. 'සේවකයන්ගෙන් සියයට 50 කට වඩා වැඩි පිරිසක් කියන්නේ තමන් වෘත්තීය සමිතිවලින් ඉවත් වන බවයි' ඔහු වැඩිදුරටත් පැවසීය.

සසප උද්ඝෝෂකයෝ වරාය අධිකාරියේ නවාතැන් වල ජීවත් වන කොලඹ වරාය කම්කරුවන් සමග ද කතා කලහ. සැපයුම් දෙපාර්තමේන්තු සේවකයෙක් වැටුප් හා ජීවන තත්වයන්ට ආන්ඩුව එල්ල කරන ප්‍රහාර ගැන සාකච්ඡා කලේය.

“සෑම දෙයක්ම සිදුවෙමින් පවතින්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉල්ලීම්වලට අනුකූලව යි. සියයට 18 ක වැට් බද්ද (භාන්ඩ සහ සේවා මත එකතු කල අගය මත බද්ද) අපේ ජීවිතවලට බලපාලා තිබෙනවා; විදුලි බිල්පත් වැඩිකිරීම සහ උපයන විට බදු ගෙවීමට අපි මුහුන දී ඉන්නවා. ඒ ඔක්කොම අස්සේ අපේ පඩි විශාල වසයෙන් ලෙස කපා හැරලා තියෙනවා. ඛනිජ තෙල් හා විදුලි බල මන්ඩල සේවකයන් ද මේ තත්ත්වයට මුහුන දීලා තියෙන්නේ මේ සමානම තත්වයකට,' ඔහු පැවසීය.

“පාලකයන් සුඛෝපභෝගී ජීවිතයක් ගත කරනවා, නමුත් අපි දුක් විඳිනවා. අපෙන් බදු අය කරනවා, ඔවුන්ට ඒවා නැහැ. අපේ ජීවන තත්වය පහත වැටීම ගැන අපි කාර්යාලයේ බොහෝ සාකච්ඡා සිදු කලත්, ආන්ඩුවෙන් කිසිදු විසඳුමක් දෙන පාටක් පේන්න නැහැ,' ඔහු පැවසීය.

ලංවිම සේවකයින් ගොදුරු කර ගැනීම ගැන සඳහන් කරමින් “මෙය කර ඇත්තේ අනෙකුත් සේවකයින් බිය ගැන්වීම සඳහා” බවත් “එයින් අදහස් කෙරෙන්නේ, වරාය සේවකයින් වැඩවර්ජන කලහොත් ඔවුන්ටත් එම තත්වයටම මුහුන දීමට සිදුවන බවත්,” යැයි ඔහු කියා සිටියේ ය.

ආන්ඩුවේ ප්‍රහාරය “සම්පුර්නයෙන්ම හෙලා දකින” බව වයඹ පලාතේ ලංවිම සේවකයෙක් උද්ඝෝෂකයන්ට පැවසුවේ ය. “කොහොම නමුත් අපි එකතු වී ප්‍රතිප්‍රහාරයක් දියත් කලහොත් මිස, මේ දඩයම නවත්වන්න බැහැ. මෙම මර්දනය අනෙකුත් අංශවල කම්කරුවන් වෙත ද ව්‍යාප්ත වනු ඇති. ඒ වගේම එය පුද්ගලීකරනය හා කප්පාදු පියවරයන් ද වේගවත් කරමින් තිබෙනවා.”

ඔහු සීඩබ්ලිව්ඒසී ප්‍රකාශයට සහ එහි ඉදිරිදර්ශනයට සිය එකඟතාවය පල කලේ ය. කෙසේනමුත්, විදේශ නය ප්‍රතික්ෂේප කිරීමකදී ප්‍රමුඛ බලවතුන් ශ්‍රී ලංකාවට සම්බාධක පනවනු ඇතයි පවසමින්, කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ආන්ඩුවකට විදේශ නය ප්‍රතික්ෂේප කල හැකි ආකාරය පිලිබඳ වැඩි විස්තර විමසුවේ ය.

සීඩබ්ලියුඒසී/ සසප උද්ඝෝෂකයින් මෙයට පිලිතුරු දෙමින්, ලොව පුරා කම්කරුවන් සමග එකමුතුව සමාජවාදී හා ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙලක් සඳහා ශ්‍රී ලාංකික කම්කරුවන් සටන් කිරීමේ අවශ්‍යතාවය පැහැදිලි කලෝ ය. මේ අරගලය ඉදිරියට ගෙන යාම සඳහා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් ආරම්භ කරන ලද කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයේ වැදගත්කම උද්ඝෝෂකයෝ එහිලා වැඩිදුර අවධාරනය කලහ.

Loading