ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලනය හා පන්ති ස්වභාවය - පලමුවන කොටස

1. ප‍්‍රවේශය

අප මේ සමග පලකිරීම ආරම්භ කර ඇත්තේ, සමාජවාදී සමානතා පක්ෂයේ පූර්වගාමී සංවිධානය වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ (විකොස) ප්‍රධාන ලේකම්ව සිටි කීර්ති බාලසූරිය (1948 -1987) විසින් 'ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලනය හා පන්ති ස්වභාවය' යන මාතෘකාවෙන් ලියන ලද ලිපි මාලාවයි. මෙම ලිපි මාලාව ප්‍රථමයෙන්ම පල කෙරුනේ, එවක විකොස සතිපතා මධ්‍යම පුවත් පතවූ “කම්කරු පුවත්” 1970 අගෝස්තු අවසානයේ සිට නොවැම්බර් අවසානය දක්වා කලාප තුලය. පසුව එය පොතක් වශයෙන් මුද්‍රනය කෙරුනි.

ලෝසවෙඅ හි පලකල කෘතියේ හැඳින්වීම පෙබරවාරි 19 දින පලකෙරුනි. ලිපි අනුපිලිවෙලින් කොටස් වශයෙන් පලකරමු.

***

1970 දෙසැම්බර් 11 දින ප්‍රකාශයට පත් කෙරුනු පොතේ පිටකවරය

අද ලෝකය පුරා ම කම්කරු පන්තිය, දියුනු ධනපති රටවල සිට නොදියුනු විජිත හා අර්ධ විජිතයන් දක්වා ම ධනවාදයට විරුද්ධව බිහිසුනු ප්‍රහාරයක් දියත් කරමින් පෙරට ඇදෙයි. ස්ටැලින්වාදී නිලධාරි තන්ත්‍රයේ ආධිපත්‍යයෙන් යුතු රටවල කම්කරු පන්තිය ද මේ කම්කරුවන් සමග එක්ව නිලධාරි තන්ත්‍රයේ දේශපාලන බලය පෙරලා දමා කම්කරු පන්තියේ අතට දේශපාලන බලය අත් කර ගැනීමට පෙරට ඇදෙයි.

1930 ගනන්වල දී ලෝක ධනවාදය මුහුන දුන් මාරක අර්බුදයට පසුව ඊටත් වඩා ගැඹුරු අර්බුදයක ධනපති ක්‍රමය බිඳී ගොස් ඇති මේ අවධියේ ප්‍රධාන ලක්ෂනය එය යි.

මේ සියලු ම කම්කරු පන්ති සටන් ඉස්මතු කර ඇත්තේ එක ම එක ප්‍රශ්නයකි. රාජ්‍ය බලය පවත්වා ගෙන යා යුත්තේ කවුරුන් විසින් ද යන්න ඒ ප‍්‍රශ්නය යි. ධනපති පන්තිය අත තව දුරටත් දේශපාලන බලය රැඳී තිබෙන්නට ඉඩ හරිනවා ද, කම්කරු පන්තිය තමන්ගේ ස්වාධීන පන්ති බලය පිහිටුවා ගන්නවා ද යන ප‍්‍රශ්නය මුලු ලෝකය පුරා ම කම්කරු පන්තිය ඉදිරියේ ඉස්මතුව ඇති ප්‍රශ්නය යි.

දේශපාලන බලය අධිරාජ්‍යවාදය අත රැඳී තිබීම කෙලින් ම ඇති කරනු ඇත්තේ ෆැසිස්ට්වාදී වනචාරිත්වය යි. කම්කරු පන්තිය බලය අල්ලා ගැනීමේ ප්‍රතිඵලය වන්නේ සමාජවාදය යි.

ධනවාදයේ මේ අර්බුදය එකී දෙවිදියෙන් එක විදියකට විසඳිය යුතු අතර මැද මාවත් විසඳුමක් ඇත්තේ නැත. එක්කෝ කම්කරු පන්තිය ලොව පුරා ම තම බලය ස්ථාපනය කර ගෙන සමාජවාදය ගොඩ නැගිය යුතු ය; නැත් නම් ලෝක ධනවාදය 1930 ගනන්වල දී සිදු කලාටත් වඩා ලක්ෂ සංඛ්‍යාත ගුනයක ම්ලේච්ඡත්වයකින් කම්කරු පන්තිය හා දුගී ජනතාව මර්දනය කර ෆැසිස්ට්වාදී වනචාරිත්වයක් මැදින් තුන් වන හා අවසන් ලෝක යුද්ධයට පිය නැගිය යුතු ය.

ඉතාලියේ මුසොලීනිගේ ෆැසිස්ට් ජයග්‍රහනය 'රුසියාවේ ඇරඹුනු විප්ලවය ඉදිරියට ගෙන නොයාම නිසා කම්කරු පන්තිය මත පටවන ලද දඬුවම” බව කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ ප්‍රමුඛ නායිකාවක වූ ක්ලේරා සෙට්කින් 1923 දී ලීවා ය.

ක්ලේරා සෙට්කින්ගේ එම ප්‍රකාශය 1933 ජර්මනියේ හිට්ලර්ගේ ෆැසිස්ට් ජයග්‍රහනයත් 1936 ස්පාඤ්ඤයේ ෆ්‍රැන්කෝගේ ජයග්‍රහනයත් සම්බන්ධයෙන් පමනක් නො ව මුලු මහත් දෙවන ලෝක මහා සංග්‍රාමය සම්බන්ධයෙන් ද සත්‍යයකි.

කම්කරු පන්තිය බලය අල්ලා ගැනීම සම්බන්ධයෙන් දක්වන සෑම පසුබෑමකට ම දැන් ගෙවීමට සිදු වනු ඇත්තේ 1930 ගනන්වල දීටත් වඩා අධික මිලකි.

කම්කරු පන්තිය විසින් රාජ්‍ය බලය ඇල්ලීම වලක්වා ලීමට විවිධාකාර 'සූත්‍රයන්” හා “න්‍යායන්” ඉදිරිපත් කරන නායකත්වයන් කෙලින් ම සටන් කරන්නේ ෆැසිස්ට්වාදී වනචාරිත්වය සඳහා ය යන්න 1930 ගනන්වල යුරෝපයේ සියලු ම පන්ති සටන්වල අත්දැකීම් ද ඉතා මෑත දී ඉන්දුනීසියාවේ ප්‍රතිවිප්ලවයේ ජයග්‍රහනය ද විසින් සනාථ කරන ලදි.

අර්බුදයට හසුව මර ලතෝනි දෙන පරපුටු ධනේශ්වර ක්‍රමය තම මර ලතෝනියේ දී කම්කරු පන්තියටත් දුගී ජනතාවටත් එල්ල කරන ම්ලේච්ඡ ප්‍රහාරයන්ට දිය හැක්කේත් දිය යුත්තේත් එක ම පිලිතුරකි; එනම්, මේ ක්‍රමය පෙරලා දැමීම යි.

ධනේශ්වර ක්‍රමය පෙරලා දැමීම යනු එය පෙරලා දැමීමේ සටනේ නායකත්වය ගත හැකි හා එය පෙරලා දමා සමාජවාදී සමාජයකට පදනම දැමිය හැකි වර්තමාන සමාජය තුල ඇති එක ම විප්ලවවාදී බලවේගය වන කම්කරු පන්තිය ජාත්‍යන්තර පරිමානව රාජ්‍ය බලය ඇල්ලීම කරා මෙහෙයවීම යි. ධනවාදය පෙරලා දැමීමේ වෙනත් ක්‍රම නැත.

ධනවාදයෙන් මුලුමනින් ම ස්වාධීනව කම්කරු පන්තිය සටනට මෙහෙයවීමක් හැටියට පමනක් කම්කරු පන්තිය රාජ්‍ය බලය ඇල්ලීම සිදු වේ. කම්කරු පන්තිය ධනපති පන්තියෙන් ස්වාධීන කර ගත හැක්කේ මාක්ස්වාදී පක්ෂයකට පමනි.

ධනවාදයේ අර්බුදය ගැනත් වර්තමාන සමාජය තුල පන්තීන් අතර ඇති අරගලය හා සම්බන්ධතාවන් ගැනත් කම්කරු පන්තියේ විප්ලවවාදී කටයුත්ත ගැනත් සමාජවාදී විප්ලවයේ ඓතිහාසික අවශ්‍යතාව ගැනත් ප‍්‍රථම වරට විද්‍යාත්මක විග්‍රහයක් සපයන ලද්දේ මාක්ස්වාදය විසිනි. හුදු විග්‍රහ කිරීමක් සඳහා එල්ල කරන ලද එකක් නොවන මේ විග්‍රහය කම්කරු පන්තිය ධනවාදය පෙරලා දැමීමට ගෙන යන ප්‍රායෝගික අරගලයේ ආයුධය යි. මෙම ආයුධය (මාක්ස්වාදී න්‍යාය) කම්කරු පන්තිය සිය ඉතිහාසය තුල ගෙන ගිය සියලු ම පන්ති අරගලයන් තුලින් මුවහත් කර වැඩි දියුනු කරන ලද අතර කම්කරු පන්තිය විසින් රාජ්‍ය බලය ඇල්ලීමට බාධාකාරීව සිටින විවිධාකාර සතුරු පන්ති බලවේගයන්ට විරුද්ධ අරගලය මගින් එය වැඩි දියුනු කිරීමට කරන දැනුවත් සටන තුලින් පමනක් එය පවතී.

මේ සියවසේ කම්කරු පන්ති සටන්වල ප්‍රධානතම හා වැදගත් ම අත්දැකීම නම් කම්කරු පන්තිය ධනවාදයට විරුද්ධව ගෙන යන ප්‍රායෝගික අරගලය ඇතුලතින් මාක්ස්වාදී න්‍යාය සංවර්ධනය කිරීම කේන්ද්‍ර කොට ගත් විප්ලවවාදී පක්ෂය ගොඩ නැගීමෙන් තොරව කම්කරු පන්තියට පන්ති සටනෙන් ජය ගත නොහැකි බව යි.

1917 දී රුසියාවේ ජය ගත් ඔක්තෝබර් විප්ලවය විසින් ද එයින් පසුව පරාජයට පත් වූ සෑම විප්ලවයක් විසින් ම ද සනාථ කරන ලද්දේ මාක්ස්වාදී පක්ෂයේ අවශ්‍යතාව යි.

කම්කරු පන්තිය ලෝකය පුරා ම අධිරාජ්‍යවාදයට විරුද්ධව දැවැන්ත ලෙස නැගී සිටින මේ කාලයේ දී ලෝකය පුරා ම වෙසෙන විප්ලවවාදීන්ගේ ප්‍රධාන කටයුත්ත වන්නේ සෑම රටක් තුල ම කම්කරු පන්තියේ බලය පිහිටුවීම කරා කම්කරු පන්තිය මෙහෙයවීමට අත්‍යවශ්‍ය මෙම මාක්ස්වාදී නායකත්වය ජාත්‍යන්තර පරිමානව ගොඩ නැගීම යි.

මේ මාක්ස්වාදී පක්ෂය ගොඩ නැගීමට පිටින් අධිරාජ්‍යවාදය පෙරලා දැමීම සඳහා වෙනත් විකල්පයක් ඇත්තේ නැත. මේ මාක්ස්වාදී පක්ෂය ගොඩ නැගිය හැකි වන්නේ ධනේශ්වර පන්තියත් සමග විවිධාකාර සම්මුතීන්ට එලඹෙමින් කම්කරු පන්තිය ධනපති පන්තියට ගැට ගසා තබන සෑම වර්ගයක ම දේශපාලනයන්ට විරුද්ධව සටන් කරමින් කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්වීමට ගෙන යන අරගලය ඇතුලිනි.

ලංකාව වැනි අර්ධ විජිත රටක් තුල ද මාක්ස්වාදීන් සතු කාර්යය එය යි. එනම්, ලංකාවේ කම්කරු පන්තිය ධනේශ්වරයෙන් ස්වාධීන කර ගැනීම යි.

ලංකාවේ කම්කරු පන්තිය ධනේශ්වරයෙන් ස්වාධීන කර ගැනීමට සටන් නො කර ගොවි ජනතාව හා අනෙකුත් පීඩිත ජන කොටස් අධිරාජ්‍යවාදී ම්ලේච්ඡත්වයට විරුද්ධව අරගලයට ගෙන යා නොහැකි ය. මේ කොටස් කිසිවකට ස්වාධීනව අධිරාජ්‍යවාදය සමග ගැටී තම බලය පිහිටුවා ගැනීමට කිසි ම හැකියාවක් නොමැති බැවිනි. ගොවි ජනතාව, උතුරේ පීඩිත ජනතාව හා අනෙකුත් පීඩිතයන් අධිරාජ්‍යවාදයට විරුද්ධව සටනකට ගෙන යා හැකි වන්නේ, ධනවාදයට එරෙහි සටනේ නායකත්වය ගැනීමට හැකියාව ඇති, මේ සමාජය තුල සිටින එක ම විප්ලවවාදී බලවේගය වන කම්කරු පන්තියේ නායකත්වය යටතේ ඔවුන් ඒකරාශි කිරීමෙනි. කම්කරු පන්තිය ධනපති පන්තියට ගැට ගැසී සිටින තුරු ගොවීන් හා අනෙකුත් පීඩිතයන් කම්කරු පන්ති නායකත්වය යටතේ එක්සත් කිරීමක් සිදු කල නොහැකි ය.

මේ නිසා විප්ලවවාදීන් සටන් කල යුතු වන්නේ කම්කරු පන්තිය ධනපති පන්තියේ නායකත්වය යටතේ ගැට ගසා ඇති සමසමාජවාදී හා ස්ටැලින්වාදී නායකත්වයන්ට විරුද්ධව කම්කරු පන්තියේ පන්ති ස්වාධීනත්වය සඳහා ය. මේ පන්ති ස්වාධීනත්වය අත් කර ගැනීමට සටන් නො කර 'අධිරාජ්‍යවාදය පෙරලා දැමීමට වෙනත් 'සූත්‍රයන්' හා 'න්‍යායන්” ද විවිධාකාර පලල් පෙරමුනු හා නන් වැදෑරුම් සන්ධානයන් ද ඉදිරිපත් කරන සෑම කොටසක් ම ක්‍රියා කරන්නේ නැවතත් වරක් මධ්‍යම පන්තික නායකත්වයන් හරහා කම්කරු පන්තිය ධනේශ්වරයට ගැට ගැසීමට ය.

කම්කරු පන්තිය ධනේශ්වරයෙන් ස්වාධීන කර ගැනීමට සටන් නො කර අධිරාජ්‍යවාදයට විරුද්ධව සටන් කිරීම සඳහා යැයි කියමින් විවිධාකාර සූත්‍රයන් ඉදිරිපත් කරන සංවිධාන කීපයක් ඉතා මෑත කාලයක සිට ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රය තුලට පිවිස සිටී. මේ සෑම සංවිධානයක ම ඇති ඉතා ම පැහැදිලි ලක්ෂනය නම් දැනුවත්ව ම කම්කරු පන්තියට පසුපස හරවා ගෙන සිටීම යි.

ධනේශ්වර හා ඊනියා වාමාංශික පත්‍රවල ප්‍රසිද්ධියෙන් “විප්ලවවාදීන්” ලෙස කීර්තිමත්ව සිටින ජනතා විමුක්ති පෙරමුන නමැති සංවිධානය ඉහත කී සංවිධානයන් අතුරෙන් ඉතා ම භයානක ක්‍රියා කලාපයක් ලංකාව තුල ඉටු කිරීමට සැරසෙමින් සිටී.

කම්කරු පන්තිය තුල මාක්ස්වාදී විප්ලවවාදී පක්ෂයක් ගොඩ නැගීම සඳහා ගෙන යන සටන කඩාකප්පල් කර දැමීමට මධ්‍යම පන්තික “අධිරාජ්‍ය විරෝධී” පෙරමුනක් අටවා කම්කරු පන්තිය මධ්‍යම පන්තික නායකත්වයට යටත් කිරීමට පමනක් නො ව කම්කරු පන්තිය භේදභින්න කිරීමට මේ සංවිධානය ඉතා ම නිශ්චිත ක්‍රියා කලාපයක් ඉටු කිරීමට අරමුනු කර ගෙන සිටී.

ධනවාදය ඉමහත් අර්බුදයකට මුහුන දී ඇති මේ අවධියේ මේ ආකාර වූ ව්‍යාපාරයක් ගොඩ නැගී ඇත්තේ ලංකාවේ පමනක් නො වේ. ධනේශ්වර ක්‍රමයේ අර්බුදය නිසා ම සමාජය තුල තමන්ට හිමි වරප්‍රසාදයන් හා අයිතිවාසිකම් සහමුලින් ම නැතිභංග වී යාමේ තර්ජනයට මුහුන දී සිටින සුලු ධනේශ්වර සමාජ පන්තිය ලෝකය පුරා ම 'අපන්තික” සංවිධානයන් ගොඩ නැගීම පසු ගිය කාලය තුල සෑම රටක ම පාහේ දක්නට ලැබුනි.

ඒකාධිකාරි ධනවාදය තම මර ලතෝනියේ දී සමාජයේ සියලු ම පීඩිත කොටස්වල ජීවන තත්වයන් බිඳ වැටෙන්ට පහර දෙද්දී ධනවාදය පෙරලා දැමීම පසෙක තබා “තමන්ට පමනක් වරප්‍රසාදයන්” අත් කර ගැනීමේ වර්ගවාදී, ජාතිවාදී හා ජාතිකවාදී ව්‍යාපාරයන් ගොඩ නගා ජාත්‍යන්තර කම්කරු පන්තිය ඒ ඒ කොටස්වලට කඩා ප්‍රතිගාමී අරගලයන්ට මෙහෙයවීමට මධ්‍යම පන්තිය විසින් නායකත්වය දෙනු ලබන ව්‍යාපාරයන් රැසක් ම පසු ගිය කාලය මුලුල්ලේ මුලු ලෝකය පුරා ම ගොඩ නැගුනි. ජනතා විමුක්ති පෙරමුන කුමක් දැයි වටහා ගැනීමට මේ ව්‍යාපාරයන් ගැන වැටහීමක් ඇති කර ගැනීම අවශ්‍ය ය.

ඒකාධිකාරී ධනවාදයේ අර්බුදය හේතු කොට ගෙන කම්කරු පන්තියේ රැකියාවලට, ජීවන තත්වයන්ට හා සේවා තත්වයන්ට පමනක් නො ව සමාජයේ පීඩිත පන්තියේ ජීවිතයට මත් පහර වදිද්දී දියුනු ධනපති රටවල කලු මිනිසුන් අතර සිටි මධ්‍යම පන්තික නායකයෝ “කලු බලය ස්ථාපනය කිරීමේ” ව්‍යාපාරයන් යැයි ව්‍යාපාර වර්ගයක් ගොඩ නැගූහ.

කලු කම්කරුවන්, සුදු කම්කරුවන් සමග එක්ව විප්ලවවාදී පක්ෂයක් ගොඩ නගා ධනවාදය පෙරලා දැමීම නවත්වා ලීමට කලු කම්කරුවන් සුදු කම්කරු පන්තියෙන් වෙන් කර, පන්ති පදනමක් මත නො ව වර්ගවාදී පදනමක් මත ඔවුන් එක් කර ඉතා ම ප්‍රතිගාමී අරගලයන්ට මෙහෙයවීම මේ ව්‍යාපාරයේ හරය වුනි. මේ ව්‍යාපාරයන් අතිශයින් ම රැඩිකල්වාදී ඒවා වුව ද, ඇමරිකානු ධනපතියන්ට විරුද්ධ දැවැන්ත වෛරයකින් ගොඩ නගනු ලැබුයේ වුව ද, ඒවායින් ඇත්තට ම සිදු කරනු ලැබුයේ සුදු හා කලු කම්කරුවන් තුල නැග එන ඉමහත් රැඩිකලීභවනය වර්ගවාදී පදනමක් මත බෙදීම යි. මේ ව්‍යාපාර කම්කරු පන්තිය බෙදුවා පමනක් නො වේ. මේවාට පිටුපසින් ෆැසිස්ට්වාදී ව්‍යාපාර ද ක්‍රියාත්මක වුනි.

කලු කම්කරුවන් සුදු කම්කරු පන්තියෙන් වෙන් කර, මධ්‍යම පන්තික වර්ගවාදී පදනමක් මත, කලු ෆැසිස්ට්වාදීන්ගේ නායකත්වය යටතට වුව ද දැක්කීමට මේ මධ්‍යම පන්තික දේශපාලනය ක්‍රියාත්මක

වෙයි. කලු කම්කරුවන්ගේ අනෙක් සහෝදර කොටස වන සුදු කම්කරුවන්ගෙන් ඔවුන් වෙන් කල පසුව, මධ්‍යම පන්තික අරාජකවාදී කැරලි ඇති කර ධනේශ්වරයේ මදනයන්ට ඔවුන් ලක් කිරීම ද ධනේශ්වර රාජ්‍ය යන්ත්‍රය එමගින් ශක්තිමත් කර දීම ද මේ 'කලු බලය” ව්‍යාපාරයන් ඇත්තට ම සිදු කල දේ ය.

ධනවාදයේ අර්බුදය නිසා ශිෂ්‍යයන්ගේ අයිතිවාසිකම්වලට පහර වැදෙන විට 'ශිෂ්‍ය බලය” ස්ථාපනය කිරීම සඳහා ඇති වූ ව්‍යාපාරත් යුරෝපයේ ඇතැම් ධනපති රටවල පිහිටුවා ගෙන ඇති 'ස්ත්‍රී බලය” ව්‍යාපාරත් කෙලින් ම ක්‍රියාත්මකව ඇත්තේ කම්කරු පන්තියේ රාජ්‍ය බලය අල්ලා ගැනීමේ සටනට හරස් කැපීම සඳහා ය. ශිෂ්‍යයන් කම්කරු පන්තියේ නායකත්වය යටතට ගෙන එනු වෙනුවට ඔවුන්ට සරසවි තුල තම බලය පිහිටුවා ගත හැකි ය යි මිථ්‍යාවන් කවා, කම්කරු පන්තිය හා ශිෂ්‍යයන් භේද කිරීම මේ “ශිෂ්‍ය බලය” ව්‍යාපාරයේ හරය විය.

ඇමරිකාව, ප්‍රන්සය හා බ්‍රිතාන්‍යය තුල නැගී විත් ඇති සුලු ධනේශ්වර සාමවාදී ව්‍යාපාරයන් ද මෙබඳු ම ව්‍යාපාර විශේෂයකි. විශේෂයෙන් ම වියට්නාම් යුද්ධයේ බරින් පීඩා විඳින ඇමරිකාවේ මධ්‍යම පන්තිය 'වියට්නාමයේ සාමය සඳහා” යැයි ඇති කල ව්‍යාපාරයේ හරය වූයේ පන්ති පදනම කුමක් වුවත් සාමයට ලැදි ඕනෑ ම කොටසක් පලල් පෙරමුනක් තුලින් විරෝධතා ප්‍රකාශ කිරීමේ ක්‍රියාවන්ට මෙහෙයවීම ය. මේ ව්‍යාපාරයේ ඇත්ත කටයුත්ත වූයේ වියට්නාම් යුද්ධය නතර කිරීමට හැකියාව ඇති එක ම බලවේගය වන ඇමරිකානු කම්කරු පන්තිය ඇමරිකානු අධිරාජ්‍යවාදය පෙරලා දැමීම සඳහා ස්වාධීනව බලමුලු ගැන්වීමට හරස් කපා සාමවාදී ව්‍යාපාරය මගින් ඇමරිකානු ධනපති පන්තියේ එක් කොටසකට ගැට ගැසීම යි. බ්‍රිතාන්‍යයේ දී මේ සාමවාදී ව්‍යාපාරයන්, බර්ට්‍රන්ඩ් රසල් වැනි සාමිවරුන්ගේ සිට කම්කරු පන්තියේ ඇතැම් කොටස් දක්වා ම විවිධ කොටස් ඔවුන්ගේ පන්ති පදනම් නො තකා එකට එකතු කලේ ය. කම්කරු පන්තිය ධනේශ්වරයට විරුද්ධව ස්වාධීනව බලමුලු ගැන්වීමට එරෙහිව යොදන ලද උගුලක් වූ මෙය කම්කරු පන්තියේ ඇති වී එන නැගීම මධ්‍යම පන්තික රැඩිකල්වාදයට යට කර දැමීම අරමුනු කර ගත්තේ ය.

ධනවාදයේ අර්බුදය තුල රැඩිකලීකරනය වන මධ්‍යම පන්තිය ඉහත කී ආකාරයේ 'අපන්තික” පෙරමුනු ගැසීමේ මුවාවෙන් කම්කරු පන්තිය වර්ගවාදී හා ජාතිවාදී පදනම මත භේද කිරීමටත් කම්කරු පත්තික නැගීම ධනේශ්වරයෙන් ස්වාධීන වීමේ මාවතකට පිවිසීම නවත්වා දැමීමට විවිධාකාර සන්ධානයන් ඇටවීමටත් ජාත්‍යන්තර පරිමානව මෙසේ ක්‍රියාකාරී වී ඇත.

මතුපිටින් බැලූ කල මේ සෑම පෙරමුනක් හා ව්‍යාපාරයක් ම දරුනු සටන්කාමිත්වයක් පෙන්වන අයුරක් පෙනුන ද මේ සටන්කාමිත්වයට යටින් ධනේශ්වර ක්‍රමය සමග ඇති කර ගෙන ඇති ඉතා ම නිශ්චිත සම්මුතියක් ඇත. උදාහරනයක් වශයෙන්, අධිරාජ්‍ය-ධනේශ්වර ක්‍රමය තුල නිෂ්පාදන බලවේගයන් මිරිකී යාමේ ප්‍රතිඵලයක් හැටියට කලු මිනිසුන්ගේ “ගැටලුව” දෙස බැලීම ප්‍රතික්ෂේප කරන නිසා ම “කලු බලය” ව්‍යාපාරය ධනපති ක්‍රමය තුල කලු මිනිසුන් සඳහා පමනක් ප්‍රතිසංස්කරන ඇති කර ගැනීමේ අන්ත ප්‍රතිගාමී ව්‍යාපාරයක් බවට පත්ව ඇත. “ශිෂ්‍ය බලය” සංකල්පය යටතේ පවතින්නේ ද ධනවාදයේ පොදු අර්බුදයේ කොටසක් හැටියට ශිෂ්‍ය ප්‍රශ්න දැකීම ප්‍රතික්ෂේප කිරීම මගින් ධනපති ක්‍රමය ඇතුලත යම් ප්‍රතිසංස්කරනයන් සඳහා උනන්දු වීමක් පමනි.

මේ ව්‍යාපාරයන් ප්‍රතිගාමී ඒවා වන්නේ ඒවා ධනපති ක්‍රමය තුල “ප්‍රතිසංස්කරන සඳහා” පමනක් සටන් කරන නිසා ම නො වේ; තම තම වර්ගයට හෝ කොටසට පමනක් සීමිත යම් ප්‍රතිසංස්කරනයන් මාලාවක් මත පදනම්ව, ධනවාදයට විරුද්ධව කම්කරු පන්තිය ගෙන යන පොදු සටනෙන් ඉවතට පැන, ධනවාදයට විරුද්ධ පොදු සටන කඩාකප්පල් කර දමන නිසා ද වේ.

මේ අධිරාජ්‍යවාදී යුගයේ, එනම් ලෝක ආර්ථිකයක් හා ලෝක දේශපාලනයක් සැකසී ඇති මේ යුගයේ ලෝකයේ සෑම රටක් තුල ම ඇති වන පන්ති සටන්, එක එක වාර්ගික පදනමක් මත හෝ කට්ටි පදනමක් මත බෙදිය නොහැකි ය. ලෝකයේ සෑම රටක ම ඇති වන සෑම පන්ති සටනක් ම ලෝක අධිරාජ්‍යවාදය පෙරලා දැමීමේ ලෝක සමාජවාදී විප්ලවයේ කොටස් බවට පත් වේ. ලෝකයේ සෑම තැනක ම අධිරාජ්‍යවාදයට විරුද්ධව ඇති වන සටන්වලට ඇත්තේ එක ම අර්ථයකි. එම අර්ථය නම්, සමස්ත ධනේශ්වර ක්‍රමය ම පෙරලා දැමීම යි.

ධනවාදයේ මේ අර්බුද සමයේ දී විවිධාකාර පීඩිත කොටස්වලට එක එක ආකාරයට පහර වදින බව ඇත්තකි. එනමුත් මේ කිසි ම කොටසකට තමන්ට පමනක් සීමා වූ අමුතු විසඳුමක් ඇතැයි සිතීම අතිශයින් ම ප්‍රතිගාමී වේ. මේ සෑම කොටසක් ම ධනවාදය පෙරලා දැමීමේ තනි එල්ලය කරා ගෙන යා යුතුව ඇති හෙයින් ලෝක කම්කරු පන්තිය ලෝක සමාජවාදී විප්ලවය සඳහා කරන සටන යටතේ ඔවුන් ඒකාබද්ධ කර ගත යුතු වේ.

කලු මිනිසුන්, කලු-සුදු භේදයන් නො තකා, කම්කරු පන්තිය බලය කරා මෙහෙයවන විප්ලවවාදී පක්ෂය ගොඩ නැගීමට එක් විය යුතු ය. ශිෂ්‍යයන්ට ඔවුන්ට පමනක් සීමා වන විසඳුමක් නැති නිසා කම්කරු පන්තිය ධනවාදය පෙරලා දැමීමට ගෙන යන සටනට ඔවුන් සම්බන්ධ කල යුතු ය. මේ සම්බන්ධනය කල හැක්කේ කම්කරු පන්ති විප්ලවවාදී පක්ෂයක නායකත්වය යටතේ පමනි.

ලෝකයේ සෑම දෙසක ම ඇති වන සෑම පන්ති සටනක් ම ලෝක අධිරාජ්‍යවාදයට විරුද්ධව ජාත්‍යන්තර කම්කරු පන්තිය ගෙන යන තනි සටන් කොටසක් ලෙස නොදකින සෑම ව්‍යාපාරයක් ම අවසානයේ දී අවසන් වන්නේ සමාජවාදී විප්ලවයට එරෙහිව ජාත්‍යන්තර ධනවාදයට මුක්කු ගැසීමෙනි.

මේ අර්ථයෙන් විප්ලවවාදී ව්‍යාපාරයකට වර්තමාන යුගයේ දී පැවතිය හැක්කේ ජාත්‍යන්තරවාදී ව්‍යාපාරයක් ලෙස පමනි. ජාත්‍යන්තරවාදී නොවන කිසි ම ව්‍යාපාරයක් විප්ලවවාදී නො වේ.

විජිත හා අර්ධ විජිත රටවල් තුල මධ්‍යම පන්තිකයන්ගේ රැඩිකල්වාදී ව්‍යාපාරයන්ගේ දේශපාලනය ද ඉහත විස්තර කල මධ්‍යම පන්තික රැඩිකල්වාදී ව්‍යාපාර මෙන් ම ප්‍රතිගාමී වෙයි.

අධිරාජ්‍යවාදයේ නග්න සූරා කෑමට බඳුන් වී සිටින මේ රටවල ජන සමූහයන්ට තම තමන්ට පමනක් සුවිශේෂ වූ ජාතික විසඳුම් නැත. මේ රටවල් තුල කම්කරු පන්තිය යටතේ අනෙකුත් පීඩිත කොටස් අධිරාජ්‍යවාදයට විරුද්ධව සටනට මෙහෙයවා කම්කරු පන්තියේ ඒකාධිපතිත්වය ස්ථාපනය කල යුතු ය. එමගින් ජාත්‍යන්තර සමාජවාදී විප්ලවය පෙරට ගෙන යා යුතු ය.

මෙය ඉටු නො කර අධිරාජ්‍යවාදයෙන් බේරී සිටීම සඳහා වෙනත් විසඳුමක් ඇත්තේ නැත. මේ රටවල් තුල මධ්‍යම පන්තික සමාජ තට්ටුව වෙත අධිරාජ්‍යවාදයේ අර්බුදය පැතිර යත් ම අධිරාජ්‍යවාදයෙන් බේරී සිටීම සඳහා, තම වරප්‍රසාදයන් රැක ගැනීම සඳහා ජාතිකවාදී පදනමක් මත එක් කල හැකි සියලු ම පන්තීන් එක් කිරීමටත් කම්කරු පන්තිය මේ පෙරමුනට යට කර දැමීමටත් ඉහත කී මධ්‍යම පන්තික දේශපාලනය ක්‍රියාත්මක වෙයි.

අධිරාජ්‍යවාදයේ බලය පෙරලා දැමිය හැකි එක ම බලවේගය වන කම්කරු පන්තියේ නායකත්වය යටතේ පීඩිත ජනතාව සටනට මෙහෙයවනවා වෙනුවට “දේශප්‍රේමී” සටන්වලට ය කියා එක් කල මධ්‍යම පන්තීන්ගේ ආධිපත්‍යය යටතට කම්කරු පන්තිය තල්ලු කිරීම විජිත හා අර්ධ විජිත රටවල් තුල මේ මධ්‍යම පන්තික රැඩිකල්වාදී ව්‍යාපාර විසින් ඉටු කරනු ලබයි. මධ්‍යම පන්තික “දේශප්‍රේමී” පෙරමුනට කම්කරු පන්තිය ගැට ගසා ගත් පසුව මධ්‍යම පන්තිකයන්ගේ අනෙකුත් අවශ්‍යතාවන් සඳහා උපකරනයක් ලෙස කම්කරු පන්තිය යෙදවීමට මාවත සැලසේ.

ලෝකය පුරා ම ඒ ඒ රටවල මධ්‍යම පන්තීන් විසින් ගොඩ නගා ගෙන ඇති ව්‍යාපාරයන්ට සමාන්තරව ලංකාවේ සිංහල සුලු ධනේශ්වර පන්තිය ගොඩ නගා ඇති ව්‍යාපාරය ජනතා විමුක්ති පෙරමුන යි. එහි අරමුන කම්කරු පන්තිය බලයට ගෙන යාම නො වේ; සිංහල කම්කරුවන්, සිංහල ගොවියන්, සිංහල පීඩිතයන්, සිංහල ශිෂ්‍යයන් පමනක් නො ව ජාතික ධනේශ්වර පන්තියේ කොටස් ද “දේශප්‍රේමිත්වයේ” පදනම මත එක් කර “දේශප්‍රේමී රාජ්‍ය යන්ත්‍රයක් තැනීම යි” (පේරාදෙනියේ සමාජවාදී සංගමයේ ප්‍රථම ප්‍රකාශනය, හතර වන පිටුව, පලමු වන කොලම).

දැන් ලෝකය පුරා ම ගොඩ නැගී එන මේ මධ්‍යම පන්තික රැඩිකල් ව්‍යාපාරවල අරමුනු ඉතා ම පැහැදිලි ය.

ශිෂ්‍යයන්ට “ශිෂ්‍ය බලය!”, ස්ත්‍රීන්ට “ස්ත්‍රී බලය!”, කලු මධ්‍යම පන්තියට “කලු රාජ්‍ය යන්ත්‍රයක්!!”, සිංහල සුලු ධනේශ්වරයට “දේශප්‍රේමී රාජ්‍ය යන්ත්‍රයක්!!!”

මේ ව්‍යාපාර සියල්ලක් ම සටන් කරන්නේ කම්කරු පන්තියේ බලය පිහිටුවීමට නො ව, වර්ගවාදී, ජාතිකවාදී එල්ලයන් මත කම්කරු පන්තිය බෙදීමටත් කම්කරු පන්තිය ඒ ඒ වර්ගය හා ජාතිය තුල දිය කර දැමීමට හා ධනපති පන්තියට යට කර ලීමටත් ය.

එක්කෝ කම්කරු පන්ති ඒකාධිපතිත්වය, නැත් නම් ධනේශ්වර ඒකාධිපතිත්වය වශයෙන් විකල්පයන් මතුව ඇති මේ කාලයේ දී ශිෂ්‍යයන්ට “ශිෂ්‍ය බලය” පිහිටුවිය නොහැක්කා සේ ම, ස්ත්‍රීන්ට “ස්ත්‍රී බලය” පිහිටුවිය නොහැක්කා සේ ම, කලු මිනිසුන්ට “කලු බලය” කියා දෙයක් පිහිටුවිය නොහැක්කා සේ ම සිංහල සුලු ධන්නේශ්වරයට “දේශප්‍රේමී රාජ්‍ය යන්ත්‍රය” පිහිටුවිය නොහැකි ය.

එසේ බැරි වුවත්, නග්න ධනේශ්වර ඒකාධිපතිත්වයක් ස්ථාපනය කිරීමට ඉඩ සලසා දීම සඳහා මේ “දේශප්‍රේමී රාජ්‍ය යන්ත්‍ර” පිහිටුවීමේ ව්‍යාපාරය බඳු ව්‍යාපාර ඉතා ම නිශ්චිත ක්‍රියා කලාපයක් ඉටු කරන බැවින්, මේ ව්‍යාපාරයන්ගේ දේශපාලනය විකාරයක් සේ පෙනුන ද, විකාරයක් ලෙස ඉවත ලීම අතිශයින් ම භයානක ය.

මේ ව්‍යාපාරය තමන් “මාක්ස්-ලෙනින්වාදී” ව්‍යාපාරයක් යැයි හඳුන්වා ගන්නා නිසාත්, ඔවුන් මාක්ස්-ලෙනින්වාදය තම අවස්ථාවාදී අරමුනුවලට අනුකූලව විකෘත කර ඇති නිසාත්, විශේෂයෙන් ම ලංකාවේ කම්කරු පන්තිය “දේශප්‍රේමිත්වයේ” රැහැනින් ධනේශ්වරයට ගැට ගැසීමට ක්‍රියාකාරී වන නිසාත්, කම්කරු පන්තිය ධනේශ්වරයෙන් ස්වාධීන කර ගැනීම සඳහා ගෙන යායුතු සටනේ අනිවාර්ය කොටසක් බවට ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලනයට විරුද්ධව කල යුතු සටන පත් වේ.

Loading