වැඩ වර්ජන තහනම් කිරීම සඳහා ලංකාවේ ආන්ඩු අත්‍යවශ්‍ය මහජන සේවා පනත නිතිපතා යොදා ගනියි[

[මෙය Successive governments have used Sri Lanka’s Essential Public Services Act multiple times to ban strikes යන මැයෙන් 2024 පෙබරවාරි 22 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ දැනට බලයේ සිටින රනිල් වික්‍රමසිංහ, පසුගිය මාස 26 තුල 32 වතාවක් රටේ වැඩ වර්ජන විරෝධී මර්දනකාරී නීතිය වන අත්‍යවශ්‍ය මහජන සේවා පනත (ඊපීඑස්ඒ) නිතිපතා පනවා තිබේ.

පෞද්ගලීකරණයට එරෙහිව ලංකා විදුලිබල මණ්ඩල සේවකයින් 2024 ජනවාරි 4 වැනි දින කොළඹදී විරෝධතාවයක නිරත වේ.

අත්‍යවශ්‍ය මහජන සේවා පනත මාසයෙන් මාසය ප්‍රකාශයට පත්කල ආකාරය පිලිබඳව පසුගිය සති අන්ත සන්ඩේ ටයිම්ස් පුවත්පතේ පලවූ ලිපියක මෙම සංඛ්‍යා වාර්තා විය.

කම්කරු පන්තියට එරෙහිව මෙම තීව්‍ර ප්‍රහාරය එල්ල වී ඇතත්, වෘත්තීය සමිති එකක්වත්, එකදු විපක්ෂ පාර්ලිමේන්තු පක්ෂයක් හෝ පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුලු ව්‍යාජ වාම කන්ඩායමක්වත් මෙම මර්දනකාරී නීතිය ඉවත් කර ගන්නා ලෙස බලකර නැත.

සන්ඩේ ටයිම්ස් වාර්තා කලේ, විරෝධතා, උද්ඝෝෂන සහ වැඩ වර්ජන ඇතුලු රටපුරා නැගුනු මහජන ව්‍යාපාරයක් මගින් රාජපක්ෂ පාලනය නෙරපා හැරීමට පෙර—2022 පෙබරවාරි 11 සිට ජූලි 8 දක්වා කාලය තුල— ඔහු හතර වතාවක් වැඩ වර්ජන විරෝධී නීතිය පැනවූ බවයි.

අනුප්‍රාප්තික ජනාධිපති වික්‍රමසිංහ සහ ඔහුගේ ආන්ඩුව 2022 ජූලි සහ දෙසැම්බර් අතර හත් වතාවක්, 2023 තුල 17 වතාවක් සහ මේ වසරේ මේ දක්වා සිව් වතාවක් අත්‍යවශ්‍ය සේවා නියෝග පනවා තිබේ. මෙම නිතිපනවිමේ දී සෞඛ්‍ය, විදුලිය, ඛනිජ තෙල්, වරාය, ප්‍රවාහන හා තැපැල් සේවය වැනි ප්‍රධාන අංශවල කම්කරුවන් ඉලක්ක කර ඇත.

මෙම නීති යටතේ, අත්‍යවශ්‍ය සේවාවන්ට බලපාන වැඩ වර්ජන සහ වෙනත් ඕනෑම කාර්මික ක්‍රියාමාර්ගයක් තහනම් කල හැකි අතර ඊට යටත් නොවන කම්කරුවන් “මහස්ත්‍රාත්වරයෙකු ඉදිරියේ කෙටි නඩු විභාගයකින් පසු” වරදකරුවන් කල හැකිය. වරදකරු වන ඕනෑම අයෙකු වසර දෙකේ සිට පහ දක්වා “දැඩි සිරදඬුවම්වලට” හෝ රුපියල් 2,000 ත් 5,000 ත් අතර දඩයකට හෝ ඒ දෙකටම යටත් කල හැකිය.

කොලඹ ජාතික රෝහලේ සෞඛ්‍ය සේවකයින්, 2024 පෙබරවාරි 14 වන දින, සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පිටත විරෝධතාවයක නිරත වෙමින් [ඡායාරූප: ෆේස්බුක්/යුනියන් ලංකා] [Photo: Facebook/Unions Lanka]

වරදකරුවෙකු වන ඕනෑම අයෙකුගේ 'චංචල සහ නිශ්චල දේපල' රජය විසින් අත්පත් කර ගත හැකි අතර ඔහුගේ හෝ ඇයගේ නම 'අදාල වෘත්තිය හෝ රැකියාව සඳහා පවත්වාගෙන යනු ලබන ඕනෑම ලේඛනයකින් ඉවත් කල හැකිය.' “කායික ක්‍රියාවකින් හෝ කිසියම් කථාවකින් හෝ ලේඛනයකින්” යමෙකු රැකියාවට නොපැමිනීමට, පෙලඹවීම හෝ දිරිමත් කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වන පුද්ගලයන් ද ඒ හා සමානව දඬුවම් ලැබිය හැකිය.

රාජපක්ෂ 2022 ආරම්භයේ දී මෙම නීති භාවිතා කලේ ඔහුගේ වෛරයට පාත්‍ර වූ ආන්ඩුවට එරෙහිව ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන් සම්බන්ධ කර ගත් මහා කාර්මික ක්‍රියාමාර්ගයට සහභාගී වූවන්ට නඩු පැවරීමට සහ මර්දනය කිරීමට ය.

2022 පෙබරවාරි 7 වෙනිදා 60,000 කට අධික සෞඛ්‍ය සේවකයින් වැටුප් වැඩිවීමක් සහ වඩා හොඳ සේවා කොන්දේසි ඉල්ලා මහා වැඩවර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කලහ. මේ ප්‍රශ්න මුල් කරගෙන මාර්තු 2 වැනිදා නැවතත් ඔවුන් වැඩ නැවැත්වූහ. මාර්තු 14 දා දහස් ගනනක් සංවර්ධන නිලධාරීන් සහ රැකියාලාභී උපාධිධාරීහු ඒ හා සමාන ඉල්ලීම් මුල්කරගෙන එක්දින ජාතික වැඩ වර්ජනයක් පැවැත්වුහ.

පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයක මුලු රටම ගිලී තිබූ තත්වයක අප්‍රේල්-ජූලි කාලය තුල රාජපක්ෂට සහ ඔහුගේ ආන්ඩුවට එරෙහිව මතුවූ මිලියන ගනනක ප්‍රබල ව්‍යාපාරයේ පූර්වනිමිත්ත වූයේ මෙම අරගලයි. ඉන්ධන සහ ඉවුම් පිහුම් ගෑස් හිඟය, අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල ඉහල යාම සහ දෛනික විදුලි කප්පාදුව නිසා පිඩාවට පත් ජනයාගේ මහජන විරෝධතා රට පුරා පැන නැගුනි.

රාජපක්ෂ අත්‍යවශ්‍ය සේවා නියෝග සහ “හදිසි නීති රෙගුලාසි” පනවන අතරතුරේ, ජනතාව රාජපක්ෂට සහ ඔහුගේ ආන්ඩුවට “ගෙදර යනු” යැයි බලකරමින් ද, කොලඹ ගාලුමුවදොර පිටිය අල්ලා ගැනීමට පටන් ගනිමින් ද මෙම මර්දනකාරී පියවර නොතකා හරින ලදී.

අප්‍රේල් 28 සහ මැයි 6 දා මිලියන ගනනක් කම්කරුවන් සම්බන්ධ කරගෙන පැවති විරෝධතා සහ මහා වැඩවර්ජන ආන්ඩුව බිඳවැටීමට තුඩු දුන් අතර රාජපක්ෂ රටින් පලා ගොස් ඉල්ලා අස්වනු දැකගත හැකි විය.

කෙසේ වෙතත්, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සහාය ඇතිව ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ඇතුලු විරුද්ධ පක්ෂ විසින් පාලනය කරන වෘත්තීය සමිති, මෙම මහජන ව්‍යාපාරය පීලි පැන්නීම හා පසුව පාර්ලිමේන්තු විරුද්ධ පක්ෂවලට යටත් කිරීම මගින් එය පාවා දුන්හ. මෙය, දීර්ඝ කාලීන එක්සත් ජනපද ගැත්තෙකු වූ රනිල් වික්‍රමසිංහ, අපකීර්තිමත් පාර්ලිමේන්තුව විසින් විධායක ජනාධිපති ලෙස පත් කිරීමට මග පෑදීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) නයකට සුදුසුකම් ලබා ගැනීම සඳහා රාජපක්ෂ පාලන සමයේදී ප්‍රථමයෙන් පනවන ලද දැඩි කප්පාදු පියවර ජනාධිපති වික්‍රමසිංහ විසින් තීව්‍ර කරන ලදී.

ඉන් පසු වික්‍රමසිංහ වහාම පෞද්ගලීකරනය කල යුතු රාජ්‍ය ව්‍යවසායන් ලැයිස්තුගත කලේය, රුපියල අඛන්ඩව අවප්‍රමානය වීමට ඉඩ සලසන අතරම වැට් (එකතු කල අගය මත බද්ද) සහ අනෙකුත් බදු වැඩි කලේය. වික්‍රමසිංහගේ 2023 කප්පාදු අයවැය ඉදිරිපත් කිරීමෙන් පසුව, 2023 මාර්තු මාසයේදී ජාමූඅ ඩොලර් බිලියන 3 ක විස්තීර්න නයක් අනුමත කිරීම ප්‍රකාශයට පත් කලේය.

එම මාසයේ අගභාගයේදී, මාර්තු 28 දා, ඛනිජ තෙල් සංස්ථා සේවකයන්ගේ පුද්ගලීකරන විරෝධී වැඩවර්ජනයක් නැවැත්වීමට වික්‍රමසිංහ අත්‍යවශ්‍ය සේවා නියෝග භාවිතා කලේය. ඔහුගේ ආන්ඩුව සිය ගනනක් හමුදා භටයන් යොදවා නිර්දය ලෙස විරෝධතාව බිඳ දැමීමටත් වෘත්තීය සමිති නායකයින් ඇතුලු ක්‍රියාකාරීන් 20 දෙනෙකුගේ වැඩ තහනම් කිරීමටත් කටයුතු කලේය. මෙම සේවකයින් 2024 මුල් භාගය දක්වාත් වැඩ තහනම මත සිටියහ.

ලංකා විදුලිබල මන්ඩලය (ලංවිම) පුද්ගලීකරනය කිරීමට එරෙහිව ජනවාරි 3 දා ඇරඹෙන ඔවුන්ගේ තෙදින කාර්මික ව්‍යාපාරයට ප්‍රතිචාර වශයෙන් මේ වසර මුලදී ආන්ඩුව නැවතත් ඊපීඑස්ඒ සක්‍රීය කර එහි සියලුම සේවකයින්ගේ නිවාඩු අවලංගු කලේය. නිවාඩු රෙගුලාසි කඩ කලැයි යන චෝදනාව මත ලංවිම සේවකයින් 66 දෙනෙකුගේ වැඩ තහනම් කර ඇත.

ජනවාරි සහ පෙබරවාරි මාසවලදී විශේෂ දීමනා ඉහල දමන ලෙස ඉල්ලා වැඩවර්ජන කල කම්කරුවන්ට ප්‍රතිචාර වශයෙන් වික්‍රමසිංහ ආන්ඩුව සෞඛ්‍ය අංශයද අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත් කලේය.

කම්කරුවන් මෙම නීතිවලට පටහැනිව අරගලවලට පැමින ඇති අතර, වෘත්තීය සමිති පසුගිය වසර දෙක තුල හෝ ඒවා මුලින්ම හඳුන්වා දුන් දශක කිහිපය තුල කිසිම අවස්ථාවක, එම මර්දන නීති ඉවත් කරන ලෙස ඉල්ලා හෝ උද්ඝෝෂනය කර හෝ නැත.

1977 දී ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිගේ ආන්ඩුව පෞද්ගලීකරනය සහ සමාජ සහනාධාර ඉවත් කිරීම ආරම්භ කරමින් විවෘත වෙලඳපොල ප්‍රතිපත්ති පැනවීමට පටන් ගත්තේය. රාජ්‍ය අංශයේ කම්කරුවන් මෙම කුරිරු සමාජ ප්‍රහාරයන්ට ප්‍රතිචාර දැක්වූයේ 1980 ජූලි මාසයේ මහා වැඩවර්ජනයක් මඟිනි. ජයවර්ධන ආන්ඩුව හදිසි නීති රෙගුලාසි සහ ඊපීඑස්ඒ පැනවීම මගින් ඊට ප්‍රතිචාර දැක්වීය.

වෘත්තීය සමිති අත්‍යාවශ්‍ය සේවා රෙගුලාසි අවලංගු කාසියක් ලෙස ප්‍රකාශ කරමින් දේශපාලනිකව තම සාමාජිකයන් නිරායුධ කර මහා වැඩ වර්ජනය හුදකලා කලහ. මෙම පාවාදීම, වැඩ වර්ජන කරන රාජ්‍ය අංශයේ කම්කරුවන් 100,000 ක් පමන සේවයෙන් පහ කිරීමට ආන්ඩුවට මග විවර කලේය.

අද වෘත්තීය සමිති මෙම මර්දන නීති ගැන මුලුමනින්ම ගොලුවී සිටී; එය වික්‍රමසිංහගේ ජාමූඅ කප්පාදු පියවරයන්ට එරෙහි ඕනෑම අව්‍යාජ සටනකට විරුද්ධ වන්නේ, මෙම ප්‍රහාරවලට එරෙහිව කම්කරුවන් බලමුලු ගැන්වීම ආන්ඩුව සමග දේශපාලන ගැටුමක් දක්වා ඉක්මනින් ම වර්ධනය වන බව ඔවුන් දන්නා නිසාය.

2024 පෙබරවාරි 7 වන දින කැලණිතිස්ස කම්හලේ ලංවිම සේවකයින් 66 දෙනෙකු රාජ්‍ය දඩයමට ලක් කර ගැනීම සම්බන්ධයෙන් විරෝධතාවයක නිරත විය. [ඡායාරූප ලංවිම සේවකයින්] [Photo by CEB workers]

ලංකාවේ ධනවාදය සහ එහි රාජ්‍ය යාන්ත්‍රනයේ ආරක්ෂාව සමග බැඳී ඇති වෘත්තීය සමිති නායකයන්ට ජාමූඅ ඉල්ලීම් සමග මූලික වෙනස්කමක් නොමැත. ඔවුහු, පාලක ප්‍රභූවට එරෙහිව කම්කරු පන්තියේ ඒකාබද්ධ ව්‍යාපාරයක් වැලැක්වීම සඳහා කාර්මික පොලිස් බලකායක් ලෙස ඒවා ක්‍රියා කරති.

ජවිපෙ සහ සමගි ජන බලවේගය (සජබ) විසින් පාලනය කරනු ලබන වෘත්තීය සමිති, කප්පාදු පියවර සඳහා මුලුමනින්ම කැපවී සිටින අතර ශ්‍රී ලංකාවේ වැඩ වර්ජන විරෝධී නීති ඉවත් කර ගන්නා ලෙස ඉල්ලා නැත. සජබ නායකයින් පෙර පැවති එක්සත් ජාතික පක්ෂ ආන්ඩුවල කොටස්කරුවන් විය; කම්කරු අරගල බිඳ දැමීම සඳහා මෙම නීති භාවිතා කිරීම සඳහා ඔවුන් සහාය දැක්වා ඇත. ඓතිහාසික වාර්තාව පෙන්නුම් කරන පරිදි, ජවිපෙ—ආන්ඩුවේ හෝ විපක්ෂයේ සිටිය ද—මෙම කුරිරු පියවර භාවිතා කිරීමට පිටුබලය දුන්නේය; එය බලයට පැමිනියහොත් නැවතත් වහාම එලෙසම ක්‍රියා කරනු ඇත.

පසුගිය මාස 26 තුල පෙර නොවූ විරූ ලෙස ඊපීඑස්ඒ භාවිතය ඉහල යාමත් සමග කොලඹ, වැඩ වර්ජන බිඳ දැමීම සඳහා මිලිටරිය යෙදවීම වේගවත් කර තිබේ.

පසුගිය සතියේ දහස් ගනනක් සෞඛ්‍ය සේවකයින් කාර්මික ක්‍රියාමාර්ග ගැනීමෙන් පසුව, වර්ජන කඩාකප්පල් කරන්නන් ලෙස හමුදා සොල්දාදුවන් 1,000 ක් පමන යොදවන ලදී. විරෝධතාවයේ යෙදෙන කම්කරුවන් හා සිසුන් මර්දනය කිරීම සඳහා ආන්ඩුව පොලිස් හා හමුදා නිලධාරීන් යොදා ගැනීම ද වැඩි කර ඇත.

මේ සතියේ මාධ්‍ය වාර්තා කලේ, තවත් පොලිස් ඒකක 60 ක් පිහිටුවීමට සැලසුම් කර ඇති ආන්ඩුව, ඔවුන්ගේ කැරලි මර්දන කන්ඩායම් ශක්තිමත් කිරීම සඳහා පොලිසිය විසින් හෙල්මට් 1,500 ක්, ගෑස් ආවරන 750 ක් සහ රබර් බැටන් පොලු 1,000 ක් ඇනවුම් කර ඇති බවත් ය.

වික්‍රමසිංහ ආන්ඩුව අත්‍යවශ්‍ය සේවා නියෝග පුලුල් යොදා ගැනීමට එරෙහිව සටන් කිරීම වෘත්තීය සමිති නිලධරය විසින් ප්‍රතික්ෂේප කිරීම සහ මිලිටරිය හා පොලීසිය බලමුලු ගැන්වීම මගින් නැවත වරක් පෙන්නුම් කරන්නේ, තම රැකියා, වැටුප් සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කර ගැනීම සඳහා අරගලය කම්කරු පන්තිය තමන්ගේ අතට ගත යුතු බවයි. මෙයින් අදහස් කරන්නේ සෑම සේවා ස්ථානයකම, වතුකරයේ සහ සියලුම ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානවල මෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමයි.

රාජ්‍ය මර්දනයට එරෙහි සටන ධනවාදයට එරෙහි අරගලය සමග සම්බන්ධය. ඒ සඳහා අවශ්‍ය වන්නේ, සමාජවාදී හා ජාත්‍යන්තරවාදී පිලිවෙත් මත ග්‍රාමීය කම්කරුවන් හා තරුනයින් පෙලගස්වන, පාලක පන්තියේ සෑම කන්ඩායමකින්ම ස්වාධීන කම්කරු පන්තියේ දේශපාලන ව්‍යාපාරයක් වර්ධනය කිරීම යි. සමාජවාදී සමානතා පක්ෂය විසින් ඉදිරිපත් කරන ඉදිරිදර්ශනය මෙයයි.

Loading