ශ්‍රී ලංකාවේ වායු දූෂන මට්ටම් ඉහල නගිද්දී රට දැඩි තාප තරංගයකට හසුවේ

ශ්‍රී ලංකාවේ ප්‍රදේශ ගනනාවක වායු දූෂන මට්ටම් සෞඛ්‍යයට අහිතකර මට්ටම් වලට ක්ෂනිකව ඉහල නැග ඇතිබව පෙබරවාරි 11 දා, ජාතික ගොඩනැගිලි පර්යේෂන ආයතනයේ (එන්බීආර්ඕ), පාරිසරික අධ්‍යයන සහ සේවා අංශය නිවේදනය කලේය. එක්සත් ජනපද වායු තත්ත්ව දර්ශකයට (US Air Quality Index- AQI) අනුව, කොලඹ, යාපනය, කිලිනොච්චි, ත්‍රිකුනාමලය, බදුල්ල, කුරුනෑගල, මහනුවර සහ මාතලේ යන දිස්ත්‍රික්කයන්හි වායු දූෂනය, අසාමාන්‍ය ලෙස ඉහල අගයක් ගන්නා බවත්, එයින් සැලකියයුතු සෞඛ්‍ය අවදානම් තත්ත්වයක් මතුකෙරී ඇති බවත් එන්බීආර්ඕ පවසයි.

දිවයිනේ විවිධ නාගරික ස්ථානයන්හි පිහිටුවා ඇති තම සංවිධානයේ වායු තත්ත්ව නිරීක්ෂන මධ්‍යස්ථානයන් විසින් ලබාදෙන දත්තයන් මත මෙම නිගමන වලට එලැඹි බව එන්බීආර්ඕ කියා සිටී. 'වෙනදාමෙන් ඈත ඇති ගොඩනැගිලි හා අනෙකුත් ස්ථාන පැහැදිලිව නොපෙනීම, අවට වායුගෝලයේ දුමාරයක් පැතිර ඇති ආකාරයක් දිස්වීම, තරමක් අඳුරු අහස්කුසක් පැවතීම වැනි ස්වභාවික වෙනස්කම් මගින් මෙවැනි අඩු වායුගුන තත්වයන් පැවතීම නිරීක්ෂනය කල හැකි' බවත් එම සංවිධානය පෙන්වා දෙයි.

ඉන්දියාවේ නව දිල්ලියේ රයිසිනා හිල්ස් හි උදෑසන වායු දුමාරය, 2023 ජනවාරි 31, ඒපී ෆොටෝ - මනීෂ් ස්වාරප්) [AP Photo/Manish Swarup]

විශේෂයෙන්ම, ඇදුම වැනි ශ්වසන ආබාධවලින් පෙලෙන පුද්ගලයන්ට, හෘද රෝගීන්ට, ගර්භනී මාතාවන්ට සහ කුඩා ලමුන්ට මෙම තත්ත්වය ඉතා අහිතකර බව එන්බීආර්ඕ පවසයි. ඔවුන් මෙන්ම ක්‍රියාශීලී, බාල, වැඩිහිටි සියලු දෙනාම එලිමහන් ක්‍රියාකාරකම්වල යෙදීම හැකිතරම් අවම කලයුතු බවටත්, එලිමහනට යන සෑම අවස්ථාවකම මුව ආවරන පැලැඳියයුතු බවටත් එම සංවිධානය මහජනතාවට උපදෙස් දෙයි.

මෙම අසාමාන්‍ය වායු දූෂනයට ප්‍රධාන හේතුව වන්නේ, 'සුලං ධාරා මගින් රැගෙන එන බාහිර දූෂන කාරකයන් (external pollutants)' හෙවත් අන් රටවලට ඉහලින් ඇති දූෂිත වායුගෝලයන් පිස හමා එන සුලංධාරා මගින් බව එන්බීආර්ඕ තවදුරටත් පෙන්වා දෙයි.

මෙලෙස වායු දූෂනය ඉහල මට්ටම් වලට සේන්දු වෙද්දී, සමස්ත දිවයින දැඩ් තාපතරංගයකට ද හසු වී ඇතිබව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. කිසියම් ප්‍රදේශයක්, දින දෙකක් හෝ ඊට වැඩි කාලයක් අසාමාන්‍ය උනුසුම් කාලගුන තත්වයක් පෙන්නුම් කරයි නම් එය තාප තරංග තත්වයක් ලෙස අර්ථ දැක්වේ.

මෙම කාලය තුල සූර්ය තාපයට නිරාවරනය වන ක්‍රියාකාරකම් හැකි තරම් අවම කරන ලෙස ද, වැඩිවැඩියෙන් ජලය පානය කරන ලෙස ද කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවට උපදෙස් දී ඇත.

දෙසතියකට වඩා කාලයක් පවත්නා අධික උෂ්නත්වය හේතුවෙන්, දිවයින පුරා බොහෝ පාසල් ලමුන් තාපය ආශ්‍රිත රෝගාබාධයන්ට ගොදුරු වෙමින් පවත්නා බවත් ඒ හේතුවෙන් සැලකියයුතු ලමුන් සංඛ්‍යාවක් රෝහල් ගතකෙරී ඇති බවත්, කොලඹ රිජ්වේ ආර්යා ලමා රෝහලේ ලමා රෝග විශේෂඥ දීපාල් පෙරේරා පෙබරවාරි 27 දා ඩේලි මිරර් පුවත්පතට පවසා තිබුනි. උනුසුම් කාලගුන තත්වය හේතුවෙන් චර්ම රෝග වැඩිවියහැකි බවද වෛද්‍යවරයා පෙන්වා දෙයි.

තාප තරංගයේ ප්‍රතිඵලයක් ලෙස, වැව්, ගංගා සහ ඇලදොල සිඳීයාම හේතුවෙන් ගොවීන් දැඩි දුෂ්කකරතාවයන්ට මුහුන දී ඇති බවත්, තේ පලදාව විශාල වසයෙන් පහත වැටී ඇති බවත් වාර්තා වෙයි.

කෙසේ නමුත්, ‌ජාතික ගොඩනැගිලි පර්යේෂන සංවිධානයේ සහ කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුවේ විද්‍යාඥයන්ගේ මෙන්ම, ලමා රෝග විශේෂඥ වෛද්‍යවරයාගේ ප්‍රතිචාරය, වායු දූෂනයෙන් සහ තාප තරංග වලින් ප්‍රවේශම්වීම සඳහා උපදෙස් දීමෙන් ඔබ්බට නොයයි.

අවශ්‍ය වන්නේ මෙම පාරිසරික ගැටලුවල වෛෂයික මූලය සොයා එය ඉවත් කිරීමේ නිශ්චිත විද්‍යාත්මක ක්‍රියාමාර්ගයකි. එය කෙතරම් හදිසි සහ අත්‍යවශ්‍යද යන්න එම ගැටලු මගින් ඇතී කෙරී පවත්නා මානව ව්‍යසනයේ පරිමාව පිලිබඳ දත්ත කීපයක් පමනක් වුව සෑහේ.

2020 ඔක්තෝබර් මාසයේදී නිකුත් කරන ලද “ගෝලීය වායු තත්වය 2020” වාර්තාවට අනුව, වායු දූෂනය හේතුවෙන් 2019 දී ලොව පුරා මිලියන 6.67 ක් මිය ගොස් ඇත. ඉන් මිලියන 1.85 ක් චීනයේ වන අතර මිලියන 1.67 ක් ඉන්දියාවේ ය.

අධික උෂ්නත්වය ආශ්‍රිත ආබාධ හේතුවෙන්, 2022 ගිම්හානයේදී සමස්ත යුරෝපයේ 60,000 කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති අතර, එක්සත් ජනපදය, පසුගිය දශක දෙක සැලකූ කල, අධික තාපය හේතුවෙන් වසරක් තුල මියගිය ඉහලම සංඛ්‍යාව එම වසරේ වාර්තා කලේය.

කර්මාන්ත, ‌ප්‍රවාහනය, අපද්‍රව්‍ය බැහැර කිරීම සහ ආහාර පිසීම් යන ප්‍රධාන මානව ක්‍රියාකාරකම්, පරිසර හානිය අවම වනසේ සැලසුම්ගත ආකාරයකට සංවිධානය නොකිරීම වායු දූෂනයට සහ අසාමාන්‍ය ලෙස තාපතරංග නිර්මානය වීමට හේතු ලෙස විද්‍යාඥයෝ පෙන්වා දෙති.

ලංකාව ඇතුලු ඕනෑම රටක වායු දූෂනය සහ තාප තරංග ඇතුලු පාරිසරික ප්‍රශ්න සමස්ත පාථිවි ගෝලීය නිෂ්පාදන, ආර්ථික සහ සමාජ ක්‍රියාවලීන් සමග අත්‍යන්තයෙන්ම බැඳී පවතී. ලංකාවේ වත්මන් වායු දූෂන තත්ත්වය, 'සුලං ධාරා මගින් රැගෙන එන බාහිර දූෂන කාරකයන්' හි නිර්මිතයක් බවට එන්බීආර්ඕ කරන ප්‍රකාශයෙන්මත් එය සනාථ වෙයි.

මෙම පාරිසරික ප්‍රශ්නවල ගැඹුර සහ ඒවායේ ගෝලීය ස්වභාවය වසන් කරනුවස්, පවත්නා අසාමාන්‍ය වියලි කාලගුනය සාමාන්‍ය දෙයක් බවට ඌනනය කරන පෙබරවාරි 26 දා ඩේලි මිරර් කතුවැකිය, වියලි කාලගුන තත්වයන් යට‌තේ රටෙහි කෘෂිකාර්මික වැඩකටයුතු අබාධිතව ගෙනයාම සඳහා ජාතිකවාදී විසඳුමක් යෝජනා කරයි: 'මේ රට මුහුනදෙන ආවර්තීය වියලි කාලගුනය ජය ගැනීම සඳහා අපගේ භූමියේ මතුපිට බහුලව ඇති සම්පත් භාවිතා කිරීමට නිසැකවම අපට හැකි විය යුතුය.........කාලගුන දෙවිවරුන්ට චෝදනා කරනු වෙනුවට, සම්ප්‍රදායෙන් බැහැරව සිතමින් නව විසඳුම් සොයා ගැනීම සහ නිර්මානය කිරිම කල යුතුය.'

'සම්ප්‍රදායෙන් බැහැරව' සිතියයුතු බවට පන්ඩිතමානීව උපදෙස් දෙන ඩේලිමිරර් කතුවරයා අවසානයේදී යෝජනා කරන්නේ, ලංකාවේ 'කොහුබත් සහ දහයියා බහුලව ඇති බැවින්' ඒවා පසෙහි තෙතමනය රඳවා ගැනීම සඳහා යොදාගත හැකි බවයි.

ඩේලි මිරර් කතුවරයාට විපරීතව, විද්‍යාත්මක අනාවරනයන්ගෙන් යලියලිත් පැහැදිලි කෙරෙන්නේ, පාරිසරික ව්‍යසනයන් ජයගත හැකි වනුයේ, නිෂ්පාදනය සහ ආර්ථිකය, තාර්කිකව සහ ගෝලීය වසයෙන් සැලසුම් කර ගැනීමෙන් පමනක් බවයි. ඒ සඳහා අවශ්‍ය විද්‍යාත්මක සහ තාක්ෂනික ඥානය මිනිසා විසින් දැනටමත් අත්කරගෙන ඇත.

නමුත්, පුද්ගලික දේපොල සහ ලාභය මත පාදක වූ සහ එකිනෙකට පිලිමල්ව පිහිටා ඇති ජාතික රාජ්‍ය පද්ධතියක මුල්බැස ඇති ගෝලීය ධනපති ක්‍රමය තුල මනුෂ්‍ය වර්ගයාගේ සෞඛ්‍යමත් පැවැත්මක් වෙනුවෙන් දැරෙන එවන් ගෝලීය ප්‍රයත්නයක් යථාර්ථවත් නොවේ.

ගෝලීය ව්‍යසනයක් වන කෝවිඩ්-19 වසංගතය වඩාත් ව්‍යසනකාරී ලෙස ව්‍යාප්ත වෙමින්, මිලියන ගනන් ජීවිත බිලි ගැනීම සහ තවත් මිලියන ගනනක් පශ්චාත්-කෝවිඩ් සංකූලතාවයන්ගෙන් පීඩාවට ලක් කිරීම තුලින් එය ඉතා පැහැදිලිව සනාථ වෙයි. වසංගතය ජයගත හැකි වන්නේ එය මුලිනුපුටා දැමෙන ගෝලීය ප්‍රයත්නයකින් පමනක් බව ජාත්‍යන්තර විද්‍යාඥයන් නිරන්තරව පෙන්වා දෙද්දී, ලොවපුරා ධනපති ආන්ඩු එයට ප්‍රතිචාර දැක්වූයේ, සීමිත මහජන සෞඛ්‍ය පියවර පවා අත්හැර දමමින් 'කෝවිඩ්-19 සමග ජීවත්වීමේ' නරුම පිලිවෙත ක්‍රියාවට නංවමිනි.

'ගෝලීය උනුසුම' ට ප්‍රධානතම හේතුවක් වන්නේ ෆොසිල ඉන්ධන දහනයෙන් විමෝචනය වන කාබන්ඩයොක්සයිඩ් වායුව බව ද, එය අවම කල හැක්කේ ෆොසිල ඉන්ධන භාවිතය අවම කිරීමෙන් බව ද විද්‍යාත්මක තහවුරු කෙරුනු සත්‍යයකි. නමුත්, එයට බලගතු ලෙස එරෙහිව සිටින්නේ, පොසිල ඉන්ධන උපරිම වසයෙන් භාවිතා කරන එක්සත් ජනපදය සහ චීනය යි. එම විරුද්ධත්වය ඔවුනගේ ලාභ අවශ්‍යතා සමග ඝෘජුව සම්බන්ධිතය.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ කර්තෘ මන්ඩලය මෙම වසර මුලදී නිකුත් කල, 'කම්කරු පන්තිය, ධනපති ම්ලේච්ඡත්වයට එරෙහි සටන සහ සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ගොඩනැගීම' නම් වූ ප්‍රකාශයෙන් පෙන්වා දෙන පරිදි,

'වසංගතය ගැන පවසා ඇති සියල්ල, දේශගුනික විපර්යාස හේතුවෙන් වර්ධනය වන පැවැත්මේ තර්ජනයට ඊටත් වඩා විශාල බලයකින් අදාල වන අතර, එහි බලපෑම ලොව පුරා පුලුල් භූමි ප්‍රදේශයකට වඩාත් තීව්‍ර ලෙස දැනේ. පසුගිය වසරේ ලොව පුරා දිනපතාම පාහේ උෂ්නත්ව වාර්තා බිඳවැටීම් සහ ආන්තික කාලගුනික සිදුවීම් රාශියක් දක්නට ලැබුනි. දැවැන්ත ලැව්ගිනි, තාප තරංග සහ වායු දූෂනය සෑම මහාද්වීපයකම පැතිරී ඇති අතර අයිස් කඳු සහ ග්ලැසියර ගෝලීයව දියවී යාම වේගවත් වෙමින් පවතී.

'දේශගුනික විපර්යාස සහ සැලසුම් නොකල නාගරීකරනය හරහා පෘථිවි පරිසර පද්ධති අස්ථාවර කිරීම මගින් ජීවී විශේෂයන් දහස් ගනනක් ඔවුන්ගේ සහජ වාසස්ථානවලින් එලියට ඇද දමන බව බහුවිධ අධ්‍යයනයන් මගින් පෙන්වා දී ඇති අතර එමඟින් පිටාර ගැලීමේ සිදුවීම් සහ අනාගත වසංගත ඇතිවීමේ සම්භාවිතාව වැඩි වේ.'

මානව වර්ගයාගේ දැවෙන සමාජ අවශ්‍යතා සාක්ෂාත් කරගත හැක්කේ විද්‍යාවේ දියුනුව සහ සමාජයේ සම්පත් සැලසුම්ගතව යොදා ගැනීම හරහා පමනි. එය කල හැක්කේ ලෝක සමාජවාදී සමාජයක් යටතේ පමනි. යුද්ධයට, සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල කරන ප්‍රහාරයන්ට, වසංගතයට හා දේශගුනික විපර්යාසයන්ට එරෙහි අරගලය සඳහා ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරයක් ගොඩනැගීම අත්‍යවශ්‍ය වේ.

Loading