ශ්‍රී ලංකාව සහ මාලදිවයින: ඉන්දියානු සාගරයේ භූ-දේශපාලනික එදිරිවාදිකම් සඳහා සටන් බිම්

[මෙය Sri Lanka and Maldives: Battle grounds for geo-political rivalry in the Indian Ocean යන මැයෙන් 2024 පෙබරවාරි 16 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

ඉන්දියානු සාගරයේ මූලෝපායික වශයෙන් වැදගත් නැගෙනහිර-බටහිර නැව් මාර්ග තුල පිහිටා ඇති කුඩා දූපත් රාජ්‍යයන් දෙකක් වන ශ්‍රී ලංකාව සහ මාලදිවයින, එක් පසෙකින් එක්සත් ජනපදය හා ඉන්දියාව ද අනෙක් පසින් චීනය ද වන අයුරින් දෙපස අතර වේගයෙන් තීව්‍ර වන භූ දේශපාලනික ආතතීන්හි කේන්ද්‍රීය ස්ථානයන් බවට පත්ව තිබේ.

2023 පෙබරවාරි, කොලඹදී, ශ්‍රී ලංකා හමුදා සහ පොලිස් ප්‍රධානීන් සමඟ සිටින ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ (දකුනේ සිට දෙවැන්නා). [AP Photo/Eranga Jayawardena]

පෙබරවාරි 3 වන දින, ඉන්දියානු නාවික හමුදාවට අයිති අයිඑන්එස් කරන්ජ් නමැති සබ්මැරීනයක්, දෙදින සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රධාන වරාය වන කොලඹට ලඟා විය. එය ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් උත්සවාකාරයෙන් පිලිගනු ලැබීය. සබ්මැරීනයේ ප්‍රධාන අනදෙන නිලධාරි කමාන්ඩර් අරුනාභ්, ශ්‍රී ලංකාවේ බටහිර නාවික ප්‍රදේශයේ ප්‍රධාන අනදෙන නිලධාරී රියර් අද්මිරාල් සමන් පෙරේරා හමුවිය.

මෙම ප්‍රතිචාරය, චීන පර්යේෂන නෞකාවක් වන සියැං යැං හොං 3 මෑතකදී මෙරටට පැමිනීම සඳහා කරන ලද ඉල්ලීමකට ශ්‍රී ලංකා ආන්ඩුව සැලකූ ආකාරයට හාත්පසින්ම වෙනස් එකකි. ජනවාරි මාසයේදී, වික්‍රමසිංහ ආන්ඩුව, සියලුම පර්යේෂන නෞකා සංචාර සඳහා මාස 12 ක තහනමක් ප්‍රකාශයට පත් කලේය; එය පැහැදිලිවම චීන නෞකාව නැවැත්වීම ඉලක්ක කරගත් තහනමක් වන අතර, එහි සංචාරයට ඉන්දියාව ප්‍රසිද්ධියේ විරුද්ධ විය.

චීනය පවසන්නේ තම නෞකාව ජලවිද්‍යාත්මක සමීක්ෂන (hydrographic surveys) සහ සබ්මැරීන සඳහා දිය යට මාර්ග සැලසුම් කරන බවයි. නව දිල්ලිය කියා සිටින්නේ, එය අවට ස්ථානවල සිට අත්හදා බලන මිසයිල හෝ චන්ද්‍රිකා නිරීක්ෂනය කිරීම මෙන්ම, අසල්වැසි රටවල හමුදා ස්ථාන පිලිබඳව අවධානයෙන් සිටිය හැකි බවයි.

නවදිල්ලියේ පර්යේෂන නිරීක්ෂක පදනමේ (Observer Research Foundation) සමුද්‍රීය ප්‍රතිපත්ති මුලපිරීමේ ප්‍රධානී අභිජිත් සිං, ජනවාරි 29 වෙනිදා ඇමරිකානු හඬ (Voice of America) ප්‍රවෘත්ති මාධ්‍ය වෙත මෙසේ පැවසීය: “අපගේ සැකය නම්, එය සාගර විද්‍යාත්මක පර්යේෂන යාත්‍රාවක් වුවද, චීනයට දිය යට හමුදා මෙහෙයුම් පුලුල් කිරීමට සහ එහි සබ්මැරීන්-නාශක යුධ හැකියාවන් වැඩිදියුනු කිරීමට භාවිතා කල හැකි තොරතුරු, එනම් ඉන්දියන් සාගර පරිසරය, මුහුදු පත්ල, උෂ්නත්ව වෙනස්වීම්, දිය සුලි, දියවැල් යනාදිය පිලිබඳ අධ්‍යයනය කරමින් තොරතුරු රැස්කරන බවයි. එයින් අදහස් කරන්නේ, චීනය යථා කාලයේ දී ඉන්දියානු සාගරය තුල හමුදාමය වශයෙන් වඩාත් ඉදිරියෙන් සිටිනු ඇති බවයි.'

කෙසේ වෙතත්, චීන නෞකාවට අන් තැනකින් පිලිගනු ලැබීම සඳහා වැඩි වේලාවක් බලා සිටීමට සිදු නොවීය. ඉන්දියාවට පැහැදිලිවම අතුල් පහරක් එල්ල කරමින් මාලදිවයින් ආන්ඩුව චීන නෞකාවට එහි නැංගුරම් ලෑම සඳහා සිය අවසරය ප්‍රකාශයට පත් කලේය.

මාර්තු 15 වන විට ඉන්දියාව සිය සියලු හමුදා රටින් ඉවත් කර ගත යුතු බවට මෑතකදී තේරී පත් වූ මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු විසින් කරන ලද නිවේදනයකින් පසුව මෙම තීරනය ගෙන ඇත. ඉන්දියාව සම්ප්‍රදායිකව මාලදිවයින සිය උපායමාර්ගික පිලිකන්නේ කොටසක් ලෙස සලකන අතර එහි කුඩා හමුදාවක් ස්ථානගත කර තිබේ. චීනයට පක්ෂපාතී යැයි ප්‍රකට මුයිසු, බීජිං හි රාජ්‍ය සංචාරයකට ගොස් ආපසු පැමින ඇත. ඔහුගේ නිවේදනය ඉන්දියාවෙන් දුරස්වන උපායමාර්ගික මාරුවක් අවධාරනය කරයි.

ඉන්දීය සබ්මැරීනයේ කොලඹ සංචාරය පෙන්නුම් කරන්නේ, නව දිල්ලිය ඉන්දියානු සාගර කලාපය තුල සිය භූ-දේශපාලන ආධිපත්‍යය ස්ථාපිත කිරීමට ආක්‍රමනශීලී ලෙස කටයුතු කරන ආකාරයයි.

සබ්මැරීනයේ කොලඹ සංචාරය, 'ඉන්දියානු සාගර කලාපයේ ප්‍රමුඛ ආරක්ෂක සැපයුම්කරු ලෙස ඉන්දියාවේ භූමිකාව ඉස්මතු කිරීමත්, මෑතකදී ඉන්දියාවේ සමුද්‍රීය අසල්වැසි ප්‍රදේශය තුල සිය ක්‍රියාකාරකම් වැඩි කර ඇති චීනයේ මහජන විමුක්ති හමුදා නාවික හමුදාව (පීඑල්ඒ නේවි) වෙත පනිවිඩයක් යැවීමත් අරමුනු කර ඇති” බව පෙබරවාරි 5 දා ඉන්දියාවේ ඩෙකන් හෙරල්ඩ් පුවත්පත ප්‍රකාශ කලේය.

'ඉන්දියානු සාගර කලාපය තුල චීන සමුද්‍ර ව්‍යාපාරය පිලිබඳ ආරවුලක් මධ්‍යයේ, එය ඉන්දියාවට රාජ්‍ය තාන්ත්‍රික ජයග්‍රහනයක් සනිටුහන් කරයි' යනුවෙන් එදිනම අදහස් දක්වමින් හින්දු ටයිම්ස් මෙය ම ප්‍රතිරාවය කලේය.

අයිඑන්එස් කරාන්ජ් යනු ටොන් 2,000 ක සාම්ප්‍රදායික-ප්‍රචාලන සබ්මැරීනයක් (conventional-propulsion submarine) වන නමුත් මතුපිට යාත්‍රා සටන්, සබ්මැරීන්-නාශක යුද්ධ, දිගු දුර ප්‍රහාර, විශේෂ මෙහෙයුම් සහ බුද්ධි තොරතුරු රැස්කිරීම වැනි භූමිකාවන් රාශියක් ඉටු කිරීමට එයට හැකියාව ඇත.

ඉන්දීය නාවික හමුදාවේ සබ්මැරීන සහ නැව් වලින් ශ්‍රී ලංකාවට පැමිනෙන ඊනියා ආචාරශීලී ඇමතුම් සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත. ජාත්‍යන්තර යෝග දිනය සැමරීම සඳහා තවත් සබ්මැරීනයක් වන අයිඑන්එස් වගීර් පසුගිය වසරේ ජුනි මාසයේදී කොලඹට පැමිනියේය.

අගමැති නරේන්ද්‍ර මෝදි යටතේ ඉන්දියාව, චීනයට එරෙහි එක්සත් ජනපද මිලිටරි-මූලෝපායික ප්‍රහාරයේ පෙරටුගාමී රාජ්‍යයක් බවට පරිවර්තනය කර ඇත. කිසියම් දිනෙක, වොෂින්ටනය බීජිනය සමඟ යුද්ධයට ගියහොත්, එක්සත් ජනපදයට සපයනු ලබන සහයෝගය කෙබඳුදැයි පෙන්වා දීමේදී, තමන් ඉන්දියාවේ සන්නද්ධ හමුදාවන්හි ඉහල අන දෙන නිලධාරියා සමඟ කටයුතු කරන බව පසුගිය අගෝස්තු මාසයේදී මෝදි ආන්ඩුව නිවේදනය කලේය.

නව දිල්ලිය දකුනු ආසියාවේ රටවල් තම සම්ප්‍රදායික බලපෑම් සහිත කලාපය ලෙස සලකන අතර, එහි භූ-දේශපාලනික අරමුනු කලාපයට සීමා නොවේ. 2015 ඉන්දියානු සමුද්‍ර ප්‍රතිපත්තියේ සංශෝධිත සහ යලි සූත්‍රගත කරන ලද අනුවාදයේ, ඉන්දීය සාගර කලාපයේ නවදිල්ලියේ තත්වය යාවත්කාලීන කරන ලදී. රතු මුහුදේ හවුති කැරලිකරුවන්ට ප්‍රහාර එල්ල කරන එක්සත් ජනපදය ප්‍රමුඛ කාර්ය සාධක බලකායට එක්වීම නවදිල්ලිය විසින් ප්‍රතික්ෂේප කර ඇතත්, එය දැනට පෙරටුගාමී යුද නෞකා දෙකක් ඒඩන් බොක්කෙහි ද අවම වශයෙන් යුද නැව් දහයක් උතුරු හා බටහිර අරාබි මුහුදේ යොදවා ඇති අතර, නිරීක්ෂන ගුවන් යානයක් ද යවා ඇත. මෙය මෙම කලාපයේ විශාලතම යෙදවීමයි.

ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට සිදුකරන නාවික සංචාර වනාහි, ආර්ථික, දේශපාලනික සහ මිලිටරිමය වශයෙන් දැඩි ලෙස වැලඳ ගැනීම කරා කොලඹ රැගෙන ඒමේ උත්සාහයේ කොටසකි.

ඉන්දියාව දැන් ශ්‍රී ලංකාවේ විශාලතම ආයෝජකයා, ආර්ථික සහකරු සහ නව සංචාරකයින්ගේ මූලාශ්‍රය වේ. දකුනු ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට නල මාර්ගයක්, සූර්ය බලශක්ති ව්‍යාපෘතියක්, ස්වභාවික ද්‍රව වායු යටිතල පහසුකම් සහ අධි ධාරිතා විදුලි ජාල සම්බන්ධකයක් ඉදිකිරීමට නවදිල්ලිය එකඟ වී ඇත.

නැගෙනහිර ශ්‍රී ලංකාවේ උපාය මාර්ගික වශයෙන් වැදගත් වරායක් වන ත්‍රිකුනාමලයත්, උතුරේ කන්කසන්තුරේ ප්‍රදේශයත් එවැනිම සංවර්ධනයක් ඇතිව සැපයුම් පහසුකම් සහිත කාර්මික මධ්‍යස්ථානයක් සහ වරායක් ලෙස සංවර්ධනය කෙරේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (ජාමූඅ) ඩොලර් බිලියන 3 ක ඇප නයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව දරන උත්සාහයට ඉන්දියාව ද සහාය දුන් අතර, එය විසින්, දිවයිනේ පෙර නොවූ විරූ වත්මන් ආර්ථික අර්බුදය තුල ඩොලර් බිලියන 4 ක දිගුකාලීන නයක් ලබා දුන්නේය.

භාන්ඩ හා සේවා සඳහා වන වෙලෙඳ බාධක අවම කිරීම සඳහා ලබන මාර්තු මාසයේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආර්ථික සහ තාක්ෂනික සහයෝගිතා ගිවිසුමක් අත්සන් කිරීමට ද සැලසුම් කර තිබේ.

මුලපුරා වසර 40 කට පසුව, ප්‍රවාහන සම්බන්ධතා තවදුරටත් වැඩිදියුනු කිරීම සඳහා, දෙරට අතර මුහුදු සම්බන්ධතාවය යලි ආරම්භ කරමින්, ඉන්දියාවේ නාගපට්ටිනම් සහ යාපනයේ කන්කසන්තුරේ අතර මගී යාත්‍රා සේවාවක් ද මේ මස අගදී ආරම්භ කිරීමට අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලංකාවට පැමිනෙන ඉන්දියානු සංචාරකයින් ප්‍රමානය දැනටමත් සැලකිය යුතු මට්ටමක පවතී. මාලදිවයිනේ සංචාරක ව්‍යාපාරය මත පදනම් වූ ආර්ථිකයට අත්‍යවශ්‍ය වන ඉන්දීය සංචාරක ව්‍යාපාරය අඩාල කිරීමේ ඉතා පැහැදිලි ප්‍රයත්නයක් ලෙස, ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් ඔවුන්ගේ මීලඟ නිවාඩුවට ශ්‍රී ලංකාවට පැමිනෙන ලෙස ඉන්දියානුවන්ගෙන් ඉල්ලා සිටියේය.

මීලඟ මැතිවරනයේදී බලයට පත්වන කවරෙකු වුව ද නවදිල්ලියේ භූ-දේශපාලනික අවශ්‍යතා සමග පෙලගැසී සිටින බව සහතික කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) සහ එහි පාර්ලිමේන්තු පෙරමුන වන ජාතික ජන බලවේගය (ජාජබ) වැනි ශ්‍රී ලංකාවේ විරුද්ධ පක්ෂ වෙත ද ඉන්දියාව දෑත දිගු කරයි. මෙම මස මුලදී මෝදි ආන්ඩුව, පක්ෂයේ නායක අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් යුත් ජවිපෙ/ජාජබ දූත පිරිසකට පස්දින නිල සංචාරයක් සඳහා ආරාධනා කලේය.

චීන නැව් සංචාරය තහනම් කිරීමෙන් දින කිහිපයකට පසු ශ්‍රී ලංකා ආන්ඩුව නිවේදනය කලේ, යේමනයේ හූති කැරලිකරුවන්ට එරෙහිව රතු මුහුද තුල වොෂින්ටනයේ සෞභාග්‍යයේ ආරක්ෂක මෙහෙයුමට (Operation Prosperity Guardian) සහය දැක්වීම සඳහා නැව් යවන බවයි.

චීන බලපෑම යටපත් කර, ශ්‍රී ලංකාව ඔවුන්ගේ කක්ෂයට ගෙන ඒමේ ඉන්දියානු සහ එක්සත් ජනපදය ප්‍රමුඛ ප්‍රයත්නයන්ට ප්‍රතිචාර වශයෙන්, බීජිං මාලදිවයින සමඟ සිය උපායමාර්ගික සබඳතා ශක්තිමත් කිරීමට පියවර ගෙන තිබේ. ජනාධිපති මොහොමඩ් මුයිසු චීනයේ සංචාරයක නිරත වූ අවස්ථාවේදී ඔහුට රතු පලසක් සමග උනුසුම් පිලිගැනීමක් හිමි විය.

චීනයේ රාජ්‍ය සාගර පරිපාලනය සහ මාලදිවයිනේ පරිසර හා බලශක්ති අමාත්‍යාංශය එක්ව ක්‍රියාත්මක කිරීමට මාලදිවයිනේ මජුනුධූ හි සාගර නිරීක්ෂනාගාරයක් ඉදිකිරීමට සඳහා, පෙර ගිවිසුමක් අත්සන් කරනු ලැබුවේ මාලදිවයිනේ හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන්ගේ පාලන සමයේදීය.

කෙසේ වෙතත්, 2018 සැප්තැම්බර් මාසයේදී ඔහුගේ පරාජයෙන් පසුව මෙම ව්‍යාපෘතිය පසෙකට දමා ඇත. මුයිසු යටතේ ගනුදෙනුව නැවත පන ගැන්වීම ගැන ඉන්දියාව දැන් සැලකිලිමත් වේ. නිරීක්ෂනාගාරයේ මූලික අරමුන සාගර නිරීක්ෂන සහ පර්යේෂන බව බීජිං අවධාරනය කලද, නව දිල්ලිය කියා සිටින්නේ එය වානිජ නැව් ගමනාගමනය සහ උපායමාර්ගික අරමුනු සඳහා ඉන්දියානු සාගරයේ තීරනාත්මක කලාපයකට බීජිං වෙත ප්‍රවේශය ලබා දෙන බවයි.

ඉන්දීය හමුදා ඉවත් කර ගැනීමේ අවසන් දිනය ලං වන විට, දැන් ආතතීන් වැඩිවෙමින් තිබේ. ජනවාරි 25 වන දින ඉන්දීය නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් ආර්. හරි කුමාර් සීඑන්එන්-ප්‍රවෘත්ති 18 (CNN-News 18) වෙත පැවසුවේ මාලේ (මාලදිවයිනේ ප්‍රධාන නගරය) හි ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් ඉන්දීය ආන්ඩුව සිය ආරක්ෂක නිලධාරීන්ට මාලදිවයිනෙන් පිටව යන ලෙස නියෝගයක් ලබා දී නොමැති බවයි. “තීරනය කුමක් වුවත් අපි උපදෙස් බලාපොරොත්තුවෙන් සිටිමු,” යයි කුමාර් පැවසීය.

ඉන්දියාව සහ එක්සත් ජනපදය, මාලේ හි චීන බලපෑමට එරෙහි වීමට අධිෂ්ඨාන කරගෙන සිටී. ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව යටතේ ශ්‍රී ලංකාව චීනයට සමීප වූ විට, නව දිල්ලිය 2015 ජනාධිපතිවරනයේදී වොෂින්ටනයේ පාලන තන්ත්‍ර වෙනස් කිරීමේ මෙහෙයුමට පිටුබලය දුන් අතර සිරිසේන-වික්‍රමසිංහ පරිපාලනය ස්ථාපනය කිරීමට සහාය දැක්වීය. නව දිල්ලිය සහ වොෂින්ටනය අවශ්‍ය යැයි සිතන්නේ නම්, නව මුයිසු ආන්ඩුවට එරෙහිව ද ඒ් හා සමාන පාලන තන්ත්‍ර මාරු මෙහෙයුමක් සිදු කරනු ඇත.

Loading