ඉදිරිදර්ශන

සංක්‍රමනිකයන්ට එරෙහිව යුද්ධ කිරීමට “මා හා එක්වන” ලෙස බයිඩන් ට්‍රම්ප්ගෙන් ඉල්ලා සිටී

[මෙය Biden calls on Trump to “join me” in waging war on immigrants යන මැයෙන් 2024 මාර්තු02 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

ජෝ බයිඩන්, බ්‍රහස්පතින්දා ටෙක්සාස් හි බ්‍රවුන්ස්විල් හි එක්සත් ජනපද-මෙක්සිකෝ දේශසීමාවේ පෙනී සිටිමින්, සංක්‍රමනිකයන්ට එරෙහි ද්විපාර්ශ්වික යුද්ධයකට “මා හා එක්වන ලෙස”, රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂකත්වයේ ඉදිරියෙන් සිටින ධාවකයා වන හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත කල අත්‍යසාමාන්‍ය ආයාචනය, සමස්ත දේශපාලන සංස්ථාපිතයේ පූර්න ප්‍රතිගාමී ස්වභාවය පිලිබඳ නවතම තහවුරු කිරීමයි.

ජනාධිපති ජෝ බයිඩන් 2024 පෙබරවාරි 29 බ්‍රහස්පතින්දා, ටෙක්සාස් හි බ්‍රවුන්ස්විල් හි දකුනු මායිමේ සංචාරයක දී අදහස් දක්වයි. ජනාධිපතිවරයා සමඟ වමේ සිට බ්‍රවුන්ස්විල් නගරාධිපති ජෝන් කෝවන්, ස්වදේශ ආරක්ෂක ලේකම් ඇලෙජැන්ඩ්‍රෝ මයෝර්කාස් සහ ඩී-ටෙක්සාස් හි විසෙන්ටේ ගොන්සාලෙස් යන අය වෙති. [AP ඡායාරූපය/Evan Vucci] [AP Photo/Evan Vucci]

එය ට්‍රම්ප්ට සහ 'ඇමරිකාව යලි ශ්‍රේෂ්ඨත්වයට පත් කරනු!' නම් වූ ඔහුගේ ෆැසිස්ට් ව්‍යාපාරයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂකයින් ලෙස පෙනී සිටීමේ ඩිමොක්‍රටික් පක්ෂයේ සහ බයිඩන් උද්ඝෝෂනයේ මවාපෑම කීතුකර දමයි. රුසියාව තුල යුක්‍රේනයට එරෙහි වොෂින්ටනයේ වක්‍ර යුද්ධය සඳහා තවත් ඩොලර් බිලියන 60ක බලය පවරන ලෙස රිපබ්ලිකානු මන්ත්‍රී මන්ඩලයට කරන කැඳවීමකින් පසු බයිඩන්, ට්‍රම්ප් සමග සමගිය සඳහා වූ ඔහුගේ ආයාචනය සිදු කලේය.

ඔහුගේ සංක්‍රමන විරෝධී පනත, සෙනෙට් සභාව විසින් සම්මත කරන ලද නමුත් කොන්ග්‍රස් සභාව තුල හිර වී ඇති අතර, 'මේ රට මෙතෙක් දැක ඇති දැඩිම, කාර්යක්ෂම, ඵලදායීම දේශසීමා ආරක්ෂක පනත' ලෙස හඳුන්වයි. බයිඩන් මෙසේ පැවසීය:

'මගේ පූර්වගාමියා අද ඊගල් පාස් හි සිටින බව මට වැටහෙනවා, එබැවින් මම ට්‍රම්ප් මහතාට පවසන දේ මෙයයි. මේ ප්‍රශ්නය සමඟ දේශපාලනය කරනවා වෙනුවට, මේ නීති සම්පාදනය අවහිර කරන්නැයි කොන්ග්‍රස් මන්ත්‍රීවරුන්ට කියනවා වෙනුවට මාත් එක්ක එකතු වෙන්න. එසේත් නැතිනම් මෙම ද්විපාර්ශ්වික දේශසීමා ආරක්ෂක පනත සම්මත කරන ලෙස කොංග්‍රසයට කියන්න, මම ඔබත් සමඟ එකතු වෙන්නම්.'

මෙය සිදුවූයේ ට්‍රම්ප්, ටෙක්සාස් ඊගල් පාස් හි පෙනී සිටිමින්, ටෙක්සාස් ආන්ඩුකාර ග්‍රෙග් ඇබට් විසින් දේශසීමාවේ ෆෙඩරල් අධිකාරිය ව්‍යවස්ථා විරෝධී ලෙස උදුරා ගැනීම ඔජවැඩීමෙන් මිනිත්තු කිහිපයකට පසුවය. ට්‍රම්ප් සිය දේශසීමා සංචාරය යොදා ගත්තේ, ඇමරිකානු ජනතාවගේ 'ලේ විෂ' කරන ලද “පනුවන්” විසින් දකුනු දේශසීමාවේ සිදු කරන ලද සංක්‍රමනික “ආක්‍රමනයකට” බයිඩන් හවුල් බවට ඔහුගේ කියාපෑම පුනරුච්චාරනය කිරීමට ය. ට්‍රම්ප්, යුදෙව් විරෝධී “මහා ප්‍රතිස්ථාපන න්‍යායේ” නව-නාසි අනුගාමිකයින් උසිගැන්වීම සඳහා සංක්‍රමනිකයන් විසින් කරන ලදැයි කියන මෑත කාලීන ස්ත්‍රී දූෂන සහ මිනීමැරුම් කිහිපයක් චිත්‍රක ලෙස විස්තර කලේය.

රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2024 පෙබරවාරි 29 බ්‍රහස්පතින්දා, ටෙක්සාස් හි ඊගල් පාස් හි එක්සත් ජනපද-මෙක්සිකෝ දේශසීමාවේ ෂෙල්බි උද්‍යානයේ සංචාරයක් අතරතුර ඇවිදියි. ඉදිරි වම්පස සිටින්නේ ටෙක්සාස් ආන්ඩුකාර ග්‍රෙග් ඇබට් ය. [AP Photo/Eric Gay] [AP Photo/Eric Gay]

2022 මූල්‍ය වර්ෂයේදී එක්සත් ජනපද-මෙක්සිකෝ දේශසීමාව තරනය කිරීමට තැත් කිරීමේදී සංක්‍රමනිකයන් 850කට අධික සංඛ්‍යාවක් මියයාම ගැන බයිඩන් ඔහුගේ දේශසීමා කතාවේ දී සඳහනක් කලේ නැත. දේශසීමා මුර සංචාරයට අනුව, එක්සත් ජනපදයට සංක්‍රමනිකයන්ගේ මාරාන්තිකම වසර මෙම සංඛ්‍යාලේඛන සනිටුහන් කරයි.

ඒ වෙනුවට, දේශසීමාව “ආරක්ෂා කිරීම” සඳහා “අපට තවදුරටත් බලා සිටිය නොහැක” යනුවෙන් පවසමින් බයිඩන් ට්‍රම්ප්ගේ සංක්‍රමන විරෝධී තර්ක-විතර්ක අනුගමනය කලේය.

බයිඩන් විසින් ට්‍රම්ප්ගේ සහාය ඉල්ලා සිටින “දේශසීමා ආරක්‍ෂක පනත” එක්සත් ජනපදයේ සරනාගතභාවය ඉල්ලා සිටීමට සංක්‍රමනිකයන්ට ඇති අයිතිය ප්‍රායෝගිකව අහෝසි කරයි. එය සංක්‍රමනික රැඳවුම් පහසුකම් සහ දේශසීමා පොලිසිය විශාල වශයෙන් පුලුල් කරන අතර ඇතුලුවීමේ වරායන් වසා දැමීමට පෙර නොවූ විරූ විධායක අධිකාරියක් ජනාධිපතිවරුන්ට ලබා දෙනු ඇත. ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි මෙම දැවැන්ත ප්‍රහාරය අනිවාර්යයෙන්ම සමස්තයක් ලෙස කම්කරු පන්තිය ඉලක්ක කිරීමට යොදා ගනු ඇත.

ඇත්ත වශයෙන්ම, දැනටමත්, බයිඩන් පරිපාලනය ගාසාවේ ජන සංහාරය සහ ඊශ්‍රායල යුද අපරාධවලට එක්සත් ජනපදය හවුල් වීම හෙලා දකින සිසුන්, කම්කරුවන් සහ මහජන පුද්ගලයින්ට එරෙහිව ද්විපාර්ශ්වික මැකාතිවාදී ආකාරයේ දඩයම් කිරීමකට සහාය දක්වයි. ඔවුන් “යුදෙව් විරෝධීන්” ලෙස මඩ ගසා විශ්වවිද්‍යාල ජීවිතය තහනම් කිරීම හෝ ඔවුන්ගේ තනතුරුවලින් නෙරපා හැරීම සිදු කරනු ලැබේ.

නව නීතිය අනුමත කරමින්, වෝල් ස්ට්‍රීට් ජර්නල් හි කර්තෘ මන්ඩලය එය පෙබරවාරියේ විස්තර කලේ, “දශක ගනනාවකින් වඩාත්ම සීමාකාරී සංක්‍රමනික නීතිය” ලෙසය. “දරුවන් ලෙස මෙහි රැගෙන ආ 'සිහින දකින්නන්' (විශේෂ සංක්‍රමනික තත්වය අපේක්ෂාවෙන් සිටින්නන් - පරිවර්තක) සියලු දෙනාටම පාහේ අදාලවන කිසිවක් හෝ පුරවැසිභාවය සහ ග්‍රීන් කාඩ් සඳහා පොදු මාර්ගයක් එහි නොමැති” බව ජර්නලය නිරීක්ෂනය කලේය.

මාස දෙකකටත් අඩු කාලයකට පෙර, ජනවාරි 5 වන දින, බයිඩන් පෙන්සිල්වේනියාවේ ෆෝර්ජ් නිම්නයේ -1777-1778 ශීත ඍතුවේ දී මහාද්වීපික හමුදාවේ ඓතිහාසික කඳවුරු භූමිය - පිටත සිට සිය නැවත තේරී පත්වීමේ ව්‍යාපාරය දියත් කලේය. හිටපු ජනාධිපති, ට්‍රම්ප් විසින් එල්ල කෙරෙන භයානක තර්ජනයෙන් ප්‍රජාතන්ත්‍රවාදය බේරා ගැනීම සඳහා ඔහුගේ ව්‍යාපාරයට සහාය දෙන ලෙස ඔහු ඇමරිකානුවන්ගෙන් ඉල්ලා සිටියේය.

“ප්‍රජාතන්ත්‍රවාදය” සහ “නිදහස”, “ඡන්දය” මත රැඳී ඇති බවත්, “ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදය” ආඥාදායකත්වයෙන් ආරක්ෂාකර ගැනීම සඳහා පවත්නා එකම විකල්පය තමා සහ ඩිමොක්‍රටික් පක්ෂය බවත්, ඔහුගේ ජනවාරි සැඳහුම් වල දී බයිඩන් ප්‍රකාශ කලේය. ඔහු මෙසේ කීවේය:

අද මම මේ පූජනීය ප්‍රතිඥාව ඔබට දෙන්නෙමි. ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කිරීම, රැකීම සහ ආරක්ෂනය කිරීම මගේ ජනාධිපතිත්වයේ කේන්ද්‍රීය අභිප්‍රාය ලෙස පවතිනු ඇත.

ඊට ප්‍රතිචාර වශයෙන් ලෝසවෙඅ මෙසේ ලිවීය:

බයිඩන් ගේ ජනාධිපතිත්වයේ “කේන්ද්‍රිය අභිප්‍රාය” වී ඇත්තේ අධිරාජ්‍යවාදී යුද්ධයේ ව්‍යාප්තියයි. ඔහු කතා කරන විට පවා, ඔහුගේ රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් ගාසා තීරයේ සිදුවෙමින් පවතින එක්සත් ජනපද-ඊශ්‍රායල ජන සංහාරය සහ ලෙබනනය, යේමනය සහ ඉරානය දක්වා යුද්ධය ව්‍යාප්ත කිරීම සම්බන්ධීකරනය කිරීම සඳහා මැද පෙරදිග බලා යමින් සිටියේය.

න්‍යෂ්ටික ගැටුමක වැඩෙන අවදානම නොතකා, වොෂින්ටනය, යුක්‍රේනය තුල රුසියාවට එරෙහි සිය වක්‍ර යුද්ධය සමගාමීව තීව්‍ර කරයි. යුක්‍රේනයට ආයුධ සඳහා අතිරේක ඩොලර් බිලියන 61.4 ක් සඳහා රිපබ්ලිකන් සහාය ලබා ගැනීමේ උත්සාහයක් ලෙස, සරනාගතභාවය ඉල්ලා සිටීමේ සංක්‍රමනිකයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ඵලදායි ලෙස අහෝසි කිරීමට සහ ට්‍රම්ප්ගේ සමූහ පිටුවහල් කිරීම් සහ රඳවා තබා ගැනීමේ ෆැසිස්ට් ප්‍රතිපත්තිය අනුගමනය කිරීමට බයිඩන් ඉදිරිපත් වේ.

දැන් ට්‍රම්ප්ට සෘජු ආයාචනයක් කරමින්, බයිඩන් කාර්යයන් දෙකක් සිදු කරයි. පලමුව, ඔහු රිපබ්ලිකානුවන් සමග සම්පූර්නයෙන්ම ඔවුන්ගේ කොන්දේසි මත එකඟතාවයකට යාමට බලාපොරොත්තු වේ. එය, රුසියාවට එරෙහි එක්සත් ජනපද-නේටෝ යුද්ධය සඳහා ඩොලර් බිලියන 60කට වැඩි ප්‍රමානයක් සහ ගාසා තීරයේ ඊශ්‍රායල ජනවාර්ගික ශුද්ධකරන ව්‍යාපාරය සඳහා තවත් ඩොලර් බිලියන 15ක් ඇතුලත් කලින් සාකච්ඡා කල ඩොලර් බිලියන 95 ක මිලිටරි පැකේජයක් සඳහා යෝජනාවක් නියෝජිත මන්ත්‍රී මන්ඩලයට ගෙන ඒමට රිපබ්ලිකන් නියෝජිත මන්ත්‍රී මන්ඩලයේ කථානායක මයික් ජොන්සන්ට ඉඩ සලසා දෙනු ඇත.

දෙවනුව, සංක්‍රමන ප්‍රශ්නය සම්බන්ධයෙන් ට්‍රම්ප් අභිබවනුවස්, සංක්‍රමන විරෝධී නීති සම්පාදනයට සහාය දීම ප්‍රතික්ෂේප කරන බැවින් “බිඳුනු දේශසීමා” සම්බන්ධයෙන් ට්‍රම්ප් වගකිවයුතු බවට තර්ක කරමින්, නොවැම්බරයේ පැවැත්වෙන මැතිවරනයෙන් ජයගැනීමේ අවස්ථාවන් ඉහල නංවා ගැනීමට බයිඩන් යත්න දරයි.

Loading Tweet ...
Tweet not loading? See it directly on Twitter

සංක්‍රමනිකයන්ට පහර දීම සඳහා ට්‍රම්ප් සමග වැඩ කරන ලෙස බයිඩන් කල ආයාචනයට ප්‍රතිචාර දක්වමින්, සමාජවාදී සමානතා පක්ෂයේ එක්සත් ජනපද ජනාධිපති අපේක්ෂක ජෝසප් කිෂෝර් ට්විටර්/X සිකුරාදා ප්‍රකාශයක් නිකුත් කල අතර, එහි මෙසේ සඳහන් වෙයි:

“ප්‍රජාතන්ත්‍රවාදය” ආරක්ෂා කිරීම පිලිබඳ තම සියලු කතා තිබියදී, න්‍යෂ්ටික සමූලඝාතනයක අවදානමක් ඇති යුක්‍රේනය අරබයා රුසියාවට එරෙහි එක්සත් ජනපද-නේටෝ යුද්ධයට දෙන ද්විපාර්ශ්වික සහයෝගය වෙනුවෙන්, රිපබ්ලිකානුවන්ගේ සංක්‍රමනිකයන්ට එරෙහි සමස්ත ෆැසිස්ට් ප්‍රහාරය, බයිඩන් සහ ඩිමොක්‍රටිකයන් විසින් පිලිගනු ඇත. ජනවාරි 6දා ෆැසිස්ට්වාදී කුමන්ත්‍රනය වසන් කිරීමට ඩිමොක්‍රටික් පාක්ෂිකයින් ක්‍රියා කලේ සහ “ශක්තිමත්” රිපබ්ලිකන් පක්ෂයක අවශ්‍යතාවය ගැන බයිඩන් අවධාරනය කලේ එබැවිනි. ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකානුවන් නියෝජනය කරන්නේ ධනේශ්වර කතිපයාධිකාරයේ ප්‍රතිගාමී කන්ඩායම් දෙකකි...

සංක්‍රමනිකයන්ට එරෙහි රිපබ්ලිකානුවන්ගේ ප්‍රහාරය බයිඩන් වැලඳ ගැනීම, සංක්‍රමනිකයන් ආරක්ෂා කිරීම සඳහා ඩිමොක්‍රටිකයින්ට සහාය දීම අවශ්‍ය බව ප්‍රකාශ කල [ඇමරිකානු ඩිමොක්‍රටික් සමාජවාදී සාමාජික] ඇලෙක්සැන්ඩ්‍රා ඔකාසියෝ-කෝටෙස් වැනි සියල්ලන් හෙලිදරව් කරයි. ඔකාසියෝ-කෝර්ටෙස් සහ ඩීඑස්ඒ, බයිඩන්ට එරෙහි සමාජවාදී විරෝධය “වරප්‍රසාදිතයන්ගේ” විරෝධයක් ලෙස හෙලා දුටුවේය. යථාර්ථයේ දී, ඩීඑස්ඒ යනු ඩිමොක්‍රටික් පක්ෂයේ අනුබද්ධයකට වඩා වැඩි දෙයක් නොවේ.

ට්‍රම්ප්ගේ ෆැසිස්ට් සංක්‍රමන විරෝධී පිලිවෙත බයිඩන් විසින් අනුගමනය කිරීම, කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම සඳහා ඩිමොක්‍රටික් පක්ෂයෙන් බිඳීයාමේ සහ ධනේශ්වර ක්‍රමයට එරෙහිව කම්කරු පන්තියේ ස්වාධීන සමාජවාදී ව්‍යාපාරයක් ගොඩනැගීමේ අවශ්‍යතාවය අවධාරනය කරයි.

Loading