ජන අරගල කන්ඩායම කොලඹදී පැවැත්වූ ආන්ඩු-විරෝධී උද්ඝෝෂනයට පොලිසිය අමානුෂික ප්‍රහාරයක් එල්ල කරයි

ජල, බැටන් පොලු සහ කඳුලු ගෑස් වලින් සන්නද්ධ වූ විශාල පොලිස් බල ඇනියක්, පසුගිය බදාදා ව්‍යාජ වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) පෙරමුනු සංවිධානයක් වන ජන අරගල ව්‍යාපාරය (පීඑස්එම්) කොලඹ දී පවත්වන ලද විරෝධතා පෙලපාලියකට නිර්දය ලෙස පහර දුන්හ.

විරෝධතාකරුවෝ බැනර්හා පුවරු රැගෙන සටන් පාඨ කියති. [Facebook/People's Struggle Movement]

විරෝධතාකරුවෝ බැනර් හා පුවරු රැගෙන සටන් පාඨ කියමින්, බදු බර සහ භාන්ඩ මිල අඩු කරන ලෙසත්, අන්තර්ජාල ආරක්ෂන පනත සහ ත්‍රස්ත මර්දන පනත ඉවත් කරන ලෙසත් ඉල්ලා සිටියහ. විරෝධතාවයේ ප්‍රධාන තේමාව වූයේ, 'ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මර උගුල සහ ඉන්දියාවේ අධිපතිවාදය පරාජය කරමු' යන්නයි.

විරෝධතාකරුවන් සියයක පමන පිරිසක් කොටුව දුම්රියපොල ඉදිරිපිටට රැස්වී පිකට් උද්ඝෝෂනයක් පවත්වා පිටකොටුව දෙසට ගමන් කිරීමට පටන් ගත්හ. බැස්ටියන් පාරේදී පාගමනට හරස් වූ පොලිසිය බැටන් පොලු, ජල ප්‍රහාර සහ කඳුලු ගෑස් යොදා ගනිමින් ත්‍රස්ත ප්‍රහාරයක් මුදා හැරියේය. පොලිසිය ඇතැමුන් පොලිස් ජීප් රථවලට ඇදගෙන යමින් බැටන් පොලුවලින් පහර දෙන අයුරු දැකගත හැකි විය.

පොලීසිය ජන අරගලයේ විරෝධතාකරුවෙකුට පහරදී ඇදගෙනයන යයි [Facebook/People's Struggle Movement]

පොලිස් පහරදීමෙන් හිස තුවාල වූ, ජන අරගල ව්‍යාපාරයේ කාන්තා නායිකා කෝෂිලා හංසමාලි ද තුවාල ලැබූ තවත් විරෝධතාකරුවෙකු ද රෝහල් ගත කෙරුනි. විරෝධතාකරුවන් 33 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගත්තේය. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව සහ මහජන අරගල ව්‍යාපාරයේ ජාතික සංවිධායක ලහිරු වීරසේකර ඇතුලු විරෝධතාකරුවන් හතර දෙනෙකු මාර්තු 27 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත්, විරෝධතාකරුවන් පස් දෙනෙකු හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙසත් කොලඹ කොටුව මහේස්ත්‍රාත්වරයා බ්‍රහස්පතින්දා නියෝග කලේය. අත්අඩංගුවට ගත් අනෙකුත් විරෝධතාකරුවන් රුපියල් 100,000 ශරීර ඇප මත මුදා හරින ලදී.

පොලීසිය ජනඅරගලයේ විරෝධතාව මතට කඩාපැනීමට සූදානමින් [Facebook/People's Struggle Movement]

සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) ආන්ඩු-විරෝධී විරෝධතාකරුවන්ට එරෙහි පොලිස් ප්‍රහාරය දැඩි ලෙස හෙලා දකින අතර ආන්ඩුවේ දරුනු කප්පාදු පිලිවෙත්වලට විරුද්ධ වීමට ජනතාවට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ආරක්ෂා කරයි. අත්අඩංගුවට ගෙන සිටින විරෝධතාකරුවන් කොන්දේසි විරහිතව වහාම නිදහස් කරන ලෙසද අපි කියා සිටිමු. මෙම පොලිස් මර්දනය මුදා හැරීමෙන් යලිත් වරක් පෙන්නුම් කර ඇත්තේ, වික්‍රමසිංහ තන්ත්‍රය කම්කරුවන් හා දුගීන් මත පටවා ඇති ජාමූඅ කප්පාදු පියවරයන්ට එරෙහි කිසිදු විරෝධයක් නොඉවසන බව යි.

ආන්ඩුවට එරෙහිව විරෝධය දැක්වීමට හා අරගල කිරීමට පෙසප සහ ජන අරගල ව්‍යාපාරය ඇතුලු දේශපාලන සංවිධානවලට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කරන සසප සහ සසජාතශි මෙම ව්‍යාජ වාම සංවිධානවල දේශපාලනයට පරිපුර්නව ම විරුද්ධ බව කියාසිටී. මෙම සංවිධාන දෙක, වික්‍රමසිංහ ආන්ඩුවට එරෙහි මහජන විරෝධය ධනවාදය ගලවා ගැනීමේ ආරක්‍ෂිත මාර්ග දෙසට හරවා යවමින්, කම්කරුවන් දේශපාලනිකව නොමග යැවීමේ සහ නිරායුධ කිරීමේ සිය දේශපාලන වැඩකටයුතු තීව්‍ර කර ඇත.

බ්‍රහස්පතින්දා මාධ්‍ය හමුවක් පවත්වමින් ජන අරගල ව්‍යාපාරයේ ජාතික කමිටු සාමාජික ටැම්පිටියේ සුගතානන්ද මෙසේ පැවසුවේය: “අපි මේ පාගමන සහ උද්ඝෝෂනය කලේ ඛනිජ තෙල්, විදුලිය, ටෙලිකොම් සහ රක්ෂන වැනි රාජ්‍ය ව්‍යවසායන් විකුනන්න එපා කියලා රජයට බලකරන්න...”

තවත් ජාතික කමිටු සාමාජිකයෙකු මෙන්ම හිටපු අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලයේ කැඳවුම්කරුවූ වසන්ත මුදලිගේ මෙසේ මැසිවිලි නැගුවේය: “අපි කිව්වා ආන්ඩුවට, දරාගන්න බැරි බදු, ජීවන වියදම අඩු කරන්න කියලා. ආන්ඩුව මේ ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වනවා වෙනුවට, ඉල්ලීම්වලට ඇහුම්කන් දෙනවා වෙනුවට උද්ඝෝෂන කිරීමේ අයිතියට පහර දුන්නා.”

ජන අරගල ව්‍යාපාරය හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය ක්‍රියා කරන්නේ ජාමූඅ කප්පාදු වැඩපිලිවෙලේ නියෝග ක්‍රියාවට නංවන ධනේශ්වර ආන්ඩුවට බලපෑම් දැමීම හරහා එම වැඩපිලිවෙල අත්හැරීමට ඒත්තු ගැන්විය හැකි බව ජනතාව තුල විශ්වාසය ඇති කරවීමටයි.

2022 අප්‍රේල්-ජූලි මාසවල ජන නැගිටීම අතරතුර, මහජන ව්‍යාපාරය දුර්වල කිරීමටත්, අන්තර්වාර ආන්ඩුවක් පිහිටුවීම සඳහා එය ප්‍රතිගාමී පාර්ලිමේන්තුවාදී මාවතකට හැරවීමටත් උපරිම ලෙස ක්‍රියාකල සජබ සහ ජවිපෙ වැනි ධනේශ්වර විරුද්ධ පක්ෂ සමග පුලුල් පෙරමුනක් ඇති කර ගැනීමට පෙසපට අවශ්‍ය විය. පෙසප සහ වෘත්තීය සමිති නිලධරය, මිලියන ගනන් කම්කරුවන්ගේ වර්ජන එක්දින විරෝධතාවලට සීමා කරමින් ගෙන ගිය ද්‍රෝහී භූමිකාවේ ප්‍රතිපලය වුයේ, රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට ඔසවා තැබීමටත්, මිලිටරිය හා පොලිසිය යොදවා මහජන නැගිටීම තලා දැමීමට හා දරුනු ජාමූඅ කප්පාදු පියවර පැනවීමටත් පාලක ප්‍රභූවට හුස්ම කටක් ගැනීමට අවකාශයක් ලබා දීමයි.

විරෝධතාවලට ජාමූඅ වැඩපිලිවෙල පරාජය කර වික්‍රමසිංහ තන්ත්‍රයේ ගමන් මග වෙනස් කල හැකිය යන මිථ්‍යාව වපුරන පෙසප සහ ජන අරගල ව්‍යාපාරය, 'ඉන්දියානු අධිපතිවාදය' පරාජය කිරීම සඳහා කරඇති කැඳවීමෙන් ඉන්දියානු-විරෝධී ස්වෝත්තමවාදයේ දුර්ගන්ධය වහනය වේ. ඉන්දියාවේ අන්ත දක්ෂිනාංශික නරේන්ද්‍ර මෝදි පාලන තන්ත්‍රය ශ්‍රී ලංකාව මත ආර්ථික හා භූ දේශපාලනික ආනුභාවය තහවුරු කරගැනීමට ක්‍රියාකරයි. වොෂින්ටනය, ලංකාව එක්සත් ජනපද-ඉන්දු-පැසිෆික් විධානයේ (USINDOPACOM) යටතේ පවතින බව නම් කොට එවැනිම උත්සාහයන් ගනිමින් සිටින අතර, චීනය සිය ක්‍රියාමාර්ග මගින් ලංකාව මත තමන්ගේ ආනුභාවය තහවුරු කරගනිමට උත්සාහ කරයි. ගැඹුරුවන ආර්ථික අර්බුදයට හා භූ දේශපාලන ආතතියට ප්‍රධාන බලවතුන් ප්‍රතිචාර දක්වන්නේ එලෙසිනි. එක්සත් ජනපද අධිරාජ්‍යවාදය තම නැතිවූ ගෝලීය ආධිපත්‍යය යලි තහවුරු කිරීමට උත්සාහ කරමින් සිටින්නේ තුන්වන ලෝක යුද්ධයක් හටගැනීමේ තර්ජනය ද නොතකා ය.

වර්තමාන අර්බුදයේ ගතිකය මෙයයි. එය පරාජය කල හැක්කේ, සමාජවාදය සඳහා සටන් කිරීමට ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ හා ලෝක කම්කරු පන්තියේ ජාත්‍යන්තර බලමුලු ගැන්වීමෙන් පමනි.

පෙසප නායකයෝ ජවිපෙ තුල සිටියවුන් වන අතර, කම්කරුවන් සහ දේශපාලන විරුද්ධවාදීන් ඝාතනය කරමින්, ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහිව එය 198-1990 මුදාහරින ලද ඉන්දියානු විරෝධී ස්වෝත්තමවාදී ව්‍යාපාරයේ ප්‍රමුඛ භූමිකාවක් ඉටු කලහ. එවක පැවති එජාප පාලනය මෙම ව්‍යාපාරය යොදා ගත්තේ, ග්‍රාමීය තරුන තරුනියන් 60,000 ක් පමන ඝාතනය කරමින් ග්‍රාමීය පෙරලිකාරිත්වය මැඩීම සඳහා රාජ්‍ය භීෂනය මුදා හැරීමටය.

ජන අරගල ව්‍යාපාරය සහ පෙසප විසින් සංවිධානය කරන ලද රැඩිකල් වීදි විරෝධතා, කම්කරු පන්තිය ධනේශ්වර රාමුව තුලට කොටු කිරීමේ විෂම චක්‍රයකි. ජන අරගල ව්‍යාපාරයේ පදනමක් ලෙස රට පුරා “ජන සභා' සිය ගනනක් පිහිටුවීමට ඔවුන්ට හැකි වූ බව පෙසප උදම් අනයි. පසුගිය බදාදා (20) මෙම ජන සභාවේ සමහර කොටස් බලමුලු ගන්වමින් විරෝධතාවය සංවිධානය කර තිබුනි.

ජන අරගල ව්‍යාපාරය සහ ජන සභාවල වැඩසටහන කුමක්ද? බලයේ සිටින ධනේශ්වර පාලනය සහ ධනවාදය පෙරලා දැමීම නම් නොවේ.

මේ සංවිධානය නිර්මානය කරනු ලැබුවේ ඇයිදැයි ඔවුන්ගෙන් අසන්න? පෙසප ප්‍රධාන ලේකම් කුමාර් ගුනරත්නම්, පුබුදු ජයගොඩ මෙන්ම දුමින්ද නවගමුව ද ඔබට සැනෙකින් පිලිතුරු දෙනු ඇත්තේ, පාර්ලිමේන්තුවට පිටතින් මහජන බලයක් ගොඩනගා ඊට බලපෑම් දමා අපට අවශ්‍ය දේ කරගැනීමට මෙම ව්‍යාපාරය ගොඩනගන බවයි. ධනවාදය පෙරලා දැමීම සහ සමාජවාදී ප්‍රතිපත්තිවලට යාම අපගේ න්‍යාය පත්‍රය නොවන බව ද ඔවුන් පවසනු ඇත. එවැනි ක්‍රියාවන් දුර නොපෙනෙන අනාගතයේ දී ගත හැකිය. කම්කරු පන්තිය ධනේශ්වර පක්ෂවලට යටත් කිරීම සඳහා ඔවුන් මෙලෙස කුප්‍රකට ස්ටැලින්වාදී අදියර දෙකේ විප්ලවය පිලිබඳ න්‍යාය යලි වාත්තු කර ඉදිරිපත් කරන්නේ එලෙස ය.

එම ව්‍යාජ වාම නායකයින් ඔබට දැන් කල යුතු කාර්යය පැහැදිලි කරනු ඇති අතර, හැකි නම්, සජබ, ජවිපෙ සහ අනෙකුත් පක්ෂ සහ වෘත්තීය සමිති නිලධාරීන් ද ඇතුලුව පාර්ලිමේන්තුවෙන් පිටත පුලුල් පෙරමුනක් ගොඩනඟමු යයි පවසනු ඇත. මහජන කෝපය දමනය කිරීම සඳහා යම් යම් ප්‍රතිසංස්කරන සිදු කිරීමේ ගුනය පැහැදිලි කරමින්, අවශ්‍ය නම්, විරෝධතා ද සංවිධානය කරනු ඇත.

අවිශිබම හිටපු කැඳවුම්කරු සහ දැන් ජන අරගල ව්‍යාපාරය නායකයෙකු වන වසන්ත මුදලිගේ 2022 දී සජබ, ජවිපෙ සහ වෘත්තීය සමිති නායක කාර්යාලවල දොරවල් වලට තට්ටු කරමින් ඇවිද ගියේ, පුලුල් පෙරමුනකට සහාය දෙන ලෙස ආයාචනා කරමිනි. දැන්, පෙසප විසින්, මෙම ධනේශ්වර නායකයින්ට ආයාචනා කිරීමේ කාර්යය පවරා ඇත්තේ නව අවිශිබම නායක චන්ද්‍රජිත් මධුෂාන්ට ය.

සමාජවාදී සමානතා පක්ෂය (සසප), ධනේශ්වර පාර්ලිමේන්තු විරුද්ධ පක්ෂවලට ගැටගැසීමේ, එවන් ප්‍රතිසංස්කරනවාදී දේශපාලනයේ අන්තරාය පිලිබඳව කම්කරු පන්තියට නිරතුරුව අනතුරු අඟවා ඇත.

කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය සඳහා සටන් කිරීම වැලැක්වීම සඳහා වෘත්තීය සමිති සමග පෙලගැසී, ධනේශ්වර පක්ෂවලට හේත්තු වෙමින් පෙසප විසින් ප්‍රචාරය කරන ප්‍රතිපත්ති, කම්කරුවන් හා පීඩිත ජනතාව මුහුන දී සිටින බරපතල ම අනතුරක් බව අපි කියා සිටිමු. කම්කරු පන්තියට, ස්වාධීන විප්ලවවාදී බලවේගය ලෙස සංවිධානය වී, පීඩිත ජනතාවගේ නායකත්වය ගැනීමට නොහැකි වුවහොත් දක්ෂිනාංශික බලවේග එහි වාසිය ඩෑහැ ගනු ඇත. එය, කම්කරු පන්තිය පරාජය කර ඒකාධිපති පාලනයක් පිහිටුවීමට පාලක පන්තියට මග පාදා දෙනු ඇත. එවැනි පරාජයන් ගැන ඉතිහාසගත පාඩම් බොහෝය.

කම්කරුවන් හා තරුනයින් සසප අරගලය සමග පෙල ගැසිය යුත්තේ, ධනේශ්වර පාලනයේ මෙම නියෝජිතයන් හෙලිදරව් කිරීමත්, දේශපාලනිකව ස්වාධීන බලවේගයක් ලෙස කම්කරු පන්තිය බලමුලු ගැන්වීමත් තීරනාත්මක වන බැවිනි. ධනේශ්වර රාමුව තුල තමන් මුහුන දෙන දැවැන්ත සමාජ ප්‍රශ්නවලට විසඳුමක් නොමැති බව කම්කරුවන් සහ ග්‍රාමීය ජනතාව අවබෝධ කර ගත යුතුය.

සසප සහ සසජාතශි, කම්කරු පන්තියේ හා දුගීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන් සඳහා සටන් කිරීම සඳහා ස්වාධීන පන්ති සංවිධාන ලෙස තමන් විසින්ම ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත් කර ගන්නා ලද නියෝජිතයන්ගෙන් සැදුම්ලත් තමන්ගේම ක්‍රියාකාරී කමිටු පිහිටුවීමට කම්කරුවන්ට කැඳවුම් කරන්නේ එබැවිනි.

මේ සටනේදී, කම්කරු පන්තිය සමඟ එක්වීම සඳහා තමන් ජීවත්වන ප්‍රදේශවල ක්‍රියාකාරී කමිටු පිහිටුවන ලෙස අප ගම්බද ජනතාවට කියා සිටින්නේ එබැවිනි.

මෙම අරගලය, කම්කරු පන්තිය ධනේශ්වර පන්තියට යටත් කිරීම අරමුනු කරගත් පෙසප සහ මහජන අරගල ව්‍යාපාරයේ ද්‍රෝහී පිලිවෙත්වලට මුලුමනින්ම පටහැනි ය.

කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය සඳහා සටන් කිරීමට මූලිකත්වය ගැනීම හදිසි භාවයකින් මතුවේ. එක් අතකින්, ජාත්‍යන්තර කම්කරු පන්තිය සමඟ එක්සත් වීම සඳහා, 'කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය ගොඩනැගීමටත්' මින් ලංකාවේ කම්කරු පන්තියට ඉඩ සලසා දෙයි.

අනෙක් අතට, එම කමිටුවලින් තෝරා පත්කර ගන්නා නියෝජිතයන් මත පදනම් ව කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් ගොඩනැගීම සඳහා ක්‍රියාකාරී කමිටු පිහිටුවීම අත්‍යවශ්‍ය වේ. ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ දී, වික්‍රමසිංහ තන්ත්‍රය සහ ධනේශ්වර පාලනය පෙරලා දැමීමට සහ සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාවට දැමීම සඳහා කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටන් කිරීමේ අරගලයක් සංවිධානය කිරීමට, කම්කරුවන්ට සහ දුප්පතුන්ට එය ශක්තිමත් බල මධ්‍යස්ථානයක් වනු ඇත.

Loading