පුද්ගලීකරනයට විරුද්ධ වූ විදුලිබල සේවකයන්ට දඬුවම් කිරීම නැවැත්වීමට කම්කරු පන්තිය බලමුලු ගන්වමු!

ලංකා විදුලිබල මන්ඩලයේ (ලංවිම) සේවකයන් 66 දෙනෙකු වැඩ තහනමට ලක්කර දෙවන මාසයට එලැඹෙන විට, එම ආයතනයේ කලමනාකාරීත්වය ඔවුන්ට සේවයෙන් නෙරපීම ඇතුලු දරුනු දඬුවම් ලබාදීමට සූදානම් වේ. රැකියාවලින් ඉවත් නොකිරීමට හෝ වෙනත් දඬුවමකට යටත් නොකිරීමට හේතු දක්වන ලෙස දැනට සේවකයින් 62කට චෝදනාපත්‍ර යවා ඇත.

2024 පෙබරවාරි 1 දින, දඩයමට ලක්වූ ලංකා විදුලිබල මන්ඩල සේවකයින් ආරක්ෂා කිරීම සඳහා කම්කරු ක්‍රියාකාරී කමිටු සාමූහිකයේ යෝජනාව ඒකච්ඡන්දයෙන් සම්මත වේ.

ලංවිම සේවකයින් 66 දඩයමට ලක්ව සිටින්නේ, ආයතනය පුද්ගලීකරනය කිරීමට එරෙහිව දස දහස් ගනන් තම සහෝදර සේවකයන් සමග ජනවාරි 3 සිට 5 දක්වා පැවති තෙදින විරෝධතා ක්‍රියාමාර්ගවලට ඔවුන් සම්බන්ධ වීම නිසා ය.

1980 ජූලි මාසයේදී එවකට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ ආන්ඩුව විසින්, කුරිරු අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ, මහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය අංශයේ වර්ජකයින් 100,000ක් පමන සේවයන් නෙරපීමෙන් දශක හතරහමාරකට පසුව දෙවන වරටත්, එම නීතියම භාවිතා කරමින් ලංවිම සේවකයන්ට දඬුවම් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාලනය සූදානම් වේ.

පසුගිය වසරේ මාර්තු මාසයේදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වැඩ වර්ජනය හමුදාව යොදවා මර්දනය කරමින්, ආන්ඩුව අත්‍යවශ්‍ය මහජන සේවා පනත උල්ලංඝනය කිරීමේ චෝදනාව මතම වෘත්තීය සමිති නායකයින් සහ ක්‍රියාකාරීන් 20 දෙනෙකුගේ වැඩ තහනම් කලේය. ඔවුන් වසරකට පසුව යලි සේවයේ පිහිටුවනු ලැබ ඇත්තේ විනය පරීක්‍ෂන ක්‍රියාත්මක කිරීමට යටත්ව ය.

පුද්ගලීකරනය ඇතුලු ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිලිවෙලට විරුද්ධ කම්කරුවන්ට එරෙහිව වික්‍රමසිංහ තන්ත්‍රය යුද්ධයක යෙදී සිටින බව ලංවිම හා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ දඩයම පෙන්නුම් කරයි.

වික්‍රමසිංහ තන්ත්‍රයේ නියෝග මත, ලංවිම ලොක්කෝ කාර්මික ක්‍රියාවන්හි යෙදීමට කම්කරු පන්තියට ඇති මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය “අපරාධයක්” බවට පරිවර්තනය කර තිබේ.

මේ රුදුරු ප්‍රහාරය වහා නැවැත්විය යුතුය. කම්කරු ක්‍රියාකාරී කමිටු සාමූහිකය, ලංවිම සේවකයින් 66 දෙනා ආරක්ෂා කිරීම සඳහා මහා වැඩ වර්ජනයක් සංවිධානය කිරීම ඇතුලු පන්ති ක්‍රියාමාර්ග හරහා තම කාර්මික හා දේශපාලන ශක්තිය බලමුලු ගැන්වීමට පෙරට එන ලෙස කම්කරුවන්ගෙන් ඉල්ලා සිටී. කම්කරු ක්‍රියාකාරී කමිටු සාමූහිකය, ගුරුවරුන් සහ සංක්‍රමනික කම්කරුවන්ගේ ද වරාය, වතු, දුම්රිය, සෞඛ්‍ය, ඇඟලුම් යන ක්ෂේත්‍රවල ද ක්‍රියාකාරී කමිටු වලින් සමන්විත වේ.

විදුලිබල මන්ඩලයේ කලමනාකාරීත්වය විසින් වැඩ තහනමට ලක්වූ සේවකයින්ට දඬුවම් කිරීමට පරීක්ෂන සූදානම් කිරීමට යවා ඇති චෝදනා පත්‍ර ඇතුලත් ලිපි කිහිපයක් කම්කරු ක්‍රියාකාරී කමිටු සාමූහිකය දැක තිබේ. ප්‍රහාරයේ දුෂ්ට ස්වභාවය සෑම කම්කරුවෙකුට ම දැකගත හැකි වන පරිදි අපි චෝදනා පිලිබඳ විස්තර පහත පල කරන්නෙමු.

මෙම ලිපිවලට අනුව, පරීක්ෂනයක් අවශ්‍ය නම්, සේවකයින් තමන් රැකියාවෙන් ඉවත් නොකල යුත්තේ හෝ වෙනත් දඬුවම් නොපැනවිය යුත්තේ මන්දැයි පැහැදිලි කරමින් දින 14 ක් ඇතුලත කලමනාකාරිත්වයට ඔවුන්ගේ පිලිතුරු යැවිය යුතුය. කිසියම් සේවකයෙකු පිලිතුරු දීමට අපොහොසත් වුවහොත්, ලංවිම බලධාරීන් එය වරද පිලිගැනීමක් ලෙස සලකා දඬුවම් නියම කිරීමට කටයුතු කරනු ඇත.

මුදල් හසුරුවන ලිපිකරුවෙකුට යොමුකර ඇති ලිපියක සඳහන් පලමු චෝදනාව වන්නේ, මෙම කාලය තුල සේවකයා ජනවාරි 3, 4 සහ 5 යන දින තුනම හෝ එක් දිනක් හෝ දින දෙකක් මුදල් කවුලු වසා දැමීමෙන් “බරපතල විෂමාචාරයක” යෙදී ඇති බවයි.

දෙවන චෝදනාව නම්, අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ විදුලි සැපයුම 'අත්‍යවශ්‍ය සේවාවක්' ලෙස ප්‍රකාශයට පත් කර තිබිය දී හා එම 'නීති උල්ලංඝනය කිරීම දැඩි දඬුවම් ලබා දෙන වරදක් බව' පෙන්වා දී තිබියදී 'සැලසුම් සහගතව' වැඩට නොපැමිනීම යි. සියලුම සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරීමේ කලමනාකාරීත්වයේ චක්‍රලේඛය උල්ලංඝනය කරමින් සේවයට නොපැමිනීම වරදක් බවද එහි සඳහන් කර ඇත.

තවත් චෝදනාවක් වන්නේ, ලංවිමට ලැබීමට තිබූ මුදල් අහිමි කිරීම සහ එමගින් මන්ඩලයට මුදල් හානියක් සිදු කිරීමයි.

මෙම වැරදි එකක් හෝ සියල්ලම කිරීමෙන් ලංවිම, සේවකයා කෙරෙහි තැබූ විශ්වාසය බිඳ දැමීම තවත් චෝදනාවකි.

කලමනාකාරිත්වය විසින් යවා ඇති ලිපියට, දෙසැම්බර් 18 වැනි දින ලංවිම අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත්කල අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ පිටපතක්, කලමනාකාරීත්වය විසින් නිවාඩු අවලංගු කිරීමේ චක්‍රලේඛය සහ සේවකයා මේ දිනවල සේවයට නොපැමිනි බව සනාථ කිරීම සඳහා ඇඟිලි සලකුනු මුද්‍රන යන්ත්‍රයේ මුද්‍රිත පිටපතක් අමුනා ඇත.

චුදිතයා වෙනුවෙන් නිලධාරියෙකු හෝ නීතිඥයෙකු පත් කිරීම කල හැක්කේ ලංවිම සාමාන්‍යාධිකාරීවරයාගේ අනුමැතිය මත පමනකි.

අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ අත්‍යාවශ්‍ය සේවාවන්ට බලපාන වැඩවර්ජන ඇතුලු කාර්මික ක්‍රියාමාර්ග ගැනීම තහනම් වේ. ඊට අනුකූල නොවන කම්කරුවන් 'මහස්ත්‍රාත්වරයෙකු ඉදිරියේ ලඝු නඩු විභාගයකින් පසු' වරදකරු කල හැක. වරදකරු වන ඕනෑම අයෙකු වසර දෙකේ සිට පහ දක්වා “දැඩි සිරදඬුවම්වලට”හෝ රුපියල් 2,000 ත් 5,000 ත් අතර දඩයකට හෝ ඒ දෙකටම යටත් කල හැකිය.

වරදකරු වන ඕනෑම අයෙකුගේ 'චංචල සහ නිශ්චල දේපල' රාජ්‍යය විසින් අත්පත් කර ගත හැකි අතර ඔහුගේ හෝ ඇයගේ නම 'අදාල වෘත්තිය හෝ රැකියාව සඳහා පවත්වාගෙන යනු ලබන ඕනෑම ලේඛනයකින් ඉවත් කරනු ලැබිය හැකිය'. “ශාරීරික ක්‍රියාවකින් හෝ කිසියම් කථාවකින් හෝ ලේඛනයකින්” කිසිවකු රැකියාවට නොපැමිනීමට පෙලඹවීම හෝ දිරිමත් කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වන පුද්ගලයන් ද ඒ හා සමානව දඬුවම් ලැබිය හැකිය..

ලංවිම සේවකයින් 66 දෙනා, රජය සතු ව්‍යවසායන් සිය ගනනක් විදේශීය හා දේශීය ආයෝජකයින්ට විකිනීම ඇතුලු ජාමූඅ විසින් නියම කරන ලද මුර්ග කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාවට නංවන වික්‍රමසිංහ ආන්ඩුවේ පන්ති යුද්ධයක ගොදුරු බවට පත් කරගෙන තිබේ.

ජාමුඅ කප්පාදු වැඩසටහනට, එකතු කල අගය මත බදු සහ ජල හා විදුලි ගාස්තු ඇතුලු සියලුම බදු ඉහල දැමීම, සියලු අත්‍යවශ්‍ය සේවා සහ භාන්ඩවල මිල අහස උසට නැංවීම සහ අධ්‍යාපනය සහ සෞඛ්‍ය සඳහා වන වියදම් කප්පාදු කිරීම ද ඇතුලත් ය.

වැඩ තහනමට ලක්වූ එක් සේවකයෙකු නිවැරදිව පෙන්වා දුන් පරිදි, “ලංවිම 22,000 ක් සේවකයින්ගේ විරෝධය පරාජය කරමින් මෙම ප්‍රධාන ආයතනය පෞද්ගලීකරනය කිරීමට ඉඩ දුන්නොත්, ආන්ඩුවට අනෙකුත් රාජ්‍ය ව්‍යවසායන් පුද්ගලීකරනය පහසුවෙන්ම කරගත හැකිවනු ඇත”.

ලංවිම වින්දිතයින් නියෝජනය කරන්නේ, ලංවිම සේවකයින්ගේ පමනක් නොව, පෞද්ගලීකරනයේ හෝ වානිජකරනයේ දංගෙඩිය මත තබා ඇති අනෙකුත් රාජ්‍ය සමාගම්වලසේවය කරන ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ අරගලයයි. මෙම ප්‍රතිව්‍යුහගතකරනය මිලියන භාගයක පමන කම්කරුවන්ගේ රැකියා විනාශය, වැටුප් කැපීමට සහ සේවා කොන්දේසි කප්පාදුවට හේතුවනු ඇත.

ආන්ඩුව සහ කලමනාකාරීත්වය මෙතරම් දරුනු ප්‍රහාරයකට සූදානම් වෙද්දී ලංවිම වෘත්තීය සමිති කරන්නේ කුමක්ද? සමස්ත ලංකා විදුලිබල සේවක සංගමය, සමගි සේවක සංගමය, ශ්‍රී ලංකා නිදහස් විදුලිබල සේවක සංගමය, ඉංජිනේරු සංගමය සහ තවත් සමිති ගනනාවක් ඇතුලත්ය.

සමස්ත ලංකා විදුලිබල සේවක සංගමය, සමගි සේවක සංගමය සහ ශ්‍රී ලංකා නිදහස් විදුලිබල සේවක සංගමය පිලිවෙලින් පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂ වන ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ), සමගි ජන බලවේගය (සජබ) සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලංනිප) විසින් පාලනය කරනු ලැබේ.

සේවකයින් අතර වැඩෙන විරෝධය මධ්‍යයේ ජනවාරි 3 සිට 5 දක්වා තෙදින විරෝධතා ක්‍රියාමාර්ගය කැඳවීමට ඔවුන්ට බල කෙරුනි.

කෙසේ වෙතත්, සේවය අත්හිටවූ කම්කරුවන් යලි සේවයේ පිහිටුවන ලෙස ආන්ඩුවට නැවත නැවතත් ආයාචනා කිරීම හැර, ආන්ඩුව විසින් එල්ල කරන ලද මෙම මාරක ප්‍රහාරයට එරෙහිව ලංවිම හෝ අනෙකුත් සියලුම රාජ්‍ය ආයතනවල සේවකයින් බලමුලු ගැන්වීමට ඔවුන් කිසිවක් කර නැත.

ටෙලිකොම්, බැංකු, වරාය, තැපැල්, දුම්රිය සහ තවත් ආයතන කිහිපයක ඔවුන්ගේ සගයන් කිහිප දෙනෙකු සමග, ලංවිම වෘත්තීය සමිති නායකයින්, අත්හිටවූ සේවකයින් නැවත සේවයේ පිහිටුවන ලෙස කලමනාකාරිත්වයට නිෂ්ඵල ආයාචනයක් කරමින් පෙත්සමක් යවා ඇත. පෙබරවාරි 7 වැනි දින රට පුරා විදුලිබල මන්ඩල ශාඛාවන් ඉදිරිපිට විසුරුනු විරෝධතා පැවැත්වුනු අතර, සේවය අත්හිටුවීමට එරෙහිව දිස්ත්‍රික් උසාවියේ නඩුවක් ගොනු කර ඇත.

තම ප්‍රශ්න විසඳා ගැනීමට, මාස හතකින් පැවැත්වෙන ජනාධිපතිවරනයෙන් ජාතික ජන බලවේගයේ (ජාජබ) ආන්ඩුවක් බලයට පත් වන තෙක් බලා සිටින ලෙස ජවිපෙ වෘත්තීය සමිති නායකයෝ කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිති!

මෙය අමූලික බොරුවකි. ජාජබ/ජවිපෙ සහ සජබ, ජනාධිපති වික්‍රමසිංහ මෙන්ම රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම ඇතුලු ජාමූඅ කප්පාදුවලට කැපවී සිටී.

කම්කරු පන්තිය එවැනි මිත්‍යාවන් ප්‍රතික්ෂේප කල යුතුය. වෘත්තීය සමිති නායකයින් මැතිවරනය තෙක් බලා සිටීම, ආයාචනා කිරීම සහ බලපෑම් කිරීමේ උපක්‍රම පිලිබඳ මිත්‍යාවන් ප්‍රචාරය කරන අතරේ, ආන්ඩුව ජාමූඅ කප්පාදුවට විරුද්ධ නොවන ලෙස සමස්තයක් ලෙස කම්කරුවන්ට අනතුරු අඟවමින් සටනට එන කම්කරුවන්ට එරෙහිව දැඩි දඬුවම් දීම් සූදානම් කරමින් සිටී.

ජනවාරි 22 වැනිදා අපගේ කම්කරු ක්‍රියාකාරී කමිටු සාමූහිකය, විදුලිබල සේවකයන්ට එරෙහි ශ්‍රී ලංකා ආන්ඩුවේ දඩයමට විරුද්ධ වෙනු! ප්‍රති ප්‍රහාරයක් සූදානම් කරනු! යනුවෙන් ප්‍රකාශයක් නිකුත් කලෙමු.

“ලංවිම සහෝදර සහෝදරියන්ට එල්ල වූ ප්‍රහාරය අප සැමට එල්ල කර ඇති ප්‍රහාරයක් බව” අවධාරනය කල අපි, වැඩ තහනම් කරන ලද සේවකයින් ආරක්ෂා කිරීමට සහ පුද්ගලීකරනයට එරෙහිව සටන් කිරීමට කම්කරුවන් විසින් ගත යුතු වැඩපිලිවෙලක් විස්තාරනය කලෙමු.

වහාම සහ කොන්දේසි විරහිතව අත්හිටුවා ඇති සියලුම ලංවිම සේවකයින් නැවත සේවයේ පිහිටුවනු! ඔවුන් ආරක්ෂා කර ගැනීමට මහා වැඩ වර්ජනයක් සූදානම් කිරීම ඇතුලු කාර්මික ක්‍රියාමාර්ග සඳහා කැඳවුම් කරමු. අත්‍යවශ්‍ය මහජන සේවා පනත සහ අනෙකුත් මර්දන නීති ඉවත් කරන ලෙස කම්කරුවන් ඉල්ලා සිටිය යුතුය.

එම අරගලය මෙම ඉල්ලීම සමග සම්බන්ධ කල යුතුය: පෞද්ගලීකරනය හෝ කිසිදු ප්‍රතිව්‍යුහගත කිරීමක් එපා! සියලුම රාජ්‍ය ව්‍යවසායන් කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතට පත් කරනු! විදේශ නය ගෙවීම එපා!

කම්කරු ක්‍රියාකාරී කමිටු සාමූහිකය, සිය සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමට අරගලයට පැමින සිටින ජාත්‍යන්තර කම්කරු පන්තිය වෙත හැරෙන ලෙස ලංකාවේ කම්කරුවන්ගෙන් ඉල්ලා සිටී.

ආන්ඩුව සහ ධනේශ්වර පක්ෂ ගැන මිත්‍යාවන් වපුරමින් තම අයිතීන් ආරක්ෂා කර ගැනීම සඳහා කම්කරු පන්තියේ ස්වාධීන අරගලය අවහිර කරන වෘත්තීය සමිති මත ඔබට විශ්වාසය තැබිය නොහැක.

සෑම වැඩපලකම, වතුකරයකම සහ කම්කරුවන්ගේ නිවහන් ප්‍රදේශවල තමන්ගේම ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට කම්කරුවන් මූලිකත්වය ගත යුතුය. ධනපති ගැති වෘත්තීය සමිති නිලධරයන්ට සහ ධනපති පක්ෂවලට මෙම ක්‍රියාකාරී කමිටු තුල කිසිදු තැනක් නොදිය යුතුය.

ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත් කරගත් නියෝජිත කන්ඩායම් හරහා මෙම ක්‍රියාකාරී කමිටු සම්බන්ධීකරනය කිරීම මගින් කම්කරුවන්ට “ලංවිම සේවකයින් 66 දෙනා” ආරක්ෂා කිරීමට සහ පුද්ගලීකරනය ඇතුලු කප්පාදු වැඩපිලිවෙලට එරෙහිව සටන් කිරීමට කාර්මික ක්‍රියාමාර්ග තීරනය කල හැකිය.

මෙම සටන අතට ගැනීම හදිසි කර්තව්‍යයකි! මෙම පිලිවෙත පිලිබඳව ඔබේ රැකියා ස්ථානයේ සහ සිසුන් ඇතුලු තරුන ජනයා අතර සාකච්ඡාවක් ආරම්භ කරන්න!

Loading