වෘත්තීය සමිති පෙරමුනේ විරෝධතාව ආන්ඩුවට නිෂ්ඵල ආයාචනා කරමින් අවසන් වෙයි

ාජ්‍ය සතු ව්‍යවසායයන් පෞද්ගලීකරනයට එරෙහිව, පසුගිය අඟහරුවාදා (20) කොලඹ දී පැවති විරෝධතාවෙන් කොටසක්

ජාතික සම්පත් සුරැකීමේ ව්‍යාපාරය (එන්ආර්පීඑම්) විසින්, රාජ්‍ය සතු ව්‍යවසායයන් පෞද්ගලීකරනයට එරෙහිව, පසුගිය අඟහරුවාදා (20) දිවා ආහාර විවේකය තුල කොලඹ ලේක් හවුස් වටරවුමේ දී විරෝධතාවක් පැවැත්වුයේය.

එන්ආර්පීඑම් යනු ලංකා විදුලිබල මන්ඩලය (ලංවිම), ටෙලිකොම්, බැංකු, තැපැල්, රක්ෂන සහ දුම්‍රිය ඇතුලු රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති 40 කට අධික සංඛ්‍යාවක එකතුවකි. එහෙත් විරෝධතාවට සහභාගී වූයේ කම්කරුවන් 700-800 ක් පමන සංඛ්‍යාවකි.

විරෝධතාවයේ නියුතු කම්කරුවෝ, “අත්හිටවූ ලංවිම සේවකයන් වහා සේවයේ පිහිටුවනු! අනාගත පරපුර වෙනුවෙන් පොදු දේපල ආරක්ෂා කරමු! පුද්ගලීකරනය නවත්වනු! අපට අයිති ප්‍රතිලාභ ලබා දියව්! තැපැල් සහ උප තැපැල් කන්තෝරු වැසීම නවතා දමනු, ටෙලිකොම් විකිනීමට විරුද්ධ වෙනු!' යන සටන් පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් ඒවා හඬ නැගූහ.

මුදල් අමාත්‍යාංශය, ජනාධිපති ලේකම් කාර්යාලය, මහ බැංකුව සහ ජනාධිපති මන්දිරය යන පරිශ්‍රවලට විරෝධතාකරුවන් ඇතුලුවීම සහ 'මහජනතාව හෝ ගමනාගමනය අපහසුතාවයට' පත්කිරීම වලකාලමින් අධිකරනය, වෘත්තීය සමිතිවලට නියෝගයක් නිකුත් කර තිබුනි.

රාජ්‍ය ව්‍යවසාය පුද්ගලීකරනය කිරීමේ ආන්ඩුවේ පියවරට එරෙහිව එන්ආර්පීඑම් විසින් විරෝධතාව සංවිධානය කර තිබුනද, වෘත්තීය සමිති නායකයන්ට එය කම්කරුවන්ගේ කෝපය යටපත් කිරීමේ නරුම ව්‍යායාමයක් විය. පුහු තර්ජන නිකුත් කල වෘත්තීය සමිති නායකයෝ අවසානයේ වික්‍රමසිංහ ආන්ඩුවට ආයාචනා කරමින් විරෝධතාව විසුරුවා හැරියහ.

මෙම දැනුවත් සටකපට ව්‍යායාමයේ කොටසක් ලෙස වෘත්තීය සමිති නායකයන් යකැදුරෙකු ගෙන්වා, බෙර වයමින් පොල් ගසා, තොවිලයක් නැටුවේ ආන්ඩුවට සාප කරමිනි.

ාජ්‍ය සතු ව්‍යවසායයන් පෞද්ගලීකරනයට එරෙහිව, කොලඹ දී පැවති විරෝධතාව

විරෝධතාව කැඳවූ වෘත්තීය සමිති බොහොමයක් විපක්ෂයේ ජනතා විමුක්ති පෙරමුනට අනුබද්ධ වන අතර, එහි මැතිවරන පෙරමුන වන ජාතික ජන බලවේගයට (ජාජබ) සහාය දක්වයි. ඔවුන් උද්ඝෝෂනය කරමින් සිටියේ කම්කරු පන්තියේ ඒකාබද්ධ ව්‍යාපාරයක් බලමුලු ගැන්වීමට නොව, මේ වසරේ ජනාධිපතිවරනයේදී ජාජබ බලයට ගෙන ඒම සඳහා, වික්‍රමසිංහ ආන්ඩුවට සහ ජාමූඅ වැඩපිලිවෙලට කම්කරුවන් තුල පවතින විරෝධය ගසාකෑමට ය.

ලංකා විදුලිබල මන්ඩල එක්සත් වෘත්තීය සමිති සන්ධානය (ලංවිමඑවෘසසං) නායක රන්ජන් ජයලාල් (ලෝසවෙඅ මාධ්‍ය)

විරෝධතාකරුවන් අමතමින් ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් සහ ජනතා විමුක්ති පෙරමුනේ නායක රන්ජන් ජයලාල් පැවසුවේ, “අපි මේකෙන් නවතින්නේ නැහැ. [ලංවිම සේවකයින් 66 දෙනෙකුට ලබා දී ඇති] වැඩ තහනම් කිරීමේ ලිපි ඉල්ලා අස්කර නොගන්නේ නම්, ඔවුන් නැවත සේවයේ පිහිටුවන්නේ නැත්නම්, පලිගැනීම් සහ වෘත්තීය සමිති මර්දනය නතර නොකරන්නේ නම් සහ ආන්ඩුව පෞද්ගලීකරනය නතර නොකරන්නේ නම්, ආන්ඩුවට ඇත්තේ තව පෝය හතක් [මාස හතක්] පමනයි.…” ඔහු තවදුරටත් මෙසේ පැවසීය: “මේ රටේ ජනතාව, මේ රටට ජනතා ජයග්‍රහනය ගෙන එනවා”.

'ජනතා ජයග්‍රහනය' යන්නෙන් අදහස් කරන්නේ, මේ වසරේ මැතිවරනයෙන් ජාජබ බලයට පැමින, පෞද්ගලීකරනය නතර කර, 'අනෙකුත් සියලුම ප්‍රශ්න විසඳා ගැනීමයි.'

ජයලාල්ට සහ අනෙකුත් ජවිපෙ ගැති වෘත්තීය සමිති නායකයින්ට නම් මෙම විරෝධතාවය, ජනාධිපතිවරනය සඳහා කැප කෙරුනු ජාජබ/ජවිපෙ ප්‍රචාරක රැලියක් විය. කෙසේ වෙතත්, ජාජබ/ජවිපෙ ජනාධිපතිවරයෙකු යටතේ පුද්ගලීකරනය නතර කර 'වෙනත් ගැටලු' විසඳනු ඇති බව අමූලික බොරුවකි. ජාජබ/ජවිපෙ, ආන්ඩුව සහ සමගි ජන බලවේගය (සජබ) වැනි අනෙකුත් විරුද්ධ පක්ෂ මෙන් ම, පුද්ගලීකරනය සහ අනෙකුත් කප්පාදු පියවර ඇතුලු ජාමූඅ පිලිවෙත් වලට කැපවී සිටී.

ලංකා බැංකු සේවක සංගමයේ නියෝජ්‍ය සභාපති අනුප නන්ඳුල පැවසුවේ, “මෙතැනට ඇවිල්ලා ඉන්නේ [කොලඹ] කොටුව ප්‍රදේශයේ කුඩා කොටසක් විතරයි. අපි මේක හෙට සහ අනිද්දා ජාතික තලයකට ගෙන යනවා. ඒ නිසා අපි ඉතා පැහැදිලිව ආන්ඩුවට කියනවා, පුද්ගලීකරනය සහ (රජය සතු ව්‍යවසායයන්) විකිනීම කරුනාකරලා නවත්වන්න ඕනෑ”. ඔහු කයිවාරු ගැසූ ආකාරයට ඉදිරි දින දෙකේ විරෝධතාවයන් නම් පැවැත්වුනේ නැත.

තැපැල් වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුනේ සම-කැඳවුම්කරු චින්තක බන්ඩාර ද මෙවැනිම ප්‍රකාශයක් කලේය: “ආන්ඩුව ජාතික දේපල විකිනීම නැවැත්තුවේ නැත්නම්, මේ සේවකයන් ජනාධිපති ලේකම් කාර්යාලය වටලලා, විකුනන එක නවත්වන්න මේ රටේ මිලියන 22 ක් ජනතාව එක්‍රැස් කරනවා”.

එසේම, ජාතික ආරක්ෂාවට බලපාන බැවින් ටෙලිකොම් විකුනන්න එපා යැයි කියන “බෞද්ධ මහ නාහිමිවරුන්ට” හෝ පාර්ලිමේන්තු “ආංශික අධීක්ෂන කාරක සභාවට” කන් නොදී, ආන්ඩුව රාජ්‍ය දේපල විකිනීමට යන බව සමස්ත ටෙලිකොම් සේවක සංගමයේ සභාපති ජගත් ගුරුසිංහ පැවසීය. පෙරදී මෙන්, ඔහු ව්‍යාජ තර්ජනයක් ද කලේ ය: 'ආන්ඩුව පුද්ගලීකරනය නතර නොකලහොත් අපි අඛන්ඩ මහා වැඩ වර්ජනයක් කැඳවනවා'.

අනෙකුත් වෘත්තීය සමිති නායකයින් හා ධනේශ්වර දේශපාලඥයින්ගේ මෙන්, ගුරුසිංහගේ ද උත්සුකය වන්නේ ධනේශ්වර රාජ්‍යයේ 'ජාතික ආරක්ෂාව' ගැන මිස කම්කරු අවශ්‍යතා ගැන නොවේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කරන ලද කප්පාදු වැඩසටහනේ කොටසක් ලෙස ලංවිම, රක්ෂන සංස්ථාව, ටෙලිකොම්, කොලඹ වරායේ ඉතිරි කොටස්, ඛනිජ තෙල් සංස්ථාව, එයාර් ලංකා, ජල සම්පාදන සහ දුම්‍රිය වැනි ප්‍රධාන ආයතන ඇතුලුව රජය සතු ව්‍යවසායයන් 430 ක් ප්‍රතිව්‍යුහගත කිරීමට හෝ පුද්ගලීකරනය කිරීමට වික්‍රමසිංහ ආන්ඩුව තීරනය කර ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස කම්කරුවන් මිලියන පහකට වැඩි පිරිසකට රැකියා අහිමිවීමට ඉඩතිබේ.

කම්කරුවන් අතර නැගෙන විරෝධයක් සහ ඊට එරෙහිව සටන් කිරීමේ අධිෂ්ඨානයක් පවතී. අවස්ථා කීපයක් පමනක් සඳහන් කරන්නේ නම්: ලංවිම කම්කරුවන් 22,000 කට ආසන්න පිරිසක් ජනවාරි 3 සිට 5 දක්වා දිනවල තුන් දින අසනීප නිවාඩු ව්‍යාපාරයක් දියත් කල අතර, 10,000 කට වැඩි කම්කරුවන් කොලඹ ලංවිම ප්‍රධාන කාර්යාලය අසල උද්ඝෝෂනයට එක්‍රැස් වූහ. ජනවාරි 3 සිට 5 දක්වා පැවති විරෝධතාවයට සහභාගීවීම නිසා වැඩ තහනම් කරන ලද සේවකයින් 66 දෙනා නැවත සේවයේ පිහිටුවන ලෙස බලකරමින්, ලංවිම කම්කරුවන් දහස් ගනනක් පෙබරවාරි 7 වන දින ලංවිම ප්‍රධාන කාර්යාලය අසල උද්ඝෝෂන කලහ.

.පසුගිය අවුරුද්දේ නොවැම්බර් හි 5,000 කට වැඩි ටෙලිකොම් සේවකයින් පෞද්ගලීකරනයට එරෙහිව එක්දින වැඩවර්ජනයක් පවත්වා කොලඹ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වූහ.

මෙම විරෝධතා වලදී ද වෘත්තීය සමිති නායකයින් ආන්ඩුවට එවැනිම නිෂ්ඵල අනතුරු ඇඟවීම් කර, කම්කරුවන් විසුරුවා හරින ලදී.

රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති නායකයන් දෙසැම්බර් 28 සහ ජනවාරි 22 දෙදින සාකච්ඡා දෙකක් පවත්වා මාධ්‍ය වෙත පැවසුවේ ආන්ඩුව පුද්ගලීකරනය නතර නොකරන්නේ නම් ඊට එරෙහිව 'දැවැන්ත' අරගලයක් සංවිධානය කරන බවයි.

රාජ්‍ය ව්‍යවසායයන් පුද්ගලීකරනය කිරීම හෝ ජාමූඅ වැඩසටහන, වික්‍රමසිංහ තන්ත්‍රයට නිෂ්ඵල ආයාචනා කිරීමෙන් හෝ ව්‍යාජ තර්ජන මගින් නැවැත්විය නොහැක. ඔවුහු මේ ව්‍යාජ තර්ජන නිකුත් කරන්නේ කම්කරුවන් නොමග යැවීමටයි. වෘත්තීය සමිති නිලධරයෝ පුද්ගලීකරනයට සහ ජාමූඅ කප්පාදුවට එරෙහිව රාජ්‍ය අංශයේ කම්කරුවන්ගේ ඒකාබද්ධ අරගලයක් සංවිධානය කිරීම දැනුවත්ව ම අවහිර කරති.

ජාමූඅ වැඩපිලිවෙලට එරෙහි කම්කරු පන්තියේ කිසිදු විරෝධතාවයක් ඉවසා සිටීමට තමන් සූදානම් නැති බව වික්‍රමසිංහ ආන්ඩුව පැහැදිලිව පෙන්වා දී තිබේ.

අත්‍යවශ්‍ය මහජන සේවා පනත ප්‍රකාශයට පත්කිරීම ද ලංවිම කලමනාකාරිත්වය විසින් සියලුම නිවාඩු අවලංගු කිරීමද නොතකා හැරිය බවට චෝදනා කරමින් ජනවාරි විරෝධතාවට එක් වූ කම්කරුවන් 66 දෙනෙකුගේ සේවය අත්හිටුවා ඇත. මෙම දඩයම, සිය රුදුරු කප්පාදු වැඩපිලිවෙල පැටවීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මැඩලීමට පසුබට නොවන බවට වික්‍රමසිංහ ආන්ඩුව සමස්ත කම්කරු පන්තියට කරන ලද අනතුරු ඇඟවීමකි.

ආන්ඩුව කම්කරු පන්තියට එරෙහිව ඊපීඑස්ඒ නිතර භාවිතා කරයි. සන්ඩේ ටයිම්ස් හි මෑත වාර්තාවට අනුව වික්‍රමසිංහ ආන්ඩුව 2023 ජනවාරියේ සිට 21 වතාවක් සහ පසුගිය සති හය තුල කම්කරුවන්ගේ කාර්මික ක්‍රියාමාර්ගවලට එරෙහිව සතර වතාවක් එම නීති පනවා ඇත. වෘත්තීය සමිති මෙම රුදුරු නීති පැනවීමට විරුද්ධ වූයේ නැත.

ශ්‍රම බලකාය 22,000 සිට 18,000 දක්වා 5,000 කින් අඩු කිරීමට ලංවිම සැලසුම් කර ඇති බව, ලංවිම සාමාන්‍යාධිකාරීවරයා පාර්ලිමේන්තුවට පැවසීය. එයාර් ලංකා සහ ඛනිජ තෙල් සංස්ථාව, රක්ෂන සංස්ථාව සහ ඉංජිනේරු සංස්ථාව වැනි බොහෝ රාජ්‍ය ව්‍යවසායන් සම්බන්ධයෙන් ආන්ඩුවට ඒ හා සමාන සැලසුම් ඇත.

මේ වසරේ ජනාධිපතිවරනය පැවැත්වුවහොත් සහ ඉන් ජාජබ හෝ සජබ බලයට පත් වුවහොත්, ඔවුන්, වික්‍රමසිංහ ආන්ඩුව මෙන්ම කුරිරු ලෙස ජාමූඅ කප්පාදු මහජනයා මත පටවනු ඇත.

මේ ප්‍රහාර පරාජය කරන බවට වෘත්තීය සමිති නායකයින් පුනපුනා දොඩවන හිස් වහසිබස් කම්කරුවන් විසින් ප්‍රතික්ෂේප කල යුතු ය; එය අරමුනු කර ඇත්තේ ඔවුන්ගේ කෝපය පතුරුවා හැරීම පමනි. රාජ්‍ය ව්‍යවසායයන්හි හි සියලුම සේවකයින් වෙනත් මාර්ගයක් ගත යුතුය. කම්කරු පන්තියට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිලිවෙල සහ රාජ්‍ය මර්දනය පරාජය කල හැක්කේ එහි කාර්මික හා දේශපාලන ශක්තිය ඒකාබද්ධ අරගලයක් තුල බලමුලු ගැන්වීමෙන් පමනි.

මෙය සූදානම් කරන්නේ කෙසේද? කම්කරුවන්, සියලු ධනේශ්වර පක්ෂ හා වෘත්තීය සමිති වලින් ස්වාධීනව, සෑම වැඩපලකම සහ වතුකරයේ ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත් කරගත් කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩ නැගිය යුතුය.

එවැනි ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම, ඒ හා සමාන ජීවන හා සමාජ කොන්දේසිවලටත්, ප්‍රහාරයන්ටත් මුහුන දී සිටින කම්කරු පන්තියේ අනෙකුත් කොටස් සහ ජාත්‍යන්තර සහෝදර සහෝදරියන් වෙත ලඟා වීමට මග පාදයි; එමෙන්ම, කම්කරුවන්ගේ අයිතීන් ආරක්ෂා කර ගැනීම සඳහා මහා වැඩ වර්ජනයක් සූදානම් කිරීම ඇතුලු පන්ති ක්‍රියාමාර්ග පිලිබඳව ප්‍රජාතන්ත්‍රවාදීව සාකච්ඡා කිරීමට ද ඒ සඳහා කම්කරුවන් එකමුතු කිරීමට හා අරගලවලට අවතීර්න වීමට ද එම කමිටු අවස්ථාව සලසා දෙයි.

ධනවාදය තුල කම්කරුවන්ගේ හා දුගීන්ගේ අයිතීන් රැකගත නොහැකිය. ඒ සඳහා පදනම දැමිය හැක්කේ ධනපති ක්‍රමය පෙරලා සමාජවාදී ක්‍රමයක් ස්ථාපිත කිරීමෙන් පමනි.

Loading