වෘත්තීය සමිතිවල පූර්න සහයෝගය ඇතිව ශ්‍රී ලංකා රක්ෂන සංස්ථාව පුද්ගලීකරනය කිරීමේ ක්‍රියාවලිය අරඹයි

වෘත්තීය සමිතිවල පූර්න සහයෝගය ඇතිව, සේවකයන්ගේ බරපතල විරෝධය නොතකමින්, ශ්‍රී ලංකා රක්ෂන සංස්ථාව රාජ්‍ය සමාගම් දෙකකට කඩා වෙන් කිරීමට ද එහි සේවකයන් ගේ සේවය අහෝසි කොට නව පත්වීම් ලිපි මගින් එම සමාගම් දෙකට ඔවුන් අනුයුක්ත කිරීමට ද සංස්ථාවේ පාලානාධිකාරිය පියවර ගෙන තිබේ. ඒ අනුව, සංස්ථාවේ ජීවිත සහ සාමාන්‍ය රක්ෂන ව්‍යාපාර කටයුතු එහි පූර්න අනුබද්ධ ආයතනයන් ලෙස අලුතෙන් ස්ථාපිත කර තිබෙන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලයිෆ් ලිමිටඩ් සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් යන සමාගම් වෙත පැවරෙයි.

මෙය රාජ්‍යව්‍යවසායන් ප්‍රතිව්‍යුහකරනය යටතේ කෙරෙන අතර එය රක්ෂන සංස්ථාව පුද්ගලීකරනයේ පලමු පියවර ද වනු ඇත. සංස්ථාවේ 2400ක් පමන වන සේවකයන්ගේ හා නියෝජිත කාර්යාල 150 ක සේවය කරන 10,000ක් පමන වන රක්ෂන නියෝජිතයන් ගේ රැකියා හා සේවා කොන්දේසිවලට එය ඍජුව බලපාන බව සේවකයෝ කියති. වැඩි ආදායමක් ලබන ජීවිත රක්ෂනයේ වාසිදායක තත්වයන් සාමාන්‍ය සේවකයන්ට නොලැබෙන අතර, මාසික වැටුපක් නො ලබන, රක්ෂන හිමියන්ගෙන් ආවරනය කෙරෙන මුදලට අදාලවන කොමිස් මුදලක් පමනක් ලබන, අලෙවි නියෝජිතයන් ගේ මාසික ආදායම කෙරෙහි ද එය දැඩි ලෙස බලපායි.

සිය කැමැත්තෙන් ශ්‍රී ලංකා රක්ෂන සංස්ථාවෙන් ඉල්ලා අස්වී නව සමාගම් වලට බැඳීමට එකඟ වන බවට ජනවාරි 30 දාතමින් සේවකයන් වෙත යොමුකල ලිපියක ට සංස්ථා බලධාරීන් විසින් අත්සන් ලබා ගෙන ඇති අතර පෙබරවාරි 1 වෙනිදා ඔවුන් ට නව පත්වීම් ලිපි නිකුත් කර තිබේ ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත්කල මෙම ලිපිවල සිංහල හෝ දෙමල පරිවර්තන ලබා දී නැත. සංස්ථා බලධාරීන් ගේ මෙම මැරතන් ක්‍රියාවලිය සේවකයන්ගෙන් මතු විය හැකි විරෝධයකට ඉඩ නොතැබීම සඳහා ගත් දැනුවත් පියවරකි.

ශ්‍රී ලංකා රක්ෂන සංස්ථාව යටතේ තිබුන “නිවාඩු සහ විශ්‍රාම අරමුදල් ඇතුලු ප්‍රතිලාභ” එලෙසම පවතින බවට නව පත්වීම් ලිපියෙහි සඳහන් කර ඇතත්, ඒ පිලිබඳව සේවකයන් අතර එතරම් විශ්වාසයක් නැති බවත්, වෘත්තීය සමිති, ආන්ඩුව සහ සංස්ථා පාලනාධිකාරිය සමග එක්ව කටයුතු කරන බවත් සේවකයෙකු පැවසීය.

නව සමාගම් වලට බැඳීමට සේවකයන් අකමැති වූ නමුත්, කිසිදු වෘත්තීය සමිතියක් නව සමාගම් පිහිටුවීමට විරුද්ධ නොවීම නිසා අකමැත්තෙන් එය පිලිගත් බව සේවකයෙකු පැවසීය. “ඉංග්‍රීසියෙන් දුන්න ලිපි අධ්‍යනය කරන්න අපට වෙලාවක් දුන්නේ නැහැ. පෙබරවාරි පලවෙනිදා, බ්‍රහස්පතින්දා උදේ10.30ට විතර දුන්න ලිපිවලට අත්සන් කරලා සිකුරාදා උදේ 9.30 වෙන කොට දෙන්න කිව්වා පඩි හදන්න ඔින කියල. අලුත් පත්වීම් ලිපියට සමාජ මාධ්‍ය භාවිතය පිලිබදව අලුත් වගන්තියක් දාලා තියෙනවා. නව සමාගම සමුහ ව්‍යාපාරයක් නිසා කලමනාකාරිත්වය ට අවශ්‍ය විදිහට එක සමාගමක ඉදලා වෙනත් ඔිනම සමාගමකට අපව මාරු කරන්න පුලුවනි” යැයි ඔහු සඳහන් කලේ ය.

ස්වෙච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීම සහ පුර්ව විශ්‍රාම ගැන්වීම යන ව්‍යාපෘතීන් දෙකක් යටතේ රැකියා කප්පාදු කිරීම ට ආන්ඩුව සහ සංස්ථා බලධාරීහු පසුගිය වසරේ උත්සාහ කලහ.

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරනය යටතේ 2011 අංක 3 දරන රක්ෂන කර්මාන්තය විධිමත් කිරීමේ (සංශෝධන) පනතේ විධිවිධානවලට අනුව ශ්‍රී ලංකා රක්ෂන සංස්ථාවේ ජීවිත සහ සාමාන්‍ය රක්ෂන ව්‍යාපාර වෙනම නෛතික ආයතන ලෙස ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා මුදල්, ආර්ථික ස්ථායීකරන සහ ජාතික ප්‍රතිපත්ති ඇමති ලෙස ජනාධිපති වික්‍රමසිංහ විසින් පසුගිය වසරේ මාර්තු 13 වෙනිදා ඉදිරිපත් කල යෝජනාවක් අමාත්‍ය මන්ඩලය විසින් අනුමත කරනු ලැබ ඇත.

මහින්ද රාජපක්ෂ ආන්ඩුව විසින් 2011 සහ 2014 ගෙන ආ සංශෝධිත පනත් හරහා රක්ෂන සංස්ථාව ප්‍රතිව්‍යහකරනය කිරීම ට උත්සාහ කල නමුත් සේවකයන් ගේ බරපතල විරෝධය නිසා එය කල් දැමුනි. එහෙත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමූඅ) ආර්ථික කප්පාදු වැඩ පිලිවෙල යටතේ රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහකරනය සහ පුද්ගලීකරනය වික්‍රමසිංහ ආන්ඩුව විසින් වේගවත් කිරීම යටතේ මෙම පියවර ගෙන ඇත.

2022 දෙසැම්බර් 08 රක්ෂන සංස්ථාව පුද්ගලීකරනයට සහ ආයතනය තුල දූෂනයට, 2023 පෙබරවාරී 15 වනදා උද්ධමනයට පහලින් වැටුප් සහිත තුන්- අවුරුදු සාමූහික ගිවිසුමට සහ යලිත් 2023 මාර්තු 15 පුද්ගලීකරනයට සහ ආයතනය තුල දූෂනයට විරුද්ධව රක්ෂන සේවකයෝ උද්ඝෝෂන වල නිරත වූ හ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, සමගි ජන බලවේගයේ සමගි සේවක සංගමය, එක්සත් ජාතික පක්ෂයේ ජාතික සේවක සංගමය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ පොදජන ප්‍රගතිීශීලී සේවක සංගමය, ජනතා විමුක්ති පෙරමුනේ අන්තර් සමාගම් සේවක සංගමය සහ ස්වාධීනයැයි කියාගන්නා සමිති ද ඇතුලු සංස්ථාවේ වෘත්තීය සමිති සියල්ලම සේවකයන්ගෙන් මතු වූ මෙම අරගල පාවාදෙමින් ප්‍රතිව්‍යුහකරනය ක්‍රියාවට දැමීම සඳහා ධනපති ආන්ඩුවලට සහ සංස්ථා බලධාරීන්ට සහයෝගය දුන්හ. ඉන් අත ශක්තිමත් කර ගත් සංස්ථා බලධාරීහු සේවකයන් ත්‍රස්ත කරමින් ප්‍රතිව්‍යුහකරනය ක්‍රියාවට දැමීම ට කටයුතු කරමින් සේවකයන් ට විරුද්ධව මර්දනකාරී පිලිවෙතක් අනුගමනය කලහ.

මාර්තු 15 උද්ඝෝෂනයෙන් පසුව “ආයතන පරිශ්‍රය තුල නීති විරෝධි ලෙස රැස්වූයේ” යැයි චෝදනා කරමින් කලමනාකාරීත්වය සටන්කාමී සේවකයන් 50 කට අවවාද ලිපි නිකුත් කල අතර දෙසැම්බර් 08 සහ මාර්තු 15 උද්ඝෝසන සංවිධානය කිරීමේ චෝදනාව යටතේ 2023 ජුනි ද 05 වෙනි දා රක්ෂන සංස්ථා පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් දිවාකර ඇතුගල වහාම ක්‍රියාත්මකවන පරිදි කලවාන කාර්යාලයට මාරු කලේ ය. ඇතුගලගේ දඬුවම් මාරුවට එරෙහිව රක්ෂන සේවකයන් සියගනනක් ජුනි 06 වෙනි දා වර්ජනය කල නමුත් සෙසු වෘත්තීය සමිති නායකයෝ සහ රක්ෂන සංස්ථා පොදු සේවක සංගමයේ අනෙකුත් නායකයෝ එය හුදකලා කොට පාවාදුන්හ.

දිවාකර, තමා අනෙක් සමිති නායකයන්ගෙන් වෙනස්බව පෙන්වනුවස් සංස්ථාව දෙකඩ කිරීමට විරුද්ධව කම්කරු උසාවියේ සහ අභියාචනාධිකරනයේ නඩු පවරා ඇත. කෙසේ නමුත්, අනෙක් සමිති නායකයන් මෙන්ම ඇතුගල ද ආන්ඩුවේ ප්‍රහාරයන්ට එරෙහිව කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් වර්ධනය කිරීමට එරෙහිය.

ධනේශ්වර අධිකරනය ට ආයාචනා කිරීමෙන් පුද්ගලීකරනය නතර කිරීම ට හෝ කම්කරුවන්ගේ රැකියා ආරක්ෂා කරගත නොහැකිය. සමුපකාර තොග වෙලද සංස්ථාව අහෝසි කර කම්කරුවන් 293 ක් දොට්ට දැමීමට එරෙහිව එහි වෘත්තීය සමිති විසින් පැවරු නඩුව අභියාචනාධිකරනය ඉවත දැමුවේ “රජයේ ආර්ථික ප්‍රතිසංස්කරන පිලිවෙත ට බාධා කිරීමට අධිකරනය අපේක්ෂා නොකරන” බව සඳහන් කරමිනි.

සේවකයන් ට එරෙහි මර්දනය මුදා හැරෙද්දී 2023 ජුලි 12 වෙනි දා රක්ෂන සංස්ථාවේ සභාපතිට යවනලද ලිපියකින් ස්වෙච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමේ වැඩපිලිවලට තමන් මුලුමනින්ම එකඟ බව සමිති නායකයෝ ප්‍රකාශ කලහ. සේවක විරෝධය යටපත් කරමින් එය ක්‍රියාවට දැමීම පිලිබඳව ජුලි 16 සහ 17 දිනවල තුල්හිරියේ මාස් හෝල්ඩින්ග් ආයතනයේ පුහුනු මධ්‍යස්ථානය තුල මත්පැන් සහ රස මසවුලින් සප්පායම් වෙමින් සංස්ථා කලමනාකාරිත්වය සමග වෘත්තීය සමිති නායකයෝ සුහද සාකච්ඡාවක නිරතවූහ.

ආන්ඩුව සහ සංස්ථා බලධාරීන් වෙනුවෙන් ඉටුකරන මෙම සේවයට 'කෘතගුන' සැලකීමක් ලෙස සමිති නායකයන් ට වරප්‍රසාද ලැබෙන බවත් ඒ අනුව මේ වන විට සමිති නායකයන් දෙදෙනෙකුට රක්ෂන සංස්ථාවේ ශාඛා දෙකක කලමනාකාර ධූර ලැබී ඇති බවත් සේවකයෝ පැවසූහ.

ජාමූඅ ඩොලර් බිලියන තුනක ඇපනය මුදල ලබාදීමේ කොන්දේසි යටතේ නියෝග කර තිබෙන ආර්ථික කප්පාදු වැඩපිලිවෙලේ කොටසක් ලෙස ආන්ඩුව විසින් රක්ෂන සංස්ථාව, ලංකා විදුලිබල මන්ඩලය, ටෙලිකොම්, තෙල් සංස්ථාව ඇතුලු රාජ්‍ය ආයතන සියගනනක් ප්‍රතිව්‍යුහකරනය /පුද්ගලීකරනය කලයුතුය. මේ වනවිට වික්‍රමසිංහ ආන්ඩුව ශ්‍රී ලංකා රක්ෂ සංස්ථාව සහ ලිට්‍රෝ ගෑස් සමාගම ඇතුලු රාජ්‍ය ව්‍යාපාර 7 ක රජයේ කොටස් විකිනීමට තීරනය කර තිබේ.

ප්‍රතිව්‍යුහකරන ක්‍රියාවලිය සඳහා නෛතික පදනම වඩා ශක්තිමත් කෙරෙන රාජ්‍ය ව්‍යවසාය පනත් කෙටුම්පතක් මේ වසරේ මැද වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආන්ඩුව කටයුතු කරමින් සිටී. රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහකරනය/ පුද්ගලීකරනය යටතේ රාජ්‍ය අංශයේ කම්කරුවන් ලක්ෂ පහක පමන රැකියා අහිමි කෙරෙනු ඇත. එහෙත් රක්ෂන සංස්ථාවේ සමිති ද ඇතුලුව රාජ්‍ය අංශයේ සියලු වෘත්තීය සමිති ඊට එරෙහිව කම්කරු පන්තියේ දැනුවත් හා ඒකාබද්ධ අරගලයක් සංවිධාන කිරීම මුලුමනින් ම ප්‍රතික්ෂේප කරති.

කම්කරුවන් අරගලවලට එලැඹීමට උත්සාහ කරන විට ඔවුහු එම අරගලවල ගෙල සිරකරති. ඔවුන් ව රැවටීම සඳහා 'දැවැන්ත අරගල' සහ 'මහ වැඩවර්ජන' ගැන යලි යලිත් පාරම්බාන ඔවුහු ආන්ඩුවට ආයාචනා කරන නිස්සාර උද්ඝෝෂන වලට කම්කරුවන් කොටුකර ඔවුන්ගේ සටන්කාමිත්වය මොට කිරීමට සහ දුර්මුඛ කිරීමට වැඩ කරති.

රක්ෂන සංස්ථා සේවකයන් මෙන්ම, ටෙලිකොම්, විදුලිබල සහ ඛනිජ තෙල් ඇතුලු පුද්ගලීකරනයට නියමිත සියලු ක්ෂේත්‍රයන්හි කම්කරුවන් පසුගිය මාස කීපය තුල ලබාගත් අත්දැකීම් වලින් සනාථ වී ඇත්තේ සමාජවාදී සමානතා පක්ෂය වෘත්තීය සමිති සම්බන්ධයෙන් කල විශ්ලේෂනයන්ගේත්, රාජ්‍ය අංශයේ රැකියා රැක ගැනීමට ඉදිරිපත් කල වැඩපිලිවෙලේත් නිරවද්‍යභාවය යි.

“ශ්‍රී ලංකා රක්ෂන සංස්ථාවේ කම්කරු දඩයමට එරෙහිවෙනු!”යන හිසෙන්, 2023 මැයි 31 දා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පල කෙරුනු ලිපියක අපි මෙසේ සඳහන් කලෙමු:

“ආන්ඩුවේ පුද්ගලීකරන න්‍යාය පත්‍රය සහ එහි පුලුල් කප්පාදු පිලිවෙත් පරාජය කල හැක්කේ, ධනේශ්වර ගැති වෘත්තීය සමිති වලින් ස්වාධීනව සහ ආන්ඩුවට සහ ධනේශ්වර පාලනයට අභියෝග කරන දේශපාලන මූලෝපායක් මත පදනම් වූ කම්කරු පන්තියේ ඒකාබද්ධ ව්‍යාපාරයකට පමනි. මෙයින් අදහස් කරන්නේ, ශ්‍රීලංරස සේවකයින් අතර ඇතුලුව සෑම සේවා ස්ථානයකම, කම්හලක, වතුකරයේ සහ අසල්වැසි ප්‍රදේශයකම කම්කරුවන්ගේ ස්වාධීන ක්‍රියාකාරී කමිටු පිහිටුවීමට අවශ්‍ය වන අතර කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය හරහා ඔවුන්ගේ ජාත්‍යන්තර සහෝදර සහෝදරියන් වෙත ලඟා විය යුතු බවයි.

“ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරී කමිටු, කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සඳහා සසප ඉදිරිපත් කරන ඉදිරිදර්ශනය සඳහා සටන් කල යුතුය. දිවයින පුරා කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටු වලින් ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත් කරගත් නියෝජිතයින් මත පදනම් වන මෙම සම්මේලනය, වික්‍රමසිංහ පාලනයට එරෙහිව සටන් කිරීමටත්, සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමටත්, කම්කරුවන්ගේ සහ පීඩිත ජනතාවගේ අවශ්‍යතා සහ අයිතිවාසිකම් සුරක්ෂිත කරන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමටත් අවශ්‍ය අඩිතාලම දමනු ඇත.”

වික්‍රමසිංහ ආන්ඩුවේ ප්‍රහාරයන්ගෙන් බැටකන රක්ෂන සංස්ථා සේවකයන් ඇතුලු සමස්ත කම්කරු පංතියට එම ප්‍රහාර පරාජය කල හැක්කේ ඉහත ක්‍රියාමාර්ගය මත සටන් වැදීමෙන් පමනක් බව අපි යලිත් අවධාරනය කරන්නෙමු.

Loading