මහබැංකු සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට එරෙහිව ධනපති පාලක පංතිය පෙලගැසෙයි

2024 පෙබරවාරි මස මුල දී, ශ්‍රී ලංකා මහබැංකුවේ සියලු සේවකයන් සඳහා වැටුප් වැඩි කිරීමක් ප්‍රකාශයට පත් කෙරුනි. මේ අනුව, සෑම සේවකයෙකුටම සියයට 29 සිට සියයට 89 දක්වා වන පරාසයක වැටුප් වැඩි කිරීමක් සිදුකෙරී ඇත.

කෙසේ නමුත්, මෙයට එරෙහිව, ආන්ඩුවේ සහ විපාර්ශ්වයේ ධනපති පක්ෂ සහ ධනපති මාධ්‍ය තුච්ඡම ගනයේ ප්‍රතිගාමී උද්ඝෝෂනයක් දියත්කර ඇත. පාර්ලිමේන්තුව තුල මෙහි ආරම්භකත්වය ගත්තේ, විපක්ෂ සමගි ජන බලවේගය (සජබ) යි. පෙබරවාරි 20 දා, මෙම 'බලහත්කාරී' වැටුප් වැඩි කිරීමට විරෝධය පලකල පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂ සංවිධායක, සජබ මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල, එය 'වහාම' නතර කලයුතු බව පවසමින්, ඒ සඳහා ආන්ඩුව ගන්නා ක්‍රියාමාර්ගය කුමක්දැයි ප්‍රශ්න කලේය.

ලක්ෂ්මන් කිරිඇල්ල [Facebook-Lakshman Kiriella]

'වත්මන් ආර්ථික අර්බුදයට මහබැංකුව ද වගකිව යුතුයි. අනෙක් අයට පටි තද කරගන්නා ලෙසත්, කාර්ය මන්ඩලය අවමය දක්වා කප්පාදු කරන ලෙසත් උපදෙස් දෙන අතරේ ඔවුන් තමන්ගේ වැටුප් වැඩිකරගෙන තිබෙනවා' යැයි කියාසිටි කිරිඇල්ල, 'පියන් කෙනෙකුගේ වැටුප් රුපියල් 75,000 කින් වැඩි කර තිබෙනවා' යැයි නරුම ලෙස පැවසීය.

සැබැවින්ම, පසුගිය වසර කීපය තුල ඉහල ගිය දැවැන්ත ජීවන වියදම සැලකූ කල මෙම රුපියල් 75,000 ක වැටුප් වැඩිවීම කිසිසේත්ම නොපෑහෙන බව කිරිඇල්ල නොදන්නවා නොවේ. මහ බැංකුවේ සංඛ්‍යා ලේඛන වලින්ම පෙන්වා දෙන පරිදි, 2021 අගෝස්තු සිට 2023 අගෝස්තු දක්වා කාලය තුල ජීවන වියදම සියයට 70.9 කින් ඉහල නැග ඇත. එසේ වුවද, මහබැංකුවේ 'පියන් කෙනෙකු' හෙවත් කාර්යාල සහායකයින්ගේ වැටුප් වැඩිකර ඇත්තේ සියයට 29.53 සිට සියයට 35 දක්වා පරාසයකින් පමනි.

යමෙකුගේ රැකියාවේ ස්වභාවය කුමක් වුවද, ඔහුට හෝ ඇයට තම දරුපවුල් සමග ශීලාචාරව ජීවත් වීමට, නැතහොත් තම පවුලේ මූලික අවශ්‍යතා සපුරා ගැනීමට ප්‍රමානවත් වැටුපක් ලැබිය යුතුය යන්න පිලිගත් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයකි. එයට විපරීතව, ධනපති ක්‍රමයේම නිර්මිතයක් වන සමාජ අසමානතාවයන්ගේ පදනම මත වැටුප් නිර්නය කිරීමේ පසුගාමිත්වයට ආමන්ත්‍රනයකොට කම්කරු පංතිය භේද කිරීමේ අරමුනෙන්, ඔහු මහබැංකුවේ 'පියන් කෙනෙකුගේ වැටුප් වැඩිවීම' උලුප්පා දක්වයි.

දැනට විපක්ෂයේ අසුන්ගෙන සිටින, පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් ද මහජන මුදල් පිලිබඳ කාරක සභාවේ පසුගිය රැස්වීමේදි, මෙම පසුගාමිත්වයට ආමන්ත්‍රනය කලේය. 'පියන් කෙනෙකුගේ වැටුප මසකට රුපියල් 280,000 කට වඩා වැඩි බව මට ආරංචි වුනා. එය ජනාධිපති ලේකම්ගේ වැටුපට වඩා බොහෝ වැඩියි.'

ධනපති මාධ්‍ය බිස්ස ද මෙයට යහමින් සම්මාදම් වෙයි. මාර්තු 04 දා, දි අයිලන්ඩ් හි 'පඩි වැඩිවීම් ගැන ඝෝෂාව' යන මැයෙන් පල වූ කතුවැකිය මහ බැංකුවේ සේවකයින්ගේ වාර්ෂික වැටුප් වැඩිවීම්වල 'සාමාන්‍ය ප්‍රතිශතයන්' සොයා ඒවා අනෙකුත් අංශවල 'වෘත්තිකයන්ට' හිමි වැටුප් සමඟ 'සංසන්දනය' කල යුතු බවත්, මහ බැංකුවේ බඳවා ගැනීමේ 'නිර්නායක' සහ මහ බැංකුවේ නිලධාරීන්ගේ 'අධ්‍යාපනික සහ වෘත්තීය සුදුසුකම්' හෙලිදරව් කල යුතු බවත් කියා සිටී.

ප්‍රධාන විපක්ෂ සංවිධායක කිරිඇල්ල පෙබරවාරි 20 දා පාර්ලිමේන්තුවේදී කල කතාව ඉදිරියට ගෙනයමින් තවදුරටත් කියා සිටියේ, මහබැංකුවේ 'ස්වාධීනත්වය' යන්නෙන්, එයට පාර්ලිමේන්තුව නොතකා තීන්දු තීරන ගත හැකිය යන්න අදහස් නොකෙරෙන බවයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කප්පාදු විධානයන් අබාධිතව ක්‍රියාත්මක කරනුවස් මහබැංකුවට 'ස්වාධීනත්වය' ලබාදීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව පසුගිය වසරේ දී මහබැංකු පනත සංශෝධනය කලේය.

මේ අතර, මහබැංකුවේ වැටුප් වැඩි කිරීමට විරෝධය පලකරමින්, ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) දේශපාලන මන්ඩල සභික බිමල් රත්නායක, ද ලීඩර් වෙබ් අඩවියට පවසා ඇත්තේ, එවන් පියවර ගතහැකිවන පරිදි මහබැංකුවට 'ස්වාධීනත්වය' ලබාදීම සම්බන්ධයෙන් වත්මන් වික්‍රමසිංහ ආන්ඩුව 'වගකිවයුතු' බවයි.

විපක්ෂයේ ඉල්ලීම මත, මාර්තු 6 දා, අගමැති දිනේශ් ගුනවර්ධන විසින් අදාල වැටුප් වැඩිවීම පිලිබඳ වාර්තාවක් පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන ලදී. ඔහු ද, විපක්ෂය සමග පෙලගැසෙමින් කියා සිටියේ, වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් මහබැංකුවට බලයක් ඇතත්, මෙම වැඩි කිරීම 'ඉතා ඉහල' බවයි.

මේ පසුබිම තුල, මාර්තු 16 දා, මහජන මුදල් පිලිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට, මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ ප්‍රමුඛ මහබැංකුවේ ජ්‍යෙෂ්ඨ කලමනාකරනය කැඳවන ලදී. වැටුප් වැඩි කිරීම පිලිබඳව කරුනු දක්වමින් වීරසිංහ එහිදී කියා සිටියේ, 1949 මුල්‍ය නීති පනතේ අංක 58 සහ 2023 මහබැංකු පනතේ අංක 16 යන ප්‍රතිපාදන මත තම කලමනාකරනයට එවන් වැටුප් වැඩිවීමක් සම්බන්ධ පියවර ගැනීමට බලය පැවරී ඇති බවයි. වෘත්තීය සමිති සහ කලමනාකරනය අතර ඇතිකරගත් සාමූහික ගිවිසුම මත මෙම වැටුප් වැඩි කිරීම සිදු වූ බව, එහිදී විශේෂයෙන්ම අවධාරනය කෙරුනි.

මේ අතර, කාරක සභාවේ සභාපති, සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා කියා සිටියේ, ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වන ඡේදයට අනුව මෙම වැටුප් මහජන මුදල් වලට අයත් වන බැවින්, ඒ පිලිබඳ තීන්දු තීරන ගැනීමේ බලය ඇත්තේ පාර්ලිමේන්තුවට බවයි.

ස්වාධීන කමිටුවක් මගින් මහබැංකුවේ වැටුප් වැඩි කිරීමේ සාමූහික ගිවිසුම යලි විමර්ශනය කලයුතු බවට මහජන මුදල් පිලිබඳ කාරක සභාවේ සභාපතිවරයා නිර්දේශ කර ඇති බවත්, ඒ අනුව කටයුතු කරන බවත්, එම හමුවෙන් පසු ප්‍රකාශයක් නිකුත් කරමින්, මහබැංකු කලමනාකරනය කියා සිටියේය.

කෙසේ නමුත්, ඉහත කාරක සභා රැස්වීමේදී මෙන්ම, පාර්ලිමේන්තුවේදී සහ ඉන් පිටතදී ආන්ඩුවේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් මූලික වශයෙන්ම අවධාරනය කරනුයේ, 'රට දැඩි ආර්ථික අර්බුදයක ගිලී සිටියදී' මෙවන් වැටුප් වැඩි කිරීමක් 'අසාධාරන' බවයි. ධනපති මාධ්‍යයන්ගේ ද ධනපති පංතියේ ප්‍රධාන උපකරනයක් වන සමිති නිලධරයේ ද මූලික තර්කය එයයි.

කම්කරු පංතිය මෙම ප්‍රලාපය එකහෙලා ප්‍රතික්ෂේප කල යුතුය. මහබැංකුවේ ඉහල කලමනාකාරිත්වයේ වැටුප් වැඩි කිරිම් කෙසේ වෙතත්, කලින් පෙන්වාදුන් පරිදි, ඉහල ගොස් ඇති ජීවන වියදමට සමානුපාතිකව සාමාන්‍ය සේවකයන්ගේ වැටුප් ඉහල දමා නොමැත. ඒ අර්ථයෙන් ගත්කල මෙම වැටුප් වැඩි කිරීම 'අසාධාරන' වෙයි.

ධනපති පාලක පංතිය ඉහත කුතර්කය තොරොම්බල් කරනුයේ, අනෙකුත් ක්ෂේත්‍රයන්හි කම්කරුවන් ද ඉහල වැටුප් වැඩිවීම් ඉල්ලා සටනට අවතීර්න වෙතැයි යන භීතියෙනි. පාලක පංතියේ සියලුම කොටස්, පුද්ගලීකරනය, බදුබර ඉහල දැමීම, ජල සහ විදුලි ගාස්තු ඉහල දැමීම, මහජන සෞඛ්‍යය සහ අධ්‍යාපනය කප්පාදු කිරීම ඇතුලු ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ න්‍යාය පත්‍රයට මුලුමනින්ම එකඟය.

වික්‍රමසිංහ-පොදුජන පෙරමුනු ආන්ඩුවට එරෙහිව වැඩෙන මහජන කෝපය ගසා කමින්, බලයට ඒමට යත්න දරන සජබ සහ ජවිපෙ, තමා බලයට පැමිනියහොත් ජාමූඅ සමග 'යලි සාකච්ඡා' කරන බව පවසති. ඊට විපරීතව, තම න්‍යාය පත්‍රයෙන් දශමයකින් හෝ බැහැර වුවහොත් නය වාරික නතර කරන බවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අඛන්ඩව කරන තර්ජනය හමුවේ, ඔවුන් ද බලයට පැමිනියහොත් වත්මන් ආන්ඩුව මෙන්ම අර්බුදයේ සියලු බර කම්කරු පංතිය මත පටවනු ඇත.

මෙහි ලා වෘත්තීය සමිති ප්‍රමුඛ කාර්යයක් ඉටු කරයි. 'රට මුහුන දී සිටින දැඩි ආර්ථික අර්බුදය හමුවේ අපි මස් රාත්තලම ඉල්ලන්නේ නැතැ' යි සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවි කුමුදේශ් කරන ප්‍රකාශයන් තුල එය වඩාත් විශදව ප්‍රකාශයට පත්වෙයි. 'ආර්ථික යුක්තිය ඉටු කරනු' යනුවෙන් ඔවුන් ගෙනයන උද්ඝෝෂනයේ අරමුන ද, 'වැඩිවන ජීවන වියදමට සමානුපාතිකව වැටුප් වැඩි කරනු!' ඇතුලු කම්කරු පංතියේ අව්‍යාජ ඉල්ලීම් වලකා ලීමයි. 'ආර්ථික යුක්තිය' යටින් දිවෙන සංකල්පය වනුයේ, 'පාලකයනි, අපි ඔබේ අර්බුදයට කම්කරුවන් ලවා කර ගසා දෙන්නම්. ඔවුන් මෙල්ලකර තබා ගැනීම සඳහා ඔවුනට සොච්චමක් ලබා දෙන්න' යන්නයි.

අනෙක් අතට, තම ආන්ඩුවක් පැමින ප්‍රශ්න විසඳනතෙක් 'ඉවසා' සිටින ලෙස ජවිපෙ සහ සජබ සමිති නායකයන් කම්කරුවන් හමුවේ කරන ප්‍රකාශයන් තුල ගැබ්ව පවතින්නේ, කම්කරුවන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රහාරයන්ට යටත්කොට, ඔවුන් බලයට පැමිනි පසු එම ප්‍රහාරයන් තීව්‍ර කිරීමේ අරමුනයි.

සජබ, ජවිපෙ, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුන සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුලු ධනපති පක්ෂ සහ වෘත්තීය සමිතිවල කියාපෑම් අනුයමින්, කම්කරුවන්, ධනපතියන්ගේ අර්බුදයට කර ගැසිය යුතු නොවේ. ඊට විපරීතව, ජීවන වියදමට සරිලන වැටුප් ඇතුලු අනෙකුත් අයිතීන් දිනා ගැනීම සඳහා ධනපති ආන්ඩුවට සහ සමස්ත ධනපති ක්‍රමයට එරෙහිව කම්කරු පංතියේ දේශපාලන ප්‍රතිප්‍රහාරයක් සූදානම් කලයුතු ය.

.

Loading