ශ්‍රී ලංකාවේ පක්ෂ, ජනාධිපතිවරනය සහ පාර්ලිමේන්තු මැතිවරනය පවත්වන දිනයන් සම්බන්ධයෙන් නීච උපාමාරුවල

[මෙය Sri Lankan parties in sordid maneuvers over presidential and national election dates යන මැයෙන් 2024 මාර්තු 28 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

රනිල් වික්‍රමසිංහ [මූලාශ්‍රය: එක්සත් ජාතික පක්ෂය ෆේස්බුක්] [Photo: United National Party Facebook]

පැවැත්වීමට නියමිත ජනාධිපතිවරනයෙන් හෝ පාර්ලිමේන්තු මැතිවරනයෙන් පලමුව තැබිය යුත්තේ කුමන චන්දය ද යන්න සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පාලක සහ විරුද්ධ පක්ෂ අතර ගැටුමක් පැනනැගී ඇත. ඔවුන්ගේ “මතභේදවලට”, ධනේශ්වර පාර්ලිමේන්තු සම්මතයන් හෝ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම සමග කිසිදු සම්බන්ධයක් නැත; ඊට ප්‍රතිකූලව, මෙම මතභේද වනාහි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) ම්ලේච්ඡ කප්පාදු පියවරයන් ක්‍රියාවට නැංවීමට සහ බලය රඳවා ගැනීමට හෝ ක්‍රියාත්මක කිරීමට මෙම අපකීර්තිමත් ධනේශ්වර පක්ෂ විසින් දමනු ලබන තුච්ඡ උපාමාරු වේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ (ශ්‍රීලංපොපෙ) සිට විපක්ෂයේ සමගි ජන බලවේගය (සජබ) සහ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ප්‍රමුඛ ජාතික ජන බලවේගය (ජාජබ) දක්වා සියලුම පක්ෂ, අත්‍යවශ්‍ය, මූලික සමාජ කොන්දේසිවලට ජාමූඅ නියම කර ඇති ප්‍රහාර එල්ල කිරීමට කැපවී සිටිති.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ ශ්‍රීලංපොපෙ පාලනය නෙරපා හරින ලද 2022 අප්‍රේල්-ජූලි මහජන විරෝධතා සහ වැඩවර්ජන නිසා මෙම සියලු පක්ෂ භීතියට පත්ව ඇත. වෘත්තීය සමිති සහ ව්‍යාජ වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) මෙම මහජන නැගිටීම පාවා දුන්නේ, ධනේශ්වර පාලනය ස්ථාවර කිරීම සඳහා අන්තර්වාර පාලන තන්ත්‍රයක් සඳහා සජබ සහ ජවිපෙ විසින් කරන ලද ඉල්ලීම් වලට එය යටත් කර දමමිනි. මෙය එක්සත් ජනපද ගැති වික්‍රමසිංහ විධායක ජනාධිපති ලෙස පත් කර ගැනීමට පාර්ලිමේන්තුවට මග පෑදීය.

විදුලිය, වරාය, දුම්රිය, තැපැල් හා සෞඛ්‍ය සේවකයින් ඇතුලු කම්කරු පන්තියේ ප්‍රධාන කොටස්වල වැඩ වර්ජන හා විරෝධතා නැගී ඒම ගැන ශ්‍රී ලංකාවේ පාලක පන්තිය සහ එහි පක්ෂ තදබල ලෙස තැතිගැනී සිටිති. අධ්‍යාපන කප්පාදුවලට විරුද්ධ සිසුන්ගේ සහ ගොවිතැන් හා ධීවර කර්මාන්තවල අර්බුදය සම්බන්ධයෙන් ගම්බද දුගීන්ගේ විරෝධතා ද නිතර පැන නැගෙමින් පවතී.

ව්‍යවස්ථානුකූලව, ජනාධිපතිවරනය ඔක්තෝබර් 18 ට මාසයකට පෙර ද, පාර්ලිමේන්තු මැතිවරනය ලබන වසරේ අගෝස්තු මාසයේදී ද පැවැත්විය යුතු ය.

නියමිත දිනට ජනාධිපතිවරනය පැවැත්විය යුතු බව, වික්‍රමසිංහ පසුගිය දෙසැම්බර් මාසයේ සිට අවධාරනය කරයි. පාලක ප්‍රභූවේ සහ ඉහල මධ්‍යම පන්තියේ සැලකිය යුතු කොටසකගේ සහය ඇතිව තම විධායක බලය ද යොදා ගනිමින් තමාට ජනාධිපති ධුරය ලබා ගැනීමට හැකි වනු ඇතැයි ඔහු ගනන් බලයි.

හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ 1977 එක්සත් ජාතික පක්ෂ (එජාප) ආන්ඩුවේ ඇමතිවරයෙකු ලෙස සිය දේශපාලන ජීවිතය ආරම්භ කල වික්‍රමසිංහ ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රහාර සම්බන්ධයෙන් කුප්‍රකටයෙකි. කම්කරුවන්ගේ හා දුප්පතුන්ගේ සමාජ අයිතීන් විනාශ කල ජයවර්ධනගේ “විවෘත වෙලඳපොල ආර්ථික ප්‍රතිපත්ති” පැනවීමට, බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි වර්ගවාදී යුද්ධයට සහ 1987–1990 දී තරුනයින් 60,000 ක් සමූල ඝාතනය කරමින් ග්‍රාමීය නොසන්සුන්තාව ලේ වැකි මර්දනයකට ලක්කිරීමට ඔහු සෘජුවම සම්බන්ධ විය.

විරෝධතාකරුවන්, 2022 ජූලි 9 සෙනසුරාදා, ශ්‍රී ලංකාවේ කොලඹ පිහිටි ජනාධිපති නිල නිවස දෙසට දිවෙන වීදියක රැස් ව සිටිති. (AP Photo/Amitha Thennakoon) [AP Photo/Amitha Thennakoon]

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ ආන්ඩුව නෙරපා හැරීමෙන් පසුව, 2022 දී පාර්ලිමේන්තුව විසින් ජනාධිපති ලෙස පත් කර ගන්නා ලද වික්‍රමසිංහ, කොලඹ මහජන විරෝධතා කුරිරු ලෙස මර්දනය කිරීමෙන් ඉක්බිතිව වහාම ජාමූඅ නියම කල සමාජ අයිතීන්ට එරෙහි ප්‍රහාර ක්‍රියාත්මක කිරීමට පටන් ගත්තේය. 2023 මාර්තු මස පැවැත්වීමට නියමිතව තිබූ පලාත් පාලන මැතිවරනයෙන් පරාජයට පත්වීමට බියෙන්, ආන්ඩුවට “අරමුදල් නැත” යයි කියමින් ඔහු බලහත්කාරයෙන් ඒවා කල් දැමීය.

කෙසේ වෙතත්, ශ්‍රීලංපොපෙ නායකයන්—හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ පක්ෂ සංවිධායක බැසිල් රාජපක්ෂ—ජනාධිපතිවරනයට පෙර මේ වසරේ ජාතික මැතිවරනය පැවැත්වීමට අවශ්‍ය බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති අතර, මෙම ඉල්ලීම සඳහා බලපෑම් කිරීමට මාර්තු 8 දා වික්‍රමසිංහ හමුවූහ. පාර්ලිමේන්තු සහයෝගය තමන්ට ලබා ගැනීම සඳහා වික්‍රමසිංහ මුලුමනින්ම වාරුවී සිටින්නේ මේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුන මත ය.

ජනාධිපතිවරනයෙන් කවුරුන් ජයග්‍රහනය කලද, එමගින් එක් පක්ෂයකට “අසීමිත බලයක්” ලබා දෙන නිසාත්, ජාතික මැතිවරන ප්‍රතිඵලයට එම ජනාධිපතිට දැවැන්ත බලපෑමක් කල හැකි නිසාත් තමාට අවශ්‍ය වන්නේ පලමුව පාර්ලිමේන්තු මැතිවරනයක් පැවැත්වීම බව බැසිල් රාජපක්ෂ මාධ්‍යයට පැවසීය. ඔහු මාර්තු 20 වැනිදා නැවතත් වික්‍රමසිංහ හමුවී මෙම ඉල්ලීම අවධාරනය කලේය.

'සාධාරන' ජාතික මැතිවරනයක් පිලිබඳ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනු නායකත්වයේ මවාපෑම ප්‍රෝඩාවකි; පාර්ලිමේන්තු මැතිවරන කොල්ලය සඳහා ඔවුන් විසින්මත් පෙර සිය 'අසීමිත බලය' යොදාගැනීම හෙලිදරව් වී ඇති කරුනකි. වික්‍රමසිංහ මෙන්ම, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද, කම්කරු පන්තියට ම්ලේච්ඡ ලෙස පහර දුන් දුෂ්ට ප්‍රජාතන්ත්‍ර-විරෝධී පාලන තන්ත්‍රයන්ට නායකත්වය දුන් අතර 2009 මැයි මාසයේදී දෙමල සිවිල් වැසියන් 40,000 ක් පමන ඝාතනය කිරීමෙන් අවසන් වූ එල්ටීටීඊයට එරෙහි කොලඹ යුද්ධය කරගෙන ගියේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුන පුලුල් ලෙස වෛරයට පාත්‍රව සිටින්නේ රාජපක්ෂ පාලනය පලවා හැරිය මහජන නැගිටීම පැනනැංවූ 2022 දී ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයේ බර කම්කරු පන්තිය සහ දුප්පතුන් මත නිර්දය ලෙස පැටවූ නිසා ය. 2020 අගෝස්තු ජාතික මැතිවරනයේදී එය මන්ත්‍රීවරුන් 225 දෙනෙකුගෙන් යුත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් දිනා ගත්තේය. බොහෝ දෙනා පක්ෂය හැරගිය බැවින් අද එහි සිටින්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 110 ක් පමනි. විපාර්ශ්වයේ පක්ෂයක ජනාධිපතිවරයෙකු යටතේ මැතිවරනයට මුහුන දුනහොත් තවත් ආසන අහිමිවී යතැයි ශ්‍රීලපොප බියවී සිටියි,

ප්‍රධාන පාර්ලිමේන්තු විරුද්ධ පක්ෂය සහ වික්‍රමසිංහගේ එජාපයේ අංකුරයක් වන සජබ එජාපය සිදුකල පෙර අපරාධ සියල්ලට වගකිව යුතුය. ඕනෑම ප්‍රධාන මැතිවරනයකට පක්ෂය සූදානම් බවට එහි ලේකම් රංජිත් මද්දුම බන්ඩාර කයිවාරු ගසන නමුත් මාධ්‍ය වාර්තා කර ඇත්තේ එම පක්ෂයේ කැමැත්ත ප්‍රථමයෙන් ජාතික මැතිවරනය පැවැත්වීම ගැන බවයි.

තම ප්‍රජාතන්ත්‍ර-විරෝධී අතීතය වසන් කිරීමට උත්සාහ දරමින්, මැතිවරන පෙරමුනක් වන ජාජබ හරහා ජනතා විමුක්ති පෙරමුන මැතිවරනයට ඉදිරිපත් වනු ඇත. ශ්‍රී ලංකාවේ ආන්ඩුවලට කෙලින්ම සම්බන්ධවී හෝ පිටත සිට, සිංහල ස්වෝත්තමවාදී ජවිපෙ එකදිගටම කොලඹ වර්ගවාදී යුද්ධයට සහ කප්පාදු පියවරයන්ට සහාය දුන්නේ ය. දැනටමත් සිය අපේක්ෂකයා ප්‍රකාශයට පත් කර ඇති ජනතා විමුක්ති පෙරමුන පසුගිය අගෝස්තු මාසයේ සිට ජනාධිපතිවරන ප්‍රචාරක කටයුතුවල නිරත වේ.

මාර්තු 23 දා පැවති ජනාධිපතිවරන ප්‍රචාරක රැස්වීමක් අමතමින් ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මෙසේ පැවසීය: “අපේක්ෂිත සමාජ වෙනසක් ඇති කිරීමට නම් [පාර්ලිමේන්තුවේ] ආසන 113 කින් ආන්ඩුවක් පිහිටුවාගෙන වැඩක් නැහැ කියලයි අපි හිතන්නේ. අපට අවශ්‍ය ඕනෑම දෙයක් කිරීමට, ශක්තිමත් බලයක් තිබිය යුතුයි.”

සිල්වාගේ 'සමාජ වෙනස්කම්' ජාමූඅ සමාජ ප්‍රහාර සෘජුව පැටවීමට වඩා අඩු දෙයක් නොවේ.

ජවිපෙ/ජාජබ පසුගිය මාස හය තුල ශ්‍රී ලංකාවේ ජාමූඅ කන්ඩායම දෙවරක් හමුවී ඇතත්, මෙම සාකච්ඡා පිලිබඳ කිසිදු තොරතුරක් ඔවුන් විසින් ප්‍රකාශයට පත් කර නොමැත. සිල්වාගේ ප්‍රකාශය, ඔවුන් තේරී පත් වුවහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉල්ලීම් ක්‍රියාත්මක කරන බවට, ජාත්‍යන්තර ප්‍රාග්ධනයට සහ ශ්‍රී ලංකාවේ ධනේශ්වර පන්තියට පැහැදිලි පනිවිඩයකි.

මෙම සියලු දේශපාලන පක්ෂවල නීච උපාමාරු, ශ්‍රී ලංකාවේ පාලක ප්‍රභූව මුහුන දෙන ගැඹුරු ආර්ථික හා දේශපාලන අර්බුදය වෙත යොමු වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාම ඉල්ලා අස්විය යුතු යැයි බල කරන පෙලපාලිකරුවන් සමඟ 2022 දී පැන නැඟුනු ආන්ඩු-විරෝධී විරෝධතා, ජනාධිපති රාජපක්ෂට සහ ඔහුගේ ආන්ඩුවට පමනක් නොව මුලු පාර්ලිමේන්තුවටම පුලුල් ජනතාවට පවතින විරුද්ධත්වය හෙලිදරව් කලේය. කොලඹ චින්තන පර්ෂදයක් වන විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් පසුගිය සතියේ නිකුත් කරන ලද සමීක්ෂනයකට අනුව, පාර්ලිමේන්තුව සහ දේශපාලන පක්ෂ කෙරෙහි මහජන විශ්වාසය පිලිවෙලින් සියයට 22 සහ සියයට 19 දක්වා පහත වැටී ඇති අතර එය මෙතෙක් අත්දුටු අවම අගයකි.

වික්‍රමසිංහ සහ පාලක ශ්‍රීලපොපෙ, කුරිරු අත්‍යාවශ්‍ය මහජන සේවා පනත (ඊපීඑස්ඒ) ප්‍රකාශයට පත් කරමින් ද, පොලිසිය සහ මිලිටරිය බලමුලු ගන්වමින් ද එහි ජාමූඅ ප්‍රතිපත්තිවලට එරෙහිව නැගෙන කම්කරු පන්තියේ විරෝධය මැඩලීමට උත්සාහ කර ඇත. විපක්ෂයේ සජබ සහ ජවිපෙ එයට ප්‍රතිචාර දක්වා ඇත්තේ, ඉදිරි මැතිවරනයේදී ඔවුන් තම තමන්ගේ පක්ෂවලට පිටුබලය දිය යුතු බව කම්කරුවන්ට පවසමිනි.

ජවිපෙ නායකත්වය දෙන වෘත්තීය සමිති, වික්‍රමසිංහ ආන්ඩුවට එරෙහි ඒකාබද්ධ ජාතික කාර්මික ක්‍රියාමාර්ග නැවැත්වීමට මංමුලා සහගත ලෙස ක්‍රියා කරමින් සිටින අතර, ඔවුන්ගේ උත්සාහය, කම්කරුවන්ගේ කෝපය ඡන්දයෙන් බලයට පැමිනීමට පිටුබලයක් ලබා ගැනීම දෙසට හරවා යැවීමට ය.

ලංකා විදුලි බල මන්ඩලය පුද්ගලීකරනය කිරීමට සහ එහි සේවකයන් 62 ක් දඩයම් කිරීමට එරෙහිව පෙබරවාරි 20 දා පැවති විරෝධතාවක් අමතමින්, ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් සහ ජවිපෙ නායකයකු වන රන්ජන් ජයලාල් මෙසේ පැවසීය: “මේ ආන්ඩුවට බලය ඇත්තේ තවත් මාස හතක් විතරයි.... මේ රටේ ජනතාව රටට ජනතා ජයග්‍රහනයක් ගෙන එනු ඇති.”

වරාය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ දුම්රිය වැනි අනෙකුත් ප්‍රධාන ක්ෂේත්‍රවල ජවිපෙ වෘත්තීය සමිති නායකයෝ, ජනාධිපතිවරනයේදී ජවිපෙ/ජාජබ ජයග්‍රහනයක් කරා සියල්ල යොමු කල යුතුය යන එකම බොරුව නරුම ලෙස පුනරුච්චාරනය කරති.

මැතිවරන පිලිබඳ ඔවුන්ගේ සියලු කතා සහ ඊනියා 'මතභේද' පිටුපසින්, මෙම පක්ෂ, කම්කරුවන්ට සහ දුප්පතුන්ට එරෙහි කුමන්ත්‍රනයක යෙදී ගනිමින් ධනේශ්වර පාලනය ආරක්ෂා කිරීම සඳහා ඒකාධිපති ක්‍රියාමාර්ග භාවිතා කිරීමට සූදානම්ව සිටියි.

මාර්තු 21 මාධ්‍ය හමුවක් අමතමින්, ශ්‍රී ලංකාව සඳහා වූ ජාමූඅ දූත මන්ඩල ප්‍රධානී පීටර් බෲවර්, ජාමූඅ හි කප්පාදු ඉල්ලීම් වලින් බැහැර වීමට කිසිදු ශ්‍රී ලංකා ආන්ඩුවකට ඉඩ නොදෙන බව පැහැදිලි කලේ ය: 'මැතිවරනය සම්බන්ධයෙන්, ඔව්, අපට විවිධ යෝජනා අසන්නට ලැබෙනවා. අපට, පරම වශයෙන් ප්‍රධාන දෙය නම්, [ජාමුඅ] වැඩසටහනේ අරමුනු සාක්ෂාත් කර ගැනීමයි. මක්නිසාද යත්, ඒවා සමඟ ශ්‍රී ලංකාවට අර්බුදයෙන් ගොඩ ඒමේ අවස්ථාවක් තිබෙනවා. එය හරියට පිහි මුවාතක් දිගේ ගමන් කරනවා වැනියි.”

කොලඹ ජාතික රෝහලේ සෞඛ්‍ය සේවකයින්, 2024 පෙබරවාරි 14 වන දින, සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පිටත විරෝධතාවයක නිරත වෙමින් [ඡායාරූප: ෆේස්බුක්/යුනියන් ලංකා] [Photo: Facebook/Unions Lanka]

සමාජවාදී සමානතා පක්ෂය (සසප) කම්කරු පන්තියෙන් ඉල්ලා සිටින්නේ, ශ්‍රී ලංකාවේ ධනේශ්වර පක්ෂ සිය විරුද්ධත්වය පාර්ලිමේන්තු මිත්‍යාවන් තුලට යොමු කිරීමට දරන මංමුලා සහගත උත්සාහය ප්‍රතික්ෂේප කරන ලෙස ය. පුද්ගලික ලාභ පද්ධතියේ සහ පාර්ලිමේන්තුවේ රාමුව තුල කම්කරුවන්ට සහ දුප්පතුන්ට විසඳුමක් නැත. ශ්‍රී ලංකාවේ ආර්ථික කැලඹීම ගෝලීය ධනවාදයේ අර්බුදයේ තියුනු ප්‍රකාශනයකි.

කම්කරු පන්තිය ධනේශ්වර පන්තියේ සහ ඔවුන්ගේ වෘත්තීය සමිතිවල සෑම කොටසකින්ම බිඳී තමන්ගේම ස්වාධීන වැඩපිලිවෙලක් ඇතිව දේශපාලන තත්වයට මැදිහත් විය යුතු අතර, ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන් ආරක්ෂා කර ගැනීම සඳහා ග්‍රාමීය දුප්පතුන් පෙලගස්වා මහා වැඩ වර්ජනයකට සූදානම් විය යුතුය.

සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම සඳහා—එනම්, කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ මහා සමාගම්, වතු සහ බැංකු ජනසතු කිරීම සහ විදේශ නය ප්‍රතික්ෂේප කිරීම සඳහා වික්‍රමසිංහ ආන්ඩුව පලවාහැර කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් පිහිටුවිය යුතුවේ.

මෙම අරගලය ඉදිරියට ගෙන යා හැක්කේ සෑම සේවා ස්ථානයකම සහ වතුකරයේ මෙන්ම ග්‍රාමීය දුගී ජනතාව අතර ක්‍රියාකාරී කමිටු පිහිටුවීම තුලින් පමනි. මෙම ප්‍රතිපත්ති සඳහා සටන් කිරීමේ මාධ්‍යයක් ලෙස මෙම ක්‍රියාකාරී කමිටු නියෝජිතයින් මත පදනම්ව කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් කැඳවීමට අපි යෝජනා කරමු.

ශ්‍රී ලාංකික කම්කරුවන්, කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය සමඟ සම්බන්ධීකරනය ඔස්සේ ජාත්‍යන්තරව තම පන්ති සහෝදර සහෝදරියන් වෙත ලඟා විය යුතුය. සමාජවාදී සමානතා පක්ෂයට බැඳෙමින් මෙම වැඩපිලිවෙල සඳහා සටන් කරන ලෙස අපි කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් ඉල්ලා සිටිමු.

Loading