ඉදිරිදර්ශන

ගාසා ජනසංහාරය සහ ආරොන් බුෂ්නෙල්ගේ මරනය: දේශපාලන පාඩම් මොනවා ද?

[මෙය The Gaza genocide and the death of Aaron Bushnell: What are the political lessons? මැයෙන් 2024 මාර්තු 13දා පල කල ඉදිරි දර්ශන ලිපියේ පරිවර්තනය යි.]

මාර්තු 12 අඟහරුවාදා, ඈන් ආබර්හි මිචිගන් විශ්ව විද්‍යාලයේ දී, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩල සභාපති ඩේවිඩ් නෝර්ත් විසින් පහත පල වන දේශනය පවත්වන ලදී.

Loading Tweet ...
Tweet not loading? See it directly on Twitter

වොෂින්ටන් ඩීසීහි පිහිටා ඇති ඊස්රායල තානාපති කාර්යාලය ඉදිරිපිට දී, 25 හැවිරිදි තරුනයෙක් වූ ආරොන් බුෂ්නෙල් 2024 පෙබරවාරි 25දා දිවි නසා ගත්තේ ය. තානාපති කාර්යාලය අසලට පස්වරු 1 ට පැමිනීමට මදකට පෙර ඔහු ප්‍රකාශයක් සජීවීව විකාශනය කලේ ය. එහි එහි දී ඔහු මෙසේ පැවසීය:

“මම එක්සත් ජනපද ගුවන් හමුදාවේ සක්‍රිය සාමාජිකයෙක් වෙමි. මම තව දුරටත් ජනසංහාරයට හවුල් වන්නේ නැත. විරෝධය දැක්වීමේ ආන්තික ක්‍රියාවක් මවිසින් සිදු කිරීමට නියමිත ය. එහෙත්, ඔවුන්ගේ විජිත හිමියන්ගේ හස්තය යටතේ පලස්තීනය තුල ජනයා අත්දකිමින් සිටින තත්වය සමග සසඳන විට, මගේ ක්‍රියාව කිසිසේත් ආන්තික දෙයක් නො වේ. අපේ පාලක පන්තිය සාමාන්‍යය ලෙස තීරනය කර ඇති දෙය මෙය යි”.

තානාපති කාර්යාලය අසලට පැමිනි ආරොන්, තම සිරුරට ගිනිගන්නාසුලු ද්‍රවයක් හලාගනිමින් එයට ගිනි තැබී ය. අග්නි ජාලාවෙන් ඔහු වෙලී යද්දී “නිදහස් පලස්තීනයක්!” යනුවෙන් ඔහු කෑගැසුවේ ය. මෙම ජවනිකාව සිදු වන ස්ථානයට කැඳවනු ලැබ සිටි රහස් ඔත්තු සේවා නිලධාරියෙක්, තරුන මිනිසාට තුවක්කුවක් දික් කර, “බිම වැතිරෙන” ලෙස නියෝග කලේ ය. අනෙකුත් නිලධාරීන් පැමින ගිනිජාලා නිවීම සඳහා ගිනි නිවනයන් යොදාගත්තේ ය. ප්‍රාදේශීය රෝහලක් වෙත ආරොන් වාහනයකින් රැගෙන යන ලද අතර, පැය හතකට පසුව පස්වරු 8.06ට පිලිස්සුම් තුවාල හේතුවෙන් ඔහු එහි දී මිය ගියේ ය.

ආරොන් බුෂ්නෙල්


අපේක්ෂා කල යුතු පරිදි ම, මෙම දිවි නසා ගැනීම ගැන බයිඩන් පරිපාලනය නිල ප්‍රකාශයක් නිකුත් කර නැත. “දෙවියන් අපේ භටයන් රැකදේවා” යි යන අනුප්‍රාස පදය සමගින් තම සෑම කතාවක් ම අවසන් කරන ජනාධිපති බයිඩන්, එක්සත් ජනපද ගුවන් හමුදාවේ සාමාජිකයෙකු වන ආරොන් බුෂ්නෙල්ගේ මරනය පිලිබඳ කනගාටුව පල කිරීම පසෙක තැබුව ද ඒ ගැන වචනයක් වත් කියා නැත.

බොහෝ සෙයින් සිදු වී ඇත්තේ, මෙම සිද්ධිය නො තකා හැර ඇති ඊස්රායල රාජ්‍යයේ හා සියොන්වාදයට ගැති මාධ්‍ය ආයතන ආරොන් වනාහි, ඔහුගේ සියදිවි නසා ගැනීමේ කිසිදු දේශපාලනික හෝ සමාජීය අර්ථභාරයක් නැති, රෝගී පුද්ගලයෙකු ලෙස හෙලා දැකීම යි,

ලෝක ජනගහනයෙහි අතිමහත් බහුතරයේ ප්‍රතිචාරය මෙය නො වේ. වීඩියෝ පටයකින් හෝ ඡායාරූපයකින් සිද්ධිය ගිනිය නො හැකි මිලියන ගනනක් දැකගෙන තිබෙන අතර, සිදුවිය යුතු පරිදි ම, එය තිගැස්ම, වික්ෂෝපය හා අනුකම්පාව ජනනය කර ඇත. එවන් බියකරු ආකාරයකින් තරුනයෙකුගේ මරනය සිදු වීම, සෞඛ්‍ය සම්පන්න මානුෂික චිත්තාවේග කෙරෙහි ප්‍රගාඪ ලෙස බලපායි.

එහෙත්, ආරොන් බුෂ්නෙල්ගේ අභාවය විසින් අවුලුවාලන වික්ෂෝපයත්, ඔහුගේ පරමාදර්ශවාදය හා අවංක භාවයට දක්වන ගෞරවය ගාසා ජනසංහාරයටත්, වඩාත් පොදුවේ අධිරාජ්‍යවාදයේ අපරාධවලටත් දේශපාලනික විරුද්ධත්වය දැක්වීමේ ඵලදායී ආකාරයක් ලෙස, “ආන්තික විරෝධය” දැක්වීමේ එවන් ස්වයං-නාශක ක්‍රියාවක් නිර්දේශ කිරීම තබා, ඔහුගේ දිවි නසා ගැනීම සාධාරනීකරනය හෝ උත්කර්ෂයට නැංවීම දක්වා වත් අනුග්‍රහයට ලක්විය යුතු නැත.

දැන් ආරොන්ගේ දිවි නසා ගැනීම අනුමත කරමින්, ඒ හරහා සෘජු ව හෝ වක්‍ර ව එය ආදර්ශයට නැංවීම -කෝනෙල් වෙස්ට් ඔවුන් අතර සිටී- කරන අය වගකීම් විරහිත ව ක්‍රියා කරනවා පමනක් නො වේ. ගාසා ජනසංහාරයට එරෙහි විරුද්ධත්වයත්, අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි පලල් අරගලයත් දිරිසුන් කිරීමට හා දේශපාලනික ව අවමංගත කිරීමට ඔවුහු දායකවෙමින් සිටිති. අධිරාජ්‍යවාදී ම්ලේච්ඡත්වය හා එය පදනම වන ධනපති ක්‍රමයත් අවසන් කිරීමට අවශ්‍ය කරන මිලියන ගනන් ජනයාගේ දේශපාලනික ව සවිඥානික මහජන ව්‍යාපාරයක් ගොඩනැගීමට විකල්පයක් ලෙස නිෂ්ඵල විරෝධය හා තනි පුද්ගල මරනය ඔවුහු ඉදිරිපත් කරති.

මෙම අදහස් දැක්වීම්වල දී මම මෙම විවේචනය විස්තාරනය කරන්නෙමි. ඊට ප්‍රථම, ආරොන්ගේ මරනය එහි පලල් සමාජීය සන්දර්භය තුල පිහිටුවීම ට මට අවශ්‍යයි.

සත්‍ය වසයෙන් ම, ආරොන්ගේ මරනයෙහි නිරවද්‍ය හේතු සුවිශේෂී ය. එහෙත්, දිවි නසා ගනිමින් මරනයට පත්වීම එක්සත් ජනපදය තුල අසාමාන්‍ය දෙයක් නො වේ. මෙය, නො තකා හල නොයුතු වැදගත් කරුනකි.

2021 වසරේ දී, එක්සත් ජනපදය තුල, මරනවලට හේතු අතරින් එකොලොස් වැනි ස්ථානය ගත්තේ, දිවි නසා ගැනීම යි. ඇමරිකානුවන් 48,183ක් දෙනා එම වසරේ දිවි නසා ගත් හ. දිවි නසා ගැනීමට උත්සාහ කිරීම් මිලියන 1.7ක් ව පැවතුනි. වයසට අනුව සකස් කල විට, දිවි නසා ගැනීමේ අනුපාතය පුද්ගලයින් 100,000ට 14ක් පමන විය. සාමාන්‍ය වසයෙන්, 132 දෙනෙක් දෛනික ව දිවි නසා ගත් අතර, බරපතල පෞද්ගලික අර්බුද හරහා ගමන් කර ඇති හා සමහරවිට තමන්ගේ ම ජීවිතය තොර කර ගැනීමේ දී සාර්ථක වූ සහෝදර-ශිෂ්‍යයන්, මිතුරන් ආදීන් ගැන මෙහි සිටින ඔබ බොහෝ දෙනෙක් දන්නා බව මට නිසැක ය. 2021 දිවි නසා ගැනීම්වලින් සියයට 69 ට වැඩි ප්‍රමානයක් සුදු පිරිමින් වූ අතර, දිවි නසා ගැනීම්වලින් සියයට 8.3ක් අප්‍රිකානු-ඇමරිකානු පිරිමින් ය. පිරිමි දිවි තොර කරගැනීම් ගැහැනු දිවි නසා ගැනීම් මෙන් හතර ගුනයක් පමන විය. ඉහල ම දිවි නසා ගැනීමේ අනුපාත පැවතියේ වයස 25-34 හා 75-84 කාන්ඩවල වැඩිහිටියන් අතරෙහි ය.


එක්සත් ජනපදය තුල දිවි නසා ගැනීම්වලට ගොදුරු වන්නන් අතර සැලකිය යුතු කොටසක් සමන්විත වන්නේ සොල්දාදුවන් හා යුද ප්‍රවීනයන්ගෙනි. මෙම රට අඛන්ඩ ව යුද්ධවල නිමග්නවීම, සොල්දාදුවන් අතර දිවි තොර කරගැනීම්වල සැලකිය යුතු නැග්ම සමග පැහැදිලිව ම සම්බන්ධ වී තිබේ.

“සක්‍රිය රාජකාරියේ යෙදෙන පුද්ගලයන් අතර දිවි නසා ගැනීමේ රේට්ටුව 2004-05, 2006-07 සහ 2008-09 වසරවල් තුල 100,000 ට පිලිවෙලින් සියයට 12.1 සිට 18.1 හා 24.5 දක්වා ඉහල නැගුන” බව 2014 දී නිකුත් කරන ලද අධ්‍යයනයක් පෙන්වා දුන්නේ ය. සේවයේ නියුක්ත සාමාජිකයින්ගේ අවදානම සහ ඔරොත්තු දීමේ හැකියාව තක්සේරු කිරීම සඳහා වූ යුද හමුදා අධ්‍යයනයෙන් ද “සුදු, පිරිමි, කනිෂ්ඨ නිලයකට බඳවාගන තිබීම, මෑතකදී නිලයෙන් පහත හෙලීම සහ වර්තමානයේ හෝ කලින් සේවයේ යොදවා තිබීම සියදිවි නසාගැනීමේ අවදානම හා සම්බන්ධ' බව සොයා ගෙන ඇත. [1] මෙය ආරොන් බුෂ්නෙල්ට බොහෝ දුරට අදාල වන විස්තරයකි.

ජර්නල් ඔෆ් ඇෆෙක්ටිව් ඩිස්ඕඩර්ස් හි 2013 දී පල කරන ලද තවත් අධ්‍යයනයක්, ගුවන් හමුදාව ඇතුලත “දිවි නසා ගැනීම් නාටකාකාර ලෙස ඉහල යාමක්” වාර්තා කල අතර, 2010 දී එය අවුරුදු 27ක් තුල ඉහල ම අනුපාතය කරා ලඟා විය. [2]

මෙම රැල්ල අඛන්ඩ ව පැවතී තිබේ. 2020 දී ගුවන් හමුදා භටයන් 109ක් දිවි තොර කරගත් හ. මෙම සංඛ්‍යාවට සක්‍රිය රාජකාරියේ යෙදෙන්නන්, අතිරේක භටයන් හා රැකවල සාමාජිකයන් අයත් විය. 2021 දී 72ක් ද 2022 දී 91 දෙනෙක් ද දිවි නසා ගත් හ. 2023 පලමු කාර්තුව තුල, ගුවන් හමුදාව දිවි නසා ගැනීම් 46ක් වාර්තා කලේ ය. ගුවන් හමුදාවේ සාමාජිකයන් අතර මරනයට තනි විශාලතම හේතුව දිවි නසා ගැනීම යි.

ගුවන් හමුදාවේ සිය දිවි නසා ගැනීම්වලට හේතුව සොයා ගැනීමේ දී, “දිවි නසාගෙන මිය යන අය අතරින්, ඊට අයත් වන්නේ සටන් බිම්වලට යොදවා ඇති සක්‍රිය ගුවන් භටයන්ගෙන් හතරෙන් පංගුවක් වන අතර, සටනක් ඍජු ව අත්දැක ඇත්තේ ඔවුන්ගෙන් සියයට 7ක් පමනක්' බව ජර්නල් ඔෆ් ඇෆෙක්ටිව් ඩිස්ඕඩර්ස් 2013 අධ්‍යයනය සටහන් කලේ ය. එහෙත්, ගුවන් හමුදා භටයන් අතර දිවි නසා ගැනීමේ ආවේගයන්ට “වරදකාරී හැඟීම හෝ ශෝකය හෝ ‘මා කල දෙය ගැන නරක හැඟීමක්’ තිබීම” සම්බන්ධ වන බව වාර්තාව සොයා ගත්තේ ය. ඍජු සටන් අත්දැකීම් තිබෙන අය අතර එවන් හැඟීම් තිබීම හඳුනාගත හැකි වුවත්, පලල් මිලිටරි භට කන්ඩායමක් අතර එවන් හැඟීම් තිබෙන්නේ කවර ප්‍රමානයකටදැයි පැහැදිලි නැත.

ආරොන් බුෂ්නෙල්ගේ දිවි නසා ගැනීමට හේතු විමසීමේ දී, මෙම සාධකය සැලකිල්ලට ගත යුතු ය. ඔහුගේ ක්‍රියාවන්ට යටින් දිවෙන ඉතා බලගතු දේශපාලනික ආවේගය හා අභිප්‍රායයන් ප්‍රතික්ෂේප නො කරන මෙය, ඔහුගේ මරනයට තුඩු දුන් අත්දැකීම්වල පලල් සමාජීය සන්දර්භය අවබෝධ කරගැනීමකට අවස්ථාව ලබා දෙයි.

“ඒස්බුෂ්1” නමැති හැඬලයක් යොදා ගනිමින් ආරොන් බුෂ්නෙල් රෙඩිට් වෙබ් පිටුව මත පෝස්ටුවක් පල කල බව ස්ථාපිත කර ඇති ඉන්ටර්සෙප්ට් මෙසේ වාර්තා කලේ ය:

වසංගතය ආරම්භයේ දී තමන්ගේ මූල්‍යමය අසීරුතා පිලිබඳ ව පෝස්ටු පල කිරීමෙන් ක්ෂනික ඉක්බිත්තේ, ඒස්බුෂ්1 රෙඩිට් ගිනුම භාවිතා කරන්නන් මිලිටරියට බැඳුනි. 2020 මාර්තු 19දා ඒස්බුෂ්1 ඌබර් ආහාර ප්‍රවාහනය කිරීමේ රියැදුරෙක් වන්නේ කෙසේදැයි විමසී ය. ඊලඟ මාසයේ දී, මූල්‍යමය උදවු ඉල්ලමින් ඔවුහු පෝස්ටුවක් පල කල හ: “උදවු කරන්න- උත්තේජන හෝ විරැකියා ප්‍රතිලාභ ලබාගත නො හැක, අත ඇති මුදල් අහවර වීමට යයි.”

2020 මැයි මාසයේ දී, ගුවන් හමුදාවේ “මූලික හා කාර්මික පුහුනු” වැඩසටහනට ආරොන් ඇතුලත් විය. ඉන්පසු ඔහු සැන් ඇන්ටෝනියෝහි ලක්ලෑන්ඩ් ගුවන් හමුදා කඳවුරට යොමු කෙරිනි. 531 වැනි ඔත්තු සේවා ආධාරක භට ඇනියට සම්බන්ධ සයිබර්-ආරක්ෂක මෙහෙයුම් විශේෂඥයෙකු ලෙස ඔහු පුහුනුව ලැබී ය.

ඉන්ටර්සෙප්ට් ලිපියට අනුව, 2020 අගෝස්තුවේ දී මිලිටරි ගුවන් යානයක වීඩියෝවක් යලි පල කල ඔහු, ගුවන් හමුදාව කිරීමට සමත් වී ඇත්තේ කවරක්දැයි යන්න ගැන විමතිය පල කිරීම ඉඟි කල මාතෘකාවක් එයට එකතු කලේ ය. එහෙත්, ඔහුගේ පෝස්ටු පැහැදිලි ව පෙන්වා දෙන්නේ, ගුවන් හමුදාව කෙරෙහි ඔහුගේ ආකල්පය හා ඔහුගේ ම දේශපාලන සංකල්පයන් සැලකිය යුතු ලෙස වමට මාරු වෙමින් පැවති බව යි. ඇලබාමා බන්ධනාගාර වැඩ වර්ජනයට අනුග්‍රහය පල කල ඔහු, මැක්ස් ස්ටර්නර් නමැති 19 වැනි ශත වර්ෂයේ අරාජික දාර්ශනිකයාගේ මැමෝ ඡායාරූපයක් පල කලේ ය. ඉන්ටර්සෙප්ට් මෙසේ වාර්තා කරයි: “, ඒස්බුෂ්1 2023 දී ඊස්රායල ආරක්ෂක කොන්ත්‍රාත් සමාගම වන එල්බීට් සිස්ටම්ස් විසින් කොටසක් මෙහෙයවන ඩ්‍රෝන් සමාගමක් වන, යූඒවී උපායික අවි පද්ධති සංගතය ක්‍රියාධරයෙකු විසින් ග්‍රහනයට ගන්නා වීඩියෝවක්

එයට සම්බන්ධ කරමින් ‘පලස්තීනය නිදහස් කරනු!’ යන උද්ධෘතය සහිත පෝස්ටුවක් පල කලේ ය.

2023 ජුනි මාසයේ දී, ඒස්බුෂ්1 මෙසේ ලීවේ ය:

“වෘත්තීය පුහුනුවෙන් අඩකටත් වඩා යන තෙක්, එය ‌ෙකාතරම් විශාල අත්වැරැද්දක්දැයි මා අවබෝධ කර නො ගත් නිසා, මගේ කොන්ත්‍රාත්තුවේ අවසානය වන තෙක් මා රැඳී සිටි අතර, මේ අවස්ථාවේ දී මට ඉතිරි ව ඇත්තේ අවුරුද්දක් පමනි. එහෙත් එය මගේ ඉතිරි ජීවිත කාලය තුල ට මා විසින් රැගෙන යන පශ්චාත්තාපයකි”.

තමන්ගේ ජීවිත හානි කරගෙන ඇති හෝ එසේ කිරීමට උත්සාහ දරා ඇති ගුවන් හමුදා භටයන් අතර පවතින පශ්චාත්තාපයේ සාධකය සිතෙහි තබා ගන්න. තවත් වරක් ඔවුන්ට එය කිරීමට සිදු වුවහොත්, යුද ප්‍රවීනයන් ගුවන් හමුදාවට ඇතුලත් වන්නේදැයි යොමු කල ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින්, ආර්/එයාෆෝස් සබ්රෙඩිට් ගිනුම මත සටහන් කල තවත් ප්‍රකාශයක් තුල ඒස්බුෂ්1 දුන් පිලිතුර ඉන්ටර්සෙප්ට් මෙසේ වාර්තා කරයි:

“නිශ්චිතව ම නැහැ. ලෝකය මත ප්‍රචන්ඩ ආධිපත්‍යය පවත්වාගෙන යාමට හවුල් වී සිටින මා, යලිත් කිසි දිනක මගේ දෑත්වල ලේ තවරා ගන්නේ නැහැ”.

දැනට පවතින තොරතුරුවලට අනුව, ආරොන් ගුවන් හමුදාවේ සටන් මෙහෙයුම්වලට ඍජු ව සම්බන්ධ නො වුන ද එක්සත් ජනපදය විසින් සිදු කරනු ලබන අපරාධ සඳහා සදාචාරාත්මක වගකීමක් පැහැදිලිව ම තමන්ට පවතින බව ඔහු අවබෝධ කරගත් අතර, ගුවන් හමුදා භටයන් අතර දිවි නසා ගැනීම් සඳහා වැදගත් සාධකයක් ලෙස සඳහන් කරන ජර්නල් ඔෆ් ඇෆෙක්ටිව් ඩිස්ඕඩර්ස් අධ්‍යයනය තුල අවධානයට ලක් වූ වරදකාරීත්වය පිලිබඳ හැඟීමක් ඔහු බෙදා හදා ගත්තේ ය.

ආරොන්ගේ දිවි නසා ගැනීමට මෙම වරදකාරී හැඟීම හේතුකාරක වූ තාක් දුරට, එය ඔහුගේ සදාචාරාත්මක අවංකභාවයට සාක්ෂි දරයි. තව ද පවත්නා සමාජ පර්යාය -ධනවාදය තුල මුල් බැස තිබෙන ආර්ථික, දේශපාලනික හා දෘෂ්ටිවාදාත්මක පීඩනයේ හා සාපරාධීත්වයේ යෝධ සමාජීය ව්‍යුහය- ආරොන් බුෂ්නෙල්ගේ මරනයට තරයේම සම්බන්ධ වේ. හරියට පෞරෂය සංවර්ධනය වන්නේ සමාජීය කොන්දේසිවලින් හුදකලාව යයි සැලකෙන ඔහුගේ පුද්ගලික මනෝවිද්‍යාත්මක තත්වය මත පමනක් සංකේන්ද්‍රනය කොට ආරොන්ගේ මරනය පිලිබඳ ව කෙරන සියලු විග්‍රහයන් ව්‍යාජ ය. සමාජීය හා දේශපාලනික කොන්දේසි පැන නගින බාහිර සාධක, ආරොන්ගේ මරනයෙහි ප්‍රධාන හා තීරනාත්මක හේතූන් විය. ආරොන්ගේ දිවි තොර කර ගැනීමේ වඩාත් ම වැදගත් කරුන වන්නේ මෙය යි.

ඊස්රායල රාජ්‍යය ද බයිඩන් පරිපාලනය තුල සිටින එහි අනුග්‍රාහකයන් ද විසින් සිදු කරනු ලබන අපරාධවලට පවතින අවශ්‍ය හා එක ම ප්‍රතිචාරය වන්නේ දිවි නසා ගැනීම යයි ආරොන් තීරනය කලේ මන් ද? පැහැදිලිව ම දේශපාලනික තත්ත්වයකට, එවන් පුද්ගලික ක්‍රමයකින් ප්‍රතිචාර දැක්වීමට ඔහු තීරනය කලේ ඇයි?

මෙම ප්‍රශ්නය විභාග කිරීම තුල ආරොන්ගේ මරනයෙහි ඛේදවාචකයත්, වර්තමාන සමාජයේ වඩාත් ම අසීරු ගැටලුත් හෙලිදරවු වෙයි. පන්ති අවශ්‍යතා හරහා මාධ්‍ය ගත වන සහ ග්‍රහලෝකය මත සිටින සෑම මනුෂ්‍යයෙකුට ම බලපාන, අන්තර්-සම්බන්ධිත ගෝලීය ආර්ථික හා දේශපාලන සබඳතාවලින් පැන නගින, වඩාත් ම සංකීර්න සමාජීය ගැටලු පවා, පොදුවේ අත්දකින්නේත් අර්ථකථනය කරන්නේත් තනි පුද්ගල භාෂිතයන්ගෙනි.

මෙම ප්‍රවනතාව හුදෙක් පුද්ගලික විනිශ්චයේ වරදක ප්‍රකාශනයක් නො වේ. ධනවාදයේ ස්වභාවය -ඊනියා “පුද්ගලික ව්‍යවසායය”- සමාජය වනාහි සරලව ම හුදකලා තනි-පුද්ගලයන්ගේ එකතුවක්ය යන සංකල්පය ශක්තිමත් කරයි.

“මානුෂික සාරය යනු සෑම තනි පුද්ගලයෙකු තුල ම අන්තර්ගත ව පවත්නා වියුක්තයක් නො වේ. යථාර්ථයෙන් ගත් විට මානුෂික සාරය යනු සාමාජික සම්බන්ධතාවන්ගේ සමස්තය” යැයි[3] 1845 දී ලියමින්, ඉතිහාසය පිලිබඳ භෞතිකවාදී සංකල්පය විදාරනය කිරීමේ ක්‍රියාදාමයේ දී, මෙම සංකල්පය අභියෝගයට ලක්කරමින් එය පලමු වරට ප්‍රතික්ෂේප කලේ මාක්ස් ය.

අපගේ යුගය වැනි, සමාජීය හා පන්ති සහෝදරත්වයේ බැඳීම් ඛාදනය වන, දේශපාලනික ප්‍රතිගාමීත්වයේ යුගයක දී, දෛනික ජීවිතයේ තනි-පුද්ගල ස්වභාවය සහ ඒ හා සම්බන්ධ, එය විසින් පෝෂනය කරන පුද්ගලික හුදකලාව හා පරත්වාරෝපනය, සුවිශේෂී දුෂ්ට ස්වභාවයක් අත් කරගනී. මාක්ස්වාදී විප්ලවවාදියෙක්, බෝල්ෂෙවිකයෙක් සහ පසුව ලියොන් ට්‍රොට්ස්කි විසින් නායකත්වය දුන් වාමාංශික විරුද්ධ පාර්ශවයේ ප්‍රධාන චරිතයක් හා අවසානයේ ස්ටැලින්ගේ විරේක කිරීම්වල ගොදුරක් වූ, ඉව්ජෙනි ප්‍රියෝබ්‍රෙෂන්ස්කි 1912 දී ලියූ ලිපි මාලාවක් තුල, පන්ති අරගලය මර්දනය කරන විට සුවිශේෂී ලෙස ප්‍රචලිත වන හා සමාජය විසින් සිදු කරන “සමාජීය මිනී මැරීමක්” ලෙස දිවි නසා ගැනීම අර්ථ දැක්වී ය.

ඉව්ජෙනි ප්‍රියෝබ්‍රෙෂන්ස්කි


ඔහු ලියූ පරිදි:

ප්‍රති-විප්ලවයේ හා සමාජීය ව්‍යාධියේ යුගයක් තුල දිවි නසා ගැනීම්වල විශාල ප්‍රතිශතය, අප සාකච්ඡා කරමින් සිටින දෘෂ්ටි ආස්ථානයේ පාරිභාෂික පදවලින් පැහැදිලි කිරීම පහසු ය. උද්‍යෝගිමත් යුගයක් තුල, පොදු අරමුනු කරා ලඟා වීම පිනිස වඩා සමීප ව මහජනයා රැලි වන අතර, පුද්ගලයින්ගේ හුදකලාව අවමයක් දක්වා ඌනනය කරමින්, සාමූහිකත්වයේ බලගතු බලවේගය තනි-පුද්ගලයාගේ ජීවිතයේ දී හා අරගලයේ දී සහායට එයි. පැරනි සමාගමයන් බිඳී විසිරී යමින් හා නව සමාගමයන් තවමත් ඉස්මතු වීමට නියමිත, සමාජයේ කේන්ද්‍රාපසාරී බලවේග කේන්ද්‍රාභිසාරී බලවේග මත ආධිපත්‍යය දරන විසංයෝජනයේ යුගයක දී පවතින පින්තූරය, මෙහි පරිපූර්න ප්‍රතිවිරුද්ධය යි. බලරහිත තනි-පුද්ගලයා සමාජයට මුහුන දීමේ දී, ඔහුගේ සමතුලිතතාව අහිමි කරගෙන, ප්‍රතිකූල තත්ත්වයන් සමග ප්‍රථම ගැටුමේ දී මිය යන අතර, [ඊට] වෙනස් කාලයක දී එය ඔහුට අවශ්‍යයෙන් ම විපාක ගෙන දීමට හේතූ නො වනු ඇත. [4]

ආරොන්ගේ දිවි නසා ගැනීමට තුඩු දුන් පුද්ගලික, සමාජ හා දේශපාලන සාධකවල අන්තර්-ඡේදනය පිලිබඳ ගැඹුරු අවබෝධයක් කරා එලඹීමට, ප්‍රියෝබ්‍රෙෂන්ස්කිගේ විශ්ලේෂනය උපකාරී වෙයි. වොෂින්ටන් පෝස්ට් පල කරන ලද තොරතුරුවලට අනුව, ආරොන් හැදී වැඩුනේ මැසචුසෙට්ස් ප්‍රාන්තයේ ඕලියන්ස් හි ජේසුස්ගේ ප්‍රජාව නමැති ආගමික අංගනයක ය. මෙම කන්ඩායම 1970 ගනන්වල මැද භාගයේ හිටපු සාමාජිකයින් විසින් අපයෝජනය කල බවට චෝදනා කර ඇත. ආරොන් 2019 දී මෙම කන්ඩායමෙන් වෙන් වුනි. වසංගතය විසින් ගැඹුරු කරන ලද මූල්‍යමය ගැටලුවල පීඩනය යටතේ, ඔහු පසුව මිලිටරියට බැඳුනි.

ගුවන් හමුදාවේ පහත් සහ ම්ලේච්ඡත්වයේ සංස්කෘතිය විසින් ආරොන් ආපසු හරවනු ලැබීමට වැඩි කාලයක් ගියේ නැත. වාමාංශික දේශපාලනයේ දිශාවට ගමන් කල ඔහු, සෑමවිට ම සිදු වන පරිදි, ආරම්භයේ දී විවිධාකාර මධ්‍යම-පන්තික දේශපාලන ප්‍රවනතාවන් සමග සබඳතා ගොඩනගා ගත්තේ ය.

ඊශ්‍රායලය ගාසා තීරය ට එල්ල කරන ප්‍රහාරය හටගත්තේ, ආගමෙන් හා ප්‍රතිගාමී ඇමරිකානු ජාතිකවාදයෙන් ආරොන් බිඳී වෙන්වීමේ ප්‍රතිවිපාක දේශපාලනික භාෂිතයන්ගෙන් පැහැදිලි කර ගැනීම ඔහු විසින් ආරම්භ කරගන්නා අවධියේ ය. ප්‍රියෝබ්‍රෙෂන්ස්කිගේ යෝග්‍ය වචන යොදාගෙන යලි ඉදිරිපත් කරන්නේ නම්, ආරොන්ගේ “පැරනි සබඳතා” බිඳ වැටී තිබුනු නමුත් “නව සබඳතා” ඉස්මතු වීම ආරම්භ වී තිබුනා පමනි.

ඒ අනුව, පුද්ගලික ස්වයං-කැප කිරීමේ ක්‍රියාවක් හරහා, ගාසාවේ භීෂනය අවසන් කිරීමට ආරොන් උත්සාහ දැරුවේ ය. තම උත්කෘෂ්ට අභිප්‍රායය කරා ලඟාවීමේ වෙනත් ක්‍රමයක් ඔහු දුටුවේ නැත. තම පුද්ගලික ජීවිතය කැප කිරීම හරහා ඔහු අනෙකුත් පුද්ගලයන්ට ආයාචනයක් කරමින් සිටියේ ය. සිය පුද්ගලික වික්ෂෝපය හා කෝපය ඵලදායී ක්‍රියාවක් බවට පරිවර්තනය කිරීමේ වෙනත් ක්‍රමයක් ඔහු දුටුවේ නැත. තමන්ගේ ම ජීවිතය අවසන් කර ගැනීම මගින් සිය පුද්ගලික විරෝධය පලකිරීමට ගත් තීරනය, ආගමික-බලපෑම සහිත ලෝක දෘෂ්ටියෙන් ආරොන්ගේ බුද්ධිමය වෙන් වීමේ අසම්පූර්නත්වය මෙන් ම, හුදෙක් ධනපති-අධිරාජ්‍යවාදී ම්ලේච්ඡත්වයට යටින් පවතින පමනක් නො ව පන්ති ගැටුමේ පුපුරා යාම අවුලුවාලන හා ලෝක සමාජවාදී විප්ලවය සඳහා විභවය නිර්මානය කරන, ධනපති සමාජයේ වෛෂයික පරස්පර-විරෝධයන් පිලිබඳ අවබෝධයක නොපැවැත්ම ප්‍රකාශයට පත් කරයි.

නැවතත්, ආරොන්ගේ වර්ධනයේ මෙම සීමාසහිතකම් හුදෙක් ම පුද්ගලික ගතිලක්ෂනයක් නොවූයේය. ඊට විපරිත ලෙස, එය, ප්‍රචලිතව පවත්නා සමාජ, දේශපාලනික හා බුද්ධිමය කොන්දේසිවල ප්‍රකාශනයක් විය. එක්සත් ජනපදය තුල හා ජාත්‍යන්තර ව, ස්ටැලින්වාදය, සමාජ ප්‍රජාතන්ත්‍රවාදය හා පන්ති සහයෝගිතාවාදී වෘත්තීය සමිති විසින්, කම්කරු-පන්තික අරගල පාවාදීමේ දේශපාලනික හා සමාජීය විනාශකාරී ප්‍රතිඵලය ලෙස, සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් දශකයකට ආසන්න කාලයකට පසුව, 21වන ශතවර්ෂයේ මුව විට ආරොන් උපත ලැබී ය. තථ්‍ය වසයෙන්, එක්සත් ජනපදය තුල සංවිධිත කම්කරු පන්තික අරගලවල සැලකිය යුතු හා සංගතික ප්‍රකාශනයන් අතුරුදන් ව තිබුනි. ආරොන්ගේ ජීවිතයෙහි පලමු 20 වසර තුල, ඔහු අර්ථභාරී වැඩ වර්ජනයක් අත්නොදිටී ය.

තව ද ඩිමොක්‍රටික් පක්ෂය සමග පෙලගැසී සිටින වෘත්තීය සමිති නිලධරයන් විසින් පන්ති අරගලය මර්දනය කිරීම සමගින්, විශ්ව විද්‍යාල පාදිත බුද්ධි-ස්ථරය විසින් මාක්ස්වාදය මුලුමනින් ම පාහේ ඒකමතිකව ප්‍රතික්ෂේප කලේ ය. ‌ෙඑතිහාසික ව සමාජවාදය කම්කරු පන්තිය සමග අනන්‍ය කිරීම මෙන් ම සමාජවාදී විප්ලවයේ ඉදිරි දර්ශනය ද නො තකා හැරුනි. “වාමාංශික” දේශපාලනය යලි අර්ථකථනය කරන ලද්දේ, සමාජීය පන්තියේ තීරනාත්මක ප්‍රශ්නය මත නාභිගත වූවක් ලෙස වෙනුවට, පුද්ගලික අනන්‍යතාවේ විවිධ රූපාකාර මත නාභිගත වූවක් ලෙස ය. තනි-පුද්ගලවාදයේ ප්‍රතිගාමී හා දිරිසුන් දෘෂ්ටියෙහි බලපෑම ශක්තිමත් කිරීමට මෙය හේතු වූ අතර දැනුදු හේතු වේ.

ආරොන්ගේ පරමාදර්ශවාදයට උපහාරය පිදීම වැදගත් ය. ඔහුගේ පුද්ගලික කැප කිරීම අමතක නො කල යුතු ය. එහෙත්, ඔහු පිලිබඳ මතකයට ගරු කිරීමට නම්, ඔහුගේ මරනයෙන් අවශ්‍ය දේශපාලන පඩාම් උකහා ගැනීම අවශ්‍ය කරයි. ඊස්රායල රාජ්‍යය විසින් සිදු කරමින් සිටින ජනසංහාරයට එරෙහි අරගලය තුල ඵලදායී මූලෝපායක් හා උපායක් ලෙස, පුද්ගලික දිවි පිදීම අවධාරනය කිරීමේ ලක්ෂ්‍යය දක්වා පවා, ආරොන්ගේ දිවි නසා ගැනීම උත්කර්ෂයට නැංවීමේ ප්‍රයත්නයන් අතිශයින් ම තියුනු විවේචනයට භාජනය කිරීම මඟහැරිය නොහැකි දේශපාලන වගකීමකි.

ආරොන්ගේ දිවි නසා ගැනීම සාධාරනීකරනය කිරීමට දරන ප්‍රයත්නයන්ගේ වඩාත් ම අනතුරු අඟවන ප්‍රයත්නය වන්නේ, මාධ්‍යවේදී ක්‍රිස් හෙජස් විසින් රචිත “ආරොන් බුෂ්නෙල්ගේ දිව්‍යමය ප්‍රචන්ඩත්වය” නමැති රචනාව යි. ශියර්පෝස්ට්, කොන්සෝටියම් නිව්ස් සහ විවිධ අන්තර්ජල වෙබ් අඩවි ඔස්සේ එය පල කර ඇත. ආගමික ගූඪවාදයේ, මධ්‍යම-පන්තික මනෝරාජිකවාදයේ, දේශපාලනික අවමංගත වීමේ, ‌ෙඑතිහාසික මුසාකරනයේ හා අහේතුකවාදය උත්කර්ෂයට නැංවීමේ මිශ්‍රනයක් මෙම රචනාව තුල අඩංගු වේ.

ආගමික භාෂිතයන්ගෙන් දිවි නසා ගැනීම අර්ථ දක්වන හෙජස්, ඔහුගේ රචනාව ආරම්භ කරන්නේ, බුෂ්නෙල්ගේ මරනය “ප්‍රචන්ඩත්වය රැඩිකල් පාපයට එරෙහි ව පිහිටුවීය” යි ප්‍රකාශ කරමිනි. සමාජ පන්තීන් ද යුද්ධය ප්‍රේරනය කරන ආර්ථික හා භූ-දේශපාලනික මූලෝපායන් ද හඳුනාගැනීම වෙනුවට, යථා සමාජ-ආර්ථික ප්‍රපංචයක් පොදුවේ යක්ෂයා නමින් හැඳින්වෙන “රැඩිකල් පාපය” නමැති ආධ්‍යාත්මික වියුක්තයක් තුලට විසුරුවා හැරීමට හෙජස් කටයුතු කරයි. මෙම පදනම මත, ආන්ඩු හා දේශපාලනඥයන් ද ඔවුන් ක්‍රියා කරන්නේ කවර සමාජ පන්තියක අවශ්‍යතා වෙනුවෙන් ද යන්නේ සිට පොදුවේ මානව වර්ගයා වෙතට, හෙජස් යුද්ධයේ වගකීම මාරු කරයි. ආරොන් බුෂ්නෙල් “මිය ගියේ අපේ පාපයන් වෙනුවෙන්” යයි හෙජස් සඳහන් කරයි. ඒ අනුව, මින් ගම්‍ය වන්නේ, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ, නැටෝවේ හා එහි ඊස්රායල සගයින්ගේ අපරාධයන්ට සමස්ත මනුෂ්‍ය වර්ගයා වගකීම දරන බව යි.

හෙජස් ගැටුම ගූඪකරනය කර එය ඇමරිකානු මිලිටරිය යහපත සඳහා වන බලවේගයක් බවට පරිවර්තනය කිරීමේ හැකියාව උපකල්පනය කරයි.

ඔහු මෙසේ විමසයි:

සාධාරන ලෝකයක් තුල, එක්සත් ජනපද භට කන්ඩායම් ආහාර, ඉඳුම්හිටුම් හා ඖෂධ සම්පාදනය කිරීම සඳහා ගාසාව තුල ඊස්රායල බැරිකේඩය බිඳ දැමිය යුතු නැද්ද? බෝම්බ හෙලීම වැලැක්වීමට එක්සත් ජනපද යුද යානා ගාසාවට ඉහලින් පියාසර මුක්ත කලාපයක් පැනවිය යුතු නැද්ද? ගාසාවෙන් හමුදා ඉවත් කර ගැනීම සඳහා ඊස්රායලයට අවසන් නිවේදනයක් නිකුත් කල යුතු නැද්ද? ඊස්රායලයට සපයන ආයුධ නෞකා තොග, මිලිටරි ආධාර බිලියන ගනන් හා ඔත්තු සේවා නැවැත්විය යුතු නැද්ද? අපරාධ සිදු කරන අය මෙන් ම ජනසංහාරයට සහයෝගය දෙන අය නීතිය ඉදිරියට ගෙන ආ යුතු නැද්ද?

බුෂ්නෙල්ගේ මරනය අපට මුහුන දීමට බල කරන සරල ප්‍රශ්න මේවා ය.

හෙජස්ගේ ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්වමින්, “මෙම ‘සාධාරන ලෝකය’ යථාවත් කර ගැනීම සඳහා, අප යාඥා කල යුත්තේ කවර පල්ලියේ, සිනගෝගයේ (යුදෙව් දේවස්ථානයේ) හෝ මුස්ලිම් පල්ලියේ දී දැයි” විමසීමට යමෙකුට අයිතිය තිබේ. ඔහුගේ ප්‍රශ්න “සරල” නැත. ඒවා සරලව ම අභූතයන් ය. දේශපාලනික යථාර්ථය ගැන යම් හෝ හැඟීමක් ඇති කිසිදු බුද්ධිමත් පුද්ගලයෙක් ඒවා ඇසිය යුත්තේ මන් ද? “සාධුතර” දෙයින් “පාපය” විස්ථාපනය කලේ නම්, සියල්ල යහපත් වනු ඇති, ලිබරලුන් විසින් උපකල්පනය කරනු ලබන ලෝකයක්, හෙජස්ගේ ප්‍රශ්න මගින් උපන්‍යාසගත කරයි. සියලු විරෝධතා දේශපාලනයන්හි සාරභූත දර්ශනය එය යි.

එහෙත් මෙම ප්‍රශ්නවල තේරුමක් නැත. හෙජස් උපකල්පනය කරන “සාධාරන ලෝකය” තුල, යුද ගුවන් යානා, පියාසර තහනම් කලාප හා අවසන් නිවේදන සඳහා අවශ්‍යතාවක් තිබෙනු ඇත්තේ මන් ද? හෙජස්ගේ “සරල ප්‍රශ්න වල” යම් හෝ තේරුමක් පවතින්නේ, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය පොදු යහපත තකා වෙනස් කල හැකි හා විභවීය බලවේගයක් ලෙස යමෙක් උපකල්පනය කරන විට යි. අනෙක් අතට, ඊස්රායලය හඳුනාගනු ලබන්නේ ශුද්ධ හා වෙනස්කල නොහැකි පාපයේ ප්‍රකාශනය ලෙස යි. මෙම උපන්‍යාසයෙහි ක්‍රිස්තියානි හා අගතිගත උපරිතානයන් පැහැදිලිව ම දෘෂ්‍යමාන වෙයි.

ත්‍යාගශීලී එක්සත් ජනපද අධිරාජ්‍යවාදයක් සඳහා වන ඔහුගේ සදාචාරාත්මක ආයාචනයට සහයෝගය පිනිස හෙජස් කියා සිටින්නේ “පලමු ගල්ෆ් යුද්ධයෙන් අනතුරු ව කුර්දිවරුන් ආරක්ෂා කිරීම සඳහා 1991 දී උතුරු ඉරාකයට සන්ධාන හමුදා මැදිහත් වූ” බව යි. සෝවියට් සංගමය බිඳ විසිරවීම සමග අත්වැල් බැඳගත්, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ප්‍රචන්ඩ පුපුරා යාමෙහි ආරම්භය 1991 ගල්ෆ් යුද්ධය විසින් සනිටුහන් කල බව හෙජස් අමතක කර ඇතුවා සේ පෙනේ. එම යුද්ධයේ දී ඉරාක වැසියන් ලක්ෂ ගනනක් මරා දැමුනි. පියාසර තහනම් කලාපයක් ප්‍රකාශයට පත්කිරීමට කුර්දිවරුන් ආරක්ෂා කිරීම සමග කිසිදු සම්බන්ධයක් තිබුනේ නැත. ජනාධිපති ජ්‍යෙෂ්ට බුෂ් අනුගමනය කල පිලිවෙත්වලට මුලුමනින් ම අනවන ලද්දේ, ඉරාක ආක්‍රමනය මධ්‍යයේ එක්සත් ජනපද යුද හමුදාවේ උපායාත්මක අවශ්‍යතා පිලිබඳ ඔහුගේ තක්සේරුව විසිනි.

හෙජස්ගේ රචනාවෙහි වඩාත් ම සාවද්‍ය කොටස් පවතින්නේ, බුෂ්නෙල් “තමන්ට ම ගිනි තබා ගැනීම,” “බලගතු දේශපාලන පනිවුඩයක්” ලෙස ඔහු උද්‍යෝගීමත් ලෙස තර්ක කරන කොටස් තුල ය.

ඔහු මෙසේ ප්‍රකාශ කරයි: “එය දකින තැනැත්තා ව නිද්‍රාවෙන් අවදි කරයි. උපකල්පිතයන් ප්‍රශ්න කිරීමට එය දකින්නාට බල කරයි. එය දකින්නාට ක්‍රියාත්මක වන ලෙස ආයාචනා කරයි. එය එක්කෝ දේශපාලන රඟහලයි, නැතහොත් වඩාත් ම බලගතු රූපාකාරයෙන් ඉදිරිපත් වන ආගමික චාරිත්‍රය යි.”

තරුන මිනිසාගේ මරනය යන ඉෂ්ට වූ කරුනෙන් පසුව, ඔහු මත් එහි ආධාරකරුවෙකු හා අනාගත විරෝධතා දිවි නසා ගැනීම් සඳහා අනුබල දෙන්නෙකු බවට පත් කරමින්, බුෂ්නෙල්ගේ දිවි නසා ගැනීමට හෙජස් දෙන සාවද්‍ය අනුමැතිය ගලා එන්නේ, දේශපාලන යථාර්ථය පිලිබඳ මුලුමනින් ම සාවද්‍ය චිත්‍රනයකිනි. හෙජස් ලියන දේවල් මත පදනම් වන යමෙක් උපකල්පනය කරනු ඇත්තේ, පලස්තීන වැසියන් මහා පරිමානයෙන් මරා දැමීමට එරෙහි මහජන විරෝධයක දර්ශකයක් නො පවතිද්දී ගාසා වැසියන් සංහාරයට ලක්කිරීම කෙරෙහි මහජන නො තැකීමේ කොන්දේසි යටතේ ආරොන් දිවි නසා ගත් බව යි. එම නිසා, විශ්වීය උදාසීනත්වයේ එවන් කොන්දේසි තුල, ගාසාවේ මහජනයා සඳහා වන උත්සුකයේ දැකිය හැකි මට්ටමක් අවුලුවාලීම සඳහා වන මංමුලා සහගත උත්සාහක දී, තමන්ව ම භයානක ප්‍රචන්ඩත්වයකට බඳුන් කරමින්, තමන්ගේ ජීවිතය කැප කිරීම හැර වෙන ඉතිරි ව තිබුනේ කවරක් ද?

එහෙත්, හෙජස් උපකල්පනය කරන හා ගොතන වර්ගයේ තත්වයට විපරීත ව, ඊස්රායල සංහාරය ලොව පුරා පැන නගින මහජන විරෝධතාවන්ට මුහුන දී තිබේ. සමහර අවස්ථාවල දී ලක්ෂ ගනන් මහජනයා සහභාගි වී ඇති ගනන් නැති විරෝධතාවන් පැවතී ඇත. මේවායින් බොහෝ අවස්ථාවල දී, යුදෙව් ජනයා විශාල ලෙස සහභාහිවිම හා සැලකිය යුතු විරෝධතා සංවිධානය කර ඇති බව පවා, මෙයට එකතු කල යුතු ය.

නිව් යෝක් නගරයේ පැවති සාමය සඳහා යුදෙව් හඬ විසින් සංවිධානය කරන ලද විරෝධතාවකට දහස් ගනනක් සහභාගි වෙති.

විරෝධතාවල ඵලදායකත්වය සීමා කර ඇති ගැටලුව වන්නේ, මහජන නො තැකීම නො ව, ගාසා ජනසංහාරයට, වඩා පලල් ව අධිරාජ්‍යවාදී බලයන් විසින් තුන්වැනි ලෝක යුද්ධයක් හා න්‍යෂ්ටික අවි භාවිතා කිරීම සූදානම් කිරීමට එරෙහි අරගලය පදනම් කල හැකි දේශපාලන ඉදිරි දර්ශනයක හා මූලෝපායක නොපැවැත්ම යි.

ධනේශ්වර දේශපාලනයේ පවත්නා ව්‍යුහයන් ඇතුලතට සීමා වී පවතින විරෝධතා දිශාගත කරනු ලබන්නේ, ධනපති පාලනයට එරෙහි ව කම්කරු පන්තිය ස්වාධීන දේශපාලන බලයක් ලෙස බලමුලුගැන්වීමට නො ව, ධනේශ්වර ආන්ඩුවල පිලිවෙත් වෙනස් කිරීම සඳහා ඒවාට පීඩනය යෙදීමට යි.

හෙජස් මනාප වන දේශපාලනික දිශානතිය සත්‍ය වසයෙන් ම මෙය යි. ටියුනීසියාවේ, දකුනු වියට්නාමයේ හා ටිබෙට් රටේ සිදු වුනු තමන්ට ම ගිනි තබා ගැනීම් මත විශේෂ අවධාරනයක් යොදමින්, මීට පෙර සිදු වූ ගිනි තබා ගැනීමේ සිද්ධීන් ගැන ඔහු සඳහන් කරන්නේ, චාරිත්‍රානුකූල දිවි නසා ගැනීම්වල ඵලදායීත්වය පිලිබඳ උදාහරන ලෙස ය. “මෙම තනි-පුද්ගල ස්වයං-කැප කිරීම්, මහජන විරුද්ධත්වය රැලි වන ලක්ෂ්‍යයන් බවට නිරන්තරයෙන් පත් වේ” යි ඔහු ලියයි.

දැන්, එවන් නාටකාකාර සිද්ධියක් විරෝධතා පැන නැංවීම හෝ තීව්‍ර කිරීම සිදු කර ඇති අවස්ථා පවතින බව සත්‍යයකි.

එහෙත්, චාරිත්‍රානුකූල දිවි නසා ගැනීම්, සමාජය විප්ලවවාදී ලෙස පරිවර්තනය කිරීමේ ඵලදායී මූලෝපායකට ප්‍රතිපදානය ක් සිදුකල අවස්ථාවක් නැත. එහෙත්, සත්‍ය වසයෙන් ම, දකුනු වියට්නාමයේ හා ටිබෙට් රටේ ඔහු උපුටා දක්වන අවස්ථා තුනෙන් දෙකක දී, ස්වයං ගිනි තබා ගැනීම් සිදු කර ඇත්තේ ප්‍රතිගාමී දේශපාලන බලවේගයන් විසින් ය. ඒවා ඇමරිකානු අධිරාජ්‍යවාදය විසින් තමනගේ ම අභිප්‍රායයන් සඳහා ගසා කෑවේ ය.

උදාහරනයක් ලෙස, 1963 දී, තිච් ක්වාන්ග් ඩුක් නමැති බෞද්ධ භික්ෂුවගේ ගිනි තබා ගැනීම, එවකට පැවති -උතුරු වියට්නාමයට හා ජාතික විමුක්ති පෙරමුනට එරෙහි ඵලදායී අරගලයක් දියත් කිරීමට අසමත් බව දැකගත් -ඩියෙම් පාලන තන්ත්‍රය පෙරලා දැමීමටත්, මිලිටරි ජුන්ටාවක් බලයට ගෙන ඒමටත් කෙනඩි පරිපාලනය විසින් උපයෝගී කරගන්නා ලද සිද්ධි දාමයක් පැන නැංවී ය.

ටිබෙට් රටේ ගිනි තබා ගැනීම් සලකද්දී, ඒවාට මග පෙන්වනු ලබන්නේ, චීනයට එරෙහි ආයුධයක් ලෙස බෙදුම්වාදී ව්‍යාපාරය දිරිමත් කරන වොෂින්ටනයේ අවශ්‍යතා විසිනි. මෙම ව්‍යාපාරය පිලිබඳ ආගන්තුක ලෙසින් වත් ප්‍රගතිශීලී වන කිසිවක් හෝ නැත. තරුන කම්කරුවෙක් දිවි නසා ගැනීම මහජන විරෝධතා ප්‍රේරනය කල ටියුනීසියාව සලකද්දී, පෙරලා දමන ලද පුද්ගලයන් ම, පලමු විරෝධතා රැල්ල තුල පෙරලා දමන ලද එම දේශපාලන බලවේගය ම, දැන් බලයට පැමින සිටී.

එහෙත් හෙජස්ට ඔහුගේ උද්‍යෝගය රඳවාගත නො හැක. තමන්ට ම ගිනි තබා ගැනීම් “යනු පූජාත්මක උපත් ය. ඒවා යම් නව දෙයක පෙර නිමිති පලකරයි. ඒවා වනාහි, වඩාත් ම නාටකාකාර ආකාරයෙන්, පිලිගත් සම්මතයන් සහ බලයේ පාලන පද්ධති මුලුමනින් ම ප්‍රතික්ෂේප කිරීම යි” යි ඔහු ලියයි.

මෙය අසත්‍ය ය. එවන් ක්‍රියාවන් කිසිසේත් එසේ නො වේ. පවතින තත්ත්වයන් මත, පවතින පාලන තන්ත්‍රයේ පුද්ගලයින් වෙනස් කිරීමක් කරා ලඟා වීම ඒවායේ ඉලක්කය විය හැක. නැතහොත්, වඩා පොදු දෙය වන්නේ, දැනට බලය දරනන්නන් විසින් පවතින පිලිවෙතෙහි වෙනසක් කරනු වස් පීඩනය යෙදීමට ඒවා අපේක්ෂා කරයි.

පවත්නා දේපොල සම්බන්ධතා පෙරලා දැමීම, ධනපති රාජ්‍යය හා ආයතන සුන්කර දැමීම සහ කම්කරු පන්තිය අතට බලය මාරු කිරීම කරා ඒවා සවිඥානික ව යොමු නො වේ.

ඊට පටහැනි ලෙස, අතිමූලික අර්ථයෙන් ගත් කල, චාරිත්‍රානුකූල දිවි නසා ගැනීමේ ක්‍රියා, සමාජවාදයේ හා සමාජවාදී විප්ලවයේ ඉදිරි දර්ශනය සමග සහමුලින් ම නොගැලපේ. සමාජවාදී විප්ලවයේ ක්‍රියාමාර්ගය සූත්‍රගත කරනු ලබන්නේ, සමාජයේ සමාජ-ආර්ථික ව්‍යුහය පිලිබඳ විද්‍යාත්මක විශ්ලේෂනයක පදනම මත යි. සමාජ විප්ලවයේ මූලික ගාමක බලය වන්නේ, නො මේරූ හා මංමුලා සහගත කෝපය නො ව, ලෝක ධනපති ක්‍රමයේ වෛෂයික පරස්පර-විරෝධයන් පිලිබඳ අවබෝධයක් සහ මෙම පරස්පර-විරෝධයන් පිලිබඳ සමවබෝධය විසින් මග පෙන්වනු ලබන මහජන සමාජීය ක්‍රියාවයි.

නමුත්, දේශපාලන යථාර්ථය තාර්කික ව අවබෝධ කරගැනීමක් ඵලදායී නො වන්නක් ලෙස හෙජස් විසින් ප්‍රතික්ෂේප කරනු ලබයි. දේවධර්මවාදී රයින්හෝල්ඩ් නෙයිබර්ගේ “ආත්මයෙහි පරමෝත්කෘෂ්ට උන්මාදය” සැමරීම සහ “ඉහල ස්ථානවල දුස්සාධ්‍ය බලය හා අධ්‍යාත්මික දුෂ්ටත්වය සමග සටන් කරනු ඇත්තේ එවන් උන්මාදයක් මිස වෙන කිසිවක් නො වේ” යන ඔහුගේ කියාපෑමට හෙජස් ආයාචනා කරයි. මෙය වනාහි, ඇත්ත වශයෙන් ම වම වෙනුවට දකුනට දිශාගත වීමක් ප්‍රකාශයට පත් කරන දේශපාලනික අතාර්කිකත්වය උත්කර්ෂයට නැංවීමක් මිස වෙන කිසිවක් නො වේ. දක්ෂිනාංශික දේශපාලනය අතාර්කික මනෝගතීන් සමග සමීප ව පෙල ගැසේ. අව්‍යාජ ව ප්‍රගතිශීලී, වාමාංශික, සමාජවාදී චින්තනය පෙලගැසී සිටින්නේ විද්‍යාව සමග ය.

හෙජස් ඔහුගේ රචනාව අවසන් කරන්නේ පහත දැක්වෙන ප්‍රකාශය සමගිනි:

දිව්‍යමය ප්‍රචන්ඩත්වය දූෂිත හා අපකීර්තිමත් පාලක පන්තියක් භීතියට පත් කරයි. එය ඔවුන්ගේ දුශ්චරිතය හෙලිදරවු කරයි. එය නිරූපනය කරන්නේ සෑම කෙනෙක් ම භීතිය විසින් පක්ෂාඝාත නොකරන බව යි. එය රැඩිකල් පාපයට එරෙහි ව සටන ට කැඳවන සයිරන් නලා හඬකි. බුෂ්නෙල් අපේක්ෂා කලේ එය යි. ඔහුගේ කැප කිරීම අපේ වඩා හොඳ ආත්මයන්ට කතා කරයි.

වඩා ඍජු ව ඉදිරිපත් කරන්නේ නම්, අසුභවාදයට, බුද්ධිමය බංකොලොත් භාවයට හා මධ්‍යම-පන්තික ව්‍යාජ-වාමවාදය හෙවත් විශ්වවිද්‍යාල මන්ඩප මත පොදුවේ ආධිපත්‍යය දරන දෘෂ්ටිවාදාත්මක සංකල්පයන්ගේ සාරභූත ප්‍රතිගාමී ස්වභාවයට හෙජස්ගේ රචනාව කතා කරයි.

1940 දී, හතරවන ජාත්‍යන්තරයේ ඇමරිකානු ශාඛාව තුල ඉස්මතු වී තිබුනු ප්‍රති-මාක්ස්වාදී ප්‍රවනතාවකට එරෙහි පක්ෂාභ්‍යන්තර දේශපාලන අරගලයක ගමන් මාවතේ දී, ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම සමාජ විප්ලවය වූ -මහපොලව සොලවාලූ සිදු වීමක් වන 1917 ඔක්තෝබරයේ දී රුසියානු කම්කරු පන්තිය විසින් බලය අල්ලා ගැනීමට- නායකත්වය දුන්නේ, බෝම්බ ගැසීමෙන් නො ව අපෝහක භෞතිකවාදී න්‍යායය ආරක්ෂා කිරීම හා විදාරනය කිරීම සමගින් සිය කටයුතු ආරම්භ කල පක්ෂය විසින් බව, ලියොන් ට්‍රොට්ස්කි සටහන් කලේ ය.

රුසියානු ජනතාවාදීන් අනුගමනය කරන ලද ත්‍රස්තවාදී විධික්‍රමයන්ට එරෙහි ව, රුසියානු මාක්ස්වාදීන් විසින් දියත් කර තිබූ 1880 ගනන් දක්වා ආපස්සට දිවෙන ඉතිහාසයක් සහිත වූ දීර්ඝ අරගලයට ට්‍රොට්ස්කි අවධානය යොමු කලේ ය. ඒ සමයේ දී, ආන්ඩුවේ නිලධාරීන්ට එරෙහි ත්‍රස්තවාදී ප්‍රහාරයන් සිදු කිරීමට විරුද්ධ ව, මාක්ස්වාදීහු තර්ක කල හ. මෙය දිවි නසා ගැනීමේ ක්‍රියාවෙන් බොහෝ අංශවලින් වෙනස් භාවිතාවක් වූ අතර, කිසිදු බැරෑරුම් දේශපාලන ප්‍රවනතාවක් ඒ අවදියේ දිවි නසා ගැනීම අනුගමනය කලේ නැත. එහෙත්, ත්‍රස්තවාදී ක්‍රියාවන්ට එරෙහි ව ඉදිරිපත් කරන ලද තර්කවල නිශ්චිත විවේචනාත්මක අංශ, හෙජස් විසින් ඉදිරියට දමන දිවි නසා ගැනීමේ “දේශපාලන රඟහල” ප්‍රතික්ෂේප කිරීමට සමස්තයක් ලෙස අදාල වේ.

සාරභූත කාරනය වන්නේ, ත්‍රස්තවාදයේ දේශපාලනය කම්කරු පන්තියේ මහජන ක්‍රියා වෙනුවට තනි-පුද්ගලයෙකුගේ විරෝධාර ක්‍රියාව ආදේශ කල බව යි. ගොදුර වූයේ රාජ්‍ය නායකයා වුව ද ත්‍රස්තවාදී ඝාතනවලට සමාජය රැඩිකල් ලෙස පරිවර්තනය කිරීමක් කල හැකි වූයේ නැත. ඉන්, එක් ඒකාධිපතියෙක් තවත් ඒකාධිපතියෙකු විසින් විස්ථාපනය කරනු ඇත. තව ද මහජනතාවගේ දේශපාලන විඥානය ඉහල නංවන්නේ නැති ත්‍රස්තවාදී ක්‍රියා, ඝාතකයන් හා පොලිස් බලධාරීන් අතර ගැටුම අක්‍රීය ලෙස නිරීක්ෂනය කරන්නන්ගේ තත්ත්වයට මහජනයා ඇද හෙලී ය.

1938 නොවැම්බරයේ දෙවැනි ලෝක යුද්ධයේ මුව විට දී හටගත් ඛේදවාචී සිද්ධියක් යලි මතකයට ගෙන එමින් මම මෙම ප්‍රතිපදානය සමාප්ත කරන්නෙමි.

පෝලන්තයේ උපත ලබා පැරීසියේ ජීවත් වෙමින් සිටි යුදෙව් සංක්‍රමනික තරුනයෙක් වූ හර්ෂල් ග්‍රින්ස්පෑන් නමැති 17 හැවිරිදි පුද්ගලයා, ජර්මානු තානාපති කාර්යාලයේ අර්න්ස්ට් වොම් රාත් නමැති නාසි රාජ්‍ය-තාන්ත්‍රිකයෙකු ඝාතනය කලේ ය. මෙම ක්‍රියාව ප්‍රවේසමෙන් සූදානම් කරන ලද්දක් නො වී ය. නාසීන් යුදෙව්වන් ව වධබන්ධනවලට ලක්කිරීම හා තමන්ගේ ම පවුල ම වධහිංසාවලට ලක්වීම හේතුවෙන් කෝපයට පත් වූ ග්‍රින්ස්පෑන්, පලිගනු වස් ජර්මානු තානාපති කාර්යලයට ගිය බව පසු කාලීන විමර්ශනය පෙන්නුම් කලේ ය. ඔහු ඔහුගේ ඉලක්කය ලෙස සුවිශේෂී පුද්ගලයෙකු තෝරාගෙන නො තිබුනි. ඔහුට දේශපාලන අත්දැකීම් තිබුනේ නැත. ඔහුට මුනගැසුනු පලමු නිලධාරියාට ග්‍රින්ස්පෑන් වෙඩි තැබූ අතර, වොම් රාත්ගේ අවාසනාව නිසා එම පුද්ගලයා වූයේ ඔහු ය.

ග්‍රින්ස්පෑන්ගේ ඡායාරූපය


මෙම ඝාතනය දුර දිග යන හා කුප්‍රකට ප්‍රතිවිපාක ඇතිකල එකක් විය. හිට්ලර්ගේ පාලන තන්ත්‍රය ජර්මානු යුදෙව්වන්ට ප්‍රචන්ඩ ලෙස ප්‍රහාර තීව්‍ර කරනු වස් මෙම ඝාතනය ඩෑහැගැනීමට තීරනය කලේ ය. 1938 නොවැම්බර් 9 දා සිදු වූ වොම් රාත්ගේ මරනයෙන් පැය ගනනක් ඇතුලත, ක්‍රිස්ටෝල්නාක්ට් නමැති යුදෙව්-විරෝධී සංහාරය දියත් කිරීමට නාසීහු ක්‍රියා කල හ.

ක්ෂනික ව අත්අඩංගුවට ගන්නා ලද ග්‍රින්ස්පෑන්, කෝපාවිෂ්ට හෙලාදැකීම්වලට බඳුන් කරන ලද්දේ, හුදෙක් ෆැසිස්ට්වාදීන් විසින් පමනක් නො වේ. ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂයේ සහයෝගය ලත් “වාමාංශික” මහජන පෙරමුනු ආන්ඩුව ද ප්‍රන්සය හා ජර්මනිය අතර සබඳතාවලට වලකැපීම හා වාමාංශික ආන්ඩුව දුර්වල කල බව ට චෝදනා කරමින් එම තරුනයා හෙලා දුටුවේ ය.

ග්‍රින්ස්පෑන්ගේ ආරක්ෂාව වෙනුවෙන් හඬ නගන ලද්දේ, ලියොන් ට්‍රොට්ස්කි හා ප්‍රන්සය තුල ඔහුගේ ආධාරකරුවන් පමනි. විශිෂ්ට රචනාවක් ලියූ ට්‍රොට්ස්කි, තරුන මිනිසා විසින් තෝරා ගන්නා ලද ත්‍රස්තවාදී විධික්‍රමය ප්‍රතික්ෂේප කිරීම පැහැදිලි කරන අතර ග්‍රින්ස්පෑන්ට චෝදනා කලවුන්ට එරෙහි ව ඔහු ව ආරක්ෂා කලේ ය. ට්‍රොට්ස්කි ප්‍රතිචාර දක්වමින් සිටියේ, ෆැසිස්ට් නිලධාරියෙකුට එරෙහි දේශපාලන ඝාතනයකට මිස, සිය දිවි හානි කරගැනීමකට නො වේ. ග්‍රින්ස්පෑන්ට ඔහුගේ ජීවිතය ද අහිමි කල ඔහුගේ ක්‍රියාව ගැන ට්‍රොට්ස්කිගේ විවේචනය, අපරිමිත අදාලත්වයක් දරා සිටී. ෆැසිස්ට්වාදයේ නියෝජිතයා කෙරෙහි නව යෞවනයාගේ වෛරය ද ඔහුගේ මංමුලාව ද ට්‍රොට්ස්කි අවබෝධ කරගත්තේ ය.

එහෙත්, විප්ලවවාදී නායකයෙක් ලෙස තමන්ගේ ම වගකීම හඳුනාගත් ට්‍රොට්ස්කි, ග්‍රින්ස්පෑන්ගේ ක්‍රියාව අනුගමනය කිරීමට එරෙහි ව තරුනයන්ට බලගතු ලෙස උපදෙස් දුන්නේ ය. මෙම රචනාව එය ලියූ කාලයේ සුවිශේෂී වූ අතර, ඔහු මෙසේ ලිවී ය:

සදාචාරාත්මක අර්ථයකින්, ඔහුගේ ක්‍රියා මාදිලිය වෙනුවෙන් නො වුන ද ග්‍රින්ස්පෑන් සෑම තරුන විප්ලවවාදියෙකුට ම ආදර්ශයක් ලෙස සේවය කරනු ඇත. ග්‍රින්ස්පෑන් සමග අපට තිබෙන විවෘත සදාචාරාත්මක සහෝදරත්වය, ග්‍රින්ස්පෑන්වරුන් වියහැකි අනෙකුත් සියලු දෙනාටත්, අත්තනෝමතිකත්වයට හා කෲරත්වයට එරෙහි අරගලය තුල ස්වයං-කැප කිරීම් කල හැකි සියල්ලන්ටත්, වෙනත් මාවතක් සොයා ගන්න! යැයි කීමට මහත් අයිතියක් අපට ලබා දෙයි. පීඩිතයන් ව නිදහස් කල හැක්කේ, හුදකලා පලිගන්නෙකුට නො ව, ශ්‍රේෂ්ඨ විප්ලවවාදී මහජන ව්‍යාපාරයකට හෙවත්, පන්ති සූරාකෑමේ, ජාතික පීඩනයේ හා වාර්ගික වදහිංසා කිරීමේ සමස්ත ව්‍යුහයෙහි අංශුවක් වත් ඉතිරි නො කරන ව්‍යාපාරයකට පමනි.

ෆැසිස්ට්වාදයේ පෙර නුවූ විරූ අපරාධ, මුලුමනින් ම සාධාරනීකරනය කල හැකි පලිගැනීමේ අභිලාෂයක් නිර්මානය කරයි. එහෙත් ඔවුන්ගේ අපරාධවල පරාසය කොතරම් භයංකර ද යත්, හුදෙකලා ෆැසිස්ට් නිලධාරීන් ඝාතනය කිරීම මගින් මෙම අභිලාෂය තෘප්තිමත් කල නො හැක. ඒ සඳහා, මිලියන ගනන් දෙනාගේ, සමස්ත ලෝකය පුරා පීඩනයට බඳුන් වන කෝටි සංඛ්‍යාත දෙනාගේ ව්‍යාපාරය ද පැරනි සමාජයේ බලකොටු මතට ප්‍රහාරය එල්ල කිරීමේ දී මෙම ජනතාවට නායකත්වය දීම ද අවශ්‍ය කරවයි. මහජනයාගේ යුක්තියුක්ත කෝපයට සැබෑ සන්තෘප්තියක් සම්පාදනය කල හැක්කේ වහල් භාවයේ සකල රූපාකාරයන් ම පෙරලා දැමීමට, ෆැසිස්ට්වාදය මුලුමනින් විනාශ කිරීමට සහ වර්තමාන පල්හොරුන් හා මැරයන් අරබයා නිර්දය ලෙස විනිශ්චය දීම සඳහා මහජන සහභාගීත්වයට පමනි. හතරවන ජාත්‍යන්තරය තමන්ට ම පවරාගෙන ඇති කර්තව්‍යය හරියට ම මෙය යි. එය කම්කරු ව්‍යාපාරය ස්ටැලින්වාදී ව්‍යසනයෙන් මුදවාලනු ඇත. එය එහි සාමාජිකත්වය තුලට වීරෝදාර තරුන පරම්පරාව රැලි කරගනු ඇත. එය වඩා වටිනා, වඩා මානවීය අනාගතයකට මාවතක් කපනු ඇත.

ලියොන් ට්‍රොට්ස්කි


අපගේ ම කාලය තුල මෙම වචන අනුනාද වේ--ඉන්,තත්වයන් අනුව වෙනස් කල යුතු දෙය වෙනස් කරමින් -ආරොන් බුෂ්නෙල්ගේ ඛේදජනක මරනයෙන් උකහාගත යුතු දේශපාලන පාඩම් බලගතු ලෙස සම්පින්ඩනය කරයි.

සැබෑ ලෙස ම සටන් කිරීම අවශ්‍ය අය; එනම් සෑම දිනක ම අප අත්දකිමින් සිටින දෙයින් කෝපයට හා භීතියට පත් වන අය; අප මෙහි කතා කරද්දී පවා, ලමුන් මෙන් ම ලදරුවන් පවා පානීය ජලය භාවිතයට අවසර නො දීම, ආහාර නැති කම නිසා මිය යමින් සිටින බව හා අතිශයින් ම අමානුෂික කොන්දේසි යටතේ ජීවත් වන බව හඳුනා ගන්නා අය; එමෙන් ම, “හොඳයි, අපි තවත් ගාසා වැසියන් 30,000කට මිය යාමට ඉඩ නො දිය යුතුයි -සමහර විට 5,000ක්, සමහර විට තවත් 10,000ක් හෝ 15,000කට වැඩියෙන්, නමුත් 30,000ක් නො විය යුතුයි”--බයිඩන්ට මත් මෙය ඕනෑවට වැඩි ය--- එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා මෙම ක්‍රියාවන් සාධාරනීකරනය කරමින් කරන ප්‍රකාශ නරඹද්දී, තමන් කෝපයෙන් හා පිලිකුලෙන් සිටින බව හැ‌ඟෙන අය;

මෙලෙස, ඔබ දකින දෙයින් මුසපත්වන පත් වන අය ආදී ඔබ සියලු දෙනා උකහා ගැනීමට යන‌ දේශපාලන පාඩම් මොනවා ද? මෙම තත්වය අවසන් කිරීමට අවශ්‍ය වන්නේ කුමක් ද? පලිගැනීමේ තනි-පුද්ගල ක්‍රියාවන් හා ස්වයං-කැප කිරීමේ පුද්ගලික ක්‍රියාවන් නො ව, සැබෑවට ම බලය තිබෙන එක ම සමාජ බලවේගය වන, සමස්ත ධනපති නිෂ්පාදන ක්‍රියාදාමය තුල එහි වෛෂයික භූමිකාව ද, නිෂ්පාදන බලවේග තුල එහි ස්ථානය ද, එහි විභවීය ආර්ථික ශක්තිය ද, එහි ගෝලීය ස්වභාවය ද, ධනවාදය දනගැස්සවීමේ හැකියාව ද සහිත මිලිටරිවාදයේ පදනම් ම විනාශ කල හැකි වන්නා වූ ද බලවේගය වෙත හැරීම යි.

අපේ පක්ෂය අපට ම පවරාගෙන ඇත්තේ ද, ලෝක සමාජවාදී වෙබ් අඩවිය පල කිරීම හරහා ද, සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ සංවිධානයේ ක්‍රියාකාරීත්වය හරහා ද, සමාජවාදී සමානතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ලෙස ජෝසෆ් කිෂෝර් හා උප ජනාධිපති අපේක්ෂක ලෙස ජෙරී වයිට්ගේ අපේක්ෂකත්වයන් ඉදිරිපත් කිරීම හරහා ද අප කිරීමට උත්සාහ කරන්නේ මෙම කර්තව්‍යය යි. දිගහැරෙනු ඇති හා දිගහැරිය යුතු අරගල සඳහා කම්කරුවන්, තරුන ජනයා සහ ශිෂ්‍යයන් අධ්‍යාපනගත කිරීමට හා දේශපාලනික ව සූදානම් කිරීමටත්, කම්කරු පන්තියේ අරගලවලට සහභාගි වී ඒවාට නායකත්වය දීමේ හැකියාව ඔවුන්ට ලබා දීමටත්, එම බලගතු ව්‍යාපාරයට අව්‍යාජ විප්ලවවාදී ඉදිරි දර්ශනයක් සම්පාදනය කිරීමට අපි මෙම උද්ඝෝෂනය යොදා ගනිමු.

එම නිසා, ඔබේ කෝපය හා කේන්තිය ඵලදායී දේශපාලනික ක්‍රියා බවටත්, මාක්ස්වාදී න්‍යායය ප්‍රගුන කිරීම සඳහා අධිෂ්ඨානය බවටත්, ඉතිහාසයේ පාඩම් ඉගෙනගෙන, පසුගිය ශත වර්ෂයේ ශ්‍රේෂ්ඨ විප්ලවවාදී අරගල සම්බන්ධයෙන් දැනුවත් වීම බවටත් පරිවර්තනය කරන්න.

වැඩි කාලයක් ඉතිරි ව නැති නිසා, මම යම් හදිසිභාවයෙන් මෙසේ කියමි. ඔබ ප්‍රවෘත්ති බලනවා නම්, ඒවායෙහි යුක්‍රේනය තුල නැටෝ මැදිහත් වීම සඳහා ක්‍රියාකාරී සාකච්ඡා පවතී. බයිඩන් ද ඔහුගේ සගයන් හා නැටෝවේ සම කුමන්ත්‍රනකරුවෝ ද න්‍යෂ්ටික යුද අන්තරාය සමගින් විනාශකාරී සුදූ කෙලියක යෙදී සිටිති. සිටිති. කෝවිඩ් වසංගතය කෙරෙහි ඔවුන්ගේ ආකල්පය සහ යුක්‍රේනියානුවන් ලක්ෂ ගනනකගේ ජීවිත ඇමරිකාවේ ගෝලීය මූලෝපායික අවශ්‍යතා ලුහුබඳිනු වස් කැප කර ඇති ආකාරයෙන් ද මිලිටරි ඝට්ටනයේ පිලිගත හැකි රූපාකාරයක් ලෙස න්‍යෂ්ටික අවි භාවිතා කිරීම සලකා බැලීමට ඔවුන් මනාප වන ආකාරයෙන් ද මහා පරිමාන මරන කෙරෙහි ඔවුන්ගේ නොතැකීම ඔවුන් ප්‍රදර්ශනය කර ඇත.

අපි බැරෑරුම් දේශපාලනික ප්‍රශ්නවලට හා අභියෝගයන්ට මුහුන දී සිටිමු. ඒවා විසඳිය හැකි ය. එහෙත් ඒවා විසඳීමට අපි විප්ලවවාදී පක්ෂයක් ගොඩනැගිය යුතු වෙමු. කම්කරු පන්තික මහා ජනතාවන්ගේ පක්ෂපාතිත්වය දිනා ගැනීමට මෙම පක්ෂය කටයුතු කල යුතු ය. ආරොන් බුෂ්නෙල්ගේ මරනයෙන් ද අපගේ යුගයේ අර්බුදය අවබෝධ කරගැනීමකින් ද අප උකහාගත යුතු මූලික පාඩම එය යි.


[1]

“Suicide rates double among US soldiers between 2004 and 2009, research shows,” BMJ, published 6 March 2014 -(1) “එක්සත් ජනපද සොල්දාදුවන් අතර දිවි නසා ගැනීමේ අනුපාත 2004 හා 2009 අතර දෙගුන වෙයි, බීඑම්ජේ, 2014 මාර්තු 6-

[2]

Journal of Affective Disorders, Volume 148 (2013), 37-41. _ජර්නල් ඔෆ් ඇෆෙක්ටිව් ඩිස්ඕඩර්ස්, 148 වෙළුම (2013), 37-41.

[3]

“Theses on Feuerbach”, Marx-Engels Collected Works, Volume 5 (New York: International Publishers, 1976), p. 7-(1) “ෆොයබාක් පිලිබඳ ප්‍රවාද”, ලුද්විග් ෆොයබාක් හා සම්භාව්‍ය ජර්මානු දර්ශනවාදයේ අවසානය, කම්කරු මාවත ප්‍රකාශන, 2015, 99 පිටුව-

[4]

E. A. Preobrazhensky, The Preobrazhensky Papers, Archival Documents and Materials, Volume 1: 1886-1920, edited by Richard Day and Mikhail M. Gorinov, translated by Richard Day [Chicago: Haymarket Books, 2015], pp. 243-44- (1) ඊ. ඒ. ප්‍රියෝබ්‍රෙෂන්ස්කි, ප්‍රියෝබ්‍රෙෂන්සකි පත්‍රිකා (ද ප්‍රියෝබ්‍රෙෂන්ස්කි පේපර්ස්), ලේඛනාගාර ලේඛන හා කෘසාහිත්‍යය, 1 වෙලුම: 1886-1920, රිචඩ් ඩේ හා මිකායිල් එම්. ගෝරිනොව් සංස්කරනය, පරිවර්තනය රිචඩ් ඩේ විසිනි, (චිකාගෝ: හේමාකට් බුක්ස්, 2015), 243-44 පිටු

Loading