ආසියාවේ ඉහලම ධනවතාගේ ඩොලර් මිලියන 152 ක “පූර්ව විවාහ” සැමරුම කම්කරුවන් සහ ගම්බද දුප්පතුන් කෙරෙහි ප්‍රකෝටිපතියන්ගේ අවඥාව පෙන්නුම් කරයි

[මෙය US$152 million “pre-wedding” bash of Asia’s richest man shows contempt of billionaires toward workers and rural poor යන මැයෙන් 2024 මාර්තු 21 දා පල කෙරුනු ලිපියේ පරිවර්තනය යි.]

කෝටි ගනනක් දුප්පත් ජනතාව නිසි පරිදි ආහාර සහ ජලය නොමැතිව ජීවිතය පවත්වා ගැනීමට අරගලයක නිරතව සිටින අතර, ඉන්දියාවේ ධනවත්ම පුද්ගලයා වන ප්‍රකෝටිපති මුකේෂ් අම්බානි, ඔහුගේ බාල පුත් ආනන්ද්ගේ තුන්දින “පූර්ව විවාහ” උත්සවය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 150 (ඉන්දියන් රුපියල් කෝටි 1259) කට වඩා වියදම් කර ඇත. ජූලි 12දා පැවැත්වීමට නියමිත සැබෑ විවාහ මංගල්‍යය සඳහා අම්බානි කොපමන මුදලක් වැය කරයිද යන්න තාමක් සිතාගත නොහැක. 2018 දී, සිය දියනිය ඊෂාගේ විවාහ මංගල්‍යය සඳහා අම්බානි ඩොලර් මිලියන 100 ක් පමන වියදම් කල අතර, ඊට හිටපු එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරුන් වන හිලරි ක්ලින්ටන් සහ ජෝන් කෙරී ඇතුලු පිරිසක් සහභාගී වූහ.

ෆෝබ්ස් සඟරාවේ ප්‍රකෝටිපතියන්ගේ ලැයිස්තුවට අනුව, ඩොලර් බිලියන 116 කට වඩා ධනයක් ඇති මුකේෂ් අම්බානි ලොව 10 වැනි ධනවත්ම පුද්ගලයා මෙන්ම, ඉන්දියාවේ සහ ආසියාවේ ධනවත්ම පුද්ගලයා ද වේ. අම්බානිගේ රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් යනු, බොර තෙල් වලින් නිෂ්පාදනය කරන රසායනික ද්‍රව්‍ය සහ තෙල් හා ගෑස්වල සිට, ටෙලිකොම් සහ සිල්ලර වෙලඳාම දක්වා වන, වාර්ෂික ආදායම ඩොලර් බිලියන 100 කට වඩා වැඩි ප්‍රමානයක් වාර්තා කරන දැවැන්ත සමූහ අධිරාජ්‍යයකි.

ඉන්දියාවේ මූල්‍ය අගනුවර වන මුම්බායි හි, ඩොලර් බිලියන 1 ක් වටිනා, ඇන්ටිලා නමින් හඳුන්වන මහල් 27 කින් යුත් පෞද්ගලික ගොඩනැගිල්ලක් අම්බානි පවුල සතුය. යන්තම් වර්ග කිලෝමීටර් 2.39 කට වඩා වැඩි භූමි ප්‍රමානයක මිලියන 1 ක ජනතාවක් ජීවත් වන ලොව විශාලතම මුඩුක්කු වලින් එකක් වන ධාරාවි පිහිටා ඇත්තේ ද එම නගරයේය. ඇන්ටිලා සතුව හෙලිකොප්ටර් ගොඩබැස්සවිය හැකි පරිශ්‍ර තුනක්, කාර් 160 ක් නැවතිය හැකි ගරාජයක්, පෞද්ගලික සිනමා ශාලාවක්, පිහිනුම් තටාකයක් සහ ශරීර යෝග්‍යතා මධ්‍යස්ථානයක් තිබේ.

මාර්තු 1 සිට 3 දක්වා දින තුනක් තිස්සේ උත්කර්ෂවත් විවාහ-පූර්ව මංගල්‍ය උත්සවය පැවැත්වුනේ, 600,000 ක් පමන ජනගහනයක් සිටින, ගුජරාට් ප්‍රාන්තයේ කාන්තාරයකට ආසන්න ප්‍රදේශයක පිහිටි බටහිර ඉන්දීය නගරයක් වන ජම්නගර් හි ය; පවුලේ උපන් නගරය වන එහි අම්බානිලාට හිමි ප්‍රධාන තෙල් පිරිපහදුව ද පිහිටා තිබේ.

අමුත්තන් නවදිල්ලියේ සහ මුම්බායි සිට කුලියටගත් ජෙට් යානා වලින් සම්ප්‍රාප්තවූ අතර ඔවුන්ට කොන්ඩා මෝස්තර ශිල්පීන්, වේශ නිරූපන ශිල්පීන් සහ ඇඳුම් ඇන්දවීමේ ශිල්පීන්ගේ සේවාවන් සම්පාදනය කර තිබුනි. ජම්නගර් ගුවන් තොටුපල බලධාරීන්ට අනුව, මෙම උත්සවය සඳහා ගුවන් යානා 130 ක් පමන පැමින ඇත. උත්සවයේ වීඩියෝ, ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් ඇතුලු සමාජ මාධ්‍ය වේදිකාවල සීග්‍රයෙන් බෙදාහැරුනු අතර ප්‍රධාන අන්තර්ජාල ප්‍රවෘත්ති සේවා විසින් ද පුලුල් ලෙස වාර්තා කරන ලදී.

රොයිටර් පුවත් සේවයට අනුව, අමුත්තන්ට උත්සව සඳහා සවිස්තරාත්මක, පිටු නවයකින් යුත් ඇඳුම් පැලඳුම් රීති මාලාවක් ලබා දී ඇත. ඇඳුම් රීති වලට ‘ජන්ගල් ෆීවර්’ (සතුන් මුද්‍රනය කල ඇඳුම් හෝ හවායි කමිස) තේමාවක් සහ ‘විස්මිත’ ඉන්දියානු ඇඳුම් දිරිමත් කරන තේමාවක් ඇතුලත් විය. දින තුනකට වැඩි කාලයක්, සුඛෝපභෝගී කූඩාරම්වල රැඳී සිටි දහස් ගනනක් අමුත්තන්ට රිලයන්ස් ග්‍රීන්ස් සංකීර්නය තුල අලංකාර ලෙස සරසා ඇති ස්ථානවල සුඛෝපභෝගී කොක්ටේල් සහ රාත්‍රී භෝජන සංග්‍රහයන් පිරිනමන ලද අතර එහිදී සූපවේදීන් 100 කට වැඩි පිරිසක් විසින් පිසූ කෑම වර්ග 2,500 ක් ඔවුන්ට පිරිනමන ලදී. ආහාර සැපයීමේ කොන්ත්‍රාත්තුවට පමනක් ඩොලර් මිලියන 25 (ඉන්දියන් රුපියල් කෝටි 208ට අධික මුදලක්) වැය වී ඇති බව වාර්තා වේ.

මිලියන ගනනක් ඉන්දියානු කම්කරුවන්ගේ සහ දුප්පතුන්ගේ දුක්ඛිත ජීවන තත්වයන් ගැන සුපිරි ධනවතුන්ට තැකීමක් නොමැති ආකාරය උත්කර්ෂවත් උත්සවය සම්බන්ධයෙන් පලවූ සමාජ මාධ්‍ය පොස්ටු මගින් ඇඟවුම් කෙරෙයි. මෙටා (ෆේස්බුක්) හි ප්‍රධාන විධායක නිලධාරී සකර්බර්ග් සහ ඔහුගේ 'පරිත්‍යාගශීලි' බිරිඳ ප්‍රිසිලා චෑන්, අම්බානිගේ පුත් අනන්ත් ගේ ඩොලර් මිලියනයක් වටිනා සුඛෝපභෝගී ඔරලෝසුව ගැන වගවර්නනා කරන ආකාරය එවැනි එක් වීඩියෝවකින් පෙන්නුම් කලේය. 'ඔබ දන්නවා, මට කවදාවත් ඔරලෝසුවක් ලබා ගැනීමට අවශ්‍ය වෙලා නැහැ, නමුත් එය දැකීමෙන් පසු, ඔරලෝසු පැලඳීමට ඇත්නම් හොඳයයි මට හැඟුනා,' ඇමරිකානු ප්‍රකෝටිපතියා කීවේ ය.

දසලක්ෂ ගනන් මිනිසුන් අතර වන්දනාමානයට පත් හොලිවුඩයේ විශාලතම නාමයන්, වේදිකාවේ අම්බානිවරුන් සමඟ නර්තනයේ යෙදෙනු දැකගත හැකි වූ අතර, ඔවුන්ගේ ඉසුරුමත් පාරාදීසයෙන් පිටත මිලියන සිය ගනනක් දුප්පත් මිනිසුන්ට කුමක් සිදුවේදැයි ඒ කිසිවෙකුට වගේවගක් තිබුනේ නැත. පොප් ගායිකා රිහානාට මෙම උත්සවයේදී ඇයගේ ප්‍රසංගය වෙනුවෙන් ඩොලර් මිලියන 8 ත් 9 (රු. කෝටි 66-75ත් අතර) මුදලක් ගෙවා ඇත.

සමස්ත සිදුවීමම පිලිබිඹු කරන්නේ, ඉන්දියාවේ බිලියනයකට වැඩි කම්කරුවන්ගේ සහ පීඩිතයින්ගේ දුක්ඛිත තත්වය කෙරෙහි ඉන්දියාවේ ධනේශ්වර ප්‍රභූවේ පූර්න නොතකීම පමනි. ආරාධිතයන් අතර ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ද සිටි බවට සැකයක් නැත. කෙසේ වෙතත්, ඉන්දියාවේ සුපිරි ධනවතුන් සමඟ එලිපිට පෙනීසිටීම, අප්‍රේල් 19 සිට ජූනි 1 දක්වා පැවැත්වීමට නියමිත මහ මැතිවරනයේ බලය රඳවා ගැනීමට උත්සාහ කරන ඔහුට සහ ඔහුගේ හින්දු අධිපතිවාදී භාරතීය ජනතා පක්ෂයට දේශපාලන වශයෙන් අවාසිදායක වන බැවින්, හුදෙක් උපායශීලී හේතූන් මත මෝදි උත්සවයට සහභාගී වීමෙන් වැලකී සිටියේය. කොංග්‍රස් පක්ෂය සහ අනෙකුත් විරුද්ධ පක්ෂ දැනටමත්, ඉන්දියාවේ දෙවන ධනවත්ම ප්‍රකෝටිපතියා වන ගෞතම් අදානි සමඟ අම්බානිට ඔහුගේ ශක්තිමත් පිටුබලය සඳහන් කරමින්, මෝදිගේ ගජමිතුරු සංග්‍රහය ගැන චෝදනා කර ඇත.

එහෙත් අතිසුඛෝපභෝගී උත්සවය සඳහා මෝදි ආන්ඩුවේ අනුග්‍රහය ඉතා පැහැදිලිව පෙනෙන්නට තිබුනි. නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතට අනුව, මහජන මුදල් භාවිතා කරමින්, ආන්ඩුව, ජම්නගර් හි කුඩා අභ්‍යන්තර ගුවන් තොටුපල, නිල ජාත්‍යන්තර ගුවන් තොටුපලක් බවට පත් කල අතර, අමුත්තන්ට ඔවුන්ගේ පුද්ගලික ගුවන් යානා ගොඩබැස්සවීමට අවකාශය සලසා දුනි. එපමනක් නොව, “රජයේ ගුවන් තොටුපල පුලුල් කොට, කාර්ය මන්ඩලයේ සංඛ්‍යාව වැඩිකලේ ය; එමෙන්ම ඉන්දියානු ගුවන් හමුදාව විසින් අමතර හමුදා නිලධාරීන් යොදවන ලදී—සියල්ල එක් පවුලක එක් උත්සවයක් සඳහාය.”

ඉන්දියාවේ නවදිල්ලියේ වෙලඳ පොලක සාප්පු සවාරි යන්නන් පිරී ඉතිරී සිටින විට, මිනිසුන් වීදි ආහාර අනුභව කරති. [ඒපී ඡායාරූපය/අල්තාෆ් කද්‍රි] [AP Photo/Altaf Qadri]

මෝදිගේ ආයෝජක ගැති සහ කම්කරු පන්ති විරෝධී ප්‍රතිපත්තිවලට ස්තුතිවන්ත වන්නට ප්‍රකෝටිපතියන් ඔවුන්ගේ ධනස්කන්ධය වැඩි කරගෙන ඇත. මෙය තේරුම් ගැනීමට නම්, කෙනෙකු මෝදි ප්‍රථම වරට බලයට පත් වූ 2014 වර්ෂයේදී අම්බානිගේ ධනය (ඩොලර් බිලියන 23.4) දෙස බැලිය යුතුය. දැන් ඔහු එය පස් ගුනයකින් පමන වැඩි කර ඇත. නිව් යෝර්ක් ටයිම්ස් එක් උදාහරනයක් දෙමින්, මෝදි බලයට පත් වූ දා සිට අම්බානි විශාල වශයෙන් ආයෝජනය කර ඇති සහ 'දැන් සතිපතා නරඹන්නන් මිලියන 800 ක් අනුයන (followed) ඉන්දියාවේ විශාලතම මාධ්‍ය සමුහය ඇතුලුව මධ්‍ය ප්‍රකාශන 70 කට වැඩි ප්‍රමානයක් හිමි' විදුලි සංනිවේදන කර්මාන්තය මත ප්‍රකෝටිපතියාගේ ආධිපත්‍යය ගැන සඳහන් කරයි. අනෙක් අතට, 'මෙම ප්‍රකාශන බොහොමයක් මෝදි මහතාගේ අක්තපත්‍ර හුවා දක්වමින් ඔහුට ප්‍රශංසා වැසිවස්සමින් සිටී.'

දැන් තුන්වන ධූර කාලයක් අපේක්ෂා කරන මෝදි ආන්ඩුව යටතේ, බිලියන ගනන් කම්කරුවන් හා දුප්පතුන්ගේ වියදමින් ඉන්දියාවේ ධනවතුන් වඩාත් පොහොසත් වී ඇත. 'ඉන්දියාව ලෝකයේ වඩාත්ම අසමාන රටවල් අතර පවතී” යැයි 2022 ලෝක අසමානතා වාර්තාව සඳහන් කලේ ය.' “ධනවත්ම සියයට 10 රටේ සමස්ථ ධනයෙන් සියයට 72 කට වඩා වැඩි ප්‍රමානයක් හිමිකරගෙන සිටින බවත්, ඉහලම සියයට 5 ට මුලු ධනයෙන් සියයට 62 කට ආසන්න ප්‍රමානයක් හිමිවන බවත්, ඉහලම සියයට 1 ඉන්දියාවේ මුලු ධනයෙන් 40.6 කට ආසන්න ප්‍රමානයකට හිමිකම් කියන” බවත ඔක්ස්ෆෑම් වාර්තාව විසින් සොයා ගැනිනි.

සති කිහිපයකට පෙර (අම්බානිගෙන් විස්ථාපනය වන තුරු) ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස හුවා දැක්වූ ප්‍රකෝටිපති ගෞතම් අදානි ද මෝදිගේ සමීප සගයෙකි. ඔක්ස්ෆෑම් වාර්තාවට අනුව, 'වසංගතය අතරතුර අදානිගේ ධනය පමනක් අට ගුනයකින් වැඩි වූ අතර පසුව 2022 ඔක්තෝම්බර් මාසයේදී ඉන්දියානු රුපියල් ට්‍රිලියන 10.96 (ඩොලර් බිලියන 132.48) දක්වා දෙගුනයක් වී ඔහු ධනවත්ම ඉන්දියානුවා බවට පත් විය.'

දුප්පත් මිනිසුන්ගේ තත්වය මීට සපුරාම වෙනස් ය. ඔක්ස්ෆෑම් සොයාගෙන ඇත්තේ, කොවිඩ්-19 වසංගතය අතරතුර, ජනගහනයෙන් පහලම සියයට 50 හේ ආදායම සහ ධනය යන දෙකම අඛන්ඩව කාබාසිනියාවී ගොස් ඇති බවයි. 2020 වන විට ඔවුන්ගේ කොටස ජාතික ආදායමෙන් සියයට 13 කටත් වඩා අඩු අගයකට පහත වැටී ඇති අතර එය මුලු ධනයෙන් සියයට 3 කටත් වඩා අඩු අගයක් බව ගනන් බලා තිබේ. එහි බලපෑම වූයේ “අතිශයින් දුප්පත් ආහාර වේල් සහ නය සහ මරන ඉහලයාම්” යැයි වාර්තාව සඳහන් කරයි.

රට තවමත් ලෝකයේ වඩාත්ම දුප්පතුන් සංඛ්‍යාවක් සිටින රටවල් අතර පවතින අතර එම සංඛ්‍යාව දසලක්ෂ 228.9 කි. අනෙක් අතට, ඉන්දියාවේ මුලු ප්‍රකෝටිපතියන් සංඛ්‍යාව 2020 දී 102 සිට 2022 දී 166 දක්වා වැඩි විය. ඉන්දියාවේ ධනවත්ම පුද්ගලයන්ගේ ඒකාබද්ධ ධනය රුපියල් බිලියන 54,120 (ඩොලර් බිලියන 630) දක්වා ලඟා වී තිබේ. ඉන්දියාවේ ඉහලම ධනවත්ම 10 දෙනාගේ ධනය රුපියල් බිලියන 27,520 (ඩොලර් බිලියන 332) වන අතර එය 2021 සිට සියයට 32.8 ක වැඩිවීමකි.

අම්බානිවරුන් සහ අනෙකුත් ඉන්දියානු ප්‍රකෝටිපතියන් ඔවුන්ගේ දැවැන්ත ධනස්කන්ධය සමරන අතර, 2023 දී ගෝලීය කුසගිනි දර්ශක වාර්තාවේ රටවල් 125 ක් අතර ඉන්දියාව 111 වන ස්ථානයට පත්විය. ඊට පහතින් ශ්‍රේනිගත කරන රටවල් කිහිපය අතර ඇෆ්ගනිස්ථානය, කොංගෝව, යේමනය සහ සුඩානය වේ. එපමනක් නොව, ගෝලීය සාගින්නේ පරිමානය 'බරපතල' ලෙස නම් කර ඇති රටවල් 40 ක කන්ඩායමේ එකරටකි, ඉන්දියාව. උග්‍ර මන්දපෝෂනය පිලිබිඹු කරමින් ලොව පුරා ඉහලම “දුර්වල” ලමා (උස සඳහා බර අඩු) අනුපාතය ඉන්දියාව සතු බව වාර්තාව වැඩිදුරටත් සඳහන් කලේය. ඒ අතරම, වයස අවුරුදු 15-24 අතර කාන්තාවන් අතර රක්තහීනතාවය පැතිරීම ඉන්දියාවේ ප්‍රධාන ගැටලුවකි. ලෝකයේ ඉහලම රක්තහීනතා අනුපාතයක් ඇති රට වන ඉන්දියාව තුල, කාන්තාවන් සහ යෞවනයන්ගෙන් සියයට 50 කට වඩා එම ඌනතාවයෙන් පෙලේ.

මේවා ඉන්දියාවේ වැඩකරන ජනතාව සහ පීඩිතයන් අතර අන්ත දරිද්‍රතාවය පෙන්නුම් කරන දර්ශක කිහිපයක් පමනි. එහෙත් මෝදි ආන්ඩුව සහ ඉන්දියානු ප්‍රභූව මිලියන සිය ගනනක් ජනයා සඳහා මෙම කොන්දේසි පිලිබඳව කිසිදු සැලකිල්ලක් නොදක්වයි. කොවිඩ්-19 වසංගතය අනාරක්ෂිත ඉන්දියානු ජනගහනය හරහා පැතිර යාමට ඉඩ දුන්නේ මෙම පාලක ප්‍රභූව යි. එය පිලිවෙත ඇස්තමේන්තුගත මරන මිලියන 5-6 කට හේතු විය.

කෝටිපතියන් අතලොස්සක් අතේ අතිවිශාල ධනයක් සමුච්චය වීම නවතා දමා එම සම්පත් මිලියන සිය ගනනක් ඉන්දියානු කම්කරුවන්ගේ සහ දුගීන්ගේ දුක්ඛිත ජීවන තත්වයන් නංවාලීම සඳහා යොදා ගැනීම අවශ්‍ය වේ. මෙය කල හැකිවන්නේ, ජාත්‍යන්තරව සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස, ඉන්දියානු කම්කරු පන්තියේ සමාජවාදී විප්ලවයක් තුලින්, ග්‍රාමීය දුගීන් ඒ සමග පෙලගස්වා ගනිමින්, ධනේශ්වර පාලනය පෙරලා දමා බලය තමන්ගේ අතට ගැනීම තුලින් පමනි.

Loading