ඉදිරිදර්ශන

කම්කරු පන්තිය, ධනපති ම්ලේච්ඡත්වයට එරෙහි සටන සහ සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ගොඩනැගීම (තෙවන කොටස)

මෙය කොටස් හතරකින් යුත් ප්‍රකාශනයක තෙවැනි කොටස යි. පලමු කොටස ජනවාරි 6දා ද, දෙවැනි කොටස ජනවාරි 8.දා ද පල කෙරුනි.

අන්ත-දක්ෂිනාංශයේ යලිනැග්ම සහ ප්‍රජාතන්ත්‍රවාදයේ ගෝලීය බිඳවැටීම

1. අධිරාජ්‍යවාදී පිටුබලය සහිතව ගාසා තීරයට එල්ල කරනු ලබන ප්‍රහාරය තුල, ජනසංහාරය පිලිවෙතේ උපකරනයක් බවට විවෘත ව ‌යොදාගැනෙන සහ වසංගතය කෙරෙහි පාලක පන්තිය දක්වන ප්‍රතිචාරය තුල මහා පරිමාන මරන සාමාන්‍යකරනය කරන තතු තුල, ෆැසිස්ට්වාදී හා ඒකාධිපතිවාදී ව්‍යාපාර යලි වතාවක් ලෝකය පුරා ප්‍රධාන ධාරාවේ දේශපාලන දර්ශන පථයේ කොටසක් බවට පත් වෙමින් ඇත. තීව්‍ර වෙමින් තිබෙන ආර්ථික අර්බුදයට සහ ඛාදනය වෙමින් පවතින ජීවන තත්ත්වයන්ට මධ්‍යම පන්තිය හා ව්‍යාජ-වාම සංවිධාන කිසිදු අව්‍යාජ ධනපති-විරෝධී ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන්, අන්ත-දක්ෂිනාංශය විසින් දේශපාලන වාසි අත්කර ගනී.

2. නව වසරේ ආරම්භක දිනයන් හි, 2024 වසරේ දී ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමවල අන්තරායකාරී තත්ත්වය පිලිබඳ ව, ධනේශ්වර මාධ්‍ය තුල මෙවන් සැඳහුම් බහුල විය: “ලොවපුරා පුරා ප්‍රජාතන්ත්‍රවාදය ට තීරනාත්මක වසරක්” (ටයිම් සඟරාව); “2024 වසර ගෝලීය ප්‍රජාතන්ත්‍රවාදය ඡන්දයට දමන මැතිවරන රැල්ලක් ගෙන එයි,” (වොෂින්ටන් පෝස්ට්); “2024 ප්‍රජාතන්ත්‍රවාදයට ඉතා රලු වසරක් විය හැක” (නිව් යෝකර්); “2024 ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි විශාලතම බලපෑම සහිත වසර විය හැක්කේ ඇයි” (ඉකොනොමිස්ට්); සහ “ප්‍රජාතන්ත්‍රවාදයට 2024 දී නො නැසී පැවතිය හැකි ද?” (ෆයිනෑන්ෂල් ටයිම්ස්).

3. පුද්ගලයින් බිලියන 4.2ක් නොහොත් ගෝලීය ජනගහනයෙන් අර්ධයකට වැඩි ජනකායක් සහභාගි වන, 70ත් 80ත් අතර මැතිවරන සංඛ්‍යාවක් 2024 දී පැවැත්වෙන බව සැඳහුම් සටහන් කරයි. එක්සත් ජනපදයේ ජනාධිපතිවරනය සමගින්, ඉන්දියාව, යුරෝපා සංගමය, එක්සත් රාජධානිය, මෙක්සිකෝව, ඉන්දුනීසියාව, බංග්ලාදේශය, දකුනු අප්‍රිකාව සහ තවත් රටවල් දුසිම් ගනනක් තුල මහ මැතිවරන මේවාට ඇතුලත් වේ.

4. මෙම මැතිවරන මධ්‍යයේ, ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල රාමුව බිඳ වැටෙමින් තිබේ. “එක් සමාජයකට පසු තවත් සමාජයක් ලෙස, අසංස්කෘතික වටිනාකම් සහ ඒවා වැලඳගන්නා දේශපාලනඥයන් වාසිය අත්පත් කරගනිමින් සිටී” යැයි පෝස්ට් පත්‍රය ලියයි. “මාධ්‍ය නිදහසේ සිට, අධිකරනය වැනි ආයතනවල ස්වාධීනත්වය හා පාලක සංස්ථාපිතයට එරෙහි ව සාධාරන ලෙස තරඟ වැදීමට විරුද්ධ පක්ෂවලට පවතින හැකියාව දක්වා, ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපෘතියේ කේන්ද්‍රීය මූලධර්මවලට වල කැපීමට ඡන්දයෙන් පත් වූ අනේකවිධ ආන්ඩු යොමු වී සිටින බව පෙනේ.” ෆයිනෑන්ෂල් ටයිම්ස් පත්‍රය මෙසේ ලියයි: “ස්වීඩනයේ 'ප්‍රජාතන්ත්‍රවාදය සහ මැතිවරන සහාය සඳහා වූ ජාත්‍යන්තර ආයතනය' ට අයත්, 'ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳ ගෝලීය තත්ත්ව ආරම්භකත්වය' විසින්, 2023 වසර ලොව සමස්ත රටවල් සංඛ්‍යාවෙන් අඩක ප්‍රජාතන්ත්‍රවාදයේ පරිහානියේ අඛන්ඩ හයවන වසර සනිටුහන් කල බව සොයා ගත්තේ ය. එය 1975 දී ඔවුන්ගේ වාර්තා ආරම්භ වූ දින සිට දීර්ඝතම පසු බැසීමයි”.

5. ආඥාදායකත්වය හා ඒකාධිපතිවාදය දෙසට වන ධාවනය පිටුපසින් තිබෙන මූලික සමාජීය සාධක ගැන විභාග කිරීමක් පසෙක තැබුව ද “ප්‍රජාතන්ත්‍රවාදයේ මෙම අර්බුදයට” යටින් පවතින දේශපාලන ක්‍රියාදාම පිලිබඳ ඓතිහාසික දැනුවත්බව ලබාදෙන කිසිදු විශ්ලේෂනයක් ධනපති මාධ්‍ය තුල කොතැනක හෝ නොමැත.

6. අන්ත-දක්ෂිනාංශය ශක්තිමත් වීම විශ්වීය ප්‍රපංචයකි. එක්සත් ජනපදයේ මේ වසරේ මැතිවරනය පැවැත්වෙන්නේ, 2021 ජනවාරි 6 ෆැසිස්ට්වාදී කුමන්ත්‍රනයෙන් යන්තම් වසර තුනකට පසුව ය. රිපබ්ලිකන් පක්ෂයේ ප්‍රමුඛ නාමයෝජනය ලබන්නා වන ට්‍රම්ප්, වර්තමානයේ කෙරෙන ඕනෑම ජනමත විචාරයක දී බයිඩන් ට ඉදිරියෙන් සිටී. ප්‍රන්සයේ මාරියන් ල පෙන්ගේ 'ජාතිය යලි එක්සත් කිරීමේ පක්ෂය' සහ ෆැසිස්ට්වාදී 'ජර්මනිය සඳහා විකල්පය (ඒඑෆ්ඩී)' ඇතුලත් වන අන්ත-දක්ෂිනාංශික 'අනන්‍යතාව හා ප්‍රජාතන්ත්‍රවාදය කන්ඩායම', ජුනි මාසයේ පැවැත්වෙන යුරෝපා සංගම් මැතිවරනයේ දී යුරෝපීය පාර්ලිමේන්තුවේ තුන්වැනි හෝ හතරවැනි විශාලතම පක්ෂය වීමට අවශ්‍ය තරම් ආසන ගනනක් දිනාගනු ඇතැයි වර්තමාන මත විමසුම් පුරෝකථනය කරයි.

ජේපීමෝගන් සෞඛ්‍යාරක්ෂන ආයෝජන සම්මේලනයේ දී ජැමී ඩිමොන් (ඡායාරූපය ස්ටීව් ජර්වෙට්සන් විසිනි/සීසී බීවයි 2.0 [AP Photo/Natacha Pisarenko]

7. ෆැසිස්ට් පන්නයේ රූපවාහිනී පෞරුෂයක් වන ජාවියර් මිලෙයි නොවැම්බරයේ දී ආජන්ටිනාවේ ජනාධිපති ලෙස තේරී පත්වීම සහ දෙසැම්බර් මාසයේ මැතිවරනයෙන් පසුව නෙදර්ලන්ත දේශපාලනය තුල ශක්තිමත් ම පක්ෂය බවට ගියර්ට් විල්ඩර්ස්ගේ මුස්ලිම්-විරෝධී නිදහස සඳහා පක්ෂය (පීවීවී) ඉස්මතුවීම වීම පසුගිය වසරේ දැක ගන්නට ලැබුනි. 2022 තේරී පත් වූ ඉතාලි අගමැතිනි ගියෝර්ජියා මෙලෝනිගේ දේශපාලනික පෙලපත ඍජු ව ම මුසෝලිනි කරා ආපස්සට දිවෙයි. දෙසැම්බරයේ පැවති ප්‍රාන්ත මැතිවරන ජයග්‍රහනයන්ගෙන් අනතුරු ව, ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි හා ඔහුගේ ෆැසිස්ට්පන්නයේ භාරතීය ජනතා පක්ෂය (බීජේපී) තුන්වැනි පාලන කාලයක් ජයග්‍රහනය කරනු ඇතැයි අපේක්ෂිත ය.

8. දේශපාලනික ව ෆැසිස්ට් පන්නයේ පක්ෂ හා පුද්ගලයන්ගේ නැගීම, පාලක පන්තිය විශ්වීය ලෙස දකුනට මාරු වීමක ප්‍රතිඵලය මිස, පහලින් එන මහජන ව්‍යාපාරයක ප්‍රතිඵලය නො වේ. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී, ප්‍රජාතන්ත්‍රවාදී, ලේබර් හෝ කොන්සවැටිව් යනාදී කුමන ලේබලයෙන් පැමිනිය ද සංස්ථාපිතයේ සියලු ම පක්ෂවල පිලිවෙත් සාරභූත ව එක සමාන ය: සමාජ වියදම් යෝධ ලෙස කැපීම් හා මිලිටරි වියදම් ඉහල දැමීම් සමගින් යුක්‍රේනය තුල රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ හා ගාසා තීරය තුල ඊස්‍රායල ජනසංහාරයට සහයෝගය දීම.

9. ඒ අතර ම, සංස්ථාපිත ධනපති පක්ෂ වඩ වඩා ෆැසිස්ට්වාදීන්ගේ ක්‍රියාමාර්ගය සහ පිලිවෙත් අනුගමනය කරමින් සිටිති. දේශපාලන රැකවරන සඳහා පවතින අයිතිය අහෝසි කරමින්, යුරෝපා බලකොටුව පෘථුල කරන සහ වධ කඳවුරුවලට සමාන කඳවුරු තුල සරනාගතයින් රඳවා තබන හා මහා පිටුවහල් කිරීම් බලාත්මක කරන “යුරෝපීය පොදු රැකවරන පද්ධතිය” යුරෝපා සංගමයේ සාමාජික රටවල් හා යුරෝපීය පාර්ලිමේන්තුව විසින් අනුමත කිරීම සමගින් පසුගිය වසර අවසාන විය.

10. දකුන කරා වන මෙම මාරුවට නාමික “වාමාංශික” පක්ෂ ඇතුලත් වෙයි: ජාමූඅ-පිටුබලය සහිත කප්පාදුව අවසන් කරන බවට පොරොන්දු වෙමින් 2015 දී බලයට පත් වී, තම පූර්වගාමී ආන්ඩුවටත් වඩා ගැඹුරු කප්පාදු පියවරයන් පවා ක්‍රියාත්මක කිරීම කරා ඉදිරියට ගිය ග්‍රීසියේ සිරිසාව, මහජන විරුද්ධත්වය ලේබර් පක්ෂය පිටුපසට යොමු කිරීමට ක්‍රියා කල එක්සත් රාජධානියේ කෝබින්වාදය - කයර් ස්ටාමර්ගේ නැග්ම හා කෝබින් මත් පක්ෂයෙන් ඉවත් කරනු ලැබීම තුල මෙය කූටප්‍රාප්තියට පත්විය- සහ තම අන්ත-දක්ෂිනාංශික පිලිවෙත් හේතුවෙන් කම්කරුවන් හා තරුනයන් අතර සහයෝගය බිඳ වැටීමට මුහුන දී සිටින ජර්මනියේ වාම පක්ෂය.

කතිපයාධිකාරය සහ සමාජ අසමානතාව

11. මෙම දේශපාලන ක්‍රියාදාමයන්ට යටින් දිවෙන්නේ අතිමූලික සමාජ ක්‍රියාදාමයන් ය. පලමුවන ලෝක යුද්ධය හා දෙවන ලෝක යුද්ධය අතර කාලයේ, ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයේ අර්බුදය විග්‍රහ කරමින් ට්‍රොට්ස්කි ප්‍රජාතන්ත්‍රවාදය මෙසේ සන්සන්දනය කලේ ය: “ජාතික හෝ සමාජීය අරගලය මගින් ජනනය කෙරෙන අධි-ධාරාවන්ගෙන් ආරක්ෂාවීම සඳහා ක්‍රියාත්මක වන ආරක්ෂක යතුරු හා පරිපථ ඛන්ඩක පද්ධතියකට ප්‍රජාතන්ත්‍රවාදය සමාන වෙයි ...පන්තියේ හා අධි-ආරෝපිත ජාත්‍යන්තර පරස්පර-විරෝධයන්ගේ බලපෑම යටතේ, ප්‍රජාතන්ත්‍රවාදය එක්කෝ පිලිස්සී යයි නැතහොත් පුපුරා යයි. ආඥාදායකත්වය නියෝජනය කරනුයේ මෙම ලුහුවත් වීමයි.”

12. ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂක යතුරු ලුහුවත් කරන ජාත්‍යන්තර පරස්පර-විරෝධයන් වන්නේ, විස්තාරනය වන ගෝලීය ගැටුමට සහ විදෙස් පිලිවෙත් උපකරනයක් ලෙස ජනසංහාරය සාමාන්‍යකරනය කිරීමට යටින් පවතින එම පරස්පරවිරෝධයන් ම ය. ලෙනින් විස්තර කල පරිදි, අධිරාජ්‍යවාදය “හිසේ සිට දෙපතුල දක්වා ප්‍රතිගාමී ය.” විදේශීය හා දේශීය පිලිවෙත යන දෙකේ දී ම, මූල්‍ය ප්‍රාග්ධනය “අභිලාෂී වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නො ව ආඥාදායකත්වය සඳහා ය.” නොනවතින යුද පිලිවෙත් සඳහා සමස්ත සමාජය යටත් කිරීම, හුදෙක් පුපුරනසුලු මිලිටරි අයවැය සඳහා මුදල් සපයනුවස් සමාජයේ සම්පත් අපසරනය කිරීම පමනක් නො ව, සිය රට තුල යුද-විරෝධී විරුද්ධත්වය මැඩීම සඳහා වඩා ඍජු පියවර ගැනීම ද අවශ්‍ය කරයි.

13. ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයන් ට වල කපන සාරභූත පන්ති පරස්පර-විරෝධයන්, සියල්ලට ඉහලින් සමාජ අසමානතාවේ ආන්තික වර්ධනය තුල ප්‍රකාශයට පත් වෙයි. සියලු ආර්ථික, සමාජ හා දේශපාලන ජීවිතය කුඩා ප්‍රභූවක් විසින් පාලනය කරනු ලබන කතිපයාධිකාරයක රූපයක්, ධනපති සමාජය විසින් අත්පත් කරගෙන තිබේ. වෙනත් අයුරකින් කිවහොත්, ධනය ආන්තික ලෙස සංකේන්ද්‍රනය වීම, රාජ්‍යයේ, අධිකරනයේ සහ මාධ්‍යයේ සෑම ආයතනයකටම පැතිරී ඒවා ආසාදනය කරන පිලිකාවකට සමාන වේ.

14. ඔක්ස්ෆෑම් ආයතනයට අනුව, ගෝලීය ව ජනගහනයේ පොහොසත් ම සියයට 1 ලෝක ධනයෙන් අර්ධයක් ම පාහේ හිමි කර ගන්නා අතර, දුප්පත් ම සියයට 50ට අයත් වන්නේ යන්තම් සියයට 0.75ක් පමනි. බිලියනපතියන් 81 දෙනෙක් ගෝලීය ජනගහනයෙන් අඩකට වැඩි ධනයකට හිමිකම් කියති.

15. (ආසන්න වසයෙන් පුද්ගලයන් 800,000ක් පමන වන) ලෝක ජනගහනයෙන් පොහොසත් ම සියයට 0.01ක ප්‍රතිශතයක් හිමිකම් කියන ධනය, 1995 දී සියයට 8 සිට අද දින සියයට 12 දක්වා නැගුනු බව, තෝමස් පිකටි, එම්මානුවෙල් සයේස් හා ගේබ්‍රියල් සුක්මාන් විසින් වර්ධනය කරන ලද ලෝක අසමානතා දත්ත ගොනුව (ඩබ්ලිව්අයිඩී) ගනනය කරයි. අද දින ඉහල සියයට 0.01 හා පහල සියයට 50 අතර ධනයේ වෙනස, 2008 දී පැවති මට්ටමට වඩා සියයට 50කින් වැඩි ය. ආදායම් අසමානතාව ද ඉහල යමින් තිබේ. ලෝක ජනගහනයේ පොහොසත් ම සියයට 10, සමස්ත ගෝලීය ආදායමෙන් අඩකට වැඩි ප්‍රමානයක් (සියයට 52ක්) හිමි කරගනිද්දී, පහල අර්ධයට හිමි වන්නේ යන්තම් සියයට 8.5ක් පමනි.

16. ඩබ්ලිව්අයිඩීහි පවතින මෑත ම යාවත්කාලීන වාර්තාව වන “2022 ලෝක අසමානතා දත්ත ගොනුව” සොයා ගත් පරිදි:

ගෝලීය බහුමිලියනපතියන් ගෙවී ගිය දශක කිහිපය පුරා ගෝලීය ධනයෙන් විසමානුපාතික කොටසක් අල්ලාගෙන ඇත: 1990 ගනන් මැද සිට සමුච්ඡිත අතිරේක ධනයෙන් සියයට 38ක් ඉහල සියයට 1 ලබා ගත් අතර, පහල සියයට 50ට ලැබී ඇත්තේ යන්තම් සියයට 2කි. ධනය බෙදීයාමේ ඉහල හා පහල කොටස් අතර වර්ධන අනුපාතිකයන්ගේ බැරෑරුම් අසමානතාවකින් මෙ අසමානතාව ඉස්මතු වේ. පෘථිවිය මත සිටින පොහොසත් ම පුද්ගලයන්ගේ ධනය, 1995 සිට සියයට 6 සිට 9 දක්වා වැඩී තිබෙද්දී, වසරක සාමාන්‍ය ධනය වර්ධන අනුපාතය සියයට 3.2ක් වී ඇත. 1995 සිට බිලියනපතියන් විසින් හිමිකාරීත්වය දරන ගෝලීය ධනයේ කොටස සියයට 1 සිට සියයට 3ට අධික ප්‍රමානයකින් ඉහල ගොස් තිබේ. කෝවිඩ් වසංගතය සමයේ දී මෙම නැගීම උග්‍ර විය. ඇත්ත වසයෙන් ම, 2020 වසර, ගෝලීය බිලියනපතියන් සතු ධනයේ පංගුවේ ඉහලම නැග්ම සලකුනු කලේය.

17. ලෝකයේ බිලියනපතියන්ගේ ඉහල ම සංකේන්ද්‍රනය වීමේ නිවහන එක්සත් ජනපදය වන අතර, බදු සාධාරනත්වය සඳහා ඇමරිකානු ආයතනයට අනුව ඔවුන්ගේ සාමූහික ධනය 2023 නොවැම්බරයේ දී ඩොලර් ට්‍රිලියන 5.2 දක්වා නැගුනේ වාර්තාගත ඉහල ප්‍රමානයට යි. 2023 තුන්වන කාර්තුව වන විට, එක්සත් ජනපදයේ ජනගහනයේ ඉහල ම සියයට 10 සමස්ත ධනයෙන් තුනෙන් දෙකකට හිමිකම් කියද්දී පහල සියයට 50ට ඉන් හිමි වූයේ සියයට 2.6 ක් පමනි.

18. “එක් ධ්‍රැවයක ධනය සමුච්ඡය වන අතර ම, ඊට ප්‍රතිවිරුද්ධ ධ්‍රැවයේ කාලකන්නි භාවය ද පීඩනයේ, වහල්භාවයේ, මුග්ධත්වයේ, ම්ලේච්ඡත්වයේ සහ මානසික පිරිහීමේ ලතෝනිය සමුච්ඡය වන” බව මාක්ස් සටහන් කලේ ය. ලමුන් මිලියන 333ක් ඇතුලු ව, පුද්ගලයින් මිලියන 700ක් නොහොත් ගෝලීය ජනගහනයෙන් ආසන්න වසයෙන් සියයට 9ක් එක්සත් ජාතීන් ආන්තික දරිද්‍රතාව යනුවෙන් හඳුන්වන කොන්දේසි තුල ජීවත් වන්නේ දිනකට ඩොලර් 2.15ට අඩු ආදායමක් මත රැඳෙමිනි.

19. එහි ම අයිතියෙන් ගත් කල, පුද්ගලික ධන සමුච්ඡය දැවැන්ත වැදගත්කමක් දැරුව ද, ධනපති පාලක ප්‍රභූන් හිමිකාරීත්වය දරන මහා සංගත අතලොස්සක් තුල ආර්ථික බලය යෝධ ලෙස සංකේන්ද්‍රනයවීම සම්බන්ධයෙන් ගත්කල එය ද්විතීයික වන අතර එය සමග සම්බන්ධිත ව පවතී.

ජේපීමෝගන් සෞඛ්‍යාරක්ෂන ආයෝජන සම්මේලනයේ දී ජැමී ඩිමොන් (ඡායාරූපය ස්ටීව් ජර්වෙට්සන් විසිනි/සීසී බීවයි 2.0 [Photo by Steve Jurvetson / CC BY 2.0]

20. යෝධ බැංකු හා මූල්‍ය ආයතන විසින් පාලනය කරන සම්පත්වල පරිමාව දැවැන්ත ය. (ජැමී ඩිමොන් ප්‍රධාන විධායක නිලධාරියා වන) ජේපීමෝගන් චේස් බැංකුව, 2023 දී (එක්සත් රාජධානියේ දල දේශීය නිෂ්පාදිතයට වැඩි) ඩොලර් ට්‍රිලියන 3.7ක වත්කම් සමගින් ෆස්ට් රිපබ්ලික් බැංකුව අයත් කරගැනීමෙන් පසු, ලෝකයේ විශාලතම බැංකුව බවට පත් විය. (කලමනාකාරීත්වය යටතේ පවතින වත්කම් ඩොලර් ට්‍රිලියන 7.7ක් වන) වැන්ගාඩ් සහ (ඩොලර් ට්‍රිලියන 9.4ක වත්කම් සහිත) බ්ලැක්‍රොක් වැනි යෝධ පුද්ගලික කොටස් සංගත, ආර්ථිකයේ විශාල කොටස් දැරීම හරහා ඔවුන්ගේ වත්කම් පාලනය කරයි. එස්ඇන්ඩ්පී 500 දර්ශකයේ සමාගම් 330කින් විශාලතම කොටස් හිමියා වැන්ගාඩ් සංගතය වන අතර, බ්ලැක්‍රොක් සංගතය තවත් සංගත 38ක අංක එකේ ආයෝජකයා ය.

21. 2023 වසරේ එස්ඇන්ඩ්පී 500 කොටස් දර්ශකයේ තියුනු ඉහල යාම ධාවනය කරන ලද්දේ තාක්ෂන සමාගම් හතක් විසිනි: එනම්, ඇමසොන්, ඇපල්, ඇල්ෆබෙට් (ගූගල්), මෙටා ප්ලැට්ෆෝම්ස් (ෆේස්බුක් හා ඉන්ස්ටග්‍රෑම්), මයික්‍රෝසොෆ්ට්, න්විඩියා හා ටෙස්ලා ය. පසුගිය වසරේ පමනක් ඒවායේ සංයුක්ත වෙලඳපොල ප්‍රාග්ධනය ඩොලර් ට්‍රිලියන 5.2කින් ඉහල ගියේ, සමස්තයක් ලෙස එස්ඇන්ඩ්පී 500 දර්ශකයේ ඩොලර් ට්‍රිලියන 8.2ක, නැතහොත් සියයට 60කට වැඩි ඉහල නැග්මක් වාර්තා කරමිනි. මෙම කොටස් තුල ආයෝජනය කරන ආයෝජකයින් හතර දෙනෙක් -ජෙෆ් බෙසෝස් (ඇම‌සොන්), මාක් සකර්බර්ග් (මෙටා), එලන් මස්ක් (ටෙස්ලා) හා පුද්ගලික ආයෝජන කලමනාකාර වැන්ගාඩ්- පමනක්, ඔවුන්ගේ කොටස්වලින් ඩොලර් බිලියන 491ක් උපයා ගත්හ. ෆෝබ්ස් සඟරාවට අනුව, පසුගිය වසරේ එක්සත් ජනපදයෙහි බිලියනපතියන්ගේ ධනයෙහි ඉහල යාමෙන් අඩක් වාර්තා කරන ලද්දේ නැගී එන තාක්ෂනික කොටස්වලින් වූ අතර, තාක්ෂන බිලියනපතියන් අට දෙනෙක් ඔවුන්ගේ වත්කම් අවම වසයෙන් ඩොලර් බිලියන 10කින් වැඩිකර ගත්හ.

22. විශේෂයෙන් ම 2022 දී මස්ක් ට්විටර්/එක්ස් අයත් කරගැනීමෙන් පසුව, මෙම සංගත හා ඒවායේ හිමිකරුවෝ අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය මත යෝධ බලයක් දරා සිටිති. රාජ්‍යයට සමීප ව සම්බන්ධ ඔවුහු, ප්‍රතිවිරුද්ධ හා යුද-විරෝධී ආස්ථානයන් වාරනය කිරීමට සන්නිවේදනයන් මත ඔවුන්ට පවතින පාලනය යොදා ගනිති. 2017 දී පලමු වරට හෙලිදරවු කල හා එතැන් පටන් පැවතී ඇති වාරන ක්‍රියාදාමයක් වන්නේ, ප්‍රධාන පද සඳහා වන සෙවුම් ප්‍රතිඵලවලින් ලෝක සමාජවාදී වෙබ් අඩවිය නිරන්තරයෙන් පහල දමනු ලැබීම යි.

2023 ජූලි 14 සිකුරාදා, පැරීසියේ පැවති රාත්‍රී භෝජන සංග්‍රහයකට පෙර, ලූවර් කෞතුකාගාරයේ දී ප්‍රන්ස ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පිලිගනී. (ඒපී ඡායාරූප/ඕරෙලියන් මොරිසාඩ්) [AP Photo/Aurelien Morissard]

23. බලයෙන් අඩු රටවල් ද සමගින්, සියලු අධිරාජ්‍යවාදී රටවල් තුල මෙම සමාජ ගතිකය පවතී. වර්තමානයේ ආසියාවේ පොහොසත් ම මිනිසා වන (ශුද්ධ වත්කම ඩොලර් බිලියන 100ක් ඇති) ඉන්දියාවේ මුකේෂ් අම්බානි, ප්‍රධාන වසයෙන් මෝදිට සහයෝගය දක්වන්නන්ගෙන් එක් අයෙකු වන අතර, ඔහුගේ ධනය දෙසැම්බරයේ පැවති ප්‍රාන්ත මැතිවනරවලින් බීජේපීය ජයග්‍රහනය කිරීමත් සමග පිම්බී ගියේ ය. වෙලඳපොල ප්‍රාග්ධනය අනුව ඉන්දියාවේ විශාලතම සංගතය වන රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් පාලනය කිරීම හරහා අම්බානිගේ ධනය තද්භව වන අතර, එය බලශක්තිය, සිල්ලර වෙලඳාම, විදුලි සන්දේශ සේවා හා රෙදිපිලි තුල ප්‍රධාන ව්‍යාපාර සහිත මහා බහු සංගතයකි. මෙක්සිකෝවේ පොහොසත් ම පුද්ගලයා වන (ඩොලර් බිලියන 105ක ශුද්ධ වත්කමක් සහිත) කාලෝස් ස්ලිම්, ඔහුගේ මහා බහු සංගතය වන ගෲපෝ කාර්සෝ හා අනෙකුත් ආයෝජන හරහා මෙක්සිකානු ආර්ථිකයේ විශාල කොටස් පාලනය කරයි.

24. සමස්ත ලෝකය පුරා ප්‍රජාතන්ත්‍රවාදයෙන් ඔක්සිජන් උරා බොමින් සිටින බලවේග මේවා ය. යටින් පවතින ආර්ථික බලවේගයන්ට හා අවශ්‍යතාවන්ට ආමන්ත්‍රනය නොකොට, මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරක්ෂිත කර ගත හැකිය යන අදහස හුදු අභිලාෂ සහගත චින්තනයක් පමනි.

ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ අර්බුදය සහ 2024 මැතිවරනය

25. ලෝක අධිරාජ්‍යවාදයේ මූලික භූමිය හා මූල්‍ය ප්‍රාග්ධනයේ ගෝලීය මධ්‍යස්ථානය වන එක්සත් ජනපදය තුල තරම් මෙම ක්‍රියාදාමයන් පැහැදිලි වන අන් තැනක් නැත. 2024 මැතිවරන උද්ඝෝෂනය දිග හැරෙන්නේ, බයිඩන් සමග තරඟයෙන් ලැබූ මැතිවරන පරාජය කොංග්‍රසය විසින් සහතික කිරීම නවත්වා, ව්‍යවස්ථාව අහෝසි කොට තනි පුද්ගල ආඥාදායකත්වයක් ස්ථාපිත කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් උත්සාහ කල 2021 ජනවාරි 6 ෆැසිස්ට්වාදී කුමන්ත්‍රනයෙහි සෙවනැල්ල යටතේ ය.

අයෝවාහි වෝටර්ලූහි දී 2023 දෙසැම්බර් 19 අඟහරුවාදා එකමුතුවට කැපවීමේ රැලියක් අතරතුර හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කතා කරයි. (ඒපී ඡායාරූප/චාලි නෙයිබර්ගෝල්) [AP Photo/Charlie Neibergall]

26. කුමන්ත්‍රනයට පසු දින ලෝක සමාජවාදී වෙබ් අඩවිය පල කල ප්‍රකාශය තුල, එය “එක්සත් ජනපද ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යයක්” වූ බව ලීවේ ය.

ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ අපරාජිතභාවය හා සදාකාලිකභාවය පිලිබඳ පැරනි උත්කර්ෂයට නැංවීම්, මුලුමනින් හෙලිදරවු කෙරී හිස් දේශපාලන මිථ්‍යාවක් ලෙස අපකීර්තියට පත් කෙරී ඇත. ඇමරිකානු ෆැසිස්ට්වාදයේ නැගීම පිලිබඳ ව සින්ක්ලෙයාර් ලුවිස්ගේ සුප්‍රකට ප්‍රබන්ධමය කතාවෙන් සුදුසු පරිදි උපුටා ගන්නා ලද “එය මෙහි සිදුවිය නො හැක” යන ජනප්‍රිය වාක්‍යාංශය, සිදුවීම් විසින් තීරනාත්මක ලෙස අභිබවා ඇත. හුදෙක් මෙහි ෆැසිස්ට් කුමන්ත්‍රනයක් සිදුවිය හැකිවා පමනක් නො වේ. 2021 ජනවාරි 6 අපරභාගයේ එය මෙහි සිදු වී ඇත.

තව ද ආරම්භක ප්‍රයත්නය එහි අරමුන කරා ලඟා නො වූව ද එය නැවත සිදුවිය හැක.

27 ෆැසිස්ට් පන්නයේ නැගිටීම පිටුපස පැවති විස්තීර්න කුමන්ත්‍රනය ගැන, එය කරා ධාවනය වූ මාස ගනන් තුල හා ඉන් අනතුරු ව ලෝසවෙඅ තුල ලේඛනගත කෙරුනි. ට්‍රම්ප්ගේ උනන්දු කිරීම මත කැපිටල් ගොඩනැගිල්ලට කඩා වැදීම එම කුමන්ත්‍රනයේ අවසාන අදියර පමනි. කුමන්ත්‍රනයෙහි නිරත වූයේ ධූරයේ සිටින ජනාධිපතිවරයා පමනක් නො වූ අතර, රිපබ්ලිකන් පක්ෂ නායකත්වයේ බොහෝ දෙනා සහ මිලිටරි-පොලිස් යාන්ත්‍රනයේ හා අධිකරනයේ සැලකිය යුතු කොටස් එයට පටලැවී සිටිය හ.

28. සාර්ථකත්වයට ඉතා සමීප වුනු, ආඥාදායකත්වයක් ස්ථාපිත කිරීමේ ප්‍රයත්නයට, දේශපාලන සංස්ථාපිතයේ කිසිදු ආයතනයක් ක්‍රියාශීලී ව විරුද්ධ නො වී ය. ට්‍රම්ප්ගේ ෆැසිස්ට්වාදී කල්ලිය, කැපිටල් ගොඩනැගිල්ල අල්ලාගෙන එහි සිටි අය ප්‍රාන ඇපයට ගැනීමට උත්සාහ දරද්දී, මිලිටරිය හා ජාතික ආරක්ෂක භටයෝ බලා සිටිය හ. අවසානයේ රූපවාහිනියෙන් ජාතිය අමතා කුමන්ත්‍රනය ආපසු කැඳවන මෙන් ට්‍රම්ප්ට බැගෑපත් ආයාචනයක් නිකුත් කිරීමට පෙර බයිඩන් මත් පැය ගනනක් බලා සිටි අතර, කුමන්ත්‍රනය දිග හැරෙද්දී ඩිමොක්‍රටික් පක්ෂය කිසිවක් කීවේ නැත.

29. සිදු වූයේ කුමක් ද යන්න පිලිබඳ මෙම තක්සේරුව සනාථ කරන, ජනවාරි 6 සිද්ධීන් ගැන වැදගත් තොරතුරු පසුගිය වසර තුන පුරා එලිමහනට පැමින තිබේ. කුමන්ත්‍රනය නිෂ්පන්න කල සමාජ හා දේශපාලන කොන්දේසි, අතරමැදි කලාපරිච්ඡේදය පුරා තීව්‍ර වීම පමනක් සිදු වී තිබේ.

2021 ජනවාරි 6දා, වොෂින්ටනයේ එක්සත් ජනපද කැපිටල් ගොඩනැගිල්ලේ නැගෙනහිර පෙරමුනේ සිටින ඕත් කීපර්ස් (පොරොන්දු ඉටුකරන්නන්) සංවිධානයේ සාමාජිකයෝ. (ඒපී ඡායාරූප/ මැනුවෙල් බෝල්ස් සෙනේටා) [AP Photo/Manuel Balce Ceneta]

30. පැවැත්ම පිලිබඳ දේශපාලන අර්බුදයක හා රාජ්‍ය-යාන්ත්‍රනයේ සියලු ආයතන බිඳ වැටෙන කොන්දේසි යටතේ 2024 මැතිවරනය පැවැත්වේ. සැලසුම්ගත පරිදි මැතිවරනය පැවැත්වේ යැයි පවා උපකල්පනය කලත්, මැතිවරනයෙන් පරාජය වන පක්ෂය විසින් පිලිගන්නා ප්‍රතිඵලයක් නිෂ්පන්න කරනු ඇතැයි යන්න පැහැදිලි නැත.

31. 2023 වර්ෂය අවසානය කරා පැමිනෙද්දී, ජනවාරි 6දා ට්‍රම්ප් සිදු කල ව්‍යවස්ථා-විරෝධී ක්‍රියාවන් හේතුවෙන්, ඡන්ද පත්‍රිකාව මත ඔහුගේ නම සඳහන් විය නොහැකි බවට කොලොරාඩෝ ප්‍රාන්තයේ ශ්‍රේෂ්ඨාධිකරනය හා මේන් ප්‍රාන්තයේ ලේකම් යන දෙදෙනා ම ප්‍රකාශ කර ඇත්තේ, එයට පලි ගැනීමක් ලෙස බයිඩන් ඉවත් කරන බවට රිපබ්ලිකන්-පාලිත ප්‍රාන්තවල නිලධාරීන් තර්ජනය කර තිබෙද්දී ය. සංක්‍රමන පිලිවෙත නිර්නය කිරීමට මධ්‍යම ආන්ඩුවට පවතින ව්‍යවස්ථාමය අධිකාරයට විවෘත ව තර්ජනය කරන ක්‍රියාවන් ටෙක්සාස් ප්‍රාන්තය සිදු කර ඇත. ටෙක්සාස් වලින් පමනක් නොව, නොවැම්බර් මැතිවරනයේ ප්‍රතිඵලයට ඒ හා සමාන අභියෝගයක් තවත් තැන්වලින් ද එල්ලවීම මුලුමනින්ම ශක්‍ය ය.

32. ඒකාබද්ධ මධ්‍යම අධිකාරිය ප්‍රාන්ත මත ප්‍රතිස්ථාපිත කල සමස්ත පශ්චාත්-සිවිල් යුද එකඟතාව බිඳ දැමීමට, පුපුරා යමින් පවතින පාර්ශවීය ප්‍රවනතා තර්ජනය කරයි. 1860 දී දකුනේ කිසිදු ප්‍රාන්තයක ඡන්ද පත්‍රිකාව මත ලින්කන්ගේ නම නොතිබුනුබව මතකයට ගැනීම වටනේ ය. ලින්කන්ගේ පදවි ප්‍රාප්තියට පෙර, දකුනේ ප්‍රාන්ත හතක් වෙන් වී ඇමරිකානු ඒකාබද්ධ ජනපදය තැනීමට ගත් තීරනය, ඊට මාස කිහිපයකට පසුව සිවිල් යුද්ධය පුපුරා යාමට තුඩු දුන් සිද්ධීන් ජනනය කලේ ය.

33. ඇත්ත වසයෙන් ම, පවත්නා දේශපාලන ව්‍යුහයන් ඉරා දමන ගැටුම පවතින්නේ, පාලක පන්තියේ ප්‍රගතිශීලී හා ප්‍රතිගාමී කොටස් අතර නො වේ. ඩිමොක්‍රටිකයෝ හා රිපබ්ලිකානුවෝ වනාහි සංගත හා මූල්‍ය කතිපයාධිකාරයේ ප්‍රතිගාමී කොටස් දෙකක් වෙති. ඔවුන්ගේ උපායික වෙනස්කම් කොතරම් ආතති සහගත වුවත්, ඔවුන්ගේ පොදු ප්‍රතිගාමී න්‍යාය පත්‍රයට ඔවුහු මුලුමනින් ම කැප වී සිටිති.

34. බයිඩන්ගේ යලි තේරී පත්වීම අපේක්ෂා කරන උද්ඝෝෂනයෙහි හරි මැද, ප්‍රජාතන්ත්‍රවාදයට ට්‍රම්ප් එල්ල කරන තර්ජනය තබන බව බයිඩන් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. මෙය හරියට ම, ගනිකා නිවාස හිමියෙක් සදාචාර සම්පන්න ව්‍යාපාරික භාවිතාවන්හි කෙල පැමිනීම මගින් ඔහුගේ ආයතනයේ කීර්ති නාමය ගොඩනගන බවට ප්‍රකාශ කිරීමක් වැනි ය. ජනවාරි 6 කුමන්ත්‍රනයෙන් දින ගනනක් ඇතුලත, තමන්ගේ අරමුන වන්නේ “ශක්තිමත්” රිපබ්ලිකන් පක්ෂයක් තිබීම බව ප්‍රකාශ කලේ බයිඩන් ය. කුමන්ත්‍රනය පිටුපස පැවති දේශපාලනික හා සමාජීය බලවේග පිලිබඳ කිසිදු හෙලිදරවු කිරීමක් වැලැක්වීමට, ඩිමොක්‍රටික් පක්ෂය එයට හැකි සියල්ල කර ඇත. වරින්වර සිදු කෙරුනු විවිධාකාර විමර්ශන හා විමසීම් වලින්, අවසානයේදී, කිසිවක් නිෂ්පන්න නොකෙරුනි.

2023 ඔක්තෝබර් 18 වැනි බදාදා, ටෙල් අවිව්හි, බෙන් ගුරියන් ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිනීමෙන් පසු ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්‍යාහු විසින් පිලිගනු ලැබේ. (ඒපී ඡායාරූප/ඉවාන් වුචි) [AP Photo/Evan Vucci]

35. ගෙවී ගිය වසර තුන පුරා, බයිඩන් පරිපාලනයේ කේන්ද්‍රීය උත්සුකය වී ඇත්තේ, රුසියාවට එරෙහි යුද්ධය තීව්‍ර කිරීම වන අතර, ඉන්පසුව එය ගාසාව තුල ජනසංහාරයට විවෘත සහයෝගය පිරිනමා ඇත. වසර අවසානය කරා පැමිනෙද්දී, යුක්‍රේනයට ලබා දෙන වැඩිකල මිලිටරි අරමුදල්වලට හිලවු ලෙස, රිපබ්ලිකානුවන්ගේ සංක්‍රමන-විරෝධී ෆැසිස්ට් න්‍යාය පත්‍රයට බයිඩන් පරිපාලනයේ ඉහල නිලධාරීන් ඔවුන්ගේ සහයෝගය යලි යලිත් පොරොන්දු විය.

36. ගාසා තීරයේ ජනසංහාරයට හා ඊස්‍රායලයට දක්වන විරුද්ධත්වය, යුදෙව්-විරෝධී ලෙස හංවඩු ගැසීමේ දුෂ්ට උද්ඝෝෂනයට සහයෝගය දීමේ දී ඩිමොක්‍රටිකයන් හා රිපබ්ලිකානුවන් ඔවුන්ගේ බලවේග ඒකාබද්ධ කර ඇත. හාවඩ් විශ්ව විද්‍යාලයේ සභාපති ක්ලෝඩින් ගේ ට ඉල්ලා අස්වීමට බලකිරීම, ජනසංහාරයට විරුද්ධ ශිෂ්‍ය කන්ඩායම් තහනම් කිරීම ඇතුලු, විශ්ව විද්‍යාල මන්ඩප වාරනය කිරීමේ හා දේශපාලනික ව බියගැන්වීමේ උද්ඝෝෂනයක කොටසකි.

ධනවාදයට හා කතිපයාධිකාරයට එරෙහි ව සමාජවාදය

37. පාලක පන්තියේ ධනයට හා ආර්ථිකය මත එහි ආධිපත්‍යයට පෙරමුනු ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පිටස්තර ව, ප්‍රජාතන්ත්‍රවාදී පාලන රූප ආරක්ෂා කරගත හැකි යයි කියාපෑම, දේශපාලනික හා බුද්ධිමය බංකොලොත්කමෙහි උච්ඡය යි.

38. දක්ෂිනාංශය ශක්තිය ගොනු කර ගනිමින් සිටිතැයි යන්න එහි නෛසර්ගික ශක්තිය පිලිබඳ කාරනාවක් නොව, වමෙහි පූර්න බංකොලොත්භාවයේ ප්‍රකාශනයකි. එක්සත් ජනපදයේ බර්නි සෑන්ඩර්ස් හා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදීන්; ජර්මනියේ වාම පක්ෂය; ස්පාඤ්ඤයේ පොදේමෝස් පක්ෂය; ග්‍රීසියේ සිරිසා පක්ෂය; සහ ලතින් ඇමරිකාවේ ලූලාට පිටුබලය දෙන්නන් හා “රෝස රලපහර” වැනි විවිධාකාර ව්‍යාජ-වාම දේශපාලනයේ දුබලබවට යටින් දිවෙන්නේ, පුද්ගලික දේපොල, සංගත ලාභ හා පුද්ගලික ධනය යන ධනපති ක්‍රමයෙහි ප්‍රධාන දේවස්ථානය ඉදිරියේ දනින් වැටීම යි. ඔවුන් සමහර අවස්ථාවල දී “සමාජවාදය” ගැන සඳහන් කිරීම්, මුලුමනින් ම පචවලින් සමන්විත වෙයි. ඔවුන් සිහින දකින සමාජවාදය වනාහි, වෝල් වීදියේ කොටස් වටිනාකම්වල වැටීමක් ජනනය නො කරමින් ලඟා කර ගත හැකි එකක් හෙවත්, පන්ති අරගලයෙන්, පාලක පන්තිය අස්වාමික කිරීමෙන් හා කම්කරු පන්තියට බලය මාරු කිරීමෙන් තොර සමාජවාදයකි. ජෙරමි කෝබින්ගේ “සමාජවාදය” ඉදිරියේ පැරනි ෆේබියන්වරුන් සම්පූර්නයෙන් ම පාහේ බොල්ශේවිකයන් ලෙස දිස් වේ. සෑන්ඩර්ස්, ඔකාසියෝ-කෝටෙස් හා ඇමරිකානු ප්‍රජාතාන්ත්‍රික සමාජවාදීන්ගේ සමාජවාදය, රූස්වෙල්ට්ගේ නිව් ඩීල් පිලිවෙතේ හා ජොන්සන්ගේ මහා සමාජය සමයේ පැවති ධනේශ්වර ප්‍රතිසංස්කරනවලට දකුනින් පිහිටයි.

39. ව්‍යාජ-වමේ සැබෑ සමාජීය පදනම වන්නේ, ඉහල මධ්‍යම-පන්තියේ වරප්‍රසාදිත කොටස් ය. ඔවුන්ගේ ඉලක්කය වන්නේ, සමාජීය හා ආර්ථික ජීවිතයේ රැඩිකල් ප්‍රතිව්‍යුහගත කිරීම නො ව, ඉහල පවතින ධනය යලි බෙදාහැරීමයි. සංගත අධ්‍යක්ෂ මන්ඩල, ශාස්ත්‍රාලික ලෝකය, මාධ්‍ය, වෘත්තීය සමිති යාන්ත්‍රනය සහ රාජ්‍යය ඇතුලත බලයේ හා වරප්‍රසාදිත තානානත්‍ර සඳහා තරඟ කිරීමට, ඉහල-මධ්‍යම පන්තික කොටස් යොදා ගන්නා රූපාකාරය වන්නේ, විවිධ ආකාරයේ වාර්ගික හා ලිංගික දේශපාලනය නිමක් නැතිව ඉදිරියට දැමීම යි.

40. ඇමරිකාවේ ප්‍රජාතාන්ත්‍රික සමාජවාදීන්ගේ “වාම” මවාපෑම් සර්වග්‍රාහී ව හෙලිදරවු කිරීමට එක්සත් ජනපදය තුල බයිඩන් පරිපාලනයේ තුන් අවුරුද්ද සේවය කර ඇත. ඔකාසියෝ-කෝටෙස් ඇතුලු කොංග්‍රසය තුල නායක ඩීඑස්ඒ සාමාජිකයෝ, දුම්‍රිය කම්කරුවන්ගේ වැඩ වර්ජන ක්‍රියාව නීති-විරෝධී කිරීමටත්, යුක්‍රේනය තුල රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධයට අරමුදල් සැපයීමටත් ඡන්දය දී තිබේ. ගාසා තීරය තුල ඊස්‍රායල ජනසංහාරය මධ්‍යයේ, ඊස්‍රායලයේ අයන් ඩෝම් ප්‍රහාරයට අරමුදල් සැපයීම සඳහා තමන් සහයෝගය දක්වන බව ඔකාසියෝ-කෝටෙස් නිවේදනය කලා ය.

41. පන්තිය හා ආර්ථික බලය පිලිබඳ මූලික ප්‍රශ්නය ද ඒ නිසා ම ධනවාදය පෙරලා දැමීම සඳහා ගෝලීය පරිමානයකින් කම්කරු පන්තිය බලමුලුගැන්වීමේ අවශ්‍යතාව ද නොතකමින්, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම හා ෆැසිස්ට්වාදයට එරෙහි ව සටන් කිරීම ගැන කරන සියලු කතා, කුහක ද දේශපාලනික ව බෙලහීන පූච්චානමක් ද වෙයි. බිලියනපතියන්ගේ ධනය අස්වාමික කොට, විශාල කොටස් හිමියන්ට වන්දි ගෙවීමකින් තොර ව යෝධ සංගත පුද්ගලික ලාභය වෙනුවට සමාජීය අවශ්‍යතාවේ පදනම මත පවත්වාගෙන යන, මහජන-පාලිත උපයෝගීතාවන් බවට පරිවර්තනය කරනු ලැබිය යුතු ය. (වෘත්තීය මිලිටරිය, පොලීසිය හා ඔත්තු සේවා වැනි) ධනපති රාජ්‍යයෙහි ප්‍රජාතන්ත්‍ර-විරෝධී ආයතන හා මර්දනීය උපකරන අහෝසි කර, ලෝක පරිමානයකින් ප්‍රජාතන්ත්‍රවාදී හා සැලසුම්ගත ආර්ථිකයක් ස්ථාපිත කරනුවස් කම්කරුවන්ගේ පාලනයේ හා බලයේ සංවිධාන විසින් ඒවා විස්ථාපනය කරනු ලැබිය යුතු ය.

42. සමාජවාදය සඳහා මහජන ජාත්‍යන්තර ව්‍යාපාරයක් වර්ධනය කිරීමේ වෛෂයික පදනම වන්නේ, ලෝකය පුරා වැඩෙන කම්කරුවන්ගේ අරගල යි. වෛෂයික ව වැඩෙන මෙම ව්‍යාපාරය, බලය සඳහා වන සවිඥානික අරගලයක් බවට පරිවර්තනය කරනුවස්, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් සටන් වදින ක්‍රියාමාර්ගය හා මූලධර්ම ද මාක්ස්වාදී න්‍යායය ද මත පදනම් වන කම්කරු පන්තියේ මහජන ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරයක් වර්ධනය කිරීම අවශ්‍ය කරයි.

Loading