ඉදිරිදර්ශන

පලස්තීන ප්‍රශ්නයට අධිරාජ්‍යවාදයේ "අවසාන විසඳුම"

[මෙය Imperialism’s “final solution” to the Palestinian question යන මැයෙන් 2024 මාර්තු 18 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

2024 පෙබරවාරි 25 ඉරිදා, ගාසා තීරයේ, ගාසා නගරයේ, වෙරල තීරයේ කුසගින්නෙන් පෙලෙමින්, මානුෂීය ආධාර බලාපොරොත්තුවෙන් සිටින දහස් ගනනක පලස්තීනුවන්. [ඒපී ඡායාරූප/මහමුද් එසා] [AP Photo/Mahmoud Essa]

ධවල මන්දිරය විසින් සඳුදා නිවේදනය කල පරිදි, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්‍යාහු “නිලධාරීන් කන්ඩායමක්” වොෂින්ටනයට එවීමට එකඟ වී ඇති බව ප්‍රකාශ කිරීම, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය පලස්තීනුවන්ට එරෙහි ජන සංහාරයේ සෘජු කොටස්කරුවෙකු බව යලිත් ඔප්පු කර පෙන්වයි. ඉදිරි දිනවලදී පැවැත්වෙන එම රැස්වීම “මිලිටරි, බුද්ධි අංශ සහ මානුෂීය විශේෂඥයින්” ඇතුලත් කරගැනීම ම, එහිදී සාකච්ඡාවට ලක්වනු ඇත්තේ රෆාහි කොටු කර සිටින මිලියන 1.5 ක පලස්තීනුවන් මත ලේ වැකි ප්‍රහාරයක් දියත් කරන්නේ කෙසේද යන්න පිලිබඳව බවට නොවරදින ලකුනක් බව ඇසෝසියේටඩ් ප්‍රෙස් වාර්තා කලේය.

රැස්වීම පිලිබඳ පුවත පැමිනියේ, තම ෆැසිස්ට්වාදී ආන්ඩුව විසින් පලස්තීනුවන්ට ගාසා තීරයේ ඉතිරිව ඇති අවසාන රැකවරන ස්ථානයට පහර දීම, කිසිදු ජාත්‍යන්තර පීඩනයකින් නතර නොකරන බවට නෙතන්‍යාහු ඊශ්‍රායල යුද කැබිනට් රැස්වීමකදී ප්‍රතිඥා දීමෙන් දිනකට පසුවය. “අපි රෆා හි ක්‍රියාත්මක වන්නෙමු,” නෙතන්‍යාහු පැවසීය. “මෙයට සති කිහිපයක් ගතවනු ඇත, එය සිදුවනු ඇත.” ඊට ප්‍රතිචාර වශයෙන්, ජනාධිපති ජෝ බයිඩන් සඳුදා නෙතන්‍යාහු සමඟ කතා කලේ ඊශ්‍රායලයට ඔහුගේ පරිපාලනයේ සහයෝගය යලි තහවුරු කිරීමට ය.

නෙතන්‍යාහුගේ ම්ලේච්ඡ අභිප්‍රායන් අවධාරනය කරමින්, ඊශ්‍රායල ආරක්ෂක හමුදා (අයිඩීඑෆ්) සඳුදා (11) දින අල්-ෂිෆා රෝහලට ම්ලේච්ච ලෙස කඩා වැදුනි, ජන සංහාරය දියත් කරන තෙක් ම එය ගාසා තීරයේ විශාලතම රෝහල ලෙස පැවතුනි. ගොඩනැගිල්ලට කඩා වැදීමේදී දුසිම් ගනනක් මිය ගිය අතර අවම වශයෙන් 200 ක් අත්අඩංගුවට ගෙන ඇත.

වොෂින්ටනයේ අධිරාජ්‍යවාදී යුද අපරාධකරුවන් ඊශ්‍රායලය තුල ඔවුන්ගේ ෆැසිස්ට් සහචරයින් සමඟ අසුන්ගෙන රෆාහි විනාශය ගැන සාකච්ඡා කරනු ඇත්තේ, වටකල ප්‍රදේශයේ පුලුල් බිම්තීරය හරහා ව්‍යසනකාරී සාගතයක් මතුවීම මධ්‍යයේ ය. දුසිමක් පමන වන එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන සහ ආධාර සංවිධාන විසින් සකසා සඳුදා නිකුත් කරන ලද, ඒකාබද්ධ ආහාර සුරක්ෂිතතා අදියර වර්ගීකරන වාර්තාවක් සොයාගෙන ඇත්තේ උතුරු ගාසා තීරයේ ඉතිරිව සිටින සියලුම පදිංචිකරුවන්ගෙන් සියයට 70 ක් “ව්‍යසනකාරී ලෙස” කුසගින්නෙන් පෙලෙන බවත්, සාගතයකට “ආසන්න” බවත්‍ ය. දැන් සිට මැයි දක්වා ඕනෑම වේලාවක උතුරේ සාගතයක් ඇතිවිය හැකි බව වාර්තාව අනතුරු ඇඟවීය; රෆා වෙත ප්‍රහාරයක් දකුනට ද සාගතයක් ගෙන එනු ඇත.

“අද ලෝකයේ සාගතයට මුහුන දෙන විශාලතම මිනිසුන් සංඛ්‍යාව මෙයයි,” වාර්තාව ප්‍රකාශ කලේය. ජනගහනයෙන් සියයට 20 ක් අධික ආහාර හිඟයකින් ද, දරුවන්ගෙන් සියයට 30 ක් උග්‍ර මන්දපෝෂනයෙන් ද පෙලෙමින්, දිනකට වැඩිහිටියන් 10,000 කින් දෙදෙනෙකු කුසගින්නෙන් මියයන විට එය සාගතයක් ලෙස අර්ථ දැක්වේ.

අධිරාජ්‍යවාදී බලවතුන් මෙම මානුෂීය ව්‍යසනය ගැන නොතකනවා පමනක් නොවේ; ඔවුන් එය සිදුවිය හැක්කක් බවට පත් කලේ ය. ගාසා තීරයේ යටිතල පහසුකම් ක්‍රමානුකූලව විනාශ කිරීම සහ එහි ජනගහනයෙන් සියයට 80 ක් බලහත්කාරයෙන් අවතැන් කිරීම සිදු කර ඇත්තේ, වොෂින්ටනයේ සිට ටෙල් අවිව් වෙත වාර්ෂික ආධාර ලෙස, දශක ගනනාවක් තිස්සේ, එක්සත් ජනපදය හා එහි යුරෝපීය සහචරයින් විසින් ගුවනින් යැවූ ඩොලර් බිලියන 3 කට වඩා වැඩි වටිනාකමක් ඇති ආයුධ මගිනි. ආහාර, වෛද්‍ය සැපයුම්, විදුලිය, ජලය සහ ඉන්ධන හිතාමතාම අවහිර කිරීම, කලාපයේ අධිරාජ්‍යවාදයට සමීපතම බැඳීම් ඇති පාලන තන්ත්‍ර දෙක වන ඊශ්‍රායලය සහ ඊජිප්තුව විසින් දැඩි ලෙස බලාත්මක කර ඇත. පසුගිය ඉරිදා, යුරෝපා සංගමය, ඊජිප්තු විප්ලවයේ මස් වැද්දා සහ ගාසාවේ පලස්තීනුවන්ගේ සාගතයේ හවුල්කරුවා වන ඊජිප්තු ආඥාදායක අබ්දෙල් ෆටා අල්-සිසි සමඟ දේශසීමා ආරක්ෂාව ශක්තිමත් කිරීමට සහ ආර්ථික ආයෝජන පුලුල් කිරීමට යුරෝ බිලියන 7 ක ගිවිසුමක් අත්සන් කලේය.

අනාරක්ෂිත පිරිමින්, කාන්තාවන් සහ ලමුන් සමූහ ඝාතනය කිරීම ඊශ්‍රායලය විසින් ආරම්භයේ සිටම, විවෘතව ප්‍රකාශ කරන ලද ප්‍රතිපත්තියකි. ප්‍රහාරයේ මුල් දිනවල, ආරක්ෂක අමාත්‍ය යොවාව් ගැලන්ට් පලස්තීනුවන් “මිනිස් තිරිසනුන්” ලෙස විස්තර කල අතර ඊශ්‍රායලය ඒ අනුව ක්‍රියා කරන බවට තර්ජනය කලේය. නෙතන්‍යාහු ඇතුලු බොහෝ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ, අවසාන ඉලක්කය ගාසා තීරයේ පදිංචිකරුවන් ඝාතනය කිරීම හෝ බලහත්කාරයෙන් නෙරපා හැරීම හරහා එය ජනශූන්‍ය කරන බවයි. නොවැම්බරයේදී, ඊශ්‍රායලයේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ හිටපු ප්‍රධානියා වූ ගියෝරා එයිලන්ඩ් විසින් සාගින්න සහ රෝග යුද අවි ලෙස භාවිතා කිරීම සඳහා වූ ඉල්ලීමක් ප්‍රකාශයට පත් කරන ලදී. “ගාසා තීරයේ මානුෂීය ව්‍යසනයක් සහ දරුනු වසංගත ගැන ජාත්‍යන්තර ප්‍රජාව අපට අනතුරු අඟවයි. එය කොතරම් දුෂ්කර වුවත් අප මෙයින් පසුබට නොවිය යුතුය. අන්තිමේදී, ගාසා තීරයේ දකුනේ දරුනු වසංගත ජයග්‍රහනය සමීප කර, ඊශ්‍රායල ආරක්ෂක හමුදා සොල්දාදුවන් අතර ජීවිත හානි අවම කරනු ඇත,” ඔහු ලිවීය.

ඇමරිකානු අධිරාජ්‍යවාදයට මෙම අසීමිත ම්ලේච්ඡත්වයට බාධා කිරීමට ක්‍රියා කල හැකි යැයි සිතන අය තමන්වම රවටා ගනිමින් සිටිති. වගවිභාගයක් නොමැති බෝම්බ ප්‍රහාර හරහා සිවිල් වැසියන් සමූලඝාතනය කිරීම සහ මිනිස් ජීවිතයට අත්‍යවශ්‍ය මූලික අවශ්‍යතා අත්හිටුවීමෙන් ඔවුන් සාගතයට ලක් කිරීම, සියොන්වාදී පාලන තන්ත්‍රයේ බංකොලොත්භාවයේ සහ දශක ගනනාවක් තිස්සේ පලස්තීන භූමි ප්‍රදේශය නීති විරෝධී ලෙස අත්පත් කර ගැනීමේ නිෂ්පාදන පමනක් නොවේ. මනුෂ්‍යත්වයට එරෙහි එවන් අපරාධ පැන නගින්නේ, වොෂින්ටනය, සමස්ත සමාජයම විනාශ කරමින්, අනුකම්පා විරහිතව මිලිටරි බලය යෙදවීම හරහා සිය වේගවත් ආර්ථික පරිහානිය සමනය කිරීමට උත්සාහ කිරීමේදී, එක්සත් ජනපද අධිරාජ්‍යවාදී නායකත්වය, දශක තුනකට අධික කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය අඛන්ඩ ආක්‍රමනකාරී යුද්ධ වලිනි.

පසුගිය දශක තුනහමාරක කාලය තුල ඇමරිකානු අධිරාජ්‍යවාදය විසින් සිදු කරන ලද ම්ලේච්ඡ අපරාධ ලේඛනගත කිරීමට නොහැකි තරම්‍ ය. පලමු ගල්ෆ් යුද්ධයේදී ඉරාක සිවිල් වැසියන්ගේ සහ දුර්වල ලෙස සන්නද්ධ කල, බලෙන් බඳවාගත් හමුදා සෙබලුන්ගේ ලේ වැගිරීමේ සිට, 1999 දී යුගෝස්ලාවියාවට එරෙහි නැටෝවේ ම්ලේච්ඡ ගුවන් යුද්ධය, 2001 සිට ඇෆ්ගනිස්ථානයේ නව යටත් විජිත ආක්‍රමනය, 2003 දී ඉරාකය නීති විරෝධී ලෙස ආක්‍රමනය කිරීම, 2011 දී නැටෝව විසින් ලිබියාව විනාශ කිරීම, සහ 2014 දී සිරියාවේ ලේ වැකි මැදිහත්වීම දක්වා, ඇමරිකානු අධිරාජ්‍යවාදයට ලොව පුරා දරිද්‍රතාවයට පත් සහ පීඩිත ජනයා ම්ලේච්ඡත්වයට පත් කිරීමේ අසමසම වාර්තාවක් ඇත. මෙම මෙහෙයුම් බොහොමයක ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කල ජනාධිපති බයිඩන්, රෆා ප්‍රහාරය පිලිබඳ සාකච්ඡා අධීක්ෂනය කරනු ඇත.

ලෝකය නැවත බෙදා ගැනීමක යෙදී සිටින මහා බලවතුන් අතර වර්ධනය වෙමින් පවතින තුන්වන ලෝක යුද්ධයත් සමඟ මෙම ම්ලේච්ඡත්වය දැන් නව අදියරකට පැමින තිබේ. රුසියාවේ අමුද්‍රව්‍ය සහ යුරේසියානු ගොඩබිම මත තම ආධිපත්‍යය තහවුරු කර ගැනීම සඳහා යුක්‍රේනියානුවන් මිලියන භාගයකට වඩා කැමැත්තෙන් බිලි දී ඇති එක්සත් ජනපද හා යුරෝපීය අධිරාජ්‍යවාදීහු යුක්‍රේනය තුල රුසියාවට එරෙහිව යුද්ධයක් දියත් කරති. ඔවුන් රුසියාව සමඟ යුද්ධය තීව්‍ර කරමින් ද, චීනය සමඟ යුද්ධයට සූදානම් වෙමින් ද සිටින්නේ, පෘථිවියේ මානව ශිෂ්ටාචාරයේ අවසානය සනිටුහන් කරන න්‍යෂ්ටික ගිනි ජාලාවක් අවුලුවාලීමේ අවදානම මැද ය. එක්සත් ජනපද පාලක පන්තිය තම කලාපීය ආධිපත්‍යයට බාධාවක් ලෙස සලකන ඉරානයට මුහුන දීම සඳහා ද, මැද පෙරදිග පුරා ගැටුම් කලාපීය වශයෙන් තීව්‍ර කිරීමට වේදිකාව සැකසීම සඳහා ද වොෂින්ටනය විසින් පලස්තීනුවන්ට එරෙහි ඊශ්‍රායලයේ ජන සංහාරය ඩැහැගෙන ඇත.

මෙම උමතු ප්‍රතිපත්ති ලෙස පෙනෙන දේ මුල් බැස ඇත්තේ, ලෝක යුද්ධයේ ක්‍රියාමාර්ගය හැර අධිරාජ්‍යවාදීන්ට පිලිතුරක් නොමැති අර්බුදකාරී ධනවාදයේ ප්‍රතිවිරෝධතා තුලය. 20 වන සියවසේ නාසි පාලනය යටතේ පැවති ජර්මානු අධිරාජ්‍යවාදය සිය ආර්ථික හා භූ මූලෝපායික අභිලාෂයන් ඉදිරියට ගෙන යාමට යුරෝපීය යුදෙව්වන් සමූලඝාතනය කිරීම අවශ්‍ය බව දුටුවා සේම, 21 වෙනි සියවසේ ඇමරිකානු සහ යුරෝපීය අධිරාජ්‍යවාදය පලස්තීන ප්‍රශ්නයට “අවසාන විසඳුමක්” නිගමනය කර ඇත.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය සිය අලුත් අවුරුදු ප්‍රකාශයේ පැහැදිලි කල පරිදි:

ගාසා ජන සංහාරය අද්විතීය ආඛ්‍යානයක් නොවේ; ඒ වෙනුවට එය වඩාත් හොඳින් වටහාගත හැක්කේ, ඊශ්‍රායල-පලස්තීන ගැටුමට සම්බන්ධ සුවිශේෂී තත්වයන්ගේත්, සියොන්වාදී ව්‍යාපෘතියේ සහජයෙන්ම ප්‍රතිගාමී ස්වභාවයේත්, එහි වාර්ගික සහ විදේශිකභීතික-ජාතිකවාදී දෘෂ්ටිවාදයේත් නිෂ්පාදනයක් ලෙස ය. අවසානයට සඳහන් කාරනය, ඇත්ත වශයෙන්ම, ඊශ්‍රායල පාලන තන්ත්‍රයේ ක්‍රියාවන්හි සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරයි. එහෙත්, අධිරාජ්‍යවාදී හාම්පුතුන්ගේ සහ ආයුධ සැපයුම්කරුවන්ගේ පූර්න සහයෝගය ඇතිව සිදු කෙරෙන වත්මන් යුද්ධයේ අසීමිත රුදුරු බව තේරුම් ගත හැක්කේ සහ පැහැදිලි කල හැක්කේ ලෝක අධිරාජ්‍යවාදී හා ජාතික රාජ්‍ය පද්ධතියේ බිඳවැටීමේ සන්දර්භය තුල පමනි.

අධිරාජ්‍යවාදී ම්ලේච්ඡත්වය නිපදවන එම අර්බුදයම එය පෙරලා දැමීමේ කොන්දේසි ද නිර්මානය කරයි. කප්පාදු පිලිවෙත් වලට එරෙහිව කම්කරුවන්ගේ අරගල සහ ඔවුන්ගේ ජීවන තත්වයන්ට එල්ල කරන ප්‍රහාර සියලු ප්‍රධාන අධිරාජ්‍යවාදී මධ්‍යස්ථාන තුල තීව්‍ර වන තතු තුල ගාසා ජන සංහාරයට එරෙහි මහජන විරෝධතා ලොව පුරා පැතිර ගොස් ඇත.

කම්කරු පන්තිය ඉදිරියේ ඇති හදිසි කර්තව්‍යය වන්නේ, ගාසා ජන සංහාරයට එරෙහි අරගලය යනු අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි අරගලය බව හඳුනා ගැනීමයි. පාලක පන්තිය 20 වැනි සියවසේ මුල් දශක හතරේ සිට අත්නොදුටු තරමේ ම්ලේච්ඡත්වයක සහ අවනීතියක පිහිට පැතීමට පිලිතුරු දිය හැක්කේ, සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ඉදිරිදර්ශනයක පදනම මත පමනි. ජන සංහාරයට එරෙහිව මෑත මාසවල ලොව පුරා විරෝධතා දැක්වූ මිලියන සංඛ්‍යාත කම්කරුවන් හා තරුනයින්, ලෝක සමාජවාදී විප්ලවයේ වැඩපිලිවෙල මත ධනේශ්වර ම්ලේච්ඡත්වයට විරුද්ධ විය යුතුය. ගාසා තීරයේ දැනටමත් දිග හැරෙමින් පවතින මානව ව්‍යසනය නැවැත්වීමට ඇති එකම මාර්ගය මෙයයි.

Loading