මහනුවර රෝහලේ හෙදියක් සහ සසප සාමාජිකයෙකු අතර සාකච්ඡාවක්

සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එරෙහි ආන්ඩුවේ ප්‍රහාර පරාජය කරන්නේ කෙසේද?

පහත දැක්වෙන්නේ, 'බාධන, උපයෝජ්‍යතා සහ ප්‍රවාහන (ඩැට්) දීමනාව' ඇතුලු ඉල්ලීම් කීපයක් මත සෞඛ්‍ය සේවකයන් මෑතකදී ගෙනගිය අරගලය වෘත්තීය සමිති නායකයන් විසින් ආන්ඩුව යෝජනා කල සොච්චම් දීමනාවකට යටත්කර පාවා දීමෙන් ක්ෂනික ඉක්බිත්තේ, මහනුවර රෝහලේ හෙදියක් සමග සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සාමාජිකයකු කල සාකච්ඡාවකි.

සෞඛ්‍ය සේවකයින් 2024 මාර්තු 13 වන දින මහනුවර රෝහලේ පිකට් කිරීම

උක්ත අරගලය මධ්‍යයේ, 'වැඩි වැටුප් දිනා ගැනීමට සහ ජාමූඅ කප්පාදු වැඩපිලිවෙලට එරෙහිව සටන් කිරීමට ක්‍රියාකාරී කමිටු ගොඩනගමු!' යන හිසින් සෞඛ්‍ය ක්‍රියාකාරී කමිටුව නිකුත් කල ප්‍රකාශය සාකච්ඡාවට කේන්ද්‍ර විය.

එම ප්‍රකාශයේ අන්තර්ගත, 'රෝහල් සහ සෞඛ්‍ය ආයතන ඇතුලු සියලුම වැඩබිම්වල කම්කරුවන් විසින් ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත් කර ගන්නා වූ සහ වෘත්තීය සමිති නිලධරයන්ගෙන් සහ සියලු ධනේශ්වර පක්ෂවලින් ස්වාධීන වූ ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම අත්‍යවශ්‍ය බව අපි යෝජනා කරන්නෙමු' යන කොටසට අවධානය යොමු කරමින් ඇය මෙසේ විමසුවාය.

හෙදිය: වෘත්තීය සමිති වලින් කම්කරුවන්ට සටන් දිනාගන්න බැරි බව පසුගිය අත්දැකීම් වලින් අපිට හොඳින්ම වැටහෙනව. ඒත් ක්‍රියාකාරී කමිටුවලින් කොහොමද වෘත්තීය සමිති වලට නොහැකි වූ කම්කරු ඉල්ලීම් දිනාගන්නේ. දැන් බලන්න රනිල් වික්‍රමසිංහ ආන්ඩුව අපිට ෆේස්බුක් (face book) එකෙන්වත් අදහසක් පල කරන්න බැරි මට්ටමකට රට ගෙනල්ලා. අපි ඉස්සර වෙලාම ඒ මර්දනය නතර කරන්න ඕන. ඒත් ඒක නතර කරන්න අපිවගේ පොඩි මිනිස්සුන්ට පුලුවන්ද?

සෞඛ්‍ය සේවකයින්ගේ 2022 ජූලි 7 වන දින කොලඹදී පැවති විරෝධතා පාගමනක කොටසක් [ඡායාරූපය: WSWS]

ඒක කරන්න ඕන පාර්ලිමේන්තුවේ ඉන්න අය. ඒත් පාර්ලිමේන්තුවෙ ඉන්න 225ම ආන්ඩුවේ කප්පාදුවලට සහ මර්දනයට සහාය දෙනව. උන්ට අවශ්‍ය අපේ අයිතීන් පාගල කොහොමහරි බලය පවත්වගෙන යන්න. කම්කරුවන්ට සංවිධානය සඳහා මොකක් හරි ව්‍යුහයක් අවශ්‍යයි.

සසප සාමාජිකයා: ආන්ඩුවේ ප්‍රහාර නතර කරන්න අපිවගේ පොඩි මිනිස්සුන්ට පුලුවන්ද කියල ඔබ අහපු ප්‍රශ්නයට පලමු කොටම උත්තර දෙන්න මම කැමතියි. ඔව්, තනි තනිව ගත්තම අපි පොඩි තමයි. ඒත් කම්කරුවො සමස්තයක් ලෙස ඒකාබද්ධ වුනොත් ඒක දැවැන්ත බලයක් බවට පත් වෙනව. ඒකට හොඳම උදාහරනය තමයි 1917 රුසියානු විප්ලවය. බෝල්ෂේවික් පක්ෂෙ නායකත්වය යටතෙ සංවිධානයවුනු රුසියාවෙ කම්කරුවො 1917 දි පෙරලල දැම්මෙ, ශත වර්ෂ තුනක් පැරනි, ඉතා බලගතු පාලනයක් ලෙස සැලකුනු, රොමානොව් අධිරාජ්‍යය.

2022 දී ලංකාවෙ ඇතුවුනු මහජන නැගිටීම තවත් උදාහරනයක්. ඒ නැගිටීමෙ බලය කෙතෙක්දයත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ ඔහුගෙ ආන්ඩුවට ගෙදර යන්න වුනා. ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ඒවගේ ඓතිහාසික අත්දැකීම් මාලාවක් අපසතුව තිබෙනවා.

අපි ජීවත්වෙන මෙම ධනේශ්වර සමාජයෙ සියලු වත්කම් නිෂ්පාදනය කරන්නෙ කම්කරුවො. ඒ නිසාම මහවැඩවර්ජනයක් වැනි කාර්මික ක්‍රියාවකින් කම්කරුවන්ට පුලුවන් සමස්ත නිෂ්පාදන ආර්ථික ක්‍රියාවලියම ඇනහිටුවන්න. තමාසතු මෙම දැවැන්ත බලය ගැන කම්කරුවන්ට අවබෝධයක් නෑ. නමුත් පාලකයො ඒ බලය ගැන හොඳින්ම දන්නව. විශේෂයෙන්ම ලංකාවෙ පාලකයො 2022 මහජන නැගිටීමෙන් ඒක අත්දැක්ක.

ඔබ පවසන ආකාරයට වික්‍රමසිංහ ආන්ඩුව රුදුරු මර්දනයක් දියත් කරල තියෙන්නෙ ධනපති පාලකයන්ගෙ ශක්තිය නිසා නෙවෙයි. ආයෙත් 2022 වගේ මහජන නැගිටීමක් එයි කියල බයෙන්.

කම්කරුවො ආන්ඩුවට බලපෑම් දැමීමේ හුදෙකලා සටන් වලට යොමු කරල ඔවුන් රාජ්‍ය මර්දනයට ගොදුරු කරන්නෙ වෘත්තීය සමිති. ඒකට හොඳම උදාහරනය තමයි ලංකා විදුලිබල මන්ඩලය පුද්ගලීකරනයට එරෙහි වර්ජනයට සහභාගි වූ කම්කරුවන් 62 දෙනෙකුගෙ වැඩ තහනම් කිරීම.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙ විධානයන් මත රාජ්‍ය ව්‍යවසායන් 430 ක් පුද්ගලීකරනයට හෝ ප්‍රතිව්‍යුහකරනයට ලක් කරන්න ආන්ඩුව වැඩ පටන් අරගෙන තියෙන්නෙ. ඒකට එරෙහිව සමස්ත කම්කරු පංතිය ඒකාබද්ධ කරගත් සටනක් දියත් කිරීම සම්පූර්නයෙන් කර ඇරල ඉන්න වෘත්තීය සමිති, ඒ ඒ ව්‍යවසායන්හි කම්කරුවො වෙනවෙනම, වර්ජන වැනි කාර්මික ක්‍රියාවන්ට යොමු කරල ඔවුන් රාජ්‍ය දඩයමට යටත් කරන්න වැඩ කරනව.

විදුලිබල සමිති, දඩයමට ලක්වුනු කමිකරුවන් ආරක්ෂා කිරීමට ඒකාබද්ධ සටනක් සංවිධානය කරනු වෙනුවට අධිකරනමය වටවංගුවල ඔවුන් හිර කරල තියෙන්නෙ.

සසප ඉදිරිපත් කරන වැඩපිලිවෙල ඊට මුලුමනින්ම වෙනස් එකක්. ආන්ඩුවේ කප්පාදු වලට සහ මර්දනයට එරෙහිව, සමස්ත කම්කරු පංතියේ සහභාගිත්වයෙන් මහවැඩවර්ජනයක් සංවිධානය කලයුතු බවත්, එමගින් පවත්නා ආන්ඩුව පලවාහැර, සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට නංවන කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙන ආ යුතු බවත් සසප කියා සිටිනවා.

අනෙක් අතට, ඔබ කියනවා, පාර්ලිමේන්තුවෙ 225 ම මේ ප්‍රහාර වලට සහාය දෙනව කියල. ඔවුන් එහෙම සහාය දෙන්නෙ, ඔවුන් එකම පංතියෙ නියෝජිතයන් නිසා. ඔවුන් නියෝජනය කරන්නේ, නිෂ්පාදන මාධ්‍ය හිමි ධනපති පංතියේ අවශ්‍යතාවන් පමනයි. එකී නිෂ්පාදන මාධ්‍යයන්හි රැකියාවේ නියුතු කම්කරුවන්ගේ ශ්‍රමය උපරිම ලෙස සූරාගනිමින්, ඉහලම ලාභය මිරිකා ගැනීමට හැකි කොන්දේසි ධනපතියන්ට සකසාදීම තමයි මේ ධනපති නියෝජිතයන්ගෙ කාර්යභාරය.

නිෂ්පාදන මාධ්‍ය අහිමි, ශ්‍රම ශක්තිය විකිනීමෙන් පමනක් ජීවත් වීමට නියමිත ඔබවැනි කම්කරුවන්ගේ අවශ්‍යතාවන්, ධනපති නියෝජිතයන්ගෙන් සහ ධනපති අවශ්‍යතාවන්ට කම්කරු පංතිය යටත් කරදෙන වෘත්තීය සමිතිවලින් ඉටුකරගත හැකි වෙතැයි සිතීම මුලාවක්. කම්කරුවන්ට තම පංතියේ අවශ්‍යතා නියෝජනය කරන පක්ෂයක් සහ තමාගේම ස්වාධීන බල සංස්ථාවන් අවශ්‍යයි. ක්‍රියාකාරී කමිටු කියන්නෙ එවැනි බල සංස්ථාවන්.

1917 දී රුසියානු විප්ලවය සංවිධානය කෙරුනෙ, ක්‍රියාකාරී කම්ටු වලට බොහෝ සෙයින් සමාන සෝවියට් සභා තුලින්. කම්කරුවො බලය ගත්තෙ ඒ සෝවියට් සභා වලට. මේ සියල්ලට අවශ්‍ය නායකත්වය සහ ඉදිරි දර්ශනය සම්පාදනය කලේ වී.අයි.ලෙනින් සහ ලියෝන් ට්‍රොට්ස්කි නායකත්වය දුන් බෝල්ෂේවික් පක්ෂය.

මේ අනුව, 'වෘත්තීය සමිති වලට නොහැකි වූ කාර්යය', ඇත්ත වශයෙන්ම කියනවනම් වෘත්තීය සමිති නොකරන කාර්යය, ක්‍රියාකාරී කමිටු තුලින් සාක්ෂාත් කලහැකිබව ඔබට වැටහෙනවා ඇති.

කොලඹ ජාතික රෝහලේ සෞඛ්‍ය සේවකයින්, 2024 පෙබරවාරි 14 වන දින, සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පිටත විරෝධතාවයක නිරත වෙමින් [ඡායාරූප: ෆේස්බුක්/යුනියන් ලංකා] [Photo: Facebook/Unions Lanka]

හෙදිය: මම හිතන්නෙ සමිති නායකයො වැඩ පටන් ගන්නේ බොක්කෙන්ම (අවංකව). ඒත් පෘථග්ජන මිනිස්සු නිසා ඔවුන් දේශපාලනඥයන්ට යට වෙනව. දැන් අපි ඔබ වටා එක්වුනා කියන්නකෝ. ඊට පස්සේ ඔබත් යනවා දේශපාලන නායකයො එක්ක කතා කරන්න. ඔන්න රට සවාරි ලැබෙනවා. එතකොට අර දේශපාලනඥයන්ට ඕන විදියට වැඩ කරන්න ගන්නව. ඒකයි සාමාජිකයින්ට කලකිරීම් එන්නේ. දැන් ඒකට විසඳුමක් තියෙනවද?

සසප සාමාජිකයා: වෘත්තීය සමිති නායකයො ධනපති අවශ්‍යතාවන්ට නතු වෙන්නෙ ඔවුන්ගෙ පෘථග්ජනභාවය නිසා නොවෙයි. වෘත්තීය සමිති උපකරනයේම පවත්නා ධනපතිගැති ප්‍රතිගාමී ස්වභාවය නිසයි.

සැබැවින්ම වෘත්තීය සමිතිවල අතීත කාර්යභාරය වුනේ, කිසියම් ධනපති රාජ්‍යයක ජාතික ආදායමෙන් කම්කරු පංතියට ලැබෙන පංගුව වැඩිකර දීමයි. නමුත් 1980 ගනන් වල සිදුවූ ආර්ථිකයේ ගෝලීයකරනයත් සමග, ජාතික ආර්ථිකය තුල පමනක් ක්‍රියාත්මක වියහැකි මෙවලමක් වූ වෘත්තීය සමිතිවල අතීත කාර්යභාරය අහෝසි වුනා. එය කම්කරු පංතියේ උපකරනයක සිට ධනපති පංතියේ උපකරනයක් බවට පත් වුනා. සමිති නායකත්වයේ පාවාදීම් සහ ද්‍රෝහිත්වය ගලා එන්නේ එම සමිති වල මෙම ඓතිහාසික පරිවර්තයෙන්. මෙය ලංකාවට විතරක් නොවෙයි, මුලු ලෝකෙටම පොදු ලක්ෂනයක්.

සසප යෝජනා කරන ක්‍රියාකාරී කමිටු, අන්තර්ගතයෙන් සහ ක්‍රියාකාරිත්වයෙන් වෘත්තීය සමිති වලට මුලුමනින්ම වෙනස්. පලමු කොටම එය ධනපති ක්‍රමය පෙරලා දැමීම එල්ල කරගත් සංවිධාන රූපයක්. අනෙක් අතට, එය වෘත්තීය සමිති වගේ සාමාජිකත්වයට හොර රහසේ තීන්දු අරගෙන ඒවා සාමාජිකත්වය මත පටවන ප්‍රජාතන්ත්‍ර-විරෝධී සංස්ථාවන් නොවෙයි. නියෝජිතයන් තෝරා ගැනෙන්නේ ද, සියලු තීන්දු තීරන ගැනෙන්නේ ද සාමාජිකත්වය තුල සිදු කෙරෙන පූර්න ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ඡා තුලින්.

ක්‍රියාකාරී කමිටු තුල බලය තිබෙන්නේ නියෝජිතයින් අත නොව, ඔවුන් පත්කර ගනනා සාමාජිකයින් අතයි. කම්ටුව තුල ප්‍රජාතන්ත්‍රවාදීව සම්මත කරගත් ක්‍රියාමාර්ගයන්ගෙන් සහ ගනු ලැබූ තීන්දු වලින් බැහැරව ක්‍රියාත්මකවන නියෝජිතයන් ඉවත්කර වෙනත් අය පත් කර ගැනීමේ බලය ද මෙම කමිටු වලට තියෙනව.

හෙදිය: හොඳයි. එහෙම කමිටුවක් හැදුව කියමුකෝ, ඒකෙ තීරනයක් මත කම්කරුවො පාරට බැස්සොත් කඳුලු ගෑස් ගහලා, වෙඩි තියලා ඒ සටන් විනාශ කල හැකියි නේද?

සසප සාමාජිකයා: මෙම ක්‍රියාකාරී කමිටු විසින් තම සාමාජිකත්වය කිසියම් සටනකට යොමු කිරීමේ දී එයට මුහුන දීමට සිදුවන අභියෝග කවරේද යන්න ගැඹුරින්ම සාකච්ඡා කල යුතුයි.

විශේෂයෙන්ම පොලීසියේ සහ අනෙකුත් රාජ්‍ය හමුදාවන්ගේ රුදුරු මර්දනය ට, වෘත්තීය සමිති නායකයන්ගේ සහ ව්‍යාජ-වාම සංවිධානවල මග වැලහීම්වලට සහ ධනපති පාලකයන් විසින් සදාවඩා පෙරටගනු ලබන ෆැසිස්ට් නඩවල ප්‍රහාරයන්ට මුහුන දෙන්නේ කෙසේද යන්න විමසා බැලිය යුතුයි. ධනපති රාජ්‍යයේ සහ ෆැසිස්ට් නඩවල ප්‍රහාරයන්ගෙන් ආරක්ෂාවීම සඳහා කම්කරු ආරක්ෂක කමිටු ගොඩනගා ගැනීමේ අවශ්‍යතාව ද එවන් සාකච්ඡාවන් මගින් තම සාමාජිකත්වයට ඒත්තු ගැන්විය හැකියි.

කෙසේ නමුත්, එම අභියෝගයන්ට මුහුනදීම සඳහා අත්‍යවශ්‍යම වන්නේ කම්කරු පංතියේ සමස්ත ශක්තිය බලමුලුගන්වා ගැනීමයි. එය සාක්ෂාත් කල හැක්කේ, සෑම වැඩපොලකම, කම්හලකම, ආයතනයකම, වතුයායකම සහ ගමිබද ප්‍රදේශයකම ක්‍රියාකාරී කමිටු පිහිටුවමින්, ඒවා අතර ගොඩනගන සන්ධානයක් තුලින් කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් වර්ධනය කිරීම හරහා පමනි.

එම සන්ධානය, අනෙකුත් රටවල කම්කරු ක්‍රියාකාරී කමිටු සමග එක්ව ගොඩනගන ජාත්‍යන්තර සන්ධානයක් තුලින් ලෝක කම්කරු පංතියේ දැවැන්ත සමාජ බලය ඒකාග්‍රකොට ගෝලීය ධනපති ක්‍රමයට එරෙහිව මෙහෙයවිය යුතුයි. දැවැන්ත බැංකු, මහා පරිමාන කම්හල් සහ සුවිසල් වතුයායයන් ඇතුලු නිෂ්පාදන මාධ්‍යයන් කම්කරු පංති පාලනය යටතේ ජනසතුකොට සමස්ත ගෝලීය ආර්ථිකය මානව අවශ්‍යතා වෙනුවෙන් ප්‍රතිසංවිධානය කිරීමේ ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනයක් මත එම සමාජ බලය මෙහෙයවීමට සසප තම ජාත්‍යන්තර සගයන් සමග එක්ව සටන් වදිනවා.

හෙදිය: රනිල් වික්‍රමසිංහ දැන් අරගලයක් (2022 වැනි මහජන නැගිටීමක්) එනකන් බලන් ඉන්නෙ නෑ. සටනකට සංවිධානය වෙනවා කියලා දැනෙනකොටම ප්‍රහාරය එල්ල කරලා විනාශ කරනවා. ඒ නිසා මම හිතන්නෙ කම්කරුවන්ට ආරක්ෂක අංශවල අයගෙ සහයෝගය අවශ්‍යයි කියල. කම්කරුවන් ගේ අරගල දිනන්න නම් ඒ අයගේ සහයෝගය ලබාගන්න අවශ්‍යයි. නමුත් ආරක්ෂක අංශ සම්බන්ධයෙන් තියෙන නීති-රීති අනුව එයාලට කිසිම විදියකින් බෑ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් පෙනී සිටින්න හෝ උදව් කරන්න.

සසප සාමාජිකයා: පොලීසිය සහ හමුදාව වැනි ආරක්ෂක අංශ ගොඩනගල තියෙන්නෙම කම්කරු පංතියට එරෙහිව. ඒ නිසයි ඔබ කියන නීති-රීති ආරක්ෂක අංශවල සාමාජිකයන්ට පනවල තියෙන්නෙ. රාජ්‍යය කියන්නෙ නිෂ්පාදන මාධ්‍ය හිමි පන්තියේ උපකරනය. පාර්ලිමේන්තුව, අධිකරනය, ව්‍යවස්ථාව, හමුදා, පොලීසි සහ සිරගෙවල් ආදිය එහි අවයව.

සමස්ත ධනපති රාජ්‍යයම වර්ධනය කරල තියෙන්නෙ, කම්කරු පංතියට එරෙහිව ධනපති දේපොල සහ ශ්‍රම සූරාකෑමේ ක්‍රියාවලිය ආරක්ෂා කරන්න. මේවනවිට ලංකාවේත් ලොවපුරාත් වේගයෙන් වර්ධනය වන පංති අරගල හමුවෙ, ධනපති රාජ්‍යයෙ මෙි සියලුම අවයව කම්කරු පංතියට එරෙහිව ක්‍රියාත්මකවන ආකාරය ඉතා පැහැදිලිව දැකගන්න පුලුවන්.

මේ අනුව ආරක්ෂක අංශවල සාමාජිකයන් කම්කරුවන්ගෙ ආරක්ෂාවට කැඳවා ගැනීම කල නොහැක්කක් බව ඔබට වැටහෙනව ඇති.

නමුත්, සමහර මහජන නැගිටීම් වලදි, විශේෂයෙන්ම සමාජ විප්ලවවලදි, රාජ්‍ය හමුදාවල විශාල කොටස් එම හමුදා අත්හැර පාලිත පංතිය පැත්තට මාරු වී ඇතිබවට ජාත්‍යන්තර අත්දැකීම් තිබෙනව. 1917 රුසියානු විප්ලවයෙදි සාර් රාජ්‍යයේ හමුදා භටයින් දසදහස් ගනනින් මෙලෙස කම්කරුවන් සහ ගොවීන් සමග එකතු වුනා.

හෙදිය: අරගලය (මහජන නැගිටීම) තුල කම්කරුවන්ගේ දැවැන්ත එකමුතුවත් ඇතිවුනා නේද? අපි අරගලයට ගියේ සමාජ මාධ්‍ය හරහා සංවිධානය වෙලා. ඒක හිතාගන්න බැරි වේගයකින් කම්කරුවො අතරට ගියා. පාලකයින්ට ඒවා හිතාගන්නවත් බැරි වුනා. ඒ වගේ ප්‍රහාරයක් නැවත අපිට සංවිධානය කරගන්න අවශ්‍යයි.

සසප සාමාජිකයා: සැබැවින්ම එහෙම එකමුතුවක් තිබුනා. ඒක අව්‍යාජ මහජන නැගිටීමක ප්‍රධාන ලක්ෂනයක්. ඒ වගේම, එම එකමුතුව ඇති කිරීමට සමාජ මාධ්‍ය විශාල රුකුලක් වුනා. සැබැවින්ම එය පරයා යන මහජන නැගිටීමක් දෙසට මහජන කෝපය වර්ධනය වෙමින් පවතිනවා.

නමුත්, පසුගිය මහජන නැගිටීමේ පාඩම් උකහා ගනිමින් එය දැනුවත්ව සංවිධානය නොකලොත් එය ද පරාජයකින් කෙලවරවනු නියතයි. එවන් බලගතු මහජන නැගිටීමක් අවසානයෙදි, වඩාත්ම මහජන වෛරයට පාත්‍ර වූ ධනපති නායකයෙකු වන රනිල් වික්‍රමසිංහට බලයට පැමිනීමෙන් එය පරාජයට පත්වූයේ කෙසේද යන්න වටහා ගැනීම අත්‍යවශ්‍යයි.

එම මහජන නැගිටීමට නායකත්වය සහ ඉදිරිදර්ශනය සම්පාදනය කිරීමට කම්කරු පංතියේ මහජන විප්ලවවාදී පක්ෂයක් නොතිබීම එයට ප්‍රධානතම හේතුව වෙනවා.

කම්කරුවන්ගේ බල සංස්ථා ගොඩනගා ගනිමින්, සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට නංවන කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙනඒම දක්වා මහජන නැගිටීම ඉදිරියටම ගෙන යායුතු බව අවධාරනය කරමින් සසප එයට ඉතා බලගතු ඉදිරිදර්ශනයක් සම්පාදනය කලත්, එය තවමත් කම්කරු පංතියේ මහජන විප්ලවවාදී පක්ෂයක් බවට වර්ධනය වී නොතිබීම හේතුවෙන්, එම ඉදිරිදර්ශනය මත මහජන නැගිටීම මෙහෙයවා ගැනීමට නොහැකිවුනා.

මෙහි වාසිය ඩැහැගත්, වෘත්තීය සමිති සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි ව්‍යාජ-වාම සංවිධාන, සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ඉදිරිපත් කල අන්තර්-කාලීන ආන්ඩු යෝජනාව යටතට, නැතහොත් ධනපති පාර්ලිමේන්තු මාවතටම එම මහජන නැගිටීම හරවා යවා එය පාවාදෙනු ලැබුවා. වික්‍රමසිංහට බලයට පැමිනීමේ මාවත විවරවුනේ එම පාවාදීම නිසයි.

හෙදිය: එය පරාජයවුනේ කම්කරු පන්තියට තමන්ගේම වැඩපිලිවෙලක් හා නායකත්වයක් නොතිබුනු නිසා බව පැහැදිලියි. ඒත් ජවිපෙ මේ පාවාදීමට හවුල්වීම සම්බන්ධයෙන් මට ප්‍රශ්න කීපයක් තියෙනවා. ජවිපෙ කම්කරු පන්තියේම සංවිධානයක් නෙවේ ද? ජවිපෙ අරමුන ධනපති පන්තියේ බලය නැතිකරල කම්කරු පන්තියට අවශ්‍ය පහසුකම් ලබාදීලා ඒගොල්ලෝ නගා සිටුවීම නෙවෙයි ද ?

සසප සාමාජිකයා: ජවිපෙ කිසි දිනෙක කම්කරු පංතියේ පක්ෂයක් ලෙස පැවතියේ නෑ. 1960 ගනන්වලදී එය ආරම්භවුනේ, සිංහල ජනතාවාදය මාඕවාදය සහ කැස්ත්‍රෝවාදී ගොවිජන ගරිල්ලාවාදයේ මිශ්‍රනයක් මත පදනම්වෙල, අතෘප්තියට පත් ගම්බද තරුනයින් බඳවාගත් සුලුධනේශ්වර රැඩිකල් ව්‍යාපාරයක් විදියට.

පසුගිය දශක තුන ඇතුලෙ, ජවිපෙ තමාගෙ පුහු සමාජවාදී දෙඩවිලි අතහරිමින් සහ කොලඹ දේශපාලන සංස්ථාපිතයේ පාර්ලිමේන්තු පක්ෂයක් බවට පරිවර්තනයය වෙමින් වේගයෙන් දකුනට ගමන් කලා.

ජවිපෙ දැන්, මහ ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතා වෙනුවෙන් සේවය කිරීමට පොරොන්දු වෙන, එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, යුරෝපීය සංගමය සහ අනෙකුත් ප්‍රමුඛ බලවතුන් ඇතුලු අධිරාජ්‍යවාදී රටවේවල රාජ්‍ය තාන්ත්‍රිකයන් එක්ක සමීප සබඳතා වර්ධනය කරගෙන තිබෙන ධනපති පක්ෂයක්.

ජවිපෙ අරමුන 'ධනපති පන්තියේ බලය නැතිකරල කම්කරු පන්තියට අවශ්‍ය පහසුකම් ලබාදීලා ඒගොල්ලෝ නගා සිටුවීම' නෙවෙයි. වික්‍රමසිංහගෙ ආන්ඩුව දැන් ගෙනියන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිලිවෙල, තමන් බලයට පැමිනියහොත් ඉදිරියටම ගෙනියන බවට ජවිපෙ මුල්‍ය අරමුදලට පොරොන්දුවෙල ඉන්නෙ.

හෙදිය: කවුරු බලයට ආවත් ඔය ජාමූඅ දිහාට හැරෙන්න වෙනවා. දැන් කම්කරු පන්තියේ පාලනයක් ආවොත් ඔය ජාමූඅ උදව් නැතිව අපට පුලුවන්ද රට ගෙන යන්න කොහොමද ගෙනියන්නෙ?

සසප සාමාජිකයා: ඔව්, ධනපති පංති පාලනයක් යටතෙනම් ජාමූඅ දිහාවට හැරෙන්නෙ නැතිව බෑ.

නමුත් කම්කරු පංති පාලනයකට ජාමූඅ මත යැපෙන්න අවශය වෙන්නෙ නෑ. කලින් පැහැදිලි කල ආකාරයට, එවන් පාලනයක් යටතෙ මහා පරිමාන බැංකු ජනසතු කෙරෙනවා. ධනපතියන් ඒවායේ තැන්පත්කර තිබෙන, බිලියන සංඛ්‍යාත මුදල් කම්කරු-පීඩිත මහජනතාවගේ අවශ්‍යතා සඳහා යොදාගත හැකි වෙනවා. ධනපතියන් කඳුගසාගෙන තියෙන්නෙ කම්කරුවන්ගේ ශ්‍රමයෙන් මිරිකාගත් ලාභය.

ඒ වගේම ධනපති ආන්ඩු විසින් ලබාගෙන තියෙන විදේශීය සහ දේශීය නය ආපසු ගෙවීම මුලුමනින්ම ප්‍රතික්ෂේප කලයුතු බව සසප කියා සිටිනවා. එසේ ප්‍රතික්ෂේප කිරීමෙිදී කම්කරු පංති පාලනය රැඳී සිටින්නෙ ජාත්‍යන්තර කම්කරු පංතියේ සහයෝගය සහ ශක්තිය මතයි.

හෙදිය: සමස්ත කම්කරු පන්තිය වැඩ වර්ජනයකට යන්න නම් සියලු ක්ෂේත්‍රවල කම්කරුවන් එකතු කරගත යුතුයි. ගොවියන් සහ තරුනයන් තුලට ද මේ වැඩපිලිවෙල ගෙනියන එක වැදගත් කියලයි මම හිතන්නේ. ඒ සඳහා සියලු මාධ්‍ය භාවිතා කල යුතුයි. සමාජවාදී සමානතා පක්ෂය ප්‍රබල පක්ෂයක් බවට පත් කරගත යුතුයි.

සසප සාමාජිකයා: ලෝක කම්කරු පංතිය සමාජවාදී විඤ්ඤානයෙන් සන්නද්ධ කිරීමේ, ඔවුන් එකමුතුකොට ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙල මත බලමුලු ගැන්වීමේ සහ ඒ සියල්ලටත් වඩා, කම්කරු පංතියේ විප්ලවවාදී පක්ෂය ගොඩනැගීමේ ප්‍රමුඛතම මාධ්‍යය ලෝක සමාජවාදී වෙබ් අඩවිය යි. එය භාෂා විසිනමයකින් පලවෙනවා. ඒ සමගම සසප තම ෆේස්බුක් පිටුවක් ද පවත්වාගෙන යනවා. මෙම මාධ්‍යයන්හි දිනපතා පාඨකයෙකු බවට පත්වෙන ලෙසත්, අනෙකුත් කම්කරුවන්ට මෙය හඳුන්වාදෙන ලෙසත්, අවසාන වශයෙන් සෞඛ්‍ය ක්‍රියාකාරී කමිටුවට සහ සසපට බැඳී මෙම ඉදිරිදර්ශනයට සටන් වදින ලෙසත් මම ඔබෙන් ඉල්ලා සිටිනවා.

Loading