වැඩි වැටුප් දිනා ගැනීමට සහ ජාමූඅ කප්පාදු වැඩපිලිවෙලට එරෙහිව සටන් කිරීමට ක්‍රියාකාරී කමිටු ගොඩනගමු!

බාධන, උපයෝජ්‍යතා සහ ප්‍රවාහන (ඩැට්) දීමනාව පිලිබඳ ගැටලුව සාකච්ඡා කිරීම මුදල් අමාත්‍යාංශය විසින් 'ප්‍රමාද කරන” බැවින් අප්‍රේල් 2 සිට නැවත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ (සෞවෘසස ) කැඳවුම්කරු රවී කුමුදේශ් පසුගිය බදාදා නිවේදනය කලේ ය.

සෞවෘසස යනු අතුරු වෛද්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනය, සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සම්මේලනය, මහජන සෞඛ්‍ය නිලධාරීන්ගේ සංගමය සහ රජයේ වින්නඹු මාතාවන්ගේ සංගමය ඇතුලු සෞඛ්‍ය අංශයේ වෘත්තීය සමිති 72ක එකතුවකි.

සෞඛ්‍ය සේවක ක්‍රියාකාරී කමිටුව (සෞසේක්‍රික) සෞඛ්‍ය සේවකයින්ගේ අප්‍රේල් 2දා අරගලයට පුර්න සහයෝගය දෙන අතර වර්ජනයට එක්වන ලෙස සියලුම සෞඛ්‍ය සේවකයින්ගෙන් ඉල්ලා සිටී. එහෙත්, මේ වෘත්තීය සමිති නායකයන් ගැන විශ්වාසයක් නොතබන ලෙස අපි අපේ සහෝදර සහෝදරියන්ට අනතුරු අඟවමු.

තම ඉල්ලීම්වලට ආන්ඩුව ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් සෞඛ්‍ය සේවකයින්ගේ කෝපය වර්ධනය වෙමින් පවතින බැවින්, ඔවුන් මෙම වර්ජනය කැඳවුම් කර ඇත. සෞවෘසස නිලධරය නැවත වරක් මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සමඟ සාකච්ඡාවක් අපේක්ෂා කරන අතර ඔවුන්ට ලැබෙන පලමු අවස්ථාවේ දී ම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග නවත්වනු ඇත.

සෞඛ්‍ය සේවකයින්ගේ පාර්ශ්වයෙන් ගත්කල, ඔවුහු දස දහස් ගනනින් සහ සිය දහස් ගනනින් වැඩ වර්ජන සහ විරෝධතා ක්‍රියාමාර්ගවලට පැමිනියහ. සෞවෘසස ජනවාරි මාසයේ සිට සංකේත වැඩවර්ජන හතරක් කැඳවූ අතර මාර්තු 12 දින දිවයිනේ තෝරාගත් රෝහල් 17ක විරෝධතාවක් කැඳවී ය.

එම වැඩ වර්ජනවලට විකිරන සහ රසායනාගාර කාර්මික ශිල්පීන්, ඖෂධවේදීන්, ඖෂධ සංයෝජකයින්, වින්නඹු මාතාවන්, දන්ත ශල්‍ය වෛද්‍යවරුන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, කීට විද්‍යා නිලධාරීන්, හෙද-හෙදියන් සහ සුලු සේවක කාර්ය මන්ඩලය ඇතුලු සෞඛ්‍ය සේවකයින් 100,000 කට වැඩි පිරිසක් සහභාගි වූ අතර රෝහල් සේවාවන් මුලුමනින් ම පාහේ අඩාල විය.

නමුත් මේ නායකයන් සාමාජිකයන්ට කීවේ කුමක්ද? ඩැට් ප්‍රශ්නය “විසඳීමට” ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරන සූදානම් බව ඔවුහු ව්‍යාජ ලෙස ප්‍රකාශ කලහ. පතිරනට ප්‍රශස්ති ගායනා කරමින් කුමුදේශ් කීවේ ඔහු අපේ පැත්ත ගන්නා “ප්‍රතිපත්ති ගරුක ඇමැතිවරයෙකු” බවයි. ඔහු, ප්‍රශ්නය නොවිසඳීමේ වරද මුදල් අමාත්‍යාංශ නිලධාරීන් ට පැටවීය.

වෘත්තීය සමිති “මස් රාත්තල ම” නොව, 'ආර්ථික යුක්තිය' පමනක් ඉල්ලා සිටින බව ද ඔහු ප්‍රකාශ කලේ ය. එනම් ආන්ඩුවට දිය හැකි ඕනෑම දෙයක් පිලිගැනීමට අපි සූදානම් බවයි. 'රටේ තත්වය' නිසා 2020 සිට අපි ආන්ඩුවෙන් කිසි දෙයක් ඉල්ලුවේ නෑ' යැයි ඔහු සඳහන් කලේ ය.

මෙය අපගේ ස්ථාවරය නොවේ. “රටේ තත්ත්වය” යනුවෙන් වෘත්තීය සමිති නායකයන් කතා කරන්නේ ලෝක ධනවාදය හා බැඳුනු, ශ්‍රී ලංකාවේ ධනපත් ක්‍රමයේ පෙර නොවූ විරූ ආර්ථික අර්බුදය ගැන යි. රුසියාවට එරෙහිව යුක්‍රේන යුද්ධය සහ ගාසා තීරයේ ඊශ්‍රායල ජන සංහාරය සහ කෝවිඩ්- 19 වසංගතය මගින් එම අර්බුදය තීව්‍ර කර ඇත.

කම්කරුවන්ගේ අරගල අවහිර කරමින්, මෙම අර්බුදයේ බර, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමූඅ) කප්පාදු පියවරයන් ලෙස කම්කරුවන් හා දුගීන් මත පැටවීමට සෞවෘසස සහ සියලුම වෘත්තීය සමිති ආන්ඩුවට සහයෝගය දෙති.

2023 මැද භාගය වන විට ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ සැබෑ වැටුප ඒකක 52 දක්වා පහත වැටී තිබු නි. අගය ගනනය කරනු ලබන්නේ, 2013 එහි පාදක වර්ෂය ලෙස ගෙන එකල වැටුප ඒකක 100 ට සමාන කිරීමෙනි. ජනතාවගේ ජීවන වියදම 2019 සිට සියයට 144කින් ඉහල ගොස් ඇති බව රජයේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සිකුරාදා නිවේදනය කලේ ය. සැබෑ තත්ත්වය මෙම සංඛ්‍යාවලට වඩා නරක බව අපි දනිමු.

ධනපති පාලක පන්තියේ අර්බුදයට කම්කරු පන්තිය වගකිව යුතු නොවේ. අපගේ ඉල්ලීම් ධනපති පන්තියේ ලාභ උත්පාදක අවශ්‍යතාවලට යටත් කරමින් මෙම අර්බුදයේ බර බෙදා ගැනීමට අපට අවශ්‍ය නැත. ධනයේ සැබෑ නිෂ්පාදකයන් කම්කරුවන් වන අතර ඉහල යන උද්ධමනය හා ජීවන වියදමට සරිලන යහපත් වැටුපක් ඉල්ලා සිටීමට ඔවුන්ට පූර්න අයිතියක් ඇත.

අපි අපේ අයිතීන් ආරක්ෂා කර ගැනීමට සටන් කරද්දී ජාත්‍යන්තර පන්ති අරගලවල ඒ හා සමාන නැගීමක් අපි දකින්නෙමු. මෑත සතිවලදී, එක්සත් ජනපදයේ පිරිසිදු කිරීමේ සහ සාත්තු නිවාස සේවකයෝ, ගුරුවරු සහ ඩේම්ලර් ට්‍රක් කම්කරුවෝ සහ ජර්මනියේ දුම්‍රිය රියදුරෝ ඉහල යන උද්ධමනය මධ්‍යයේ තම වැටුප් සහ සේවා කොන්දේසි ආරක්ෂා කර ගැනීමට වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කලහ. දරිද්‍රතා මට්ටමේ ජීවන තත්වයන් සහ ඉහල විරැකියාව ට එරෙහිව ටියුනීසියාවේ දහස් ගනනක් ආන්ඩු විරෝධී පෙලපාලිවලට සම්බන්ධ වූ අතර නයිජීරියාවේ කම්කරුවෝ ජාතික වැඩ වර්ජනයක් දියත් කලහ.

වැටුප් ඉල්ලීම් ඇතුලු සමාජ අයිතීන්ට එල්ල කරන ප්‍රහාර ජාමූඅ විසින් නියම කරන ලද ආන්ඩුවේ කප්පාදු වැඩපිලිවෙලේ කොටසකි.

අනෙකුත් වෘත්තීය සමිති මෙන්ම සෞඛ්‍ය සමිති ද සෞඛ්‍ය සේවකයින් තුල ශ්‍රේනිවාදී භේද නිර්මානය කරති.

ආන්ඩුවට ගැති රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය, විපක්ෂයේ ජනතා විමුක්ති පෙරමුන විසින් පාලනය කරනු ලබන සමස්ත ලංකා සෞඛ්‍ය සේවා සංගමය සහ ව්‍යාජ වාම සංවිධානයක් වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් නායකත්වය දෙන ඒකාබද්ධ සෞඛ්‍ය සේවා සේවක සංගමය කට්ටිවාදී පදනමක සෞඛ්‍ය සේවක උද්ඝෝෂනය ට විරුද්ධ වෙති.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය කාර්ය මන්ඩලයේ ඩැට් ඉල්ලීමට විරුද්ධ වෙනවා පමනක් නොව එම දීමනාව හිමි වෛද්‍යවරුන්ට පමනක් බව පවසමින් ඔවුන්ගේ අරගලය මර්දනය කිරීමට ආන්ඩුව සමඟ සහයෝගයෙන් කටයුතු කරයි.

එසේම, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ප්‍රමුඛ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය සෞඛ්‍ය සේවකයින්ගේ විරෝධතා ව්‍යාපාරයට රුදුරු ලෙස විරුද්ධවන අතර සුලු කාර්ය මන්ඩලය ට ඩැට් දීමනාවක් ඉල්ලා සිටීමට කිසිදු අයිතියක් නැති බව පවසයි.

පසුගිය දශක ගනනාව තුල බලයට පත් ආන්ඩු විසින් ක්‍රමානුකුලව අරමුදල් කපා හැරීමේ ප්‍රතිඵලයක් ලෙස මහජන සෞඛ්‍ය සේවය බිඳවැටීමේ අද්දරට තල්ලු වී ඇත.

ඖෂධ, වෛද්‍ය උපකරන සහ වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මන්ඩලයේ දැඩි හිඟයකට මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රය මුහුන දී සිටී. පසුගිය සතියේ මහරගම පිලිකා රෝහලේ ස්කෑන් යන්ත්‍රය අක්‍රියවී ඇති බව වාර්තා විය. සෞඛ්‍ය යටිතල පහසුකම් නොමැතිකම සහ කාර්ය මන්ඩල, ඖෂධ සහ උපකරන හිඟය සෞඛ්‍ය සේවකයින්ට මෙන් ම රෝගීන්ට ද බරපතල දුෂ්කරතා නිර්මානය කර ඇත.

ජාමූඅ හි විධානයෙන් වික්‍රමසිංහ ආන්ඩුව ක්‍රියාවට නංවා ඇති කප්පාදු වැඩපිලිවෙල ට, සෞඛ්‍ය හා අධ්‍යාපනය ඇතුලු රාජ්‍ය සේවාවන් සහ ව්‍යවසායන් පෞද්ගලීකරනය කිරීම, බදු ජාලය පුලුල් කිරීම සහ රාජ්‍ය වියදම් කපා හැරීම ඇතුලත් වෙයි. අප මුහුන දෙන තත්ත්වය තවත් නරක අතට හැරෙනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිලිවෙලට එරෙහි කවර හෝ විරුද්ධත්වයක් ඉවසා සිටීමට වික්‍රමසිංහ ආන්ඩුව සූදානම් නැතිවා පමනක් නොව, එම විරෝධයන් කුරිරු ලෙස මර්දනය කිරීමට ද අධිෂ්ඨාන කරගෙන ඇත. එය, කම්කරුවන්ගේ කාර්මික ක්‍රියාවන් සාපරාධිකරනය කරන මර්දනකාරී අත්‍යවශ්‍ය මහජන සේවා පනත නිතර භාවිතා කරන අතර මෑත කාලීන වැඩ වර්ජන බිඳ දැමීම සඳහා රෝහල්වලට හමුදාව යෙදවී ය. ජනවාරි මාසයේදී ආන්ඩුව විදුලිබල සේවකයින්ට එරෙහිව මෙම කුරිරු නීතිය භාවිතා කරමින් 62 දෙනෙකුගේ වැඩ තහනම් කර ඇත.

සෞඛ්‍ය සේවකයින්ගේ හෝ කම්කරු පන්තියේ ඕනෑම කොටසකගේ අයිතීන් ආරක්ෂා කිරීම සඳහා වික්‍රමසිංහ පාලන තන්ත්‍රය ට පීඩනය යෙදීමේ නිෂ්ඵලභාවය යලියලිත් සනාථ වී ඇත. 'යමක් ලබා ගැනීමට' ආන්ඩුවට බලපෑම් කිරීම අපගේ අයිතීන් ආරක්ෂා කිරීම සඳහා වන සැබෑ අරගලයක් වැලැක්වීමට වෘත්තීය සමිති නායකයින් විසින් හිතාමතාම හුවා දක්වන මිත්‍යාවකි.

තම රැකියා සහ මූලික අයිතීන් ආරක්ෂා කර ගැනීම සඳහා සටන් කිරීමට කම්කරුවන් තුල පවතින අධිෂ්ටානය සහ වැඩෙන පන්ති අරගල, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ ආන්ඩුව නෙරපා හැරීමට තුඩුදුන් 2022 අප්‍රේල්-ජූලි වැනි මහජන නැගිටීමක් දක්වා වේගයෙන් වර්ධනය වනු ඇතැයි ආන්ඩුව මෙන් ම වෘත්තීය සමිති නිලධරයෝ ද බිය වෙති.

වෘත්තීය සමිති නිලධරයන්ගේ ආන්ඩු ගැති සහ ධනේශ්වර ගැති ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කරමින්, යහපත් ජීවිතයක් සඳහා අවශ්‍ය වැටුප් හා සේවා කොන්දේසි සහ පුලුල් මහජනතාවට වඩා හොඳ සේවාවක් සැපයීම සඳහා සටන් කිරීමට කම්කරුවන් මූලිකත්වය ගත යුතුය.

රෝහල් සහ සෞඛ්‍ය ආයතන ඇතුලු සියලුම වැඩබිම්වල කම්කරුවන් විසින් ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත් කර ගන්නා වූ සහ වෘත්තීය සමිති නිලධරයන්ගෙන් සහ සියලු ධනේශ්වර පක්ෂවලින් ස්වාධීන වූ ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම අත්‍යවශ්‍ය බව අපි යෝජනා කරන්නෙමු. එහි මූලික පියවරක් ලෙස සෞසේක්‍රික පිහිටුවා ඇති අතර ඒ හා සමාන ආරම්භකත්වයක් ගන්නා ලෙස අපි අපගේ සගයන්ගෙන් ඉල්ලා සිටින්නෙමු. මේ සම්බන්ධයෙන් ඔබ සමඟ සාකච්ඡා කිරීමට අප සූදානම් ය.

සෞඛ්‍ය සේවකයින්ගේ සමාජ සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සහ මහජන සෞඛ්‍ය සේවය ආරක්ෂා කිරීම සඳහා අපි පහත සඳහන් ඉල්ලීම් ඉදිරිපත් කරන්නෙමු:

* පිරිහෙමින් පවතින සෞඛ්‍ය සේවාව ප්‍රතිසංස්කරනය කර නවීකරනය කිරීමට හා අවශ්‍යතාවට අනුව සෞඛ්‍ය සේවකයින් බඳවා ගැනීම ට රුපියල් බිලියන ගනනින් මුදල් වෙන් කරනු!

*ඉහල යන උද්ධමනයට සහ ජීවන වියදම ට සරිලන යහපත් වැටුපක්!

*වැඩකරන ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ට අත නොතබනු! විදුලිබල සේවකයන්ට එරෙහි දඩයම නවතා වැඩ තහනම්කර සිටින සියලු දෙනා කොන්දේසි විරහිතව නැවත සේවයේ පිහිටුවනු!

ශ්‍රේනිවාදී පදනම මත කම්කරුවන් බෙදීමේ වෘත්තීය සමිති උත්සාහයන් ක්‍රියාකාරී කමිටු විසින් ප්‍රතික්ෂේප කල යුතු අතර සියලු සෞඛ්‍ය සේවකයින්ගේ සහ සමස්තයක් ලෙස කම්කරු පන්තියේ එකමුතුව සඳහා ඒවා සටන් කල යුතුය

මෙම ඉල්ලීම් සාක්ෂාත් කර ගැනීමේ සටන වික්‍රමසිංහ ආන්ඩුවට හා ධනේශ්වර ලාභ පද්ධතියට එරෙහි දේශපාලන අරගලයක් බවත් ධනවත් අතලොස්සකගේ නොව බහුතර ජනතාවගේ අවශ්‍යතා සඳහා ආර්ථිකය ප්‍රතිසංවිධානය කල යුතු බවත් සෞසේක්‍රක අවධාරනය කරයි.

Loading