නිදහස් සෞඛ්‍ය සේවය මුලුමනින් ම බිඳවැටීමේ අද්දර! සෞඛ්‍ය සේවය සහ සේවක අයිතීන් රැකගැනීමේ අරගලයට පෙරමුන ගමු!

සෞඛ්‍ය සේවකයින්ගේ 2022 ජූලි 7 වන දින කොලඹදී පැවති විරෝධතා පාගමනක කොටසක් [ඡායාරූපය: WSWS]

ප්‍රිය සහෝදරවරුනි, සහෝදරයනි,

පෙරනොවූවිරූ අර්බුදයකට හාත්පසින් ම මුහුන දී තිබෙන නිදහස් මහජන සෞඛ්‍ය සේවය මුලුමනින් ම බිඳවැටීමේ අද්දරකට තල්ලු වී ඇත. එහි දීර්ඝකාලීන පරිහානිය ලංකාවේ ගැඹුරුවන ආර්ථික අර්බුදය විසින් ඔද්දල් වී ඇත. ශ්‍රී ලංකා පොදු පෙරමුන- රනිල් වික්‍රමසිංහ ආන්ඩුව විසින් ක්‍රියාවට දමන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) කප්පාදු වැඩපිලිවෙල තුලින් මහජන සෞඛ්‍ය සේවාව අතුගා දැමීමේ තර්ජනයට සෞඛ්‍ය සේවකයෝත් මහජනයාත් මුහුන දී සිටිති.

එය සිදුවන්නේ කම්කරු-පීඩිත මහජනතාව දරිද්‍රතාවය, ආහාර අනාරක්ෂිතතාවය හා මන්දපෝෂනය ට හා බරපතල ලෙඩ රෝගවලට ගොදුරුවන කොන්දේසි තුලය. මෙම තත්වය අනුප්‍රාප්තික ධනපති ආන්ඩු සහ වර්තමාන ආන්ඩුව විසින් සෞඛ්‍ය සේවය සඳහා ප්‍රතිපාදන කප්පාදු කිරීමේ සහ නොතකා හැරීමේ ඍජු ප්‍රතිපලයකි. මෙවර අයවැයෙන් සෞඛ්‍ය සේවය සඳහා පසුගිය වසරට වඩා රුපියල් බිලියන 160 ක් වෙන් කර ඇති බවට ආන්ඩුව පම්පෝරි ගැසුව ද එය දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1.5ක් හෙවත් වෙනත් අවුරුදු වලට වඩා කිසියම්ම සැබෑ වෙනසක් නැත. ඖෂධ හා වෛද්‍ය උපකරන මිල අසීමිත ව ඉහල ගොස් ඇති තතු තුල මෙම වෙන්කිරීම් අලඟු තැබීමටවත් ප්‍රමානවත් නොවේ.. මෙම ව්‍යසනය ක්‍රියාත්මක වෙමින් පවතින්නේ මහ ජනතාව ට යහපත් ගුනාත්මක සෞඛ්‍ය සේවයක් සඳහා අයිතිය ට එරෙහිව සහ 150,000 ට ආසන්න සෞඛ්‍ය සේවකයන් වන අප මත රුදුරු ප්‍රහාරයක් ලෙසයි.

එහි පරිමාව කෙබඳු ද යත්:

* වෛද්‍යවරුන්, හෙද සේවකයන්, තාක්ෂනික වෘත්තීයවේදීන් ඇතුලුව සෞඛ්‍ය සේවය තුල බරපතල කාර්ය මන්ඩල හිඟයක් පවතී. රටතුල පවතින ආර්ථික දුෂ්කරතා හේතුවෙන් විශේෂඥ වෛද්‍යවරුන් ඇතුලුව 1000 වැඩි වෛද්‍යවරුන් සංඛ්‍යාවක් මෙන් ම, හෙද සේවකයන් සහ තාක්ෂනික වෘත්තිකයන් සැලකිය යුතු පිරිසක් දැනටමත් විදේශ රටවලට සංක්‍රමනය වී ඇත. 2022 හෙදහෙදියන් 13000ක් හිඟයක් පැවතුනි දැන් එම සංඛ්‍යාව තවත් ඉහල ගොස් තිබේ.

ඒ හේතුවෙන් අප මත පැටවෙන වැඩ ප්‍රමානය වැඩි වී සමස්ත කාර්යමන්ඩලය ම දැඩි අපහසුතාවයකට මුහුන දී සිටින බව ඔබ දන්නෙහිය. අවිවේකය මානසික ආතතිය තිව්‍රවීමට තුඩු දී තිබේ. එය රෝගීන් සඳහා කාර්යක්ෂම සහ යහපත් සේවයක් සැපයීම ට ඉමහත් බාධකයක් වී තිබේ.

ජීවන වියදම පිම්මේ ඉහල යන නමුත් සියලු රජයේ සේවකයන්ගේ මෙන්ම සෞඛ්‍ය කාර්ය මන්ඩලයේ වැටුප් වල අගය අඩුම ගනනේ සියයට 40කින් පමන පහත වැටී ඇත. උපයන විට ගෙවීමේ බදු ඉහල දැමීමෙන් වැටුප් තවත් කප්පාදුකර තිබේ.

*ප්‍රමිතියෙන් තොර ඖෂධ, ඖෂධ හිඟය සහ අසීමිත ලෙස ඒවායේ මිල ඉහලයාම නිසා මහජනතාව ජීවිතයත් මරනයත් අතර ප්‍රශ්නයකට මුහුන දී සිටී. බෙහෙත් වර්ග ගෙන්වීම සහ බෙදා හැරීම මුලුමනින් ම කෙරෙන්නේ දුෂිත හා ලාභ පිපාසිත මාෆියාවක් විසින් ආන්ඩුවේත් සෞඛ්‍ය අමාත්‍යංශයේත් ඉහල නිලධරයේ අනුග්‍රහය ඇතිවයි. මෑතක සිද්ධීන්ගෙන් හෙලිදරවු වූයේ රෝගීන් මරනයට පත්කෙරෙන බෙහෙත් වර්ග මෙම මාෆියාව විසින් ගෙන්වූ බවයි. හිඟය සහ මිල ඉහලයාම හේතුකොට ගෙන රෝගීන් ට නියමිත ඖෂධ ලබාගත නොහැකිය.

ප්‍රමිතියෙන් තොර ඖෂධ නිසා ඇති වන සංකූලතා නිසාවෙන් ජීවිත අවදානමකට රෝගීහු මුහුන දෙති. එහි ප්‍රතිඵලයක් ලෙස ගැබිනි මවුවරුන් ඇතුලු රෝගීන් ගනනාවක ට ජීවිත අහිමි වූ බව අපි දනිමු. එහෙත් ඒ පිලිබඳව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල පවසා තිබුනේ රෝහල් ඉදිරිපිට මල්ශාලා තිබෙන්නේ ඒ සඳහාය යනුවෙනි. එය මනුෂ්‍ය ජීවිත කෙරෙහි සමස්ත ධනපති පාලක පන්තියේ ම තුච්ඡ ආකල්පය විදහාපාන ප්‍රකාශයකි.

* වෛද්‍ය පර්යේෂන යන්ත්‍ර යල්පැනීම සහ අබලන්වීම නිසා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සම්බන්ධයෙන් බරපතල ගැටලු නිර්මානය වී ඇත. එසේ යල්පිනූ සහ අබලන් වූ සීටී ස්කෑන්, එම්ආර්අයි ස්කෑන්, රේඛීය ත්වරක ( linear accelerators) නිර්වින්දන, හා ශ්වසන යන්ත්‍ර වෙනුවට අලුත් යන්ත්‍ර සැපයීමක් 2019 මෙපිට කර නැත. ඒ සඳහා අවශ්‍ය මුලු මුදල රුපියල් බිලියන 67 බව සෞඛ්‍ය අමාත්‍යංශය කියයි. ආන්ඩුවේ ප්‍රතිපාදන කප්පාදුව හේතුකොටගෙන එම මුදල ලැබී නැත. පුද්ගලික අංශයෙන් මෙම පරීක්ෂන කර ගැනීමට දසදහස් ගනන් වැය කිරීමට හැකියාවක් මහ ජනයාට නැත.මේ නිසා අවශ්‍ය පර්යේෂන කල් පමාවීමෙන් රෝගීහු ජීවිත අවදානමකට මුහුන දෙති. ආන්ඩුව සහ සෞඛ්‍ය බලධාරීන් ඊට වගකිව යුතුය.

එපමනක් නොව, ප්‍රමානවත් තරම්, ගොඩනැගිලි, ඇඳන් හා රසායනාගාර ඇතුලු යටිතල පහසුකම් නැතිකමින් ද රෝගීහු බෙහෙවින් පීඩාවට පත්වෙති වෙති. ලේ, මුත්‍රා පරීක්ෂ න වැනි සාමාන්‍ය පරීක්ෂන පවා බොහෝවිට පිටතින් කර ගැනීමට ඔවුන් ට සිදු වී ඇත. ලොව පුරා මිලියන ගනනක ට සහ ශ්‍රී ලංකාවේ 17,000 ට ආසන්න ජනයාට මරු කැඳවූ කෝවිඩ්-19 වසංගතය තුල මෙම පරිහානියේ ව්‍යසනය අපි අත්වින්දෙමු. කොවිඩ් වසංගතය අවසන් වී නැත. එය නව වෛරස් ප්‍රභේද හරහා ව්‍යාප්තවෙමින් ඇත. එහෙත් මහ සමාගම්වල ලාබ උත්පාදක අවශ්‍යතාවයන් ට මුල් තැන දෙමින් කොවිඩ් වසංගතයෙන් ආරක්ෂාවීමේ සියලු සෞඛ්‍යාරක්ෂක ක්‍රම ධනපති පාලක පන්තීන් විසින් අතහැර දමා ඇත. ශ්‍රී ලංකාවේ ධනපති පාලක පන්තියේ පිලිවෙත ද එයයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (රවෛනිස) නොවැම්බර් 08 දා නිකුත් කල මාධ්‍ය නිවේදනයට අනුව, පසුගිය වසර කීපය තුල රජයේ රෝහල් 20 ක් වැසීගොස් ඇති අතර, ඉදිරියේදී වැසී යාමට නියමිත රජයේ රෝහල්/විශේෂඥ වෛද්‍ය ඒකක සංඛ්‍යාව 95 කි. මීට අමතරව, දැනටමත් අඩපනවී ඇති සහ ඉදිරියේදී අඩපනවීමට නියමිත රජයේ රෝහල්/විශේෂඥ වෛද්‍ය ඒකක සංඛ්‍යාව පිලිවෙලින් 150 ක් සහ 167 ක් වෙයි. රවෛනිස මෙම සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කලද, ‌මහජන සෞඛ්‍ය සේවය මුහුන දී සිටින මෙම ව්‍යසනයෙන් එය මුදා ගන්නා ලෙස යලියලිත් ඉල්ලා සිටින්නේ එම ව්‍යසනය නිර්මානය කල ධනපති ආන්ඩුවලින්ම ය.

මහජන සෞඛ්‍ය සේවය වඩ වඩා පිරිහෙන අතර ලාභය මත පමනක් ම පදනම් වූ පුද්ගලික සෞඛ්‍ය සේවය මහජනතාව මෙන් ම, එහි සේවකයන් රුදුරු ලෙස සුරාකමින් බිලියන ගනන් ලාභ උපයයි. රජයේ රෝහල් තුල ගෙවන වාට්ටු ආරම්භ කිරීමේ ආන්ඩුවේ සැලැස්ම එය ලාභය සඳහා වූ වානිජ ව්‍යාපාරයක් බවට ක්‍රමානුකුල ව පරිවර්තනය කිරීමේ හා නිදහස් සෞඛ්‍ය සේවය පුද්ගලීකරනයේ පලමු පියවර වනු ඇත.

නිදහස් සෞඛ්‍ය සේවය ට එරෙහි මෙම ප්‍රහාරය වනාහි පසුගිය සියවසේ අරගල මගින් කම්කරු පන්තිය දිනාගත් සමාජ සහන උදුරා ගැනීමේ කොටසක් ලෙස ලොව පුරාම පාලක පන්තීන් විසින් මහජන සෞඛ්‍ය සේවය විනාශ කිරීමේ සමග අත්‍යන්තයෙන් බැඳී ඇත. එමෙන් ම, එය ජාමූඅ කප්පාදු වැඩපිලිවෙලේ කොටසකි.

සෞඛ්‍ය සේවයේ අර්බුදය ධනවාදයේ අර්බුදයෙන් නිර්මිත වුවකි. එය ඒ හෝ මේ පැලැස්තර මගින් විසඳිය නොහැක්කකි. එය විසඳිය හැක්කේ අවශ්‍ය ප්‍රතිපාදන නොඅඩුව සම්පාදනය කිරීමෙන් හා නවීන වෛද්‍ය තාක්ෂනික උපකරන වලින් සෞඛ්‍ය සේවය ශක්තිමත් කිරීමෙනි. එහෙත් ධනපති පාලක පන්තිය ඊට සුදානම් නැති බව ඇති තරම් ප්‍රත්‍යක්ෂය.

වෘත්තීය සමිති භූමිකාව

එහෙත් වෘත්තීය සමිති නිදහස් සෞඛ්‍ය සේවය හා සේවක අයිතීන් රැකගැනීමේ අව්‍යාජ අරගලයක් සංවිධානය කිරීමට සූදානම් නැත. ඒ වෙනුවට ඔවුහු එවන් අරගලයක් මතුවීම දැනුවත්ව ම හරස් කරගෙන සිටිති. නැතහොත් අප තුල තිබෙන සටන් කිරීමේ උවමනාව සහ අධිෂ්ඨානය ආන්ඩුවට බලපෑම් දැමීමේ නිස්සාර උද්ඝෝෂන වලට සීමා කොට දුර්මුඛ කරති.

සෞඛ්‍ය ක්ෂ්ත්‍රය තුල දුසිම් ගනනක් වෘත්තීය සමිති තිබේ. ඒවා අප එකමුතු කරනු වෙනුවට ශ්‍රේනි හා වෘත්තීය සමිති මත අපව භේද කරති. එය අහඹු කාරනයක් නොවෙයි. වෘත්තීය සමිති ජාමූඅ වැඩපිලිවෙලට විරුද්ධ නැත. වෘත්තීය සමිති නිලධරය ක්‍රියාත්මක වන්නේ ජාමූඅ සහ ධනපති ආන්ඩුවේ ඍජු ඒජන්තයන් ලෙසය.

මෑත දෙවසර තුල අපේ අරගල ගැන සිතන්න. වැටුප් කප්පාදුව ට, උපයන විට බද්ධ ඉහල දැමීමට හා ඖෂධ සහ කාර්යමන්ඩල හිඟය ඇතුලු ප්‍රශ්න අරභයා අපි සිය දහස් ගනනින් වර්ජන සහ විරෝධාතා උද්ඝෝෂන වලට පිවිසුනෙමු. ප්‍රතිඵලය කුමක් ද? අපි ජයග්‍රහනය කලෙමු ද? නැත. සමිති නායකයෝ ඒවා පාවා දුන්හ. ඔවුහු ඒ භූමිකාව ඉටු කරන්නේ වැඩ බෙදා ගෙනයි. රජයේ එක්සත් හෙද නිලධාරීන්ගේ සංගමය සහ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය වැනි සමිතිවල නායකයෝ ඍජු ව ම වික්‍රමසිංහ ආන්ඩුවේ පන්දම් කරුවෝය. සමස්ත ලංකා සුව සේවක සංගමය, ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය, සෞඛ්‍ය වෘත්තීය වේදීන්ගේ සම්මේලනය ඇතුලු සමිති නායකයෝ නිස්සාර උද්ඝෝෂනවලට සීමා කරමින් සහ ආන්ඩුවේ ව්‍යාජ පොරොන්දු වලට අපව යටත්කර අරගල පාවා දෙති.

එබැවින් නිදහස් රෝහල් සේවය සහ අපගේ අයිතීන් ආරක්ෂා කිරීම වෘත්තීය සමිති නිලධරය හරහා තවදුරටත් කල නොහැකිය. එම අරගලය අප අතට ගත යුතුය. ඒ සඳහා වෘත්තීය සමිති නිලධරයෙන් ස්වාධීනව හා අපගේ ප්‍රජාතන්තවාදී ඡන්දයෙන් සෞඛ්‍ය සේවක ක්‍රියාකාරී කමිටු සියලුම රෝහල් සහ සෞඛ්‍ය ආයතන තුල පිහිටුවා ගත යුතුය. එම කමිටු හරහා කම්කරු පන්තියේ අනෙකුත් කොටස් සමග එකමුතුව තහවුරුකර ගැනීම අවශ්‍යය.

එම පදනම මත  පහත සඳහන් ඉල්ලීම් සඳහා සෞඛ්‍ය සේවකයන්ගේ ඒකාබද්ධ අරගලයක්  සංවිධානය කිරීමට අපි සටන් කල යුත්තෙමු:

*සෞඛ්‍ය පද්ධතිය සඳහා අවශ්‍ය සියලු ප්‍රතිපාදන බිලියන ගනනින් සම්පාදනය කරනු!

*ගෙවන වාට්ටු ක්‍රමය නතර කරනු! සියලු වෛද්‍ය පහසුකම් නොමිලේ සපයනු!

*කාර්යමන්ඩල පුරප්පාඩු වහා පියවනු!

*නියමිත ප්‍රමිතිය සහිත ඖෂධ හිඟයකින් තොරව සම්පාදනය කරනු!

*සියලු රෝහල් වලට නවීන පරීක්ෂන යන්ත්‍ර සම්පාදනය කරනු!

*උපයනවිට බදු අහෝසිකරනු!

*ජීවන වියදමට සරිලන ඉහල වැටුප් වැඩිවීමක්!

ඔබේ රෝහල හෝ සේවා ස්ථානය තුල සෞඛ්‍ය සේවක ක්‍රියාකාරී කමිටු පිහිටුවීමට අපි ඔබට සහයෝගය දීමට කැමැත්තෙමු.

අප අමතන්න: action.committees.sl@gmail.com

N

Loading