ආන්ඩුව සමඟ සාකච්ඡා බිඳවැටීමට ආසන්න වීමත් සමඟ, වැඩවර්ජන යලි ආරම්භ කරන බවට සෞඛ්‍ය වෘත්තීය සමිති අනතුරු අඟවයි

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති කිහිපයක එකතුවක් වන සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය (එච්ටීයූඒ) අඟහරුවාදා නිවේදනය කලේ, දීමනා ඉහල දමන ලෙස ඉදිරිපත්කල ඉල්ලීම වෙනුවෙන් බල කිරීම සඳහා මාර්තු 19 වැනි දින සිය වර්ජන ක්‍රියාමාර්ග යලි ආරම්භ කරන බවයි.

සෞඛ්‍ය සේවකයින් 2024 මාර්තු 13 වන දින මහනුවර රෝහලේ පිකට් කිරීම

වෘත්තීය සමිති නිලධාරීන් සහ සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරනත්, අනෙකුත් රාජ්‍ය නිලධාරීනුත් අතර නිෂ්ඵල සාකච්ඡා මාසයක් තිස්සේ ඇදී යද්දී, සමිති සාමාජිකයන් අතර නැගෙන කෝපය මධ්‍යයේ මෙම නිවේදනය කිරීමට වෘත්තීය සමිති සන්ධානයට සිදු විය. සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය මෙම සාකච්ඡා ආරම්භ කලේ, පෙබරවාරි 13 සහ 14 දෙදින වැඩ වර්ජනයෙන් පසු සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරන කල ආරාධනය පිලිගනිමිනි.

වෘත්තීය සමිති සන්ධානය විසින් කැඳවන ලදුව, අඟහරුවාදා, සෞඛ්‍ය සේවකයින් දහස් ගනනක් සිය ඉල්ලීම සඳහා ආන්ඩුවට බල කිරීමට රට පුරා තෝරාගත් ප්‍රධාන රෝහල් 17 ක් ඉදිරිපිට දිවා ආහාර විවේකයේදී විරෝධතා පැවැත්වූහ.

ජනවාරි මැදදී, ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් රජයේ වෛද්‍යවරුන්ගේ “බාධන, උපයෝග්‍යතා සහ ප්‍රවාහන (ඩැට්)” දීමනාව රුපියල් 35,000 සිට 70,000 දක්වා වැඩි කලේය. අනෙකුත් සෞඛ්‍ය සේවකයින් වහාම ඔවුන්ට ද එවැනි දීමනාවක් වැඩි කරන ලෙස ඉල්ලා සිටියහ. පසුගිය කාලයේ ඔවුන්ගේ වැටුප් වැඩිකිරීම් ඉල්ලීම් වෘත්තීය සමිති නායකයන්ගේ සහාය ඇතිව ආන්ඩුව විසින් යටපත් කර තිබුනි.

දීමනාව වැඩි කිරීම සඳහා ඉල්ලීම මත, සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය ජනවාරි 16 ජාතික වැඩ වර්ජනයක් පැවැත්වූ අතර පෙබරවාරි 2-3 දෙදින සහ පෙබරවාරි 13 සහ 14 දිනයන්හි ද වර්ජන කැඳවූයේය. විකිරනවේදීන් සහ රසායනාගාර කාර්මිකයන්, ඖෂධවේදීන්, හෙදියන්, පවුල් සෞඛ්‍ය සේවිකාවන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ කීට විද්‍යාඥයින් ඇතුලු සෞඛ්‍ය සේවකයින් 100,000 කට අධික පිරිසක්, මෙම ක්‍රියාව සඳහා සහභාගී වූයේ වැඩවර්ජන නීති විරෝධී කරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනත නොතකා හරිමිනි.

කොලඹ ජාතික රෝහලේ සෞඛ්‍ය සේවකයින්, 2024 පෙබරවාරි 14 වන දින, සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පිටත විරෝධතාවයක නිරත වෙමින් [ඡායාරූප: ෆේස්බුක්/යුනියන් ලංකා] [Photo: Facebook/Unions Lanka]

මෙම ක්‍රියාවලින් රෝහල් සේවා අඩපන වෙද්දී ආන්ඩුව වැඩ වර්ජන කඩාකප්පල් කිරීමට 1,000 කට අධික හමුදා භටයන් යෙදවීය.

පතිරන අමාත්‍යවරයා පෙබරවාරි 19 වැනි දින වෘත්තීය සමිති නායකයින් සමඟ සාකච්ඡාවක් පැවැත්වීය. මෙම රැස්වීමේදී ඔහු වෘත්තීය සමිතිවලට පොරොන්දු වූයේ ඔවුන්ගේ ඉල්ලීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අමාත්‍යාංශ ලේකම් පාලිත මහීපාලගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත් කරන බවයි.

අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැදවුම්කරු රවී කුමුදේශ් මාධ්‍ය වෙත පැවසුවේ, “අපි දැන් අපේ යෝජනාවෙන් මස් රාත්තලම ඉල්ලන්නේ නැහැ” යනුවෙනි. ඔහු නරුම ලෙස තව දුරටත් මෙසේ පැවසුවේය: “අපි උත්සාහ කරන්නේ මේ අවස්ථාවේ රටේ අර්බුදය සැලකිල්ලට ගෙන, [ආන්ඩුවට] ඇති මුදල් ප්‍රමානය සැලකිල්ලට ගෙන, සමස්තයක් ලෙස සෞඛ්‍ය සේවයට සිදු වූ මෙම අසාධාරනයට යුක්තිය ඉටු කල යුතු බව සැලකිල්ලට ගෙන, විසඳුමකට යාමට ය.”

සමස්ත සෞඛ්‍ය කාර්ය මන්ඩලයට “අසාධාරන ලෙස සලකා ඇතැයි” යන්න, “විශේෂයෙන් සහ ප්‍රතිපත්තිමය වශයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා” පිලිගත්බව පවසමින් කුමුදේශ් සෞඛ්‍ය අමාත්‍යවරයාට ඉහලින්ම ප්‍රශංසා කලේය.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලුම වෘත්තීය සමිති නායකයින් වෙනුවෙන් කතා කරන කුමුදේශ්, සේවකයින් ධනවාදයේ අර්බුදය පිලිගත යුතු බවත්, අසාධාරන ලෙස “මස් රාත්තලක්ම” ඉල්ලා නොසිටිය යුතු බවත් ප්‍රකාශ කලේය. එය ශ්‍රී ලංකාවේ සමස්ත වෘත්තීය සමිති නායකයන්ගේ ස්ථාවරය ද වේ. ධනේශ්වර ගැති වෘත්තීය සමිති නිලධරයන් වැඩ කරන්නේ, පාලක පන්තියේ සහ ආන්ඩුවේ අවශ්‍යතාවයෙන් සඳහා මිස කම්කරුවන්ගේ අවශ්‍යතා වෙනුවෙන් නොවේ.

ලෝක ධනවාදයේ ගැඹුරුවන අර්බුදයේ තියුනුම ප්‍රකාශනයක් වන ශ්‍රී ලංකාවේ පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයට කම්කරුවන් හා දුගීන් වන්දි ගෙවිය යුතු බව, වික්‍රමසිංහ ආන්ඩුවේ සහ ධනපති පන්තියේ ආස්ථානයයි. ආන්ඩුවේ නියෝග සමඟ සම්පුර්නයෙන්ම එකඟ වන කුමුදේශ්, සොච්චම් මුදලක වැඩිවීමක් පිලිගෙන සේවකයින් රැවටීමට සූදානම්‍ ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) නියෝග මත ආන්ඩුව, අර්බුදයේ බර කම්කරු-පීඩිත මහජනතාව මත පැටවීම සඳහා පුද්ගලීකරනය, විවිධ බදු සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල ගාස්තු ඉහල දැමීම, සුභසාධන වැඩසටහන් සහ මහජන සෞඛ්‍ය හා අධ්‍යාපනය කප්පාදු කිරීම ඇතුලු දැඩි කප්පාදු පියවරයන් ක්‍රියාවට නංවයි. මෙම පියවරවල අරමුන වන්නේ විදේශ නය ආපසු ගෙවීම සහතික කිරීම සහ ආයෝජකයින්ගේ ලාභය ඉහල නැංවීමයි.

අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරන නොමැතිවීම සහ කාර්ය මන්ඩල හිඟය නිසා මහජන සෞඛ්‍ය අංශය අඩපන වී ඇත. කෝවිඩ්-19 වසංගතය පැතිර යමින් තිබියදී සෞඛ්‍ය යටිතල ව්‍යුහයේ සම්පූර්නයෙන්ම අබලන් තත්වය හෙලිදරව් විය. ඉහල උද්ධමනය මගින් ඛාදනයට ලක් වූ අඩු වැටුප්, උපයන විට ගෙවන බදු පැනවීම ආදිය හේතුවෙන් සෞඛ්‍ය සේවකයින් පීඩාවට පත්ව ඇති අතර, එය අතට ලැබෙන සමස්ත වැටුප අඩු වීමට හේතු වී තිබේ.

එසේ වුවද, 2016 සිට 2020 දක්වා රුපියල් 10,000 ක වැටුප් වැඩිවීමක් හැර, සෞඛ්‍ය සේවකයින්ට ප්‍රමානවත් වැටුප් වැඩි කිරීමක් මෑතකදී ලැබී නැත. ජනවාරි මාසයේ සිට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවකයින් ඇතුලු රාජ්‍ය සේවකයින් සඳහා ආන්ඩුව ජීවන වියදම් දීමනාවක් ලෙස කිසිසේත්ම නොසෑහෙන රුපියල් 5,000 ක් ගෙවා ඇත.

2022 දී සියයට 46 ක් වූ සාමාන්‍ය උද්ධමන අනුපාතිකය 2023 දී සියයට 19 ක් වූ අතර කම්කරුවන් තම වැටුප් සිඳී යාමක් අත්දුටුවේය.

වෘත්තීය සමිති නායකයින් කරන යෝජනා සම්බන්ධයෙන් තම සාමාජිකයින් අඳුරේ තබමින්, රාජ්‍ය නිලධාරීන් සමඟ වෘත්තීය සමිති සන්ධානයේ සාකච්ඡා සිදු වූයේ කාමර දොරවල් වසාගෙන ය..

කෙසේ වෙතත්, සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරුවෙකු වන උපුල් රෝහන රූපවාහිනී සාකච්ඡාවකදී කියා සිටියේ, වෛද්‍යවරුන්ට වැඩි කල රුපියල් 35,000 ක ඩැට් දීමනාව තමන්ට ද දෙන ලෙස ඉල්ලා නොසිටි බවයි. ඔවුන්ගේ යෝජනාව විවිධ ශ්‍රේනිවලට අයත් සේවකයන්ගේ මූලික වැටුපට අනුව සමානුපාතික වැඩිකිරීම් මත පදනම් වූවක් බව ඔහු පැවසීය. උදාහරනයක් ලෙස රුපියල් 52,550 ක මූලික වැටුපක් සහිත අලුතින් පත් වූ වෛද්‍යවරයකු රුපියල් 35,000 ක ඩැට් දීමනාව වැඩිවීමක් ලබා ගන්නේ නම්, රුපියල් 22,550 ක මූලික වැටුපක් ඇති සෞඛ්‍ය සහායකයකුට ද සමානුපාතික වැඩිවීමක් ලැබිය යුතු බව තමන් ඉල්ලා සිටිබව ඔහු කිවේය.

රජය සතු ව්‍යවසායයන්හි අනෙකුත් වෘත්තීය සමිති මෙන් ම සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ නිලධරය ද, වික්‍රමසිංහ ආන්ඩුවේ ජාමූඅ නියෝග කරන ලද කප්පාදු පිලිවෙත් ක්‍රියාවට නැංවීමට පහසුකම් සැලසීමට කැපවී සිටී. කම්කරු පන්තිය තුල කාර්මික පොලිසියක් ලෙස ක්‍රියා කරන වෘත්තීය සමිති, කම්කරුවන්ගේ ධෛර්යය බිඳ දැමීමේ සහ නිෂ්ඵල විරෝධතා ඔස්සේ ඔවුන්ගේ කෝපය විසුරුවා හැරීමේ නිරතව සිටිති.

ආන්ඩුව මේ වසරේ දෙවන වරටත් සෞඛ්‍ය සේවකයින්ගේ වැඩ වර්ජනයට එරෙහිව කුරිරු අත්‍යාවශ්‍ය මහජන සේවා පනත ප්‍රකාශයට පත් කලේය. මෙම නීතිය වැඩ වර්ජන ඇතුලු කාර්මික ක්‍රියා තහනම් කරන අතර එහි රෙගුලාසි කඩ කිරීමට එරෙහිව දැඩිලෙස දඬුවම් පමුනුවයි; මහේස්ත්‍රාත්වරයකු ඉදිරියේ ලඝු නඩු විභාගයකින් පසු, වසර දෙකක් දක්වා බරපතල සිරදඬුවමක් හෝ රුපියල් 5,000 දක්වා දඩයක් හෝ දඬුවම් දෙකම පැනවීම ඊට ඇතුලත් වේ. ප්‍රකාශිත අත්‍යාවශ්‍ය සේවාවක රාජකාරියට නොපැමිනෙන ලෙස සේවකයකු පොලඹවන ඕනෑම පුද්ගලයකුට ද එම දඬුවම් ලැබෙනු ඇත.

කෙසේ වෙතත්, සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය හෝ වෙනත් කිසිදු වෘත්තීය සමිතියක් මෙම නීතිය ඉවත් කරන ලෙස ඉල්ලා නැත. වර්ජන බිඳීමේ කටයුතු සඳහා සන්නද්ධ හමුදා යෙදවීමටද ඔවුන් විරුද්ධ වී නැත.

ආයතනය පෞද්ගලීකරනයට එරෙහිව ජනවාරි 3 සිට 5 දක්වා දිනවල දැවැන්ත විරෝධතා පැවැත්වූ ලංකා විදුලිබල මන්ඩල සේවකයින්ට එරෙහිව වික්‍රමසිංහ ආන්ඩුව මෙම මර්දන නීතිය පැනවීය. අත්‍යාවශ්‍ය මහජන සේවා පනත උල්ලංඝනය කල බවට චෝදනා කරමින් ලංවිම බලධාරීන් සේවකයන් 66 දෙනෙකුගේ වැඩ තහනම් කර ඔවුන්ට දඩුවම් දීමට සූදානම් වේ.

වෘත්තීය සමිති නිලධරයන් යෝජනා කරන පරිදි, සෞඛ්‍ය සේවකයින් සහ සමස්තයක් ලෙස කම්කරු පන්තිය, ධනපති අර්බුදයට වන්දි ගෙවිය යුත්තේ ඇයි? යහපත් ජීවන තත්වයක් සහ අනෙකුත් අවශ්‍යතා සඳහා තමන්ට ලබිය යුත්තේ කුමන ආකාරයේ වැටුප් වැඩිවීමක්ද යන්න ප්‍රජාතන්ත්‍රවාදීව තීරනය කිරීමටත් එම ඉල්ලීම් වෙනුවෙන් සටන් කිරීමටත් කම්කරුවන්ට අයිතිය තිබිය යුතුය. මූර්ත වැටුප් තියුනු ලෙස පහත වැටීම නිසා, විශේෂයෙන්ම පසුගිය වසර දෙක තුල කම්කරුවන්ට අහිමි වූ වැටුපට වන්දි ගෙවීමක් ලෙස, සෑම කම්කරු කොටසකටම වැටුප් වැඩිවීමක් අවශ්‍ය වේ. එමෙන්ම එය ජීවන වියදමට අනුව වැඩි වන වැටුපක් විය යුතුය.

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ නායකයින්, ජාමූඅ වැඩසටහන පිලිගනිමින්, ආන්ඩුව සහ ධනපති පන්තිය බේරා ගැනීමේ කාර්යභාරය පැහැදිලිවම හෙලිදරව් කර ඇත්තේ, සෞඛ්‍ය සේවකයින්ට තම අයිතීන් ආරක්ෂා කර ගැනීමට සටන් කිරීමට වෘත්තීය සමිති මත බලාපොරොත්තු තැබිය නොහැකි බවයි.

රෝහල් ඇතුලු පෞද්ගලික සෞඛ්‍ය ආයතන හතු පිපෙන්නාක් මෙන් බිහිකිරීමට අනුබල දුන් අනුප්‍රාප්තික පාලන තන්ත්‍රයන් සෞඛ්‍ය සේවය කප්පාදු කිරීම නිසා මහජනයාට අත්‍යවශ්‍ය නිදහස් සෞඛ්‍ය සේවාව ප්‍රපාතය අද්දරට තල්ලු කර තිබේ.

අපි සෞඛ්‍ය සේවකයින්ගෙන් ඉල්ලා සිටින්නේ, ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරීමට සහ සෞඛ්‍ය සේවාව ආරක්ෂා කර ගැනීමේ කාර්යය තමන් අතට ගත යුතු බවයි.

එවන් අරගලයකදී අවශේෂ කම්කරුවන් සහ දුගීන් ඔවුන් සමග පෙල ගැසෙනු ඇත. එවැනි අරගලයක් දියත් කල හැක්කේ, කම්කරුවන් තමන් විසින්ම ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත් කර ගන්නා ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගැනීමෙනි. වෘත්තීය සමිති නිලධරයන්ට මෙන්ම ධනපති පක්ෂවලට සහ ඔවුන්ගේ හෙංචයියන්ටද එම ක්‍රියාකාරී තුල ඉඩක් නොතැබිය යුතුය.

වෘත්තීය සමිති නායකයින් යෝජනා කරන පරිදි, සෞඛ්‍යය හෝ වෙනත් කිසිදු සේවක කොටසක් අර්බුදයට පත්ව ඇති ධනපති ක්‍රමය රැකීම සඳහා තම අවශ්‍යතා කැප නොකල යුතු බව අවධාරනය කිරීම අවශ්‍ය ය. උවමනා වන්නේ කම්කරුවන්ට සහ දුගීන්ට දරාගත නොහැකි කොන්දේසි නිර්මානය කර ඇති ධනේශ්වර ක්‍රමය පෙරලා දැමීම සඳහා ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනයක් මත පදනම් වූ සමාජවාදී ප්‍රතිපත්ති සඳහා සටන් කිරීමයි.

Loading