වෘත්තීය සමිති, දඩයමට ලක්වූ විදුලිබල සේවකයින් ආරක්ෂා කිරීමට කම්කරුවන් මෙහෙයවීම ප්‍රතික්ෂේප කරති

[මෙය Sri Lankan trade unions oppose mass mobilisation, abandoning victimised electricity board workers යන මැයෙන් 2024 පෙබරවාරි 12 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

ලංකා විදුලිබල මන්ඩලයේ (ලංවිම) කම්කරුවන් දහස් ගනනක්, පෙබරවාරි 7 වැනි දින, ලංකාව පුරා, දිවා ආහාර වෙලාවේ පිකට්කිරීම්වලට සම්බන්ධවී, වැඩ තහනමට ලක්වූ තම සහෝදර සේවකයන් 66 දෙනා යලි සේවයේ පිහිටුවීමට බල කර සිටියහ. විරෝධතාකරුවෝ ලංවිම පුද්ගලීකරනයට ආන්ඩුව ගෙන යන ක්‍රියාමාර්ගවලට ද විරුද්ධත්වය පලකල අතර, ලංවිම සේවකයින්ට කවර හෝ කාර්මික ක්‍රියාවක නිරතවීම තහනම් කරන උසාවි නියෝගය ඉල්ලා අස්කර ගන්නා ලෙස ද කියා සිටියහ.

2024 පෙබරවාරි 7 වන දින කැලණිතිස්ස කම්හලේ ලංවිම සේවකයින් 66 දෙනෙකු රාජ්‍ය දඩයමට ලක් කර ගැනීම සම්බන්ධයෙන් විරෝධතාවයක නිරත විය. [ඡායාරූප ලංවිම සේවකයින්] [Photo by CEB workers]

කෙසේ වෙතත්, ඊට ප්‍රතිකූලව, ලංවිම කලමනාකාරීත්වයේ මර්දනකාරී ක්‍රියාවන්ට එරෙහිව කම්කරුවන් බලමුලු ගැන්වීම වැලැක්වීමට වෘත්තීය සමිති නායකයින් හැකි සෑම දෙයක්ම කර තිබුනි.

විදුලි සේවකයින්ගේ අඛන්ඩ වැඩ තහනම් කිරීම් මධ්‍යයේ, ලංවිම, තැපැල්, වරාය, බැංකු, දුම්රිය, රජයේ සංවර්ධන නිලධාරීන් සහ සෞඛ්‍ය ඇතුලු වෘත්තීය සමිති 40 ක නායකයින්, ජනවාරි 22 දා කොලඹදී රැස්වූයේ, ආන්ඩුවේ සහ ලංවිම යෝජනා පරාජය කිරීමට 'දැවැන්ත ක්‍රියාමාර්ග' සංවිධානය කරන බවට වහසිබස් දොඩවමිනි. මෙම වෘත්තීය සමිති බොහොමයක් පාලනය කරනු ලබන්නේ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) විසිනි.

එදිනම පැවති මාධ්‍ය හමුවකදී, ජවිපෙ පාලනය කරන සමස්ත ලංකා වරාය සේවක සංගමයේ නායක නිරෝෂන් ගොරකාන, එම ඊනියා දැවැන්ත ක්‍රියාමාර්ග නිවේදනය කලේය. එහි පලමු පියවර ලෙස ප්‍රකාශ වූයේ සියලු වෘත්තීය සමිති නායකයින් විසින් පෙත්සමක් අත්සන් කර විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකරට භාරදීමයි. ඔවුන් සිය ශෝචනීය ආයාචනය කලේ ජනවාරි 29 වැනිදාය. එහෙත් කිසිවක් සිදු නොවීය.

තමන් 'හුදකලා, වෙන වෙන ම ක්‍රියාමාර්ගවලට වඩා ඒකාබද්ධ ක්‍රියාමාර්ග' වෙනුවෙන් පෙනී සිටින බවත්, 'ශක්තිමත් විරෝධතාවක්' පවත්වන බවත් ගොරකාන නිවේදනය කලේ ය. අත්හිටවූ සේවකයන් යලි සේවයේ පිහිටුවන ලෙස ඉල්ලා, ලංවිම ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂනයක් පවත්වන බවත්, රජය සතු ව්‍යවසායන්හි සේවකයන් බලමුලු ගන්වමින් මෙම ක්‍රියාමාර්ගය පෙබරවාරි 5 වැනිදා පැවැත්වීමට නියමිත බවත් ඔහු පැවසීය.

විරෝධතාව පෙබරවාරි 5 දා නොව, ප්‍රමාද කොට පෙබරවාරි 7 සිදු කල මුත්, නායකයින් පුරසාරම් දෙඩූ 'ප්‍රබල විරෝධතාවය', කම්කරුවන් හිතාමතාම විසුරවාහැරීමක් බව ප්‍රදර්ශනය විය. තම සේවා ස්ථානවල විරෝධතා පවත්වන ලෙස ලංවිම වෘත්තීය සමිති සිය සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටියහ.

රට පුරා දහස් ගනනක් ලංවිම සේවකයින් තම සේවා ස්ථාන ඉදිරිපිට දිවා ආහාර විවේකයේ දී විරෝධතා පැවැත්වූහ. අදාල වෘත්තීය සමිති විසින්, වෙනත් රාජ්‍ය ව්‍යවසායයන්හි ලංවිම සේවකයින්ට සහාය පල කරන විරෝධතා බලමුලු ගැන්වීමක් සිදු නොවීය.

ලංවිම ප්‍රධාන කාර්යාලයේ සේවකයින් 150 ක් පමන උද්ඝෝෂනයක් පැවැත්වූහ. වෘත්තීය සමිති 40 තම සාමාජිකයින් එතැනට මෙහෙයවීමේ “පොරොන්දුව” කඩ කර තිබුනි.

ඒ වෙනුවට ජවිපෙට අනුබද්ධ සමස්ත ලංකා විදුලිබල මන්ඩල සේවක සංගමය (ඒසීඊබීඩබ්ලිව්යූ), සමස්ත ටෙලිකොම් සේවක සංගමය (ඒටීඊයූ), ලංකා බැංකු සේවක සංගමය (සීඊබීයූ) සහ පන්ති අරගල මධ්‍යස්ථානයේ (සීඑස්සී) නායකයෝ යලිත් වරක් ලංවිම ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂන කල සේවකයින් ඉදිරියේ ආන්ඩුවට එරෙහිව ගෝරනාඩු කලහ. එම වෘත්තීය සමිති නායකයන් වූයේ පිලිවෙලින්, රන්ජන් ජයලාල්, ජගත් ගුරුසිංහ, අනුප නන්දුල සහ දුමින්ද නාගමුව ය.

එමගින්, වෘත්තීය සමිති නායකයින් ආන්ඩුවට පෙන්වා දී ඇත්තේ, සේවකයින්ට දඬුවම් පැමිනවීමට සහ පෞද්ගලීකරන සැලසුම්වලට එරෙහිව කම්කරුවන් බලමුලු ගැන්වීමට තමන් නොයන බවයි.

කම්කරුවන් 2024 පෙබරවාරි 7 වැනි දින කොලඹ ලංවිම මූලස්ථානයෙන් පිටත උද්ඝෝෂන කරති


ඒසීඊබීඩබ්ලිව්යූ නායක සහ ජවිපෙ මධ්‍යම කාරක සභිකයෙකු වන රංජන් ජයලාල්, බැංකු, වරාය, දුම්රිය සහ රක්ෂන සේවකයින් සහ සිවිල් සංවිධාන තම තමන්ගේ සේවා ස්ථානවල විරෝධතා පවත්වන බවට කොලඹ ලංවිම මුලස්ථානය ඉදිරිපිට උද්ඝෝෂනය කරමින් සිටි කම්කරුවන්ට කීවේය. මෙම ප්‍රකාශය අමු බොරුවකි. මේ කිසිම තැනක විරෝධතා නොපැවැත්විනි. ලංවිම සේවකයින් පමනක් තම සේවා ස්ථානවල විරෝධතා පවත්වමින් තම සහෝදර සේවකයන් ආරක්ෂා කරගැනීමේ අධිෂ්ඨානය පෙන්නුම් කලහ.

'වෘත්තීය සමිති නායකයින් සහ සේවකයන් දිගටම මර්දනය කරමින් ඔබේ ගමන ඉදිරියට යන්න බැහැ.. ඔහෙලට [ආන්ඩුවට] තව තියන්නෙ මාස 7 ක් විතරයි' යනුවෙන් ජයලාල් ආන්ඩුවට අනතුරු ඇඟවූයේය. ඔහු ඉඟි පල කලේ, ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ ආන්ඩුවක් බලයට පත්වන බව යි. “කොන්දේසි විරහිතව” සේවකයන් නැවත සේවයේ පිහිටුවන්නේ නැතිනම්, වැඩතහනමට ලක්ව සිටින සේවකයන්ගේ පවුල් 66 ලංවිම ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට කඳවුරු බැඳීමට සලස්වන බවද ජයලාල් පැවසීය.

පාරිභෝගික සම්බන්ධීකාරක සංගමයේ නායක ප්‍රියන්ත වික්‍රමසිංහ මෙසේ පැවසුවේය: “අපි කවුරුවත් ප්‍රතිව්‍යුහගත කිරීමට විරුද්ධ නැහැ; නමුත් එය කල යුත්තේ ජනතාවට සේවය කිරීම සහ සේවක අයිතීන් සුරැකීම සඳහා යි. එහෙම වුනොත් අපි අපේ සහයෝගය දෙනවා.”

ඇත්ත වශයෙන්ම, වෘත්තීය සමිති නායකයින් ලංවිම “ප්‍රතිව්‍යුහගත කිරීමට” [පෞද්ගලීකරනයට තවත් නමකි] සහාය දක්වයි. ඔවුන් විරෝධතා කැඳවන්නේ පුද්ගලීකරනයට එරෙහිව කම්කරුවන් අතර වැඩෙන කෝපය අපසරනය කර දැමීමට ය. ප්‍රතිව්‍යුහගත කිරීම, රැකියා විනාශයට, වැටුප් කප්පාදුවට සහ වැඩ බර වැඩි කිරීම සඳහා තමන්ට දරුනු ලෙස බලපාන බව කම්කරුවන් සාධාරන ලෙස දකිති.

ලංකා බැංකු සේවක සංගමය ඇතුලු සමිති බදාදා සීමිත විරෝධතාව සඳහා එහි සාමාජිකයින් බලමුලු ගැන්වූයේ නැත. කෙසේ වෙතත්, සංගමයේ උප සභාපති ලැජ්ජා නැතුව පැවසුවේ: “අපි ලංවිම සේවකයින් හුදකලා කරන්නේ නැහැ. ප්‍රශ්නවලට සාමුහිකව මුහුන දී මර්දනය තලා දැමීමට අපි සූදානම්.”

ව්‍යාජ වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) විසින් පාලනය කරනු ලබන කම්කරු අරගල මධ්‍යස්ථානයේ නායක නාගමුව ආන්ඩුවට ගර්ජනා කලේ ය: 'කාංචන [විජේසේකර] සහ ඔහුගේ ආන්ඩුව මෙම මර්දනය අකුලා නොගත්තොත් වෘත්තීය සමිති ව්‍යාපාරය දැඩි ක්‍රියාමාර්ග ගන්නවා.'

අනෙකුත් නායකයන්ට ඉහලින් සිටීමට ටෙලිකොම් වෘත්තීය සමිතියේ සභාපති ගුරුසිංහ ද ආන්ඩුව සමග එවැනි වාචික සටනක නිරත විය.

මෙම නායකයින් කිසිවෙක් ආන්ඩුවේ කප්පාදු න්‍යාය පත්‍රය සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි ප්‍රහාර පරාජය කරන්නේ කෙසේද යන්න පිලිබඳ කිසිදු ක්‍රියා මාර්ගයක් ඉදිරිපත් කලේ නැත. ධනපති ක්‍රමයේ රාමුවට බැඳී සිටින ඔවුන් කාර්මික පොලිසියක් ලෙස ක්‍රියා කරමින්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) කප්පාදු වැඩපිලිවෙල පරාජය කිරීම සඳහා කම්කරුවන් බලමුලු ගැන්වීම නතර කිරීමට තිරිංග දමා ඇත.

ජාමූඅ ක්‍රියාමාර්ගවලට සියලු රජය සතු ව්‍යවසායයන් පුද්ගලීකරනය කිරීම, සියලු භාන්ඩ හා සේවාවල මිල ගනන් සහ තීරුබදු ඉහල නැංවීම, රාජ්‍ය අධ්‍යාපනය සහ සෞඛ්‍ය තවදුරටත් කප්පාදු කිරීම් ඇතුලත් වේ.

ආන්ඩුව සහ ලංවිම බලධාරීන් වෘත්තීය සමිතිවල 'බලපෑම් දැමීම' තුට්ටුවකට ගනන් නොගෙන මර්දනය ක්‍රියාත්මක කරයි. පෙබරවාරි 8 දා, ලංවිම ප්‍රකාශක සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නොයෙල් ප්‍රියන්ත, ද මෝර්නිං දිනපතා පුවත්පතට මෙසේ පවසා තිබේ: “වර්ජනයේ විශේෂිත දිනවල පැවති තත්වය අනුව අපි එම සේවකයින්ගේ වැඩ තහනම් කලෙමු. දැන්, අපි නිදහසට කරුනු, දුක්ගැනවිලි සහ වෙනත් සාධක සොයා බලමින් සිටිමු.” ඔවුන් සේවයේ පිහිටුවන්නේ නම් ලංවිම 'සම්මත ක්‍රියාපටිපාටි' අනුගමනය කරන බවද, වෘත්තීය සමිති පීඩනය ගැන නොතකන බවද ඔහු පැවසීය.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභා රැස්වීමකට අදහස් දක්වමින්, ලංවිම සාමාන්‍යාධිකාරී නරේන්ද්‍ර ද සිල්වා පසුගිය සතියේ කියා සිටියේ, ආයතනයට සේවකයින් 24,000 ක් පමන අවශ්‍ය නමුත් එහි සිටින්නේ සේවකයන් 22,000 ක් පමන බවයි. ඔහු මෙසේ හෙලිදරවු කලේය: 'සේවක පිරිස 18,000 දක්වා අඩු කිරීමේ සැලසුමක් තියෙනවා.' එහි අර්ථය වන්නේ, ශ්‍රම බලකායේ අප්‍රමානවත් බව නොතකා, රැකියා 5,000 ක් කප්පාදු කිරීමට ආන්ඩුව සැලසුම් කරමින් සිටින බවයි.

වෘත්තීය සමිති නායකයෝ, එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ ඔහුගේ පාලනයට එරෙහිව මිලියන සංඛ්‍යාත කම්කරුවන් සහභාගි වූ 2022 අප්‍රේල්-ජූලි මහජන නැගිටීම පාවා දුන්හ. රාජපක්ෂ ජීවිතය බේරා ගැනීම සඳහා රටින් පැන ගොස් ඉල්ලා අස්විය. මෙම පාවාදීම, වෛරයට පාත්‍ර වූ එක්සත් ජනපද ගැත්තෙක් වන රනිල් වික්‍රමසිංහ බලයට පත් වීමට මග පෑදීය. එහෙත්, යලි නැගෙන කම්කරුවන්ගේ කෝපය පීලි පැන්නීම සඳහා පසුගිය වසරේ වැඩවර්ජන සහ විවිධ විරෝධතා කැඳවීමට වෘත්තීය සමිතිවලට බල කෙරුනි.

කම්කරුවන් මෙම අරගලයන්ගෙන් පාඩම් උකහා ගත යුතුය. ආන්ඩුවේ ජාමූඅ ප්‍රතිපත්ති වෙනස් කල නොහැක. එය ඒවා ක්‍රියාත්මක කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටියි. විශේෂයෙන්ම, ආන්ඩුවට එහි ම්ලේච්ඡ ප්‍රහාර ක්‍රියාවට නැංවීමට උදව් කරමින්, තම සාමාජිකයින්ට විලංගු දැමීමට තම සංවිධාන යොදා ගත්, වෘත්තීය සමිති නිලධරයන්ගේ භූමිකාවෙන් කම්කරුවන් වහා පාඩම් උකහා ගත යුතුය. ඔවුන් පාලනය කරන ධනේශ්වර පක්ෂ මෙන්ම මෙම වෘත්තීය සමිති සියල්ල ජාමූඅ වැඩපිලිවෙලට කැපවී සිටී.

ලංවිම සම්බන්ධයෙන් ගත් කල, ඇත්ත වශයෙන්ම, කම්කරුවන් අරගලයට මෙහෙයවීම ප්‍රතික්ෂේප කරමින් වෘත්තීය සමිති නායකයින් වින්දිත සේවකයින් ආරක්ෂා කිරීම අතහැර දමා ඇත. පන්ති ක්‍රියාමාර්ගයේ යෙදුනු දිනයේ දී ඔවුන් අසනීප වූ බව පවසමින් විදුලිබල මන්ඩලයේ ලිපිවලට පිලිතුරු ලියන ලෙස, ඔවුන් දඬුවම් ලැබූ සේවක සේවිකාවන්ගෙන් ඉල්ලා ඇත! මේ ද්‍රෝහිකම පරාජය කල යුතුය.

ලංවිම සේවකයින් 2024 පෙබරවාරි 7 වන දින නුරචෝලෙයි කම්හල අසල උද්ඝෝෂන කරයි. [ඡායාරූපය ලංවිම සේවකයින්ගේ] [Photo by CEB workers]

තම ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ක්‍රියාත්මක කිරීමේදී, කම්කරුවන්, ආන්ඩුවේ නිර්දය දඩයමට ලක් වීම සමස්තයක් ලෙස කම්කරු පන්තියට බලපාන අතිමූලික ප්‍රශ්නයකි. අත්හිටවූ ලංවිම සේවකයින් 66 දෙනා කොන්දේසි විරහිතව යලි සේවයේ පිහිටුවන ලෙස ඉල්ලා සිටීමෙන් සමාජවාදී සමානතා පක්ෂය (සසප) අවධාරනය කරන්නේ, එය පන්ති ක්‍රියාමාර්ග සංවිධානය කිරීම සඳහා කම්කරුවන් සටනට රැලි කරන කේන්ද්‍රයක් විය යුතු බවයි.

පෙබරවාරි 1 දා, ශ්‍රී ලංකාවේ කම්කරු ක්‍රියාකාරී කමිටු (ශ්‍රීලකක්‍රික) සාමූහිකය කොලඹදී ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වමින්, ලංවිම සේවකයින් ආරක්ෂා කිරීමටත්, පුද්ගලීකරනයට එරෙහිවත් ඔවුන්ගේ කාර්මික හා දේශපාලන ශක්තිය බලමුලු ගන්වන ලෙසත් කම්කරු පන්තියෙන් ඉල්ලා සිටියේය.

ශ්‍රීලකක්‍රික යනු වරාය, සෞඛ්‍ය, ඇඟලුම්, වැවිලි, දුම්රිය සහ අධ්‍යාපන ක්ෂේත්‍රවල මෙන්ම සේවයෙන් නෙරපා හරින ලද සමුපකාර තොග ආයතන සේවකයින්, විදේශීය සංක්‍රමනික සේවකයින් සහ ශ්‍රී ලංකාවේ දකුනේ බැරගම ප්‍රදේශයේ ගොවීන් විසින් පිහිටුවන ලද ක්‍රියාකාරී කමිටුවල එකතුවකි.

කම්කරුවන්ට තම අයිතීන් රැකගැනීම සඳහා වෘත්තිය සමිති කෙරෙහි කිසිසේත්ම විශ්වාසය තැබිය නොහැකිය. ශ්‍රීලකක්‍රික වෘත්තීය සමිතිවලින් හා ධනපති පක්ෂවලින් ස්වාධීනව කම්කරු ක්‍රියාකාරී කමිටු තම අයිතීන් රැකගැනීමේ අරගලය සංවිධානය කිරීමට ඉදිරියට එන ලෙස ඉල්ලා සිටි.

සෑම වැඩබිමකම, වතුකරයේ සහ කම්කරු පන්තියේ අසල්වැසි ප්‍රදේශයකම කම්කරු ක්‍රියාකාරී කමිටු පිහිටුවීම, ආන්ඩුවේ ජාමූඅ ප්‍රතිපත්තිවලට එරෙහිව මහා වැඩවර්ජනයක් සූදානම් කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම ඇතුලු පන්ති ක්‍රියාමාර්ග සංවිධානය කිරීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදීව තීරන ගැනීමට කම්කරුවන්ට මාධ්‍යයන් සපයනු ඇත.

ඒ අතරම, ආන්ඩුවේ කප්පාදුවට එරෙහි එකම විකල්පය වන බැංකු, මහා ව්‍යාපාර සහ කර්මාන්ත සහ මහා වතුසමාගම් කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතට පත් කරන සමාජවාදී පිලිවෙත් සඳහා සටන් කිරීමට පෙල ගැසෙන ලෙස සසප කම්කරුවන්ගෙන් ඉල්ලා සිටී. ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා අරගලයක් තුල එවැනි සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට නැංවිය හැකිය.

Loading