ආන්ඩුවෙන් "ධනාත්මක ප්‍රතිචාරයක්" ලැබුනේයැයි කියමින් සෞඛ්‍ය වෘත්තීය සමිති දෙදින වැඩවර්ජනය අවසන් කරයි

[මෙය Sri Lankan health unions end two-day strike, claiming “positive response” by government යන මැයෙන් 2024 පෙබරවාරි 05 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය (එච්ටීයූඒ) දින දෙකක් පැවති තම වැඩවර්ජනය, ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ 'ප්‍රශ්නය විසඳීමට' පෙබරවාරි 6 දා මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සහ වෘත්තීය සමිති නිලධාරීන් අතර රැස්වීමක් සංවිධානය කිරීමට එකඟ වීමෙන් පසුව සෙනසුරාදා (03) අවසන් කර දැමීය.

2024 ජනවාරි 16 වන දින, මාතර රෝහල ඉදිරිපිට, හෙදියන් සහ අනෙකුත් සෞඛ්‍ය සේවකයින් විරෝධතාවයක නිරත වෙමින්.

දහස් ගනනක් සෞඛ්‍ය සේවකයින් ඔවුන්ගේ බාධන, උපයෝජ්‍යතා සහ ප්‍රවාහන (ඩැට්) දීමනාව රුපියල් 35,000 කින් වැඩි කරන ලෙස ඉල්ලා වැඩ නැවැත්වූහ. එය මේ වසර තුල සෞඛ්‍ය සේවකයින්ගේ තුන්වන ජාතික කාර්මික ක්‍රියාවයි. ජනවාරි 16 සහ 17 යන දෙදින තුල ද සෞඛ්‍ය සේවකයින් එම ඉල්ලීම ම මුල්කර ගනිමින් දෙදින වැඩවර්ජනයක් පැවැත්වීය.

ජනවාරි 8 දා ආන්ඩුව, වෛද්‍යවරුන්ට ඩැට් දීමනාව රුපියල් 35,000 සිට රුපියල් 70,000 දක්වා වැඩි කිරීමට එකඟ වූ නමුත්, අනෙකුත් සෞඛ්‍ය සේවකයින්ට මෙම වැඩිවීම ලබා දීම ප්‍රතික්ෂේප කලේය.

එච්ටීයූඒ කැදවුම්කරු රවී කුමුදේශ් මාධ්‍ය වෙත පැවසුවේ, ආන්ඩුව “ධනාත්මක ප්‍රතිචාරයක්” දක්වා ඇති නිසා වැඩවර්ජනය තාවකාලිකව නවතා දැමූ බවයි. සෞඛ්‍ය සේවකයින්ගේ ඉල්ලීම් ඉටු කිරීමට ආන්ඩුව අපොහොසත් වුවහොත් බදාදා යලි වැඩවර්ජනය ආරම්භ කරන බවට ඔහු අනතුරු ඇඟවීය.

එච්ටීයූඒ යනු, අතුරු වෛද්‍ය සේවා සංගම්, සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සම්මේලනය, මහජන සෞඛ්‍ය නිලධාරීන්ගේ සංගමය සහ රජයේ පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ සංගමය ඇතුලු සෞඛ්‍ය අංශයේ වෘත්තීය සමිති 72 ක එකතුවකි.

පසුගිය සතියේ වැඩ වර්ජනයට, විකිරන සහ රසායනාගාර කාර්මික ශිල්පීන්, ඖෂධවේදීන්, ඖෂධ සංයෝජකයින්, පවුල් සෞඛ්‍ය සේවිකාවන්, දන්ත ශල්‍ය වෛද්‍යවරුන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, කීට විද්‍යා නිලධාරීන්, හෙදියන් සහ සුලු සේවක කාර්ය මන්ඩල සම්බන්ධ වූ බැවින් රෝහල් සේවා ඇනහිට තිබුනි.

ජනවාරි මැද වැඩවර්ජනයේදී කලා සේම, එච්ටීයූඒ පසුගිය සතියේ ද එහි සාමාජිකයින් යොමු කලේ, කිසිදු විරෝධතාවක් නොපවත්වා නිවසේ රැඳී සිටින ලෙසයි.

පසුගිය සතියේ සෞඛ්‍ය සේවකයින්ගේ දෙදින ජාතික වැඩ වර්ජනයේදී, වර්ජකයින් වෙනුවට වැඩ කිරීමට සොල්දාදුවන් බලමුලු ගන්වා තිබූ අයුරු.

ආන්ඩුව ඊට ප්‍රතිචාර දැක්වූයේ, රෝහල් 45 කට වර්ජන කඩාකප්පල් කරන්නන් ලෙස සිය ගනනක් හමුදා භටයින් යෙදවීමෙනි. ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ප්‍රතිචාර දැක්වූයේ, පැහැදිලි ලෙසම සෞඛ්‍ය සේවකයින්ට එරෙහිව මහජන වෛරය ඇවිලවීමේ උවමනාවෙන් යුතුව, රෝගීන් මුහුන දෙන තත්වය පිලිබඳව කිඹුල් කඳුලු හෙලීමෙනි.

ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) නායකත්වය දෙන සමස්ත ලංකා හෙද සංගමය (ඒසීඑන්යූ), පෙරටුගාමී සමාජවාදී පක්ෂය නායකත්වය දෙන ඒකාබද්ධ සෞඛ්‍ය සේවා සංගමය (ජේඑච්එස්යූ) සහ ආන්ඩුව විසින් පාලනය කරනු ලබන රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය වර්ජනයට සම්බන්ධ වීම ප්‍රතික්ෂේප කලහ. වැඩවර්ජනය ආන්ඩුවේ කුමන්ත්‍රනයක් බව පවසමින් ඒසීඑන්යූ සහ ජේඑච්එස්යූ එහි සාමාජිකයින්ට දිගටම වැඩ කරන ලෙස නියෝග කලහ.

කෙසේ වෙතත් මෙම වෘත්තීය සමිතිවල ඇතැම් සාමාජිකයෝ තම වෘත්තීය සමිති නායකත්වයට පිටුපා වර්ජනයට එක්වූහ. ඒසීඑන්යූ මධ්‍යම පලාතේ ගම්පොල රෝහලේ වැඩ වර්ජන කරන සාමාජිකයින්ට ලිපියක් යවමින් ඔවුන්ට නැවත සේවයට යන ලෙස නියෝග කලේය.

“අපේ සංගමයේ සමහර සාමාජිකයන් වර්ජනයට සම්බන්ධ වී තිබේ... කිසිම ප්‍රධාන රෝහලක එය සාර්ථක වී නැත. අනිත් කාරනය, මේ වර්ජනය දිගටම කරගෙන ගියහොත් අපේ සාමාජිකයන්ට අනතුරක් පවතිනවා. අපේ සාමාජිකයන් හෙට සේවයට වාර්තා කල යුතුයි,” එම ලිපිය ප්‍රකාශ කලේය.

වර්ජනයට එරෙහිව ඒසීඑන්යූ හි සෘජු මැදිහත්වීම ගලා එන්නේ එය අනුබද්ධ වී සිටින ජවිපෙ හි ජාතිකවාදී සහ ධනේශ්වර ගැති දේශපාලනයෙනි. ජනතා විමුක්ති පෙරමුනේ සහ එහි මැතිවරන පෙරමුන වන ජාතික ජන බලවේගයේ (ජාජබ) ප්‍රධාන උත්සුකය නම්, ඔවුන් වැඩි පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට බලාපොරොත්තු වන ඉදිරි මැතිවරනයයි.

වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂය, පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුන සහ විපක්ෂයේ සමගි ජන බලවේගය මුලුමනින්ම අපකීර්තියට පත්ව ඇති කොන්දේසි යටතේ, ජවිපෙ/ජාජබ පාලක ප්‍රභූවට සංඥා කරන්නේ තමන් කම්කරු පන්තියේ කිසිදු මහා පරිමාන කාර්මික ක්‍රියාවකට සහාය නොදක්වන බැවින් බිය වීමට කිසිවක් නොමැති බවයි.

රාජ්‍ය අංශයේ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිතිය වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (ජීඑම්ඕඒ), සෞඛ්‍ය සේවකයින් වෘත්තීන් සහ ශ්‍රේනි අනුව බෙදා තබා ගැනීමේ අධිෂ්ඨානයෙන් කට්ටිවාදී පදනමකින් පසුගිය සතියේ වැඩ වර්ජනයට විරුද්ධ විය. ඩැට් දීමනාව ලැබීමට හිමිකම් ඇත්තේ වෛද්‍යවරුන්ට පමනක් බව එය ප්‍රකාශ කලේය.

ජනාධිපති වික්‍රමසිංහ විසින් පසුගිය වසරේ වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත් කරන ලද සමන් රත්නප්‍රියගේ නායකත්වයෙන් යුත් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය, හෙද හෙදියන් තම අපකීර්තිමත් සංගමයේ ග්‍රහනය තුල පවත්වාගෙන යාම සඳහා, වර්ජනයට එක්වන ලෙස ඔහුගේ සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටියේය.

මෙම මංමුලා සහගත උපාමාරු නොතකා, පසුගිය සතියේ ජාතික සෞඛ්‍ය වැඩවර්ජනය, ඉහල යන ජීවන වියදම හමුවේ රැකියා සහ සේවා කොන්දේසි මත ආන්ඩුව සහ සේවා යෝජකයින් විසින් එල්ල කරන ප්‍රහාරවලට එරෙහිව ශ්‍රී ලංකාවේ සහ ගෝලීය වශයෙන් වැඩෙන වැඩ වර්ජන සහ විරෝධතා රැල්ලක කොටසකි. රජය සතු ව්‍යවසාය පුද්ගලීකරනය කිරීමේ ආන්ඩුවේ පියවරයන්ට එරෙහිව ලංකා විදුලිබල මන්ඩල කම්කරුවන් 22,000 කට ආසන්න පිරිසක්, ජනවාරි මුල් සතියේ දින තුනක ජාතික විරෝධතාවක් පැවැත්වූහ.

පසුගිය සතියේ සෞඛ්‍ය සේවකයින්ගේ වැඩ නැවැත්වීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) විධානයන් මත වික්‍රමසිංහ ආන්ඩුව එල්ල කරන කප්පාදු ප්‍රහාර වලට එරෙහිව තම රැකියා සහ කොන්දේසි සඳහා සටන් කිරීමට ශ්‍රී ලාංකික කම්කරුවන් තුල පවතින අධිෂ්ඨානය පිලිබඳ තවත් ඇඟවුමකි.

කෙසේ වෙතත්, එච්ටීයූඒ නායකත්වය, ආන්ඩුව සමග ගැටෙන, සෞඛ්‍ය සේවකයින්ගේ අව්‍යාජ, ජාතික වශයෙන් ඒකාබද්ධ අරගලයක් වැලැක්වීමට අධිෂ්ඨාන කර ඇත. තම සාමාජිකයින් තුල නැගෙන කෝපය වාෂ්ප කර දැමීම සඳහා කෙටි කාලීන කාර්මික ක්‍රියාවක් කැඳවා ඇති එච්ටීයූඒ නිලධරය, සාමාජිකයින් මත පැටවීම සඳහා කැත හොර ගනුදෙනුවක් සාකච්ඡා කිරීමට සූදානම් වෙමින් සිටී.

එච්ටීයූඒ කැඳවුම්කරු රවී කුමුදේශ් පසුගිය සතියේ මාධ්‍ය වෙත ප්‍රකාශ කලේ, “රටේ තත්වය අනුව 2020 සිට අපි ආන්ඩුවෙන් කිසිවක් ඉල්ලා නැහැ,” යනුවෙනි. වෙනත් වචන වලින් කිවහොත්, ශ්‍රී ලංකාවේ ධනේශ්වර පාලක පන්තියට පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා වෘත්තීය සමිති තමන්ට කල හැකි සියල්ල කර ඇත.

ශ්‍රී ලංකාවේ සියලුම වෘත්තීය සමිති මෙන්ම සෞඛ්‍ය අංශයේ වෘත්තීය සමිති ද, ආර්ථික අර්බුදයේ සම්පූර්න බර කම්කරු පන්තිය හා ගම්බද ජනතාව මත පැටවීමටත්, ඒ ආශ්‍රිතව ඔවුන්ගේ සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ලවන ප්‍රහාරවලට එරෙහිව කම්කරු පන්තියේ සැබෑ අරගලයක් වර්ධනය කිරීම අවහිර කර ඇත.

ආන්ඩුව මෙන් ම වෘත්තීය සමිති නිලධරය ද කම්කරු පන්තියේ වැඩෙන අරගල පිලිබඳ ගැඹුරින් ම කනස්සල්ලට පත්ව සිටී. 2022 අප්‍රේල්-ජූලි මාසවලදී එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ ආන්ඩුව නෙරපා හැරීමට තුඩු දුන් මහජන නැගිටීම වැනි තත්වයක් දක්වා තම රැකියා සහ මූලික අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරීමට කම්කරුවන්ගේ අධිෂ්ඨානය වේගයෙන් වර්ධනය වනු ඇතැයි ඔවුහු බිය වෙති.

එච්ටීයූඒ විසින් නැවත නැවතත් ජනාධිපතිවරයාට සහ ඔහුගේ ආන්ඩුවට සාකච්ඡා මාර්ගයෙන් 'ප්‍රශ්න විසඳන ලෙස' ආයාචනා කර ඇති අතර, තමන් සමග ගනුදෙනුවක් නොමැති නම්, ඔවුන්ට පාලනය කල නොහැකි තත්වයකට මුහුන දීමට සිදුවනු ඇතැයි මැසිවිලි නගයි.

සෞඛ්‍ය සේවකයින් සහ පොදුවේ කම්කරු පන්තිය මුහුන දෙන, ජීවන වියදම ඉහල යාම සහ මූර්ත වැටුප් පහත වැටීම, ආන්ඩුවේ ජාමූඅ විසින් නියම කරන ලද පිලිවෙත්වල සෘජු ප්‍රතිවිපාකයන් ය. කොලඹ පාලනය සිය ඉල්ලීම් ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වුවහොත් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත ඩොලර් බිලියන 3 ක ඇපදීමේ නයෙහි අනාගත වාරික අත්හිටුවන බවට ජාමූඅ අනතුරු අඟවා තිබේ. වික්‍රමසිංහ ආන්ඩුව ප්‍රතිචාර දක්වා ඇත්තේ, තමන් කම්කරු පන්තියේ කිසිදු විරෝධයක් නොඉවසන බවත් එවැනි ඕනෑම ව්‍යාපාරයක් කුරිරු ලෙස මර්දනය කරන බවත් තහවුරු කරමිනි.

ජනවාරි මස මුලදී ලංකා විදුලිබල මන්ඩලයේ (ලංවිම) කම්කරුවන්ගේ පුද්ගලීකරනයට එරෙහි තුන්දින ජාතික විරෝධතාවලට දැක්වූ ම්ලේච්ඡ ප්‍රතිචාරය පෙන්නුම් කරන්නේ මෙය යි. ආන්ඩුවේ නියෝග මත, කලමනාකාරිත්වය ක්‍රියාවට සම්බන්ධ වූ සියලුම ලංවිම සේවකයින්ට 'හේතුව දක්වන ලෙස' ලිපි යැවීය. දැනටමත් කම්කරුවන් 66 දෙනෙකුගේ වැඩ තහනම් කර ඇති අතර තවත් 75 දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට නියමිත ය.

වෘත්තීය සමිති නායකත්වයේ ප්‍රකාශයන්ට විපරීතව, සෞඛ්‍ය සේවකයින්ට සහ කම්කරු පන්තියේ අනෙකුත් කොටස්වලට ආන්ඩුවට පීඩනය යෙදීමෙන් තම රැකියා, ජීවන තත්වයන් සහ මූලික අයිතීන් ආරක්ෂා කර ගත නොහැක.

ඉදිරියට යාමට නම් කම්කරුවන් තම අරගලවල පාලනය තමන්ගේ අතට ගත යුතුය. මෙයින් අදහස් කරන්නේ, රෝහල් සහ සෞඛ්‍ය ආයතන ඇතුලුව සියලුම වැඩපලවල කම්කරුවන් විසින් ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත්කරගත් සහ ඔවුන්ගෙන් පාලනය වන, වෘත්තීය සමිති නිලධරයන්ගෙන් සහ සියලු ධනේශ්වර පක්ෂවලින් ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමයි.

ආන්ඩුවට සහ එහි ජාමූඅ ප්‍රතිපත්තිවලට එරෙහිව කම්කරු පන්තියේ එක්සත් අරගලයක් සඳහා රාමුව සැපයිය හැක්කේ මෙම කමිටුවලට පමනි. ගම්බද ජනතාව රැලිකර ගන්නා කම්කරු පන්තියේ එවන් ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් පාදක විය යුත්තේ, පුද්ගලික ලාභයට ඉහලින් මානව අවශ්‍යතා පිහිටුවන සමාජවාදී පිලිවෙත් මත ය.

Loading