ඉදිරිදර්ශන

ලෙනින්ගේ අවසන් අරගලය

[මෙය Lenin’s last struggle මැයෙන් 2022 දෙසැම්බර් 26දා පල කල ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනය යි.]

වසර සියයකට පෙර, 1922 දෙසැම්බර් 23දා, සෝවියට් සංගමයෙහි ඉතිහාසයේ වඩාත් ම වැදගත් ලේඛනයන්ගෙන් එකක් රචනා කිරීම, ලෙනින් විසින් ආරම්භ කෙරුනි. කොමියුනිස්ට් පක්ෂයෙහි එල‌ෙඹමින් පැවති දොලොස්වැනි සම්මේලනයට ඉදිරිපත් කරන ලිපියක් ලෙස පල කිරීමට නියමිත වූ සටහන් මාලාවක් එයට ඇතුලත් විය. එම වසර මුල දී ආඝාතයකින් පහර ලබා සිටි බොල්ශෙවික් නායකයා, සම්පූර්නයෙන් සුවය ලබා නොසිටි අතර, සිය සෞඛ්‍යය තත්ත්වය සම්මේලනයට සහභාගි වීමෙන් තමන් වලක්වනු ඇතැයි මුලුමනින් ම දැනුවත් ව සිටියේ ය.

ඉතිහාසය තුල ලෙනින්ගේ තෙස්තමේන්තුව නමින් හැඳින්වීමට නියමිත වූ මෙම සටහන්, බොල්ශෙවික් පක්ෂයේ ප්‍රධාන නායකයන් පිලිබඳ තක්සේරුවක් අඩංගු කර ගත්තේ ය. පක්ෂය ඇතුලත දේශපාලනික ප්‍රවනතාවන් පිලිබිඹු කල සබඳතාවන් තුල මුල් බැස තිබෙන සාමූහික ක්‍රියා දාමයක් ලෙස නායකත්වය දැක ගත් ලෙනින්ට, නාමික අනුප්‍රාප්තිකයෙක් යෝජනා කිරීමේ අභිලාෂයක් නො තිබුනි. බොල්ශෙවික් පක්ෂයට ලෙනින්ගේ සබඳතාව, දේශපාලනික ව හා ඓතිහාසික ව කොතරම් සුවිශේෂී ස්වභාවයක් ගත්තේ ද යත්, කිසි ලෙසකින් වෙනත් කිසිදු තනි පුද්ගලයෙකුට එය අනුපිටපත් කල හැකි නො වී ය. ප්‍රතිපත්ති අරබයා පැවති වෙනස්කම් ද වෛෂයික ආර්ථික හා සමාජීය අර්බුදයේ කොන්දේසි ද යටතේ, පක්ෂය ඇතුලත ආතතීන් මධ්‍යම නායකත්වය තුල අන්තරායකාරී කන්ඩායමික ගැටුම්වලට තුඩු දෙනු ඇතැයි ඔහු ගැඹුරින් ම උත්සුක විය.

ව්ලැදිමීර් ලෙනින් 1920 දී

විනාශකාරී ගැටුම් වැලැක්වීමට අභිලාෂී වූ ලෙනින්, මධ්‍යම කාරක සභාවේ නායක සාමාජිකයන්ගේ ශක්තීන් හා දුර්වලතා තක්සේරු කලේ ය.

දෙසැම්බර් 24දා ලියූ සටහන තුල ලෙනින් මෙසේ ලීවේ ය:

ප්‍රධාන ලේකම් ධූරයට පැමිනි ස්ටැලින් සහෝදරයා, තම හස්තයෙහි අසීමිත අධිකාරයක් සංකේන්ද්‍රනය කරගෙන ඇති අතර, ප්‍රමානවත් ප්‍රවේසමකින් යුතු ව එම අධිකාරය භාවිතා කිරීමට සෑමවිට ම ඔහු සමත් වනු ඇද්දැයි මට නිශ්චිත නැත.

මෙම තක්සේරු කිරීමෙන් පසුව ට්‍රොට්ස්කි ගැන කරන පහත දැක්වෙන තක්සේරුවට පැමිනේ:

සන්නිවේදන කටයුතු පිලිබඳ මහජන කොමිසාර් කාර්යාලය ගැන වූ ප්‍රශ්නය සම්බන්ධයෙන්, මධ්‍යම කාරක සභාවට එරෙහි ඔහුගේ අරගලය දැනට මත් සනාථ කර ඇති පරිදි, ට්‍රොට්ස්කි සහෝදරයා අනෙක් අතට කැපී පෙනෙන්නේ ඔහුගේ විශිෂ්ට හැකියාව හේතුවෙන් පමනක් නො වේ. පුද්ගලික ව ගත් කල, වර්තමාන මධ්‍යම කාරක සභාව තුල සිටි හැකියාවන්ගෙන් වඩාත් ම අනූන පුද්ගලයා ඔහු විය හැකි නමුත්, පමන ඉක්ම වූ ස්වයං-විශ්වාසයක් ප්‍රදර්ශනය කර ඇති ඔහු, හුදෙක් ම වැඩ කටයුතුවල පරිපාලනමය පාර්ශවය තුල පමන ඉක්ම වූ නිමග්න වීමක් පෙන්වා ඇත.

ඉන්පසු ලෙනින් මෙසේ අනතුරු ඇඟවී ය:

වර්තමාන මධ්‍යම කාරක සභාවේ ප්‍රධාන නායකයන් දෙදෙනාගේ මෙම ගතිගුන, නො දැනුවත් ව ම භේදයකට තුඩු දිය හැකි අතර, අපේ පක්ෂය මෙය වැලැක්වීමට පියවර නො ගන්නේ නම්, භේදය අනපේක්ෂිත ව පැමිනිය හැක.

ඊට පසුව ගෙවී ගිය දවස්වල ලෙනින් මෙම සටහන්වලට අඛන්ඩ ව තවත් දේ එකතු කලේ ය.

සිය සටහන් ලියද්දී ලෙනින් පොර බැදූ වඩාත් ම තීරනාත්මක ප්‍රශ්න අතරට, 1922 දී ස්ථාපිත කරන ලද සෝවියට් රාජ්‍යය ඇතුලත සමාජවාදී සමූහාන්ඩුවල සබඳතාව ඇතුලත් විය. එක්සත් සෝවියට් සමාජවාදී සමූහාන්ඩු සංගමය ඇතුලත මහා-රුසියානු ආධිපත්‍යයේ ප්‍රකෘතිමත් වීම කෙරෙහි භීතියට පත් වූ ලෙනින්, යුක්‍රේනය හා ජෝර්ජියාව වැනි සමාජවාදී සමූහාන්ඩුවලට සංගමයෙන් ඉවත් වීමට ඇති අයිතිය අවධාරනය කර තිබුනි.

1922 දෙසැම්බර් 30 දාතම සහිත සටහන් තුල, මහා-රුසියානු පීඩනයට එරෙහි ප්‍රමානවත් ආරක්ෂාව සම්පාදනය කිරීමට සෝවියට් ආන්ඩුව අසමත් වනු ඇතැයි ලෙනින් උත්සුකතාව පල කලේ ය. මෙම සන්දර්භය ඇතුලත -විශේෂයෙන් ම ජෝර්ජියාවේ ජාතික සුලුතරයන්ගේ නියෝජිතයන් වෙත ස්ටැලින් දක්වා තිබුනු අපවාදාත්මක හැසිරීම විභාග කරද්දී- ස්ටැලින් පිලිබඳ ලෙනින්ගේ සටහන් එන්ට එන්ට ම කර්කශ විය. පැහැදිලි ව ම ස්ටැලින්ගේ හැසිරීම ගැන සඳහන් කරමින්, “යථාර්ථයේ දී සාදෘශ්‍ය රුසියානු නිලධාරියා වැනි තක්කඩියෙකු හා කෲර පීඩකයෙකු වන මහා-රුසියානු ස්වෝත්තමවාදියාට” එරෙහි ව ලෙනින් අනතුරු ඇඟවී ය.

“තනි පරිපාලනමය කටයුතු කෙරෙහි ස්ටැලින් දක්වන තදියම හා ආසක්ත වීම සමගින් කුප්‍රකට ‘ජාතිකවාදී-සමාජවාදයට’ [සෝවියට් සංගමයට එක් වීමට එකඟ නොවූ සුලුතර ජාතීන් “ජාත්‍යන්තරවාදීන්” නොවේ යැයි ස්ටැලින්ගේ ගර්හාවට ලක් විය - සංස්.] එරෙහි ඔහුගේ ද්වේශය මෙහි දී මාරක භූමිකාවක් ඉටු කල බව මම සිතමි. දේශපාලනයේ දී ද්වේශ සහගත වීම සාමාන්‍යයෙන් ඉෂ්ට කරන්නේ නිහීන ම භූමිකාවකි” යි ලෙනින් තව දුරටත් ලීවේ ය.

1923 ජනවාරි 4දා, දෙසැම්බර් 24 දාතම සහිත ඔහුගේ සටහනට ලෙනින් පහත දැක්වෙන ඡේදය එකතු කලේ ය:

ස්ටැලින් අතිශයින් ආචාරශීලිත්වෙයන් තොර ය; කොමියුනිස්ට්වාදීන් ලෙස අප අතර කටයුතුවල දී මෙය දරාගත හැකි වුවත්, ප්‍රධාන ලේකම් වශයෙන් සිදු කරන කටයුතුවල දී දරාගත නො හැක. ස්ටැලින් ප්‍රධාන ලේකම් ධූරයෙන් ඉවත් කර සහෝදරවරුන් කෙරෙහි වඩා ඉවසිලිවන්ත, වඩා පක්ෂපාතී, වඩා ආචාරශීලී හා වඩා කාරුනික හා හිතුවක්කාරීත්වයෙන් අඩු වැනි උසස් තත්ත්වයන් තිබීම යන අංශවලින් ස්ටැලින් සහෝදරයාට වඩා වෙනස් වෙනත් පුද්ගලයෙකු පත්කිරීම ගැන සලකා බලන ලෙස මා යෝජනා කරන්නේ ඒ නිසා ය. මෙම තත්ත්වය නොවැදගත් කරුනක් යැයි පෙනී යා හැකි ය.

එහෙත්, භේදයකට එරෙහි ව ආරක්ෂා වීමේ ආස්ථානයෙන් ද ස්ටැලින් හා ට්‍රොට්ස්කි අතර සබඳතාව පිලිබඳ ව මා ලියා ඇති දෙයෙහි ආස්ථානයෙන් ද මෙය (සුලු) කාරනයක් නො වන අතර, තීරනාත්මක වැදගත්කමක් අත් කරගත හැකි කාරනයකි.

ඉන්පසු ව ගත වුනු සති කිහිපය තුල, ස්ටැලින් කෙරෙහි ලෙනින්ගේ දේශපාලන හතුරුකම හා පුද්ගලික අවඥාව ඉහල ගියේ ය. නියමිත ව තිබුනු පක්ෂ සම්මේලනයේ දී, ස්ටැලින්ට එරෙහි ව ඔහු සැලසුම් කර තිබුනු අරගලයේ දී සහයෝගය පතා, බොල්ශෙවික් නායකයා ට්‍රොට්ස්කි වෙතට හැරුනේ ය. 1923 මාර්තු 5දා ඔහු මෙසේ ලිවී ය:

අතිශයින් රහසිගතයි

පුද්ගලිකයි

හිතවත් ට්‍රොට්ස්කි සහෝදරය: පක්ෂ මධ්‍යම කාරක සභාවේ දී ජෝර්ජියානු සිද්ධිය ආරක්ෂා කිරීම වෙනුවෙන් ඔබ පෙනී සිටිය යුතු බව මගේ හෘදයාංගම ඉල්ලීම යි. දැන් මෙම ප්‍රශ්නය ස්ටැලින් හා ශර්ෂින්ස්කිගේ ‘තාඩන පීඩනවලට’ ලක් ව පවතින අතර, ඔවුන්ගේ අපක්ෂපාතීත්වය ගැන මට විශ්වාස කල නො හැක. තත්ත්වය ඊට වෙනස් ය.

ඔබ එහි ආරක්ෂාවට එකඟ වුව හොත් මට පහසුවක් දැනෙනු ඇත. කිසියම් හෝ හේතුවක් නිසා එසේ කිරීම ඔබ ප්‍රතික්ෂේප කරන්නේ නම්, සියලු ම ලිපි ලේඛන ආපසු මට එවන්න. එවිට මම ඔබ එය පිලි නො ගැනීමේ සංඥාවක් ලෙස සලකන්නෙමි.

ඉන්පසු ලෙනින් පහත දැක්වෙන ලිපිය ස්ටැලින්ට යැවුවේ ය:

මගේ බිරිඳ දුරකථනයට කැඳවා පහත් භාෂාවකින් ඇමතීමට තරම් ඔබ කර්කශ වී ඇත. මෙය අමතක කිරීමට සූදානම් බව ඇය ඔබට ප්‍රකාශ කර ඇතත්, මෙම කාරනය ඇය හරහා සිනොවියෙව් හා කමනෙව් දැනගෙන ඇත.

මට විරුද්ධ ව කර ඇති දෙය ලෙහෙසියෙන් අමතක කිරීමට මට අභිලාෂයක් නැති අතර, මගේ බිරිඳට එරෙහි ව ක‌ර ඇති දෙය මට ද එරෙහි ව කල දෙයක් බවට මා සලකන බව අමුතුවෙන් කිව යුතු නැත.

එබැවින්, ඔබ කියා ඇති දෙය ඉල්ලා අස් කරගැනීමටත් සමාව ගැනීමටත් ඔබ සූදානම් දැයි හෝ අප අතර සබඳතා බිඳ දැමීමට ඔබ මනාපදැයි හෝ තීරනය කිරීම ඔබට භාර වෙයි.

දවස් හතරකට පසුව, 1923 මාර්තු 9 වැනි දා, ලෙනින් ඔහුගේ දේශපාලන වෘත්තීය ජීවිතය අවසානයකට ගෙන ආ ආඝාතයකට ලක් විය. 1924 ජනවාරි 21 වැනි දා ඔහු මිය ගියේ ය. ලෙනින්ගේ අභාවයෙන් පසු කාලයේ, ස්ටැලින් හා ඔහුගේ කන්ඩායමික ආධාරකරුවන්ගේ අප්‍රතිපත්තික උපාමාරු දැමීම්, 1924 දහතුන්වැනි පක්ෂ සම්මේලනයේ දී තෙස්තමේන්තුව කියවීම වැලැක්වී ය. පසු ව එලඹුනු අවුරුදු 40ක් පුරා එය සෝවියට් ජනතාවගෙන් සඟවා තිබුනි. ස්ටැලින්ගේ මරනයෙන් වසර 11කට පසුව 1964 දී සෝවියට් ආන්ඩුව ප්‍රථම වරට ඔහුගේ තෙස්තමේන්තුව ලෙනින්ගේ එකතු කල කෘති නව සංස්කරනයකට ඇතුලත් කිරීමට අවසර දුන්නේ ය.

ලෙනින් තෙස්තමේන්තුව ලියූ අවදියේ, බොල්ශෙවික් පක්ෂය ඇතුලත වර්ධනය වෙමින් පැවති බෙදීම්වල විශාලත්වය හා වැදගත් කම ප්‍රකට ව නො තිබුනි. ලෙනින්ගේ තෙස්තමේන්තුව හා එයට සම්බන්ධ සටහන් හා මෙමෝපත් දිග හැරෙමින් පැවති ගැටුම පූර්වාපේක්ෂා කිරීමක් විය. ඉන්පසුව ගෙවුනු මාස තුල, නිලධාරිවාදය හා ජාතික ස්වෝත්තමවාදය පිලිබඳ ලෙනින්ගේ පූර්වාපේක්ෂා සහිත විවේචනය, යථා දේශපාලන කාලයේ දී ඉදිරියට ගෙන යමින් වර්ධනය කිරීමට ට්‍රොට්ස්කි ක්‍රියා කලේ ය.

ලෙනින් ඔහුගේ තෙස්තමේන්තුව ලිවීමෙන් මාස 10ක‌ට පසුව, 1923 ඔක්තෝබරයේ දී වාමාංශික විරුද්ධ පාර්ශවය ආරම්භ කෙරුනි. ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඉස්මතු වීම, ලෙනින් ගේ අවසන් ශ්‍රේෂ්ඨ අරගලය අඛන්ඩ ව ගෙන යාම සලකුනු කලේ ය.

Loading