ශ්‍රී ලංකාවේ කම්කරුවන් හා තරුනයන් සියලු විදේශ නය ප්‍රතික්ෂේප කරන ලෙස බලකර සිටිය යුතුයි

[මෙය Sri Lankan workers and youth must demand the repudiation of all foreign debt යන මැයෙන් 2024 මැයි 04 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ශ්‍රී ලංකා ආන්ඩුව සිය නය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන අවසන් කිරීම සඳහා පුද්ගලික බැඳුම්කර හිමියන් සමඟ තවදුරටත් සාකච්ඡා කිරීමට මංමුලා සහගත උත්සාහයක යෙදෙයි. රටේ විදේශ නයවලින් එජ ඩොලර් බිලියන 12 කට හිමිකම් කියන මෙම බැඳුම්කර හිමියන් සමඟ පෙර සාකච්ඡා අසාර්ථක වී ඇත්තේ ඔවුන්ට වැඩි ආපසු ගෙවීමක් අවශ්‍ය කරන බැවිනි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2022 අගෝස්තු 3 වැනි දින පාර්ලිමේන්තු සංකීර්නයට පැමිනෙමින්. (ඒපී ඡායාරූප/එරංග ජයවර්ධන) [AP Photo/Eranga Jayawardena]

ශ්‍රී ලංකාවේ විදේශ නය ප්‍රතිව්‍යුහගත කිරීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2023 මාර්තු මාසයේ අනුමත කල ඩොලර් බිලියන 3 ක ඇප නයෙහි ප්‍රධාන කොන්දේසියකි.

කොරෝනා වෛරස් වසංගතය සහ රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධය විසින් ඇවිලවූ උග්‍ර ආර්ථික අර්බුදයක් මධ්‍යයේ, 2022 මුල් භාගය වන විට ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ඩොලර් බිලියන 1.6 දක්වා පහත වැටුනි. මෙම දරුනු පරිහානිය හේතුවෙන් කොලඹට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීමට නොහැකි වූ අතර, දැවැන්ත හිඟයක් ඇති කරමින් මිල ඉහල ගියේය.

රාජපක්ෂ ආන්ඩුව අප්‍රේල් මස මුලදී නිවේදනය කලේ, තම ඩොලර් බිලියන 6 ක නය සහ පොලී වාරික ගෙවීම පවත්වා ගත නොහැකි බවයි. රටපුරා මහජන විරෝධතාවලට මුහුන දුන් රාජපක්ෂ රටින් පලා ගොස් ඉල්ලා අස්විය. අපකීර්තියට පත් පාර්ලිමේන්තුව විසින් විධායක ජනාධිපති ධුරයට ඔසවා තැබූ රනිල් වික්‍රමසිංහ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) සමඟ දිගටම සාකච්ඡා කරමින්, අවසානයේ ඩොලර් බිලියන 3 ක ඇප නයක් ලබා ගත්තේ, එහි දැඩි කොන්දේසිවලට එකඟ වීමෙන් පසුවය.

ශ්‍රී ලංකා ආන්ඩුවේ නිලධාරීන් සහ බැඳුම්කර හිමියන් අතර සාකච්ඡා  2023 ඔක්තෝබර් මාසයේ සිට ඇදී ගොස් ඇත. පලමු මුහුනට මුහුන සාකච්ඡා මාර්තු 27 සහ 28 යන දිනවල ලන්ඩනයේදී පැවැත්විනි. බැඳුම්කර නය ප්‍රතිව්‍යුහගත කිරීම මැක්‍රෝ ලින්ක්ඩ් බොන්ඩ් (එම්එල්බී) ක්‍රමයට සම්බන්ධ කල යුතු බව බැඳුම්කර හිමියන් අවධාරනය කර ඇත. ඒ අනුව, එජ ඩොලර් වලින් නාමනය කෙරෙන ශ්‍රී ලංකාවේ දල දේශීය නිෂ්පාදිතයේ වෙනස්කම්වලට සියලු ආපසු ගෙවීම් සම්බන්ධ කලයුතු වේ.

එම්එල්බී යටතේ, 2023 සඳහා ශ්‍රී ලංකාවේ දල දේශීය නිෂ්පාදිතය පිලිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තක්සේරුව පදනම් රේඛාව ලෙස සලකන අතර, ඒ අනුව පොලී ගෙවීමේ ප්‍රතිශතයක් තීරනය වේ. ඉදිරි වසරවලදී දල දේශීය නිෂ්පාදිතය වැඩි වුවහොත් ආපසු ගෙවීම් ඉහල යනු ඇත. කෙසේ වෙතත්, රටේ දල දේශීය නිෂ්පාදිතය පහත වැටේ නම්, ආපසු ගෙවීම් අඩු නොවේ.

මෙය, තම නය ආයෝජන මත ආපසු ගෙවීම් උපරිම කර ගැනීමට අවශ්‍ය ස්වෛරී බැඳුම්කර හිමියන්ට විශාල වශයෙන් වාසිදායක ය. සිටිබෑන්ක් විශ්ලේෂකයින් බ්ලූම්බර්ග් රූපවාහිනී නාලිකාවට පැවසූ පරිදි, මෙම විධිවිධානය 'ආයෝජකයින්ට 'අතිශයින්ම ත්‍යාගශීලී” බව පෙනේ.

මෑත කාලීන ලන්ඩන් සාකච්ඡා අසාර්ථක වීමෙන් පසු, වොෂින්ටනයේ වාර්ෂික ජාමූඅ-ලෝක බැංකු රැස්වීම් සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා නියෝජිතයින් අප්‍රේල් 15 වන දින තවත් සාකච්ඡා වටයක් පැවැත්වීය. මෙම රැස්වීමේදී එකඟතාවකට පැමින නැත.

බැඳුම්කර හිමියන් පැහැදිලිවම උත්සාහ කරන්නේ ශ්‍රී ලංකා ආන්ඩුවට යටත්වීමට බල කිරීමට ය. එකඟතාවක් නොමැතිවීම, ජුනි මාසයේදී සිදු කිරීමට නියමිත ජාමූඅ සමාලෝචනය සහ මීලඟ ඩොලර් මිලියන 337 නය වාරිකය මුදා හැරීම අනතුරේ හෙලයි. නියමිත කාල සීමාව සපුරාලීමට ආන්ඩුව අපොහොසත් වුවහොත්, සැලසුම් කල වාරිකය සහ වෙනත් විදේශ ආධාර සඳහා ප්‍රවේශය වහාම අහිමි වනු ඇත.

ශ්‍රී ලංකාව මේ වන විට විදේශ නය සඳහා ඩොලර් බිලියන 37 ක් ගෙවිය යුතුය. මෙයට ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව ඇතුලු බහුපාර්ශ්වික මූල්‍ය ආයතන වෙත ඩොලර් බිලියන 10 ක් ද, එක්සත් ජනපදය, යුරෝපීය රටවල්, චීනය, ජපානය සහ ඉන්දියාව ඇතුලු ද්විපාර්ශ්වික නය හිමියන්ට ඩොලර් බිලියන 11.33 ක් ද ඇතුලත් වේ. වානිජ නයවලට, ඩොලර් බිලියන 12 ක ස්වෛරී බැඳුම්කර සහ ඩොලර් බිලියන 2.75 වෙනත් නය ඇතුලත් වේ.

මාර්තු 6 වැනි දින පාර්ලිමේන්තුව අමතමින්, මුදල් අමාත්‍යවරයා ද වන ජනාධිපති වික්‍රමසිංහ මෙසේ පැවසීය: “අපගේ ඉලක්කය වන්නේ 2023 සිට 2027 දක්වා නය පැහැර හැරීම්වලින් තාවකාලික සහනයක් ලබා ගැනීම සහ පසුව 2027 සිට 2042 දක්වා කාලය තුල නය ආපසු ගෙවීමයි.” ප්‍රතිව්‍යුහගත කිරීම හරහා ඩොලර් බිලියන 17 ක නය අඩුකර ගැනීමට අවශ්‍ය බව වික්‍රමසිංහ මීට පෙර ප්‍රකාශ කර තිබේ.

චීනය, ඉන්දියාව, සමහර යුරෝපීය රටවල් සහ එක්සත් ජනපදය වැනි අනෙකුත් නය දෙන්නන් සමඟ සාකච්ඡා ද ඇදී ගොස් ඇත්තේ, ශ්‍රී ලංකාව කෙරෙහි ඔවුන්ගේ පෙර “අනුකම්පාව” නොතකා, ආපසු ගෙවීමේ කිසිදු අඩු කිරීමකට එකඟ වීමට ඔවුන් පසුබට බැවිනි.

කන්ඩායම් කිහිපයක්, පසුගිය මාසයේ වොෂින්ටනයේ පැවති ජාමූඅ-ලෝක බැංකු රැස්වීම්වලට පිටත සිට විරෝධතා දැක්වූ අතර, ඔවුහු “ගෝලීය දකුන” සඳහා නය අවලංගු කිරීම සහ දේශගුනික විපර්යාස සම්බන්ධයෙන් වැඩි පියවර ඉල්ලා සිටියහ. මේවාට, “නය සහ සංවර්ධනය පිලිබඳ ආසියානු ජනතා ව්‍යාපාරය (ඒපීඑම්ඩීඩී)”, සහ “නීති විරෝධී නය අහෝසි කිරීම සඳහා වූ කමිටුව”, “නය යුක්තිය (Debt Justice)' යන සංවිධාන ඇතුලත් විය.

සම්බන්ධීකාරක ලිඩි නැක්පිල් මාධ්‍ය වෙත පැවසුවේ, ජාමූඅ-ලෝක බැංකු රැස්වීම තුල සිදුවෙමින් පවතින්නේ “උග්‍රවන නය අර්බුදය” විසින් “ලෝකය පුරා සංවර්ධනය වෙමින් පවතින රටවල් තලා දැමීමක්” බවයි.

නැක්පිල්, “ජී20 සහ ජාමූඅ සහ ලෝක බැංකුවේ දෝෂ සහිත සහ නිෂ්ඵල නය සහන යෝජනා ක්‍රමවලට” දොස් පැවරීය: “සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා මෙයින් ඇති කෙරෙන අධික බර දන්නා ඔවුන් [ජාමූඅ සහ ලෝක බැංකුව], රාජ්‍ය නය අඩු කිරීම සඳහා වානිජ සහ පුද්ගලික නය දෙන්නන්ට බල කරනුවස් ඇඟිල්ලක් හෝ ඔසවා නැත.”

ගෝලීය දකුනේ රටවල් සඳහා “ගැඹුරු, පුලුල් සහ ක්ෂනික නය අහෝසි කිරීමක්” සඳහා ඇය මෙම නිෂ්ඵල ආයාචනය කලාය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට හෝ ලෝක බැංකුවට හෝ එක්සත් ජනපදයට සහ ඔවුන් පිටුපසින් සිටින අනෙකුත් ප්‍රධාන බලවතුන්ට දුප්පත් රටවල මහජනතාවගේ දුක්ඛිත තත්වය ගැන අංශු මාත්‍රයක හෝ සැලකිල්ලක් නොමැත. ඒ වෙනුවට ඒවා ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ ලාභ අවශ්‍යතා බලාත්මක කිරීමේ උපකරන වේ.

වික්‍රමසිංහ තන්ත්‍රය නිසැකවම ජාමූඅ සහ එහි නය හිමියන්ගේ ඉල්ලීම්වලට හිස නමනු ඇත. ජාමූඅ කප්පාදු න්‍යාය පත්‍රය ක්‍රියාවට නැංවීමට හැකි සෑම දෙයක්ම කරමින්, කම්කරුවන්ගේ හා දුගීන්ගේ ප්‍රතිරෝධය නිර්දය ලෙස මර්දනය කරන බව, එය නැවත නැවතත් පෙන්නුම් කර ඇත.

කොලඹ ආන්ඩු විසින් විදේශ නය ලබා ගත්තේ කිසිවිටෙක ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ජීවන තත්වය උසස් කිරීමට නොවේ. දෙමල සුලුතරය මර්දනය කිරීමටත්, කම්කරු පන්තිය වාර්ගික රේඛා ඔස්සේ බෙදීමටත්, බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි 26 වසරක කුරිරු යුද්ධයට අරමුදල් සැපයීමට දැවැන්ත නය ලබා ගන්නා ලදී.

ශ්‍රී ලංකාවේ ආන්ඩු, දශක ගනනාවක් පුරා, 16 වතාවක් ඇප නය ලබාගෙන ඔවුන්ගේ දැඩි කප්පාදු පිලිවෙත් පනවා ඇත. ඇත්ත වශයෙන්ම, වික්‍රමසිංහ විසින් සාකච්ඡා කරන ලද සහ සමස්ත දේශපාලන සංස්ථාපිතය විසින් එකඟ වූ මෙම 17 වන ඇප නය රඳා පවතින්නේ එහි දන්ඩනීය කොන්දේසි වලට සම්පූර්නයෙන්ම අනුකූල වීම මත ය.

එහෙත් මූල්‍ය ප්‍රාග්ධනයට රට කොල්ලකෑම දිගටම කරගෙන යා හැකි වන පරිදි කම්කරුවන්, තරුනයන් සහ දුගීන්—ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් මන්දපෝෂනයට මුහුන දෙති—තම රැකියා, වැටුප් සහ සමාජ කොන්දේසි කැප කල යුත්තේ ඇයි? කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්විය යුතු අතර ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරයේ දිගු කලක් තිස්සේ පැවත එන ඉදිරිදර්ශනයක් වන සියලුම විදේශ නය ආපසු ගෙවීම ප්‍රතික්ෂේප කිරීම සඳහා සටන් කල යුතුය.

1905 දී, ලියොන් ට්‍රොට්ස්කි විසින් සභාපතිත්වය දැරූ පීටර්ස්බර්ග් කම්කරු නියෝජිත සෝවියට් සභාව ගොඩනැගුනේ, රුසියාව පුරා විප්ලවවාදී ව්‍යාපාරයකිනි. ට්‍රොට්ස්කි විසින් ලියන ලද සහ සමාජවාදී සහ ලිබරල් පුවත්පත් අටක ප්‍රකාශයට පත් කරන ලද සෝවියට් ප්‍රකාශනය, සියලු විදේශ නය ආපසු ගෙවීම ප්‍රතික්ෂේප කලේය.

එය මෙසේ ප්‍රකාශ කලේය: “ආඥාදායකත්වය කිසි විටෙක ජනතාවගේ විශ්වාසය භුක්ති නොවිඳින අතර ජනතාව විසින් කිසි විටෙක එවන් අධිකාරිත්වයක් ලබා දුන්නේ නැත. මේ වන විට ආන්ඩුව තම රටේ දේශසීමා තුල හැසිරෙන්නේ තමන් යටත් කරගත් භූමියක් පාලනය කරන්නාක් මෙනි. සාර්වාදී ආන්ඩුව සමස්ත ජනතාව සමඟ විවෘත යුද්ධයක යෙදී සිටියදී, එය විසින් ලබාගත් නය ආපසු ගෙවීමට ඉඩ නොදීමට අපි තීරනය කලෙමු.”

සාර්වාදී තන්ත්‍රය විප්ලවය තලා දැමූ බැවින් යෝජනාව ක්‍රියාවට නැංවිය නොහැකි වූ මුත්, 1917 ඔක්තෝබර් විප්ලවයෙන් රුසියානු කම්කරු පන්තිය බලය ගෙන නිර්ධන පංතියේ ආඥාදායකත්වය ස්ථාපිත කිරීමෙන් පසුව, 1918 දී විදේශ නය ප්‍රතික්ෂේප කිරීම ක්‍රියාත්මක විය.

මෙම ඓතිහාසික පාඩම් මත පදනම්ව, සමාජවාදී සමානතා පක්ෂය (සසප) විදේශ නය සම්පූර්නයෙන්ම ප්‍රතික්ෂේප කිරීම සඳහා අඛන්ඩව උද්ඝෝෂන කර ඇත. ශ්‍රී ලංකාවේ මහජන නැගිටීම ආසන්නයේ 2022 අප්‍රේල් 7 වැනි දින සසප ප්‍රකාශයේ සඳහන් වූ පරිදි:

“සියලු විදේශ නය ප්‍රතික්ෂේප කරනු! ජාත්‍යන්තර බැංකු හා මූල්‍ය ආයතන නියෝජනය කරන ජාමූඅ හා ලෝක බැංකුවේ කප්පාදු නියෝගයන් ප්‍රතික්ෂේප කරනු!

“රාජපක්ෂ ආන්ඩුව එහි කටුක කප්පාදු පියවරයන් යුක්තියුක්ත කරනුයේ, ගෝලීය බැංකු වෙත බිලියන ගනන් ඩොලර් ආපසු ගෙවීමේ අවශ්‍යතාව මතු කරමිනි. විරුද්ධ පක්ෂ ද මෙයට එකඟ වෙති. මේ වසරේ දී ජාත්‍යන්තර බැංකුවල පෙට්ටගම් වෙත එක්සත් ජනපද ඩොලර් බිලියන 7ක් ගෙවීම වෙනුවට, වැඩකරන ජනයාට අවශ්‍ය ආහාර, ඉන්ධන, ඖෂධ හා අනෙකුත් අත්‍යවශ්‍ය භාන්ඩ සඳහා ගෙවීමට එම මුදල් යොදාගත යුතු ය.”

රුසියානු විප්ලවවාදී කම්කරුවන් 1905 දී කලාක් මෙන්, ශ්‍රී ලංකාවේ සහ දැවැන්ත ජාත්‍යන්තර නයවලට මුහුන දෙන සියලුම රටවල කම්කරු පන්තිය සහ ග්‍රාමීය හා නාගරික ජනතාව විදේශ නය ආපසු ගෙවීම ප්‍රතික්ෂේප කල යුතුය.

මෙම ඉල්ලීම සඳහා වන අරගලය, කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ ප්‍රධාන සමාගම්, වතු සහ බැංකු ජනසතු කිරීම ඇතුලත් සමාජවාදී වැඩපිලිවෙලේ අනිවාර්ය අංගයක් විය යුතුය.

මෙම සමාජවාදී ඉදිරිදර්ශනය සාක්ෂාත් කර ගත හැක්කේ, සියලු ධනේශ්වර පක්ෂ හා වෘත්තීය සමිති වලින් ස්වාධීනව කම්කරු පන්තිය බලමුලු ගැන්වීමෙන් සහ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටන් කරනුවස් ඔවුන්ගේ ජාත්‍යන්තර පන්ති සහෝදර සහෝදරියන් සමග එකමුතුවෙන් ගම්බද දුගීන් පෙල ගැස්වීමෙන් පමනි.

Loading