ඉදිරිදර්ශන

2024 මැයි දිනය: කම්කරු පන්තිය සහ අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි අරගලය

මැයි 5 ඉරිදා පැවැත් වුනු 2024 ජාත්‍යන්තර මැයි දින ඔන්ලයින් රැලියට ලෝක සමාජවාදී වෙබ් අඩවි කර්තෘ මන්ඩල සභාපති ඩේවිඩ් නෝර්ත් විසින් ඉදිරිපත් කෙරුනු දේශනය පහත පල වේ.

මැයි දින රැලියේ වීඩියෝව. සිංහල උපසිරැසි සඳහා වීඩියෝව දකුනු පස පහල කෙලවරේ දැති රෝද ලකුන ක්ලික් කර උපසිරැසි යටතේ සිංහල භාෂාව තෝරා ගන්න.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව කම්කරු පන්තියට ක්‍රියාත්මක වීමට කැඳවුමක් සමඟින් අද මැයි දින සැමරුම ආරම්භ කරන්නේ මානව සංහතිය ගෝලීය ව්‍යසනයකට ගෙන යන අධිරාජ්‍යවාදී ආන්ඩුවල සාපරාධී ප්‍රතිපත්ති වලට එරෙහිවයි.

කම්කරු පන්තිය ගාසා තීරයේ ප්‍රහාරයට ලක් ව සිටින ජනතාවගේ ආරක්ෂාවට ඉදිරිපත් ව, අධිරාජ්‍යවාදයේ සහාය ඇතිව බෙන්ජමින් නෙතන්‍යාහුගේ නාසි පන්නයේ ආන්ඩුව ගෙන යන ජන සංහාරක යුද්ධය අවසන් කිරීමට තම බලය යෙදිය යුතු වෙයි.

ගාසා ජන සංහාරයට එරෙහි අරගලය, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සහ එහි නේටෝ සහචරයින් ඉවක් බවක් නොමැති ව රුසියාවට එරෙහි යුද්ධය උත්සන්න කිරීමට සහ ඉරානයට හා චීනයට එරෙහි යුද්ධය සූදානම් කිරීමට එරෙහි ගෝලීය ව්‍යාපාරයක අවශ්‍යතාවය සමග වෙන් කල නොහැකි ලෙස සම්බන්ධ බව ජාත්‍යන්තර කම්කරු පන්තිය විසින් හඳුනාගත යුතු වන්නේ ය. අධිරාජ්‍යවාදී බලවතුන්ගේ භූ-දේශපාලනික අවශ්‍යතා වෙනුවෙන් ලක්ෂ සංඛ්‍යාත යුක්‍රේනියානු ජීවිත ම්ලේච්ඡ ලෙස බිලි දීම නතර කල යුතුයි.

පොලිස් කැරලි මර්දන භටයින්ගේ ප්‍රහාරවලට ගොදුරු ව සිටින එක්සත් ජනපදය පුරා විශ්ව විද්‍යාල සහ විද්‍යාලවල ශිෂ්‍ය තරුනයින් ආරක්ෂා කිරීමට ඇමරිකානු කම්කරුවන් පියවර ගත යුතු ය. ජන සංහාරයට එරෙහි විරෝධතාකරුවන්ට ප්‍රහාරයක් එල්ල වෙන සෑම රටක ම කම්කරුවන් මත මෙම වගකීම පවතී.

සෑම කල්හි ම වූවාක් මෙන් අද දින ද දක්ෂිනාංශික ධනේශ්වර දේශපාලනයේ වෙලඳ ලකුන ද සමාජවාදයට එරෙහි ධනපති පන්ති යුද්ධයේ ආයුධයක් ද වන යුදෙව් විරෝධවාදය ජන සංහාරයට එරෙහි විරෝධතා සමග අනන්‍ය කිරීමේ මඩ අවලාද ජාත්‍යන්තර කමිටුව හෙලා දකියි.

ජාත්‍යන්තර කමිටුව ජූලියන් අසාන්ජ් සිරභාරයෙන් වහා ම නිදහස් කිරීම සඳහා වන තම කැඳවුම අලුත් කරයි. ඔහුගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි කුමන්ත්‍රනය නතර කල යුතුයි.

ඒ සමග ම, ජාත්‍යන්තර කමිටුව බොග්ඩාන් සයිරොටියුක් සහෝදරයා නිදහස් කිරීමට බල කිරීමට ගෝලීය උද්ඝෝෂනයක් කැඳවුම් කරයි. ඔහු යුක්‍රේනයේ යුද්ධයේ සමාජවාදී විරුද්ධවාදියෙකි. යුක්‍රේන හා රුසියානු කම්කරු පන්තියේ එකමුතුව සඳහා සටන් වැදුනු ඔහු පසුගිය සතියේ ෆැසිස්ට්වාදී සෙලෙන්ස්කි ආන්ඩුව විසින් අත්අඩංගුවට ගනු ලැබුනි.

බොග්ඩාන් සයිරොටියුක්

වසර දහයකට පෙර, ජාත්‍යන්තර කමිටුව තම ප්‍රථම ඔන්ලයින් මැයි දින සැමරුම පැවැත් වීය. එම අවස්ථාවේදී, අපි ලෝක ධනවාදයේ තත්වය පිලිබඳ පහත විස්තරය ඉදිරිපත් කලෙමු:

“සමාජයේ දේශපාලන සංවිධානය වඩ වඩාත් සාපරාධී ලෙස උන්මත්තකයින් සඳහා තැනුනු සිරගෙයක ව්‍යුහය අත් කර ගනියි. එහෙත් මෙම ගෝලීය සිරගෙය තුල, බන්ධන ගත කර ඇත්තේ, සමාජයේ අතිමහත් බහුතරය වන සිහි බුද්ධිය ඇති ජනයා ය. ‌උන්මත්තකයෝ - එනම් ධනේශ්වර දේශපාලකයෝ, රාජ්‍ය ඔත්තු සේවාවන්හි වෘත්තීය මිනීමරුවෝ, මහා සංගතයන්හි මැර කල්ලි, යෝධ මූල්‍යමය වංචනිකයෝ - සිරගේ තාප්ප වටා තුවක්කු අතැතිව මුර සංචාරය කරති.”

එම මැයි දින සැමරීම 2014 දී, එක්සත් ජනපදය හා ජර්මනිය විසින් මෙහෙයවනු ලැබූ කියෙව්හි මයිඩාන් කුමන්ත්‍රනයෙන් මාස තුනකට පසුව පැවැත් වුනි. මෙම සිදුවීම මැයි දින රැස්වීමේදී තක්සේරු කරමින්, ජාත්‍යන්තර කමිටුව මෙසේ ප්‍රකාශ කලේ ය:

“මෙම කුමන්ත්‍රනයේ අරමුන, යුක්‍රේනය එක්සත් ජනපදය හා ජර්මන් අධිරාජ්‍යවාදයේ සෘජු පාලනය යටතට ගෙන එන තන්ත්‍රයක් බලයට පත්කිරීම ය. වොෂින්ටනයේ හා බර්ලිනයේ සිටින කුමන්ත්‍රනකරුවෝ, මෙම කුමන්ත්‍රනය රුසියාව සමග ගැටුමක් කරා මෙහෙයවෙන බව දැන සිටියහ. සැබවින්ම ගැටුමක් වලක්වා ගැනීමට උත්සාහ කිරීම වෙනුවට එක්සත් ජනපදය හා ජර්මනිය යන දෙරටම, බොහෝ ඈතට විහිද යන සිය භූදේශපාලනික අවශ්‍යතා ඉටුකර ගැනීම පිනිස රුසියාව සමග ගැටුමක් අවශ්‍ය බව විශ්වාස කරති.

හිට්ලර්ගේ තුන්වන රීකය අවධියේ සිදුකරන ලද කියා නිමකල නොහැකි අපරාධ හමුවේ මිලිටරි කටයුතු පිලිබඳව එරටට පනවා ඇති සීමාවන් බිඳ දමන කඩතුරාවක් ලෙස රුසියාව සමග ගැටුම ජර්මානු අධිරාජ්‍යවාදීන් විසින් සාදරයෙන් පිලිගනු ඇත.”

එක්සත් ජනපදයේ භූමිකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර කමිටුව මෙසේ අනතුරු ඇඟවී ය:

“ඇමරිකානු විදෙස් පිලිවෙත ක්‍රියාවට නැගීමේදී අසාමාන්‍ය මට්ටමක අදූරදර්ශී කමක් පෙන්නුම් කරයි. වොෂින්ටනය විසින් අවුලුවනු ලබන එක් හෝ තවත් ගැටුමක්, එක්සත් ජනපදයට මෙන්ම සමස්ත ග්‍රහ ලෝකයටම විනාශකාරී ප්‍රතිවිපාක ගෙන එමින් පාලනයෙන් ගිලිහී යා හැකිය. අවදානම් සීමාවට ලඟාවිය හැකි වොෂින්ටනයේ අදූරදර්ශී කම අවසාන විග්‍රහයේ දී ප්‍රකාශයට පත් වන්නේ, ඇමරිකානු ධනවාදයේ ආන්තික අර්බුදය ලෙසින් ය.

වොෂින්ටනයේ අධිරාජ්‍යවාදී මූලෝපායඥයෝ, ඇමරිකානු ධනවාදයේ ගෝලීය ආර්ථික තත්වයෙහි දිග්ගැස්සෙන පරිහානිය වලක්වා ගැනීමේදී, යුද්ධයේ යාන්ත්‍රනය හැරෙන්නට යොදාගත හැකි වෙනත් මාධ්‍යයක් නොදකිති. වඩාත්ම මෑත වාර්තා වලට අනුව 2014 අවසන් වන විට චීනය, ලෝකයේ ලොකුම ආර්ථිකය ලෙස සලකන එක්සත් ජනපදය අභිබවනු ඇතැයි යන කාරනය, තමන්ට වාසි සහගත ලෙස බල තුලනය මාරු කිරීම සඳහා මිලිටරි ශක්තිය යොදාගැනීමට වන වොෂින්ටනයේ නැඹුරුව තවත් වැඩි කරනු ඇත.”

පසුගිය දශකයේ සිදුවීම් ජාත්‍යන්තර කමිටුව විසින් ඉදිරිපත් කරන ලද විශ්ලේෂනය මුලුමනින්ම සනාථ කර ඇත. නමුත් අපගේ විශ්ලේෂනය තහවුරු වීම අපව ම පසසා ගැනීමට හේතුවක් නොවේ. වසර 10 කට පෙර කල විශ්ලේෂනය ඉදිරිපත් කලේ අනතුරු ඇඟවීමක් ලෙසයි. නමුත් අප අනතුරු ඇඟවූ දෙය අද යථාර්ථයක් බවට පත් වී ඇත. එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සහ එහි නේටෝ සහචරයින් සැලසුම් කර කුපිත කරන ලද වක්‍ර යුද්ධය රුසියාවට එරෙහි තථ්‍ය විවෘත ගැටුමක් බවට පත් ව ඇත. බයිඩන් පරිපාලනය විසින්, 'රතු ඉරි', එනම් ඉක්මවා ගිය හොත් න්‍යෂ්ටික යුද්ධයක් දෙසට වේගයෙන් උත්සන්න වීමට තුඩු දිය හැකි සීමාවන්, නොසලකා හැර දමා ඇත.

ජර්මන් ලෙපර්ඩ් 2 ප්‍රධාන යුධ ටැංකි යුක්රේනයට යන ගමන්. [ඡායාරූප: Bundeswehr] [Photo: Bundeswehr]

සැබෑ යුද උමතුවකින් ලෝක අධිරාජ්‍යවාදයේ නායකයන් වෙලා ගෙන ඇත. දි එකොනොමිස්ට් සඟරාවේ මේ සතියේ පල වූ සම්මුඛ සාකච්ඡාවක දී, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් නැවතත් අවධාරනය කරන්නේ නේටෝව යුක්‍රේනය තුලට තම හමුදා යෙදවීම බැහැර නොකල යුතු බවයි: “ආක්‍රමනිකයා සීමාවකින් තොර ව ක්‍රියාත්මක වෙද්දී අපි අපට සීමා පනවා ගෙන ඕනෑවට වඩා දෙගිඩියාවෙන් සිටිමු” යැයි ඔහු එහි දී පැවසී ය.

දේශපාලන නායකයින් සහ මාධ්‍ය පන්ඩිතයන්, ඉතා සැහැල්ලුවෙන්, න්‍යෂ්ටික යුද්ධයක් ගැන සඳහන් කරන්නේ පිලිගත හැකි මූලෝපායික විකල්පයක් ලෙසයි. අප්‍රේල් 24 වැනි දා නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතේ පල වූ ලිපියක් රුසියානු දේශසීමාවේ දැවැන්ත නේටෝ හමුදා අභ්‍යාස ගැන වාර්තාවක් ඉදිරිපත් කරමින් බරක් පතලක් නැති ආකාරයෙන් රුසියාවට එරෙහි යුද්ධයක් සමපේක්ෂනය කලේ ය:

'නේටෝව සහ රුසියාව යුද්ධයකට ගියහොත්, රුසියානු හමුදාවන්ගේ විනිවිද යාම වලක්වනුවස්, ඇමරිකානු සහ මිත්‍ර හමුදා ආරම්භයේ දී නේටෝවේ 'නැගෙනහිර පැත්තේ' පිහිටි එස්තෝනියාව, ලැට්වියාව සහ ලිතුවේනියාව ආදී බෝල්ටික් රටවල් වෙත කඩා පනිනු ඇත.

එම යුද්ධය අවසන් වන්නේ කෙසේ ද සහ කී දෙනෙක් මිය යා හැකි ද යන්න වෙන ම කතාවකි. දෙවන ලෝක යුද්ධයේදී මිලියන දස දහස් ගනනක් මිය ගියහ. මේ වතාවේ ඊට වැඩි දෙයක් පරදුවට තැබී ඇත. මීට වසර දෙකකට පෙර රුසියාව යුක්‍රේනය ආක්‍රමනය කල දා සිට කිහිප වතාවක්ම පුටින් මහතා න්‍යෂ්ටික යුද්ධයේ විභවය මතු කර ඇත.”

රුසියාව සමග ව්‍යසනකාරී ගැටුමක අන්තරාය අඩු කිරීමට උත්සාහ කරනවාට වඩා, බයිඩන් පරිපාලනය සහ නේටෝව නිර්දය ලෙස ගැටුම උත්සන්න කරමින් සිටියි. නේටෝවේ මිලිටරි අභ්‍යාස පිලිබඳ වාර්තාවෙන් දිනකට පසුව නිව් යෝර්ක් ටයිම්ස් සිය පාඨකයන්ට දැනුම් දුන්නේ:

'අලුතින් ලබා දුන් දිගු දුර මිසයිල පද්ධතියක් නිසා, ක්‍රිමියාව අල්ලාගෙන සිටින රුසියානු හමුදාවන් වඩාත් ඵලදායි ලෙස ඉලක්ක කර ගැනීමට යුක්‍රේන හමුදාවන්ට හැකියාව ලැබෙනු ඇතැයි, ජ්‍යෙෂ්ඨ පෙන්ටගන් නිලධාරියෙක් බ්‍රහස්පතින්දා පැවසී ය.

යුක්‍රේනයට දිගු දුර මිසයිල පද්ධති 100 කට වඩා යැවීමට පෙබරවාරි මාසයේ දී ජනාධිපති බයිඩන් ගත් තීරනය ප්‍රධාන ප්‍රතිපත්තිමය වෙනසක් විය.”

මෙම “ප්‍රධාන ප්‍රතිපත්ති මාරුවේ” නොසැලකිලිමත්කම කියා නිම කල නොහැක. එක්සත් ජනපදය හා එහි නේටෝ සහචරයින් ලබා දුන් ආයුධවලින් රුසියාව තුලට එල්ල කරන ප්‍රහාර සම්බන්ධයෙන් ඇමරිකාව සහ නේටෝව වගකිව යුතු බවට පුටින් ආන්ඩුව නොසලකනු ඇතැයි මහජනතාව විශ්වාස කරනු දැකීමට බයිඩන් පරිපාලනය කැමති ය.

එහෙත් පුටින්, 1962 කියුබානු මිසයිල අර්බුදයේ දී ජනාධිපති ජෝන් එෆ් කෙනඩි පිහිට වූ උදාහරනය අනුගමනය කරමින්, නේටෝව ලබා දුන් මිසයිලවලින් යුක්‍රේනය රුසියාවට එල්ල කරන ප්‍රහාරයක්, නේටෝව තමන්ට එල්ල කරන ඍජු ප්‍රහාරයක් යයි සලකා නේටෝ රටවලට පූර්න පරිමාන ප්‍රතිප්‍රහාරයක් එල්ල කලහොත් සිදු වන්නේ කුමක් ද?

'යුක්‍රේනයේ ජයග්‍රහනය' හඹා යාමෙන් අදහස් වන්නේ න්‍යෂ්ටික යුද්ධයේ අවදානම බවත්, රුසියාව සමග ගැටුම න්‍යෂ්ටික අතට හැරුනොත් තම රටවලට සහ ලෝකයට කුමක් සිදුවේද යන්නත් අවශ්‍ය විස්තර සහිතව ජනතාවට පැහැදිලි කිරීමට බයිඩන් සහ ඔහුගේ නේටෝ සගයන්ට ලැබී ඇති අවසන් කාලය මෙයයි.

කාසල් බ්රාවෝ එක්සත් ජනපදය එතෙක් මෙතෙක් අත්හදා බැලූ වඩාත් ම බලගතු තාපන්යෂ්ටික අවිය [Photo: USAs føderale regjering]

1950 සහ 1960 ගනන්වල එක්සත් ජනපද රජය විසින් කරන ලද විද්‍යාත්මක අධ්‍යයනයන් මත පදනම් ව තාප න්‍යෂ්ටික යුද්ධයේ ප්‍රතිඵලය කුමක් වේවි ද යන්න ඇත්ත වශයෙන්ම බයිඩන් පරිපාලනය හොඳින් දත්තකි. 2015 පෙබරවාරි මාසයේදී, ද බුලටින් ඔෆ් ඇටොමික් සයන්ටිස්ට් “කිලෝටොන් 800ක න්‍යෂ්ටික යුධ-හිසක් මෑන්හැට්න් නගරයට ඉහලින් පුපුරුවා හැරියොත් සිදු වන්නේ කුමක් ද?” යන මැයෙන් ලිපියක් ප්‍රකාශයට පත් කලේ ය. එම ලිපියේ කොටස් කිහිපයක් පහත දැක්වේ:

“එහි පිපිරුම් තරංගයෙන් ඇති වන හානිය උපරිම කිරීමට යුද ශීර්ෂය නගරයට සැතපුමකට වඩා මඳක් ඉහලින් පුපුරුවා හරිනු ඇත. පිපිරවීමෙන් පසු තත්පරයෙන් මිලියන දශම කිහිපයක් ඇතුලත, යුධ ශීර්ෂයේ කේන්ද්‍රය ෆැරන්හයිට් අංශක මිලියන 200 ක පමන (සෙල්සියස් අංශක මිලියන 100ක් පමන), නැතහොත් සූර්යයාගේ කේන්ද්‍රයේ උෂ්නත්වය මෙන් හතර පස් ගුනයක් පමන වන උෂ්නත්වයකට ලඟා වනු ඇත.

මුලින් පැයට සැතපුම් මිලියන ගනනක වේගයෙන් පිටතට ව්‍යාප්ත වන අධි-තප්ත වායු බෝලයක් නිර්මානය වෙනු ඇත. එය අවට වාතය මත වේගයෙන් චලනය වන පිස්ටනයක් ලෙසින් ක්‍රියා කරමින් ගිනිබෝලයේ වාටි මත වාතය සම්පීඩනය කරමින් ප්‍රමානයෙන් සහ බලයෙන් දැවැන්ත වූ කම්පන තරංග නිර්මානය කරනු ඇත. …

ගිනි බෝලය ඊට කෙලින්ම පහලින් ඇති ව්‍යුහයන් වාෂ්ප කරමින් දැවැන්ත පිපිරුම් තරංගයක් සහ අධිවේගී සුලං ඇති කරයි, බිම් ශුන්‍යයේ (බෝම්බය පුපුරා ගිය තැන සිට කෙලින් ම පොලව මත ලක්ෂ්‍ය) සිට සැතපුම් කිහිපයක් අවට දැඩි ලෙස ඉදිකරන ලද කොන්ක්‍රීට් ව්‍යුහ පවා විනාස කර දමනු ඇත. …

එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ල, ග්‍රෑන්ඩ් සෙන්ට්‍රල් ස්ටේෂන්, ක්‍රයිස්ලර් ගොඩනැගිල්ල සහ ශාන්ත පැට්‍රික් ආසන දෙව්මැදුර ආදි බිම් ශුන්‍යයේ සිට සැතපුම් භාගයක සිට හතරෙන් තුනක් පමන දක්වා වපසරියක ගිනි බෝලයෙන් ලැබෙන ආලෝකයෙන් වීදිවල තාර උනු කර දමනු ඇත; බිත්තිවල තීන්ත පුලුස්සා, ලෝහ මතුපිට උනු කරනු ඇත. මේ සියල්ල පිපිරීමෙන් තත්පර භාගයක් ඇතුලත සිදු වනු ඇත. තත්පරයකට පමන පසුව, පිපිරුම් තරංගය සහ පැයට සැතපුම් 750 ක සුලං පැමින ගොඩනැගිලි සමතලා කරමින් සහ සුලිකුනාටුවක හසු වූ ගස්කොල මෙන් ගිනි ගෙන දැවෙන මෝටර් රථ අහසට ගසා ගෙන යනු ඇත. නගරයේ මිඩ්ටවුන් ප්‍රදේශය පුරා, ගිනි බෝලය පෙනෙන මානයේ වාහන සහ ගොඩනැගිලිවල අභ්‍යන්තරය ගින්නෙන් පිපිරෙනු ඇත. …

බිම් ශුන්‍යයේ සිට සැතපුම් දෙකක දුරින් පිහිටි මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරය, එහි සියලු අතිවිශිෂ්ට ඓතිහාසික වස්තු සමග, මැකී යනු ඇත. බිම් ශුන්‍යයේ සිට සැතපුම් දෙකහමාරක්, ඈතින් මෑන්හැටන් පිට නගරයේ පිහිටි ඊස්ට් විලේජ් සහ ස්ටුයිවෙසන්ට් නගරවලට ගිනි බෝලය දහවල් කාලයේ කාන්තාර සූර්යයාට වඩා 2,700 ගුනයක දීප්තියෙන් දිස් වනු ඇත. …

මිනිත්තු දහයක් ඇතුලත, මෑන්හැටන් මිඩ්ටවුන් සීමාවේ සිට සැතපුම් පහක් හෝ හතක් ඇතුලත සියල්ල යෝධ ගිනි කුනාටුවකින් ගිලී යනු ඇත. ගිනි කලාපය වර්ග සැතපුම් 90 සිට 152 දක්වා (වර්ග කිලෝමීටර් 200 සිට 389 දක්වා) මුලු භූමි ප්‍රමානයක් ආවරනය කරනු ඇත. ගිනි කුනාටුව පැය තුනක් හෝ හයක් පුරා පැතිරෙනු ඇත. …

වීදි ඔස්සේ පැන යාමට උත්සාහ කල අය ගිනි දැලින් යුතු සුලි කුනාටුවලින් ගිනිබත් වී ඇත. …

ගින්න මුලු ජීවය ම සහ අනෙක් සියල්ල පාහේ විනාශ කරනු ඇත. ක්ෂනික විනාශයේ ප්‍රදේශයේ සිට සැතපුම් දස දහස් ගනනක් ඈතට, පුපුරා යාමෙන් පැය කිහිපයක් ඇතුලත විකිරනශීලී පතනය පටන් ගනී. නමුත් එය වෙනත් කතාවකි.”

මෑන්හැටන් මත තනි න්‍යෂ්ටික යුධ හිසක බලපෑම පිලිබඳ මෙම විස්තරය සමපේක්ෂනයක් නොවේ. එය න්‍යෂ්ටික පිපිරීමක බිහිසුනු බලපෑම නිවැරදිව නිරූපනය කරයි. එසේ තිබියදීත්, න්‍යෂ්ටික යුද්ධයක් ඇතිවීමේ හැකියාවෙන් නේටෝව බිය ගැන්වී සීමා නොවිය යුතු බවට, එක්සත් ජනපද සහ යුරෝපීය නායකයන් සහ ඉහල පෙලේ හමුදා නිලධාරීන්, මාධ්‍ය ගිරවුන් ප්‍රකාශ ගනනාවක් සිදු කර ඇත. මෙයින් අදහස් වෙන්නේ න්‍යෂ්ටික බෝම්බ සතු බලවතුන් අතර ගැටුමකට එම න්‍යෂ්ටික අවි බලය ම බාධාවක් ලෙස ක්‍රියාත්මක වන බවට දිගුකාලීන ව පැවති අදහස තවදුරටත් වලංගු නොවන බවයි.

මෙම වැලැක්වීමේ මූලධර්මය ප්‍රතික්ෂේප කරන ප්‍රකාශ බැරෑරුම් ලෙස සලකන්නේ නම් (ඒවා එලෙස සැලකිය යුතුයි) ග්‍රහලෝකයේ ඉරනම තීරනය කල හැකි තීරන ගන්නේ උන්මත්තකයින් බවට නිගමනයට එලඹීම කෙනෙකුට මග හැරිය නොහැකි වනු ඇත. කෙසේ වෙතත්, මෙය ප්‍රමානවත් පැහැදිලි කිරීමක් නොවේ. එය නිවැරදිද නොවේ. බයිඩන්, සුනැක්, මැක්‍රොන් සහ ෂෝල්ස් උමතු පුද්ගලයන් නෙමෙයි. ඔවුන්ව හඳුනා ගත යුත්තේ මානුෂීය විසඳුම් තියා ප්‍රගතිශීලී, සමාජීය වශයෙන් තාර්කික විසඳුම් හෝ සොයා ගත නොහැකි තරමට අර්බුදග්‍රස්ත ධනේශ්වර ක්‍රමයක නායකයන් වශයෙනි.

නූතන අධිරාජ්‍යවාදය, යුද්ධය හා ආඥාදායකත්වය කරා ගෙන යන එහි කොල්ලකාරී ස්වභාවය, 1914 දී පලමු අධිරාජ්‍යවාදී ලෝක යුද්ධය පුපුරා යාමට පෙර පටන් පවා, දිගු කලක් තිස්සේ මාක්ස්වාදී විශ්ලේෂනයේ විෂය වී ඇත. 1910 කෝපන්හේගන්හි පැවති ජාත්‍යන්තර සමාජවාදී සම්මේලනයේ නියෝජිතයෝ පහත සඳහන් යෝජනාව සම්මත කලහ:

“වර්තමානයේ යුද්ධ ධනවාදයේ ප්‍රතිඵලයකි. විශේෂයෙන්ම ලෝක වෙලඳපොලවල් සඳහා ධනේශ්වර රාජ්‍යයන්ගේ බාහිර තරඟකාරී සටනේත්, අභ්‍යන්තර කටයුතුවල දී ධනේශ්වර පන්ති ආධිපත්‍යයේ ප්‍රධාන මෙවලම වන මිලිටරිවාදයේත්, කම්කරු පන්තිය ආර්ථික හා දේශපාලන වශයෙන් මර්දනයේත් ප්‍රතිඵලයකි. යුද්ධය සම්පූර්නයෙන් ම නතර වනු ඇත්තේ, ධනේශ්වර ආර්ථික පර්යාය අහෝසි වූ විට පමනි.”

ලියොන් ට්‍රොට්ස්කි [ඡායාරූපය: ලෝසවෙඅ]

සමාජවාදී ව්‍යාපාරය විසින් පුරෝකථනය කරන ලද ලෝක යුද්ධය 1914 අගෝස්තු මාසයේ දී පුපුරා ගියේ ය. ලේවැකි ගැටුමේ ඓතිහාසික අර්ථභාරය ට්‍රොට්ස්කි යුද්ධය සහ ජාත්‍යන්තරය (1915) යන තම දීප්තිමත් ලේඛනය තුල මෙසේ පැහැදිලි කලේ ය:

“යුද්ධය ප්‍රකාශිත කරන්නේ ජාතික රාජ්‍යයේ බිඳ වැටීමයි. එහෙත්, එය ඒ සමගම ධනේෂ්වර ආර්ථික පර්යායේ බිඳවැටීම ද සලකුනු කරයි. ජාතික රාජ්‍යය මගින් ධනවාදය සමස්ත ලෝක ආර්ථික පර්යායම විප්ලවීකරනයට භාජන කොට තිබේ. එය සමස්ත භූතලය ම මහා බලවතුන්ගේ කතිපයාධිකාරයන් අතර බෙදා ඇති අතර, මහා ජාතින් අතර ගැටුම තුලින් ජිවිතය ගැටගසා ගන්නා කුඩා ජාතීන් ඒවා වටා කාන්ඩ ගසා ඇත. ධනේශ්වර පදනමක ලෝක ආර්ථිකයේ අනාගත වර්ධනය වනාහි, මේ මිහිතලයෙන් ධනේශ්වර සුරාකෑම සඳහා එන්න එන්න ම පුලුල් වන්නා වූ භූමි භාගයන් අත්කර ගැනීම සඳහා කෙරෙන්නා වූ නිමක් නැති අරගලයයි. යුදවාදයේ ධජය යටතේ පවතින ආර්ථික එදිරිවාදිකම්, මානව ආර්ථිකයේ පාදක මූලධර්මයන් උල්ලංඝනය කරන්නාවූ මංකොල්ලය සහ විනාශය සමග බැඳී පවතී. ලෝක නිෂ්පාදනය කැරලි ගසන්නේ හුදෙක් ජාතික හා රාජ්‍ය බෙදීම මගින් නිර්මානය කර තිබෙන විසංවාදයට එරෙහිව පමනක්ම නොවේ. එය දැන් මුර්ග විසංවිධානයක් හා ව්‍යසනයක් බවට හැරී තිබෙන, ධනේශ්වර - ආර්ථික පර්යායටම එරෙහිව ද වේ.”

ලෝක ආර්ථිකයේ සහ බල තුලනයේ විශාල වෙනස්කම් පසුගිය සියවස තුල ධනේශ්වර ජාතික රාජ්‍යයන් අතර ඇත්ත වශයෙන්ම සිදු වී ඇත. ලෝක ආර්ථිකයේ වර්ධනය හා සංකීර්නත්වය සහ එය පදනම් වී ඇති නිෂ්පාදන බලවේගවල පරිමානය දැවැන්ත ව වර්ධනය වී ඇත. එහෙත් අධිරාජ්‍යවාදී ක්‍රමයේ අර්බුදයේ පරිමානය ද එපමනට ම වැඩී ඇත.

ඇමරිකානු පාලක පන්තිය තම සියලුම විභව ප්‍රතිවාදීන්ට එරෙහිව තම ආධිපත්‍යය ආරක්ෂා කර ගැනීමට සහ සුරක්ෂිත කර ගැනීමට අධිෂ්ඨාන කර ගෙන ඇත. ඔවුන් උඩඟු ලෙස ප්‍රකාශ කරන්නේ තමන් “නීති මත පදනම් වූ පර්යාය” ආරක්ෂා කරන බවයි. ඉන් ඔවුන් අදහස් කරන්නේ: “අපි නීති හදනවා; ලෝකය අපගේ නියෝග පිලිපැදිය යුතුයි.” යනුවෙනි. එක්සත් ජනපදය ආධිපත්‍යය දරන ලෝක පර්යායට තර්ජනයක් ලෙස සැලකෙන රාජ්‍යයන් ඔවුහු හෙලා දකිති. ප්‍රධාන වශයෙන් “පෙරලිකාරී අක්ෂය” ලෙස ඔවුන් හඳුන්වන රුසියාව, ඉරානය, උතුරු කොරියාව සහ, සියල්ලටත් වඩා, චීනය යන රාජ්‍යයන් මෙසේ හෙලා දැකේ. තර්ජනාත්මක සහ සටන්කාමී ස්වරයක් විදේශ ප්‍රතිපත්ති සඟරා පුරා දැකිය හැකි අතර ඒවා ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අරමුනු ප්‍රකාශයට පත් කරයි. මෙම ප්‍රභේදයේ ලාක්ෂනික උදාහරනයක් ලෙස දැක්විය හැකි ලිපියක් ෆොරීන් ඇෆයාර්ස් සඟරාවේ මේ මස මුල දී “ජයග්‍රහනයට ආදේශකයක් නැත: චීනය සමඟ ඇමරිකාවේ තරඟය ජයගත යුතුය; කලමනාකරනය කිරීම නොවේ.” යන මැයෙන් පල කර තිබුනි.

නමුත් ගෝලීය ආධිපත්‍යය කඩා වැටීමට හේතුව ඇමරිකානු ධනවාදයේ ආර්ථික පදනම් පිරිහීම පිලිබඳ යථාර්ථයයි. කාරනය කෙලින්ම කිවහොත්, පිරිහුනු ආර්ථික පද්ධතියක් නොවැලැක්විය හැකි ලෙස මුහුන දී ඇති මූලික ගැටලුවට එය මුහුන දෙයි: එනම්, රාජ්‍ය බංකොලොත් භාවයයි.

1971 දී ජනාධිපති රිචඩ් නික්සන් ඩොලරය සහ රත්‍රන් අතර සම්බන්ධය බිඳ දමද්දී, එක්සත් ජනපද ජාතික නය ඩොලර් බිලියන 398 ක් විය. 1982 දී ජාතික නය ඩොලර් ට්‍රිලියන 1.1 ඉක්මවා ගියේ ය. 2001 වන විට ජාතික නය පස් ගුනයකින් පමන ඩොලර් ට්‍රිලියන 5.8 දක්වා වැඩි විය. 2008 දී, වෝල් වීදිය බිඳ වැටෙන විට එය ඩොලර් ට්‍රිලියන 10 දක්වා වැඩි වී තිබුනි. 2014 දී, අප පලමු ඔන්ලයින් මැයි දිනය සමරද්දී ජාතික නය ඩොලර් ට්‍රිලියන 17.8 දක්වා ලඟා තිබුනි. මෙම අවස්ථාව වන විට, නය වර්ධනය සමාන කල හැක්කේ සුව කල නොහැකි ආකාරයෙන් ඔඩු දිවූ භයානක පිලිකාවකටයි. පසුගිය දශකය තුල ජාතික නය දෙගුනයකින් පමන වැඩි වී එය දැන් ඩොලර් ට්‍රිලියන 33.2 ක් ව තිබේ.

ඇමරිකාවේ ජාතික නයෙහි වර්ධනය [Photo by Wikideas1 / CC BY-ND-NC 1.0]

රාජ්‍ය නය දල ජාතික නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස මනිනු ලබන විට ආර්ථික තත්ත්වය ඊටත් වඩා අවිනිශ්චිත බව පෙනේ. 1971 දී රාජ්‍ය නය දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 35ක් විය. 2001 වන විට එය දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 55 දක්වා ඉහල ගියේ ය. වසර දහයකට පෙර, 2014 දී, රාජ්‍ය නය දල දේශීය නිෂ්පාදිතය තරම් ම විශාල විය. පසුගිය වසර තුල ජාතික නය ඇමරිකානු දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 120 දක්වා ලඟා විය.

එහි ගෝලීය තරඟකරුවන්ට සාපේක්ෂව එක්සත් ජනපද ධනවාදයේ පිරිහීම වෙලඳ ශේෂ සංඛ්‍යා වලින් පැහැදිලිව ම හෙලිදරව් වෙයි. 1971 දී එක්සත් ජනපදය ඩොලර් මිලියන 626 ක කුඩා අතිරික්තයක් වාර්තා කලේ ය. 2001 වන විට එක්සත් ජනපදයේ වාර්ෂික හිඟය ඩොලර් බිලියන 377 දක්වා ලඟා විය. 2014 දී වෙලඳ හිඟය ඩොලර් බිලියන 509 දක්වා ලඟා විය. නිවැරදි මිනුමක් පවතින අවසන් වසර වන 2022 දී, වෙලඳ හිඟය ඩොලර් බිලියන 971 ක් ලෙස ගනන් බලා ඇත. එනම්, ආසන්න වශයෙන් ඩොලර් ට්‍රිලියන 1 කි.

එක්සත් ජනපදය සහ එහි ප්‍රධාන නේටෝ සහචරයින් ඒත්තු ගෙන සිටින්නේ අවසාන විග්‍රහයේ දී තම ආධිපත්‍යය පවත්වා ගත හැක්කේ යුද්ධය හරහා තම තරඟකරුවන් විනාශ කිරීම මත පමනක් බවයි.

යුරේසියාවේ අතිවිශාල හා මූලෝපායික තීරනාත්මක සම්පත් වෙත අධිරාජ්‍යවාදයේ අසීමිත ප්‍රවේශය සාමකාමීව සාක්ෂාත් කරගත නොහැක. බ්‍රිතාන්‍යයේ ෆිනෑන්ෂල් ටයිම්ස් පුවත්පතේ වඩාත්ම නිපුන විචාරකයෙකු ලෙස, ගිඩියොන් රැක්මන් මෑතකදී මෙසේ ලියා ඇත:

“‘බටහිර සන්ධානය’ දැන් යථාර්ථයකි. එය සම්බන්ධිත කලාපීය අරගල මාලාවක නියැලී සිටින ගෝලීය මිත්‍ර ජාලයකි. යුරෝපයේ ප්‍රධාන විරුද්ධවාදියා රුසියාවයි. මැදපෙරදිග කලාපයේ වඩාත්ම කඩාකප්පල්කාරී බලවතා ඉරානයයි. උතුරු කොරියාව ආසියාවේ නිරන්තර අනතුරකි. මොස්කව් හෝ ටෙහෙරානය වෙත ලබා ගත නොහැකි සම්පත් වෙත පිවිසිය හැකි චීනයේ හැසිරීම සහ වාචාලකම වඩාත් ආක්‍රමනශීලී වෙමින් පවතී.”

මේ අනුව, මිලිටරි ගැටුම් න්‍යෂ්ටික ව්‍යසනයක් දෙසට නිර්දය ලෙස උත්සන්න කිරීමට එරෙහි අරගලය කම්කරු පන්තිය මුහුන දෙන බලගතුම කර්තව්‍යය බවට පත් වෙයි. නමුත් මනුෂ්‍යත්වයේ පැවැත්ම රඳා පවතින මෙම අරගලයේ සාර්ථකත්වයට, අධිරාජ්‍යවාදයේ ස්වභාවය පිලිබඳ නිවැරදි තක්සේරුවක් තුල මුල් බැසගත් මූලෝපායක් අවශ්‍ය කෙරේ. පාලක පන්තීන්ට බලපෑම් කර ලෝක ධනවාදයේ ප්‍රතිවිරෝධතාවලට අවිහිංසාවාදී විසඳුමක් පිලිගැනීමට ඒත්තු ගැන්විය හැකි ය යන බලාපොරොත්තුව මත පදනම් වූ සියලුම යුද විරෝධී වැඩසටහන් අධිරාජ්‍යවාදයට එරෙහි අව්‍යාජ මහජන ව්‍යාපාරයක් වර්ධනය වීම අවහිර කරයි.

2020 ජනවාරි මාසයේ කෝවිඩ් වසංගතය පැතිර ගිය දා සිට සමූහ මරනය සහ කායික දුබලතාවයට පත් වීම ගැන ධනපති පන්තියේ නොතැකීම ධනේශ්වර පන්තියේ හෘද සාක්ෂියට ආයාචනා කිරීමේ ඉදිරිදර්ශනය ස්ථිරසාර ලෙස ප්‍රතික්ෂේප කරයි. ධනපති පන්තිය මිනිස් ජීවිතය පිලිබඳ සියලු උත්සුකයන් ආයතනික ලාභ සඳහා සහ පෞද්ගලික ධනය සමුච්චය කිරීමේ නිර්දය ධාවනයට යටත් කලේ ය. එය අතිරික්ත මරන මිලියන 27 ක් වීමට ඉඩ හැරියේ ධනේශ්වර නිෂ්පාදන ක්‍රියාවලිය පවත්වා ගැනීමට ගෙවිය යුතු අත්‍යවශ්‍ය වන්දියක් ලෙසයි.

පැරිසියේ කෝවිඩ්-19 රෝගියෙක්, 2021 අප්‍රේුල් 21 [AP Photo/Lewis Joly]

කෝවිඩ් ගෝලීය වසංගතය බ්‍රිතාන්‍ය ගිල ගනිද්දී, පාලක පන්තියේ ඉදිරිදර්ශනයෙන් මෙම ප්‍රතිපත්තිය එවක බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් විසින් ප්‍රීතියෙන් ප්‍රකාශ කෙරුනේ “මල මිනී කඳු ගැසුනාවේ” යනුවෙනි. ඔවුන් ගෝලීය අවශ්‍යතා ලුහුබැඳීමේදීත් අනුගමනය කරන්නේ මේ ප්‍රතිපත්තියමයි.

පලස්තීනුවන්ට එරෙහිව ඊශ්‍රායල රාජ්‍යය විසින් මුදා හරින ලද ජන සංහාරක ප්‍රචන්ඩත්වය ලොව පුරා කම්කරුවන්ගේ හා තරුනයන්ගේ කෝපය අවුලුවා ඇත. එහෙත් ගාසා තීරයේ ජන සංහාරය සහ රුසියාවට එරෙහි යුද්ධය අධිරාජ්‍යවාදය විසින් මුදා හරින ලද ගෝලීය යුද්ධයේ අන්තර් සම්බන්ධිත පෙරමුනු බව පිලිගත යුතු වේ. මැද පෙරදිග ජෝ බයිඩන් ගේ ජන සංහාරයේ ප්‍රතිපත්ති නියම කරන එම අවශ්‍යතාවන්ම, මධ්‍යම යුරෝපයේ මෙන් ම ආසියාවේ ඔහුගේ පරිපාලනයේ ක්‍රියාවන් තීරනය කරයි.

ඉතිහාසය පෙන්වා දී ඇත්තේ යුද්ධ පැන නංවන ගෝලීය ධනවාදයේ ගැඹුරින් මුල් බැසගත් ප්‍රතිවිරෝධතා ම සමාජ විප්ලවයට ද මග පාදන බවයි. යුද්ධය කිරීමට අවශ්‍ය සම්පත් බලමුලු ගැන්වීමේ ක්‍රියාවලිය සඳහා කම්කරු පන්තියේ ජීවන තත්වයන්ට සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි ඔවුන්ගේ ප්‍රහාර උත්සන්න කිරීමට පාලක ප්‍රභූන්ට බල කෙරේ. මෙය වඩාත් විශාල ප්‍රතිරෝධයකට මුහුන දෙනු ඇත.

නමුත් මෙම ප්‍රතිරෝධය ඓතිහාසික කර්තව්‍යයන්ට සමාන වීම සඳහා විප්ලවවාදී ඉදිරිදර්ශනයක් වර්ධනය කිරීම අවශ්‍ය කෙරෙයි. කම්කරු පන්තියේ දේශපාලන දිශානතියේ දැවැන්ත වෙනස්කම් සඳහා අර්බුදයේ බලපෑම බලවත් ආවේගයක් ලබා දෙනු ඇත. එහෙත් වෛෂයික ක්‍රියාවලීන් දැනුවත් විප්ලවවාදී දේශපාලන ක්‍රියාවක් බවට පරිවර්තනය කිරීමට කම්කරු පන්තියේ මාක්ස්වාදී නායකත්වයක් ගොඩනැගීමට අවශ්‍ය වේ.

මෙය සාක්ෂාත් කර ගන්නේ කෙසේද? දෙවන ලෝක යුද්ධය පුපුරා යාමෙන් ටික කලකට පසු සහ ස්ටැලින්වාදී ඒජන්තයෙකු විසින් ඝාතනය කිරීමට යන්තම් මාස තුනකට පෙර 1940 දී ලියන ලද තම අවසාන සුවිශිෂ්ට ප්‍රකාශනයේ දී, ට්‍රොට්ස්කි යුද්ධයට එරෙහි විප්ලවවාදී අරගලයේ සාරය මෙසේ නිර්වචනය කලා:

“යුද්ධයේ ගමන් මගින් ස්වාධීනව අපි අපගේ මූලික කර්තව්‍යය ඉටු කරන්නෙමු: ලේ පිපාසිත ධනවාදයේ උවමනාකම් හා කම්කරුවන්ගේ අවශ්‍යතාවන් අතර පවත්නා අශමනිය ඝට්ටනය අපි කම්කරුවන්ට පැහැදිලි කර දෙන්නෙමු. අධිරාජ්‍යවාදයට එරෙහිව වැඩ කරන ජනයා බලමුලු ගන්වන්නෙමු. යුදවාදී හා මධ්‍යස්ථ සියලු රටවල කම්කරුවන්ගේ එක්සත්කම පෝෂනය කරන්නෙමු. සෑම රටක ම සොල්දාදුවන්ගේ හා කම්කරුවන්ගේ ද, සටන් පෙරමුනේ ප්‍රතිවිරුද්ධ කඳවුරුවල සොල්දාදුවන් හා සොල්දාදුවන් අතර ද සහෝදරත්වය ගොඩනගා ගත යුතු යයි අපි කැඳවුම් කරන්නෙමු. අපි යුද්ධයට එරෙහිව තරුනයන්ද, කාන්තාවන් ද බලමුලු ගන්වන්නෙමු. විප්ලවය සූදානම් කිරීම සඳහා අපි වෙහෙස නොබලා. එක දිගට, නොනවත්වා වැඩ කරන්නෙමු. …”

මෙම සමාජවාදී ඉදිරිදර්ශනයේ පදනම මත යුද්ධයට එරෙහි අරගලය මෙහෙයවන්නේ ජාත්‍යන්තර කමිටුව පමනි. මෙම අරගලයේ මූලෝපායික පදනම වන්නේ කම්කරු පන්තියේ ජාත්‍යන්තර ඒකාබද්ධතාවයයි. එය සාක්ෂාත් කර ගත හැක්කේ ධනේශ්වර රාජ්‍යයට අශමනීය විරුද්ධත්වයක් දැක්වීම තුලින් පමනයි. මෙම මූලෝපාය විසින් අධිරාජ්‍යවාදයේ කොල්ලකාරී ප්‍රතිපත්තිවලට පමනක් නොව, ප්‍රතිගාමී ජාතිකවාදී ප්‍රතිපත්ති වලටද රුසියාවේ සහ චීනයේ ධනේශ්වර පාලන තන්ත්‍රවලට ද එරෙහි අපගේ විරුද්ධත්වය නිර්නය කෙරෙයි. ට්‍රොට්ස්කි අවධාරනය කල පරිදි හතරවන ජාත්‍යන්තරය, අසමසම විප්ලවවාදී ප්‍රතිවිරෝධයේ පක්ෂයයි. අපි අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි අරගලය ගෙන යන්නේ කිසිදු ධනේශ්වර රාජ්‍යයක් සමග සන්ධානගත නොවී, මුලුමනින් ම, ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක පදනම මත කම්කරු පන්තියේ දේශපාලන බලමුලු ගැන්වීම හරහායි.

බොග්ඩාන් සයිරොටියුක් 2024 අප්‍රේුල් මැද දී

බොග්ඩාන් සයිරොටියුක් සහෝදරයා තමා අත්අඩංගුවට ගැනීමට දින තුනකට පෙර ලියූ, මෙම ඔන්ලයින් රැලියට ඉදිරිපත් කිරීමට ඔහු සැලසුම් කර තිබූ කතාවේ දී මෙසේ සඳහන් කර තිබුනි:

“කම්කරු පන්තියේ ජාත්‍යන්තර සහයෝගීතා දිනයේ, බොල්ෂෙවික්-ලෙනින්වාදීන්ගේ තරුන රැකවලුන් වන අපි, යුක්‍රේනියානු ශාඛාවේ සාමාජිකයින් සහ සමස්ත වයිජීබීඑල් සමග, මෙම යුද්ධය නිමා කිරීමට, අධිරාජ්‍යවාදී රටවල නිර්ධන පංතිය සමඟ යුක්‍රේන හා රුසියානු නිර්ධන පංතිය එක්සත් කිරීම සඳහා කැඳවුම් කර සිටිමු!

සියලුම පැරනි සෝවියට් සමූහාන්ඩු තුල හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛාවන් ගොඩනැගීමට අපි කැඳවුම් කර සිටිමු.

එසේ ම, අපි ලෝක නිර්ධන පංතියට ආරාධනා කරන්නේ ඔබගේ නායකත්වය වන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ධජය යටතේ එක්සත් වන ලෙසයි.

කාල් මාක්ස්ගේ සහ ෆ්‍රෙඩ්‍රික් එංගල්ස්ගේ වචන වඩාත් තීව්‍ර ව රැව් පිලිරැව් දේවා: ‘සකල දේශවාසී නිර්ධනයිනි, එක්වවු!’”

බොග්ඩාන් සහෝදරයාගේ එම වචන, සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය වන හතරවන ජාත්‍යන්තරය ගොඩනැගීමෙන් ධනවාදයට තිත තබා ශිෂ්ටාචාරය විනාශයෙන් ගලවා ගනුවස්, ලොව පුරා කම්කරුවන් හා තරුනයන් දිරි ගන්වනු ඇත.

Loading