විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනයට ශිෂ්‍යයන්ගේ සහය ගොනු කරමු!

පසුගිය මැයි 2 වැනි දා දිවයින පුරා විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් තම වැටුප් ගැටලු අරභයා ආරම්භ කල වැඩ වර්ජනය දැන් සතියක් ඉක්මවමින් අඛන්ඩ ව පැවැත් වෙයි.

වැඩවර්ජනයට සමගාමීව අනධ්‍යන කම්කරුවන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරියේ පැවැත්වූ විරෝධතාවක්

මෙම වැඩවර්ජනයට තම සහයෝගය පල කර සිටින සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි), අනධ්‍යයන සේවකයන්ට සහයෝගය දීම සඳහා ක්‍රියාකාරීව ඉදිරිපත්වන ලෙසට සියලු විශ්ව විද්‍යාල සිසුන්ගෙන් ඉල්ලා සිටී. මෙම අරගලයට නිදහස් අධ්‍යාපන අයිතිය සඳහා වන ඉල්ලීම් ද සමගින් ශිෂ්‍යයන් වන අපි ද සම්බන්ධ විය යුත්තෙමු.

අනධ්‍යයන කම්කරුවන් 13,000ක් දෙනා වර්ජනයට සම්බන්ධවී සිටින්නේ, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුනේ පිටුබලය ලබන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව ක්‍රියාවට දමන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු පියවර නිසා තවදුරටත් තමන්ගේ ජීවන සහ සමාජ කොන්දේසි ඛාදනය වන තතු තුල ය. සමස්ත කම්කරු පන්තිය හා දුගී ජනයා මෙම ප්‍රහාරවලට ගොදුරුවී සිටිති. ලංකාවේ අනුප්‍රාප්තික ආන්ඩු ජාත්‍යන්තර බැංකුවලින් ලබා ගත් නය පොලී සමග ගෙවීමත් ජාත්‍යන්තර ප්‍රාග්ධනයට ලංකාව කිසිදු බාධාවකින් තොර ව ලාබ ගැරීමේ තෝතැන්නක් බවට පත් කර දීමත් මෙම කප්පාදු පියවරයන්ගේ අරමුනයි.

මෙම ප්‍රහාරයන්ගේ කොටසක් ලෙස සමස්ත අධ්‍යාපන ක්ෂේත්‍රය ම “නව අධ්‍යාපන ප්‍රතිපත්ති හරහා” තීරනාත්මක ප්‍රහාරයකට ගොදුරු කෙරෙමින් තිබේ. වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලීකරනය පියවර ගනනාවකින් වේගවත් කෙරී ඇති අතර සමස්ත විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට ඉහල යන ජීවන වියදම් මැද අමතර රැකියා කරමින් තම අධ්‍යාපන කටයුතු ගැට ගසා ගැනීමට සිදු ව ඇත. පසුගිය දශකයක පමන කාලය තුල කඩිමුඩියේ විවෘත කරන ලද ඉංජිනේරු, වෛද්‍ය ඇතුලු නව පීඨවල ඇත්තේ පීඨයේ නම සහිත බෝඩ් ලෑලි පමනි. ඒවා මානව සහ ද්‍රව්‍යමය සම්පත් වලින් පීඩා විඳියි.

විශ්වවිද්‍යාල සිසුන් අනධ්‍යයන සේවක අරගලයට සහයෝගය දීමේදී අප විසින් අවධානයට ලක්කර ගතයුතු දේශපාලන කරුනු කිහිපයක් වෙයි. අධ්‍යාපනයට එල්ලවන සියලු ප්‍රහාර වික්‍රමසිංහ ආන්ඩුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධාන අනුව සමස්තයක් ලෙස කම්කරුවන්ට හා දුගීන්ට එල්ලකරන කප්පාදු වැඩපිලිවෙලේ ම කොටසකි.

එම ප්‍රහාර පරාජය කිරීමට ශිෂ්‍යයන්ට හැකිවන්නේ කම්කරු පන්තිය වෙතට හැරී එය සමග එක්ව සටන් කිරීමෙනි. මන්ද යත්, ධනපති පන්තියේ ප්‍රහාර පරාජය කිරීමට සක්‍යතාව පවතින්නාවූත්, අධ්‍යාපනය ඇතුලු සමාජ අයිතීන් හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රැකගැනීමේ සමාජවාදී මග පෙන්විය හැකිවූත් එකම විප්ලවවාදී පන්තිය කම්කරු පන්තිය වන බැවිනි.

මේ සම්බන්ධය, පිහිටුවමින් කම්කරු පන්තිය වෙතට හැරීමේ ආසන්න පියවරක් ලෙස ශිෂ්‍යයන්, අනධ්‍යයන සේවක අරගලයට සහයෝගය දීම අවශ්‍ය වේ. ධනේශ්වර සංස්ථාපිතය එහි වෘත්තීය සමිති සහ මාධ්‍ය අනෙක් අවස්ථාවල දී මෙන් ම මේ අවස්ථාවේ දීත් වැඩ වර්ජනයට එරෙහි ව විශ්වවිද්‍යාල ආචාර්වරුන් සහ විශ්වවිද්‍යාල සිසුන් පිහිටුවීමට දරන ප්‍රයත්නයන්ට එරෙහි විය යුතු වෙයි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය වැඩවර්ජනයට සහයෝගය දීම වෙනුවට එය දුර්වල කිරීමට ඔන්ලයින් ක්‍රමයට දේශන පවත්වා ගෙන යාමට තීරනය කර ඇත. සිසුන් මෙම පියවර ප්‍රතික්ෂේප කල යුතුයයි අපි යෝජනා කරමු.

එහෙත්, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය මුනිවත රකිමින් සිටී. ඔවුන් ඊට සහයෝගය දීමට ඉදිරිපත් වුවත් එය කරනු ඇත්තේ ආන්ඩුවට බලපෑම් දමා අයිතීන් දිනාගත හැකිය යන, වෘත්තීය සමිති නායකයන් ද පතුරුවන ව්‍යාජ ප්‍රචාරයට හා ඒ අනුව සංවිධානය කරන විරෝධතාවලට සහයෝගය දීමක් ලෙසයි.

අප යෝජනා කරන්නේ අනධ්‍යන සේවක අරගලයට අන්ධව සහයෝගය දීමක් නොවේ.

පසුගිය වසර අටක කාලය පුරා විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයෝ විටින් විට තම වැටුප් අරගලයට පැමිනියහ. නමුත් ඒ සෑම අවස්ථාවක දී ම ශිෂ්ඨ සම්පන්න ජීවිතයක් ගත කිරීමට ප්‍රමානවත් වැටුප් සඳහා අරගල කරනු වෙනුවට වෘත්තීය සමිති සිදු කලේ ධනපති ආන්ඩුවේ අමාරුකම් වෙනුවෙන් ක්ෂමාලාපකයන් වෙමින් වැටුප් අරගල දිය කර දැමීමයි.

දැන් දියත් කර ඇති වැඩවර්ජනය තුල දී වෘත්තීය සමිතිවල මෙම ක්‍රියාකලාපය වඩාත් නග්න ව ඉස්මතු වී ඇත. අරගලයේ මුලින් පැවති වැටුප් වැඩි කිරීම්වලට අදාල සියලු ඉල්ලීම් හලා දමා දැන් එම්සීඒ (මාසික හිලවු දීමනාව) දීමනාව ලබා ගැනීමට පමනක් වර්ජනය කොටු කර ඇත. දැන් ඔවුන් තම ඉල්ලීමට කැබිනට් මන්ඩලයේ අනුමැතිය ලැබීමට යොමු කරවා ගත යුතු යැයි කියමින් පෙර සිදු කල ඇස් බැන්දුම්වලට ම නැවතත් සැරසෙමින් සිටියි.

අධ්‍යාපන කප්පාදුවේ කොන්දේසිවලට එරෙහි සටන සහ ජීවන හා සමාජ කොන්දේසි තලා දැමීමට එරෙහි අරගලය එකකි. ආන්ඩුවේ කප්පාදු පියවර පරාජය කිරීමට කම්කරු පන්තියේ ඒකාබද්ධ ශක්තිය මෙහෙයවිය යුතුව ඇත. කෙසේ වතුදු, අනධ්‍යයන සේවක වෘත්තීය සමිති ඇතුලු ලංකාවේ සියලුම වෘත්තීය සමිති එබඳු අරගලයකට කම්කරුවන් පිවිසීම වලක්වා, පාර්ශ්වීය සීමිත ඉල්ලීම් මත ඒ ඒ අංශවල හුදකලා සහ විසුරුනු ක්‍රියාවලට කම්කරුවන් කැඳවන්නේ ඔවුන්ගේ ශක්තිය විසුරුවා දැමීමටයි.

අනධ්‍යයන සේවක වර්ජනයට සහ අනෙකුත් කම්කරු අරගලවල සහයෝගය දීමේදී සිසුන් වෘත්තීය සමිති නායකයන්ගේ එම ද්‍රෝහී ක්‍රියාකලාපය පරාජය කර කම්කරුවන් අව්‍යාජ අරගලයකට බලමුලු ගැන්වීමේ ප්‍රයත්නය සමග ඒකාග්‍ර විය යුතුවේ.

ලංකාව තුල කම්කරු අරගල දිග හැරෙන්නේ ජාත්‍යන්තර දේශපාලන වර්ධනයන් මැද යි. විශේෂයෙන්ම, ඇමරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී රටවල පාලකයන් ලෝකය යලි බෙදා ගැනීමේ යුද්ධයක මුල් පියවර ගනිමින් සිටින තත්වයක ය. ඊශ්‍රායලය ගාසාවේ ගෙනයන ජනසංහාරයට පූර්න පිටුබලය දෙන මෙම අධිරාජ්‍යවාදීන්, ඊට පෙර, යුක්‍රේනය තුලින් රුසියාවට එරෙහි ආරම්භකල යුද්ධයත්, ඉරානයට එරෙහිව සිදුකරන ප්‍රකෝපකිරීම් හා චීනයට එ‌රෙහි යුද සූදානමත් තුන්වන ලෝක යුද්ධයක අන්තරාය මතුකර තිබේ. මෙම වර්ධනයන් සෑම රටක ම කම්කරුවන්ගේ ජීවන කොන්දේසි හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ල කෙරෙන ප්‍රහාර තව තවත් ගැඹුරු කරනු ඇත.

අප යෝජනා කරන වැඩපිලිවෙල සඳහා සටන් කිරීමට සිසුන්ගේ එක්වීම හදිසි භාවයකින් මතුවන්නේ මේ නිසා ය.

කම්කරුවන්ගේ අරගලය වර්ධනය කිරීම සඳහා වෘත්තීය සමිති වලින් හා ධනපති පක්ෂවලින් ස්වාධීනව කම්කරු ක්‍රියාකාරී කමිටු පිහිටුවන ලෙස සමාජවාදී සමානතා පක්ෂය යෝජනා කර ඇත.

වික්‍රමසිංහ ආන්ඩුව පෙරලා දමා සමාජවාදී වැඩපිලිවෙලක් ක්‍රියාවට දැමීමට කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටනකින් පමනක් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රැකගත හැකි බව ද මේ අරගලය ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටනක කොටසක් බව ද සසප පෙන්වා දෙයි.

සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) මෙම ක්‍රියා මාර්ගයට පූර්න සහයෝගය දෙයි. මෙම ක්‍රියාමාර්ගය පිලිබඳව සාකච්ඡා කිරීමට හා ඒ සඳහා සටන් කිරීමට සසජාතශි සමග එක්වන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.

Loading