ශ්‍රී ලංකාවේ සසප/සසජාතශි ප්‍රසිද්ධ රැස්වීම

අධිරාජ්‍යවාදී යුද්ධයට විරුද්ධ වෙනු!

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි), “අධිරාජ්‍යවාදී යුද්ධයට විරුද්ධ වෙනු!” යන මැයෙන්, මැයි 23 බ්‍රහස්පතින්දා සවස 7 ට අන්තර්ජාල රැස්වීමක් පවත්වයි.

මෑත පැවැත්වුනු ජාත්‍යන්තර මැයි දින රැලිය නිවේදනය කරමින්, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත් මෙසේ අනතුරු ඇඟවීය, “තුන්වන ලෝක යුද්ධයක් දුරස්ථ දෙයක් නොවේ. මෙම යුද්ධයේ ආරම්භක අදියරයන් දැනටමත් සිදුවෙමින් පවතී.”

පලස්තීනුවන්ට එරෙහිව ගාසා තීරය තුල ඊශ්‍රායලයේ ජන සංහාරය සහ ඉරානයට එරෙහිව එක්සත් ජනපදයේ පිටුබලය ලබන ප්‍රහාර, න්‍යෂ්ටික සන්නද්ධ බලවතුන් සම්බන්ධ කරගෙන ශීඝ්‍රයෙන් මතුවෙමින් පවතින ලෝක යුද්ධයක එක් පෙරමුනක් පමනි. එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සහ එහි සහචරයින් දැනටමත් යුක්‍රේනය තුල රුසියාවට එරෙහි යුද්ධයක නිරතව සිටින අතර චීනය සමග ව්‍යසනකාරී ගැටුමක් සඳහා දුරදිග ගිය සූදානමක් පවතී.

අධිරාජ්‍යවාදී නායකයින් මෙන්ම විවිධ මාධ්‍ය පන්ඩිතයන් දැන් විටින් විට න්‍යෂ්ටික යුද්ධයක් ගැන සඳහන් කරන්නේ, එය මනුෂ්‍යත්වයේ පැවැත්මට එල්ල කරන බරපතල තර්ජනය නොතකා, පිලිගත හැකි උපායමාර්ගික විකල්පයක් ලෙස ය.

බයිඩන් පරිපාලනය, අනෙකුත් නැටෝ බලවතුන් සමග, න්‍යෂ්ටික යුද්ධය වැලැක්වීම සඳහා අවශ්‍ය යැයි කලින් පිලිගත් “රතු ඉරි”, යුක්‍රේනය තුල දී යලි යලිත් කපාගෙන ඉදිරියට ගොස් ඇත.

අධිරාජ්‍යවාදී නායකයන්—බයිඩන්, සුනක්, මැක්‍රොන් සහ ෂෝල්ස්—පෘථිවි ගෝලය න්‍යෂ්ටික වහ්නිජාලාවක් කරා ඇදගෙන යන විට, ඔවුන් සාපරාධී ලෙස උමතු වී ඇති බව කෙනෙකුට සිතිය හැක. කෙසේ වෙතත්, ඔවුන්ගේ ප්‍රතිපත්ති හුදෙක් ව්‍යාකූල පුද්ගලයන්ගේ නිෂ්පාදනයක් නොව, ඔවුන්ට තාර්කික, ප්‍රගතිශීලී විසඳුමක් නොමැති ලෝක ධනවාදයේ ගැඹුරු අර්බුදයේ ප්‍රතිඵලයකි; ඔවුන් එකම ගැලවීමේ මාර්ගය ලෙස දකින්නේ ආධිපත්‍යය සඳහා ගෝලීය යුද්ධයකි.

එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ යුද අපරාධ හෙලිදරව් කිරීම නිසා ජූලියන් අසාන්ජ්ට එල්ල වන බිහිසුනු, අඛන්ඩ වධ හිංසා රුදුරු ලෙස පෙන්නුම් කරන පරිදි, යුද්ධය, ඕනෑම විරුද්ධත්වයක් ප්‍රචන්ඩ ලෙස මර්දනය කිරීම සමග එකට ගමන් කරයි.

බොල්ෂෙවික් ලෙනින්වාදීන්ගේ තරුන රැකවල සංවිධානයේ අපගේ සහෝදර, බොග්ඩාන් සයිරොටියුක්, මෙම මස මුලදී යුක්‍රේනයේ ෆැසිස්ට් සෙලෙන්ස්කි ආන්ඩුව විසින් රුසියානු ඒජන්තයෙකු බවට බොරු චෝදනා මත අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිටී. බොග්ඩාන් යුක්‍රේනයේ යුද්ධයට නිර්භීත ලෙස විරුද්ධ වූ අතර, රුසියාවේ ඔහුගේ සගයන් සමග යුක්‍රේන සහ රුසියානු පාලන තන්ත්‍රයන් දෙකම හෙලා දකිමින්,දෙරටේ කම්කරු පන්තියේ එකමුතුව සඳහා සටන් කර ඇත.

එක්සත් ජනපදයේ සහ අනෙකුත් අධිරාජ්‍යවාදී රටවල සිසුන් ඇතුලු දහස් ගනනක් අත්අඩංගුවට ගැනීම් සමග, ගාසා ජන සංහාරයට විරුද්ධ විරෝධතාකරුවන්ට එරෙහිව ම්ලේච්ඡ පොලිස් මර්දනයන් සිදුවෙමින් පවතී.

විශ්ව විද්‍යාල සහ නගරවල සිදුවෙමින් පවතින යුද්ධයට එරෙහි විරෝධතා සැලකිය යුතු වැදගත්කමක් දරන මුත්, ඒවාට පමනක් ලේ වැගිරීම නැවැත්වීමට හැකියාවක් නැත. මාස හතක් පුරා සියොන්වාදී තන්ත්‍රය සහ එහි අධිරාජ්‍යවාදී ආධාරකරුවන් ලොව පුරා මිලියන සංඛ්‍යාත විරෝධතා නොසලකා හැර ඇතිවා පමනක් නොව, ඔවුන් පොලිස් මර්දනය වෙත ද හැරෙමින් සිටිති.

ලෝක යුද්ධය කරා යන ධාවනය නැවැත්විය හැකි එකම සමාජ බලවේගය වන්නේ, පාලක පන්තීන්ගේ කප්පාදු වැඩපිලිවෙලට එරෙහිව ශ්‍රී ලංකාව තුල සහ ලොව පුරා අරගලයට පැමිනෙමින් සිටින ජාත්‍යන්තර කම්කරු පන්තියයි. ආන්ඩු යුද්ධයේ නියැලෙන විට, සහාය දෙන විට සහ යුද්ධයට සූදානම් වන විට, එහි බර දැරීමට බලකෙරෙන්නේ කම්කරුවන්ට ය.

යුද්ධයට එරෙහි අරගලයකදී, විරෝධතා දේශපාලනයේ සහ අධිරාජ්‍යවාදයේ ක්ෂමාලාපකයන්ගේ නිෂ්ඵල භාවය හෙලිදරව් කරමින් සමාජවාදී වැඩපිලිවෙලක් මත පදනම් වූ කම්කරු පන්තියේ ඒකාබද්ධ යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම අවශ්‍ය වේ. ධනපති ආන්ඩුවලට කරන ආයාචනා බංකොලොත් ය. අසාන්ජ් සහ සයිරෝටියුක් නිදහස් කර ගැනීමේ සටනට ද, මෙම පදනම මත කම්කරුවන් ස්වාධීනව බලමුලු ගැන්වීම අවශ්‍ය වේ.

දැවෙන අවශ්‍යතාවය වන්නේ මිලිටරිවාදයේ, කප්පාදුවේ, අධිකාරීවාදයේ සහ සියලු ආකාරයේ සමාජ දුක්ඛිතභාවයේ මූලාශ්‍රය වන ධනේශ්වර ක්‍රමය අහෝසි කිරීම සඳහා සමාජවාදී ජාත්‍යන්තරවාදය මත පදනම් වූ කම්කරු පන්තියේ නව විප්ලවවාදී නායකත්වයකි.

මෙම වැදගත් රැස්වීමට සහභාගී වන ලෙස අපි ඔබට ආරාධනා කරන්නෙමු. පහත සබැඳිය භාවිතයෙන් ඔබට සූම් (Zoom) ඔන්ලයින් රැස්වීම සඳහා ලියාපදිංචි විය හැක.

Loading