යුද්ධයට එරෙහි සටන යනු වෘත්තීය සමිති නිලධරයට එරෙහි සටනකි

[මෙය The fight against war is a fight against the union bureaucracies මැයෙන් මැයි 9 දින පලකෙරුනි.]

පෙන්සිල්වේනියාවේ මැකන්ජි හි මැක් ට්‍රක් මෝටර් රථ කම්හලේ කම්කරුවෙකු සහ ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානයේ සාමාජිකයෙකු වන විල් ලේමන් මැයි 4 වැනි දා පැවැත් වුනු ජාත්‍යන්තර මැයි දින ඔන්ලයින් රැලියේ දී පැවැත් වූ කතාව පහත පල කෙරෙයි .

වීඩියෝ කැප්ෂන්: මෙම වීඩියෝව සිංහල උපසිරැසි සහිතයි. සිංහල උපසිරැසි සක්‍රීය කර ගැනීමට දකුනු පස පහල කෙලවරේ ඇති දැති රෝදය ක්ලික් කර subtitles යටතේ සිංහල භාෂාව තෝරා ගන්න.

මෙම මැයි දින රැලියට සහභාගි වන ලොව පුරා සහෝදර සහෝදරියන්ට ඇමරිකානු මෝටර් රථ කම්කරුවන් සහ ඇමරිකානු කම්කරු පන්තිය වෙනුවෙන්, විප්ලවීය සුබ පැතුම් පිරිනැමීමට මට අවශ්‍යයි. මෙම නිවාඩු දිනය ජාත්‍යන්තර කම්කරු පන්තිය වන අප ගැනයි. ශ්‍රමයට මායිම් නැත.

කම්හල් තුල අප මුහුන දෙන සූරාකෑමේ කොන්දේසිවලට එරෙහි ව, බොහෝ උතුරු ඇමරිකානු මෝටර් රථ කම්කරුවෝ පසුගිය වසරේ දී වැදගත් සටනකට එක් වූහ. කම්හලෙන් කම්හලට, සියයට අනූවකට වඩා කම්කරුවෝ වැඩවර්ජන කිරීමට අවසරදීමේ ඡන්ද අනුමත කරමින් සටන් කිරීමට දැවැන්ත අභිලාශයක් පෙන්නුම් කලහ. යූඒඩබ්ලිව් නිලධරය අත සටන පටන් ගත් තැන ම අසාර්ථක විය. යූඒඩබ්ලිව් නිලධරය ගත් පලමු පියවර වූයේ ඕනෑ ම වැඩ වර්ජන ක්‍රියාමාර්ගයක් හැකිතාක් දුර්වල කිරීමයි. ඔවුන් “ස්ටෑන්ඩ් අප්” වැඩවර්ජනය සැලසුම් කලේ අපව බෙදීමේ මාර්ගයක් ලෙසත්, හැකිතාක් දුරට මෝටර් රථ නිෂ්පාදකයන්ගේ ලාභ කෙරෙහි ඇති විය හැකි බලපෑම් සීමා කිරීමටත් ය.

කම්කරුවන් කම්කරු ව්‍යාපාරයේ ජාත්‍යන්තර හා ඓතිහාසික අත්දැකීම් අධ්‍යයනය කිරීම අවශ්‍යයි. පන්තියක් ලෙස, අතීතය පිලිබඳ බැරෑරුම් අධ්‍යයනයක් වෙනුවට වෙනත් ආදේශකයක් අපට නැත. එ මෙන් ම, මෑත ඉතිහාසයෙන් ද අපට ඉගෙන ගත හැකි ය. පසුගිය වසරේ යූඒඩබ්ලිව් නිලධරය අපගේ සටන පාවා දී ආවෘත අන්තයකට ඇද දැමීය. අප කල අරගලය විශ්ලේෂනය කර එයින් අවශ්‍ය දේශපාලන නිගමනවලට එලඹීම අතිශයින් ම වැදගත් ය. එවිට අපට නැවත එම පාඩුව අත්විඳීමට සිදු නොවේ

කම්කරුවන් තේරුම් ගත යුත්තේ මෙයයි: වෘත්තීය සමිතියේ මෙම අතීත පාවාදීම්වල, වඩාත් වැදගත් පාඩම් වලින් එකක් වන්නේ ඒවා හුදෙක් එක් එක් වෘත්තීය සමිති නායකයින්ගේ ක්‍රියාවන්හි ප්‍රතිඵල නොවන බවයි. ව්‍යාජ වම්මුන් ඇමරිකානු මෝටර් රථ කම්කරුවන් රැවටීමට උත්සහ කලේ ෂෝන් ෆේන් යනු වෘත්තීය සමිතිය ප්‍රතිසංස්කරනය කරන එක්තරා ආකාරයක වෘත්තීය සමිති සටන්කාමියෙකු ලෙසයි. නමුත් ව්‍යාජ නිලවරනයකින් ඔහු සමිති නායකත්වයට පත් වූ වහා ම, දැනටමත් කෙරෙන දොට්ට දැමීම් සහ කම්හල් වසා දැමීම් සංවිධානය කිරීමට ෆේන් මූලිකත්වය ගත්තේ ය. ටීම්ස්ටර්ස් වෘත්තීය සමිතිය තුලත් ඒ දේම සිදු විය. එහිදී ෂෝන් ඕ'බ්‍රයන් වෘත්තීය සමිති ප්‍රතිසංස්කරනවාදියෙකු ලෙස සමිති සාමාජික රියදුරන්ට හඳුන්වා දෙනු ලැබුනි. ඉන්පසු ඔහු ද කම්කරුවන් පාවා දීමේ කොන්ත්‍රාත්තුවක් ඔවුන් මත බලහත්කාරයෙන් පැටවීය. ෆේන් සහ ඕ'බ්‍රයන් දැන් බයිඩන් සහ ට්‍රම්ප් සමඟ රවුම් ගසමින් කාර්යබහුල ව සිටිති.

කැප්ෂන්: 2024 ජනවාරි 24 වැනි දා වොෂින්ටනයේ පැවති යුනයිටඩ් ඔටෝ වර්කර්ස් වෘත්තීය සමිතියේ දේශපාලන සමුලුවේ දී ජනාධිපති

2024 ජනවාරි 24 වැනි දා වොෂින්ටනයේ පැවති යුනයිටඩ් ඔටෝ වර්කර්ස් වෘත්තීය සමිතියේ දේශපාලන සමුලුවේ දී ජනාධිපති ජෝ බයිඩන් යුනයිටඩ් ඔටෝ වර්කර්ස් සභාපති ෂෝන් ෆේන් සමග (ඡායාරූප /ඇලෙක්ෂ් බ්‍රැන් ඩන් /AP) [AP Photo/Alex Brandon]

පාඩම නම්, ඉහල නායකත්වය වෙනස් කිරීමෙන් වෘත්තීය සමිති කම්කරුවන් නියෝජනය කරන සංවිධාන බවට වෙනස් කර ගත නොහැකි බවයි. නිලධරය, සාමාන්‍ය කම්කරුවන්ගෙන් වෙන් වූ තමන්ගේ ම අවශ්‍යතා නියෝජනය කරයි. තමන් සැබවින්ම නියෝජනය කරන සංගතවල ලාභ හා ධනය වෙනුවෙන් ඔවුහු කැපවී සිටිති. සංගතවල ලාභ ආරක්ෂා කිරීමට නිලධරය කැපවී සිටින හෙයින් ඔවුහු මෝටර් රථ කම්කරුවන් සූරාකෑම තීව්‍ර කිරීමට කැපවී සිටිති. ඉන් ආයතනික ලාභ ඉහල දැමීම ප්‍රමානවත් නොවන විට, දොට්ට දැමීම් හා කම්හල් වැසීමට සහාය දීමට ද වෘත්තීය සමිති සූදානම් ය.

වෘත්තීය සමිති නිලධරය “තම සංගතවල” ලාභය වෙනුවෙන් කැප වී සිටින්නාක් මෙන් ම, “තම” ධනේශ්වර රටවල් සඳහා ද කැපවී සිටිති. සෑම තැනක ම ඔවුන් යුද්ධයේ අරමුන සමග පෙල ගැසෙන්නේ එබැවිනි. එක්සත් ජනපදයේ ෂෝන් ෆේන් ඇමරිකානු කම්හල් “ප්‍රජාතන්ත්‍රවාදයේ අවි ගබඩාවක්” බවට පත්කිරීමට කතා කරයි.

කම්කරුවන් වන අප පන්තියක් වශයෙන් පිහිටු විය යුතු සම්බන්ධය වන්නේ, සූරාකෑමට එරෙහි සටනත් යුද්ධයට එරෙහි සටනත් එක ම සටනක් ය යන්නයි. අප ප්‍රශ්න මෙලෙස ඉදිරිපත් කරගත් විට මෙම සම්බන්ධතාවය පිහිටු වීම පහසු වෙයි: යුද්ධය සේවය කරන්නේ කාගේ පන්ති අවශ්‍යතා සඳහාද? කම්කරුවන්ව පන්තියක් ලෙස සූරාකනු ලැබීම සේවය කරන්නේ කාගේ පන්ති අවශ්‍යතා සඳහා ද?

පිලිතුර වන්නේ කර්මාන්තශාලා සහ අනෙකුත් නිෂ්පාදන මාධ්‍ය හිමි පන්තිය, එනම් අපගේ දහඩියෙන් පොහොසත් වන පන්තිය වන ධනේශ්වර පන්තිය සඳහා බවයි. ගාසාව විනාශ කිරීමට ආයුධ ලබා දෙන්නේ ද එම ඇමරිකානු ධනපති පන්තියයි. රුසියාවට සහ චීනයට එරෙහිව ලෝක යුද්ධයක් දියත් කිරීමට උත්සාහ කරන්නේ ද එම ධනපති පන්තියයි. ඕනෑ ම මහා යුද්ධයකදී අපගේ වැටුප් පමනක් නොව අපගේ ජීවිත ද අප කැප කල යුතු යැයි ඔවුන් අපට කියා සිටිනු ඇති බව කම්කරුවන් තේරුම් ගත යුතුයි.

කම්හල්වල සූරාකෑමට සහ විදේශයන්හි අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි සටන වෘත්තීය සමිති නිලධරයන් සහ ධනපති දේශපාලන පක්ෂ දෙක මත විශ්වාසය තබා ජයග්‍රහනය කල නොහැකියි. මෑත කාලීන සහ අතීත අරගලවල පාඩම් සමාව දී අමතක කල නොහැකියි. ඒවා හොඳින් ඉගෙන ගෙන ග්‍රහනය කර ගත යුතුයි. ඒවා උගත් පසු, එම පාඩම් අපගේ සගයන් සමඟ ද බෙදා ගැනීම අපගේ වගකීමයි.

මෙම මැයි දින රැලිය පැවැත් වෙද්දී, ගාසා ජන සංහාරයට එරෙහිව එක්සත් ජනපදය පුරා විශ්වවිද්‍යාල සහ විශ්වවිද්‍යාල මන්ඩපවල පැන නැගී ඇති උද්ඝෝෂනවලට එරෙහි ව බයිඩන් පරිපාලනය සහ ඇමරිකානු පාලක පන්තියේ පක්ෂ දෙක ම සිසුන්ට පෙර නොවූ විරූ සහ ඒකාධිපති පොලිස් ප්‍රහාරයක් එල්ල කරමින් සිටිති. තරුනයන් සහ සිසුන් 1000කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත. ජර්මනියේ, ඕස්ට්‍රේලියාවේ සහ ජාත්‍යන්තරව ද එවැනි ම මර්දනයන් සිදුවෙමින් පවතී. කම්කරුවන් වශයෙන් අපි සිසුන්ගේ ආරක්ෂාව සඳහා පෙල ගැසිය යුතු වෙමු. ඔවුන්ට අපේ සහයෝගය අවශ්‍යයි, ඔවුන්ගේ සටන අපේ සටනයි.

2024 මැයි 4 වැනි දින වර්ජිනියා ප්‍රාන්ත පොලීසිය වර්ජිනියා විශ්වවිද්‍යාල මන්ඩපයේ ජනසංහාරයට එරෙහි විරෝධතාවකට ප්‍රහාර එල්ල කරමින්

සහෝදර, සහෝදරියනි අධිරාජ්‍යවාදී යුද්ධය සදහට ම තුරන් කිරීමට බලය ඇත්තේ ලෝකයේ කම්කරුවන් වන අප අතයි. සමාජයේ සියලු ධනය නිෂ්පාදනය කරන්නේ අපයි. කර්මාන්තශාලා, සැපයුම් සහ ප්‍රවාහනය පවත්වාගෙන යන්නේ අපයි.

නමුත් කම්කරුවන් වන අප ඉතිහාසයේ පාඩම් උගත යුතුයි. ඒ වගේම අප අපේ ම පන්ති අවශ්‍යතා හඳුනා ගත යුතු යි. අපට බොරු කරන්නේ කවුද සහ ඇත්ත කියන්නේ කවුද යන්න තේරුම් ගත යුතු යි. ලෝසවෙඅ සහ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සෑම විටම කම්කරුවන්ට සත්‍යය පවසයි.

නැවතත්, ලොව පුරා සිටින මගේ සහෝදර සහෝදරියන්ට සුභ මැයි දිනයක්!

අධිරාජ්‍යවාදී යුද්ධය, ෆැසිස්ට්වාදය සහ ආඥාදායකත්වය නවත්වනු!

කම්කරු පන්තිය සූරාකෑම අවසන් කරනු!

කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය ගොඩනඟනු!

ජාත්‍යන්තර කමිටුවට සම්බන්ධ වී සමාජවාදය සඳහා සටනට උර දෙන්න!