අනධ්‍යන කම්කරු වැඩවර්ජනයට එරෙහිව පේරාදෙනිය ශාස්ත්‍ර පීඨ අධිපති අධිකරනයට යයි: අන්ත ප්‍රතිගාමී පියවරක්

වැඩි වැටුප් සහ දීමනා ඉල්ලා විශ්වවිද්‍යාල අනධ්‍යන කම්කරුවන් මැයි 02 දා ආරම්භකල අඛන්ඩ වැඩවර්ජනය බිඳ දැමීම සඳහා ආන්ඩුව ගෙනයන වැඩකටයුතු වලට සමගාමීව, පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ අධිපති ආචාර්ය ප්‍රභාත් ඒකනායක විසින්, වැඩවර්ජනයේ යෙදී සිටින එම විශ්වවිද්‍යාලයේ අනධ්‍යන සේවකයන්ට එරෙහිව මහනුවර දිසා අධිකරනයේ නඩු පවරා ඇති බව ලංකානිවුස්.එල්කේ වෙබි අඩවිය පසුගිය දා වාර්තා කලේය.

වැඩවර්ජනයට සමගාමීව අනධ්‍යන කම්කරුවන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරියේ පැවැත්වූ විරෝධතාවක්

වාර්තාවට අනුව, 'මෙම වැඩවර්ජනය හේතුවෙන් වැඩබලන ප්‍රධාන ආරක්ෂක නිලධාරියා විසින් ශාස්ත්‍ර පීඨයේ, පීඨාධිපති කාර්යාලයේ සහ කලාගාරයේ අධ්‍යයන දෙපාර්තමේන්තු දහනවයක යතුරු 21ක් නීතිවිරෝධී ලෙස තමන් භාරයේ තබාගෙන සිටි බව' පීඨාධිපතිවරයා අධිකරනය හමුවේ පවසා ඇත.

ශාස්ත්‍ර පීඨය මගින් සංවිධානය කරන ජාත්‍යන්තර සම්මන්ත්‍රනයක් සහ ව්‍යාපෘති තුනක් මැයි 31 සහ ජූනි 4 යන දෙදින තුල පැවැත්වීමට නියමිත බවත්. වර්ජනය, එම සම්මන්ත්‍රන සහ ව්‍යාපෘති සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වලක්වා ඇති බවත් ඔහු කියා තිබේ.

එබැවින් එම දෙපාර්තමේන්තුවල අධ්‍යයන කාර්ය මන්ඩලයට රාජකාරි කිරීමට බාධා කල වගඋත්තරකරුවන්ට එරෙහිව අනිවාර්ය අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස පීඨාධිපතිවරයා අධිකරනයෙන් ඉල්ලා සිටි බවත් මෙම මස 28 වැනිදා තීන්දුව ප්‍රකාශකරන බවත් වෙබ් අඩවිය ප්‍රකාශ කරයි.

මෙම පුවත අනධ්‍යන කම්කරුවන්ගේ සමාජ මාධ්‍ය තුල විශාල වශයෙන් සංසරනය වෙන අතර, පීඨාධිපතිවරයාගේ නඩු පැවරීම කෙරෙහි අනධ්‍යන කම්කරුවන් අතර බලගතු විරෝධයක් වැඩෙමින් පවතී.

තම ඉල්ලීම් දිනා ගැනීමේ මාධ්‍යයක් ලෙස වැඩවර්ජනය කිරීමට කම්කරුවන් සතු ප්‍රජාතන්ත්‍රීය අයිතියට එරෙහිව, ධනපති රාජ්‍යයේ මර්දන උපකරනයක් වන අධිකරනය යොදා ගැනීමට පීඨාධිපති ඒකනායක ගෙන ඇති මෙම අන්ත ප්‍රතිගාමී පියවර තරයේ හෙලා දකින සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ, වැඩවර්ජිත අනධ්‍යන කම්කරුවන්ගේ අරගලය ආරක්ෂා කිරීම සඳහා මුලුමනින්ම කැප වේ.

ඒ සමගම, පීඨාධිපතිවරයා ගේ මෙම ප්‍රතිගාමී පියවරට එරෙහි වෙමින්, අනධ්‍යන කම්කරු වැඩවර්ජනය ආරක්ෂා කිරීමට පෙරට එන ලෙස, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් සහ ශිෂ්‍යයන්ගෙන් සසප සහ සසජාතශි ඉල්ලා සිටී.

පීඨාධිපතිවරයා මෙම මර්දනීය පියවර සඳහා ගමන්කලේ, මැයි 17 වැනිදා , විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ (ෆූටා) පේරාදෙනිය විශ්වවිද්‍යාල ශාඛාවේ සභාපති මහාචාර්ය රුචික ප්‍රනාන්දු ජාතික රූපවාහිනිය හරහා කල ප්‍රකාශයකින් එයට පසුබිම සැකසීමත් සමගය. ඔහු මෙසේ පැවසීය: 'අධ්‍යයන කාර්ය මන්ඩලය මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට නැහැ. අපේ වැඩ කරන්න තියෙන අයිතියට බාධා කරන්න එපා. මෙහි ආරක්ෂක සේවය ඉවත් උනහම අපට විශාල තර්ජනයක් තියෙනවා.'

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව, විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සහ ධනපති මාධ්‍යයන් අනධ්‍යන කම්කරු අරගලයට එරෙහිව මහජනතාව ඇවිස්සීම සඳහා ආරම්භයේ සිටම වැඩ කටයුතු කලහ. මැයි 15 වන දින විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග එහි පැවති විශේෂ මාධ්‍ය හමුවකදී 'වැඩවර්ජන හේතුවෙන් මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය දැවන්ත අර්බුදයකට මුහුන පා ඇති බැවින් අධ්‍යාපනයේ නාමයෙන් දරුවන් ගැන සිතා රැකියාවට පැමිනෙන්නැයි' පැවසීය. ඔහු, 'අනධ්‍යන සේවක ගැටලුවලට ආන්ඩුව සමඟ සාකච්ඡාකර විසඳුම් ලබාගැනීමට කටයුතු කරමු යැයි' ව්‍යාජ ලෙස පැවසුවේ, උක්ත ඉල්ලීම් සම්බන්ධයෙන් වසර 08 ක් පුරා අනුප්‍රාප්තික ආන්ඩු සමග සාකච්ඡා පැවති නමුත් ඒ සියලුම ආන්ඩු එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කලබව නොදන්නා අයුරිනි.

පේරාදෙනිය ශෘඛාවේ අනුබලය සහිතව ආචාර්ය ඒකනායක ගත් මෙම ප්‍රතිගාමී පියවර විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අනුමත කරන බව, ඒ සම්බන්ධයෙන් එය දක්වන නිහැඬියාවෙන් සහ එහි සභාපති චාරුදත්ත ඉලංගසිංහ, අනධ්‍යන කම්කරු අරගලයට හොරිකඩකම් කරමින් මාර්ගගත දේශන පවත්වන ලෙස තම සාමාජිකත්වය මෙහෙයවීමෙන් පැහැදිලි වේ. අනධ්‍යන කම්කරුවන් ආරම්භ කර තිබෙන වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට ආචාර්යවරුන් සම්බන්ධ නොවන බවත්, ආචාර්ය මන්ඩලවලට වැටුප් ගෙවීම වහා කල යුතු බවත් ඉලංගසිංහ ආන්ඩුවට දැන්වීය.

ආන්ඩුව සහ විශ්වවිද්‍යාල පරිපාලනය ශිෂ්‍යයන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වීම සම්බන්ධයෙන් කිඹුල් කඳුලු හෙලන අතරේම, අධ්‍යාපන කප්පාදුවට එරෙහි ශිෂ්‍ය අරගල වලට එරෙහිව දැවැන්ත මර්දනයක් දියත් කර තිබේ. අනුප්‍රාප්තික ආන්ඩුව අඛන්ඩව ගෙනගිය කප්පාදු හේතුවෙන් පාඨමාලාවන්හි ගුනාත්මකභාවය දැවැන්තව පහල වැටී ඇත. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නව කප්පාදු විධානයන් හේතුවෙන් එය ආන්තික වශයෙන් පරිහානිගත නියමිතය. අනධ්‍යන කම්කරුවන්ගේ වැටුප් සහ දීමනා කප්පාදුව මෙම ප්‍රහාරයේම කොටසකි.

මෙම ප්‍රහාරය පරාජය කල හැක්කේ, කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් බලමුලු ගන්වා ගනිමින්, ධනපති ආන්ඩුවට සහ ධනපති ක්‍රමයට එරෙහි දේශපාලන ප්‍රතිප්‍රහාරයක් දියත් කිරීමෙන් බවත්, එය ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක් මත පාදක කර ගතයුතු බවත් සසප යලියලිත් පෙන්වා දී තිබේ.

නමුත්, අනධ්‍යයන වෘත්තීය සමිති ඇතුලු සියලු වෘත්තීය සමිති එවන් වැඩපිලිවෙලකට පරම සතුරුය. ආන්ඩුවට පීඩනය යෙදීමෙන් එහි ප්‍රහාරයන් ආපසු හැරවිය හැකිය යන මිත්‍යාව මත, තම සාමාජිකයන් නිෂ්ඵල විරෝධතාවන්ට ‌යොමු කරන ඔවුහු කම්කරුවන්ට යලියලිත් පරාජය අත්කර දෙති. සාමාජිකත්වයේ පීඩනය හමුවේ කැඳවන සීමිත අරගල, ඒ ඒ ක්ෂේත්‍රයන්ට පමනක් නොව, එකම ක්ෂේත්‍රය තුල විවිධ ශ්‍රේනි වලට සීමා කරමින් හුදෙකලාකොට රාජ්‍ය මර්දනයට යටත්කරදීම සමිති නිලධරයේ භාවිතාව බවට පත්ව ඇත.

අනධ්‍යන වැඩවර්ජනයට එරෙහි ප්‍රහාරයන් සඳහා ආන්ඩුව සහ එහි සහචරයන් වන පීඨාධිපති ඒකනායක වැන්නවුන් ශක්තිය ලබාගෙන ඇත්තේ සමිතිවල මෙම ද්‍රෝහී භූමිකාවේ වාරුවෙනි.

ධනපති ආන්ඩුවේ ප්‍රහාරයන්ට එරෙහිව කම්කරු පංතියේ දේශපාලන ප්‍රතිප්‍රහාරයක් සංවිධානය කරනුවස්, මෙම සමිති සහ ධනපති පක්ෂ වලින් ස්වාධීන තමාගේම බල සංස්ථාවන් කම්කරුවන්ට අත්‍යවශ්‍ය ය. එකී බල සංස්ථාවන් ලෙස කම්කරු ක්‍රියාකාරී කමිටු, සෑම කම්හලක්, වැඩපොලක්, රෝහලක්, පාසැලක්, විශ්වවිද්‍යාලයක් සහ ගොවිබිමක් ආශ්‍රිතව ගොඩනගමින් ඒවා ජාත්‍යන්තරව ගොඩනගන එවන් කමිටු සමග සන්ධාන ගතකල යුතුවෙයි.

මෙම වැඩපිලිවෙල යටතේ සෑම විශ්වවිද්‍යාලයක් තුලම කම්කරු ක්‍රියාකාරී කමිටු පිහිටුවීමට ආරම්භකත්වය ගන්නා ලෙස සසප, සියලු අනධ්‍යන සේවකයන්ගෙන් ඉල්ලා සිටී.

Loading