ශිෂ්‍යයනි ! කම්කරුවනි ! විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක වර්ජනය ආරක්ෂා කරමු!

වැටුප් හා දීමනා වැඩි කරන ලෙස ඉල්ලා මේ මස 02 දා සිට ලංකාවේ විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් යෙදී සිටින අඛන්ඩ වර්ජනය බිඳීම සඳහා රනිල් වික්‍රමසිංහ ආන්ඩුව හා විශ්වවිද්‍යාල පරිපාලනය ගෙන යන ප්‍රහාර වඩාත් තීව්‍ර කරමින් පවතී.

අනධ්‍යන වෘත්තීය සමිති එකමුතුව මැයි 07 අඟහරුවාදා, කොලඹ වෝඩ් පෙදෙසේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්වූ විරෝධතා උද්ඝෝෂනයට, සහබාගී වූවන්ගෙන් කොටසක්

මැයි 31 සහ ජුනි 04 යන දිනවල පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ පැවත්වීමට තිබූ සම්න්ත්‍රනයක් හා ව්‍යාපෘතියක් සඳහා වන මුදල් ප්‍රතිපාදන වලක්වා ඇතැයි යන චෝදනා මත එම විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ අධිපති ප්‍රභාත් ඒකනායක විසින් අනධ්‍යයන සේවකයන්ට එරෙහිව මහනුවර දිසා අධිකරනයේ ගොනු කර ඇති නඩුව ඉන් එක් පියවරකි. රාජකාරියට බාධාකල වගඋත්තරකරුවන්ට එරෙහිව අනිවාර්ය අතුරු නියෝගයක් නිකුත් කර ලෙස ඒකනායක අධිකරනයෙන් ඉල්ලා තිබේ.

විශ්වවිද්‍යාල අචාර්යවරුන්ගේ සංගමය (ෆූටා) ඒකනායකගේ ප්‍රතිගාමී ක්‍රියාව සම්බන්ධයෙන් නිහැඬියාවක නිරත වෙමින් එය අනුමත කරන අතර, අනධ්‍යන සේවක වර්ජනය කඩාකප්පල් කිරීමට ඉදිරිපත්වෙමින් මාර්ගගත ඉගැන්වීම්වල යෙදෙන ලෙස තම සාමාජිකයෝ දිරිමත් කරති.

මීට අමතරව, 2007 අනධ්‍යන සේවක වර්ජනය අතරතුර දී නිකුත් කල චක්‍රලේඛයක් යලි ක්‍රියාවට නැගීමට ආන්ඩුව කටයුතු කර ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත අද වාර්තා කලේ ය. එම චක්‍රලේකයට අනුව වර්ජනයේ නිරත දිනවල වැටුප්, අතිකාල හා වෙනත් දීමනා කපා හැරෙනු ඇත.

එපමනක් නොව, “මූල්‍ය තත්වය හේතුවෙන් ආන්ඩුවට අනධ්‍යයන සේවකයන්ගේ ඉල්ලීම් ලබාදීමට හැකි තත්වයක නැතැ” යි ද අනධ්‍යන සේවකයන් “රැකියාවට වාර්තා නො කරන්නේ නම් අලුතින් සේවකයන් බඳවා ගැනීමට සිදු වෙනු ඇතැ”යි ද ආන්ඩුවේ “ජේෂ්ඨ නිලධාරියෙකු” සඳහන් කල බව එම පුවත්පත් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙයි.

ආන්ඩුව මෙම ප්‍රහාර තීව්‍ර කරමින් සිටින්නේ, මැයි 12 දා පාර්ලිමේන්තු වට රවුම ඉදිරිපිට පැවති අනධ්‍යයන සේවකයන්ගේ විරෝධතාවයක් විසුරුවා හැරීමට පොලිසිය හා කැරලි මර්දන ඒකක මෙහෙයවා අධී පීඩක ජල හා කඳුලු ගෑස් ප්‍රහාරයක් දියත් කර විසුරුවා හැර ඇති තත්වයක් තුලයි.

ආන්ඩුවත් විශ්වවිද්‍යාල පරිපාලනයත් පහර එල්ල කරමින් පවතින්නේ වර්ජන ඇතුලු කාර්මික ක්‍රියා මගින් තම ඉල්ලීම් දිනා ගැනීමට කම්කරු පන්තිය සතු ප්‍රජාතන්ත්‍රවාදී අයිතියටයි. එය නැවතත් පෙන්නුම් කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) නියෝග ක්‍රියාවට දමමින්, අධිරාජ්‍යවාදී මහ බැංකුවල හා ව්‍යාපාරිකයන්ගේ ලාභ පොදි තර කිරීමේ දී ඊට එරෙහිව පැන නැගින කම්කරු පන්තියේ, තරුනයන්ගේ හා පීඩිත ජන කොටස්වල කවර හෝ නැගිටීමක් තලා දැමීමට ආන්ඩුව තීන්දු කර ඇති බවයි.

ආන්ඩුවේ සහ පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ අධිපති ඇතුලු විශ්වවිද්‍යාල පරිපාලනයේ මෙම ප්‍රජාතන්ත්‍ර-විරෝධි පියවර හෙලා දකින සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි), අනධ්‍යයන සේවකයන් සහ ඔවුනගේ වර්ජනය ආරක්ෂා කිරීමට ක්‍රියාකාරීව පෙරට එන ලෙස විශ්වවිද්‍යාල ශිෂ්‍යන්ගෙන්, ආචාර්යවරුන්ගෙන් හා අවශේෂ කම්කරු පන්තියෙන් ඉල්ලා සිටී.

රටපුරා සියලුම විශ්වවිද්‍යාලවල අනධ්‍යන සේවකයන් මෙම වර්ජනයට අවතීර්න වූයේ, වික්‍රමසිංහ ආන්ඩුව විසින් ක්‍රියාවට දමා තිබෙන ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල මගින් ජීවන තත්වයන් අඛන්ඩව කාබාසිනියා කෙරෙන තත්වය තුලයි.

ජාමූඅ කප්පාදු මෙන්ම, ඒවාට එරෙහි වර්ජන සහ විරෝධතා ඇතුලු කම්කරු පන්තියේ කාර්මික ක්‍රියා මැඩීම සඳහා ආන්ඩුව යොදා ගෙන ඇති මර්දන පිලිවෙත් විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයන්ට පමනක් සීමා වී නැත. ශිෂ්‍ය විරෝධතා විසුරුවා හැරීමට ආන්ඩුව අධිකරන නියෝගවලට අමතරව රුදුරු පොලිස් හා කැරලි මර්දන ප්‍රහාර මෙහෙයවා තිබේ.

ජාමූඅ නියෝග මත රාජ්‍ය ව්‍යවසාය 430 ක් පෞද්ගලීකරනයට හෝ වානිජකරනයට ආන්ඩුව පියවර ගනිමින් තිබෙන අතර විදුලි බල මන්ඩලය පෞද්ගලීකරනයට එරෙහි එම සේවකයන් මේ වසරේ මුල යෙදී ගත් විරෝධතාවයක් තුල දී සේවකයක් 62 කගේ වැඩ තහනම් කර තිබේ. වැටුප් හා දීමනා වැඩි කරන ලෙස ඉල්ලා සෞඛ්‍ය සේවකයෝ අඛන්ඩව වර්ජනයේ නිරත වී සිටිති. මේ වැඩෙන පන්ති සටන්වල කිහිපයක් පමනි.

දේශන ශාලා, විද්‍යාගාර සහ නේවාසිකාගාර ආදී යටිතල පහසුකම්වල මෙන්ම, අචාර්යවරුන්ගේ සහ අනධ්‍යන සේවකයන්ගේ හිඟයෙන් රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය දැඩිලෙස පීඩා විඳී. අනුප්‍රාප්තික ආන්ඩු විසින් අඛන්ඩව ගෙනගිය කප්පාදු හේතුවෙන් නිර්මානය කෙරී ඇති මෙම තත්වය, රනිල් වික්‍රමසිංහ ආන්ඩුව විසින් ක්‍රියාවට නංවා ඇති ජාමූඅ හි නව කප්පාදු මගින් වඩාත් උත්සන්න කෙරේ. මෙම ප්‍රහාරයෙන්, ශිෂ්‍යයන්, ආචාර්යවරුන් සහ අනධ්‍යන සේවකයන් යන සමස්ත විශ්වවිද්‍යාල ප්‍රජාවම බැටකති.

මෙම තතු තුල, එකී ප්‍රජාවේ එක් කොටසක් වන අනධ්‍යන සේවකයන්ගේ වර්ජනයට එරෙහිව ආන්ඩුව සමග පෙලගැසීම, ජාමූඅ හි ප්‍රහාර ඉදිරියට ගෙනයාම සඳහා ආන්ඩුවේ අත ශක්තිමත් කර දීමකි.

අවශ්‍ය වන්නේ ආන්ඩුවේ ප්‍රහාර පරාජය කරනුවස් කම්කරු පන්තියේ ඒකාබද්ධ ප්‍රතිප්‍රහාරයක් පෙරට ගැනීමයි. නමුත්, ඒ සඳහා ප්‍රධාන බාධාව වී ඇත්තේ ධනේශ්වර ක්‍රමයට හා එහි පාර්ලිමේන්තු පද්ධතියට බැඳී ගත් වෘත්තීය සමිතිවල හා ව්‍යාජ-වාම පෙරටුගාමී පක්ෂය (පෙසප) යටතේ මෙහෙයවන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබමයේ) වැනි සංවිධානයි.

සමිති නිලධරය, ප්‍රහාරය එල්ල කරන ආන්ඩුවට ම බලපෑම් දැමීමේ සහ ඒ ඒ ක්ෂේත්‍රයට හුදකලා වූ වි‌රෝධතා වලට තම සාමාජිකයන් මෙහෙයවන අතර, ශිෂ්‍යයන් කම්කරු පන්තියේ නායකත්වය වටා බලමුලු ගැන්වීමට එරෙහි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබම) හුදු 'ශිෂ්‍ය විරෝධතාවලට' ශිෂ්‍යයන් කොටුකර තබයි. කම්කරුවන් හා ශිෂ්‍යයන් මෙම විරෝධතා වලින් ලැබූ ජයග්‍රහනයක් නොමැත. ඒවායෙන් ලැබිය හැකි ජයග්‍රහනයක් ද නැත.

අනධ්‍යයන සේවක අරගලය සම්බන්ධයෙන් අවිශිබම සිදුකල එකම ක්‍රියාව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති හමුවී සේවක ඉල්ලීම් ලබාදෙන ලෙසට ආයාචනා කොට තමන්ගේ අත් සෝදා ගැනීමයි. අවිශිබම නායකයන් සේවක වර්ජනයට කිසිදු ක්‍රියාශීලි සහයෝගයක් නොදීමට තීන්දු කර ඇත.

සමිති නායකයන් හා අවිශිබ විරෝධතා සංවිධානය කර තිබෙන්නේ කම්කරුවන්ගේ හා ශිෂ්‍යන්ගේ වැඩෙන විරෝධය වාෂ්ප කර දැමීමේ එල්ලයෙන් මිස ආන්ඩුවට හා ධනපති ක්‍රමයට එරෙහිව අව්‍යාජ අරගලයක් සංවිධානය කිරීමේ අරමුනින් නොවේ.

අනධ්‍යයන සේවක වෘත්තීය සමිති, ආන්ඩුවල බොරු පොරොන්දු මත වර්ජන පාවා දී ඇත්තේ එක් වරක් පමනක් නොවේ. තමන් ඉදිරියේ රාජ්‍ය මර්දනය දිගේලි වන බව දැන දැනත් ආන්ඩුව වෙත ආයාචනා කිරීම පෙන්නුම් කරන්නේ මෙවරත් වර්ජනය පාවා දීමේ තම සූදානමයි.

අනෙක් අතට, ශිෂ්‍යයන්ට නිදහස් අධ්‍යාපන අයිතිය තහවුරු කර ගැනීම සඳහා සැබෑ අරගලයක් දියත් කල හැක්කේ ධනපති ක්‍රමයට අභියෝග කල හැකි සහ සමාජවාදී පිලිවෙත් සඳහා සටන් කල හැකි සමාජයේ එකම විප්ලවවාදී බලවේගය වන කම්කරු පන්තියේ නායකත්වය වටා බලමුලු ගැන්වීමෙන් පමනි.

වර්ජනය හේතුවෙන් අධ්‍යාපන “කඩාකප්පල්” වී ඇතැයි ශිෂ්‍යයන් හා අවශේෂ මහජනයා අනධ්‍යයන සේවකයන්ට එරෙහිව පිහිටුවීමේ ආන්ඩුවේ හා පරිපාලනයේ නරුම උත්සාහය පරාජය කරමින් වර්ජනයට සහයෝගී විරෝධතා සංවිධානය කරන්නැයි ද අවශේෂ කම්කරු පන්තියේ සහයෝගය ගොනු කිරීමට ක්‍රියාශීලිව දායක වෙන්නැයි ද සසජාතශි විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට කැඳවුම් කර සිටී.

අනධ්‍යන කම්කරුවන්ගේ අරගලයට සහයෝගය පල කරමින් මැයි මස 10 දා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පල කල ප්‍රකාශයේ අප මෙසේ අවධාරනය කලෙමු.:

“කම්කරුවන්ගේ අරගලය වර්ධනය කිරීම සඳහා වෘත්තීය සමිති වලින් හා ධනපති පක්ෂවලින් ස්වාධීනව කම්කරු ක්‍රියාකාරී කමිටු පිහිටුවන ලෙස සමාජවාදී සමානතා පක්ෂය යෝජනා කර ඇත.

“වික්‍රමසිංහ ආන්ඩුව පෙරලා දමා සමාජවාදී වැඩපිලිවෙලක් ක්‍රියාවට දැමීමට කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටනකින් පමනක් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රැකගත හැකි බව ද මේ අරගලය ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටනක කොටසක් බව ද සසප පෙන්වා දෙයි.

“සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) මෙම ක්‍රියා මාර්ගයට පූර්න සහයෝගය දෙයි. මෙම ක්‍රියාමාර්ගය පිලිබඳව සාකච්ඡා කිරීමට හා ඒ සඳහා සටන් කිරීමට සසජාතශි සමග එක්වන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.”

Loading