ජර්මනිය තුල ෆැසිස්ට්වාදයේ හා යුද්ධයේ පුනරාගමනය සහ සමාජවාදය සඳහා සටන

පහත පල කෙරෙන්නේ 2024 මැයි 4 ජාත්‍යන්තර ඔන්ලයින් මැයි දින රැලියට The return of fascism and war in Germany and the fight for socialism ජර්මනියේ සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික ලේකම් ක්‍රිස්ටොෆ් වැන්ඩ්‍රියර් පැවැත් වූ කථාවේ සිංහල පරිවර්තනයයි.

වීඩියෝ කැප්ෂන්: මෙම වීඩියෝව සිංහල උපසිරැසි සහිතයි. සිංහල උපසිරැසි සක්‍රීය කර ගැනීමට දකුනු පස පහල කෙලවරේ ඇති දැති රෝදය ක්ලික් කර subtitles යටතේ සිංහල භාෂාව තෝරා ගන්න.

ජර්මනියේ සමාජවාදී සමානතා පක්ෂයේ විප්ලවවාදී සුබ පැතුම් ගෙන එමින් අද දින මැයි රැලිය ඇමතීමට ලැබීම ගැන මම බෙහෙවින් සතුටු වෙමි.

මේ මැයි දිනය අත්‍යධික වැදගත්කමකින් සහ හදිසිභාවයකින් යුක්තය. කම්කරු පන්තියේ ජාත්‍යන්තර එකමුතුවේ සහ ලෝක සමාජවාදී විප්ලවයේ ඉදිරිදර්ශනයෙන් අපි යුද්ධයේ වේගවත් වර්ධනයට සහ විසකුරු ජාතිකවාදයට විරුද්ධ වෙමු. මෙය එක්සත් ජනපදයේ අප සහෝදර පක්ෂයේ ජනාධිපතිවරන ව්‍යාපාරයට සහ මෙහි ජර්මනියේ දී යුරෝපීය මැතිවරන සඳහා වන අපගේ උද්ඝෝෂනයේ දී කේන්ද්‍රීය වෙයි.

න්‍යෂ්ටික ලෝක යුද්ධයක වැඩෙන අන්තරායට අපි විරුද්ධ වෙමු! නාසීන්ගේ ජන සංහාරක යුදෙවු සමූලඝාතන යුද්ධයෙන් වසර 80 කට පසු ව, රුසියාවට එරෙහිව සටන් කිරීමට ජර්මානු ටැංකි නැවතත් යැවීම සහ ගාසාවේ දී ජර්මානු පාලක පන්තිය ජන සංහාරයේ විධික්‍රම වෙත නැවත යොමුවීම ට අපි එකග නොවන්නෙමු.

ජර්මනිය දැන් යුක්‍රේනයට විශාල ප්‍රමානයකින් ආයුධ සපයන දෙවන විශාලත ම සැපයුම්කරු බවට පත් ව, රුසියාවට එරෙහි යුද්ධය තවදුරටත් උත්සන්න කරමින් සිටියි. එසේ කිරීමේදී පාලක පන්තිය තම පැරනි ලෝක යුද පිලිවෙත බාධාවකින් තොරව ඉදිරියට ගෙන යයි.

යුක්‍රේනය බලා ගමන් කරන ජර්මානු ලෙපර්ඩ් 2 යුද ටැංකි [ඡායාරුපය Bundeswehr] [Photo: Bundeswehr]

යුක්‍රේනයේ මිනීමරු වක්‍ර යුද්ධය සාමය සහ නිදහස සඳහා නොව; අමුද්‍රව්‍ය සඳහා දියත් කෙරෙන රුසියාවට එරෙහි සමස්ත යුද්ධයක පූර්විකාවක් පමනක් බවට කිසිදු සැකයක් තිබිය නොහැක. ජර්මනිය වසර පහක් ඇතුලත න්‍යෂ්ටික බලවතා වන රුසියාව සමග එවැනි ගැටුමකට සූදානම් වන බව එස්පීඩී ආරක්ෂක ඇමති පිස්ටෝරියස් ජනවාරි මාසයේදී නැවත නිවේදනය කලේ ය.

මෙම උමතු සැලැස්ම ක්‍රියාවට නැංවීම සඳහා මුලු සමාජයම මිලිටරීකරනය කල යුතු ය. හරිත පක්ෂයේ ආර්ථික ඇමති හබෙක්, නාසීන්ගේ සම්ප්‍රදාය අනුගමනය කරමින් ඔහු තමන් “ආයුධ කර්මාන්තයේ ඇමති” ලෙස නම් කර ගෙන ඇති අතර එෆ්ඩීපී අධ්‍යාපන ඇමති ස්ටාර්ක් වට්සින්ගර් ට අවශ්‍ය වන්නේ හමුදා පුහුනුව හඳුන්වා දීමට සහ සොල්දාදුවන් පාසල් වෙත යැවීමටයි.

ජර්මානු පාලක පන්තිය නැවත වරක් මුදා හැරීමට සූදානම් වන කුරිරුකමේ තරම ගාසා තීරයේ බිහිසුනු ජන සංහාරයට එහි සහයෝගයෙන් පෙන්නුම් කෙරෙයි. එය පිරිමින්ට, ස්ත්‍රීන්ට සහ ලමයින්ට බෝම්බ හෙලීමටත් සමස්ත සිවිල් ජනගහනය හාමතේ තැබීම ට ත් අන්ත දක්ෂිනාංශික නෙතන්‍යාහු පාලනයට සපුරා සහයෝගය දෙයි. මෙය යුදෙව් ජීවිත ආරක්ෂා කිරීමට නොවෙයි, යුක්‍රේනයේ මෙන් මෙහිදීත් මොවුන් මෙහෙය වෙන්නේ හුදෙක් අධිරාජ්‍යවාදී අවශ්‍යතාවලිනි.

ජර්මානු ආන්ඩුව සිය නව මහා බල ප්‍රතිපත්තිය යුක්තිසහගත කිරීම සහ යුදෙව් විරෝධීවාදයට එරෙහි සටන සමඟ ජන සංහාරයට සහයෝගය දෙන විට එය එහි නරුමත්වයේ උච්ඡතම අවස්ථාවයි.

ජන සංහාරය, රාජ්‍ය ප්‍රතිපත්තිය යැයි ප්‍රකාශ කරන්නේ සහ හිට්ලර්ගෙන් පසු නොදුටු පරිමාවකට ජර්මානු හමුදාව සන්නද්ධ කරන්නේ, පීඩිත පලස්තීනුවන් සමඟ සහයෝගීතාවය පෙන්වන මිලියන ගනන් කම්කරුවන් හා තරුනයින් නොව, නාසින්ගේ දුඹුරු සම්ප්‍රදායන් වෙත නැවත පැමිනෙමින් සිටින සහ රුසියාවට එරෙහිව සටන් කිරීමට ජර්මානු යුද ටැංකි යවන පාලක පන්තියයි.

මෙම උමතුවේ පිරිවැය කම්කරුවන් මත පටවනු ඇත. මෙම බිහිසුනු යලි සන්නද්ධ කිරීම සඳහා මුදල් යෙදවීමට සෞඛ්‍යය, අධ්‍යාපනය සහ නිවාස සඳහා අරමුදල් කප්පාදු කෙරෙයි. සෞඛ්‍ය වියදම් පමනක් වසංගතය අතරතුර තුනෙන් දෙකකින් කපා හැරුනි. ආයුධ සඳහා තවත් බිලියන ගනනක් ලබා ගැනීම පිනිස වෘත්තීය සමිතිවල සමීප සහයෝගය ඇතිව රාජ්‍ය අංශයේ සහ රජය සතු දුම්රිය හා තැපැල් සේවාවන්හි ද මූර්ත වැටුප් සියයට 25 දක්වා කප්පාදු කර ඇත.

2023 පෙබරවාරි 6 වැනි දා බර්ලිනයේ තැපැල් කම්කරුවන්ගේ රැලියක්

ධනය කඳු ගසා ගැනීමේ කෑදරකම සමාජය මුදුනේ අබාධිත ව රජයයි. ඒ අතරම, සමාජයේ ඉහලම ස්ථානයේ ධනවත් වීමේ තෘෂ්නාව නොනැසී පවතී. සංගතවලට සහ ධනවතුන්ට බිලියන ගනන් වටිනා තිලින ප්‍රදානයක් ලෙස ධනවත් ම ජර්මානුවන් පස්දෙනාගේ සමස්ත ධනය 2020 පසු ඩොලර් බිලියන 89 සිට 155 දක්වා හතරෙන් තුනකින් වැඩි වී ඇති අතර ජර්මනියේ මිලියන 14 කට වැඩි ජනතාවක් දැන් දරිද්‍රතාවයේ ජීවත් වෙති.

මෙම යුද පිලිවෙතට සහ සමාජ විනාශයට එරෙහිව ප්‍රතිරෝධයක් වර්ධනය වෙමින් පවතී. මන්ද, ජර්මනියේ කම්කරුවෝ යුද්ධය සහ ෆැසිස්ට්වාදය යන්නෙන් අදහස් කරන්නේ කුමක්දැයි හොඳින් දනිති. අති බහුතරයක් ගාසා තීරයේ ජන සංහාරය සහ රුසියාවට එරෙහි යුද්ධයට සූදානම් වීම යන දෙක ම ප්‍රතික්ෂේප කරති. ෆෙඩරල් සමූහාන්ඩු ඉතිහාසයේ වඩාත් ම වෛරයට ලක් වූ ආන්ඩුව වත්මන් සභාග ආන්ඩුවයි. චාන්සලර්ගේ පක්ෂය වන එස්පීඩී සියයට 15ට අඩු ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිද්දී එෆ්ඩීපී නියෝජනය සියයට 5 බාධක සීමාව සපුරා ගැනීමට නොහැකි වීමේ අවදානමකට ඇද වැටී තිබේ.

නමුත් ආන්ඩුව මහජන මතයට ඇහුම්කන් දීමෙන් ඊට ප්‍රතිචාර දක්වන්නේ නැත. එය එහි කන් බිහිරිකරන යුද ප්‍රචාරනය තීව්‍ර කරමින් ඒකාධිපති පියවර ගනිමින් සිටී. එය විදේශ ප්‍රතිපත්තියේ දී පමනක් නොව දේශීය ප්‍රතිපත්තියේ දී ද සිය ෆැසිස්ට් සම්ප්‍රදාය අඛන්ඩව පවත්වාගෙන යයි.

බර්ලිනයේ පලස්තීන කොංග්‍රසයට සහ බුන්ඩස්ටාග් (ජාතික පාර්ලිමේන්තුව) ඉදිරිපිට විරෝධතා කඳවුරට එරෙහිව ම්ලේච්ඡ පොලිස් මෙහෙයුම්වල ඡායාරූප ජර්මනියේ සැබෑ පන්ති සබඳතා පෙන්නුම් කරයි. යුද්ධයට එරෙහි වාමාංශික යුදෙව්වන් පවා ජර්මානු පොලිසිය විසින් පරිභව කර රඳවා තබා ගන්නේ සියල්ල යුදෙව් විරෝධීන්ට එරෙහි ව කරන සටනක නාමයෙනි. මිලිටරිවාදයට විරුද්ධ ඕනෑ ම අයෙකු නිහඬ කිරීම මෙහි අරමුනයි.

ජර්මානු පොලීසිය 2024 අප්‍රේල් 12 “සාමය සඳහා යුදෙවු හඬ” (Jewish Voice for Peace) ව්‍යාපාරයේ ප්‍රකාශක උඩි රස් අත්අඩංගුවට ගනිමින් [ඡායාරුප @AliAbunimah] [Photo: @AliAbunimah]

කැප්ෂන්: ජර්මානු පොලීසිය 2024 අප්‍රේල් 12 “සාමය සඳහා යුදෙවු හඬ” (Jewish Voice for Peace) ව්‍යාපාරයේ ප්‍රකාශක උඩි රස් අත්අඩංගුවට ගනිමින් [ඡායාරුප @AliAbunimah]

ෆැසිස්ට් ඒඑෆ්ඩී (ජර්මනිය සඳහා විකල්පය) හිතාමතා ම ගොඩනඟන ලද්දේ මෙම අරමුන සඳහාමයි. එය සෞඛ්‍ය සම්පන්න ඓන්ද්‍රියක ඇතිවූ ආගන්තුක දේහයක් නොව, තදින් ම රෝගී වූ පද්ධතියක නරකම රෝග ලක්ෂනයකි. අනෙකුත් සියලුම ධනේශ්වර පක්ෂ එයට ගරුසරු කොට, එහි වැඩපිලිවෙල ක්‍රියාවට නංවමින්, එය ආන්ඩුවට ඇතුලත් කර ගැනීමට බොහෝ කලක සිට සූදානම් වෙමින් සිටිති.

මෙය නමට පමනක් වාමාංශික වූ පක්ෂ සඳහා ද විශේෂයෙන් අදාල වෙයි. හරිතයන්ගේ හිටපු සාමවාදීහු වඩාත් ආක්‍රමනශීලී යුදඝෝෂකයන් බවට පත්ව සිටිති. ආන්ඩු පක්ෂය වන එස්පීඩීය තාක්ෂනාධිපත්‍යධාරී කුරිරුභාවයෙන් මිලිටරිවාදය ක්‍රියාවට දමන අතර 'වාම පක්ෂය' ද ගාසා තීරයේ ජන සංහාරයට සහ රුසියාවට එරෙහි යුද්ධයට සහයෝගය ලබා දී ඇත. සාරා වැග්නෙක්ට්ගේ ජාතිකවාදී භේදය සම්බන්ධයෙන් ගත් කල, යලි සන්නද්ධ කිරීම කෙරෙහි ඇයට විරුද්ධත්වයක් නැති නමුත් ඇයට අවශ්‍ය වන්නේ එක්සත් ජනපදයෙන් ස්වාධීනව ජර්මානු මිලිටරිවාදය සමඟ ඉදිරියට යාමට පමනි.

මෙය අන් සියල්ලටමත් වඩා එක දෙයක් පෙන්නුම් කරයි:: ඔබට ධනේශ්වර එක්සත් පක්ෂයට (යුනිටි පාටි) ආයාචනා කිරීමෙන් තුන්වන ලෝක යුද්ධයක් ඇතිවීම වැලැක්වීම සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සහ සමාජ ජයග්‍රහන ආරක්ෂා කිරීම කල නොහැකි බවයි.

අතිමහත් බහුතරයකගේ අවශ්‍යතා, ලාභයට ඇති කෑදරකම හා පාලක පන්තියේ අධිරාජ්‍යවාදී ආසක්තයන් සමග තවදුරටත් පෑහීමට නොහැක. යුද්ධය සහ අසමානතාවය අවසන් කිරීමට මහ ජනතාව දේශපාලන ක්‍රියාවලිය තුල ස්වාධීනව මැදිහත් වී බැංකු හා සංගතවල බලය බිඳ දමා, ඒවා ප්‍රජාතන්ත්‍රවාදී පාලනයට නතු කල යුතු ය.

රෝසා ලක්සම්බර්ග් 1907 ස්ටුට්ගාට් හි දී දෙවන ජාත්‍යන්තරයේ රැලියක් අමතමින්

රෝසා ලක්සම්බර්ග් පලමු ලෝක යුද්ධය ආසන්නයේ අවධාරනය කල පරිදි: “කෙනෙකුට අධිරාජ්‍යවාදයට, යුද්ධයට, රටවල් කොල්ල කෑමට, නීතිය උල්ලංඝනය කිරීමට සහ ප්‍රචන්ඩ දේශපාලනයට එරෙහි ව සටන් කල හැක්කේ ධනවාදයට එරෙහිව සටන් කිරීමෙන් හා සමාජ විප්ලවය මගින් ගෝලීය දේශපාලන ජන සංහාරයට විරුද්ධ වීමෙන් පමනක්' බව කම්කරු පන්තිය නිගමනය කල යුතු ය.

අපගේ මැතිවරන ව්‍යාපාරය තීරනාත්මකව වැදගත් වන්නේ ඒ නිසයි. අපි යුද ප්‍රචාරනයට සහ පොලිස් රාජ්‍ය ක්‍රියාමාර්ගවලට විරුද්ධ වන අතර කම්කරු පන්තියේ විඥානය එහි ඓතිහාසික කර්තව්‍යයන්ගේ මට්ටම දක්වා ඉහල නැංවීමට සටන් කරන්නෙමු. මෙම ජාත්‍යන්තර මැයි දිනය ඒ සඳහා ඉතා වැදගත් පියවරකි.

Loading