යුක්‍රේනය තුල අව්‍යාජ සමාජවාදය ජයග්‍රහනය කරනු ඇත

පහත පල කෙරෙන්නේ 2024 මැයි 4 ජාත්‍යන්තර මැයි දින ඔන්ලයින් රැලියට යූනියන් ඔෆ් ලෙෆ්ට් ෆෝසර්ස්-ෆෝර් අ නිව් සෝෂලිසම් (නව සමාජවාදයක් සඳහා වාම බලයන්ගේ සන්ධානය) පක්ෂයේ නායක මැක්සිම් ගොල්ඩාර්බ් කල කතාවේ සිංහල පරිවර්තනයයි.

වීඩියෝ කැප්ෂන්: මෙම වීඩියෝව සිංහල උපසිරැසි සහිතයි. සිංහල උපසිරැසි සක්‍රීය කර ගැනීමට දකුනු පස පහල කෙලවරේ ඇති දැති රෝදය ක්ලික් කර subtitles යටතේ සිංහල භාෂාව තෝරා ගන්න.


කම්කරුවන්ගේ සහයෝගිතා දිනය සමරමින් මෙම වීඩියෝව නරඹන සැමට ආචාර කිරීමට මට අවශ්‍යයි. හිස කෙලින් තබා ගෙන සිටින්නැයි මම ඔබෙන් ඉල්ලා සිටිමි. සෑම දෙයක්ම සාර්ථක වනු ඇත.

අද මා විසින් මෙහෙයවන යුක්‍රේනයේ 'වාම ව්‍යාපාරය' ඉතා දුෂ්කර තත්ත්වයකට මුහුන දී සිටියි. 2014 සිට අප රට පාලනය කරන යුක්‍රේන ජාතිකවාදී, කතිපයාධිකාරී පාලනය විසින් එය තහනම් කරනු ලැබ ඇත. සියලුම වාමාංශික, සමාජවාදී සහ කොමියුනිස්ට් පක්ෂ තහනම් කර තිබේ. ඒවායේ ක්‍රියාකාරීන් සහ නායකයින් සිටින්නේ එක්කෝ විදේශගත වීමට බල කෙරී ඇති තත්වයකය, නැති නම් සිරගතව ය. සමහරෙකු ඝාතනය කරනු ලැබ ඇත.

මේ අද අපේ රටේ යථාර්ථයයි. තව ද මෙම තත්ත්වය රටේ නීතිය බවට පත් ව තිබේ.

වත්මන් යුක්‍රේන නීතිවලට අනුව, යමෙකු රතු කොඩියක් අතැතිව මැයි දිනය සැමරීමට ගියහොත්, රහස් ඔත්තු සේවය විසින් පාලනය කරනු ලබන නව නාසිවාදීන් විසින් ඔහුට පහර දෙනු ඇත. ඊට පසු අවුරුදු කිහිපයකට හිරේ දමනු ඇත. අද යථාර්ථය එ සේ ය.

සති කිහිපයකට පෙර ප්‍යොතර් තොච්කෝ මිය ගියේ ය. ඔහු මා විසින් නායකත්වය දෙනු ලබන යුක්‍රේනයේ යූනියන් ඔෆ් ලෙෆ්ට් ෆෝසස් පක්ෂයේ නිර්මාතෘ සහ ලෝක ප්‍රකට ඉතිහාසඥයෙකු සහ ශාස්ත්‍රාලිකයෙකි. නිවාස අඩස්සියේ සිටිය දී මිය යන විට ඔහු 86 වැනි වියේ පසු විය. ඔහුට එරෙහි ව අපරාධ නඩු පවරා තිබුනි. ඔහුට එල්ල කෙරුනු රාජද්‍රෝහී චෝදනාව අභූත; මුග්ධ සහ විකාර සහගතයි. නිසැකව ම, අපරාධ නඩු විභාගය ඔහුගේ මරනය ඉක්මන් කලේ ය. මට තවත් එවැනි උදාහරන ඕනෑ තරම් සඳහන් කල හැකියි. ඔබමත් ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු ගැන දන්නෙහි ය.

මේ සියල්ල තිබියදීත්, අපි අත් නොහරිමු. අපි හිස කෙලින් තබා ගෙන සිටිමු. අපගේ ජයග්‍රහනය ගැන අපට විශ්වාසයි. කෙසේ වෙතත්, අවසානයේ දී, යුක්‍රේනයේ යථා, සෞඛ්‍ය සම්පන්න සමාජවාදය ජයග්‍රහනය කරනු ඇති බවට අපට විශ්වාසයි. අද කතිපයාධිකාරී පාලන තන්ත්‍රය සහ එහි රූකඩ විසින් මෙයෙවනු ලබන යුක්‍රේනය, මෙම අඳුරු හා භයානක තත්ත්වයෙන් අවසානයේදී අප විසින් මුදවා ගනු ලැබෙන බවට අපට විශ්වාසයි.

එබැවින්, ආදරනීය සහෝදරවරුනි, මම ඔබට ආත්ම ශක්තිය ප්‍රාර්ථනා කරන්නෙමි. එ සේ ම, අප ඔබ සමග සහයෝගයෙන් සිටින බව පවසමි. මානව හිමිකම් සහ ලොව පුරා කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන සියලුම යථා මිනිසුන් සමඟ අපි සහයෝගී ව සිටිමු.

වැඩ කරන අයට ඔවුන්ගේ ශ්‍රමයේ ඵලය ලැබෙන කාලයක් පැමිනෙන බව මට විශ්වාසයි. මෙය අපට අවශ්‍ය ආකාරයට සාධාරන, යථා සහ මානුෂීය වනු ඇත.

මනුෂ්‍ය වර්ගයා දුක් විඳීමට හා විනාසයට පත් කල ඒ සියලු කෙරුම්කාරයන්, අධිරාජ්‍යවාදීන්, කතිපයාධිකාරීන්, ඔවුන්ගේ අමනයන්, නාසීන් සහ ෆැසිස්ට්වාදීන්, සෑම රටකම ජනතාව විසින් දැඩි ලෙස විනිශ්චය කෙරෙනු ඇත.

ඔබට සුබ නිවාඩු දිනයක්! සුභ මැයි දිනයක්!

Loading