ඉදිරිදර්ශන

න්‍යෂ්ටික යුද්ධයකට යොමු වූ එක්සත් ජනපද-නැටෝ උත්සන්නිය නතර කරනු! අධිරාජ්‍යවාදී යුද්ධයට හා ජන සංහාරයට එරෙහිව ජාත්‍යන්තර කම්කරු පන්තිය එක්සත් කරමු!

[මෙය Stop the US-NATO escalation toward nuclear war! Unite the international working class against imperialist war and genocide! යන මැයෙන් 2024 ජූනි 02 ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]

M270 MLRS රොකට් විදිනයකින් ATACMS මිසයිලයක් එල්ල කරයි.

1. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක), න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ රාජ්‍යයන් අතර පූර්න පරිමානයේ යුද්ධයක් දක්වා වේගයෙන් වර්ධනය වෙමින් තිබෙන රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධයේ නවතම උත්සන්න කිරීම හෙලා දකියි. මෙය ඇමරිකානු ආන්ඩුවක් විසින් මෙතෙක් ගනු ලැබූ වඩාත්ම සාහසික තීරනයයි. එහි යුරෝපීය සහචරයින් සම්බන්ධයෙන් ගත් කල, මෙම තීව්‍රකිරීම සඳහා ඒ රටවල් ලබාදෙන සාහසික සහයෝගීතාව සමානවන්නේ, ඔවුන් 1914 දී පලමු ලෝක යුද්ධය සහ 1939 දී දෙවන ලෝක යුද්ධය ව්‍යසනකාරී ලෙස දියත් කිරීම සමග පමනි. එක්සත් ජනපද පාලක පන්තියට හෝ එහි අධිරාජ්‍යවාදී සහචරයින්ට ඉක්මවිය යුතු නැති 'රතු ඉරි' නැත. 35,000 කට වැඩි ගාසා වැසියන් ඝාතනය කිරීම සඳහා ඊශ්‍රායල රාජ්‍යයට දේශපාලනික සහාය සහ ආයුධ සැපයූ ඔවුන්, යුක්‍රේනය තුල ක්‍රියාමාර්ග ගනිමින් සිටින්නේ මෙම ග්‍රහ ලෝකයේ සියලු ජීවීන් විනාශ කල හැකි න්‍යෂ්ටික ව්‍යසනයකට තුඩු දෙන ආකාරයට ය. ජන සංහාරයට සහ යුද්ධයට යටින් පවතින හේතුව වන නොවිසඳිය හැකි ගෝලීය අර්බුදය ගැබ් කරගත් ගෝලීය ධනපති ක්‍රමය ම්ලේච්ඡත්වය කරා පල්ලම් බසිමින් තිබේ.

2. සිකුරාදා, එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්, යුක්‍රේනයේ ඛාර්කිව් නගරය ආසන්නයේ රුසියානු භූමියට ඇමරිකානු දිගු දුර ආයුධ භාවිතා කරමින් ප්‍රහාර එල්ල කිරීමට යුක්‍රේනයට රහසිගතව අවසර දුන්නේ ඔහුගේ එම ක්‍රියාවන්ට හේතු පැහැදිලි කරන ප්‍රසිද්ධ ප්‍රකාශයක් පවා ඉදිරිපත් නොකරමිනි. ඉක්බිතිව, ජර්මනිය ද එලෙසම ක්‍රියා කරන බව නිවේදනය කලේය. පැය 24 ක් ඇතුලත දැනටමත්, යුක්‍රේනය ඇමරිකාව විසින් සපයන ලද අවි භාවිතා කරමින් රුසියාවට ප්‍රහාර දියත් කර ඇත. මෙම තීරනය ගෙන ඇත්තේ ඛාර්කිව් තුල සහ ඒ අවට යුක්‍රේන බලකායන්ගේ මිලිටරි බිඳවැටීමට ප්‍රතික්‍රියා දැක්වීමක් වශයෙනි.

3. එක්සත් ජනපදය, ජර්මනිය සහ එක්සත් රාජධානිය යුක්‍රේනයට සැතපුම් 300 කට වඩා දිගු දුරකට පහර දිය හැකි කෲස් සහ බැලස්ටික් මිසයිල ලබා දී ඇත. යුක්‍රේන භූමියෙන් මෙම මිසයිල එල්ල කල විට, රුසියාවේ කර්ස්ක්, බෙල්ගොරොද්, වොරොනෙෂ්, රොස්ටොව් සහ වොල්ගොග්‍රෑඩ් ඇතුලු විශාලතම නගර කිහිපයකට පහර දීමට හැකිවේ.

4. දෙවන ලෝක සංග්‍රාමයේදී සෝවියට් සංගමයට එරෙහි නාසීන්ගේ “සමූලඝාතක යුද්ධයෙන්” පසු, සහ එක්සත් ජනපදය සම්බන්ධයෙන් ගත් කල, 1917 විප්ලවයෙන් පසු සිවිල් යුද්ධයෙන් ඉක්බිතිව, අධිරාජ්‍යවාදී බලවතුන් සෘජුව ම රුසියානු භූමිය ඉලක්ක කර ගෙන නොමැත. සීතල යුද්ධයේ උච්ඡතම අවස්ථාවේ දී පවා එවැනි ක්‍රියාමාර්ග නොගත්තේ, ඒවා පූර්න පරිමාන න්‍යෂ්ටික යුද්ධයක් අවුලුවනු ඇතැයි උපකල්පනය කල බැවිනි.

5. තම භූමියට එල්ල කරන ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීම සඳහා න්‍යෂ්ටික අවි භාවිතා කරන බවට රුසියාව විසින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ලද නිල මිලිටරි මූලධර්මය “පුහු තර්ජනයක්” යයි කරන ප්‍රකාශවලින් එක්සත් ජනපද මාධ්‍ය පිරී ඇත. තර්කය නම්, රුසියාව අතීතයේ දී එක්සත් ජනපද ප්‍රකෝප කිරීම්වලට ප්‍රතිචාර නො දැක්වූ බැවින්, ප්‍රතිවිපාක නොලබා ම නැටෝවට රුසියාවේ “රතු ඉරි” කපාගෙන යා හැකි බවයි. හිටපු රිපබ්ලිකන් කොන්ග්‍රස් සභික ඇඩම් කිංසින්ගර් පසුගිය සතියේ සීඑන්එන් හි පලකල ලිපියක ප්‍රකාශ කලේ, “පුටින්ගේ පුහු තර්ජන කැඳවීමට කාලයයි,” යනුවෙනි. විශ්‍රාමික ජෙනරාල් පිලිප් බ්‍රීඩ්ලව්, හිටපු තානාපති මයිකල් මැක්ෆෝල්, ස්ටැන්ෆෝර්ඩ් මහාචාර්ය ෆ්‍රැන්සිස් ෆුකුයාමා සහ හිටපු එක්සත් ජනපද නිලධාරීන් දුසිම් ගනනක් විසින් ධවල මන්දිරයට යැවූ ලිපියක, “නිසැකව ම රුසියාවේ හිස් තර්ජන වලින්, එක්සත් ජනපදය සාර්ථකව අධෛර්යට පත්කරනු ලැබ ඇත,” යනුවෙන් සඳහන් විය.

6. රුසියාවේ මිලිටරි මූලධර්මය “පුහු තර්ජනයක්” බව ප්‍රකාශ කිරීම, වඩාත් මූලික විමර්ශනයට පවා නො ගැලපේ. රුසියානු ආන්ඩුව අතීතයේ දී නැටෝ ප්‍රකෝප කිරීම්වලට ප්‍රතිචාර නො දැක්වූ පමනින්, අනාගතයේ දී එය එසේ නොකරනු ඇතැයි අදහස් නොවේ. නිදසුනක් වශයෙන්, රුසියාව හෝ චීනය එක්සත් ජනපද භූමියට ප්‍රහාර දියත් කිරීමට තීරනය කල විට, ඇමරිකානු ආන්ඩුව ප්‍රතිචාර දැක්වීමට “එඩිතර නොවනු ඇත” යි ප්‍රකාශ කලහොත්, එක්සත් ජනපදය අතිමහත් බලයකින් ප්‍රතිප්‍රහාර එල්ල කිරීම නොවැලැක්විය හැකිය යන්න ගැන කවරෙකුට හෝ සැක පහල කල හැකිද?

7. මිලිටරි ආස්ථානයකින් ගත් කල, තම භූමියට එල්ල කරන නැටෝ ප්‍රහාරවලට ඒ ආකාරයට ම ප්‍රතිචාර දැක්වීමට රුසියානු හමුදාවට බලකෙරෙන්නේ මන්ද යන්නට සැබෑ හේතු තිබේ. එපමනක් නොව, නැටෝ යුද උත්සන්න කිරීම මගින් අවුලුවාලූ අර්බුදය මධ්‍යයේ, නැටෝවට එරෙහිව ප්‍රතිප්‍රහාර එල්ල කිරීම සඳහා මිලිටරි ක්‍රියාමාර්ග භාවිතා කිරීමට, පුටින්ටත් වඩා සූදානම් කන්ඩායමක් විසින් ඔහුව විස්ථාපනය නොකරනු ඇතැයි කිව හැක්කේ කාටද?

8. ප්‍රහාරයක් එල්ල වුවහොත් රුසියානු හමුදාව ප්‍රතිප්‍රහාර නොදෙන බවට එක්සත් ජනපද නිලධාරීන් කරන ප්‍රකාශයන් කෙතරම් නිස්සාර ඒවාද යත්, මෙම ප්‍රකාශයන් කරන අය පවා ඒවා විශ්වාස කරනු ඇතැයි සිතිය නොහැක; ඊට විපරිතව, එම ප්‍රකාශයන්ගේ සැබෑ අරමුන, එක්සත් ජනපදය විසින් න්‍යෂ්ටික පලිගැනීමක් සාධාරනීකරනය කිරීමට භාවිතා කරනු ඇති යම් ආකාරයක දරුනු මිලිටරි ක්‍රියාමාර්ගයක් රුසියානු ආන්ඩුව වෙතින් අවුලුවා ගැනීමයි.

9. 2018 එක්සත් ජනපද ජාතික ආරක්ෂක උපායමාර්ගයේ කතුවරයා වන එල්බ්‍රිජ් කොල්බි, 2021 වර්ෂයේ නිකුත් කෙරුනු සිය ප්‍රතිෂේධන මූලෝපාය (Strategy of Denial) ග්‍රන්ථයේ, එක්සත් ජනපද හමුදාවේ ඉලක්ක වෙත “පලමු වෙඩිල්ල තැබීමට” බල කරනු ලැබීම, එහෙයින් ආක්‍රමනිකයන් ලෙස පෙනෙන්නට සැලැස්වීම, එක්සත් ජනපද ප්‍රචාරනයට කෙතරම් වැදගත්ද යන්න පැහැදිලි කරයි:

සමහර විට [විරුද්ධවාදියෙකු] මේ ආකාරයෙන් පෙනෙන බව සහතික කර ගැනීමේ පැහැදිලිම සහ සමහර විට වැදගත්ම ක්‍රමය වන්නේ, මුලින්ම පහර දිය යුත්තේ ඔහු බව සහතික කරගැනීම යි. එය ආරම්භ කල තැනැත්තා ආක්‍රමනිකයා වන අතර, ඒ අනුව, අනුමාන වශයෙන් සදාචාරාත්මක වගකීමෙන් වැඩි කොටසක් ඔහුට පැවරේය යන්නට වඩා ගැඹුරින් මුල් බැස ඇති මානව සදාචාරාත්මක අන්තර්ඥානයක් ඇත්තේ නැත.

10. බයිඩන් පරිපාලනය මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත්තේ, එය ප්‍රකාශයට පත් කරමින් ප්‍රසිද්ධ නිවේදනයක් කිරීමට පවා උනන්දු නොවෙමිනි. නිව් යෝර්ක් ටයිම්ස් මැයි 29 දා මෙසේ ලිවීය: “[බයිඩන්] බොහෝ විට [මෙම පියවර] ප්‍රකාශ නොකරනු ඇතැයි නිලධාරීන් ඒත්තු ගෙන සිටී: ඒ වෙනුවට, ඇමරිකානු කාලතුවක්කු උන්ඩ සහ මිසයිල රුසියානු හමුදා ඉලක්ක මත පතිතවීමට පටන් ගනු ඇත.” ටයිම්ස් පුවත්පතේ පෙර ලිපියක සඳහන් වූයේ ප්‍රහාරවලට එක්සත් ජනපදය අවසර දී නැත්තේ, “බයිඩන් මහතාගේ විධිනියෝගය 'තුන්වන ලෝක යුද්ධයෙන් වැලකී සිටීම,' වන නිසාය. නමුත් එම ප්‍රතිපත්තිය වටා ඇති සම්මුතිය බිඳ වැටෙමින් පවතී.' ශිෂ්ටාචාරය අවසන් කල හැකි න්‍යෂ්ටික යුද්ධයක අවදානමකට ලක් කිරීමට සූදානම් වන බයිඩන් ආන්ඩුව, එසේ කිරීම සඳහා යුක්‍රේනය අලලා ගත් එතරම් දැවැන්ත වැදගත් දේ කුමක්දැයි කිසිදු අවස්ථාවක පැහැදිලි කර නැත.

11. නැටෝ බලවත්තු න්‍යෂ්ටික අවි සමඟ අතිශයින් ම අවදානම් සූදුවක යෙදී සිටිති. සාකච්ඡා මගින් සමථයකට පත්කිරීමේ හැකියාවක් හෝ අවදානම් සීමාවට යාමේදී 'වේගය අඩු කරන මාවතක්' පවා යෝජනා නොකරමින් ඔවුහු යුද්ධය කරා ඇදී යති.

12. නවතම ක්‍රියාවන් නිශ්චිත රටාවක් අනුව සිදුවේ. බයිඩන් පරිපාලනය යුද්ධය තුල එක්සත් ජනපදයේ මැදිහත්වීම සීමා කිරීමට තමන් විසින් නියම කරගත් සෑම “රතු ඉරක්ම” යලි යලිත් කපාගෙන ගොස් තිබේ. 2022 මාර්තු මාසයේදී බයිඩන් ප්‍රකාශ කලේ, “අප ප්‍රහාරක උපකරන යැවීමටත්, ඇමරිකානු ගුවන් නියමුවන්, ඇමරිකානු කාර්ය මන්ඩලය සමඟ ගුවන් යානා, යුද ටැංකි සහ දුම්රිය යැවීමටත් සූදානම් ය” යන්නෙන් අදහස් කෙරෙන්නේ “තුන්වන ලෝක යුද්ධය” යන්න බව යි. 2022 මැයි මාසයේදී, බයිඩන්ගේ නිව් යෝර්ක් ටයිම්ස් හි අදහස් දැක්වීමේ ප්‍රකාශයක සඳහන් කලේ “අපි යුක්‍රේනයට එහි දේශසීමාවෙන් ඔබ්බට ප්‍රහාර එල්ල කිරීමට දිරිගැන්වීම හෝ ක්‍රියාශීලි කිරීමක් නොකරමු,” යනුවෙනි. 2022 ජූනි මාසයේදී ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මෙසේ ප්‍රකාශ කලේය: “අපි රුසියාව සමඟ යුද්ධයකට නොයන්නෙමු, එබැවින් ඇතැම් අවි—විශේෂයෙන්, ප්‍රහාරක ගුවන් යානා හෝ යුද ටැංකි සැපයීම නොකිරීමට එකඟ වීමු.”

13. නැටෝව මෙම “රතු රේඛා” සියල්ලම කපාගෙන ගොස් ඇත. පලමුව, නැටෝව විසින් සන්නද්ධ වාහන ද, පසුව ප්‍රධාන යුද ටැංකි සහ ඉන්පසු දිගු දුර මිසයිල ද යවා තිබේ. ඉක්බිති, නැටෝ සාමාජිකයින්, ඔවුන්ගේ ම පුරවැසියන් කිසිවෙකුට නොදන්වා, යුක්‍රේනය තුල සිය ගනනක් හමුදා භටයන් රහසිගතව යෙදවීය. යුක්‍රේනයේ යුද්ධයට එක්සත් ජනපදය සෘජුවම මැදිහත් වීම “තුන්වන ලෝක යුද්ධයට” සහ “ලෝක විනාශයට” තුඩු දෙනු ඇතැයි ප්‍රකාශ කිරීමෙන් පසුව, බයිඩන් එය ම කිරීමට හේතු වූයේ කුමක්ද යන්න පැහැදිලි නොකරමින් ම, සිය අදහස වෙනස් කර ඇති බව පෙනේ.

14. රුසියාවට එරෙහි යුද්ධය තීව්‍ර කිරීමේ මීලඟ පියවර වනුයේ, දස දහස් ගනනක් නැටෝ හමුදා යුක්‍රේනයට යැවීම බවට විවාදයක් නැත. මෙම තව දුරටත් උත්සන්න කිරීම, නිසැකව ම ජූලි මාසයේ වොෂින්ටන්, ඩී.සී. හි පැවැත්වීමට නියමිත නැටෝ සමුලුවේ දී රහසිගත සාකච්ඡාවල විෂය වනු ඇත. යුද්ධයට එරෙහිව වැඩෙන විරුද්ධත්වය පුර්ව-භංග කිරීමට සහ පුලුල් යුරෝපීය යුද්ධයක නව අදියරක් සඳහා දේශපාලන රාමුව නිර්මානය කිරීමට, සමුලුවට පෙර, එක්සත් රාජධානියේ හදිසි මහ මැතිවරනයක් ජූලි 4 ට කැඳවා තිබේ.

15. බයිඩන් පරිපාලනය විසින් පෙරමුන ගෙන යුක්‍රේන යුද්ධය උත්සන්න කිරීම, සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසු දශක ගනනාවක් තිස්සේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ගෝලීය කඩාපැනීමේ අතිශය ආන්තික ප්‍රකාශනයයි. තම අවශ්‍යතා ලුහුබැඳීම සඳහා පාලක ප්‍රභූව දැවැන්ත පරිමානයෙන් මරනය හා විනාශය පිලිගැනීමට සූදානම්ව සිටිති. දැනටමත් දස දහස් ගනනක් ඝාතනය කර ඇති සහ මිලියන 2 කට වැඩි මුලුමහත් ජනගහනයක් සාගතයට ලක් කරමින් ගෙනයන ගාසා ජන සංහාරයට ද එම ආන්ඩු අරමුදල් සම්පාදනය කරමින්, සන්නද්ධ කරමින් සහ දේශපාලනිකව සහාය දක්වමින් සිටිති.

16. රුසියාව යටත් කිරීම යනු, පැරනි සෝවියට් සංගමය බෙදා ගැනීම සහ යටත් කරගැනීම පමනක් නොව, අවසානයේ චීනය ද ඉලක්ක කරගත් පුලුල් ගෝලීය න්‍යාය පත්‍රයක කොටසකි. බොහෝ දුරට චීනය සමඟ වෙලඳාමේ විශාල වැඩිවීමත් ඉරානයෙන් හා උතුරු කොරියාවෙන් තරමක ආයුධ සම්පාදනයවීමත් නිසා, රුසියාව ආර්ථික වශයෙන් අඩපන කිරීමට එල්ල කෙරුනු දන්ඩනීය සම්බාධකවලින් එරට දනගැස්වීමට අසමත් විය. එබැවින් රුසියාවට එරෙහි යුද්ධය තීව්‍ර කිරීම යුක්‍රේනයේ ගැටුම සැබවින්ම ගෝලීය යුද්ධයක් බවට පරිවර්තනය කරනු ඇත.

17. අධිරාජ්‍යවාදයේ භූ දේශපාලනික අවශ්‍යතාවලට අමතරව, බයිඩන් පරිපාලනය මෙහෙයවනු ලබන්නේ, ඇමරිකානු පාලක පන්තියට පිලිතුරක් නොමැති ගැඹුරුවන සමාජ, ආර්ථික හා දේශපාලන අර්බුදයකිනි. එක්සත් ජනපද ආර්ථිකය නඩත්තු වන්නේ මිලිටරිය යලි සන්නද්ධ කිරීමට සහ ප්‍රධාන සංගතවලට අඛන්ඩව ඇපදීම සඳහා අධික ලෙස කෙරන ආන්ඩුවේ වියදම් මගිනි. ෆෙඩරල් නය සෑම දශකයක ම දෙගුනයක් වන අතර, ඒවා සඳහා මුදල් සම්පාදනය කෙරෙමින් පවතින්නේ ව්‍යවහාරික මුදල පිරිහෙලිම සහ නය මුල්‍යකරනය මගිනි.

18. මෙය සිදුවෙමින් පවතින්නේ, 2024 ජනාධිපතිවරනයට පෙර ම මතුවී ඇති දැවැන්ත දේශපාලන අර්බුදයක සහ කල්ලිවාදී යුද්ධයක සන්දර්භය තුල ය. දැනට ඡන්ද විමසීම්වල පෙරමුන ගෙන සිටින රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂකයා වියහැකි ඩොනල්ඩ් ට්‍රම්ප්, වසර තුනහමාරකට පෙර ෆැසිස්ට් කුමන්ත්‍රනයකින් මැතිවරනය පෙරලා දැමීමට උත්සාහ කලේය. ගැඹුරු සමාජ අර්බුදයක් සහ ගාසා තීරයේ ඊශ්‍රායල ජන සංහාරයට එක්සත් ජනපදය පිටුබලය දීම සම්බන්ධයෙන් නැගෙන කේන්තිය සහ කෝපාග්නිය මධ්‍යයේ, ධනේශ්වර පක්ෂ දෙකට ම එරෙහි පුලුල් මහජන විරෝධයක් පවතී.

19. සියලුම ප්‍රධාන ධනේශ්වර රටවල පවතින්නේ ද ඊට සමාන තත්වයන් ය. පාලක ප්‍රභූව බලාපොරොත්තු වන්නේ එතෙර යුද්ධය, යුද කාලීන “ජාතික සමගියේ” නාමයෙන් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මර්දනය කිරීම සඳහා කොන්දේසි නිර්මානය කරනු ඇති බවයි. මෙම අර්බුදකාරී වාතාවරනය, බිහිසුනු මිලිටරිවාදය සහ කලින් ෆැසිස්ට් පාලන තන්ත්‍ර හා මිලිටරි-පොලිස් ආඥාදායකත්වයන්හි පැවති ආකාරයේ අභ්‍යන්තර ප්‍රචන්ඩත්වය පුනර්ජීවනය කරයි.

20. පුටින් තන්ත්‍රය සම්බන්ධයෙන් ගත් කල, එය එකකට පසු තවෙකක් වශයෙන් වැරදි ගනන් බැලීම් සිදුකර ඇත. 1917 ඔක්තෝබර් විප්ලවයෙන් පසු රාජ්‍ය වත්කම් ජනසතු කරන ලද සෝවියට් සංගමය 1991 දී විසුරුවා හැරීමේ සහ පුද්ගලීකරනය හා කොල්ලකෑමේ පදනම මත බලයට නැඟ සිටින කුරිරු රුසියානු ධනේශ්වර කතිපයාධිකාරීන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ක්‍රෙම්ලිනය විසින් දියත් කරන ලද “විශේෂ මිලිටරි මෙහෙයුම” තුල, කිසිදාක, දුරස්ථ ව හෝ ප්‍රගතිශීලී යමක් නොතිබුනි.

21. 2022 දී, පුටින් ප්‍රතිගාමී යුක්‍රේනය ආක්‍රමනය දියත් කලේ ශක්තිමත් ස්ථානයක සිට ඔහුගේ බටහිර “හවුල්කරුවන්” සමඟ සාකච්ඡා කිරීමේ අපේක්ෂාවෙනි. එහෙත් නැටෝව සාකච්ඡා කිරීමට කිසිසේත්ම උනන්දුවක් නොදක්වන බව පෙන්නුම් කර ඇත: නැටෝවට පිලිගත හැකි යුද්ධයේ එකම ප්‍රතිඵලය වන්නේ, රුසියාව මිලිටරිමය වශයෙන් පරාජය කිරීම සහ යුගෝස්ලාවියාවේ ආකාරයට රුසියානු භූමිය කැබලි කර දැමීමයි. තමන්ගේ බංකොලොත් ජාතිකවාදී ඉදිරිදර්ශනය මත පදනම් ව, පුටින් ආන්ඩුව සහ එය නියෝජනය කරන රුසියානු කතිපයාධිකාර කන්ඩායම, තව තවත් සාහසික හා ප්‍රකෝපකාරී මිලිටරි උත්සන්නියකට තල්ලු කරනු ලැබේ.

22. අධිරාජ්‍යවාදී යුද්ධයේ ගෝලීය උත්සන්න වීම මහජන මර්දනය සමග බැඳී තිබේ. එක්සත් ජනපද ආන්ඩුව, ගාසා ජන සංහාරයට එරෙහි විරෝධතා අපරාධයක් බවට පත් කර ඇති අතර දහස් ගනන් සිසුන් හා තරුනයින් සමූහ වශයෙන් අත්අඩංගුවට ගෙන ඇත. විරෝධතාවලට එල්ල කරන ලද ප්‍රචන්ඩත්වය පිලිබිඹු කරන්නේ, යුද්ධය සඳහා තම ජීවිතවලින් හා සමාජ වැඩසටහන් විනාශ කිරීමෙන් වන්දි ගෙවීමට බල කෙරී ඇති කම්කරු පන්තිය තුලින් පුලුල් ව්‍යාපාරයක් පැනනැගෙතැයි පාලක ප්‍රභූන්ට පවතින භීතියයි.

23. යුක්‍රේනයේ, යුද්ධයට එරෙහිව වැඩෙන විරුද්ධත්වය සහ [සෙලෙන්ස්කි ආන්ඩුව විසින් ඉදිරිපත් කරන ලද අනිවාර්ය හමුදා සේවයේ] කෙටුම්පතට එරෙහි ප්‍රතිරෝධය මධ්‍යයේ, සෙලෙන්ස්කි ආන්ඩුව රුසියාවේ අවශ්‍යතා වෙනුවෙන් සේවය කිරීම පිලිබඳ ව්‍යාජ චෝදනා මත යුක්‍රේන සමාජවාදී බොග්ඩාන් සයිරොටියුක් අත්අඩංගුවට ගෙන ඇත. ඇත්ත වශයෙන්ම, බොග්ඩාන් ධනේශ්වර පුටින් පාලන තන්ත්‍රයට සහ එය යුක්‍රේනය ආක්‍රමනය කිරීමට එරෙහි දෘඩතර විරුද්ධවාදියෙකි. බොග්ඩාන් අත්අඩංගුවට ගැනීමෙන් හෙලිදරවු වන්නේ, යුද්ධයට එරෙහි විරෝධය යුක්‍රේන කම්කරු පන්තිය තුලින් වැඩෙන ප්‍රතිචාරයක් ලබා ගනිමින් ඇති බවට සෙලෙන්ස්කි තන්ත්‍රය සහ එහි නේටෝ සහචරයින් තුල පවතින ආන්තීය භීතියයි.

24. වසර දහයකට පෙර, “සමාජවාදය සහ අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි සටන” යන එහි ප්‍රකාශය තුල හජාජාක මෙසේ අනතුරු අඟවා සිටියේය:

නව ලෝක යුද්ධයක අන්තරාය පැන නගින්නේ ධනේශ්වර ක්‍රමයේ මූලික ප්‍රතිවිරෝධතා—එනම්, ගෝලීය ආර්ථිකයක් වර්ධනය වීම සහ නිෂ්පාදන මාධ්‍යවල පුද්ගලික අයිතිය මුල්බැස ඇති එදිරිවාදී ජාතික රාජ්‍යයන් බවට එය බෙදීම තුලිනි. රුසියානු හා චීන විප්ලවයන් විසින් දශක ගනනාවක් තිස්සේ එය බැහැර කරන ලද ප්‍රදේශවල, සියල්ලටත් වඩා, යුරේසියානු ගොඩබිම මත ආධිපත්‍යය දැරීමට එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ තල්ලුව තුල මෙය වඩාත් ම තීව්‍ර ප්‍රකාශනය සොයා ගනී. බටහිරින්, එක්සත් ජනපදය, ජර්මනිය සමඟ සහයෝගයෙන්, යුක්‍රේනය තම පාලනය යටතට ගෙන ඒම සඳහා ෆැසිස්ට්වාදී නායකත්වයෙන් යුත් කුමන්ත්‍රනයක් සංවිධානය කර ඇත. නමුත් එහි අභිලාෂයන් එතැනින් නතර නොවේ. අවසාන පරමාර්ථය වන්නේ රුසියානු සමූහාන්ඩුව කැබලි කිරීම, එහි අතිවිශාල ස්වභාවික සම්පත් කොල්ලකෑමට මාර්ගය විවෘත කර ගැනීම සඳහා එය අර්ධ-යටත් විජිත මාලාවකට ඌනනය කිරීමයි. නැඟෙනහිරින්, ඔබාමා පාලනාධිකාරයේ ආසියාවට හැරීමේ අරමුන, චීනය වටකර එය අර්ධ-යටත් විජිතයක් බවට පරිවර්තනය කිරීමයි. මෙහි පරමාර්ථය වන්නේ කම්කරු පන්තියෙන් සහ ධනේශ්වර ආර්ථිකයේ ජීව රුධිරයෙන් උකහා ගන්නා අතිරික්ත වටිනාකමේ ප්‍රධාන ගෝලීය මූලාශ්‍රවලින් එකක් වන ලාභ ශ්‍රමයේ ආධිපත්‍යය සහතික කිරීමයි.

25. පසුගිය දශකය මෙම අනතුරු ඇඟවීම තහවුරු කර ඇත. රුසියාවට එරෙහි තීව්‍රවන විවෘත එක්සත් ජනපද-නැටෝ යුද්ධය සහ චීනය සමග ගැටුම වර්ධනය වීම මධ්‍යයේ, ලෝක යුද්ධය වනාහි ධනවාදයේ මූලික ගාමක බලවේගවල ප්‍රකාශනයක් මිස, සුවිශේෂී සිදුවීමක් ලෙස දැකිය නොහැක.

26. අධිරාජ්‍යවාදය න්‍යෂ්ටික යුද්ධයේ අද්දරට තල්ලු කරන එම ප්‍රතිවිරෝධයන්ම සමාජ විප්ලවය සඳහා වෛෂයික පදනම ද සපයයි. ජාත්‍යන්තර කම්කරු පන්තිය යනු ධනේශ්වර සූරාකෑම හා අධිරාජ්‍යවාදී ම්ලේච්ඡත්වය සමග ගැටෙන දැවැන්ත සමාජ බලවේගයකි. අධිරාජ්‍යවාදී යුද සැලසුම්වල කුමන්ත්‍රනකාරී ස්වභාවය මගින් පිලිබිඹු කරන්නේ, පාලක පන්තියම තම ප්‍රතිපත්තිවලට මහජන සහයෝගයක් නොමැති බව හොඳින් දන්නා බව ය.

27. ගාසා ජන සංහාරයට එරෙහි මහජන විරෝධතා තිබියදී, රුසියාව සමග ශීඝ්‍රයෙන් උත්සන්න වන යුද්ධය ගැන මහජනයාගේ පුලුල් කොටස් අතර අවබෝධයක් නැත. කම්කරු පන්තිය අධිරාජ්‍යවාදී යුද ප්‍රතිපත්තියට යටත් කරන අතරම, වෘත්තීය සමිති යාන්ත්‍රනය ඇතුලුව පාලක ප්‍රභූව සහ ඔවුන්ගේ දේශපාලන අනුබද්ධ කොටස්, අනතුරේ බරපතලකම අවබෝධ කර ගැනීමෙන් කම්කරුවන් වැලැක්වීමේ ක්‍රමානුකූල ප්‍රයත්නයක නිරතව සිටිති.

28. ව්‍යසනය දෙසට යන ගමන වැලැක්විය හැක්කේ එක් මාර්ගයකින් පමනි, එය නම්, මෙම යුද්ධය අවසන් කිරීම සඳහා බල කිරීමට කම්කරු පන්තියේ මැදිහත්වීම යි. මෙම ඉල්ලීම ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ ජන සංහාරක ප්‍රහාරය අවසන් කිරීමේ අරගලය සමඟ ඒකාබද්ධ කල යුතු ය. කම්කරුවන්, යුක්‍රේනයෙන් සියලුම එක්සත් ජනපද හා නැටෝ හමුදා සහ ආයුධ වහාම ඉවත් කර ගන්නා ලෙස ඉල්ලා සිටිය යුතු ය. අධිරාජ්‍යවාදී බලවතුන්ගේ යුද පිලිවෙත්වලට කිසිදු ආකාරයකින් ප්‍රගතිශීලී විකල්පයක් නියෝජනය නොකරන, පුටින් තන්ත්‍රයේ ප්‍රතිගාමී ජාතිකවාදී පිලිවෙත් සඳහා කිසිදු සහයෝගයක් දීම කම්කරු පන්තිය ප්‍රතික්ෂේප කල යුතු ය.

29. ව්‍යසනය කරා ඇද වැටෙන මෙම යුද්ධය නැවැත්වීමට කම්කරු පන්තිය සිය බලය යෙදිය යුතු ය. මෙම බලය බලමුලු ගැන්වීම සඳහා ගෝලීය දේශපාලන අර්බුදයේ දියුනු අවධිය සහ වර්තමාන මහජන දේශපාලන විඥානයේ මට්ටම අතර පරතරය ජය ගැනීම අවශ්‍ය වේ. මෙම ඓතිහාසික ගැටලුව විසඳීම සඳහා නම් මාක්ස්වාදී-ට්‍රොට්ස්කිවාදී නායකත්වයක් වර්ධනය කිරීම සහ සමාජවාදී ප්‍රතිපත්තිවල පදනම මත ජාත්‍යන්තර කම්කරු ව්‍යාපාරයේ විප්ලවවාදී නව්‍යකරනයක් අවශ්‍ය වේ.

30. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, රුසියාවේ, යුක්‍රේනයේ සහ පැරනි සෝවියට් සංගමයේ සියලුම කම්කරුවන් යුරෝපයේ, ආසියාවේ සහ ඇමරිකාවේ සිටින ඔවුන්ගේ සහෝදර සහෝදරියන් සමඟ එක්ව යුද්ධයේ මූල හේතුව වන ධනේශ්වර ක්‍රමයට එරෙහිව එකමුතුවීම ඉල්ලා සිටියි. දිග හැරෙමින් පවතින ව්‍යසනයෙන් ගැලවීමට ඇති එකම මාර්ගය ධනවාදයට එරෙහි අරගලය සහ ලෝක සමාජවාදී විප්ලවයේ ජයග්‍රහනයයි.

Loading