ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති නායකයෝ විශ්වවිද්‍යාල සේවක වර්ජනය කඩාකප්පල් කිරීමට උත්සාහ කරති

[මෙය Sri Lankan union leaders seek to sabotage university employees strike යන මැයෙන් 2024 ජූනි 10 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

ශ්‍රී ලංකාවේ සියලුම විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක වන අනධ්‍යන සේවකයින්ගේ අඛන්ඩ වැඩවර්ජනය හයවන සතියට එලැඹෙත්ම, වෘත්තීය සමිති කිලධරය තිරය පිටුපස සිට වර්ජනය අවසන් කිරීමට කටයුතු කරමින් සිටී. වික්‍රමසිංහ ආන්ඩුවට පීඩනය යෙදීමෙන් විශ්වවිද්‍යාල සේවකයින්ට තම ඉල්ලීම් දිනාගත හැකි බවට වෘත්තීය සමිති නායකයින් කියා පෑව ද එය නිෂ්ඵල ව්‍යායාමයක් බව ඔප්පු වී ඇත.

විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ (යුටීයූජේසී) සම-සභාපති ධම්මික එස්. ප්‍රියන්ත ජූනි 6 දා ඩේලි මිරර් පුවත්පතට පැවසුවේ, වෘත්තීය සමිති නායකයන්, මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ හමුවී වැටුප් විෂමතා ඇතුලු දෑ පිලිබඳව “නිශ්චිත එකඟතාවකට” එලැඹ ඇති බවයි.

ඔවුන්, “මෙම ගැටලුව විසඳිය යුතු ආකාරය දැක්වෙන යෝජනාව ආන්ඩුවට ඉදිරිපත් කල' බව යූටීයූජේසී නායකයා පැවසුවේය. “අපේ ඉල්ලීම් සඳහා මෙතෙක් ලැබී ඇත්තේ අවම එකඟතාවක්. අපේ ඉල්ලීම්වලට මුදල් අමාත්‍යාංශයෙන් හෝ කැබිනට් මන්ඩලයෙන් අනුමැතිය ලැබුනොත් අපිට වැඩවර්ජනය අත්හරින්න පුලුවන්.”

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ක්‍රියාකලාපය වසන් කරමින් යූටීයූජේසී නායකයා පැවසුවේ, “රාජ්‍ය නිලධාරීන් විසින් සපයන ලද සාවද්‍ය තොරතුරු මත පදනම්ව ජනාධිපතිවරයා [පූර්වයෙන්] අපගේ යෝජනාව ප්‍රතික්ෂේප කල” බවයි. අමාත්‍යවරුන් දැන් “යථාර්ථය” වටහාගෙන ඇති බවත්, එය ජනාධිපතිවරයාට දන්වා ඇති බවත් ඔහු කියා සිටියේය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, “අපගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වඩාත් නම්‍යශීලී වීම අපි නිරීක්ෂනය කලෙමු.”

ජනාධිපතිවරයා අනධ්‍යන වෘත්තීය සමිති ඉල්ලීම් ප්‍රතික්ෂේප කලේ ඔහුට “යථාර්ථය” දැනුම් දී නොතිබූ නිසා බව බොරුවකි. මැයි 27 දා වික්‍රමසිංහ කැබිනට් මන්ඩලයට පැවසුවේ, විශ්ව විද්‍යාල සේවකයින් ඇතුලු රාජ්‍ය අංශය සඳහා—වසර මුලදී ගෙවූ රුපියල් 10,000 දීමනාව හැර—වැටුප් වැඩිකිරීම්වලට අයවැයෙන් වෙන් කිරීමක් නොමැති බවයි. අනෙකුත් ඉල්ලීම් සලකා බැලිය හැක්කේ 2025 අයවැයෙන් පමනක් බව ඔහු පැවසීය.

පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුනට අනුබද්ධ සහ යූටීයූජේසී හි හවුල්කරුවෙකු වන ස්වාධීන වෘත්තීය සමිති මධ්‍යස්ථානය (යූඅයිටීයූසී) විසින් සේවකයින්ගේ වටිස්ඇප් කන්ඩායමක (WhatsApp group) පල කරන ලද ලිපියක, වෘත්තීය සමිති විසින් රාජ්‍ය මුදල් අමාත්‍යවරයා වෙත කරන ලද යෝජනා පෙන්වා දී ඇත. යූඅයිටීයූසී මීට පෙර හඳුන්වනු ලැබුවේ පොදුජන ප්‍රගතිශීලි සේවක සංගමය යනුවෙනි.

“අධ්‍යාපන අමාත්‍යාංශයට වෙන්කර ඇති ප්‍රතිපාදන කලමනාකරනය කරමින්” කම්කරුවන්ට සුලු සහන ලබාදීමට මුදල් සොයා ගැනීමෙන්, වෘත්තීය සමිති, මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සමඟ එකඟතාවකට පැමිනි බව එම ලිපියේ සඳහන් වේ. වෙනත් වචන වලින් කිවහොත්, වෘත්තීය සමිති මහජන අධ්‍යාපනයේ අනෙකුත් ක්ෂේත්‍ර සඳහා සැලකිය යුතු වියදම් කප්පාදුවක් ඉල්ලා සිටී.

අනෙකුත් වෘත්තීය සමිති මෙන්, යූටීයූජේසී නායකයින් ක්‍රියා කරන්නේ ධනේශ්වර පාලන තන්ත්‍රයේ මෙවලම් ලෙස මිස ඔවුන්ගේ සාමාජිකයින්ගේ අවශ්‍යතා සඳහා නොවේ. යූටීයූජේසී සම-සභාපති මංගල දාබරේරා මැයි 14 දින අදදෙරන ට මෙසේ පැවසීය: “රටේ මූල්‍ය අර්බුදයක් පවතින බව අපි දන්නවා, එබැවින් මුදල් ඇති විට ඔවුන්ට [ආන්ඩුවට] වැටුප් වැඩිවීම් ලබා දිය හැකි බව අපි කිවුවා.'

ආන්ඩුවේ මැති ඇමතිවරුන් හා නිලධාරීන් සමග වෘත්තීය සමිතිවල සාකච්ඡා සිදුවූයේ, වෘත්තීය සමිති සාමාජිකයින්ට පිටුපසිනි; ඔවුන්ට ඒ පිලිබඳ කිසිදු තොරතුරක් ලබා දී නොමැත.

වර්ජනය කැඳවන විට, වෘත්තීය සමිති නිලධාරීන්, වැටුප් විෂමතා නිවැරදි කිරීම සඳහා යන්තම් සියයට 15 ක සීමිත වැටුප් ඉල්ලීමක් ඉදිරිපත් කලහ. වසර අටකට පෙර ප්‍රථම වරට ඉදිරිපත් කරන ලද මෙම ඉල්ලීම, උද්ධමනය ඉහල මට්ටමක පැවතීම හේතුවෙන් පසුගිය වසර තුන තුල සිදු වූ මූර්ත වැටුප් ඛාදනය කිසිදු ආකාරයකින් හානිපූරනය නොකරයි.

විපක්ෂයේ ජනතා විමුක්ති පෙරමුනට (ජවිපෙ) අනුබද්ධ අන්තර් විශ්වවිද්‍යාල සේවා වෘත්තීය සමිතිය (අයියූඑස්ටීයූ), යූටීයූජේසී හි කොටසක් ව, එහි ද්‍රෝහී ක්‍රියාවන්ට සහය දෙමින් සිටියද වඩාත් රැඩිකල් ඉරියව්වක් මවා පායි. අයියූඑස්ටීයූ ලේකම් විජයතිලක ජයසිංහ, ජවිපෙ පුවත්පත වන රතු ලංකා හි ජූනි කලාපයේ මෙසේ අදහස් දැක්වීය: “මේ පාලකයින්ට මේ ප්‍රශ්නය පමනක් නොව, රටේ කිසිදු ප්‍රශ්නයක් විසඳන්න බෑ... මේ පාලකයින් එලවා දැමිය යුතුය. අප වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කරන පාලනයක් ගොඩනැගිය යුතුයි.”

කෙසේ වෙතත්, ජවිපෙ වෘත්තීය සමිති, කම්කරු පන්තියේ ක්‍රියාමාර්ග වඩවඩාත් අවහිර කරමින්, වැඩෙන කෝපය ජවිපෙ මැතිවරන පෙරමුන වන ජාතික ජන බලවේග ආන්ඩුවක් සඳහා වන ව්‍යාපාරයක් වෙත හරවා යවති. ඉදිරි ජනාධිපතිවරනයේදී ජාජබ/ජවිපෙ අපේක්ෂක අනුර කුමාර දිසානායකට සියලු දෙනාගේ සහය ලබාදෙන ලෙස ජවිපෙ වෘත්තීය සමිති ඉල්ලා සිටී.

අනෙකුත් විරුද්ධ පක්ෂ මෙන්ම, ධනේශ්වර ජාජබ/ජවිපෙ ද, වැඩකරන ජනතාව මුහුන දෙන තත්වය වැඩිදියුනු කිරීමට විපරීතව ජාමූඅ කප්පාදු පිලිවෙත් වලට මුලුමනින්ම කැපවී සිටී. දිසානායක අවධාරනය කර ඇත්තේ තම පක්ෂයේ පාලනයේ පලමු වසර තුල “රට යලි ගොඩනැගීම' සඳහා “ජනතාවට' කැපකිරීම් කිරීමට සිදුවනු ඇති බවයි.

විශ්ව විද්‍යාල අනධ්‍යයන වර්ජකයන්ට මඩ ගැසීමට හා ඔවුන් මර්දනය කිරීමට දරන උත්සාහයක් ලෙස සමස්ත දේශපාලන සංස්ථාපිතය, අධිකරනය, පොලීසිය සහ මාධ්‍ය බලමුලු ගන්වා ඇත.

“සමිති, තම සීමාවන් දැනගත යුතුය' යන මැයෙන් ජූනි 4 දා ඩේලි මිරර් හි පලවූ කතුවැකිය, වර්ජනය සිසුන්ට කරන බලපෑම හෙලා දකිමින්, වර්ජිත කම්කරුවන්ට එරෙහිව දරුනු ප්‍රහාරයක් දියත් කලේය. එය කියා සිටියේ වර්ජනය නිසා විභාග සහ පශ්චාත් උපාධි අධ්‍යයන කල් දැමීමෙන් සිසුන්ගේ වසරක් නාස්ති වන බවයි. “තමා වගකියයුතු නොවන දෙයක් සඳහා අවම වශයෙන් වසරක්වත් තම ජීවිතය කල් දමන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටීමට, කිසිදු වෘත්තීය සමිති සාමාජිකයෙකුට හෝ නායකයෙකුට අයිතියක් නැතැ” යි එය ප්‍රකාශ කලේය.

අධ්‍යාපනය කඩාකප්පල් කිරීමට වගකිව යුත්තේ වර්ජිත කම්කරුවන් නොව, ජාමූඅ කප්පාදු වැඩපිලිවෙලේ කොටසක් ලෙස රාජ්‍ය අධ්‍යාපනය සඳහා වන අරමුදල් කප්පාදු කර, ලාභ පිපාසිත ආයෝජකයින්ට පුද්ගලීකරන අවස්ථා ලබා දුන් වික්‍රමසිංහ තන්ත්‍රය ඇතුලු අනුප්‍රාප්තික ආන්ඩු ය.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) අවධාරනය කරන්නේ, ජාමූඅ හි කප්පාදු ක්‍රියාවට නංවන සහ තමා මුහුන දී සිටින ගැඹුරු ආර්ථික අර්බුදයේ බර කම්කරුවන් හා දුගීන් මත පටවන ආන්ඩුවට පීඩනය යෙදීමෙන් විශ්වවිද්‍යාල සේවකයින්ට හෝ සමස්තයක් ලෙස කම්කරු පන්තියට ඔවුන්ගේ ඉල්ලීම් දිනාගත නොහැකි බව යි. වෘත්තීය සමිති විසින් පතුරවන මෙම මිත්‍යාව තම සාමාජිකයන් අතර නැගෙන කෝපය අපසරනය කිරීමේ උගුලක් බව අපි පැහැදිලි කර ඇත්තෙමු.

වැටුප් සහ සේවා කොන්දේසි වැඩි දියුනු කිරීම අරබයා වූ ඉල්ලීම් සඳහා සටන් කිරීමේදී අනධ්‍යයන සේවකයින්ට වෘත්තීය සමිති මත විශ්වාසය තැබිය නොහැක. ඔවුන් සෑම විශ්වවිද්‍යාලයකම, සේවකයින් විසින් ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත් කරගනු ලබන සහ වෘත්තීය සමිති නිලධරයෙන් ස්වාධීන කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනැගිය යුතුය. මහජන නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කර ගැනීම සඳහා සටන් කිරීමට විශ්වවිද්‍යාල අධ්‍යයන කාර්ය මන්ඩලයේ සහ සිසුන්ගේ සහයෝගය ඔවුන් දිනා ගත යුතුය.

විශ්වවිද්‍යාල සේවකයින්, ජාමූඅ කප්පාදු සැලැස්ම යටතේ සමාන ප්‍රහාරයන්ට මුහුන දෙන තම පංති සහෝදර සහෝදරියන් වෙත හැරිය යුතුය. කම්කරු පන්තිය තම සමාජ හා ප්‍රජාතන්ත්‍ර අයිතීන් ආරක්ෂා කර ගැනීමට වික්‍රමසිංහ ආන්ඩුවට එරෙහිව දේශපාලන මහා වැඩ වර්ජනයක් සූදානම් කල යුතුය.

වැඩකරන ජනතාවගේ සමාජ හා ජීවන කොන්දේසි ආරක්ෂා කිරීමේ මෙම අරගලය, විදේශ නය ප්‍රතික්ෂේප කිරීමේ සහ කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ මහා සංගත, මහා වතු හා බැංකු ජනසතු කිරීමේ සටන සමග සමීපව බැඳී තිබේ. කම්කරුවන්ට අවශ්‍ය වන්නේ වෙනත් ධනේශ්වර පාලනයක් නොව, සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම සඳහා කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකි.

ඔවුන්ගේ මිතුරන් වන්නේ, රැකියා, වැටුප්, සේවා කොන්දේසි ආරක්ෂා කිරීමේ සහ යුද්ධයට හා සමාජ අසමානතාවයට එරෙහි අරගලයේ ඉදිරියෙන්ම සිටින ජාත්‍යන්තර කම්කරු පන්තියයි. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් ආරම්භ කරන ලද කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය (කක්‍රික-ජාස) සමග ඔවුන්ගේ අරගලය සම්බන්ධීකරනය කරන ලෙස, සසප ශ්‍රී ලාංකික කම්කරුවන් උනන්දු කර සිටී.

මෙම සේවකයින් මුහුන දෙන ගැටලු සාකච්ඡා කිරීම සඳහා, ජූනි 14 සිකුරාදා සවස 7 ට ශ්‍රී ලංකාවේ වැඩ වර්ජිත අනධ්‍යන සේවකයින් සඳහා ඉදිරි මාවත යන මැයෙන් සසප ඔන්ලයින් රැස්වීමක් පවත්වනු ඇත. මෙම රැස්වීමට සහභාගී වන ලෙස අපි කම්කරුවන්ගෙන්, සිසුන්ගෙන් සහ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගෙන් සහ අනෙකුත් සියලුම දෙනාගෙන් ඉල්ලා සිටිමු.

රැස්වීම සඳහා මෙතැනින් ලියාපදිංචි වන්න.

Loading